Tuesday, June 11, 2013

‘දෙදෙනාටම සතුට’ - රාවණ බලය



මම මේ ලිවිල්ලත් අතහැරලා දාලා තිබ්බේ. මොකද දැන් අලුතෙන් ලියන්ඩ දේවල් නැති හින්දා. වෙන්නෙ කෙරෙන්නෙ මොනවද කියලා හැමෝම දන්නවනේ. ඒ උනාට ඊයෙ වෙච්චි දෙයක් මට එච්චර ඇල්ලුවේ නෑ. අර රාවණ බලයෙ කට්ටිය ගිහින් ක්‍රිකට් ආයතනය වැටලුවනේ.

රාවණ බලයේ නිර්මාතෘවරයාය කියන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස කියන  බෞද්ධ භික්ෂූව පහුගියදාක සිරසේ ‘සටන’ කියන ආතල් වැඩසටහනට ආවනේ. (අපරාදෙ කියන්ඩ බෑ බොදු බල සේනාවයි සිංහල රාවයයි කොටි සිරසට රේටින්ග්ස් දෙන්න අකමැති හින්දද මන්දා වැඩේ මගඇරියා)
එතන සද්ධාතිස්ස කියපුවා ඒ විදිහටම මතක නෑ. මෙන්න මේ වගේ සංවාදයක් වුනේ.

ඔන්න සද්ධාතිස්ස අමාරුවේ දාන්න කියල හිතාගෙන(ලොල්)  අර මාධ්‍යවේදී කියන කස්ටිය (ඒක ඒගොල්ලොම තමයි කියාගන්නෙ)  මෙන්න මේ වගේ  ප්‍රස්නයක් අහනවා...
“දැං ඔබවහන්සෙ හිතන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට ඒගොල්ලන්ගෙ දේශපාලන අයිතිවාසිකම් දිය යුතුද?”
සද්ධාතිස්සගෙ උත්තරේ.....
“අනිවාර්යෙන්ම දිය යුතුයි.... ඒගොල්ලො මේ රටේ පිරිසක්.....”
“එතකොට මුස්ලිම් ජනතාව....?”
“අනිවාර්යෙන්ම මුස්ලිම් ජනතාවට ඒ අයගේ අනන්‍යතාව රැකෙන විදිහට ජීවත්වෙන්න ලැබෙන්න ඕනෙ....”
“මේ රටේ පුද්ගල අතුරුදන්වීම්....?”
“අනිවාර්යෙන්ම ඒවා ගැන හොයලා වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ....”
ඔන්න ඔහොම.

හරි වැඩේ. පාක්‍යසෝති සරවනමුත්තු කියන ඒවම ඉත්තෑකන්දේ සද්ධාතිස්සත් කියනවා. කිරම විමලජෝතිත් කියනවා. මහින්ද රාජපක්ෂත් කියනවා. වික්‍රමබාහුත් කියනවා.රනිලුත් කියනවා. චන්ද්‍රිකාත් කියනවා. සොල්හයිමුත් කියනවා.  දැං ප්‍රස්නේ තමයි ඕක කියන්න වික්‍රමබාහු ඉඳිද්දි සද්ධාතිස්ස මොකටද වෙනම රාවණා බලයක් හදන්නෙ?

උත්තරේ තමයි බාහුලා, පාක්‍යසෝතිල, රනිල්ලා නොකරන දෙයක් කරන්න. ඒ තමයි ක්‍රිකට් ආයතනය වැටලීම. ඉස්සරහට මේගොල්ලො ජාතික රැඟුම් පාලක මණ්ඩලය, පෑලියගොඩ මාළු මාකට් එක, ලිබර්ටි ප්ලාසා එක, දෙහිවල සත්තුවත්ත, වෝටර් වර්ල්ඩ් එක, පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව වගේ ආයතන විශාල ප්‍රමාණයක් වටලන්න නියමිතයි.

රාවණ බලයේ කට්ටිය කියන්නෙ පොඩි දෙයක්. සිංහලයන්ගේ (= ලාංකිකයන්ගේ) ආතල් එක කඩන්න එපා. (මේ අදහසට විරුද්ද කවුරුහරි ඉන්නවනම් ‘රාවණ බලය’ ක්‍රිකට් ආයතනය වටලපු එක ගැන වෙන පැහැදිලි කිරීමක් තියේනම් කියන්නකො)
වික්‍රමබාහු කියන්නෙ දෙමලා මනුස්සයෙක් කියලනේ. එයා ආතල් කඩනවා. (ඒක වෙනම ආතල් එකක් හරිය?) සද්ධාතිස්ස දෙමලා ගැන එහෙමටම මොකුත් කියන්නෙ නෑ. එයා කියන්නෙ ආතල් කඩන්න එපා කියල විතරයි.

දැන් මහවිලච්චිය ගත්තොත්, එහෙ මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණේ බොන්න වතුර නැති කමනේ. ලිංවල වතුර බිව්වොත් වකුගඩු වලට අනිවා ඩෙෆා කෙලවෙනවා. දැන දැන බොනවා. වෙන මොනවා කරන්නද? පිළියන්දල පැත්තෙ ඉන්න කෙනෙකුට මේක කල්පනා වෙද්දි ටිකක් අමාරුයි. මේවා ඉස්සරහට දාගෙන දේශපාලනේ කරන එකත් ගොඩක් අමාරුයි. මොකද වකුගඩු කියන්නෙ ඇඟ ඇතුලේ ඇත්තටම තියෙන දෙයක්නේ. ඒක නිසා දේශපාලනය කියලා හිතුනු හිතුනු දේ කරන්න බෑ. ඉතිං ඒ වැඩේ කාටවත්ම ආතල් නෑ.

හැබැයි ඒ වගේ නෙමේ ‘සිංහල ජාතිය’ කිව්වාම. ඒක වකුගඩුවක් වගේ නිශ්චිතවම අහවල් තැන තියෙන අහවල් හැඩයේ එකක්ය කියලා කියන්න කාටවත්ම බැරි නිසා ඕනෙම කෙනෙකුට තමුන්ට කැමති හැඩයකට ඒක ඇඳගෙන වැඩේට බහින්න පුළුවන්. මේක බොරුයි කියන කවුරුහරි ඉන්නවනම් සද්ධාතිස්සගෙන් ගිහින් අහන්නකො වම්බොට්ටා සිංහලයෙක්ද කියලා. එයා ගත් කටටම කියනවා ජාතකේ සිංහල වුනාට උගෙ කෙරුවාව සිංහල නෙමේ කියලා. බස්වල ජැක් ගහන උන් සිංහල කමට නිගා කරන අහිගුණ්ටිකයො පිරිසක්. සුනාමි වෙලාවෙ මූදු වතුර දැක්කෙවත් නැති උන් පැරෑලියට ඇවිත් ආධාර හිඟාකෑවෙ? උනුත් නියම සිංහලයො නෙමේ. ආයතන වල හොරකම් කරන උන්? උනුත් සිංහල කමට නිගා කරන උන්. කෙල්ලො අමාරුවෙ දාලා මාරුවෙන උන්? උනුත් නෑ. මුස්ලිම් දෙමල කඩ වලින් කන උන්? හලාල් ගැන නොබලා බඩු ගන්න උන්?


ඔහොම එක එකා ගත්තාම මේ රටේ සිංහලයො දෙතුන් සීයකට වඩා නෑ. ඒ උනාට අයි.සී.සී කප් එකේදි සිංහල සින්දු කෑල්ලක් වෙනුවට හින්දි කෑල්ලක් ගහපු ගමන් ඔන්න මහවිලච්චියේ වකුගඩු නරක් වෙලා ඇ‍ඳේ ඉන්න එකාගෙ ඉඳන් මුළු රටටම තදවෙනවා. තම තමුන්ගේ සිංහල ජාතියට කෙළවීම නිසා ආතල් කැඩිලා.

ඉතින් සද්ධාතිස්ස ක්‍රිකට් ආයතනය වැටලීම කියන්නෙ නිකම්ම නිකම් සිංහල ගොන්පාට් එකක් නෙමේ. ජීවත්වීමේ විලාසිතාවක්. රටෙන් කාලක වකුගඩු කුණූවෙද්දිත්, රටේ සීයට හැට හැත්තෑවකට හරියකට තුන්වේල කන්න නැතුව බොකු බඩවැල්වලට කෙලවෙද්දිත්, ආතල් එකේ ඉන්න පුළුවන් තරම් දියුණූ ජීවන මාදිලියක්. බොදු බල සේනාවෙ, සිංහල රාවයේ, රාවණ බලයේ  බැනර් ෂෙයාර් කරන උන් ගැන වෙලාවකට ඉරිසියත් හිතෙනවා.