Friday, December 20, 2013

නදීෂාගේ කකුල් වලට ඇති බය



මේ දවස්වල මාතෘකාව නදීෂා හේමමාලි ය. හේතුව යූ.ඇන්.පී ය දකුණෙන් නදීෂා හේමමාලිට නාමයෝජනා දෙන්නට සැරසීමයි. නදීෂා එක්ක එකට ඈ‍ඳෙන නම් ගොඩකි. අනර්කලී, පබා, ගීතා, නිල්මිණි, රෝසි, මාලනී, හිරුණිකා.......

නදීෂා සම්බන්ධව මූණුපොතේ බොහෝ දෙනා ලියා ඇති දේවල් කියවීමි.  ඒවා බොහෝ දුරට සමානය. බොහෝ අයට ඇති ප්‍රශ්නය  දේශපාලන ආයතන ‘ගණිකා මඩම්’ වීමයි. තවත් අය ලියා ඇත්තේ යූ.ඇන්.පී මන්ත්‍රීවරුන් අනාගතයේ ගැනීමට නියමිත සැප පිළිබඳවයි. ඇය ‘ඕල් ඉන් වන්’ පැකේජයක් ලෙසද හඳුන්වා තිබුණි. මන්ත්‍රී/ඇමති වරුන්ට සමාජරෝග පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්විය යුතු බවද ඇතැමුන් කියා තිබුණි. තවත් අය චන්දෙන් පසු දකුණේ චන්දදායක ගොන්නුන්ට හූ කීමට බලා සිටිති. නදීෂාගේ අඟපසඟ වැඩිපුර පෙනෙන පින්තූර කිහිපයක් හැමතැනම දක්නට ඇත. 

මට ඇත්තේ පොඩි ප්‍රශ්නයකි. දැනට පාර්ලිමේන්තුවේ/පළාත්සභාවල ඉන්න උන්ට වඩා අනර්කලී,නදීෂා,ගීතා නරක් වන්නේ මන්ද යන්නයි.  නොඑසේනම් මුතුහෙට්ටිගමට, මනූෂට බය නැති මිනිස්සු නදීෂාට මෙච්චර බය මන්ද යන්නයි.

නදීෂා සමග කියැවෙන නම් කිහිපයෙහි විශේෂත්වයක් ඇත.  ඔවුන් නිරූපිකාවන් හෝ නිළියන්ය. එනම් ලංකාවේ පිරිමින්ගේ ලිංගික සංකේතයන්ය. ඔවුනගේ පවුල් ජීවිත අසාර්ථකය. දරුවන් නැත. (හිටියත් නෑ වගේය) සැලකිය යුතු සමාජ බලයක් සහිතය. නිදැල්ලේ සරයි. පිරිමින්ගේ පාලනයකින් තොරව නිදහසේ තීරණ ගැනීමේ හැකියාව සහිතය. සරලව කිවහොත් කුටුම්භයකට සිරකොට නාස් ලණුව දමා නැත.  
ඇත්තම ප්‍රශ්නේ ඕක නෙමෙයිද?


නදීෂාට අමුතුවෙන් දූෂිත කරන්නට තරම් කිසිදු දේශපාලන ආයතනයක් ලංකාවේ  ඉතිරිව නැත. ලංකාවේ පොඩිම තැන ඉඳන් ලොකුම තැනට යනතෙක් සිටින ඕනෑම දේශපාලක පිරිමියෙක් විසින් මෙතෙක් ගසා කා ඇති මහජන මුදල් ප්‍රමාණයෙන් දශමයක් වත් මේ නම් කියැවෙන ගැහැණුන් විසින් ගසා කා ඇති බවට චෝදනාවක්ද නැත. දේශපාලන බලය යොදා නීතිය දූෂණය කරන, කුඩු බිස්නස් කරන, මැරකම් කරන උන්ට වඩා මේ ගැහැණුන් අහිංසකය.

නදීෂා හෝ ඔය අනිකුත් ගැහැණුන් දේශපාලනය ගැන දන්නා මළදානයක් නැති බව ඇත්තකි. ඔවුන් ළඟ උලව් ජනතා හිතවාදයක්ද නැති බව ඇත්තකි.  ඔවුන් දේශපාලනයට ඒමෙන් රටට හෝ මිනිසුන්ට මොන ඉටිගෙඩියක් වත් නොලැබෙන බවද ඇත්තකි.  එහෙත් දැන් ඉන්න උන් ගාව ඔය මානව හිතවාදේ තියෙනවද? දිනෙන් දින ණයකාරයන් වීම හැර වෙන මොනවද රටට ලැබිලා තියෙන්නේ?


අනෙක් අතට දේශපාලන බලය යොදා නිදිවැදීම අතින් ඔය සිටින බොහෝ පිරිමින් සමග හැරෙන්නටවත් නදීෂාට නොහැකිය. සමාජරෝග පිළිබඳ දනුවත් කිරීමක් ලබා දෙනවානම් දිය යුත්තේ ඒවාට යන නදීෂා, අනර්කලී වැනි ගැහැණුන්ට විනා මේ ආයතනවල සිටින බඩුකාරයින්ට නොවේ.

‍ලංකාවේ දේශපාලනය දූෂිත බව උදේ හවා කියන්නන්ම, නදීෂා දේශපාලනයට ආ විට දේශපාලනය ගණිකා මඩමක් වන බව කීම රසවත්ය. එමගින් ඔවුන් නොකියා කියන්නේ නදීෂා නැති අපාය, නදීෂා සිටින අපායට වඩා හොඳ බවය.  නදීෂාට, අනර්කලීට ඇති බිය එතරම්ය.

ඇත්තම කියනවානම් නදීෂාගේ, අනර්කලීගේ, හිරුණිකාගේ මූණට කවුරුවත් බය නැත.  බය ඔවුන්ගේ කකුල් වලටය. කන්ටේනර් ගණන් වලින් කුඩු බිස්නස් කරන රාජපක්ෂ ආණ්ඩුව නොපරදින්නේද, පැරදුනත් ආපහු රාජපක්ෂ වර්ගයේ ආණ්ඩුවක් බලයට එන්නේද මේ කකුල් වලට බය මිනිසුන්ගේ ඡන්ද නිසාය. හිනා යන කාරණේ මේ මිනිස්සුම බුර්කා අඳින ගෑණුන්ට එරෙහිවීමයි.

මම දකුණේ හිටියානම් නදීෂාට ඡන්දයක් දෙමි.  ඒ ඡන්දයකින් කල හැකි කිසිම දෙයක් නැති රටකට විරෝධය පෑමක් වශයෙනි.

Monday, November 25, 2013

මාලනී කෙල්ල කාලේ...

පින්තූරය - https://www.facebook.com/33000v
සිනමා සක්විතිලා හිටපුකාලේ  
නිළි රැජිණියන් හිටපුකාලේ 
මහා අධ්‍යක්ෂකවරු හිටපු කාලේ  
කළු සුදු වලින් වෙඩි තියපු කාලේ  
නළු නිළියෝ ක්‍රිකට් ගහපු කාලේ  
නමයයි තිහටත් චිත්‍රපටි පෙන්නපු  කාලේ  
සෙනග ඉන්නවනම් දොලහයි තිහත් දුවපුකාලේ  
තමයි කාලේ.....    


මහා ගාන්ධර්වයන් හිටපුකාලේ  
සල්ලි දීලා කැසට් ගත්තු කාලේ  
සින්දු වලින් මොරාල් ගත්තු  කාලේ  
ගම්වල බජව් දාපු කාලේ 

මහා ලේඛකයෝ හිටපු  කාලේ
හංගගෙන පොත් කියවපු කාලේ  
සත පණහේ විශ්ව විද්‍යාල තිබුණු  කාලේ 
සල්ලි දීලා දිනමිණ ගත්තුකාලේ  
චිත්‍රකතා පත්තර බලපු කාලේ  
පත්තර වලින් දේශපාලනය කරපු කාලේ  
පත්තරකාරයා එනකං බලං හිටපු කාලේ 



නාට්‍යකාරයෝ හිටපු  කාලේ  
නාට්‍ය වල සින්දු තිබ්බ කාලේ  
පොල් කොට උඩ ටීටර් පෙන්නපු කාලේ  
බයිසිකල් වල නාට්‍ය බලන්න ගිය කාලේ    


රේඩියෝ එකේ ප්‍රවෘත්ති අහපු කාලේ  
මහා නිවේදකයෝ හිටපු කාලේ  
පිනාගේ ජෝක් වලට හිනාගිය කාලේ  
සින්දු ඉල්ලලා පෝස්ට්කාඩ් යවපු කාලේ  

   
මහා දේශපාලකයෝ හිටපු කාලේ   
වාමාංශික පක්ෂ තිබ්බ කාලේ  
මැයි පෙළපාලි බලන්න කොළඹ ආපු කාලේ  
කොල්ලො කෙල්ලො කැරළි ගහපු කාලේ 


ඩිජිටල් නොතිබ්බ කාලේ  
හැමදේම ඇනලොග්ාලේ... 
මාලනී කෙල්ල කාලේ...  
අම්මපාතමයි කාලේ......!!

Saturday, November 2, 2013

ගඩොලක කතාව


ඔබට ආසන්නවම ඇති බිත්තියේ, ඔබේ ඇස් බැල්මට ඉලක්ක වන තැන කපරාරුවට යටින් ඇති ගඩොලට කතන්දරයක් ඇත. එය මැටි ගඩොලක් නම් කතන්දරය විචිත්‍රය. යම් හෙයකින් එය දංකොටුව,පල්ලම, පුත්තලම, නිකවැරටිය වැනි පළාතක උපත ලද ගඩොලක් නම් කතන්දරය අති විශිෂ්ඨය.

ගඩොල් උපදින්නේ මැටියෙනි. මැටි ගඩොල් කරන්නේ තාත්තලා විසිනි. අම්මලාද නැත්තේ නොවේ. එනිසා සෑම ගඩොලක්ම නිපදවෙන්නේ දරුවන් හේතුවෙනි.

ගඩොල් නිපදවන්නේ වරකට එක බැගිනි. අච්චුව පාදම මත තබන්නේද, එයට මැටි පුරවන්නේද, ඒ මතින් ලීකුඩු ඉසින්නේද අවිඥාණිකවය. සංසාර පුරුද්දටය. ගඩොලින් ගඩොල ගැන සිතේ නැත. සිතේ ඇත්තේ ටාගට් එකක්, වැඩේ අහවර වූ පසු දාගන්නා කසිප්පු වඩිය සහ පොඩි එකා හොඳට ඉගෙනගෙන කටුනායක අධිවේගී මාර්ගයේ පදවාගෙන යාම සඳහා මිලදී ගන්නා වාහනය වැනි සරළ දේවල් ටිකකි.

සෑම ගඩොලක්ම බිත්තියක තැන්පත් වන්නේ එවන් අත් තිහ හතළිහකට මාරුවීමෙන් අනතුරුවය. ගඩොල් සඳහා මැටි කපන්නාගේ සිට අවසන් වරට එය බදාම කපරාරුවකින් වසා දමන්නා දක්වා. ඒ සෑම අතකම ඉලක්කයද, බලාපොරොත්තුවද සමානය. වෙනසක් වෙත්නම් කටුනායක අධිවේගී මාර්ගය වෙනුවට දක්ෂිණ අධිවේගී මාර්ගය ආදේශ වීම වැනි සුළු දෙයක් පමණි. මහා පොදු සාධකය දරුවන්ය. ගඩොල් කැපෙන්නේද, බදාම ඇනෙන්නේද, බිත්ති නැගෙන්නේද, පින්තාරු වන්නේද දරුවන් නිසාය.

මාද දරුවෙකුව සිටියෙමි. එකල මා හේතුවෙන්ද ගඩොල් වන් බොහෝ දේ නිපැයෙන්නට ඇත. එකළ අධිවේගී මාර්ග නොතිබූ හෙයින් ලාන්සර් කාරයක නැගී කොළඹ පාරේ එන රූප රාමුවක් තිබෙන්නට ඉඩ ඇත. එහෙත් අද මට ලාන්සර් තියා මොනම කාරයක්වත් නැත. මගේ දරුවන් වෙනුවෙන් බොහෝ දේ නිපදවන්නට ඇති නිසා කාරයක් ගන්නට අවකාශයක්ද නැත. කොටින්ම මට කාරයකින් ඇති වැඩක්ද නැත.

මා සහ ලාන්සර් කාරයක් පසුබිමේ බොහෝ දහඩිය මුගුරු හෙළුවෙකු සිටි බව සිහිපත් වන විටදී මහත් ශෝකයක් උපදී. මා කවර නම් පරපෝෂිතයෙක්දැයි මහත් දුකක් දැනේ. සියල්ල කර්මය යයි විශ්වාස නොකිරීම ගැන තරහක් උපදී.

පියෙන් පියට ඉහළට යන
හැටි බලන්න බය හිතුනොත්
පුංචි දෑස තදින් පියා ගන්න නංගියේ.....
මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ......

මමත් එහෙම කළා මගේ පුංචි සන්දියේ...... 

Tuesday, October 1, 2013

නිකිණි වන්දනාව ගියා.... හැමෝටම ස්තුතියි.

නිකිණි දන්සැල හෙවත් අපේ වැඩිහිටි වන්දනා ගමන ඉතා සාර්ථකව අවසන් කරගන්න හැකිවුනා.
නිකිණි මාසේ 28 විතර මේ ගමන යන්න කලින් සැලසුම් කලත්, කතරගම දේවාලේ මංගල්‍ය සමය ආසන්න නිසා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙදි කරදර වේවි කියලා දන්න කියන මිතුරන් කීප දෙනෙක් කිව්ව නිසා දිනය ටිකක් පස්සට ගත්තා. ඊට පස්සේ පොදු තීරණයකට ආවා අපේ අති උතුම් වයඹ චන්දෙ අහවර වෙලාම මේක යමු කියලා. ඒක නිසයි නිකිණි සවාරිය බිනර සවාරිය වුනේ.


අපි ගියේ 26 වෙනිදා. පිටත්වුනේ උදේ 4.30 ට විතර. සාමාන්‍යයෙන් මෙහෙ ඈයො කතරගම වන්දනාවෙ යන ගමන් මාර්ගය කනපිට ගහලා තමයි අපි ගියේ. සාමාන්‍යයෙන් යන්නේ කැළණිය/කළුතර/ගාල්ල/මාතර/හම්බන්තොට/කතරගම/මහියංගනය.........
හැබැයි ඒ දවස් පහකට. අපි දවස් තුනකට යන නිසා තීරණය කලේ රත්නපුර හරහා කතරගම ගොහින් මාතර/කොළඹ හරහා එන්න.

අපේ ගමනට වැඩිහිටි අම්මලා 48 දෙනෙකුත්, තාත්තලා 3 දෙනෙකුත් ගියා. තව අතිරේක බලඇණිය හැටියට පොඩිහිටියො තුන් දෙනෙකුත් දාගෙන ගියා. (ආ... අපෙ මායියත් ගියා. දරු දෙන්නත් එක්ක. ඥාති සංග්‍රහ තමා ඉතින්) පළවෙනි වතාවට දකුණේ වන්දනාවක ගිය කෝඩුකාරියො 7 කුත්, කෝඩුකරයො එක්කෙනෙකුත්, කෙල්ල කාලෙ ගියාට පස්සේ කතරගං ගිය අය 14 කුත් කොල්ලා කාලෙ කතරගං ගියාට පස්සෙ ගියපු අය එක්කෙනෙකුත් අපේ නඩේ හිටියා.


පළවෙනි දවසේම නාල කාල රෑ පූජාවට කතරගම දේවාලෙට ගියා. පහුවදා උදේ මම නැගිටිද්දි කස්ටිය කිරි ආහාර උයාගෙන කිරිවෙහෙරට ගිහින්. පස්සෙ උදේට කාලා සෙල්ල කත‍රගම පැත්තේ යන්න සෙට්වුනා.

ඔන්න ඉතිං අපේ ඩ්‍රයිවර් මචං උගේ සංසාර පුරුද්දට ඉස්සෙල්ලාම ගිහින් නැවැත්තුවේ ලක්ෂ්මී දේවාල ප්‍රයිවෙට් ලිමිටඩ් එකේ. මට නං සංසාරෙ එපාවුනා. ඔන්න අපේ කට්ටිය සෙරෙප්පු ගලෝලා මල් එහෙම (සල්ලිවලට) අරන් ලක්ෂ්මී දෙයියො වඳින්න ඇතුල් වෙනකොටම එකෙක් පැත්තක ඉඳං කෑ ගහනවා දෙවියන් වඳින්න කලින් බුදුන් වඳින්න ඕනෙය... ඒක නිසා හැමෝම බුද්ධ මන්දිරයට අනිවාර්යෙං එන්ඩය කියලා. ඉතිං අපේ උන්දැලත් ගොහිං වාඩිවුනා. 

සීවලී යන්ත්‍ර විකුණන බුදුගෙය
මෑන්ස් කට්ටියට පන්සිල් දීලා හෙම පටං ගත්තා සීවලී බිස්නස් එක. ලංකාවේ තියෙන අනික් සීවලී යන්ත්‍ර රාජයෝ බොරු එව්වලු. මෑන්ස් ගාව තියෙන්නෙ ඔරිමජිනල් එව්වලු. කෝමහරි තෙල බෙදලා ඌ අපේ උන්දැලා 25 කින් විතර 300/- ගානෙ කඩාගත්තනේ. එතනින් එහාට මුළු දේවාලෙම එකම පින් කැටයක් තමා. ගරනවා කියලත් එහෙම ගැරිල්ලක්........ මගේ තක්සේරුව අනුව අපේ නඩෙන් විතරක් රුපියල් 12000/- කට වඩා ගරාගත්තා.

RMB සෙල්ල කතරගම කාර්යාලය හෙවත් ලක්ෂ්මී දේවාලේ නුග ගහ
ඒ ගමන මං තනිමතේට තීරණේ කලා දේවාල වැඳිල්ල එතනින්ම නවත්තන්න. කට්ටිය ටිකක් කරුකුරු ගෑවා. හැබැයි තව දවල් වුනොත් සිතුල්පව්වෙ යන්න වෙන්නෑ කිව්වට පස්සෙ ෂේප් වුනා. එතනින්ම සිතුල්පව්වෙ ගිහින් කිරින්දට ආවා. කිරින්දෙන් හම්බන්තොට වරාය බලන්න ආවා.
ප්‍රියත් බන්දු සහෘදයා එවා තිබූ නැව
අපි එනවා කියලා කලින්ම බුකියෙ පබ්ලික් කල නිසාමද මන්දා අපේ හිතමිත්‍ර ප්‍රියත් බන්දු සහෝදරයා වරායට නැවකුත් ගෙන්නලා තිබ්බා. අපිට ඉතිං හරි සන්තෝසයි. කොච්චර සන්තෝසද කියනවනං අපේ උන්දැලා ටික වරාය බැලුවට පස්සේ මත්තල යන්න ඕනෙත් නෑ කිව්වා. ඒ ගමන දෙවෙනි දවසේ නවතින්න මාතර එන්න පිටන් වුනා.

මාතර වෙහෙරහේනෙ ඉඩ නෑ. ඒ තරමට වන්දනා නඩ. ඒ ගමන කොටුවේගොඩ ජයසුමනාරාමෙට ගියා. එතනත් වන්දනා නඩ හයක් විතර හිටියත් එතන ඉඩ තිබ්බා. ඔන්න රෑ 10 ට විතර නිවුස් එකක් ආවා කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ අපවත් වුනා කියලා. මේක ආරංචි වුනා විතරයි මෙන්න අර හිටපු නඩ කීපයක්  හොඳටම කුලප්පු වෙලා බඩුමුට්ටු ආපහු වාහන වලට පටෝනවා. හාමුදුරුවන්ගේ දේහය ගෙනාවොත් දේවාලෙ වහන හින්දා ඊට කලින් බාර හාර ඔප්පු කරගන්න කතරගම යන්න තමයි ලෑස්තිය. සමහර ඩ්‍රයිවර්ලා ඒ වෙනකොටත් කෙලින් ඉන්න බැරි ගානට බීලා. උනුත් වෙරිමරගාතෙම වාහන ස්ටාර්ට් කරන් කතරගම යන්න පිටත් වුනා. මොනව කරගත්තද මන්දා.
උදේට උයමින්
පහුවදා උදේ වෙහෙරහේනට ගියා. මම ඊට කලින් ගිහින් තිබ්බේ නෑ. මම මෙතෙක් ගිය කුජීතම පන්සල. හිඟා කනව කිව්වට එහෙම හිඟාකෑමක්. පිරිත් නූල් විකුණනවා... සල්ලි ඉල්ලනවා... එක කෙළියයි. මුන්ට විළිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ. 
වෙහෙරහේනේ සංකේතය - සල්ලි ගිලින නයා
ඔන්න කට්ටිය ගියා උමං විහාරෙ බලන්න.  ඔහොම බලාගෙන යනකොට පඩිපෙලක් තියෙනවා. ඕක නැගලා ඉවරවෙන තැන මෙන්න හාමුදුරුකෙ‍නෙක්. එයා ඉස්සෙල්ලාම සංඝාඥාවක් නිකුත් කරලා පෝලිමේ ආපු උන් බලෙන්ම ඉන්දුවා. පස්සෙ ඔක්කොම වන්දගෙන ගාථා කීපයක් කියෙව්වා. පස්සෙ පටන්ගත්තා හිඟාකෑම. හිඟාකෑමක්ම නෙමේ. ඒක මංකොල්ල කෑමක්. වෙහෙරහේන ලෝකේ ලොකුම මෙව්ව එක කොරන්ඩලු එයාල යන්නේ. ඒකට ෂල්ලි තමාලු ඕනෙ. අපි ෂල්ලි නොදුන්නොත් චීනෙද කොහෙද එකක් ලොකුම එක වෙලා අපි සෙකන්ඩ් වෙනවලු. ඔන්න ඔහොම හෙන මරිසියක්  දාන්ඩ ගත්තා. හතර වටින්ම කොටුවෙලා හින්දා වෙන යන්ඩ තැනකුත් නෑ. ඒගමන අපේ උන්දැලත් ඔන්න සීයෙ පනහේ ආධාර දෙන්ඩ ගත්තා. හැමෝම ඉස්සරහට යන්න ඕනෙ එයා ගාවින්. ඉතිං කාටවත් සල්ලි නොදී යන්න බෑ. අපි කීප දෙනෙක් දුන්නේ නෑ. ඒ ගමන මෙයා අපි දිහා බලලා කියනවා බුද්ධාගමේ දියුණුව වෙනුවෙන් කැපකිරීමක් කරන්ඩ සිංහලයො හැටියට සමහරුන්ගෙ කොන්ද පණ නෑලු. ඔය ගුබ්බෑයමට අපිම විහින් රිංගපු හින්දා කට වහන් උන්නා. බැරිවෙලා හරි හලාවතින් අහුවෙයල්ලකො.....
ඔන්න ඔය පඩිපෙලේ උඩ තමා මංකොල්ලකාරයා ඉන්නේ
ඊට පස්සෙ ආපහු එන්ඩ හැරුනා. එන ගමන් අපේ නඩේ ගුරා ලව්වා පොඩි ධර්ම සාකච්ඡාවකුත් තිබ්බා. (නඩේ ගුරා මටම සෙට්වෙන සිරාම පොරක්) ගමේ පන්සලේ දායක සබාවෙන් රුපියල් විස්සක් එකතුකරන්න යෝජනා උනාම සිල් රෙදි කරට ගන්න උන්දැලා කොහෙවත් තියෙන කොන්ක්‍රීට් ගොඩවල් හදන්න සිය ගණන්වලින් ලෝස්නැතුව දෙන්නෙ ඇයි කියන ධර්ම කාරණේ අටුවා ටීකා ඇතුවම සාකච්ඡා කලා. අපරාදෙ කියන්න බෑ හැමෝම ඒක පිළිගත්තා. J

සීනිගම වැඳපුදාගෙන, කන්දෙ විහාරෙත් වැඳගෙන, රිච්මන්ඩ් මන්දිරෙත් බලාගෙන කළුතර බෝධියත් වැඳගෙන කැළණියටත් ඇවිත් ආපහු ආවා. එනකොට රෑ 12 ට විතර ඇති.
ඇඩ්වර්ටීස්මන්ට් සහිත බණකතා - වෙහෙරහේන
මුළු ගමන පුරාම කාටවත් බඩේ අමාරුවක තරම්වත් කදරයක් නොවුන එක ලොකු සතුටක්. අනික හැමෝම මුළු ගමන පුරාම සතුටෙන් හිටියා. පරණ පාරම්පරික තරහ මරහ තිබ්බ උන්දැලා කීප පොළකුත් ගමන අන්තිමේ යාළුවෙලත් හිටියා. පළවෙනි දවස ගමන් මහන්සිය හින්දත්, දෙවෙනි දවස ළඟ පාතම කරක් ගහපු නිසාත් වැඩියෙ සද්දෙ දාන්න බැරිවුනත් ආපහු එන ගමනෙ නං ගමන පුරාවටම කට්ටිය ෆුල් ෆන් එකක් ගත්තා. කවදාවත් සින්දුවක් වත් නොකියපු අය පවා බස් එකේ නැටුවා. J අපේ ඩ්‍රයිවර් මිත්‍රයා මිනිහගේ අත්දැකීම් වලින් කිව්වේ වෙන ට්‍රිප් වල ඔය නැටිල්ල නටන්න අඩුම ගානේ ගල් බෝතල් පහ හයක්වත් හිස් වෙන බව. හැමෝම කිව්වෙ තව දවසක් තිබ්බනං කියලා.
නඩේ ගුරා - තිලකෙ මාමා
මේ ගමන ගැන මං දාපු නිකිණි දන්සැල පෝස්ට් එක කියවලා විශාල පිරිසක්  උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒ නිසා තමයි බය නැතුව වැඩේට බැස්සේ. එහෙම නොවෙන්න මේ ගමන යැවෙන්නෙ නෑ. පස්සෙ නඩේ ගුරා එක්ක කතා කරලා ගමන ටිකක් අඩු වියදම් විදිහට සැලසුම් කරපු නිසා උදව් අවශ්‍ය උනොත් පස්සෙ දන්නන්නං කියපු ගොඩක් දෙනෙකුට නැවත මතක් කලේ නෑ. ඒක නිසා උදව් කරන්න ඉදිරිපත්වුන, සුබපතපු, ගමනේ විස්තර හොයාබලපු හැමෝම මේකට එකවගේ සම්මාදම් වුනා.   නඩේ අය කළුතරදි ඒ අය දන්න නොදන්න වචනයකින් හරි උදව්කල, උදව් කරන්න ඉදිරිපත් වුන  හැමෝටම පිරිසිදු සිතින්  පින් දුන්නා.


පින්තූර ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. කැමරාවක් තිබ්බේ මං ළඟ විතරයි. ඒකෙත් බලන් ඉද්දි බැටරි බහිනවා. මුළු ගමන පුරාම මම ටිකක් අවිවේකී වුන නිසා පිළිවෙලකට එක පින්තූරයක් වත් ගන්න වුනේ නෑ. (දන්නවනේ තියෙන වැඩ? බස් එකෙන් බස්සන්න... පඩිපේලි නග්ගන්න... හෙමින් යන අය එක්ක යන්න... කාලය අමතක වෙන අය ගැන අවධානයෙන් ඉඳලා ආපහු එක්ක යන්න... ශරීර කෘත්‍යය කරන්න අවශ්‍ය අය අදාල තැන්වලට එක්ක යන්න...)  එහෙම පින්තූර ගන්න අවස්ථාව තිබ්බ දෙපොලකම ඒ උලව්වෙ බැටරි බැහැලා වැඩේ අල වුනා.


ඔය වීඩියෝ එකේ තියෙන්නේ අවුරුද්දකට පැය කීපයක් විතරක් කට්ටියට ගන්න ලැබෙන විනෝදේ.


කෝම හරි සාරාංශය මේමයි. පුද්ගලිකයව මම මෙතෙක් ගිය සිරාම ට්‍රිප් එකක්. අපේ වැඩිහිටි නඩෙත් ගෙවල් දොරවල් සහමුලින්ම අමතක කරලා උපරිම සැහැල්ලුවෙන් සතුටින් හිතේ හැටියට වන්දනමාන කරගත්තු ගමනක්. උදව්කල, සුබපතපු හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය.

Sunday, September 15, 2013

සීතා.... මාත් ආවා...!!


රාවණා ගේ සිරුර ගැන අසන්නට ලැබෙන කට්ටඩියෙක් ලංකාවට පැමිණේ. ගයිඩ් කෙනෙකුත් පැමිණ ඇත. රාවණාට පණ එයි. ඔහු සීතා සොයයි. සීතා අඩනිරුවත් රැගුම රගන නිළියකි. ( නිළියකගේ උතුම් චරිතය සීතා ට හරියටම ගැලපේ. මන්ද නිළියන් තරම් පතිවත රකින ගැහැණුන් අද ලොව වෙන සොයාගන්නට ද නැති නිසාය )

රාමා ද ඉන්දියාවේ සිට පැමිණේ. ඔහු එන්නේ රාමචන්ද්‍රන් නමැති බිස්නස් කාරයෙකු ලෙසය. රාමා සමග සටන් කරන්නට රාවණා ගුබ්බෑයමක පාතාල චන්ඩියෙකුගේ ඇගට වැහේ. ඔලුවෙන් බාගයක් පාතාලයාගෙන් ගන්නා තෙද බලැති රාවණා උවමනා වූ විට පැපොල් ද මවයි. ජීවත් වන්නට හැටියක් නැතුව පොල් මවා විකුණයි. රාමා ද එම පොල් ඉන්දියාවට පටවන්නට සූදානම්ය. වැඩේ මාරෙට යයි.


සීතා අඩ නිරුවතින් කලව පෙන්න පෙන්නා නටයි.


“සීතා මං ආවා” චිත්තරපටියේ කථාව දෙබස්  තිරරචනය සහ අධ්‍යක්ෂණය කියලා වැඩ හතරක්ම කරපු ජයසේකර අපොන්සු -

.....දින 44 ක කාලයක් පුරා මේ චිත්‍රපටිය දියතලාව ප්‍රදේශයේ රූගත කලා.... මේ චිත්‍රපටයේ දී රාවණා රජුට කිසිදු අපහාසයක් සිදුවන්නේ නෑ. රාවණා රජුගේ අසහාය ශක්තිය හා ප්‍රබලත්වය ඉස්මතු වන ආකාරයෙන් මෙය නිර්මාණය කර තිබෙනවා.....  අපට අවශ්‍ය සිනමා කර්මාන්තය තුළ අපේ දේ අපේ ජනතාවට කියාදීම පමණයි.

මිස්ටර් ඉත්තෑකන්ද -

.....රාම රාවණා සීතා නම් තුන ඉවත් නොකොට මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ඉඩ දෙන්නේ නෑ... රාවණා රජතුමා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාල අද්විතීය වෙනස්කම් කරනු ලැබූ රජතුමෙකි. එතුමාගේ චරිතයට විශාල හානියක් හා අපහාසයක් මේ චිත්‍රපටයෙන් සිදු කරනවා. ඉදිරියේදී අප මේ සඳහා අවශ්‍ය නීතිමය පියවර හා තීන්දු තීරණ ගන්නවා.

බොරැල්ල රිට්ස් සිනමා හලේ කළමනාකරු මාටින් අයියා -

....මා වසර 32ක් චිත්‍රපට සංස්ථාවේ නොයෙක් ධුරයන් දරා ක්‍රියා කර ඇතිමුත් ඒ කාලයේ මෙවන් අද්වීතිය චිත්‍රපටයක් නරඹා නැත. ....


බොරැල්ල ඕ.අයි.සී.-

කටවුට් සේරම ගලවනවා... මේක පෙන්නන්න දෙන්ඩ බෑ.......

නිෂ්පාදක චමින්ද මල්ලී -

...මා රුපියල් කෝටියකට වඩා චිත්‍රපටයට වියදම් කළා. මෙසේ කළේ ණය වෙමින් හොඳ බෞද්ධයෙකු ලෙස රාවණා රජතුමාගේත් බෞද්ධ භික්ෂුන් වහන්සේගේත් ඇති බලය තවදුරටත් ලොවට ඉස්මතු කිරීමටයි..... මා උත්සාහ කළේ අපේ අභාවයට යන සංස්කෘතියත් පැරණි පුරාවෘතාන්තත් ඉදිරියට ගෙන ඒමටයි. ඒවා අලුත් පරම්පරාවට දායාද කිරීමටයි.


චංචලා නංගී -

'රාමායණය' කියන විශිෂ්ට කෘතිය හොඳින් පරිශීලනය කරලා තමයි මෙහි අධ්‍යක්‍ෂ ප්‍රවීණ කලා ශිල්පී ජයසේකර අපෝන්සු මට 'සීතා' ජීවය මැවීම බාර කළේ.... ඇත්තටම මේ චරිතය මගේ ජීවන චරිතය වගේම සංවේදී චරිතයක්‌. මෙහි හැඬුම් එන දර්ශනවලදී මට කොයි මොහොතකවත් 'ග්ලිසරින්' දමන්න සිදුවූණේ නැහැ. මමත් ඇත්තටම "තුන්වැනි ලෝකයේ ගැහැනියක" විදිහට සීතා චරිතයට ගරු කරනවා. ආදරය කරනවා. මම සිතන විදිහට හැම ගැහැනියකම පෙරුම් පුරන්නේ සීතා වගේ වෙන්න. ඒකයි මම කියන්නේ මේ චරිතය මා ජීවියේ ලැබූ ලොකුම භාග්‍යක්‌ කිලා........

---------------------------------------

.
.
.
.
I Don't Want to Live on this Planet Anymore
.

Follow by Email