Thursday, May 14, 2015

විල්පත්තු හටන....




පින්තූරය විල්පත්තුවේ උනාට මේ ලියන්නේ විල්පත්තුව ගැන නොවේ.

මේ අලි ගහන කැලෑවකි. විෂඝෝර සර්පයින් ඇතුළු වනසත්ව උවදුරු වැඩිම කලාපයකි. සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්, සන්නිවේදන පහසුකම් සහ වාණිජ පහසුකම් අවම කලාපයකි. කාෂ්ඨක මහපොළොව හෝ මුහුදත් සමග ඔට්ටු වීම හැර වෙනත් සැලකියයුතු ජීවිකා මාර්ගයක් නොමැති තැනකි.
වර්ෂයේ වැඩිම කාලයක් තණකොළ පවා දැවී පිළිස්සෙන දැඩි හිරු එළියෙන්ද, සුළඟින් ගසා එන දූවිල්ලෙන්ද දිය පොදක් නොමැති නියඟයෙන්ද සපිරි ලංකාවේ ශුශ්ක කලාපයේ බිම් කඩකි. 
එහි ඉදිවූ තනි ටකරං මඩුවකි.

මේ දූපතේ වසර පුරා නිල්ල දිලෙන කුරුණෑගලින් පහලට ඇති විසල් බිමෙන් පර්චස් 15 ක් මිලදී ගෙන නිදහසේ පදිංචිවන්නට හැකියාව තිබුණානම් මැය මෙම දරුවාද සමග කිසිදු දිනෙක මෙහි පස් පාගන්නේ නැත.

මේ දූපතේ මිනිස් වාසයට ඉතා සුදුසු හිස් ඉඩකඩම් ඕනෑ තරම් ඇත. එකම ප්‍රශ්නය ඒවාට අයිතිකරුවන් සිටීමයි. එනිසා මැය වැන්නියන්ට ඒවායේ පදිංචිවෙනවා තබා ඒ ගැන සිතීමටවත් අයිතියක් නැත. ඒවා හතර හන්දි කුඩු කරගෙන මහඋළුගෙදරත් ලගින්නට වෙන කේස්ය. ඇයට හැක්කේ කවර හෝ ඊනියා අයිතිකරුවෙක් ඉඳා ගනින් යයි දෙන කවර බඩකඩිත්තුවක හෝ පදිංචි වී පණ ගැට ගසා ගැනීමයි. එය අපගේද පූර්ණ එකඟතාව මත ක්‍රියාත්මක පොදු සම්මුතියයි. 

මේ පාවෙන මිනිස් පරඬලාපත්වලට ජීවත් වීම සඳහා කුමන හෝ අහිනක ලැගීමට සිදුවීම අනිවාර්යය. එය දේශපාලන, වාර්ගික, ආගමික හෝ වෙනත් කුමන ගෝත්‍රික ස්වභාවයක් ගත්තද ඔවුනට වෙනසක් නැත. එය මගින් තෝරාදෙන ජීවිතය පිළිගැනීම හැර වෙනත් විකල්ප නැත. මැයට නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රිෂාඩ් බදූර්දීන් දෙන තැන පදිංචි වන්නට සිදුවන්නේය.

ඉදින් 'විල්පත්තුව වැනසෙන්නේය'. 

වැඩිදෙනෙක් අසන්නේ මොවුන් විල්පත්තුවේ පදිංචි නොකර, මෙයටම සමාන වැලිඔය ශුෂ්ක බිමේ පදිංචි නොකරන්නේ ඇයි කියාය. 

අපිට විල්පත්තුව ඉතිරි කර ගන්න ඕනෑය. එහි වරදක් නැත. මිහිකත පවතිනා තුරාවට මේ බිමේ වනාන්තර ලෙස ඉතිරිකරගන්නට තියෙන්නේ ඔය සොච්චං කැලෑ ටික විතරක් නිසාය. නමුත් මේ මිනිසුන් මේ කාන්තාරයේ සිට වැලිඔය කාන්තාරයට දක්කනවා විනා ගම්පහට හෝ කළුතරට දක්කන්නට කාටවත්ම නිකමටවත් නොසිතෙන්නේ ඇයි? 
මෙතෙක් කිසිවෙකුත් පදිංචි නැති පුද්ගලික දේපල ගණයට වැටෙන නිල්ල නගන සරු බිම්පෙත් වල උරුමයක් අපේ සම්මුතීන් අනුව ඔවුනට අහිමි බව අපම පිලිගන්නා නිසාය.

සැබෑම ප්‍රස්නය මේ මිනිසුන් කැලෑවක් වනසා පදිංචි වීම නොවේ. මෙවන් නිර්ධනයින් හට පදිංචිවීම සඳහා කැලෑවක් හෝ කාන්තාරයක් හැර වෙනත් වාසයට සුදුසු තැනක් ලබා නොදෙන අපේ පොදු සම්මුතියේය.

5 comments:

  1. Glad to see you, and hope to see you more often. With or without Mahinda, all our problems remain the same. There can not be a reason (apart from personal) for you not to write.

    ReplyDelete
  2. ඔය විරෝධය තියෙන්නේ කටාර් වැනි රටක ආධාර ඇතුව ඉඳිකරන ගම්මානවලට නේද?

    ReplyDelete
  3. පෞද්ගලික ඉඩම්, ඒ ඉඩම් අයිතිකරුවන්ගේ අකමැත්ත පිට පවරාගෙන මේ වගේ දෙයක් කරන්න බැහැ. ඒක තවත් ප්‍රශ්න ගණනාවක් ඇති කරනවා. ඒ ඇරෙන්න සුදුසු ඉඩම් තියනවා නම් ඒ තැන් වල මෙහෙම පදිංචි කරවන්න කවුද විරුද්ධ වෙන්නේ. හැබැ‍යි මේවා පිනට ඉඩම් බෙදීමක් උණොත් වැඩේ සාර්ථක වෙන්නේ නෑ. රැකියාවක් නොකර ගෙදර ඉන්න කෙනෙකුට, රැකියාවෙන් ලැබෙන මුදලට වඩා වැඩි මුදලක් ආණ්ඩුවෙන් ගෙව්වොත් ඇතිවන තත්වය මොකද්ද?

    අඩුපාඩු තිබුණත් ගම් උදාව වගේ වැඩපිළිවෙලවල් වලින් ගෙවල් හැදුනේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් පරිසර වල. ඒවා තදාසන්න ප්‍රදේශ වලත් හැදුණා. මේක කොහේ හෝ නිකං ගෙයක් ඉඩමක් දීලා ඕන කුදයක් ගහගනින් ක්‍රමයකට වඩා පුළුල් ව්‍යාපෘතියක් වෙන්න ඕනේ. යම් කිසි ණය ක්‍රමයක් යටතේ තමන් ඉන්න නිවාසය අයිති කර ගැනීමේ වැඩ පිළිවෙලක් වගේ එකක්. ඒ ඒ පවුල් වල තත්වය අනුව ණය ක්‍රමයේ වෙනස් වීම් කරන්න පුළුවන්. මේවා දැනටමත් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා නේද? මට මතක හැටියට නම් ගම් උදා වල ගෙවල් මිලදී ගන්න මෙහෙම ණය ක්‍රමයක් තිබ්බා. ඒ වගේ සණස වගේ බැංකු වලින් නිවාස ණය දෙන ක්‍රමයක් තියනවා මම හිතන්නේ.

    ReplyDelete
  4. ගම්උදා සංකල්පය වගේ දේවල් හරිම හොඳයි... මේව හැබැයි පාක්ෂිකයින්ට පමණක් වීම තමයි තියෙන ලොකුම ගැටලුව. නිවාස ණය ලබා දීම වගේ හැමදෙයක්ම දේශපාලනික වීම නිසා ඔය මොනවත් බලපුළුවන්කාරකම් නැති අසරණ මිනිස්සුන්ට අවස්ථා අහිමි වෙනවා...

    ‘‘මෙවන් නිර්ධනයින් හට පදිංචිවීම සඳහා කැලෑවක් හෝ කාන්තාරයක් හැර වෙනත් වාසයට සුදුසු තැනක් ලබා නොදෙන අපේ පොදු සම්මුතියේය.‘‘ හැමට සමාන හිමිකම් ලැබෙන ක්‍රමයේ වෙනසක් කියන්නෙ හීනයක් වුණත් අපි ඒ වෙනුවෙන් මැදිහත් වීම අත්‍යවශ්‍යයි...

    මහල් නිවාස ක්‍රමය මේ ඉඩම්, නිවාස ප්‍රශ්නයට හොඳ විසඳුමක්.. අසරණ මිනිස්සුන්ට බරක් නොවෙන විදියට ඒ නිවාස ලබා දීම් සැලසුම් වෙන්නත් ඕන.... පහුගිය කාලෙ ඒ වැඩෙත් කොයි තරම් නරක අතට හැරුණද කියන එක අපි දැක්කනෙ..

    ReplyDelete
  5. වෙනස්ම විදියකට හිතන්න ඕන ප්‍රශ්නයක් නං තමා.. හැම මනුස්සයෙක්ටම ඉන්න තැනක් දෙන එක රජයේ වගකීමක්.. ඔබ මේ සම්බන්ධයෙන් බලන ආකාරය විශිෂ්ඨයි...

    ReplyDelete