Thursday, May 24, 2012

‘සපුමලී’ ටෙලියේ ‘හරී...ඊ... විහිළුකාර’ සේන කොල්ලාට.....

"සපුමලී" හි සේන - වසන්ත මුහන්දිරම්
(pic. from Gossip Lanka Photo Gallery)
මචං වසන්ත,

උඹට මාව අඳුනගන්න බැරිවෙන්න පුළුවන්. ඒත් උඹ මාව ටිකක් දන්නවා. මම උඹව හොඳටම දන්නවා. මම අවුරුදු දහයකටත් වඩා කාලෙක ඉඳන් උඹ දිහා උනන්දුවෙන් බලන් ඉන්නවා. ඒ උඹ තරමක් වෙනස් මිනිහෙක් හින්දා. රංගන හැකියාව කියන වාසනා ගුණය උපතින්ම ගෙනා දුර්ලභ මිනිහෙක් හින්දා.

කෙටියෙන් කියන්නම්. මෙතෙක් මම දැකල තියෙන අළුත් පරපුරේ දක්ෂතම රංගන ශිල්පීන් හත් අට දෙනාගෙන් කෙනෙක් උඹ. ස්ථිරවම. (උන්ගෙනුත් ‘ජනප්‍රිය’ නැතිම එකා J ) මේව කියෝල මුරුංග ගහේ නගින්නෙ නැති තරමට උඹ පරිණත ඇති.
උඹ ගැන ලියන්න හිතුනෙ මේ ළඟදි හිතවතෙකුගේ නිවසකදි උඹව දැක්ක නිසා. ටෙලිනාට්‍යයක. (මම ඔය මල සමයං බැලිල්ල නවත්තල අවුරුදු දෙකතුනක් බං).
ඇඩ් පෝලිමකට පස්සෙ මෙන්න එකපාරට උඹ. මට පොල්ලෙන් ගැහුව වගේ. උඹම තමා. ඒ ටෙලියෙ නම ‘සපුමලී’ ලු. උඹේ නම ‘සේන’ ලු. හරී විහිලුයිලු.

ඇඬුන බං.

උඹ ජෝක් කරනව නෙමේ. උඹව ජෝක් එකක් කරල. රැවුල ගිනිකූරු කට් කපල. ඉරිච්චි පප්ප බැනියමක් අන්දල. එක අතකට මේකප් කරපු එකාට මොකුත් කියල වැඩක් නෑ. ඌ දෙන්නෙ ඩිරෙක්ටර් (බුදු අම්මෝ) ඉල්ලන එකා (උගෙ රස්සාව). ඩිරෙක්ටර්ට මොකුත් කියල වැඩකුත් නෑනෙ. ඌ දන්නව ප්‍රේක්ෂක වාහෙල ඉල්ලන්නෙ මොකාද කියල (උගෙත් රස්සාව). ඔය කුජීත බිස්නස් එක ඇතුලෙ උඹ නිකං කරපිංච කෑල්ලක් විතරයි (උඹේ රස්සාව? කියන විදිහට ඉඳල, දෙන සොච්චමක් අරං ගෙදර එන එක). වෙන මොනව කරන්නද බං.

උඹ ආවෙ වේදිකාවෙන්. මම දන්න විදිහට තරුණ සේවා සභාවෙ තුරුණු ශක්ති වැඩසටහනෙන්. උඹේ මාධ්‍යය වේදිකා නාට්‍ය. උඹ රස්සාවකට නොගියෙ රඟපෑමට ආදරේ හින්දා. මම දන්න තරමින් උඹට තිබ්බෙ ජනප්‍රිය වෙන්ඩ උණක් නෙමේ. මුළු ඇ‍‍ෙඟෙන්ම රඟපාන්න පුළුවන් චරිත බඩගින්නක්. මම හිතන්නෑ උඹට ප්‍රමාණවත් ආහාරයක් මෙතෙක් ලැබුණ කියල.

උඹ කෙටිනාට්‍ය ගොඩක, නාට්‍ය ගොඩක රඟපාල ඇති. ඒකෙ උපරිමය මම දැක්කෙ 2002 දි විතර වෙන්න ඕනෙ. ජෝන් ද සිල්වා එකේදි. යෞවන සම්මාන ෆයිනල්. නාට්‍යය “බල්ලො දෙන්නෙක්”.

විනාඩි විසි අටක් උඹ වේදිකාවෙ සොඳුරු යුද්දයක් කලා. මිනිස් සිරුරකින් මැවිය හැකි හැම වර්ණයක්ම ඒකෙ තිබුණා. නාට්‍යය ඉවරවුනාම තමයි තේරුණේ උඹ විතරයි ඒකෙ රඟපෑවෙ කියලා. චරිත එකයි. තව මන:කල්පිත බල්ලෙකුයි J. ජෙනරල් ලයිට් විතරයි. මේකප් නෑ. ඇඳුම් නිකම්ම කමිසෙකුයි කලිසමකුයි. මියුසික් නෑ. ඒ සේරම උඹ. උඹ ඒ නාට්‍යයෙන් හොඳම නළුවා උනා.

මම හිතුව දැන් හරි කියල. මට අමතක වුනා මේ ලංකාව කියලා. උඹත් ඒක අමතක කලා. උඹේ උද්දච්චකම වෙන්නැති හරහට හිටියෙ. උඹ හිතන්ඩ ඇති එක එකා ගාවට බඩගාන්නෙ නැතුව තැනකට එන්ඩ උඹේ හැකියාව ප්‍රමාණවත් කියලා.

ඊට පස්සෙ ආරංචිවුනා උඹ ෆෝරම් තියටර් කියල එකක වීදිනාට්‍ය කරනව කියල. මම සතුටුවුනා. ‘රස්සාවකට’ ජීවිතේ බිලි නොවී අවස්ථාවක් ලැබෙනකං උඹ පවතී කියල. පැවතුනා නං තමයි.

ඊළඟ අවුරුදු කීපය මම ටිකක් දුරින් උන්නෙ. 2008 දි තමයි උඹ ගැන ඊළඟ ආරංචිය ආවෙ. “අපේ ගෙදර යං” කියල කෙටි නාට්‍යයකින් උඹ ආපහු යෞවන සම්මාන හොඳම නළුවා වෙලා තිබුණා. නාට්‍යය බලන්න එන්න බැරිවුනා. පස්සෙ වීඩියෝ එකක් ලැබිලා බලාගත්තා. (වීඩියෝ එකකින් නාට්‍යයක් බැලුවා - නොදකිං විතරක්).

ඉතිං මචං, ඔය සපුමලීට කලින් අන්තිම වතාවට උඹව දැක්කෙ සියත ටීවී එකේ දවල් ගිය මොකද්ද විගඩමකින්. උඹ ඒකෙ දාන ජෝක් මාරයි බං. හිනා යනකං විනාඩි දහයක් විතර බලං ඉඳලා නැති තැන පස්සෙ වහල දැම්මා. ඊටත් පස්සෙ ඔය ජෝක් එක.

මචං මෙහෙමයි. උඹට දැනට වැටහිලා තියෙන්න ඕනෙ මෙතන මොකක්හරි අවුලක් තියෙනව කියන එක.  මම දන්න තරමින් උඹේ ටාගට් එක වුනේ පුලුවන් තරං ඉක්මනට ටෙලි ගොඩාරියක රඟපාල, නමක් හදාගෙන, බාගෙට හදාගෙන තියෙන ගේ එකලාසයක් කරලා, සුදු කෙල්ලෙක් බැඳගෙන..... එහෙම ගමනක් නෙමේ. වරක් මොකෙක්හරි කිව්වා අර සිරසෙ ගිය කිඳුරංගනා උලව්වෙ රඟපාන්න එකදවසක් ගිහින්, එතන විකාරෙ දරාගන්න බැරුව ඊළඟ දවසෙ ඉඳං උඹ නොගිහින් උන්නා කියල.

මම හිතන්නෙ උඹ කලාව කියන එක විශ්වාස කරනවා. එහෙම එකක අතපය දිගඇරලා රැ‍ෙඳෙන්න කවදහරි ලැබෙයි කියල උඹ හිතනවා. සොරි මචං. කේමදාස මාස්ටර් එක්කම කලාව මළා. දැං එහෙම එකක් නෑ. තවදුරටත් රඟපානව කියල එකක් මේ කොදෙව්වෙ පේන්ඩ නෑ. මනෝරත්න, මහේන්ද්‍ර වගේ අයටත් දශකයකට කලින් කරපු ඒවම කොපි කරල පෙන්නනව හැර වෙන කරන්ඩ දෙයකුත් නෑ.

මම කියන්නෙ උඹ තවත් විඳවන්ඩ ඕනෙ නෑ කියලයි. ඔය ගේ හැමදාම අම්බලම වගේ තියං ඉන්න එකේ තේරුමක් නෑ. පුලුවන්නං ඔය රඟපෑමේ රස්සාව තව ටිකක් වෘත්තීය මට්ටමෙන් කරන්ඩ බලපං. ඔය ඩිරෙක්ටර්ල ප්‍රොඩියුසර්ල එක්ක බොන්ඩ සෙට් වෙන්ඩ බලපං. මොන හාල්කෑල්ලක් උනත් කමක්නෑ. අඳුනගත්තොත් අතාරින්ඩ එපා. සතියකට පාරක්වත් නිකමට කතාකරල අහපං චාන්ස් එකක් නැද්ද කියල. එහෙම හම්බවෙන පොඩි චාන්ස් එකක් උනත් ‘කියන විදිහට’ උපරිමෙන් කරපං. රවන්ඩ කිව්වොත් හොඳටම රවපං. වැටෙන්ඩ කිව්වොත් දනිහ පනින්ඩම වැටියං. එක තැනක ඉඳං තව තැනකට යන්ඩ කිව්වොත් ටිකක් හෙමින් යමං. එතකොට වැඩිපුර තත්පර කීපයක් ස්ක්‍රීන් එකේ ඉන්ඩ පුලුවන්ලු. (ඕක දැනට නියම ට්‍රැක් එකේ යන ආධුනික නළුවෙකුගේ අනගි සොයාගැනීමක්). පිලිවෙලකට කේලමක් දෙකක් කියන්ඩ පුරුදුවෙයං. කරන්ඩ කියන වැඩේ ප්‍රමිතිය උඹට වැඩක් නෑ. රස්සාවල් කරද්දි එහෙම තමයි. මිනිහෙක් ජෝක් වෙන එකට මිලක් තියෙනවා. කියන දේ විතරක් කරපං. ඔය ‘සපුමලී’ එකේ මම බලපු ටිකේනං උඹ ගානට කරගෙන යනවා. අපිට හිනා නොගියට කමක් නෑ. ඕවට හිනාවෙන උං මේකෙ ඕනෙතරං.

ඒ විදිහට අමාරුනං ඔය මගුල නවත්තපං. උඹේ අරමුණකට ජෝක් එකක් උනාට කමක් නෑ. එක එකාගෙ සිල්ලර බිස්නස් වලට උඹවගේ මිනිහෙක් ‍ජෝක් එකක් වෙනව කියන්නෙ මහ අපරාදයක්.

මේක ලිව්වට පස්සෙ උඹට තියෙන පොඩි පොඩි අවස්ථාත් නැතිවෙයිද දන්නෑ. මට කෝකත් එකයි. එහෙම උනොත් අර ගෙදර බාගෙට කැඩිල තියෙන පොල්ලෙලි කපන මැෂිම හදල ගනිං.


දිනාල් අසංකගේ 'අපේ ගෙදර යං' කෙටිනාට්‍යයේ වසන්ත මුහන්දිරම්/චාමල් රණසිංහ
___________________________________________________

ප/ලි - ආපහු කියවද්දි මේක තඩි ඇඩ් එකක්ද කියලත් හිතුනා. ඕනෙ එකක්. කඩේ යන්නෙ උඹටනෙ. ඒක සතුටක්.

19 comments:

  1. කලාකරුවෙකුට කඩෙ ගියාට මොකෝ කලා කාරයො කඩේ යන එකේ

    ReplyDelete
  2. ඔය ටෙලියෙ මූ හොදයිනෙ. පොඩි හිරවේචි ගතියක්නං තියනවා. එච්චරම අවුලක් නෑ. අනික් උං එක්ක බලද්දි

    ReplyDelete
  3. මචං වසන්න උඹ අහම්බයක් වෙලා හරි ඇවිත් මේක කියෝපං. මේක වටින්නෙ උඹට..

    ReplyDelete
  4. මම හිතන්නේ අපි හැමෝගෙම ජිවිත වසන්තගේ වගේ කියල (මම පුද්ගලිකව වසන්තව නොඅදුනන අත‍ර ඔහුගේ කිසිම නාට්‍යක් හෝ බලා නැත, අඩුම තරමේ අර "සපුමලී" වත්). එනිසා ඔබගේ වියමන කියවූ විට අපි හැමෝගෙම ජිවිත වල තියන මහා පොදු සාදක(ය) වසන්තගේ ජීවිතෙත් හමුවෙනවා.
    පුද්ගලින් තුල ඇති සහජහෙන් එන දක්ෂතා හදුනා ගෙන වැඩි දියුණු කිරීමට අපේ අද්‍යාපන ක්‍රමය හා සමාජ ක්‍රමයේ ඇති අසමත් කම (සරසවිය තුලදී හමුවූ දක්ෂතා සපිරි මිනිසුන් ඔවුන්ගේ දක්ෂතාවලට කොහෙත්ම නොගැලපෙන රැකියා කරමින් වෙලා සරිකර ගන්නවා ) අපි හැමෝගෙම ජිවිත වලට අඩුවැඩි වශයෙන් බලපාල ඇතිබව විශ්වාස කරනවා. ඒවගේම අපි කාලයක් තිස්සේ ප්‍රගුණකළ පුරුෂාර්ථයන් ඇත්ත යථාර්තයක් තුල ජිවත් වෙන විට (රැකියාව කරන විට) දියකර හැරීමට අපට බල කර තිනවා. අපි ඉන්න ක්ෂස්ත්‍රය කුමක් වුවත් හදවත හරියි කියන දෙයට වඩා, අපි මත බලෙන් පටවපු නියාය පත්‍රයකට වැඩකරන්න අපිට බලකර සිටිනවා. ඔබ "Matrix" චිත්‍රපටය නරබා ඇත්නම් අපි හැමෝගෙම ජිවිත එහි එන අයුරට මහා අනෙකෙක් විසින් අපේ මනස තුල නිර්මාණය කරන ලද සිහිනයක්දයි("The Matrix is a computergenerated dream world built to
    keep us under control.......") සිතනවා. අපි අපේ ජීවිතවල පාලනය අපේ අතට ගත යුතු අතර එයට එරෙහිව සිටින මහා අදුර දුරු කිරීමට කුඩාහෝ පහනක් දැල්විය යුතුව තිබෙනවා.

    ReplyDelete
  5. ගිහාන් ප්‍රනාන්දු වගේ වෙන්න....එතකොට ගොඩ

    ReplyDelete
    Replies
    1. ගිහාන් ප්‍රනාන්දු ? මේකවුද?? මොනවාද කරන්නේ???

      Delete
  6. මේවට ඇඩ් කියනවනං මේ දවස්වල ගොසිප්9 එකේයි මිරර් එකෙයි යන එලිපන්ට් හවුස් ඇඩ්එකට මොකද්ද කියන්නෙ? (කාගිල්ස් වල අසූචි තිබ්බය කියලා)

    ReplyDelete
  7. ඔය කියන්නෙ වසන්තත් සුරාජ් මාපා වගේ එල පොරක්ද?

    ReplyDelete
    Replies
    1. එල නෙමේ. මී.

      Delete
  8. //වීඩියෝ එකකින් නාට්‍යයක් බැලුවා - නොදකිං විතරක්\\

    සිරා කතාව...

    ReplyDelete
  9. නාට්ටි බලන්නේ නැති නිසා වැඩි මුකුත් කියන්න බැහැ..

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මේ කතාව කියවන සිත පහත සටහනේ හැප්පේ. එකිනෙකට විරුද්ධ නොවුවද එකිනෙක හැප්පෙන මත දෙකක් නිසාවෙනි.

    -----------------

    "මම යෝජනා කරන්නෙත් ඇත්ත සමාජ වෙනසක් බලාපොරෝතුවෙන යම් නිර්මාණකරුවෙක්/කාරියක් ඉන්නවනං, ලංකාවේ නූතන ජන සාහිත්‍යය වන මේ ලූම්පන් සංස්කෘතික ධාරාවට එන්න කියලා. ඇත්ත මිනිස්සු ඉන්නෙ මෙතන. සුභාවිත කලාවට මිනිස්සු ඕනෙනම් මෙතනින් ගෙනින්න. උඩ ඉඳං අඬගැහුවට බල්ලෙක්වත් එන්නෑ.
    මෙතන ඉන්න ටිකක් අප්පිරියයි තමයි. මොකද ඇත්ත වැඩකාරයො එකෙක් දෙන්නෙක් ඇරුනම අනික් සේරම ඉන්නෙ සල්ලිවලට/පොඩි පොඩිි ආසාවල්වලට ආපු උං. හැබැයි මෙතන තමයි තැන."

    - චාර්මි.

    ----------------

    මෙහි සඳහන් [මා නොදන්නා] වසන්තයා වේදිකාව මත කළා යයි කියන විදග්ධ එහෙත් සමාජය නොහඳුනන සම්භාව්‍ය රංගනයෙන් මිදී ලංකාවේ නූතන ජන සාහිත්‍යය සමග එකතු වී ඇත. ඔහු මෙ‍හි ආ කරුණ සල්ලිවලට/පොඩි පොඩිි ආසාවල්වලට විය හැකි වුවද මෙතන තමයි තැන.

    කලාවේ දිශානතිය ගැන චාමි කල විවරණය අගයමි. එහෙත් විදග්ධ කලාවත් තවත් එක අඳුරු මුල්ලක සිරවූ එකක් පමණි. මිනිසුන්ට මුදල් අවශ්‍යයි. වසන්තයාට [මං නොබලන] සපුමලියේ රඟපෑමෙන් හම්බු කරගත හැකි ඔක්කොම මෙව්වා ටික ලෙලි කපා කවදාවත් මන්දෝ වන එකක් නැති.

    එහෙත් මගේම තර්කයේ අනික්පැත්තෙන් විජය නන්දසිරි පැමිණ ටොක්කක් ඇන ගොන් විහිළුවක් කර රොඩ්නි සමග දඟල දඟල වැටෙමින් දුවන්නේ මගේ ම දුරුවල කමකට කියා සිතේ.

    කොයි දිශානතිය ද හරි.

    අනික මේවා කතාකරන්නේ මිඩල් ඒජ් ක්‍රයිසිස් ඩයල් විතර ම ද?

    ReplyDelete
  12. නළුවන්ට යන කල...

    ReplyDelete
  13. පහලින් දාල තියෙන නාට්ටි කෑල නං ටොප්... කතා නායකය ගැන පැ‍හැදෙන්න ප්‍රමාණවත්!

    ReplyDelete
  14. mu maru porak. one ekek imitate karala pennanna muta puluwan. 'mime' elata puluwan. good luck bro.
    -Senarath

    ReplyDelete
  15. චාර්මි දැන් සියඹලා කතා ලියන්නේ නැත්ද?

    ReplyDelete
  16. මොකද චාමි මේ පීචං නලු බට්ටො ප්‍රොමෝට් කරන්නෙ? ඔයා නොදන්නවා වුණාට මේ වසන්ත කියන්නෙ ඩිරෙක්ටර්ලගෙ කක්කුස්සි බාල්දි අදින කෙනෙක්. ආණ්ඩුවට කඩේ ගිහින් තරුණ සේවා සභාවෙ පට්ටමක් ගත්ත කෙල්ලො රවට්ටගෙන බඩු ගහන ලෝක හොරෙක් ඉන්නව මංගල සේනානායක කියලා. මූ උගේ ගෝලයෙක්. චාමි ඔය හලාවතින් එළියට ඇවිත් බලපන් නාට්‍ය වල මුට වඩා කොච්චර දක්ෂ නළුවො ඉන්නවද කියලා. මම ගිය මාසෙ ලංකාවෙන් එන්න කලින් බලපු නාට්‍ය ගොඩක අළුත් දක්ෂ තරුණයො රඟපානවා දැක්කා. කුරුණෑගල නළු බට්ටෙක්ට හලාවත එකෙක් ඇඩ්ස් දාල දෙන්නෙ දැන හැඳුනුම්කමට වෙන්න ඇති. ඒ වුණාට අති සාමාන්‍ය මිනිස්සු පොරවල් කරන්න හදන්න එපා. උඹමයි නෝන්ඩි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. සොරි බොස්. ඔයාට වඩා මූ ගැන මම දන්නව මං හිතන්නෙ. මංගල සේනානායක මට අදාල නෑ. මූ මංගලගෙ ටීම් එකේ වීදිනාට්‍ය කලා. ඒක බිස්නස් වැඩක්.

      ඌ ඩිරෙක්ටර්ලගෙ බාල්දි අදින්ඩ අරගෙනනං (මම දන්න තරමින් එහෙම නෑ) හොඳයි බං. ඌට කලක් යයි.

      අළුත් උන් ගොඩක් මමත් දැක්කා. නමුත් මුගෙ නිරායාසයෙන් එන ඇක්ට් එක හුඟ දෙනෙක් ලඟ නෑ. ඒක වර්ක්ෂොප් වලින් ගන්න පුලුවන් එකක් නෙමෙයි.

      මූ කුරුණෑගල නෙමෙයි. පඬුවස්නුවර.

      Delete

Follow by Email