Thursday, May 10, 2012

ලිඳෙන් "ආපු" හාමුදුරුවො...

මේ කතාවත් මම කලින් ලිව්ව 'ලි‍ඳේ පැන්න නාමලී' ලගෙ ගමට සම්බන්ධයි. ඒකාලෙ මම නියුතුව උන්නු එක්තරා ක්ෂේත්‍ර රාජකාරි කටයුත්තකට අදාලව නාමලීලගෙ ගමේ මාස කීපයක් කටයුතු කරන්න සිද්දවුනා. මට ඒ සඳහා මුලින්ම කරන්න වුනේ ගමේම සම්බන්ධීකරණ කාර්යාලයක් හදාගන්න එක. ඒ වෙනකොටත් මට ඔත්තුවක් ලැබිල තිබුණෙ නාමලීලගෙ පන්සලේ බණමඩුවෙ වහල දාල තියෙන කාමරයක් ගැන. පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් ඔය ගැන අහන්න හිතං ඉද්දි තමයි මට අහම්බෙන් තිස්ස අයියා හම්බවුනේ. තිස්ස අයියගෙ ප්‍රතිචාරය නම් එච්චරම හොඳ එකක් වුනේ නෑ.

"අනේ මන්ද මල්ලි.... වෙන තැනක් නැද්ද? කමක් නෑ... ටිකක් කල්පනාවෙන් ඉඳපං... අන්තිමේ උඹේ නමත් චාටර් වෙන්ඩ පුලුවන්..."
"....?..."
"ඕකෙ ඉන්න හාමුදුරුවො ටිකක් අමුතු පොරක් මං හිතන්නෙ.... මම දවසක් දැක්කා......"
"හාමුදුරුවො?"
"ඔව් බං.... ඒ දවස්වල මගෙ වත්තෙ වැඩ කෙරුවෙ ඔය ගමේ මනුස්සයෙක්.... දවසක් මොකක්හරි හදිස්සියට මම මෑන්ව හොයාගන්ඩ පාර අහගෙන ගියා... ගිහින් වැටුනෙ ඔය ගම්මණ්ඩියට...... කොළණියක්... ඒ කාලෙ ගෙවල් දොරවල් වත් හරියකට තිබුණෙ නෑ...."
"ඉතින්.....?"
"ගිහින් මම ගෙයක් ඉස්සරහ බයික් එක නැවැත්තුවා..... ගේ අහගන්ඩ.... ගේ පිටිපස්සෙන් මැදිවයසේ ගෑනු කෙනෙක් ගෙට යනවා දැක්කා.... ඒ මනුස්සයා මාව දැක්කෙ නෑ.... ගෙට එහායින් ලිඳක් කපනවා..... එතන ලණුවක සිවුරක් දාල තිබුණා...."
"සිවුරක්...?"
"ලිඳ ඇතුලෙන් සද්දයක් ආපු හින්දා මම එතනට ගියා.... කවුරුහරි වැඩ ඇති කියල හිතාගෙන..... ගේ අහගන්ඩ..... ලිඳ ඇතුලෙ කවුරුහරි වැඩ.... මම දැක්කෙ තට්ට මනුස්සයෙක් අලවංගුවකින් පොළව හාරනවා...... යකෝ ඇඳං ඉන්නෙ අඳනයක්....."
"හුටා....."
"මෑන් කවුරුහරි ආව කියල දැනිල වගේ උඩ බැලුවා. ඊට පස්සෙ මගෙන් ඇහුවා.... 'මහත්තයෝ වෙලාව කීයද' කියලා.......
මම  හිතන්නෙ එතකොට එකොලහටත් කිට්ටුයි.... පස්සෙ 'ම්.... යන්ඩ ඕනෙ....' කියලා උඩ තිබුනු මාංගු ඉනිමගක් ඇතුලට දාන්ඩ කිව්වා..... පස්සෙ ඒකෙ නැගල උඩට ඇවිත් සිවුරත් කරේ දාගෙන මං ගැන අහල මට පාරත් කිව්වා....... පස්සෙ මං ගියා....."
"මාර බඩුවක්නෙ...."
"මාර කියන්නෙ.... යකෝ මටත් අප්සෙට්.... මං හිතන්නෙ ඒ ගෙදර අර ගෑනි විතරයි ඉන්නෙ.... කියන්නෙ කරගන්න මගුලක් ඒ විදිහට කරගනිංකො..... ගෙවල්වල රිංගගෙන... ලිං කපාගෙන... වාල් වැඩ කරලා.... චික් විතරක්...... අඩුගානෙ සිවුරෙ ගෞරවේ තියපං......"

දවස් කීපයකට පස්සෙ මම පන්සලට ගියේ ඔය කහටත් ඔලුවෙ තියාගෙන. පන්සලේ කවුරුවත් නෑ. පැය බාගෙකට විතර පස්සෙ හාමුදුරුවො වැලි පාර දිගේ එනවා. ගිනි කාෂ්ටක අව්ව. අඩුගානෙ සෙරෙප්පු දෙකක්වත් නැතුව. වයස අවුරුදු පනස් පහක් විතර ඇති. සාමාන්‍ය උස, අව්වට කළුගැහුනු කෙට්ටු කෙනෙක්. හාමුදුරු කෙනෙකුගේ සෝමාරි පෙනුම වෙනුවට හොඳට බරවැඩ කරන මිනිහෙකුගේ කරංගෑටි වුන ඇඟක්.

මාව බොහොම සන්තෝසෙන් පිලිගත්තා. කාර්යාල කාමරේ අස්පස් කරලා දෙන වැඩෙත් හාමුදුරුවො බලෙන්ම බාරගත්තා. ආවාසගෙයි කුස්සියට ගිහින් හාමුදුරුවොම තේ වක්කරලා මටත් ප්ලේන්ටියක් හදලා දුන්නා. මමත් වැළඳුවා. වෙන මොනවා කරන්නද?

මේ පන්සල ආරම්භ කරල තියෙන්නෙ ධම්මාරාම කියල බොහොම උගත් සිල්වත් හාමුදුරුනමක්. උන් වහන්සෙගෙ ස්මාරකය තාමත් පන්සල් ඉඩමෙ තියෙනවා. ඊට පස්සෙ ආපු හාමුදුරුවො ගමෙන්ම පෙලවහක් කරගෙන සිවුරු ඇරලා ගියා. ඊට පස්සෙ අපේ කතානායක රතනපාල හාමුදුරුවො.

පළවෙනි සතිය දෙකේ මට තිබුන ලොකුම ප්‍රශ්නේ අපි අතර සම්බන්ධතාව මොන මට්ටමෙන් ගෙනියනවද කියන එක. මොකද හැමුදුරුනමක් සහ ගිහියෙක් අතර සම්බන්ධතාවයක් එතන තිබුනෙ නැහැ. පන්සලේ ඇබිත්තයෙක් හිටියෙත් නෑ. හැමදේම කරගත්තෙ හාමුදුරුවො.

දවසක් දවල් දොලහට විතර හාමුදුරුවො මට කතාකලා.
"මහත්තයො.... තරහ නැතුව පාං රාත්තලක් ගේමුද?"
ඔය තමයි මට කියපු පලවෙනි වැඩේ.
"ඇයි හාමුදුරුවනේ දානෙ.....?"
"අද දානෙ නෑ මහත්තයො... මං ඕව දායකයන්ට කියල කරදර කරන්නෙත් නෑ.... උනුත් සේරම එදාවේල ජීවත් වෙන උං..... ආ.... පුලුවන්නං රාජා සුරුට්ටු මිටියකුත්......."
මම පාං අරං එනකොට හාමුදුරුවො පරිප්පු හොද්දක් හදලා. පාන් රාත්තල දෙකට කපාගෙන අපි දෙන්නා කෑවා. මගේ ජීවිතය තුල මම කාපු රසම පරිප්පු හොද්දක්.

වැඩකරන දවස්වල මම නමයට විතර පන්සලට එනකොට හාමුදුරුවො අඳනය පිටින්ම කොහෙහරි වැඩක්. එක්කෝ අගලක් කපනවා. නැතිනම් පාත්තියක් දානවා. උදළු ගානවා. දවසක් හාමුදුරුවොම මට ඕක පැහැදිලි කලා.
"මම නිකවැරටියෙ.... අපෙ අප්පුච්චල හේන් ගොවිතැන් කොලේ..... අපිත් හරි හරියට ඕවයෙ ඔට්ටු උනා.... අද උනත් උදේට පැයක් වත් මොකක්හරි වැඩක් කලේ නැත්තං දවසම ඇඟට පණ නෑ වගේ.... පුරුද්දට ගිහින්.... හෙහ් හෙහ්...."
හාමුදුරුවො මම එක්ක කියපු විදිහට වැඩිදුර ඉගෙනගෙන නෑ. පස්සෙ හාමුදුරුකෙනෙක් මෙයාව මහණ කරන්න ඉල්ලුවම හාමුදුරුවන්ගෙ පියා කැමතිවෙලා.
"අප්පුච්චා ගෙදර ඇවිත් කිව්වෙ මොකද්ද දන්නවද?
'තෝ මෙහෙ හිටියොත් අපි වගේම හේනක නටුගැහිල යයි. පංසලට ගියොත් තෝ කාලවත් ඉඳී.... පල....!'
එහෙම තමයි තාත්තල......"

රෑට බඩගිනි හැදුනාම රොටියක් පුච්චගෙන කනවා කියලත් හාමුදුරුවොමයි කිව්වෙ.
"මහත්තයෝ... නිකං පන්සලේ ඉන්න කෙනාටනං එක වේලත් ඇති.... ඒත් මං දවස තිස්සෙ වැඩකරන මනුස්සයා..... අනික මං මිසක් මගෙ බඩපණුවො කෝටියක් සංවර සීලෙ රකින්ඩ පොරොන්දු වෙලා නෑනෙ... හෙහ්....."
මේ මොන කතන්දර උනත් හාමුදුරුවො දිනපතා ගමේ රෝන්දෙ ගහන එක නං මට ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. විශේෂයෙන් තිස්ස අයියගෙ කතාවත් එක්ක. ඒත් මං අහන්ඩ ගියෙ නෑ. දවසක් හාමුදුරුවොම එලියට බහින ගමන් මට ඒක කිව්වා.
"මං ටිකක් ඇවිදල එන්නං මහත්තයො.... මුංගෙ විස්සකට තිහකට  ගෙවල් හදන්ඩ මන්ත්‍රිතුමාට කියලා නිවාස ආදාර අරං දුන්නට එක බල්ලෙක්වත් වැඩ පටංගන්නෑ...... මුංට ඊට ලොකුයි කසිප්පු බොන්ඩ දවසෙ කීයක්හරි හොයාගන්න එක. සමහර උංගෙ සිමෙන්ති දැං ගල්වෙන්ඩ පටං අරං... එව්ව ඔය ගල්වෙවී හරි තියෙන්නෙ මං දවසගානෙ ගිහිං බලන හිංදා.... දවස් දෙකක් යන්ඩ බැරිඋනොත් මුං එච්ච විකුනලා කසිප්පු බොනවා..... ඊයෙ එකෙක්ගෙ අත්තිවාරමක් මංමයි කපන්ඩ ඇල්ලුවේ...මං කියල ආවෙ අද කපාපිය මං බලන්ඩ එනව කියල...."

මේ නිවාස ආධාර කතාව ඇත්තක්. ගමේ මිනිස්සුන්ගෙ කල්කිරියාවත් ඔය කියපු විදිහම තමයි. ඕනෙ එකක් වෙන්ඩ මගෙ ප්‍රශ්නෙත් මම ඒ වෙලාවෙම අහල දැම්මා.
"මගෙ යාලුවෙක් දැකල තියෙනව හාමුදුරුවො කාගෙද ලිඳක් කපනවත්......"
"ම්........"
හාමුදුරුවො ඇවිත් බණ මඩුවෙ වාඩිවුනා.
"ඔය කියන්නෙ කුසුමාවතීලගෙ ඉඩමෙ ලිඳ.... ඕකෙ බඹ දෙකහමාරක් විතර කැපුවෙ මම තනියම කිව්වත් හරි...... ඒ දවස්වල මුං නෑවෙ වැවෙං. බොන්ඩ වතුර ගේන්ඩ හැතැම්ම බාගයක් විතර පයිං ගියා. ඒගමන මන්ත්‍රීතුමාට කංකෙඳිරි ගාල ලිඳකට ගලුයි සිමෙන්තියි ඉල්ලගත්තෙ මගෙ කටේ බලේට. ලිඳ කපල බැඳගන්ඩ ඕනෙ ගමේ උං....."
"ඉතිං හාමුදුරුවනේ...?"
"මම නැකතකුත් බලල කිරි උතුරෝල වැඩේ පටන් ගත්තා.... දවස් කීපයක් යද්දි ගමේ උං එකා දෙන්න නෑවිත් ඉන්ඩ ගත්තා.  අන්තිමේදි මූනිච්චාවට එක එකත් පැය බාගයක් ඉඳල මාරුවෙලා යනව කසිප්පු පැලෙන්ඩ.... යල් වැස්ස අතළඟ.... කරන්ඩ දෙයක් නැති තැන මං ලිඳට බැස්සා......
වටේ ගෙවල්වල ගෑණු පස් ඇද්දා..... බඹ තුනක් විතර ගියාට පස්සෙ ඔන්න මිනිස්සුංටම ලැජ්ජ හිතිලද කොහෙද ඇවිත් තව බඹ එකහමාරක් කපලා මහ වැස්සෙම ලිඳ බැන්දා..... වැඩේ අහවර වෙනකං දවල් රෑ දෙකේ උංව රන්දෝගෙන මාත් බදාම ඇනුවා........ හහ්...
මහත්තයට කියන්ඩ පහුගිය මහ පෑවිල්ලට මේ අහල ගංවල හැම ලිඳම හිඳුනත් මේක හිඳුන්නෑ....... ගමම වතුර බිව්වෙ ඕකෙං...... මමයි තැන බැලුවෙත්.... මහ පොලොවෙ එහෙම තැන් තියෙනවා......"

මට දැනුන විදිහට ගමේ මිනිස්සුන්ගෙ හාමුදුරුවන්ට තිබුනෙ ගෞරවයකට වඩා බයක්. හාමුදුරුවො මන්තර ගුරුකම් දන්නව කියල හිතං හිටපු නිසා වෙන්නැති. ඔවුන් කතා බහ කලෙත් එතරම් ගරුසරුවකින් නෙමෙයි. හාමුදුරුවො උගත් නැති බවත් මිනිස්සු දැනගෙන හිටියා. මම දන්න විදිහට ඔහු කවදාවත් බණ කියලා නැහැ. ඔය පැන්වඩන ගාථාවයි, බෝධිපූජා ගාථා ටිකයි, අනෙක් එදිනෙදා අවශ්‍ය වෙන ගාථා ටිකයි ඇරුනාම දැනගෙන හිටපු වෙන ධර්මයකුත් නෑ මං හිතන්නෙ. තවත් විශේෂ දෙයක් තියෙනවා. මිනිස්සුන්ගෙන් වැඳුම් ලබන්න ඔහු ආශා කලෙත් නෑ.

හාමුදුරුවන්ට ඉඩම් ප්‍රශ්නෙකුත් තිබුනා. පන්සලෙන් වගා කරපු ලියදු කෑලි පහ හයක අනවසර කුඹුරක් සංවර්ධන වැඩකට රජයෙන් අත්පත් කරගන්න සැලසුම් කෙරෙමින් තිබුණා. 
"මම මලත් ඕක දෙන්නෑ මහත්තයො... මං මේකෙ ඉඳල මැරිල යයි. ඊට පස්සෙ එන හාමුදුරුකෙනෙකුට වත් මේ ගමේ වසන්ඩ නං ඕකවත් තියෙන්ඩ ඕනෙ... මේ වේසිගෙ පුතාල හිතං ඉන්නෙ පන්සල කියන්නෙ ගමේ කෑල්ලක් නෙමේ කියලා...."

මම නාමලීලගෙ ගමෙන් ඇවිත් වසර හයකට විතර පස්සෙ ආරංචිවුනා හාමුදුරුවො හදිස්සියෙ අපවත් උනා කියලා. හෘදයාබාධයකින්. හරියටම අර කුඹුරු ඉඩම රජයට අත්පත් කරගත්තුදා. මිනිස්සු කිව්වෙ ඉඩම් තන්හාවෙන් නහරයක් පුපුරලා මලා කියලා. ආරංචිය එද්දි ආදාහන උත්සවයත් ඉවරවෙලා.

මම මෑතකදී මල ගෙදරකට සහභාගි වෙන්න නාමලීලගෙ ගම මැදින් ගියා. පන්සල වල් වැදිලා. පන්සල පටන්ගත්තු පණ්ඩිත ධම්මාරාම හාමුදුරුවො කළු ගැහුනු ස්මාරකයක් වෙලා පන්සල් වත්තෙ මුල්ලක ඉලුක් කැලෑවෙන් වැහෙමින් පවතිනවා. පන්සල අවසන් කල රතනපාල හාමුරුවො ඒ මහ ඉඩෝරයේ ගම මැද සරුසාර ලිඳක් වෙලා මුළු ගමක පිපාසයට වතුර දෙනවා.

කෝටියක් සංවර ශීලය තබා පන්සිල් වත් හරියට නොරැකපු රතනපාල හාමුදුරුවො මොන අර්ථයෙන්වත් හොඳ භික්ෂුවක් නෙමෙයි. නමුත් ඔහු හොඳ බුද්ධ පුත්‍රයෙක්.

62 comments:

  1. බ්ලොග් ලියන්නෙ කියවන්න තමයි. ඒත් මේක ලියලා දැනට අවුරුද්දක් විතර උනත් පබ්ලිෂ් කරන්න හිතුනෙ නෑ.

    ReplyDelete
  2. සිරා චාමියෝ! නිකං චිත්‍රපටියක් යනව වගේ චිත්‍ර ටිකක් මැවුණා. අන්තිමේදි කියන්න තියෙන්නෙ නිකං මිනිස්සුන්ගෙන යැපෙනවට වඩා දෙයක් මුන්නාන්නෙ කරල තියෙනව කියල. නමුත් ඒක මිනිස්සු තේරුම්ගත්තෙ නැතිව ඇති. හාමුදුරුවන්ට මිනිස්සුන්ට තේරුම් කරවන්න ඕනකමකුත් තියෙන්න නැතිව ඇති!

    ReplyDelete
  3. නියමයි චාමි....! ඇත්තටම හරි කලකිරීමක් ඇතිවෙනවා මේ බෞද්ධ අපි අපි ගැනම. සමහර වෙලාවකට හරියකට පන්සිල් පද පහ වත් පිලිවෙලකට කියාගන්න බැරි උන් ෆේස් බුකියේ ඉඳන් අනිත් ආගම් වලට විරිද්ධව යුද්ධ ප්‍රකාශ කරනකොට....

    ReplyDelete
  4. අද ආගමට ගහලා තියන හෙනේ තමයි මේ බුද්ධ පුත්‍රයන් නැතිව,සිවුරු දරාගත් මුදලාලිලා බිහිවීම.රතනපාල හාමුදුරුවන්ට ගරහන මිනිස්සුන්ගේ කටින්ම තමයි මේ මුදලාලිලාට ගුණ වයන්නේ.

    ReplyDelete
  5. ෆිල්ම් එකක් බැලුවා වගේ චාමි.....
    ඇත්තටම ඔහු හාමුදුරු කෙනෙක් නෙමේ...
    නියම බුද්ධ පුත්‍රයෙක්...

    මළ සමයං සහ විකාරවලිං පිරිච්ච බ්ලොග් අවකාශේ මේ වගේ මැනික් පෝස්ට් කියවන්න ලැබෙන්නෙත් පිනකටද මන්දා...

    ජය වේවා!!!

    ReplyDelete
  6. පන්සල අවසන් කල රතනපාල හාමුරුවො ඒ මහ ඉඩෝරයේ ගම මැද සරුසාර ලිඳක් වෙලා මුළු ගමක පිපාසයට වතුර දෙනවා.

    බණ නම් කොච්චර වත් කියනවා. කොච්චරවත් අහනව , එහෙම නැත්තම් ඇහෙනවා.බණ පද වල තියෙන දේවල් කරන්න ඕනි පාලි භාෂාවෙන් නෙමෙයි , තේරෙන සිංහලෙන් කියල මටත් තේරුනේ මේ කතාවෙන් තමයි.

    නියමයි චාමි....

    චාර්මි...... තව කොච්චර විතර ලියල පබ්ලිෂෟ නොකරපු යලටත් නැති මහටත් නැති කියලා ඔබතුමා හිතන ලිපි කොච්චර විතර තියෙ ද. ලෝබකම් නොකර මේ තියෙන ඉඩේ ඔය ඔක්කම පබ්ලිෂ් කරන්න කියලා බොහොම දයාබරව ඉල්ලා සිටිනවා.

    ReplyDelete
  7. මේ වර්ගයේ ස්වාමීන් වහන්සේලා කීප නමක්ම මම මගේ හමුදා සේවා කාලය තුල දැක ඇත්තෙමි. ඒ පරපුර පැවත එන්නේ කුඩාපොළ හාමුදුරුවන් වැනි ජන නායක භික්ෂූන් වහන්සේලාගේ ආදර්ශය තුලින් යයි සිතමි. තවත් හොඳම උදාහරණයක් වන්නේ කිතලගම සීලාලංකාර හාමුදුරුවන්ය. (සුප්‍රසිද්ධ දිඹුලාගල හාමුදුරුවෝ) මා වැලි ඔය ප්‍රදේශයේ සේවය කරද්දී, ඒ ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ. ප්‍රහාර වලින් පීඩාවට පත් සිංහල ජනතාව ගම්බිම් අතහැර යාම වලක්වා ගැනීමට ක්‍රියාකළ අභීත සංඝයා වහන්සේලා කීප නමක් හිටියා. උන්වහන්සේලා සිල්වත් බවට වඩා ප්‍රසිද්ධ වුනේ ප්‍රාදේශීය ජන නායකයන්, මග පෙන්වන්නන් හැටියටයි.

    http://jangun.wordpress.com

    ReplyDelete
    Replies
    1. විජාරක බ්ලොග් බ්ලොග් එක කරන්නේ ඔයාද දැන් බ්ලොග් එක රිමොව් කරලද

      Delete
    2. @ Neel. මගේ බ්ලොග් එක ඉවත් කරලා නැහැ. නමුත් මට තාක්ෂණික ප්‍රශ්නයක් තියනවා. බොහොමයක් බ්ලොග්වල කමෙන්ට් කරන්න බැහැ වර්ඩ්ප්‍රෙස් එකවුන්ට් එකෙන්. ඒ නිසා මම කමෙන්ට් දාන්නේ ගූගල් එකවුන්ට් එකෙන්. මගේ බ්ලොග් එඩ්රස් එක කමෙන්ට් එකට පහලින් දාන්නේ බලන අයගේ පහසුවටයි.

      Delete
  8. අන්න හාමුදුරුවරු..

    ReplyDelete
  9. හොඳ වෙලාවට මෙක අවුරුද්ද්කට පස්සෙ publish කලෙ කලින් කලානම් සමහරවිට මට ඇහැ නොගැටෙන්නත් ඉඩ තිබුනා. චිත්‍රපටියකට කියාපු කතාවක්

    ReplyDelete
  10. චාමි මේ ජාතියේ හාමුදුරුවරුන් අයිති වෙන්නේ ප්‍රාදේශීය ජන නායකයින්ට. මේ කතාවේ තරම් ම පිරිසිඳු චරිත නොවුනත් ඒ වගේ උදවිය තමන්ගේ ගමට පලාතට කරපු වැඩ අදටත් තියෙනවා. ඉඳල හිටලා කොටුවක් පැන්නට, රෑට කෑවට, වෙලාවක දෙකක අනුමත උනාට මේ කට්ටිය ගැන තවමත් මිනිසුන් කතා වෙන්නේ දැඩි ආදරයකින්. ලංකාවේ ගම්ගත [වනගත නොවන] බුද්ධාගම කියා මා දැනහුන්නේ මේකයි, ලඟදි ඉඳං විද්‍යුත් මාධ්‍ය වලින් සෙලිබ්‍රිටි හාමුදුරුවන් දකින තුරු.

    හැබැයි මේ කට්ටියට වෙන්නෙත් ඉතිරි සමාජයට වෙන සිද්දිය මයි. යම කිසි විදිහකින් සාධාරණ ප්‍රසිද්ධියක් හම්බු කරපු [උදාහරනෙකට කියමු සනත් ජයසුරිය කියලා] එකාලා දේශපාලකයින් එක්ක පැහිලා ඒකට එලිපිටින් හා ඇතුලතින් රිංගලා තම දැනුම පමණින් ලෝකේ දකිද්දී මේ වගේ උදවියම සමාජ පිළිල වෙන්නත් බැරි නැහැ.

    දේශපාලනේට ආපු බද්දේගම සමිත, දේශපාලකයින් එක්ක ගනුදෙනු කරන/කරපු කිතලගම සීලාලංකාර, වනවාසී රාහුල වගේ හාමුදුරුවන් මෙන්ම අද දඹුලු සිද්ධියෙන් පිටත සමාජයේ නෝන්ඩි වුන ඉනාමළුවේ සුමංගල වගේ අයගෙත් ඒක කාලෙක මේ වගේ චරිතයක් ඉන්න ඇති. එහෙත් බලාධිකාරයත් එක්ක නොහොබිනා ගනුදෙනු වලට ගියාම ඔවුන් ඒ ඒ තැන් වලට ඇවිත්,

    චාමි ලස්සන ලියමනක්. අර කිව්වා වගේ බ්ලොග් හා මුහුණු පොත් ආගත නාගත මැද්දේ දකින්න ලැබෙන දුර්ලභ වස්තුවක්.

    ReplyDelete
    Replies
    1. @ සුජීව,
      මෙම කමෙන්ට් තීරුවේ අගට මා යොදා ඇති කමෙන්ටුව ඔබට ප්‍රතිචාරයක් වශයෙනි.

      Delete
  11. අපේ හිතේ පැලපදියම් වුනු කියවීමක් තියෙනවා"යතිවරයෙක්, හාමුදුරු කෙනෙක් මෙහෙමයි" කියල. ඒක එහෙම නොවෙන කොට අපේ කියවීම " එහෙනම් මූ හොර මගෝඩියෙක්" කියල වෙනස් වෙනව. ඒ වුනාට ඒත් අපි වගේම ලේ මස් වලින් හැදුන මනුස්සයෙක් කියන එක කියව ගන්ඩ අමාරුයි. පුලුවන් වුනත් අපේ ඔලුව ඇතුලෙ තියෙන යතිවරයා තමයි අපි ඉල්ලන්නෙ. ඒත් සියලු කියවීම් කඩපු හාමුදුරුවෝ ඇත්තටම ඔය ඔලුවෙ හැදෙන මනස්ගාත අතික්‍රමණය කල විරල උතුමෙක්ද?

    -සූස්ති

    ReplyDelete
  12. හොද කතාවක්. මචන් ශැවොලින් හාමුදුරුකෙනෙක්ගෙ පින්තූරය උඩින් දාල තියෙන කොට මන් හිතුවෙ නාම"ලී" කියන්නෙ බෲස් ලීගෙ නෑයෙක් කියලයි :-)

    ReplyDelete
  13. හුටා එහෙම ඩ්‍රාෆ්ට් එකෙත් තියං ඉන්නවද...? රියර්ගේට් කියන්නේ කවදාහරි රෑ කියවලා උදේ කමෙන්ට් කරන්න බලද්දී දිස් බ්ලොග් ඊස් නෝ ලෝන්ගර් අවේලබල් කියලා වැටෙන්න ඉඩතියෙන බ්ලොග් එකක්... අනේ පැදුරටත් නොකියා වහලා දාලා යන්න කලින් සේරම දාලා හිටපන් ඈ..?

    ReplyDelete
  14. අදමයි මේ පැත්තේ ආවේ.
    හරිම රසවත් කතාවක්! පල නොකරපු මේ වගේ ලිපි තියනවානම් පල කරන මෙන් බොහොම ආදර කරුණාවෙන් ඉල්ලා හිටිනවා.

    //පන්සල වල් වැදිලා. පන්සල පටන්ගත්තු පණ්ඩිත ධම්මාරාම හාමුදුරුවො කළු ගැහුනු ස්මාරකයක් වෙලා පන්සල් වත්තෙ මුල්ලක ඉලුක් කැලෑවෙන් වැහෙමින් පවතිනවා. පන්සල අවසන් කල රතනපාල හාමුරුවො ඒ මහ ඉඩෝරයේ ගම මැද සරුසාර ලිඳක් වෙලා මුළු ගමක පිපාසයට වතුර දෙනවා.//

    මේ කොටසින් මුලු කතාවම කියැවිලා.

    ReplyDelete
  15. ටැබූ නැතුවට අඩුවක් නෑ කියල හිතුණු පළවැනි වතාව.

    ReplyDelete
  16. මේ හාමුදුරුවන්ව අපිරිසිදු/අනියම් පුද්ගලයෙක් විදිහට හඳුන්වන එක කොච්චර සුදුසුද මන්ද, කෙනෙක්ගේ බාහිර පෙනුමෙන්, උගත් බවෙන් සිල්වත් බව මනින්න බෑනේ. මට හිතනවා නිකම් කටපාඩම් කරලා බණ කියන අයට වඩා ඉක්මනින් මේ හාමුදුරුවන්ට ගමන ඉවර කරන්න පුළුවන් වේවි කියල.
    ලිවීම ලස්සනයි චාර්මි. තව ලියන්න.

    ReplyDelete
  17. කාලෙකින් ආසාවකින් කියවපු පෝස්ට් එකක්..
    ඔබට ජය........

    ReplyDelete
  18. ලස්සන ආටිකල් එකකි

    ReplyDelete
  19. නියමයි චාමී... හොඳ ලිපියක්...

    ReplyDelete
  20. සිරාම සිරා! ඇත්තටම කෙටි චිත්‍රපටියකට වගේ කියාපු කතාව!

    ReplyDelete
  21. මම සිංහල බ්ලොග් කියවන්න ඇවිල්ල තාම අවුරුද්දකට චුට්ටයි වැඩි. ඒ සුළු කාලෙදි කියවපු සහ හිතට වැදුනු හොඳම ලිපියක්. ලඟදි බලන්න ලැබුනු 'නැගෙනහිරෙන් ඇසෙන ' කියල ටෙලි නාට්‍යයකත් තරමක් දුරට මේ හා සමාන හිමි නමක් දැක්ක. දහඩිය මහන්සියෙන් වැඩ කරන කෙනෙක් නෙමේ, ඒ වුනාට සමාජයත් එක්ක හැසිරෙන විධිය ගැන සඳහන් කලේ.

    ' ලිඳේ පැන්න නාමලීත් ' කියවල බලන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අද 13. ඔබ මියගිය ආරංචිය ලැබුණා. ලි‍‍ෙඳේ පැන්න නාමලී කියවන්න තරම් කාලයක් ඔබට ලැබී නැහැ.
      ඔබේ වසරක බ්ලොග්සැරිය තුල සිංහල බ්ලොග් අවකාශය මහත් ප්‍රබෝධයකින් සරසන්නට ඔබට හැකිවුනා. ඔබේ පාඩුව දැනේවි.
      ඔබට ස්තුතියි.

      Delete
  22. ඊයෙත් දෙපාරක් කියවල අදත් දෙපාරක් විතර කියෙව්වා.
    මේ හාමුදුරුවෝ ගැන කියවනකොට මටත් මතක් වුනේ දිඹුලාගල හාමුදුරුවෝ. වචනයෙන් විස්තර කරන්න බැරිතරම් උත්සාහවන්ත හා අනිත් මිනිසුන්ට කුනුහරුපෙන් හරි බැනලා ඉස්සරහට ගන්න හදපු හාමුදුරුකෙනෙක්.
    එකම අවුල වුනේ හාමුදුරුවෝ පට්ට යූ ඇන් පී. එක දවසක් මම අපේ අප්පච්චි එක්ක පන්සලට ගියාම මට ටොක්කකුත් ඇන්නා කොල්ලෙක් වගේ මොකටද කොන්ඩේ කපන්නේ කියලා. ඒ වුනාට ඒක කලේ වුනත් ආදරේ කරන විදියට කියලා ඉතාම පොඩි වයසෙන් උනත් මටත් තේරුනා. මොකද ටොක්කක් ඇනලා මට හාමුදුරුවන්ට හම්බ වෙලා තිබ්බ කේක් එකකුයි තව මොනවදයි කන්න දීපු හින්දා.
    කොටින්ම අපිට එක්තරා සංවර්ධන ව්‍යාපාරයක් හරහා ඉඩම් ලැබුනේ ඒ පැත්තේ. අපේ අප්පච්චිලා දුස්කරයි කියලා ඒ ඉඩම් නොහදා ඉන්නකොට ඒ හාමුදුරුවෝ ඇවිත් බලෙන් වගේ කියලා තමයි ඒ ඉඩම් වගා කලේ. හවසට හවසට අපේ අප්පච්චි එහේ ගිය හින්දා අපිත් ඒ පැත්තේ ගියාම නිතර ඒ වගේ විශාල වටිනාකමක් තියෙන මනුස්සයෙක් ඇසුරුකරන්න මටත් ඉඩ ලැබුනා.
    සුදු පාටට රැවුලයි කොන්ඩෙයි වවාගෙන කහපාට සිවුරක් එක්ක අදටත් ඔහු මගේ හිතේ මැවී ඉන්නවා. රතනපාල හාමුදුරුවොත් ඒ වගේ.

    ReplyDelete
    Replies
    1. "දිඹුලාගල හාමුදුරුවෝ" උග්‍ර වර්ගවාදියෙකි. එම වර්ගවාදය තුළින් මතුවූ යම් නිර්භීතකමක්, භික්ෂුවකට අසම්මත චර්යාවක් ඔහු දක්වා තිබේ. එ හැරුණු විට ඔහු සංකීර්ණ චරිතයක් නොවේ.

      Delete
    2. මෙහෙමයි මම මේ කියන්නේ අනුවේ විතර විස්තර. ඒ වෙද්දි එතුමා මොන වගේ වර්ගවාදිද කියන්න මට අවොබෝධයක් නෑ. ඒත් මට මතකයි ප්‍රේමදාස මහත්තයට බොහෝම ගරු කරනවාත් සිරිමා බන්ඩාරනායකට අගෞරව කරනවත්. ඒක මම උඩින් ලිව්වා.
      ඒත් එතුම ඒ පැත්තේ ගොවියන්ට අළුත් ජීවයක් දෙන්න නම් උනන්දු උනා කියලා මම අදටත් හිතනවා. අපේ අප්පච්චිට බැනලා එයාව ඒ පැත්තේ තිබ්බ අපේ ඉඩම් වගා කරවන්න යොමු කරපු එකෙන්ම මට ඒක පැහැදිලියි.

      Delete
    3. රන්ගි මටත් කිතලගම සීලාලංකාර හාමුදුරුවන් මතක් වූ නිසා එයා ගැන පොඩි සටහනක් දැම්මේ. මම නම් දැකලා වත් නැහැ දෑහින්. අපි පාසල් යන කාලේ නේ මරා දැම්මේ.

      රංගිගේ සටහන් වල කියවෙන අර ලොකු වතු හා ගහකොළ ගැන විස්තර තියෙන්නේ මේ දිඹුලාගල පරිසරයේද?

      Delete
    4. දැන් මේ රතනපාල හාමුදුරුවන් වර්ගවාදියෙක් නොවේ කියන්න ඉහත ඇනෝ ට තියෙන්නේ අහවල් හේතුවක් ද?

      සාමාන්‍ය ගම්වැසි හිමිනමක් තරමක වරගවාදියෙක් තමා. මිනිසුන් කළු හෝ සුදු චරිත නොවේ. ඒක අඩු නැතුව චාමි පෙන්නලා තියෙනවා.

      කිතලගම හිමියන් මේ රතනපාල හිමියන් කරපු ජාතියේ වැඩ ඕනතරං කළා.

      Delete
    5. මගේ ගොඩාක් ලොකු වතු නම් තියෙන්නේ බලංගොඩ පැත්තේ සුජීව. ඒත් අපේ බොහොමයක් ඉඩම් සමනලවැවටයි උඩවලව වනෝද්‍යානයටයි ආන්ඩුවෙන් පවරගත්තම අපිට ඉඩම් දුන්නේ ගිරාදුරුකෝට්ට හා දෙහිඅත්තකන්ඩිය වගේ පලාත්වල. දිඹුලාගල පන්සලට පයින් යන හරියකත් අපිට ඉඩම් තිබුනා. අපෙ අප්පච්චියි ඇමති අතුකෝරල මහත්තයයි හිතවත් හින්දා එයාලා බොහොම ඉක්මනින් යාළු උනා. අනුවේ දශකයේ මුල්ම හරියේ අපේ අම්මා මියගියාම අපේ අප්පච්චි ඔය ඉඩම් තිබ්බද කියලවත් බලන්න ගියේ නෑ. දැන් නම් කවුරු ඉන්නවද මොනවා කරනවද කියලා මම දන්නෙත් නෑ.

      Delete
    6. /දැන් මේ රතනපාල හාමුදුරුවන් වර්ගවාදියෙක් නොවේ කියන්න ඉහත ඇනෝ ට තියෙන්නේ අහවල් හේතුවක් ද?/

      අඩුම ගණනේ මෙතැන මගේ මූලික තර්කය වත් තේරුම් ගන්නට සුජීව කොකාවලට නොහැකි වී තිබේ. ගැටළුව කවුරු වර්ගවාදියකුද නැද්ද නොවේ. රතනපාල හාමුදුරුවන් සංකීර්ණ චරිතයකි. නිර්මාණයකට යොදා ගන්නට උචිත චරිතයකි. කිතලගම හාමුදුරුවන් එසේ සංකීර්ණ (නිර්මාණයකට උචිත) චරිතයක් නොවේ. ඔහුගේ එකම අසම්මත ක්‍රියාව භික්ෂූන් වහන්සේ නමක් සාමාන්‍යයෙන් නොකරන සේ රැවුල වැවීමයි. ඒ හැරුණු විට මායිම් ගම්මානයක බොහෝ භික්ෂූන් මීට සමාන චර්යා රටාවන් දැක්වූහ. කිතලගම හාමුදුරුවන් වෙනස් වූයේ ඔහුගේ දේශපාලන බල පුළුවන්කාරකම් නිසා පමණෙකි.

      Delete
  23. ජයසේන ජයකොඩි ශූරීන් ලියූ, පිච්ච මල, අරලිය මල් ආරාමය වගේ නවකතා කියවල තියෙනවද? නැති නම් හොයාගෙන කියවන්න යයි ඇරයුම් කරන්න මේක අවස්ථාව කරගනිමි.

    ප.ලි පොස්ට් එකට 100% ක්ම නැතත් යම් පමණකට ගැලපෙන ප්‍රතිචාරයක් යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. "ජය ශ්‍රී" විසින් දැන හෝ නොදැන මේ පෝස්ට් එකට කළ හැකි ලොකුම අපහාසය කර තිබේ. (ජයශ්‍රීගේ බුද්ධි හීනතාවය ඔහු මෙතෙක් ලියූ කියූ දේ ඇසුරින් හොඳින්ම දන්නා නිසා ඒ ගැන පුදුම නොවෙමි.)

      ජයසේන ජයකොඩිගේ පසුකාලීන නවකතාවන්හි එන රාහුල නම් යතිවරයා සර්ව නිර්දෝශී, මනෝ රාජික, පැතැලි, සරල, දුර්වල චරිතයකි. "රාහුල" පොළොවේ පයගසා ජීවත් වන්නකු නොවේ. හරියට පියදාස සිරිසේනගේ නවකතාවකින් උස්සාගත් චරිතයක් වැනිය. එවැනි මනෝරාජික චරිතයක් මේ පෝස්ටයේ කියැවෙන සංකීර්ණ චරිතයක් වන "හාමුදුරුවන්" හා සැසඳීම මේ පෝස්ටයේ රචකයාට කළ දරුණුම අපහාසයක් සේ මම දකිමි.

      ජයසේන ජයකොඩිගේ තරමක් හෝ හොඳ යැයි කිව හැකි නවකතා ඇත්තේ දෙකකි. එකක් "අස්වැන්න"යි. 70-77 කාලයේ වගා සංග්‍රාමයට කඩේ ගියත් මේ කියැවිය හැකි පොතකි. අනෙක "රයිගම් පුත්තු"ය. ඒ හැරුණු විට ජයකොඩි විසින් ලියා ඇති සියල්ල අපේ රටේ බහුතරයක් අම්බරුවන්ට අපූරුවට ගැලපෙන පිදුරු ගොඩවල්ය.

      Delete
    2. ඔබ වැනි බොහෝ දෙනා විශ්වාස කිරීමට අකමැති වුවත් සත්‍යවශයෙන් ම රාහුල වැන්නෝ ජීවත් වෙති.(නමුත් ඒ බැව් ලවුඩ්ස්පීකර් දමා ලොවට හඩගා නොකියති - එසේ කළ යුතු ද නැත).

      මගේ බුද්ධිය ගැන මට ඔබෙන් සර්ටිෆිකේට් අවශ්‍ය නැත.

      රචකයාට අපහායක් කළේ ද යන්නට චාර්මි ම උත්තර දෙනු ඇත.

      ඔබ ජයසේන ජයකොඩි මහතා ගේ "ගෝතම ගීතය" කියවා තිබේද? බුදුන්වහන්සේ වටා ගෙතී ඇති අද්භූත අතිශයෝක්ති වර්ණනා ඉවත් කර ඇත්ත ඇති සැටියෙන් ලියූ මාහැඟි නවකතාවකි.

      Delete
    3. "අමා වැස්ස" සේම "ගෝතම ගීතයද" අතිශයෝක්ති වර්ණනා ඉවත් කර නොව ඒවා එලෙසම තියෙන්නට හැර කළ බෞද්ධ චරිත වර්ණනාය. ලියා අත්තේද පොදු පාඨකයා පිණිස නොව සැදැහවත් බෞද්ධයින් වෙනුවෙනි. (එසේ ලිවීම නරක යැයි කියනවා නොවේ. නමුත් තෝරාගත් ආගමිකයින් පිරිසකට ආමන්ත්‍රණය කිරීම හොඳ නව කතාවකට ප්‍රවේශයක් නොවේ.) අතිශයෝක්ති වර්ණනා ඉවත් කර කළ එකම බුද්ධ චරිත විස්තරය මාර්ටින් වික්‍රමසිංහගේ බව තරණයයි.

      Delete
  24. අපුරු ම අත්දැකීමක් අපිට ගොඩක් හිතන්න දේවල් ඉතුරු කරල බෙදාගත්තට බොහොම පින්..මිනිස්සු හුගක් වෙලාවට තමන්ට පේන චුට්ටෙන් ඉතුරු ටික අතින් දාල චිත්‍රෙ සම්පූර්ණ කරනවා...

    ReplyDelete
  25. සුජීවගේ මේ අදහසට ඌණ පූර්ණයක් එකතුකරන ගමන්ම...
    //මේ ජාතියේ හාමුදුරුවරුන් අයිති වෙන්නේ ප්‍රාදේශීය ජන නායකයින්ට.//

    මම ඔය කරුණ ගැන යමක් කියන්නම්. රතනපාල හාමුදුරුවො සාම්ප්‍රදායික ජන නායකයෙකුටත් වඩා නූතන පහසුකාරකයෙකුගේ භූමිකාවට 'තරමක්' ලඟ බවක් මම දැක්කෙ.

    (ඇත්තටම ඔය චරිතය ගැන මේ වගේ පෝස්ට් පහ හයක දේවල් මෙහෙම සම්පිණ්ඩනය කරන්න වීම තුල ඒක හරියටම එලියට දෙන්න මට බැරිවෙන්න ඇති)

    ඔහුට එතරම් උගත්කමක් නැතිවීම සහ ගම්වැසියන් එය දැන සිටීම නිසා සාම්ප්‍රදායික ප්‍රභූ කුලකයෙන් ඔහු තරමක් දුරස්ව ගණන් ගැනුනේ. අනික ඔහුගේ ශීලය රැකීම ගැනත් ගම්වැසියන් දැන හිටියා. මේ නිසා සාමාන්‍ය හාමුදුරුනමකට ගමක ලැබෙන ස්ථානය ඔහුට ලැබුනේ නැහැ. මේ නිසාම ගම්වැසියන් සංවිධානය කිරීම සහ ඔවුන් මෙහෙයවීම කියන දේ ඔහුට කල නොහැකි වුනා.
    (උදාහරණයක් හැටියට සාම්ප්‍රදායික කුඹල් කර්මාන්තකරුවන් විසු එම ගමේ තරුණ තරුණියන්ට ප්ලාස්ටර් ඔෆ් පැරිස් ආශ්‍රිත කලාත්මක නිමැවුම් පිළිබඳ පුහුණුවක් ලබාදෙන්න ඔහු ගත්තු උත්සාහය අසාර්ථක වුනේ එහි වැදගත්කම ගම්වැසියන්ට නිසි ලෙස ඒත්තු ගන්නන්නට ඔහුට නොහැකිවීම නිසා.)
    වරක් ගමේ බේබදුකම නවත්තන්න කරපු (අසාර්ථක) උත්සාහයක් හින්ද ගමේ යම් පිරිසක් ඔහු සමඟ එච්චර හිත හොඳින් නෙමේ උන්නෙත්.
    අනික මා දන්නා පරිදි ඔහුගේ වැඩ වලට දේශපාලන අධිකාරියේ සහාය ලැබුනෙත් රතනපාල හාමුදුරුවන්ගෙ 'කරදරයෙන් බේරෙන්න'.

    මෙයට විකල්පයක් ලෙස කලේ ඔහු හඳුනාගත් ගම්වැසියන්ගේ ගැටළුවලට ස්වේච්ඡාවෙන් මැදිහත්වීම. ඔය කියපු ලිඳ පවා ගම්වැසියන් ඉල්ලූ එකක් නොවෙයි. එය පටන් ගත්තේ ඔහුගේ උවමනාවට. ප්‍රජා දායකත්වය නොලැබුනෙත් ඒ නිසාමයි. ඔහු‍ට තිබුණේ 'පටන් ගත් දෙයක් කවුරුන් විසින් හෝ කවදා හෝ ඉවරකරනු ඇති' ය යන විශ්වාසය පමණයි. නිවාස ආධාර වැඩසටහනත් එහෙම එකක්. එයත් සෑහෙන්න සාර්ථක වුනා.

    මා දුටු අනෙක් වැදගත්ම දේ ඔහු මේ කිසිදෙයක් සමාජ සේවා වැඩ/සමාජ යුතුකම්/පුණ්‍යකර්ම හෝ ආගමික නායකයෙකුගේ වගකීම් වගේ බරසාර දේවල් හැටියට නොගත්ත එක. ඒවා ඔහුගේ සාමාන්‍ය දින චරියාවේ කොටසක්. බොහෝ ස්වේච්ඡා සේවකයන්ගෙන් මා අසා ඇති "මම මේ ගමට කරල තියෙන දේවල්....." කියන පම්පෝරිය මට කිසිදිනෙක ඔහුගෙන් ඇසී නැහැ.
    _________________________________________________________________________________________
    වරක් ඔහු මගේ මාපියන් දකින්නට කැමතියි කියා මාත් සමඟ නිවසට ආවා. බයික් එකෙන් බැහැලා ඔහු කලේ ගේ වටෙන් ගිහින් කෙලින්ම කුස්සියට ඇතුළු වී පුටුවක වාඩිවීම. මගේ මව මෙයින් වික්ෂිප්ත වුනා. ඔහු ඒ මොහොතේ කී අපූරු කතාවක්(බණක්) මගේ මව තවමත් සිහිපත් කරනවා.

    "ඕනෙම ගෙදරක මිනිස්සු වැඩියෙන්ම ගැවසෙන්නෙ කුස්සියෙ. කුස්සිය තමයි ගේ කියන්නෙ. දුම් කාගෙන උයන පිහන ඇත්ත මිනිස්සු ඉන්නෙ කුස්සියෙ. ඔන්න අපි ගෙදරකට ගියාම ඉස්සරහින්ම ගෙනත් තියනව පිරුවටය දාපු පුටුවක්. ගෞරවය පෙන්නන්න තමයි. හැබැයි බොරු පුටුවක්. ඔන්න ඉතින් ගෙවල්වල දැලි නාගෙන නැහෙන ගෑනුත් දැලි වැහෙන්ඩ චීත්ත කෑලි පටලගෙන ඇවිත් වඳිනවා. බොරු ගෑනු. මිනිස්සුත් දාඩිය පිටින්ම කමිස කබලක් දාගන දුවගෙන එනවා. බොරු මිනිස්සු. ඉතින් අපිත් නිකම්ම බොරු හාමුදුරුවරු වෙලා. බොරුවට සුවපත්වේවා කියල කියනවා....
    අපේ ගංගෙවල් වල කුස්සියත් මෙහෙම තමයි උපාසකම්මෙ... වැඩ කරන තැන තමයි හැඩි වෙන්නෙ.... ඒක අවනම්බුවක් නෙමෙයි........"

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්

      සැහෙන අවබෝධයක් තිබ්බ කෙනෙක්.

      ඒත් චාර්මි ඔය හාමුදුරුවන්ගේ හෝ ගමේ දේශපාලන ශක්‍යතාවයක් තිබ්බ නම් වෙන්නේ මම කී දේ නොවේද? හාමුදුරුවන් හරහා බලය අල්ල ගන්න දේශපාලකයින් එනවා. හාමුදුරුවන් හරහා දේශපාලන පදනමින් දෙන තනතුරු වාසි ගන්න ගම්මු එනවා. මේ දෙක නිසා හාමුදුරුවෝ ඉබේම උඩ යනවා.

      ඔය වනවාසී රාහුල හාමුදුරුවනුත් මේ වර්ගයේ කියා අසා තිබේ. දුර්ගුනත් ඒමට බවත් අසා තිබේ. එහෙත් රෝස තිරිවානා වැටිය ආශ්‍රිත සංරක්ෂණය ගැන හිතුවොත් ඔහුත් සියැටල් කෙනෙකි.

      Delete
    2. අනිවා සුජීව. දේශපාලන බලය පමණක් නොවෙයි. ඇතැම් පුද්ගලික ගැටළු නිසාත් මේ 'වෙනස් කරන්නාත් වෙනස් වෙනවා'. ඊට පස්සෙ අර එතෙක් කල සේරම යට යනවා.

      මම දන්න එක්තරා පුද්ගලයෙක් ඉන්නවා සණස ඇතුළු ස්වේච්ඡා සංවිධාන වල ගම් මට්ටමේ සිට දිවිහිමියෙන් වැඩකරපු (මම හිතන්නෙ වසර විස්සක් විතර). ඔහුගේ සමාජ වැඩ නිසා දරුපවුුල බඩගින්නේ හිටි වතාවල් ඕනෙතරම් තියෙන්න ඇති. හම්බකරන මුදල් පවා ඒවාට යෙදවීම නිසා මෑතක් වන තුරුම එම පවුල උන්නෙත් පැල්පතක. එක්තරා අවස්ථාවක ඔහුගේ දරුවෙක් බරපතළ ලෙස රෝගාතුර වුනා. සමිති සමාගම්වල මුදල් ඔහුත් නොදැනීම ඒකට වියදම් වුනා. අන්තිමේදී ඔහුට කිසිදිනෙක ගෙවන්න බැරි තරම් ලොකු මුදලක් සමිති වල ඇරියස් හැටියට ගොඩගැහුනා.

      සමිති සාමාජිකයො රෙදි කරට ගත්තා. ඔහු දූෂිතයෙක් වුනා. නඩු පිට නඩු වැටුනා. ගැලවීම පිණිස ඔහු දේශපාලන අධිකාරියේ සෙවණට ගියා. දැන් මිනිහා "වැලි ජාවාරම්කාරයෙක්". හැබැයි ඔහු ජාවාරම්කාරයෙක් විදිහට ගතකරපු කාලය වගේ දහගුණයක් නොකා නොබී සමාජ සේවය කරල තියෙනවා.
      ඕක තමයි ස්වභාවය.

      Delete
    3. ජාවාරම්කාරයා, තක්කඩියා, දූෂිතයා ද මනුෂ්‍යයෙකි.

      Delete
    4. /ජාවාරම්කාරයා, තක්කඩියා, දූෂිතයා ද මනුෂ්‍යයෙකි./

      ඔවුන් සිංහල බෞද්ධ නම් පමණයි.

      Delete
    5. නැහැ ඔවුන්ගෙන් වන හානිය නිසා ඔවුන්ට එරෙහිව පියවර ගන්න වෙනවා. එහෙත් ඔවුන් මනුෂ්‍යයින්.

      Delete
    6. සුජීව කොකාවල, දැන් ඔයා පූර්ණ සහයෝගය දුන්න යුද්ධයෙ නියමුවන් කවදාවත් ප්‍රභාකරන් මනුස්සයෙක් කියල හිතුවෙ නෑනෙ. පෙන්නන්නකො හිතුව නම් එහෙම හිතපු තැනක්. ප්‍රභාකරන් පැත්තකින් තියමුකෝ. ප්‍රභාකරන්ගේ පුතාව වත් "අනේ මේ අහිංසක කිරිසප්පයා මොනව දන්නවද?" කියල බේරුවෙ නැහැනෙ. ඔන්න විජේවීරගේ දරුවන් නම් බේරල ලොකු වෙනකල් (සමහර විට තාමත්) කන්න අඳින්න දුන්නා/දෙනවා. ඇයි ඒ? ඔයගොල්ලන්හ්ගෙ නිර්වචන වලට අනුව "මනුෂ්‍යයින්" හැම විටම "සිංහල බෞද්ධයින්" විතරක් නිසා.

      Delete
  26. "දේශපාලන අධිකාරියක්" යනු අඟහරු ලෝකයෙන් එන දෙයක් නොව සමාජය තුළින්ම මතුවන දෙයකි. බෞද්ධ ගම්මාන වල බෞද්ධ භික්ෂූන් වහන්සේලාද, කිතුණු ගම්මාන වල කිතුණු පූජකයන්ද පවත්වාගෙන යන්නේ "දේශපාලන" අධිකාරිය. "ආගමික අධිකාරි" නොවේ. මේ වසම් තුළ තමන්ට තර්ජනයක් වන සියළු දෙනා ඉවත් කිරීමට ඔවුහු වග බලා ගනිති. ඒ තමන්ගේ පැවැත්ම හා බලය පිණිසය. එය දේශපාලන ක්‍රියාවකි. එසේම ඔවුන් තුළ තම ප්‍රජාව පාලනය කිරීමේ හැකියාවක් ඇත. එනිසා අමුතුවෙන් "දේශපාලන" බලයක් ලැබී "කිලිටි වන්නට" දෙයක් නැත.

    චාමි විස්තර කළ ලෙසට මේ රතනපාල හාමුදුරුවන් ප්‍රභූ පන්තියට අයත් නොවීම, උගත්කමක් නැතිවීම හා අනාචාරය නිසා ඔහුට සම්ප්‍රදායිකව හිමි විය යුතුව තිබුණු බලයෙන් යම් කොටසක් අහිමි වූ බව පෙනේ. ඔහු තම අසම්මත ක්‍රියා කලාපය තුළින් (අසාර්ථකව හෝ) අවිඥානක උත්සාහයක් දරන්නේ ඒ බලය යළි ස්ථාපිත කර ගැනීම පිණිසය. ඒය නරක දෙයක්ය නොකියමි. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි.

    නමුත් මේ වඩාත්ම වැදගත් කාරණය මෙ තුළින් ඉතාම සංකීර්ණ චරිතයක් බිහිවීමයි. (මේ සුජීව කොකාවලට තේරුම් ගැනීමට නොහැකි වූ කාරණාවයි.) චාමි විස්තර කරන "ළිං හෑරීමේ සිද්ධිය" ගන්න. ආගන්තුකයකු මඟ තොට දැන ගැන්ම පිණිස ගැමි නිවසකට යයි. එහි වැලක එල්ලුනු සිවුරකි. කුතුහලයෙන් බලන ආගන්තුකයා (තමන්ට පහළ මට්ටමක) ළිඳ පතුළේ අඳනය පිටින් හාරන හාමුදුරුවන් දකියි. ගැහැණු ඔහු හාරන පස් ඉවත් කරති. මඟ තොරතුරු ඇසූ කළ හාමුදුරුවෝ කිසිම අමුත්තකින් තොරව ගොඩට විත් මඟ ලකුණු කියාදෙති.

    මේ සිතුවම් පටයකට කෙතෙක් උචිත රූප රාමු පෙළක්ද බලන්න. මේ සරල සිද්ධිය තුළ අපේ සාම්ප්‍රදායික බෞද්ධ මනස කැලැඹීමට පත් කරන සිද්ධි ගණනාවක් වේ. 1. සිවුරක් වැලක තිබීම, 2. භික්ෂුවක් ගිහි නිවෙසක "වාල් වැඩ" කිරීම, 3. භික්ෂුව ගිහියාට පහළින් සිටීම (සංකේතාත්මකව සිතන්න), 4. අඩ නිරුවතින් (අඳනය පිටින් සිටින භික්ෂුව ) - මිනිසකුගේ ඇඳුම් අඩුවීම ඔහුගේ බලය අඩුවීම වක්‍රව කියාපායි. 5. භික්ෂුව මෙය ලජාවකින් තොරව සාමාන්‍ය සිද්ධියක් සේ ගැනීම, 6. ගැහැණු ඔහුට උදව් කිරීම. මේ සියල්ල සම්ප්‍රදායික බෞද්ධ මනසට උල් කටු අනියි. එහෙත් ඒ මනසම (පසුව එන විස්තරයෙන් අනතුරුව ) භික්ෂුව පාරාජිකා නොවූ බව අනුමත කරන අතර එහි අවශ්‍යතාවය තේරුම් ගනී.

    නිර්මාණයකට මොන තරම් අමුද්‍රව්‍ය ගොඩක්ද මේ?

    ReplyDelete
    Replies
    1. රතනපාල හාමුදුරුවන් සරල චරිතයක් හෝ මෙහි නිර්මාණයකට අවශ්‍ය සංකීර්ණත්වය නැත කියා මම කියා නැහැනේ. එහෙම නම් කොමෙන්ට් කරන්නෙත් නැහැ නේද අපි.

      ඔබ කියන "ආගමික බලය" යනු දේශපාලන බලයකි කියන කතාවට එකඟයි. එහෙත් පුද්ගලානුබද්ධ ඒ දේශපාලනය, රටේ පවතින පක්ෂ දේශපාලනයෙන් තවත් ලෙවල් එකක එහාට යනවා නේද? අද බොහෝ ප්‍රසිද්ධ භික්ෂුන් ඉන්නේ ඒ අවස්ථාවේ. හෙට එහං වෙන්න ඉන්න අය ඉන්නේ අද රතනපාල හාමුදුරුවන්ගේ අවස්ථාවේ.

      Delete
    2. රතනපාල හාමුදුරුවන් දිඹුලාගල හාමුදුරුවන් වැනි සරල චරිතයකට සමාන කිරීමෙන්ම ඔබ එම චරිතයේ සංකීර්ණ ස්වභාවය හඳුනා ගැනීමේ ඇති අපහසුව පෙන්නුම් කරයි.

      Delete
  27. හරිම ප්‍රබල කතාවක්. සංකීර්න චරිතයක්.

    ReplyDelete
  28. හරිම අගෙයි.ඔබේ භාෂාව හැසිරවීමේ ශෛලියට තදින් කැමතියි.

    ReplyDelete
  29. "රතනපාල හාමුදුරුවො මොන අර්ථයෙන්වත් හොඳ භික්ෂුවක් නෙමෙයි. නමුත් ඔහු හොඳ බුද්ධ පුත්‍රයෙක්"

    ඇයි චාමියෝ පාර්ලිමේන්තුවට වැඩල ඉන්නෙත් "හාමුදුරුවරු" නම් "රතනපාල හාමුදුරුවො" ඊට හොද නැද්ද? :-)

    චරිතය ගැන කියනවනම්, මේවගේ චරිත-මේවගේ නොවන චරිත පන්සල්වල ඕනතරම් ඉන්නව. එයාල අනාගතයේදි නවතින්නෙ කොතැනද කියන කාරණාව ගැන ඕන තරම් වාද කරන්න පුළුවන්. ඒක රදා පවතින්නෙ එයාල ජීවත්වන ප්‍රදේශවල තියන තත්වයන් උඩ.

    ReplyDelete
  30. mama katha wicharaya karanna nam dan na.........

    mage oluwata therana de nam..

    rathana pala hamuduruwo thaman ipaduna jathiyata ,ratata wadak karanna uthsaha gatha bawa penawa....

    me rate nidahas adyapanayen pinata igenagena ,rate hama sampathakma prayojanayata aran jiwath wena minissu ,idak labuna gaman pitarata padinchiyata gihin padinchi wenawa......

    samaharu thamange mula amathaka karala danawa......AMMA /THATHA pawa

    eheu minissu inna loke RATHANAPALA hamuduruwo kiyanne dewiyek...

    loku danumak nathi unath un wahansege hadawatha hodai....

    nathnam unwahansetath thibuna ape minissu innawa wage....thamange wadak balagena inna....mokada hemai kiyala dane wela nolabi yannane...

    ehema hitiyanam e "game unuth kiyai HARIMA SILAWANTHA HAMUDURUWO....
    HAMA WELEMA BAWANA KARANA GAMANMAI INNE...........
    SHA bana tikanam kane mi pany damma wage......"

    habai ehema inna koi katath kalin un wahanse niwan dakina ekanam sure...

    ape parana minissu jiwath wenakan thamanna haki aurin ratata ,jathiyata wadak karala.....marana mohothe hithuweth thamange shariraya rate gaha kola walata pohorak wewa kiyalai....

    ekata dan inna un.........wali kate idan wikunan kala ....wasthuwa goda gahanawa satha pahakn wiyadam karanna kamathi na....

    samaharu adumak paladumak gannath lobai...aduma tharame thamange ganitai lamaitawath?
    e goda gahapuwa katawath yanakota haran yanna hamba wenne nam ne.....

    oya game untai ,,me rate anith untai BONNA EPA kiyala nokiuwanam unta e hamuduruwanta wada hoda kauruth na.......



    thawa aurudu 100 yanakota loke sinhala kiyala jathiyak hitiya kiyala dakinna wenne poth walin thama........

    kaleka thiyena parani gadol kallakwath ithuru wena ekak na...
    (Kattiya bahalama nidan haranawane)

    oya hamuduruwo hitiye nathnam e game un adatath payana kaleta "ane apita watura natho kiyagena deshapaluwo passe duwannai.....hathakma ganan wathura adinnai thama wenne.......

    unta ekawath natherima ............??????????

    :(
    charmi mathawanam maxa..........

    ReplyDelete
  31. sory a...... charmi kathawanam maxa .....podi printing mis 1...

    thawa liyapan kollo....

    oya pansale adders 1 mokadda?

    ReplyDelete
    Replies
    1. ඇඩ්‍රස් එකේ දැනට පන්සලක් නම් නෑ. වල් වැදුනු ආවාසගෙයකුයි ධර්මශාලාවකුයි බුදු මැදුරකුයි තියෙනවා. බෝධින්නාන්සේත් තියෙනවා. පෝයදාට සමහරු ඇවිත් පහන් පත්තු කරලා යනවා.

      මිනිස්සුන්ගෙ මතයක් තියෙනවා පන්සලේ කාටවත් ඉන්න බෑ කියලා. ඒ නිසාම වෙන හාමුුදුරු නමක් ඒ පන්සලේ වැඩවාසය කරන්න එන්න අකමැතියි. හාමුදුරුවො ඉඩම් තණ්හාවෙන් මැරුනා කියල මිනිස්සු අතර මතයක් තියෙන නිසා හැදුනු කතා වෙන්න ඕනෙ.

      මම ස්ථිරවම එකක් දන්නවා. රතනපාල හාමුදුරුවන්ව කිසි කෙනෙක් ඇතුලතින් තේරුම් ගත්තෙ නැති බව.

      Delete
    2. ස්තුතියි කසුන් ඔබේ කමෙන්ටුවට.

      Delete
  32. සා‍සනේ ගැන හොද විවරනයක්...මාරයත් මෙතෙන්ට ආවනම් තමයි හොද

    ReplyDelete
    Replies
    1. මාරයට දැන් මේවට එන්න වෙලාවක් නෑ. තමන්ගේ ධන උල්පත සිඳී ගිය හෙයින් තව උල්පතක් හොයා ගන්න වැඩ කරන්න තියෙනවා.

      Delete
  33. හොඳ කතාවක් . මේ වගේ කතා තවත් ලියන්න ...ලියපු කතා පබ්ලිෂ් කරන්න...

    ReplyDelete
  34. මම කැමතිම ලිපි:
    රමණීගෙ හැන්දෑව
    බල්ලා ගොඩගත් කෙල්ල
    ඊලඟට මේක :)

    ReplyDelete
  35. පට්ටම පට්ට පෝස්ට් එකක් ඈ....... කියවල ඉවර උණාට පස්සෙ මං විනාඩි 10ක් විතර කල්පනා කරල තමයි මේ කමෙන්ට් එක දැම්මෙ.

    ReplyDelete

Follow by Email