Thursday, December 9, 2010

විමල් ගැන මොන්ටිසෝරි ප්‍රශ්නයක්....

මේ දිනවල මා ‘පුංචි පහේ’ ප්‍රශ්නයකට උත්තර සොයමින් සිටිමි. පුංචි පහේ කිව්වට පහේ පන්තියේ නොවේ. අවුරුදු පහේ මගේ දියණියගේ ප්‍රශ්ණයකටය. දැං හැදෙන එවුන්ගේ පැහිච්චි කමට ඕන්නැති මගුලක් නැත. ප්‍රශ්නය ඇසුවේ ගිය 03 වෙනිදාය. වෙලාව රෑ 07.05 යි. අපි හිටියේ මගේ ප්‍රියතම අයි.ටී.එන්. නිව්ස් බලමිනි. එවෙලේ පෙන්වමින් තිබුණේ විමල් වීරවංශ ගරු ඇමතිතුමා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ දැවැන්ත උද්ඝෝෂණයයි. කෙල්ල ඇසුවේ මෙයයි. එයාගේම වචන වලිනි.

“ඇයි තාත්තියෝ අර කට්ටිය එනකොට පොලිස් අංකල්ලා වැටක් ගහලා පාර වහගෙන ඉන්නේ....?”

මේ ගොන් ප්‍රශ්නය යමක් කමක් තේරෙන එකෙකු ඇසුවානම් දෙන උත්තරේ දැනුදු මගේ දිවග තිබේ. එහෙත් මේ මොන්ටිසෝරි පොඩිඑකීට? මේ ප්‍රශ්ණයට මොන්ටිසෝරි පිළිතුරක් ගොනුකර ගැනීම සඳහා, එම සිදුවීම පිළිබඳ මොන්ටිසෝරි විමර්ශණයක් කරන මා, දැනට මුහුණ දී සිටින මොන්ටිසෝරි ප්‍රශ්න මෙහි පහත දැක්වේ. 1. මාර්ග බාධකයක් යොදන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හැසිරෙන නසරාණින් ගේ හැසිරීම පාලනය කොට, ඔවුන්ගෙන් තර්ජන එල්ලවිය හැකි පුද්ගල ජීවිත හා දේපළ ආරක්ෂා කිරීමටයි. ඉදින් විමල් වීරවංශ ගරු ඇමතිතුමාට මාර්ග බාධකයක් යෙදීමෙන් ඔප්පු වන්නේ එතුමා එවන් නසරාණියෙකු බවද?

2. වත්මන් රජයේ බලවත් ඇමතිවරයෙකු වන ගරු විමල් වීරවංශ මැතිතුමා යන පාර වැටවල් ගහලා වහන්ඩ පුළුවන් ජගතා කවුද?

3. අපගේ ඡන්දයෙන් තේරී පත්වූ ඇමතිවරයෙකු, ඔහු විසින් ජනතාවගේ සුබසිද්ධිය සඳහා වැදගත් යයි සලකන යම් කටයුත්තකට යන විට මෙසේ මාර්ගය අවහිර කිරීම ජනතා පරමාධිපත්‍යයට කෙසේ බලපායිද?

4. අපේ පවුලේ නාලිකාව වාර්තා කල ලෙසට මෙයට දහස් ගණනක් විරෝධතාකරුවන් සහභාගී වී ඇත. මෙලෙස දහස් ගණනක් විසින් පෙරළීමට තැත් කල මාර්ග බාධකය නොසැලී දෑතින් රැකගත් ශක්තිවන්ත පොලිස් නිලධාරින් හතළිස් දෙනා ජාතික ඔලිම්පික් සංචිතයට නම් නොකරන්නේ ඇයි?

5. විමල් වීරවංශ ගරු ඇමතිතුමා මෙවන් අවස්ථාවලදී භාවිතයට ගන්නා ස්පීකර් ෆෝන් එක කෝ?

6. මේ කලබගෑණිය වන අතරේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය වසා දමා කාර්ය මණ්ඩලය ඉවත්ව සිටි බව වාර්තා විය. ඒ විමල් වීරවංශ ගරු ඇමතිතුමා සහ ඔහුගේ අනුගාමිකයින් එම ස්ථානයට කඩාපැන, තම රැකියාව වශයෙන් එහි සේවයේ නියුක්ත වන අහිංසකයින්ට අශිෂ්ඨ ලෙස ශාරිරික හානි කරාවි යයි යන පහත් විශ්වාසය නිසාද?

7. ඇමතිතුමා අතේ තියෙන කොලේ ලියලා දුන්නේ කවුද?

ඇත්තෙන්ම ඉහත ප්‍රශ්න ඔබ විසින් එතරම් සීරියස් ලෙස නොගන්නා බව මා දනිමි. පොඩි එකීගේ ප්‍රශ්නය නිසාම ලිව්වා මිසක මාද එසේමය. එහෙත් මා සැබැවින්ම අමාරුවේ දැමූ බරපතළම ප්‍රශ්නය මෙයයි.

‘එම අවස්ථාවේ මෙම මාර්ග බාධකය නොතිබුනේ නම් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය විවෘතව තිබුණේ නම් කුමක් වනු ඇතිද?’

සැබවින්ම එය මතක් වන විටත් මා කිළිපොලා යයි. වනේ වන හතුරෙකුටවත් එවන් විපතක් මා ‍කිසිදා නොපතමි. එසේනම් විමල් වීරවංශ ගරු ඇමතිතුමාට තම ගමනාන්තය නිසැකවම හමුවනු ඇත. එය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයයි.

දහස් ගණනකට එකවර ඇතුලට යාමට නොහැකි බැවින් ගරු ඇමතිතුමා සහ තවත් දෙතුන් දෙනෙකුට පමණක් ඇතුලට යාමට සිදුවේ. සුටුස් ගා අසුනින් නැගීසිටින පිළිගැනීමේ නිළධාරිණිය “Good evening sir… Can I help you?...” යනුවෙන් නිසැකවම අසනු ඇත. එවන් සුකොමළ නිළධාරිණියකගේ මුහුණට “කොටි කුක්කනි... ගෙදර යනු..!” යනුවෙන් එතුමා කියයි කියා මා නම් නොසිතමි. අනතුරුව සිදුවිය හැකි අවාසනාවන්ත සිදුවීම මහකොමසාරිස්තුමා ෆේස් ටු ෆේස් හමුවීමයි. කරුමෙට සංදේශ කඩදහියකුත් නොගෙ‍නිච්ච නිසා අරමුණ පැහැදිළි කිරීම දන්නා විදිහට වාචිකව සිදුවනු ඇත. මෙම පලහිලව් තම රජයට දැනුම් දෙන බවට මහ කොමසාරිස්තුමා පොරොන්දු වීම ගහේ බඩු මෙන් ෂුවර්ය. ඉන් අනතුරුව එළඹෙන්නේ අප ඇමතිතුමා ලාමක සිනාවක් මුව රඳවාගෙන තම අනුගාමිකයන් වෙත නැවත සම්ප්‍රාප්ත වීමේ අසීරු මොහොතයි.

තවත් තත්පර කීපයකින් ඊළග මරාළය කඩාපාත්වනු ඇත. එනම් පූර්ව චාරිත්‍රාණුකූලව අනුගාමිකයෙකු විසින් මයික්‍රෆෝනයක් දිගු කිරීමයි. තම දරුවාට අධ්‍යාපන වීසා පවා අනුමත කර දුන් සත්පුරුෂයෙකු අසා සිටියදී..................
හලේ..... මට බෑ අප්පා මේවා ලියන්ඩ...... ©

කෙසේ වෙතත් මෙම බරපතළ ප්‍රශ්නය ගැන කිසිවක් කෙලීගේ පිළිතුරට ඇතුලත් නොකිරීමට මා වග බලා ගනිමි. මක් නිසාද යත් ඕක කිව්වායින් පසු කෙල්ල ටක්කෙටම අහන්නේ,
“ඊට පස්සෙ ඒ අංකල්ට මොකද උනේ තාත්තියෝ...?” කියාය. මට කීමට සිදුවන්නේ බොරුවකි. මන්ද යත්, සිය දිවි නසා ගැනීම් වැනි දරුණු දේවල් මෙවන් ළපටි සිත් වලට දරාගැනීමට අසීරු බැවිනි.

Wednesday, November 24, 2010

ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)

(පැහැදිලි කිරීමකි - මා ලියන බොහෝ කතා වල ප්‍රධාන කතා නායිකාව ඔබ වන හෙයින් ‘ගරු කතානායකතුමිය’ යනුවෙන් ඇමතීමට අවසර දෙන්න.)

ගරු කතානායකතුමියනි,
නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද කොට්ඨාශයේ ආශ්චර්යය බවට පත් කිරීමත්, මා සහ ඔබතුමිය විසින් කසාදයට පෙර සිටම සැලසුම් කල සහශ්‍රක සංවර්ධන අභියෝග ජය ගැනීමත් අරමුණු කොට මා විසින් සකස් කරන ලද 2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව මෙසේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.

ආදායම්
සාමාන්‍ය ක්‍රමයට පටහැණිව යමින් 2011 වසරේ අප පවුලේ අය වැය පරතරය පළමුව ඉදිරිපත් කරමි.
පවුලේ ආදායම් - සාමාන්‍ය වාතාවරණය තුල 2011 වසරේ අප පවුලේ මාසික ආදායම රු. 19500/- කට නොවැඩි විය හැකිය. එයින් නිවාස ණය වාරිකය රු. 6000/- ක්ද, මෙම වර්ෂයේ ලබාගත් පාරිභෝජන ණය වාරිකය රු. 2200/- ක්ද අඩුකල විට රු. 11300/- ක මුදලක් අතට ලැබෙනු ඇතැයි උපකල්පනය ‍කෙරේ.

වියදම් - (පවත්නා උද්ධමන අනුපාතිකය මත මාසිකව)

ආහාර පාන සඳහා (ලෙව කෑමට ප්‍රමාණවත් පරිදි) - රු. 8900/-
කිරිපිටි (පොඩි එකාට පමණි) – 820/-
සනීපාරක්ෂාව සහ රූපලාවණ්‍ය - 900/-
සෞඛ්‍ය (ඔබතුමියගේ සහ දරුවාගේ පමණි) - රු 800/-
බලශක්තිය (විදුලිය+භූමිතෙල්) - රු. 1100/-
ජලය - රු. 600/-
සන්නිවේදන (දුරකථන+අන්තර්ජාල) - රු. 1800/-
ප්‍රවාහන (පෙට්‍රල්) – 3000/-
ආරක්ෂාව (උපත් පාලන පෙති) - රු. 90/-
සේවා ස්ථානයේ ටිකට් පොත්/යාචකයින්/සමිති සමාගම් - රු. 600/-
මගුල් ගෙවල්/මළ ගෙවල්/දානෙ ගෙවල් සහ ඥාති/මිතුරන්ගේ අතුරු ආන්තරා - 2000/-
අධ්‍යාපන (දරුවාගේ පමණි) - රු. 1500/-
විනෝදාත්මක (ඩී.වී.ඩී ‍2 යි/ගල් බාගයයි/පොත් 1යි/සිරිකත පත්තර 4යි/බින්දු පත්තර 4යි) – 1320/-
ඇඳුම් - අනපේක්ෂිතයි.
වෙනත් අනපේක්ෂිත වියදම් (යතුරු පැදියේ පැච් යාම/ ඉන්ෂුවරන්ස් නැතිව පොලිසියෙන් ඇල්ලීම/ නිවසේ උපකරණ හානිවිම/ මහ මගදී දරුවා සෙල්ලම් බඩු ඉල්ලීම///... වැනි) - රු. 1500/-

අපේක්ෂිත මුළු වියදම - රු. 24930/-
එම නිසා ඉදිරි වර්ෂයේ සාමාන්‍ය මාසික අයවැය හිඟය - රු. 13630/-

ගරු කතානායකතුමියනි,
ඉදිරි වර්ෂයේ සෑම මාසයකම මෙම අයවැය හිඟය සීයට හැත්තෑවකින් හෙවත් රුපියල් 9541/- කින් අඩු කිරීමට සහ, අප පවුලේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් යෝජනා කර සිටිමි.

1. කිරිපිටි සීමා කෙරේ. මින්මතු ටී.වී එකේ පෙන්වන පරිදි පුරවා හැඳි දෙකක් දැමීම තහනම්ය. එමෙන්ම දැනට කරන ඉඳහිට හෝ මස් මාංශ අනුභවය නවතා දැමීමට යෝජනා කරමි.
2. ඇඳුම් සේදීම අවම කිරීම සඳහා එක ඇඳුම අමාරුවෙන් හෝ දින තුනක් ඇඳිමට යෝජනා කරමි. ගෙදර සිටින විට හැකිතාක් ඇඳුම් අඩුවෙන් සිටීම උචිතයි. අපේ වැසිකිළියට යන්නේ අප පමණක් බැවින් වැසිකිළිය පවිත්‍ර කිරීමට අළු යොදා ගත හැකිය. ෆෙයානස් ක්‍රීම් වැද්ද නොගන්නා අතර දත් මදිනු ලබන්නේ දිනකට එක් වරක් පමණි.
3. මින් මතු අසනීප වලදී ආණ්ඩුවේ ඩිස්පැන්සරියට යාමට හිත හදා ගන්නා මෙන් යෝජනා කරමි.
4. බලශක්තිය පිරිමැසීම සඳහා සියළු කාමර වලට එළිය වැටෙන පරිදි එක් බල්බයක් වහල මුදුනේ එල්වනු ඇත.
5. ජල භාවිතය අවම කෙරේ. නෑම සඳහා දින තුනකට වරක් ජලය සලාක ක්‍රමයට නිකුත් කෙරේ.
6. මින් පසු එක එකාගේ මිස් කෝල් වලට කතා කිරීම තහනම්ය. අන්තර්ජාල භාවිතය සීමා කෙරේ. තෝරාගත් බ්ලොග් 10 ක් දිනපතා බැලීමට මා හට අවසර ඇති අතර මෙම බ්ලොගයට මාසිකව දාන පෝස්ට් ගණන දෙකකට සීමා කෙරේ.
7. පුෂ් බයිසිකලය නැවත භාවිතා කිරීමේ හැකියාව සොයා බැලේ.
8. ආරක්ෂක වියදම් ඉහල නැංවිමට යෝජනා කරමි. මේ තත්වයේ හැටියට වැරදිලාවත් තවත් එකෙකු බඩට ආවොත් වහකන්ඩ වෙන බැවින් පෙති අවසන්ව ඇති හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම පිණිස කොණ්ඩෝම සංචිතයක් පවත්වා ගැනීම පිණිස රු 100/- ක ප්‍රතිපාදන වෙන් කෙරේ.
9. නිවසේ ඉදිරි පස දොර වසා තැබීමට යෝජනා කරමි. එයින් අනවශ්‍ය යාචකයන් හා පිංපත්තර කරුවන් වාරණය කෙරේ.
10. දුරකථනය නිතර විසන්ධි කොට තබනු ලැබේ. එමගින් ඥ‍ාති මිත්‍රයන්ගේ හදිසි චාටර් වලට කර උර දීම අවම වේ. එමෙන්ම ඔවුන් අතේ දුරින් තබා ගැනීමද වැදගත්ය.
11. විනෝදාත්මක පිරිවැය සම්පූර්ණයෙන් කපා දමනු ලැබේ. මුදල් වියදම් වන ‘මත’ට තිත තබන අතර නිකන් ලැබෙන ‘මත’ සුළු පමණ අකැප නොවේ. විනෝදය පිණිස අයි.ටී.එන් නිව්ස්, ලයිව් ඇට් එයිට්, ඉරා අඳුරු පට වැනි විනෝදාත්මක වැඩසටහන් වලට හුරු විය යුතු අතර පබළු/අමන්දා වැනි ටෙලි නාට්‍ය කෙරෙහි ඇති අපුල ඉවත් කර ගැනේ. දරුවාට කුරුම්බැට්ටි වලින් කරන සෙල්ලම් ඉගැන්වීමට යෝජනා කරමි.

ගරු කතානායකතුමියනි,
ඉහත ප්‍රතිසංස්කරණ මගින් අප පවුලේ අය වැය පරතරය ඉලක්ක කල පරිදි පහත හෙළිය හැකි වනු ඇත. එහෙත් ඉදිරියේදී ඇතිවිය හැකි ආශ්චර්යමත් හදිසි උද්ධමන තත්වයන්හිදී මෙම ක්‍රියාමාර්ග සාර්ථකත්වයක් නොපෙන්වන්නේ නම් ගත හැකි හදිසි ආරක්ෂණ පියවරක් ඇති අතර, ඒ සඳහා පෙර සූදානමක් ලෙස නිකම් ඉන්නා වේලාවට ඔබගේ ශරීරයට කම්බි ඇණ, ඇල්පෙනෙති ආදීය ඇතුලත් කරගැනීමෙන් අදාල වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

ගරු කතානායකතුමියනි,
ඇත්ත වශයෙන්ම අපගේ සහශ්‍රක සංවර්ධන අභියෝග සහ ආශ්චර්යමත් පුංචි පවුල වැනි අනගි සංකල්ප මෙම අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී අමතක කොට නැත. 2012 වසරේදී එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා, 2011 වසරේදී පණ ගැට ගසා ගැනීම පමණක් මෙම යෝජනාවලියේ අරමුණ වන්නේය.
අපිට සුබ අනාගතයක්!
ප/ලි - සෝපොත්තා වගේ ඉන්න දරුවාට ඉඳ හිට හෝ චීස් කෑල්ලක් දෙකක් දීම පිළිබඳව ඔබ මෙයට පෙරද මා සමඟ සාකච්ඡා කර ඇත. එහෙත් ඒ සඳහා ඉහත වැය ශීර්ෂයන්ගෙන් කපා දැමීමට ඉතිරිව ඇත්තේ ආරක්ෂක වියදම් පමණි. දරුවාගේ පෝෂණය ගැන සිතා ඔය කාර්යය සදහටම නවත්වා දැමීමට අපට හිත හදා ගත හැකිනම්, රජය බලාපොරොත්තු වන ආකාරයටම නිරෝගී පුෂ්ඨිමත් දරුවෙකු සමාජයට දායාද කිරීමට අප දෙදෙනාටම හැකි වනු ඇත.

Thursday, November 18, 2010

ණයට ගෙනා මනමාලි

සිරිසේන අයියා සංවර්ධන බැංකුවට යනවා මං බලාගෙන. මාව දැක්කා මං හිතන්නෙ. මං නොදැක්කා වගේ උන්නා. නැත්තං පෙරේදා වගේ නීති උපදෙස් දීලා මගේ හොඳ පණ යනවා. හොඳ මනුස්සයා. රස්සාව ජෝසප් මුදලාලි ළඟ පොල් ලෙලි ගහන එක. කතාබහෙයි පෙනුමෙයි තරමක නෝන්ජල් ගතියක් තිබ්බත් අවංක මනුස්සයා. වයස අවුරුදු හතලිහකට කිට්ටුයි. මං කිව්වොත් ඕන දෙයක්.

පෙරේදා හවස මග රැකගෙන ඉඳලම මිනිහා මාව අල්ල ගත්තා.
“මාර වැඩේනෙ මලේ.... මගේ ගෑනි නඩත්තු ඉල්ලලා නඩු දාලනේ....”
ඔය කියන්නෙ අවුරුදු දෙකකට කලින් මිනිහව දාල ගිය ජානකී ගැන.
“කොහෙද දැං ඉන්නේ....?”
“නිකවැරටියේ ..... උංගේ ගම නේ....?”
“නඩත්තු දෙන්ඩ උඔලට දරුවො උන්නැයි...?”
“ඒකනේ........!”
මිනිහා ඒ වචනේ ඇදලා පැදලා කියන තාලෙට ඕන කෙනෙකුට හිනා යනවා. මට තේරෙන විදිහට නං ජානකීට මේ කසාදේ පොතෙන් කටුගාල දාගන්ඩ ඕනෙ වෙලා වගේ. මේ යකාට ඕවා තේරුම් කරනවා සුම්මා.
“උසාවි ගිහිං බලාගමු.... වෙලාවක් තිබුනොත් මාත් එන්නං......”
“ඒක හොඳයි..... අනික මට කොහෙංද සල්ලි... ඔන්න උංගෙ නං හතර වරිගෙම කසිප්පු බිස්නස්කාරයෝ වෙච්චි......”
“අන්න වැඩේ..... ඕක උසාවියෙදිම කිව්වනං හරි.... ආයෙ උසාවි පැත්ත පළාතෙ නොඑන්ඩ.....”
“එහෙමත් බෑනෙ මලේ... ඔය ගෑනි තරහා උනොත් ආයෙ ගෙන්න ගන්ඩ වෙන්නෙම නෑ...”
“හහ්.... තාම ලෙංගතුකම තියෙනවා......”
“නැතුව මලේ.....? මොන වැරැද්ද කොලත් ගෑණීනේ

ඔය කසාදෙ කෙරුන වකවානුවේ සිරිසේන මාත් එක්ක වැඩි පයුරු පාසානයක් නෑ. සිරිසේනගේ අම්මා කාලෙකට කලින් මියගියා. සහෝදරයො දෙන්නත් කසාද බැඳලා ටිකක් දුර පදිංචි උනාට පස්සෙ ගෙදර ඉතුරු උනේ සිරිසේනයි තාත්තයි විතරයි. මේ මනුස්සයට කසාදයක් කරල දෙන්න උන්දෑ නොගත් වෑයමක් නෑ. ඒත් බලන්ඩ ගිය එක තැනක් වත් කැමති උනේ නෑ. මං හිතන්නේ මේ යකාගෙ නෝන්ජල්කමට. අන්තිමේදි ටිකක් දුර බැහැර කපුවෙක් තමා නිකවැරටියෙන් ජානකීව කතා කලේ. මොකද්දෝ හේතුවකට ඒ ගෙදරින් කැමති උනා. හැබැයි ඒක සිරිසේනටවත්, සිරිසේනට උරුම වෙන්ඩ තිබුනු කණාටු පොල් අක්කරේටවත් ඇතිවුනු කැමැත්තක් නෙමේ කියලා මටනං තේරෙනවා. දෙයියො දනී.

මගුල ජයට ගන්න සිරිසේනගේ තාත්තට ඕනෙ උනා. උන්දැගේ හේතුවත් නරකම නෑ.
“මේ ගංකොරේ මගුල් තුංහාරසීයකට මං ගිහිං ඇති. ගනං හැදුවොත් ලක්සෙකට එහා ඕවට දීල තියෙනවා. මගේ අනිත් උන් දෙන්නත් හොරාට උස්සං ගිය එකේ මේකවත් පිලිවෙලකට කරන්ඩ එපා‍යැ......”
මගුල ගන්න ඉඩම උගස් කරලා සංවර්ධන බැංකුවෙන් ලක්ෂ දෙකක් ගත්තා. ගේ පිළිසකර කරගන්නයි මගුලේ වැඩකටයුතු වලටයි.
“ඕක සුටුස් ගාල හොයාගත්තෑකි..... තුන් හාරසීයකට වඩා ඉන්නවා නොකියම බැරි.....”

අපරාදෙ කියන්ඩ බෑ. මගුල ජයට ගත්තා. සෑහෙන පිරිසක් ආපු, හොඳට කන්ඩ බොන්ඩ දීපු, අන්තිමට පොඩි වලියකුත් ගියපු අංගසම්පූර්ණ මගුල් ගෙයක්. මම ජානකීව දැක්කෙ ඊටත් සුමාන දෙකකට විතර පස්සෙ. ටිකක් කළු උනාට තරමක හැඩකාරියක්. සිරිසේනට ඉහටත් උඩින්.

කොහොම උනත් වලිය අතරේ, කාපු බීපු එවුන් සල්ලි නොදා මාරුවෙච්ච නිසා මගුල් ගේ පාඩු වෙලා තිබුනා.
“ලස්ස එකහමාරකට වඩා පාඩුයි.... මේ ගංවල හැත්ත........”
අලුත් කසාදෙ බරත් එක්ක ලක්ෂ දෙකක ණය බරකුත් සිරිසේනට පැටවුනේ ඔහොමයි.

සිරිසේන හුඟාක් සතුටින් ගත කරපු වකවානුවක් තමා ඕක. අලුත් ජෝඩුවට නිදහසේ ටික කලක් ඉන්ඩ දීල සිරිසේනගේ තාත්තා සහෝදරයෙකුගේ ගෙදර ගියාට පස්සෙ දෙයියනේ කියලා සිරිසේන ගෘහ මූලිකයෙකුත් උනා. මායියගේ රෙදි පෙරෙදිත් හෝදන්නෙ සිරි‍සේන කියලා වටේ උන් කතා උනත්, සිරිසේන හුඟක් සතුටින් ඒවා කරන්ඩ ඇති බව මම දන්නවා.

දවසක් සිරිසේන වැඩ ඇරිලා එනකොට විච්චූරණ චීන මෝටර් බයිසිකල් තඩියෙක් මිදුලෙ නවත්තලා තිබුනා. ගේ ඇතුලේ ජානකි එක්ක කතා කර කර හිටියේ තරමක ඉලන්දාරියෙක්.
“ආ... සිරී.... මතකද මේ මල්ලි...? මගුල් ගේ දා මාව ගෙනත් ඇරලන්ඩ මෙහෙත් ආවෙ..?”
ඒ පරම්පරාවෙන් සිරිසේනට හරියකට මතක තිබුනේ මාමණ්ඩියි නැන්දම්මයි ඇරුණහම ජානකීගෙ මාමා කෙනෙක් වෙච්ච බඩ තියෙන කළු මහත ගෝරිල්ලෙකුයි විතරයි. කෝකටත් මතකයි කියන්ඩ සිරිසේන ඔලුව වැනුවා.
“අපේ අර සේතු බාප්පගේ දෙවෙනි පුතා.... අපේ ගෙවල් පහල පාරෙ.......? අර.....”
“පොඩි බිස්නස් රවුමක් ආවා අයියේ.... හොඳ බයික් දෙක තුනක් ගැන ඔත්තුවක් ආවා........ ඒ ගමංම අක්කවත් බලල යන්ඩ.......”
ඔය බිස්නස් ගැන මෙලෝ දානයක් සිරිසේන දන්නෙ නෑ.

ඊට පස්සෙත් කීප වතාවක්ම ඔය නෑයා ඇවිත් ගිහින් තිබුනා. වතාවක් දෙකක් ජානකීම කිව්වා. තවත් වතාවක් හමාරක් බයිසිකල් රෝද පාර දැකලා සිරිසේන ඇහුවාම ජානකී කිව්වා. තවත් වතාවක් රෝද පාර තිබුනත් ජානකී නෑ කිව්වා. සිරිසේන ඕවා හාර අවුස්සන්ඩ ගියේ නෑ.

හැබැයි ඊළඟ සතියේ දවල් කෑම වෙලාවෙ වරුවක් නිවාඩු අරං සිරිසේන ගෙදර එනකොට අර මෝටර් බයියිකල් තඩියා මිදුලෙම තිබුනා. බිත්තිය අයිනටම ඇවිත් පුෂ් බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහනකොටම වගේ කලබල උනු කවුරුහරි පුටුවක හැප්පෙනවත් ඇහුනා. අඩවල් කොරපු දොරෙන් ඇතුල් වෙනකොට අර ඥාතියා මේසෙකට හේත්තුවෙලා කමිසෙ බොත්තං දානවා. බලෙං හිනාවෙන්ඩ හදන උගේ මූණත් බිරාන්ත වෙලා වගේ.
“මේ පැත්තෙ පුදුම රස්නයක්නේ අයියේ.....”
සිරිසේනට එකපාරටම හිතුනේ ‘‍යකෝ.... නිකවැරටියේ එකෙක් කියන කතාවක්ද..?’ කියලා. ඒත් පොඩ්ඩක් හිනාවෙන්ඩ උත්සාහ කලා.
“බාප්පා කිව්වා එනගමං අක්කට කොහොමද කියලා බලං එන්ඩ කියලා....”
“කෝ අක්කා.....?”
එතකොටම වගේ කුස්සිය පැත්තෙ ඉඳං ජානකී ආවා.
“මේ... මල්ලි ඇවිත්............”
ඒ වෙනකොටත් මාස දෙකක් තිස්සෙ දීග කාපු එකේ ජානකීගෙ මූණෙ වෙනසක් සිරිසේන අඳුන ගත්තා.

එදා රාත්තිරියේ මේ නෑයා නිතර එන්නෙ ඇයි කියලා සිරිසේන ජානකීගෙන් ඇහුවේ බොහොම යාප්පුවෙන්.
“ඇයි....? තමුසෙ ඒකටත් පදයක් හදන්ඩද? යකෝ මං උන්නද මලාද බලන්ඩ නෑයෙකුට කියලා එන්නෙ..........”
ඒ හඬ නං ජානකීගෙ නෙමේ. ජානකී ඇතුලේ හැංගිලා හිටපු වෙන යක්ෂයෙකුගෙ.
සිරිසේන ඇත්තටම බය උනා.

ඊළඟ සතියෙ හමාරෙ තත්වෙ බොහොම දරුණු උනා. කීප පාරක්ම හේතුවක් නැතිවම සිරිසේන ගුටිනොකා බේරුණෙත් යන්තමින් වගේ. මේවා ආරංචි වෙලා සිරිසේනගේ තාත්තත් ගෙදර ආවා. ඒ ඇවිත් දවස් දෙකයි. සිරිසේන වැඩ ඇරිලා එනකොට ජානකී යන්ඩම ගිහින් තිබුනා.
“අර එනවා කියපු මොකාද එකා බයික් එකේ ආවා.... මේකි තඩි බෑග් දෙකක් එල්ලගෙන කතා නැතුවම ගිහින් නැග්ගා.... කොහෙද යන්නෙ කියලා අහන්ඩ නැගිටිනකොටත් මුං ගිහිං........”
ජානකීගේ ඇඳුම් කැඩුම්, රත්තරං බඩු, අල්මාරියේ තිබුන හොඳ බෙඩ්ෂීට් වගයක්, තවත් මොන මොනවදෝ එක්ක ණය ගෙවන්ඩ එකතු කරලා තිබුන රුපියල් පන්දාහකුත් ගෙනිහිං තිබුනා.
* * * * * * * * *
සිරිසේන බැංකුවේ ඉඳං කෙලින්ම ආවේ මං ළඟට.
“ණය වාරිකේ දාන්ඩ ආවා මලේ.....”
ඒ මගුල් ගෙදර ලක්ෂ දෙකේ ණය. මං නිහඬව උන්නා.
“දැං අවුරුදු දෙකකටත් වඩා ගෙව්වා. අද අහද්දි කියනවා තව එක්ලක්ස හැටදාහක් තියෙනවලු..... යකෝ මට ජීවිත කාලෙම පොල්ලෙලි ගහන්ඩ වෙයි මේක ගෙවන්ඩ..... ඒ මදිවට අරයා නඩුත් දාලනේ.....”
ඔය එන්නේ අර කතාවට තමා.
“අපි උසාවියෙදි කියමු මලේ ගෑණිව බාරගන්ඩ ලෑස්තියි කියලා......”

Saturday, November 13, 2010

බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.

පූර්විකාව
සමාවෙන්ඩ ඕනෙ. මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මේක ලියලා තියෙන්නෙ අපේ samමහත්තයා. දන්න විදිහට නම් සිංහල බ්ලොග් අවකාශය මේ තැනට ගේන්න ලොකු දායකත්වයක් දුන්නු ප්‍රවීණයෙක්.
මේ කතන්දර දාන්නෙ ඒක නිසාම නෙමේ. ?????
මේවා සිංහල බ්ලොග් අවකාශය තුල මම කියවපු හොඳම කතන්දර වලින් කීපයක්. (ඒ පෝස්ට් එකේ කමෙන්ටුවක් දාල ටැබූ ත් ඕකම කියලා තිබුනා) අලුතින් බ්ලොග් අවකාශෙට ආපු අපිල වගේ ඇත්තොන්ට මේවා අහුවුනේ නෑ. (අනික සැලකියයුතු පාඨක පිරිසකට මේවා ගියාද දන්නෙත් නෑ. අඩු ගානෙ කතන්දර වත් මේක කියෝපු හෝඩුවාවක් නෑ) මේවා කාල‍යත් සමඟ වැහිලා යනවට වඩා මෙහෙම හරි බෙදා හදා ගන්න එක හොඳයි මගේ හිතේ.
සියළු ස්තුති ප්‍රශංසා sam මහත්තයාටද, සියළු ඇණුම් බැණුම් මටද හිමියි.
09 January, 2010

බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.

මේ ලියන්නේ කාලයක් තිස්සේ දැකපු අහපු විහිලු කතන්දර කීපයක්. මේ වාගේ බොහෝමයක් කතා වයසත් එක්ක අමතක වෙලා ගිහිල්ලා. මතක තියන කීපයක් තමයී ලියන්නේ.
හරක් හොරා.
ඔන්න ගමක හරක් හොරෙක්ව රෑ එලිවෙනෙකම් රැකලා ඉදලා පොලොසියෙන් අල්ලගෙන. ගමක් කීවට ඔය කොලඹ ඇත්තො සුරතලේට කතා කරන කොග්ගල වගේ ගමක් නොවෙයී ඕන්. මේ ගම හැබෑම ගමක්. අක්කාගේ කොල්ල ඉස්කොලේ වැඩිපුර ලකුණු ගත්තොතින් ඌට කබර තෙල් දෙනව. ගෙදර දෙමහල්ලොම හේන් කොටන්න ගිහිල්ලා. හැඩිමහල් එකී තමයී පොඩි එවුන් තුන් හතර දෙනාම බලා ගන්නේ. වැඩිමල් එකීට වයස දහයක් දොලහක් විතර ඇති. ඒ කොහොම උනත් හැම එකාම ඉස්කෝලෙනම් යනවා. මොකැයී ඇමරිකානු ආදාර යටතෙ දෙන විස්කෝතු හම්මු වෙනවානේ. විවේකෙන් පස්සෙ බාගයක් ඉස්කෝලෙ නැහැ. වැටෙන් රිංගල ගෙදෙර ගිහිල්ල.
ඔය ගමේ තමයි මේ හරක් හොරා ඉන්නේ. උන්දෑ හරක් හොරකම් කොරගෙන ගිහිල්ල විකුනනවා එහෙම නෙවෙයී. වන්ගියෙන් වන්ගියට රෑ පානේ ගමට ඇවිල්ලා හරකගෙක් ඩැහැගෙන ගිහිල්ල මරාගෙන කනවා මාස ගනනක් තියාගෙන. කැලේ තමයී ඉන්නේ. වැඩි වයසක උන්දෙක් නොවෙයී, සාගතේට අහුවෙච්ච කලු ගැහිච්ච කැහැටු කොලු ගැටයෙක්. සරම් කඩමාල්ලක් වගේ එකක් ඇදගෙන හිටියාට ඒකට සරමක් කියන්න බැහැ. මම උන්දෑව දැක්කෙ පොලොසියෙන් අල්ලා ගත්තාට පස්සේ. මේකව අල්ලාගෙන හොදටම නෙලලා, ඇග පුරාම ලේ පාරවල් තැලුම් පාරවල්. හරක් හමක් පිට උඩ පොරෝල. හරක් වලිගයක් කටින් හපාපිය කියලා දීලා ගම හරහ උදේ පාන්දර මූට ගගහ දක්කගෙන එනවා උදේ බස් එකට හරක් වලිගෙත් කටින් එල්ලාගෙන. උන්දෑ බාගෙට මැරිලා වගේ. ඇවිද ගන්නත් බැහැ. කැලෑ ගදයී. අන්තිමට ගෙනල්ලා ඌව බස් එකේ බැටරි පෙට්ටිය ලගින් බිම ඉන්දෝල කකුල කනුවකට අල්ලලා මාන්චු දැම්මා. මමත් ඒ බස් එකෙම තමයී එදා අප්පච්චිත් එක්ක ආපහු කොලඹ එන්න කියලා ආවේ. ඌ හරක් වලිගෙත් කටින් හපාගෙන හරක් හමත් පොරවාගෙන එහෙ විසි වෙනවා මෙහේ විසි වෙනවා. ඔලුව හැප්පෙනවා, කද හැප්පෙනවා.පොලිසීයේ රාල හාමිලා දෙන්නාට එක දැකල හරිම හිනා. දෙන්න දෙන්නාගේ මූන බලාගෙන හිනාවෙනවා.
බලු නකුටා
අපේ ගෙවල් පැත්තේ අයාලෙ යන බල්ලො ගොඩයී. අරහෙ දුවනවා මේහේ දුවනවා. අනුන්ගේ වතුවලට යනවා, ජරාව කොරනවා. ඔය ගොඩේ හිටියා බලල් ඇස් තියන කෙට්ටු බැල්ලියක්. හැම මුරෙටම කොහේ හරි පැටව් තුන් හතර දෙනෙක් දානවා. අනුන්ගේ කුනු ගොඩවල් වලට ගිහිල්ල කනවා. ගෙහිමියෝ කෙලින්න එනකොට අරහෙට මෙහාට පැනලා බේරිලා දුවනවා.
මගේ යාලුවෙක් දවසක් ගඩොල් බාගයක් අතේ තියාගෙන ඉන්නවා මේ බැල්ලි එනකම්. බැල්ලිත් හොරෙන් හොරෙන් වැටෙන් රිංගල ආව කුනු ගොඩ ලගට. කොල්ල එල්ලෙ බලලා ඇරිය ගඩොල් බාගෙ කෙලින්ම බල්ලාගේ කකුලට. බැල්ලිට තරු. කකුලත් උස්සාගෙන යටි ගිරියෙන් බෙරිහන්දීගෙන එක පිම්මට වැට අස්සෙන් රිංගලා පැටව් ඉන්න දිහාවට දිවේ එක හුස්මට. බල්ල නොපෙනී ගිහිල්ලත් උගේ ලතෝනිය ඇහෙනවා. මයේ යාලුවට හරිම හිනා. උන්දෑ බල්ලා දුවපු හැටි කිය කියා හිනාවෙනවා. පෙන්න පෙන්නා හිනාවෙනවා. ගඩොලෙ තරම කිය කියා හිනාවෙනවා.
කුඩු කාරයා
නුගේගොඩ කිට්ටුව අලංකාර පන්සලක් තියනවා. ඔය කිට්ටුව මමත් හිටියා කාලෙකට උඩදි. හැම පෝයටම ලව්ස්පීකරේ පිරිත්. කටින පින්කම කාලේට හැමදාම පිරිත්. බොහොම සිංහල ගමක්. දවසක් ඔය ගමට කුඩු කාරයෙක් හොරකමේ ඇවිල්ල. දන්නවානේ උන්දෙලාගේ කතාව. වැලක රෙද්දක් දාලා තියන්න බැහැ හොරකම් කොරනවා. ලිදේ බාල්දිය බොලොක්කෙ එක්ක හොරකම් කොරනවා.
ගමේ උන්දෙලා මේකව අල්ලාගෙන, ඇදගෙන ඇවිල්ල පාර ලගට. ගමේ පිරිමි සරන් ඇද ඇද දුවගෙන එනවා. එකෙක් නිදාගෙන හිටපු ඇදේ ඇද පොල්ලත් ගලෝගන ඇවිල්ල. සමහරුන් කකා හිටපු ගමන් අතේ ඉදුල්. කට්ටියම වටකරගෙන මේකට ගහනවා. පොලුවලින් ගහනවා. පයීන් ගහනවා. එකෙක් ඌගේ කෙස්සෙන් අල්ලාගෙන. කට්ටිය වට වෙච්ච තරමට සමහරුන්ට ගහන්න යන්න ඉඩ නැහැ. උඩින් අත දාල ඔලුවට ගහනව. ගෑනු, ලමයී අතේ එල්ලාගෙන පාරට ඇවිල්ලා කැ ගහනවා. ඕකට ගැහුව ඇති, දැන් ඕකා මැරෙයී. එකෙක් කියනවා. හොදවැඩේ කුඩුකාර හැත්ත. තව ගෑනියෙක් කියනවා. අන්තිමට ගුටි කෙලිය ඉවර වෙනකොට කුඩු කාරයා බාගෙට මැරිලා. ඇදුම් ඉරිලා. සිහිය නැහැ. ත්‍රීවීල් මල්ලි ත්‍රීවීල් එක කරකවගෙන ඇවිල්ල බිම වැටිලා උන්න එකා ඇදලා, පිටිපස්සෙ බිමට දාලා පොලෝසියට ගෙනිච්චා. වටවෙච්ච ගමේ කට්ටිය කුඩු කාරයාට කෙලපු හැටි ගැන කිය කියා හිනාවෙනවා. ඌට ගහනකොට ඌ බෙරිහන් දුන්නු හැටි කිය කියා හිනා වෙනවා. හිනා ගොඩයී.
ගැබිනි වාට්ටුව.
මේක මම දැකපු කතාවක් නෙවෙයී. අහපු කතාවක්. ඔය කොලඹින් එපිට ඉස්පිරිතාලෙක කතාවක් තමයී. හැබැයී ඉතින් බොහොමයක් ඉස්පිරිතාලවලට පොදු කතාවක් කියලා තමයී මම හිතන්නේ. දරුවෙක් ඉපදෙනකොට ඇතිවෙන විලි රුදාව කියන්නෙ එසේ මෙසේ දෙයක් නොවෙයී. රුදාවෙ තරම කටින් කියන්න බැහැ නොවැ. ඔය කවුද කීවේ විලි රුදාවෙ තරම දැන ගන්න ඕනෙනම්, යටි තොල ඇදලා අරගෙන ඔලුවෙ අනිත් පැත්තට දාන්නයැයී කියලා.
කොහොම උනත් විලිරුදාව හැදුනහම අම්මලා වේදනාවෙන් බෙරිහන් දෙනවා. කෑ ගහනවා. එතකොට තමයී ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා නර්ස් නොනලා ඇවිල්ල දරු උපතට උදව් කරන්නේ. ඉතින් ඔය අපේ ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා ඇවිල්ල, "පයීය දාන්න කකුල් පලල් කරන්න පුලුවන්නම් දැන් බෙරිහන්දෙන්නේ නැතිව තටමමපන් හුත්තීයේ" කියලා අම්මලාට දෙකයී හතරේ කුනු හරුපෙන් බනිනවා. පස්සේ වින්නබු අම්මලා, නර්ස් නෝනලා, "මේ ගෑනු අත බබාල වෙන්න හදනවා, මම ඒකීට සුද්ද සිංහලෙන් කීවෙ මෙහෙමයී, ඔය දැන් වැදුවෙ ලමය", කියලා එකිනෙකාට කිය කියා හිනා වෙනව. නියම විහුලුව.
කොටි මරපු හැටි
මේක අපි කවුරුත් දැකපු කතාවක්. ඔය පහුගිය වන්ගියේ කොටි මරපු චිත්‍රපටියක්යැයී කියපු එකක් ඉන්ටර්නෙට් එක පුරාම තිබුනානේ. ඔය එංගලන්තෙ හතරවෙන් නාලිකාවෙ ගියායැයී කියන එක. කවුරු හරි කොටි මරන්නත් එපායැ. කට්ටියක් අත පය බැදපු මිනිස්සු කාන්ඩයක් අමු හෙලුවෙන් ඇදගෙන ඇවිල්ල ඔලුවට වෙඩි තියලා මඩ වගුරක් උඩ මරනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කවුරුත් දැකලා ඇතිනේ, හැබැයී හරියට ඇහුවොතින් අහන්න පුලුවන් කවදාවත් අහන්න නොලැබෙන විහිලු කතාවක්, කට්ටිය "බලපං බලපං අන්න අරූ හාව පැන්නා වගේ වැටිලා මැරුනේ මචන්" කියලා එකිනෙකාට හිනාවෙනවා. හරිම විහිලු වැඩක් තමයී.
(උපුටා ගත්තේ - http://samsoldblog.blogspot.com/2010/01/blog-post.cfm)

Monday, November 8, 2010

බල්ලා ගොඩගත් කෙල්ල

මේක කිව්වෙ දිලූප කියලා මගේ යාලුවෙක්. එයා මෑතක් වෙන තුරුම වැඩ කලේ මීගමුවේ ටයර් සේවා ස්ථානයක. මේ එයාගෙම වචන.

දවසක් මාර කේස් එකක්නෙ උනේ බං..... අර ටයර් ෂොප් එක ඉස්සරහා හරස් පාර ගාව ලොකු වලක් තිබුණා..... අඩි දෙකක් විතර ගැඹුරුයි. සති තුනක් විතර යනකං ඒක හැදුවෙත් නෑ......

දවසක් උදේ මචං ඕකට බල්ලෙක් වැටිලා..... හෙන නාකි බල්ලෙක්.... ඔය හැමතැනම කැරකි කැරකි උන්නෙ...... ඇවිදගන්නත් පණ නෑ.... ඇඟ පුරාම හොරි.... මූට ගොඩ එන්ඩ බැරුව කෙඳිරි ගගා උන්නෙ.... කෑ ගහන්ඩවත් පණ නෑ......

ඔන්න මචං දහයට විතර ඇති. පාරෙ අනිත් පැත්තෙන් කෙල්ලෙක් ආවා. සිරා කෑල්ල මචං... සුදුයි. කෙට්ටුයි. හොඳ ෆිගර් එකකුත් තිබුනා.... මාර අහිංසක පෙනුමක්..... හිතපංකෝ.... ඔතනින් කෙල්ලෝ කොච්චර යනවද?.... ඒත් මචං මේකි....... ඇත්තටම ලස්සනයි....... දැං අපේ උනුත් වැඩ නවත්තලා කන්ඩ වගේ බලං ඉන්නවා...... මේකි මචං ඒකිගෙ පාඩුවේ යන ගමං අර වල දැක්කා..... කෙළින්ම ළඟට ගිහින් හෑන්ඩ් බෑග් එක අර බිමින් තිබ්බා.... ඒක වටින බෑග් එකක් බං.... හෙන දූවිලි ගොඩේ...... මේ කෙල්ල යකෝ අර වලට පාත්වෙලා අර පට්ට හොරිකඩ බල්ලව අත් දෙකෙන්ම අරං ගොඩින් තිබ්බෙ නැතෑ..... බල්ලා ඒකිගේ අත ලෙව කෑවා බං...... උඹට කියන්නෙ වටේම උං බලාගෙන.... මේකි පොඩ්ඩක් වෙලා බල්ලා දිහා බලං ඉඳලා බෑග් එක අරං දූවිලි පිහ දාගෙන මොකුත් නොවුනා වගේ බිම බලාගෙන යන්ඩ ගියා..... අපේ උං මූණට මූණ බලාගෙන.... එකෙක්වත් කතා නෑ......

මාර කෙල්ලෙක් ඕයි...........

ඇත්තටම දිලූප කියන කතා අපි කවුරුවත් එච්චර සීරියස් ගන්නෙ නෑ. මොකද මූ දහයක් කිව්වොත් අටක් වත් අතින් තමා දාන්නෙ. මේක නිසාම පහුගියදා මීගමු ගියපු වෙලාවක ඕක ටිකක් හොයලා බලන්න මට ඕනෙ උනා. අර වලක් තිබුනයි කියපු තැන දැං නම් වලක් නෑ. සමහරවිට වහල දාල වෙන්ඩ ඇති. හැබැයි ඊට ටිකක් මෙහායින් කාණුවේ අර කියපු බල්ලා හිටියා. දිලූපගේ කතාව බල්ලට කිව්වහම බල්ලා ඒ සිද්ධිය ගැන කිව්වෙ මෙහෙම.

ඕක කියපු එකා මං දන්නවා. අර ටයර් කඩේ වැඩ කරපු උස මහත වෙසමුණීයා වගේ එකානේ. ඕකා මාත් එක්ක තරහයි. ඔය ටයර් කඩේ ඉස්සරහින් නිකමටවත් මං යැවුනොත් ඕකා තමා ඉස්සෙල්ලාම ගලකින් දමලා ගහන්නේ.....

එදා නන්නත්තාර දවසක් ලොක්කා..... කලින්දා රෑත් හරිහං කෑමක් නෑ.. ඒ අස්සේ වැස්සත් එක්ක... ඒ ගමන පාංදරින්ම සුබාසිනී හෝටලේ පැත්තෙ ගියේ කන්ඩ මොකුත් හොයාගන්ඩ..... කොහෙද? අර අලුතෙන් කොත්තු දාන්ඩ ආපු එකා මාව දැක්කා විතරයි ගත්තෙ නැතෑ ගලක්.... ඌ ඇත්තටම ගහනවද බලන්ඩ පස්ස හැරි හැරි දුවද්දි තමා ඔය වලට වැටුනේ.... ඔය වල කපලා එතකොටත් සුමාන දෙකකටත් වැඩියි.... ලේසියට යන්ඩ එන්ඩ හදන පාරක වලක් කපලා සුමාන ගානක් තියාගන්නෙ අහවල් එකකටද මන්දා.... අනික ඔතනිං යන හැමෝම අයිං වෙලා යනවා මිසක් එකෙක්වත් ඕක වැහැව්වෙ නෑනෙ....

මං පැය ගානක් ඕක ඇතුලේ කෙඳිරි ගගා හිටියා.... උදේ ඉඳං සිය ගානක් මං දිහා බලලා ඔහේ යන්ඩ ඇති.... අනික ඔය දිලූප කියන එකත් ටයර් කඩේ ඉඳං මේක දකින්ඩ ඇති.... ඌ වත් ආවෙ නෑ....

ඔන්න අන්තිමේදි තමා ඔය කියන ගෑණු පරානෙ ආවෙ..... සුදුමැලි සෝමාරි කෙනෙක්... ඇ‍ඟේ පතේ මසක් මාංසයක් වත් නෑ.... ඉතිං වල ගාව නැවතිලා බෑග් එක බිමින් තියද්දි මට හිනා යන්ඩත් ආවා. ඒ පාංකඩ අත් දෙකට මාව උස්සගන්ඩවත් සක්තියක් ඇතිද කියලයි මට හිතුනේ.... ඔන්න මුන්දෑ වලට අඩියක් කාරිය තියලා පාත් උනා.... හප්පා.. එයා ගාව ඔය මල් ජාති වලින් එන මාර සැර ගඳක් එන්නෙ.... උහුලං උන්නා තමා.... මාව උස්සලා ගද්දි එයාට කෙඳිරිත් ගෑවුනාද කොහෙද.... කොහොම හරි මාව අරං ගොඩින් තිබ්බා.... මොනවා උනත් මේක ලොකු උපකාරයක්නේ....තෑන්ක් යූ කිව්වත් මුන්ට තේරෙන්නැති හින්දා අත ටිකක් ලෙවකාල අනුකූලතාවෙ පලකෙරුවා... අතේ උනත් පොඩි හිණි රහක් වගේ තමා ආවේ........

ගොඩට ඇවිත් බලද්දි ඔය වෙසමුණියයි... වටේ හිටපු එවුනුයි ඇහිපිය නොගහා අර ගෑණු පරාණෙගේ පස්ස දිහා බලං ඉන්නවා.... පස්ස ගැස්සෙන තාලෙට මුංගේ ඇහේ බබා නටනවා.... වැඩේ කියන්නෙ ඕක වෙලත් සුමානෙකට පස්සෙනේ මුං ඔය වල වැහුවේ.....

ඔන්න ඕකයි මං කිව්වේ. හැබැයි මට බල්ලගේ කතාවත් එච්චර ෂුවර් නෑ. ඒක නිසාමයි මීගමුව නගරාධිපතිතුමා හම්බවෙලා මේ විස්තරේ කිව්වෙ. නගරාධිපතිතුමා නං මේ සිද්ධිය දිහා තරමක් අපක්ෂපාතීව බලයි කියලා මට විශ්වාසයක් තිබුනා.

මේකනේ ඔතන තත්වේ.... මට හිතෙන්නේ මේක කුමන්ත්‍රණයක්..... දැං බලන්ඩ... ඔය දිලූප කියන හාදයා සුදු ලස්සන කෙල්ලෙක් ගැන කිව්වා මිසක් බල්ලෙක් ගැන වත් වලක් ගැන වත් එහෙමට යමක් කියලා නෑනේ.... ඊළඟට බල්ලා උනත් කියලා තියෙන්නේ වලක් ගැනයි.. ඒකෙන් ගොඩ ආපු එක ගැනයි විතරයි නේ.... මේ සාක්ෂි පරස්පරයි....

අනික…. ඔය සුදු ලස්සන ගෑණු ලමයා කරපු හොඳ වැඩ විශාල ප්‍රමාණයක් ගැන මට තොරතුරු ඇවිත් තියෙනවා..... ඉතිං මට තියෙන ප්‍රශ්ණේ මීගමුවේ වැඩිපුර ඉන්න කළු කැත ගෑණු ඔය වගේ හොඳවැඩ එකක්වත් කරන්නැත්තෙ ඇයි කියන එක.... මං මේක හොයන්ඩ කොමිසමක් දාන්ඩ ඉන්නෙ... ඔයාටත් වෙලාවක් තිබුනොත්........

පුහ්.... අපිනං යයි ඕවගේ සාක්කි දෙන්ඩ..!

Tuesday, October 26, 2010

නෝනට තියෙන ප්‍රශ්න....

පසුගියදා පාර්ලිමේන්තුවට ගෙන ආ 18 වන ව්‍යවස්ථා සංශෝධනය ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම ලෙස මා ඉත සිතින් අදහමි. එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත්කල සැප්තැම්බර් 08 වෙනිදා මා විසින් මෙම බ්ලොගය කට්ට කළු කර මගේ අත්‍යන්ත විරෝධයද පළකලෙමි. මා විසින් ගත් එම පියවරෙන් රජය යම් අපහසුතාවකට පත්වූ බවද පැහැදිළිවම පෙනෙන්නට තිබූ අතර ව්‍යවස්ථාව සම්මත වූ දිනට පසුදා කෙහෙළිය රඹුක්වැල්ල ගරු ඇමතිතුමා හට, නව ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන බවට විශේෂ ප්‍රකාශයක්ද මාධ්‍ය හමුවේ කිරීමට සිදුවිය. රූපවාහිනී නාලිකා ඔස්සේද විකාශය වූ එම ප්‍රකාශයේ කොටසක දේශද්‍රෝහී කඩාකප්පල්කාරීන් යන අන්වර්ථ නාමයෙන් එතුමා විසින් හඳුන්වන ලද්දේ මාවය. (මෙය අප දෙදෙනාගේ පුද්ගලික කෝන්තරයක් නොවන අතර, එය දේශපාලන පසමිතුරුතාවය නම් දේශපාලනික අර්ථයෙන් සලකන මෙන් ඉල්ලමි).

ඇත්තෙන්ම පසුගිය දිනවල මා හට පැවති විශාල ගැටළුවක් වූයේ 18 වන සංශෝධනයට එරෙහිව අප ගෙනගිය අරගලයේ ගමන් සගයන් වූ ප්‍රගතිශීලීන් බහුතරයක්, මේ වන විට 18 ක් සම්මත නොවූ ලෙස කටයුතු කරමින් සිටීමයි. කොටින්ම බොහෝ දෙනෙකුට යන්තම් මීට මාස එකහමාරකට කට පෙර සිදුවූ මෙම ඛේදවාචකය සහමුලින්ම අමතක වී ඇති බව පෙනීයාම සිත් වේදනා උපදවන්නකි.

අතිගරු ජනාධිපතිතුමා විසින් වරක් ප්‍රකාශ කල අඳුරට ශාප කරනවාට වඩා එක් පහනක් හෝ දැල්වීම වැදගත් යන ප්‍රකාශයට අනුව, මා විසින් මෙම අරගලය තනිවම හෝ ඉදිරියට ගෙනයාමට අදිටන් කර ගත්තේ එබැවිනි. ඇත්තෙන්ම මෙවන් දැවැන්ත ව්‍යාපාරයක් තනිවම ගෙනයාම අසීරු හෙයින් අවම වශයෙන් මගේ සමීපතමයා වන බිරිඳගේ හෝ සහයෝගය ලබාගැනීම සඳහා පසුගිය දිනෙක ඈ ඇමතීමි.

මේ...... 18 වෙනි සංශෝදනේ......?

මොකක්?

ඇයි අර පහුගිය දවස්වල පාර්ලිමේන්තුවට ගෙනාවෙ....? 18..?

ඉතිං...?

ඒක ගැන විරුද්ද උනු කවුරුවත් දැං මීක් කියන්නෙ නෑ.... රනිල්ලා...... තිස්ස අත්තනායකලා ඒ කාලේ......

අනේ.... මේ...., අද තිස්ස මාමලගේ සීට්ටු සල්ලි දෙන්ඩ ඕනෙ.... මොකද කරන්නෙ...?

ඇය සිහිපත් කලේ අතේ රුපියල් විස්සක්වත් නොතිබූ මා හවස් වීමට ප්‍රථම එක්දාස් පන්සීයක ලෝන් එකක් ගැසිය යුතු බවයි.

නැවත එදින රාත්‍රියේද මා විසින් ඇයට මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කලෙමි.

ඒ දවස්වල උනත් ජේ.වී.පි එක ඇරුණාම ඕක ගැන දැනෙන්ඩ කතා කලේ සිවිල් බුද්ධිමතුන් ටිකක් විතරයි. දැං මතකද දයාසිරි කිව්වා උපවාසයක්ද මොකද්ද කරනවා කියලා.......?

මේ... ඔයා හිතන්නෙ දයාසිරි එයිද....... පබා එයිද.......?

එය මෙගා ස්ටාර් සංවාදයක් බවට පත්වූ අතර පැහැදිලි කිරීම පසුදාට කල්තැබීමි.

පසුදින උදෑසන මා විසින් ඇයව දැනුවත් කිරීම සඳහා රසවත් උදාහරණ කිහිපයක් යොදාගැනීමට තීරණය කලෙමි.

දැං බලන්ඩ...... ඔය ඒකාධිපති බලතල පාවිච්චි කරලා දැනටමත් කොළඹ මුඩුක්කු ගෙවල්වල ඉන්න මිනිස්සු........

මේ.... ඒක නෙමේ. ගෙයි වහලෙ ගහන්නැද්ද? උළුවහු ජනෙල් ටිකත් දිරලා ගිහින්...... හැමදාම මේකෙ ගුලිවෙලා.........

ඇත්තෙන්ම ඒ සෑම විටකදීම සිදුවූයේ මගේ අවශ්‍යතාවය පරයන ඇගේ වෙනත් අවශ්‍යතාවක් පෙරට පැමිණීමයි. රන් මාලයේ උකස බේරා ගැනීම, දරුවාට ඇන්කර් පීඩියා ප්‍රෝ දීමේ වැදගත්කම, තෑගි ලෙස ලැබුනු සාරියට හැට්ටයක් මැසීම, සහල් මිල එකවර ඉහලයාම, කවුරුන් හෝ නිවස අසල දමාගොස් සිටි පූස් පැටවුන් තිදෙනාගේ කරදරය, ඇගේ දකුණු අත හිරිවැටීමේ රෝගය, විදුලිය කැපීමට පෙර රතු බිල ගෙවා දැමීම වැනි බොහෝ දෑ ඒවා අතර විය. ඒවා සියල්ල ඇගේ ප්‍රමුඛ අවශ්‍යතා බව මගේද පිළිගැනීමයි.

ඇගේ අවශ්‍යතා පසෙක ලා මගේ අවශ්‍යතාව වෙනුවෙන් පැමිණෙන ලෙස ඉල්ලා සිටීම ප්‍රජාතන්ත්‍රවාදියෙකු වශයෙන් මට කල නොහැකිය. එමෙන්ම ඇගේ සහයෝගය බලහත්කාරයෙන් ලබාගැනීමද දේශපාලන සදාචාරයට පටහැණි කටයුත්තකි. ඒ අනුව සිදුකල යුත්තේ පළමුව ඇගේ ප්‍රමුඛ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමයි.

ඊයේ රාත්‍රියේදී අප දෙදෙනා විසින් බොහෝ වෙහෙස වී ඇගේ අවශ්‍යතා ප්‍රමුඛතා ගත කොට ලැයිස්තුවක් සකස් කළෙමු. එම ලැයිස්තුවට අනුව 18 වන සංශෝධනයට එරෙහි වීම ඇත්තේ 637 වෙනියටය. ඒ අනුව ඊට ප්‍රථමයෙන් ඇති ප්‍රමුඛ අවශ්‍යතා 636 කඩිනමින් සම්පූර්ණ කිරීම මා විසින් දැනටමත් අරඹා ඇත. එම කටයුත්ත අවසන් වූ සැණින්, ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් මමත්, මගේ බිරිඳත් නව ජවයකින් පෙරට ඒමට නියමිත බව මෙම ඒකාධිපති ආණ්ඩුවටද, සියළු ප්‍රගතිශීලී ජනයාටද, මෙයින් දන්වා සිටිමි.

Thursday, October 21, 2010

අප්සරාගෙ විස්තරේ...

මෙම බ්ලොගයේ මා විසින් මෙයට පෙර ගැහැණු උදවිය පිළිබඳව එතරම් අභිරුචියකින් ලියා නැත. එයට හේතුව මගේ බිරිඳ නොවන බව මා කිව යුතුය. ඇය මා ලියන දේවල් කියවීමට එතරම් රුචි නොවන හෙයින් මෙහි කුමක් ලීවද ඇගෙන් ගැටළුවක් පැන නොනගින බව දනිමි. එයට ඇත්ත හේතුව නම් ඊයේ වන තුරුම ඇය මට මුණ නොගැසීමයි.

දෙයියම්පා ඊයේ තමයි දවස. ජීවිතයේ පළමු වතාවට ඇය මට හමුවුනේ. මෙහෙම.... මූණට මූණ. මොහොතකට මුළු බසාර් වීදියම කළු කුහරයක් උනා. ඒ තුළින් මා ඉදිරියට එන ඇය....! මට පිස්සු නොහැදුන ටික විතරයි. ඇය මා පසුකර ගිය ආසන්නතම ලක්ෂ්‍යයේදී අපි අතර පරතරය අඩි දෙකහමාරකටත් වඩා අඩුවෙන් පැවතුනේ. ඇගේ ලැවෙන්ඩර් සුවඳ පවා මට හොඳින් දැනුනා. පියකරු මුහුණ... සියුමැලි කන්පෙති...... කොණ්ඩ කටුවක් තුළින් පිට මැදට පිළීවෙලකට ගලා හැළුන කොණ්ඩය.... ලා කොලපාට ගවුම..... ආත්ම දහස් ගනනක් පුරා මම සොයමින් සිටියේ ඇයවයි.

ඇගේ නම අප්සරා.

අප්සරා කැමතිනම් මම හෙට උනත් බඳින්න කැමතියි. ඒත් එයා එහෙම ආවට ගියාට වැඩකරන කෙනෙක් නෙමේ. එයා මොන තීරණයක් ගත්තත් ඒක බොහොම සියුම්ව කල්පනා කරලා වගකීමෙන් තමයි ගන්නෙ. බඳින්න කලින් එයාගෙ දෙමාපියන් එක්ක මම කතාකරන්න ඕනෙ කියලා තමයි එයා හිතන්නෙ. එයාගෙ දෙමාපියනුත් මට කැමතියි. ඒත් ඉතිං තව වැඩ කොච්චර තියෙනවද?

ගෙදරදි උනත් අප්සරා මට කරදර කරන්නෙ බොහොම අඩුවෙන්. මට අල්ලන්නෙම නැත්තෙ ඉවරයක් නැති අස්පස් කිරිල්ල. මගේ ලියන මේසෙ උනත් මම කොච්චර හැඩි කරල දැම්මත් වැඩිම උනොත් විනාඩි පහයි. සමහර වෙලාවට මට ඕනෙකරන ලියකියවිලි උනත් එහෙ මෙහෙ වෙලා. හැබැයි අහන පරක්කුවෙන් හොයලා දෙනවා. හොඳ මතකයක් තියෙන්නෙ.

එයා කැමතිම නන්දා මාලනීට. දීපිකා ප්‍රියදර්ශනීගෙ සින්දුත් අහනවා. දැන්නං ටික ටික යානි ගෙ මියුසික් එහෙමත් අහනවා. මම නිතර ඕවා අහනකොට රහ වැටිලා. හැබැයි සතියකට දෙකකට පාරක් වත් හොද ෆිල්ම් එකක් නම් බලන්ඩම ඕනෙ. හැබැයි ඉංග්ලිෂ් ෆිල්ම් වල නං එයාට බැලෙන්නෙ තුන්කාලයි. ඔය අනං මනං කෑලි යනකොට අහක බලාගෙනනේ ඉන්නෙ. වැඩක් නැති වෙලාවට කරන්නෙ පොතක් කියවන එක. අටවක පුත්තු කියවලා මාත් එක්ක සෑහෙන්න වාද කලා. හැබැයි අන්තිමට තේරුම් ගත්තා මගේ අදහස් හරි කියලා.

එයාට ඉස්සර කොම්පියුටර් එච්චර බැරි උනාට දැන් හොදට පුළුවන්. මේ බ්ලොග් එක උනත් කීප පාරක්ම ටයිප් කරලා දුන්නා. එක පාරක් බේරෙන්ඩ බැරිම තැන එයාගෙ කතාවකුත් දාන්ඩ උනා. එච්චර කමෙන්ට්ස් නං ආවෙ නෑ. නෙට් එකේ උනත් කියවන එකමයි කරන්නෙ. සිංහල බ්ලොග්ස් තමා වැඩිපුරම. ඔය සොඳුරු සිත, මන්දාකිණී, සංසාරේ අපි, සුළඟ...... වගේ ඒවා. ඉඳහිටලා බියෝන්ඩ් ෆ්‍රේම්, ඇට මැස්සා, W3 ලංකා වගේ ඒවත් බලනවා. ටැබූ ගෙ ඒවට කැමති නෑ කුණුහරුප තියෙනවා කියලා. ෆේස්බුක් යන්නෙම නෑ. මොකද මන්දා.

එයාගෙ තාත්තා උපන්ගෙයි යූ.ඇන්.පී. කාරයා උනාට දැන් ටිකක් නිදහස්ව හිතනවා. ගියපාර නං එයයි තාත්තයි දෙන්නම ඡන්දෙ දීල තියෙන්නෙ මහින්දට. හැබැයි එයා දැං ඉන්නෙ තරමක් කලකිරීමෙන්. මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තැන් තැන් වල කතා නොකලට එයා තනියම ඕවා හිතනවා. ලබන පාර අපි ඡන්දෙ දෙන්නෙ සෑහෙන්ඩ කල්පනා කරලා.

එයා විලාසිතා වලට එච්චර කැමති නැති එක තමා ප්‍රශ්ණෙ. කොහෙහරි ගියත් චාමෙට මොනවා හරි ඇඳගෙන යන්න තමා බලන්නෙ. ලිප්ස්ටික් ටිකක් උනත් මංම බලකෙරුවොත් තමා. හැබැයි වෙඩින් වලට වගේ නම් ජයට ඇඳලා යනවා. සාරියට මාර ලස්සනයි. ඒ ගියත් ඉතිං මගේ අතේ එල්ලිලාම තමා. ගෙදරදිත් ඉතින් එල්ලිච්ච ගමන්මනේ.

කොහොම උනත් එයා මගේ දෙමාපියන්ට, එයාගෙ දෙමාපියන්ට වගේම සලකන එක නං මට මාර සහනයක්. ඒ දෙන්නත් එයාට හරිම ආදරෙයි. එයා ගෙදර වැඩවලට මෙච්චර මහන්සි වෙන එක ගැන වෙලාවකට මට දුකයි. කොහෙද? කොච්චර කිව්වත් අඩුගානේ මට තේ එකක්වත් හදාගන්ඩ දෙන එකක්යැ.

ඉතිං මං මෙහෙම හිතාගෙන ඉන්නවා. අප්සරා මට හම්බවෙච්ච වෙලාවෙ එයාගෙ අනිත් පැත්තෙන් ගියපු වඳුරු මොටා වගේ එකාට, අප්සරා කැමතිනම් මාසෙකට පාරක් අපේ ගෙදර ඇවිත් යන්ඩ දෙනවා. අර එයාගෙ අතේ එල්ලිලා ගියපු කොලුකුරුට්ටා, තැනක පිළීවෙලකට ඉන්ඩ දන්න එකෙක් නං විතරක් අපේ ගෙදර ඉස්සරහා කාමරේ දෙන්ඩ පුළුවන්. මොකද මං කැමති නෑ කවුරුවත් අපේ පුද්ගලික ජීවිත වලට අනවශ්‍ය විදිහට ඇඟිලි ගහනවට.

මං ඊයෙ හවසම අප්සරා ගැන විස්තරේ යාලුවෙකුට ටෙලිෆෝන් කරලා කිව්වා. මිනිහා කිව්වෙ මෙහෙම කතාවක්.

මචං... උඹ ඇවිල්ලා.. පාරිභෝජනවාදයේ කරවටක් ගිලී සිටින නියෝලිබරල් මානුෂිකකරණයේ ආන්තිකත්වය කරා පැමිණි පසුනූතන පිරිමියාගේ අවිඥාණික සයිබර් ෆැන්ටෑස්මැටික ලිංගිකත්වය ස්වයං වින්දන කලාපයේ තබා ගනිමින් තමන්ගේ ආත්මය රැකගැනීම සඳහා අන්තර් අක්‍රියතා කලාපයට පැමිණෙන පිරිමියෙක්......

පෙනේද? මුංගේ ඉරිසියාව..........!

Thursday, October 14, 2010

අද වගේ දවසක - සුළඟ එනු පිණිස....

වසර පහකුත් දින විසි තුනක් පරණ කේන්තියක් මා සිත තුල තවමත් දළුලමින් වැඩේ.

මට හොඳින් මතක පරිදි ඒ ඓතිහාසික කේන්තිය පලමුවරට පැන නැංගේ කුරුණෑගල ‘නිව් ඉම්පීරියල්’ හෝල් කාරයා එක්කය. ‘සුළඟ එනු පිණිස’ කුරුණෑගල ප්‍රදර්ශනය අරඹා එදිනට දින හයක් ගතවී තිබිණී. ජීවිතයේ එදිනෙදා ඉටුකරනුව පැටවී ඇති කුදු මහත් වැඩකටයුතු අටෝරාසියක් බල්ලට දමා එදින උදයේ කුරුණෑගල බසයකට නැග ගතිමි. දහයයි විසිපහට පමණ කුරුණෑගලින් බැසගත් මා හැල්මේ දිවගියේ නිව් ඉම්පීරියල් සිනමා ශාලාවටයි. ඉදිරිපස සුපුරුදු කටවුට් එකේ අලවා තිබූ දෙමල චිත්‍රපටයක දැන්වීම බලමින්ම ටිකට් කවුන්ටරය වෙත ගියෙමි.
“කෝ සුළඟ එනු පිණිස...?”
“ඊයෙ ගැලෙව්වනේ.... එහෙන් දැනුම් දුන්නා... හැමතැනම ගලවලා...”
මා විසින් හදිසි අවස්ථාවලදී භාවිතයට ගන්නා දෙවන භාෂාවෙන් වචන දෙකකට වඩා පිටවීමට නොදී ආපසු හැරුණෙමි.
“මුංගේ අම්........”

මේ පරණ මල ආපසු පැන්නේ බූන්දියේ දමා තිබූ බෙනට් රත්නායක කලා යයි කියන අමන කතාවක් කියවීමෙනි. මේ යක්කු හැදෙන්නේ නැත. හැදෙනවා යනු සම්‍යක් ඥාණය ලබා ගැනීම නොවේ. අඩුමගානේ කෙළවී ඇති පරිමාව දැන උම්බෑ නොගා සිටීමේ අවම කපටිකම අත්පත් කර ගැනීමයි. හැදෙනවානම් දැනට සිදුවී ඇති හරියද හොඳටම ප්‍රමාණවත් බව මා වැනි සියළු ගොබ්බයින්ගේ අවබෝධයයි.

පසු කලෙක mkv ෆයිල් එකක් වශයෙන් මා අත පත්ව, අඟල් 14 පරිඝනක තිරයක් මත, කනේ හෙඩ්ෆෝන් ඔබාගෙන වටපිට බලමින් නැරඹීමට සිදුවූ (අරුන්ගෙ අම්.....!) ඒ අති විශිෂ්ට රුපාවලිය දැනුදු මැවී පෙනේ.

මා උපන් පොළොව මත රූගත කෙරූ මෙම විශිෂ්ට සිනමා වියමන සමඟ නිදහසේ විසල් තිරයක දැහැන්ගතවීමට මා හට ඇති අයිතිය කෙළෙසු සියළු මහත්වරුණි,

ප්‍රභාකරන්ගේ මරණයත් සමඟ අවසන් වූයේ තොපගේ සුරතාන්තයයි.

මනෝමය යුදබිමක් තුල ගත් පරණ ආතල් සියල්ල පශ්චාත් යුදපිටියක සිට ගැනීමට සැරසෙන නුඹලා විසින්, ‘විමුක්ති ජයසුන්දර රූප මායාවක් මගින් කිරීමට සූදානම් වූ බවට’ චෝදනා කල සියළු කුමන්ත්‍රණ, අද දවසේ මහදවල් සිදුවෙමින් පවතින විට ඒවා සාධාරණීකරණය කරමින් සිටී.

විමුක්ති ව්‍යාජ ලෙස කෙළෙසීමට තැත්කල බව කියූ සිංහල-බෞද්ධ රණවිරුවාගේ හිටපු ලොක්කාම, කාන්තාවන්ගේ පියයුරු උමතුවෙන් සපා කෑවෙකු බවද, සුළු වරදකට පවා සෙබළුන්ගේ කන් කපා දැමූවෙකු බවද අද කියන්නේ ඔබ විසින්මය. විමුක්ති කෙළෙසීමට තැත්කල සිංහල බෞද්ධ ශිෂ්ටත්වය වෙනුවෙන් පෙනීසිටි ඔබ අද, සිංහලයා යනු අනුකම්පා විරහිතව සතුරාගෙන් දිගින් දිගටම තිරස්චීන ලෙස පළිගන්නා නින්දිතයෙකු බව ජාත්‍යන්තරව සනාථ කරමින් සිටී. විමුක්ති පාවා දීමට සූදානම් වූ ශුද්ධ වූ යුද්ධය යනු, කිසිදු යුද නීතියක් මායිම් නොකල අවල කෙළියක් බව සාක්ෂි සහිතවම සනාථ කරමින් සිටින්නේ ඔබගේ නවතම (පශ්චාත් යුද) වීරවරිය වන ‍ෙෆ්‍රඩ්රිකා ජෑන්ස් විසිනි. විමුක්තිගේ ජාත්‍යන්තර NGO කුමන්ත්‍රණ, අද ඔබ විසින් ප්‍රදර්ශනය කරමින් සිටින ඔබාමාලෝලිත්වය හමුවේ විහිළුවකි.................

ඔබලා විසින් තවදුරටත් මා වෙත නිර්දේශ කරමින් සිටින අබා / සමනළ තටු / බඹර වළල්ල / ඉර හඳ යට වැනි සිනමා කෘති කිසිවක් මා නරඹා නැත. ඒවා නිර්දේශ කිරීමෙන් ඔබගේ ගඳ ගහන කිළිටි ආත්මය සේදී පිරිසිදු වී ඇතැයි නොසිතන්න. මේ කෙළවීම ඇරඹුණා පමණි.

මේ සිදුවන දෙයට මා කැමතිය. මට ඉන් සියුම් සතුටක් දැනේ.

ප.ලි.
මෙම ලිපියට අදාල නොවූවද, සුළඟ එනු පිණිස - ගෝලීය ධනවාදයේ ‍ගොදුරක් බව සොයාගත් අප යුරෝපීය ජාතික මිතුරාවද සිහිපත් කරමි.

Monday, October 4, 2010

ජැක්සන් ඇන්තනී තට්ටෙ ගාපු හැටි.

මේක මගේ හිතළුවක් කියල ඔබ හිතන්න පුළුවන්. ඒත් මේ සිද්ධියට ‘අඹ කීර්ති’ කෙලින්ම සම්බන්ධ බව දන්නේ මම විතරයි. කොහොමත් අඹ කීර්තිව දන්නෙත් ලංකාවේ ජනගහනයට සාපේක්ෂව බොහොම සුළු පිරිසක් බව කියන්න ඕනෙ. ගමේ මිනිස්සු අඹ කීර්තියා කිව්වට ග්‍රාම සේවක රාලහාමි කියන්නෙ ඒ.පී. කිර්තිරත්න කියලා. ප්‍රේමතිලක සාජන් මහත්තයා කියන්නෙ අඹයා කියලා. ඕ.අයි.සී. මහත්තයට මිනිහව තුන් පාරක් මුණගැහිල තිබුනට නම දන්නෙ නෑ. අපේ ඇමතිතුමා මිනිහව දන්නෙම නැති එකේ ජනාධිපතිතුමා කොහොමවත් දන්නෙ නෑ. ජනාධිපතිතුමත් නොදන්න ඒවා ජැක්සන් ඇන්තනී කොහොම දැනගන්නද?

අඹ කීර්ති කියන නම හැදුන හැටිවත්, ගංකාරයෙක් නොවෙන මිනිහා ගමට ආපු වකවානුව වත් මම හරියටම දන්නෙ නෑ. මං හිතන්නෙ මිනිහා මුලින්ම ආවෙ හෙලේනා කොහුමෝලෙ වැඩට. මට මතක විදිහට ඒ කාලෙ තරමක නෝන්ජලයෙක්. හැබැයි ඒ දවස්වල මෝලෙ කොහු පීරපු කාන්ති සම්බන්ධ සිද්ධියකට මෝලෙ මැනේජර්ගෙ හොම්බට එකක් ඇනල දුවන්ඩ තරම් මිනිහට පොඩි ගටක් තිබුනා. එදා අතුරුදහන් වෙලා සුමාන තුනකට විතර පස්සෙ ආපහු කාන්තිලගේ ගෙදර ඇවිත් බින්න බැස්සට පස්සෙ තමා මමත් මිනිහව හරියකට අඳුනගත්තෙ. කොහොමත් කාන්ති තමයි මිනිහගේ කොණ්ඩ රැවුල කපලා, දත් ටික මැදලා කාරිය ඔය තත්වෙට වත් ගත්තෙ කියන්ඩ පුලුවන්.

මිල්ටන්ගෙ කසිප්පු තිප්පොලෙන් තමා මිනිහා ගමේ බජාර් එකට වැටුනේ. පස්සෙ කාලයක් මිල්ටන්ගෙ සුළු පරිමාන කසිප්පු ව්‍යාපාරෙ වැඩ කලා. මහ වැඩකුත් නෙමේ. බෝතලෙන් වීදුරුවට වක්කරලා දීල සල්ලි ටික අරන් මිල්ටන්ට දෙන එක. හැබැයි ඒ රස්සාවත් අවුරුදු තුන හතරකට වඩා කෙරුණෙ නෑ. අඹ කීර්ති මිල්ටන් එක්ක ඇයි හොඳයිය නතර කරන්ඩත් හේතුව කාන්තියගේ මොකද්ද හුටපටයක් කියලයි දන්න උන් කියන්නෙ. කොහොමත් පස්සෙන් පහු කාන්තියා රට ගියාට පස්සෙ දරුවො දෙන්නත් ඉස්කෝලෙ යවාගෙන වැඩි සද්ද බද්ද නැති කාලයකුත් ගෙවිල ගියා.

අඹ කීර්ති ආපහු බජාර් එකට එන්නෙ තිලක් මහත්තයත් එක්ක. තිලක් මහත්තයා ගමේ නිදහස් පක්ෂ සංවිධායක. ප්‍රදේශීය සභාවට දෙපාරක් ඉල්ලලා පරාද උනත් උන්නැහේට යමක් කමක් කරගන්ඩ බැරි කමක් තිබුනේ නෑ. අවසන් වෙමින් තිබුණු යුද්දේ උණුසුම ජාතික රූපවාහිණිය හරහා ගමට තදින්ම දැනිලා තිබුණු වකවානුවක් ඒක. රණ විරුවන්ට සුබපතලා ලොකු කටවුට් එකක් හන්දියේ හයි කරන්ඩ තිලක් මහත්තයාට ඕනෙ කරලා තිබුණා. ඔන්න ඕකට ආධාර එකතු කරන්ඩ ගිහින් තමයි අඹ කීර්ති තිලක් මහත්තයලගේ දේශප්‍රේමි බජාර් එකට සෙට් උනේ. බජාර් එකේ කිව්වට ඔය කොයි බජාර් එකෙත් වාටිය හරියෙ තමා.

කොහොමත් වැදගත්ම සිද්ධිය උනේ මතක විදිහට අවුරුද්දකට විතර කලින් චන්දන කොලුවගේ මගුල් ගේ දවසෙ. වලිය පටන් ගත්තෙ මහ දවල් සංගීතෙ අතරතුර. පදමට වෙරිවෙලා හිටපු අඹ කීර්තිට සිද්ධවෙන දේ හරියටම තේරුම් ගන්න බැරි උනත්, සංගීතෙත් පරදවන හඬින් කෑ ගසමින් නලියන මිනිස් පොදිය දිහාවට සරමත් අතකින් අරන් විසිවෙවී දිව්වෙ කොහෙන් ආවද නොදන්න පොල්ලකුත් අතක දරාගෙන. මිනිස් පොදිය තුලට අසිහියෙන් වගේ වැදෙනවා විතරක් මිනිහට යාන්තම් මතකයි.

දවසකින් විතර සිහිය ආවට පස්සෙ සිද්ධ වෙච්ච දේ ඉස්පිරිතාලෙදිම සහසුද්දෙන් දානගත්තා. අඹ කීර්තිට ගහල තිබුනේ මිල්ටන්. පරණ තරහකට කියලයි තිලක් මහත්තයා කිව්වෙත්.
“ඕකුන්ට නටන්ඩ දුන්නා වැඩියි...... බලාගමුකො.....!”
තිලක් මහත්තයා කිව්වෙ හිමින්. හැබැයි බැරෑරුම් විදිහට. ඒ වෙද්දිත් මිල්ටන් රිමාන්ඩ් කරලා.

ඔලුවෙ තුවාලේ මැහුම් කපලා හොඳ තත්වෙට එන්ඩ මාසයක් විතර ගියා. ඒ අතරෙ මිල්ටනුත් නිදහස් වෙලා ඇවිත් පුරුදු ව්‍යාපාරෙත් පටන් අරං තිබුනේ. අඹ කීර්තිගේ ඔලුව ගන්ඩම දෙයක් නෑ. මහා මූකලානක් මැද්දෙ තියෙන එලිමහන් දූපතක් වගේ ඔලුව වම්පැත්තෙ පොඩි තට්ට පදාසයක්. ඒ මැද්දෙ වියළුන තුවාල කැළැල්. කීර්ති බයිසිකලෙත් අරන් හෙමිහිට හන්දියේ බේබියගේ සැලුන් ඩී ස්මාර්ට් එකට ගියා.
“බේබි මලේ.... ඔන්න ඔය තට්ටෙ ගානට සේරම කපලා දාහංකො... බලාගෙන තුවාලෙ....”


ආපහු බයිසිකලේ පැදන් ගෙදර එද්දි උනත් කීර්තිට මතක් උනේ හිසකේ කොට පිහදාන ගමන් බේබියා කියපු කතාව.
“ෂහ්..... නෝට් එකට කැපුවමනේ කීර්ති අයියගේ නියම ලුක් එක එන්නේ...... ඒයි සිසිරයා.... ඇවිත් බලපංකෝ...... නියම මැරයා........!”
ඔය හිතුවිල්ලෙන් වැඩි දුරක් එන්ඩ ලැබුනේ නෑ. බයිසිකලේ හරස් කරලා ඉද්ද ගැහුවා වගේ නවත්තපු තැපැල් නයින්ටියේ උන්නේ සජිත්. මිල්ටන්ගේ අලුත් ගෝලයෙක්.
“ආ.... උඔ එලියට බැස්සද? තෝ ඉස්පිරිතාලෙදි හොඳවෙලා ඇවිත් මිල්ටන් අයියට ගේම දෙනව කිව්වලු නේ..? තෝ එලියට එනකං තමා අපිත් හිටියේ.... බලාගමු...!”

දෙකන්සෙන් ගිණියම් වේගෙන එද්දි ඌ තැපැල් නයින්ටිය හරවගෙන අතුරුදහන් උනා. ඊට පස්සෙ බයිසිකලේ ගෙදර බිත්තියට අතඇරලා දරමඩුවෙ වහලෙන් කඩුවක් ඇදල ගන්නවත්, ආපහු මිල්ටන්ගෙ මිදුලේ බයිසිකලේ අතඇරලා ඉද්ද ගැහුවා වගේ හිටගත්තත් කීර්තිට මතකයි.
“අඩෝව්............. මිල්ටා...............!”

පස්සෙ ආරංචි උන විදිහට එදා මිල්ටන් නතරවෙලා තිබුනේ වැව් තාවුල්ලටම දිව්වට පස්සෙ. ඊළඟ සතියෙ සුරාබදු එකෙන් පැනලා හතළිස් හයේ බූලියක් එක්කම මිල්ටනුයි, ගෝලයො දෙන්නෙකුයි කුදලගෙන ගියා. ඊළඟ සුමානේ නමෝවිත්තියෙන් අඹ කීර්ති මිල්ටන්ගෙ බිස්නස් එක තමුන්ගෙ ගෙදරම පටන් ගත්තා. වැඩේට උදව්වක් හැටියට ප්‍රේමතිලක සාජන්ට්ව අඳුන්නලා දුන්නෙත් තිලක් මහත්තයම තමයි. කොහොමත් ලබන අවුරුද්දෙ තියෙන ප්‍රාදේශීය සභා ඡන්දෙදි අඹ කීර්ති තිලක් මහත්තයට ලොකු හයියක් වෙන්ඩ ඉඩ තියෙනවා. මොකද දැනටමත් වැඩිදෙනෙක් මිනිහට කියන්නෙත් තට්ට කීර්ති කියලා.

මෙච්චර දිගට කියෙව්වත් මේකෙ හරිහමන් කතාවක් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මේකෙ නියම කතාව එන්නෙ මම විතරක් දන්න වෙන පොඩි දෙයක් එක්කයි. ඇත්තම කිව්වොත් අඹ කීර්ති බේබියගේ ‘සැලුන් ඩි ස්මාර්ට්’ එකෙන් තට්ටෙ ගාපු දාම තමයි ජැක්සන් ඇන්තනී පේමඩුව හන්දියෙ ‘සක’ සැලුන් එකෙන් තට්ටෙ ගෑවෙත්.

Tuesday, September 28, 2010

අඩෝ නිශ්ශංක,

(මුවා මැරූ සලමන් නිශ්ශංකට,)

උඹ හදන්නෙ අපිට කෙළවන්න නේ?

රුදුරු ත්‍රස්තවාදීන්ට බය නැතුව සිංහල ගම්බිම් රැකගෙන උන්නු වීරෝධාර සිංහලයො මස්වැද්දො කරලා,

උන් මස්ගාතෙකට කෙල හල හල පස්සෙන් යන පෙරේතයෝ කරලා,

ඒ ගම්වල ඉන්න සිංහල බෞද්ධ කාන්තාවෝ පාළු කඳුගානේ බීමතින් එකා දෙන්නා එක්ක අවල කෙළියේ යෙදෙන වේසියො කරලා,

ගම්වැසියො අම්මා අප්පා නැති දරුපැටව් දෙන්නෙකුට කන්ඩ ටිකක් වත් නොදුන්න අවලම්මු කරලා,
(දැනගනිං, අපි ලෝකෙන්ම අට වෙනියා හරි?)

වීරෝධාර ග්‍රාමාරක්ෂකයෝ රට බේරගන්න දීපු තුවක්කුවෙන් අහිංසක ගෑණුන්ට වෙඩි තියන්ඩ යන මානසික ලෙඩ්ඩු කරලා,

ඔක්කොටම හපං... බෞද්ධ පුරාවස්තු තියෙන අර කන්ද මිනීමරු 'කාන්ති කන්ද' කරලා.....

කොටින්ම අව්‍යාජ සිංහල ගම, අරූ කලා වගේ මිලිටරයිස් උනු මුඩුබිමක් කරලා.........
...............................

උඹලා ඩොලර් වලට.........

ෆේස් බුක් එකේදි බලාගමු හරී? (ජනකයටත් කියපං)




පසු සටහන -
කවුරුහරි මෙහෙම කියයි කියලා මාස ගානක් බලා සිටියෙමි. කවුරුවත් කිව්වේ නැති නිසා හිතට මාර අප්සැට්ය. මේ දේශප්‍රේමී බුද්ධිමතුන්ට මක්වෙලාද?
අන්තිමේදී මමම ලිව්වෙමි.
හප්පා.... පුදුම සැහැල්ලුවක් දැනේ.

Saturday, September 11, 2010

තාත්තාට කේන්තියෙනි.

තාත්තේ,

මෙය මගේ ජීවිතය තුල මා ඔබට ලියන පළමු ලිපියයි. එයද ඔබ අප අතරින් සදහටම වෙන්ව වසර හයකට පසු අස්පර්ශීය බ්ලොග් අවකාශයක ලිවීමට සිදුවීම, මා විසින් ලේඛනයේදී පෙර අත් නොවිඳි වෙනස් හැඟීමක් දනවයි.

ඔබගේ ජීවිතය තක්සේරු කල හැකි තැනක මා නැත. ඔබගේ සිදුවීම් බහුල යොවුන් විය පිළිබඳව ඔබ මා හා පවසා ඇත්තේ අල්ප වශයෙනි. ගා‍ල්ල කලහේ ඉපිද, ගැටයා සන්දියේ චිත්‍රපටි පිස්සුව සෑදීම කරණකොට ශාන්ති කුමාර්ගේ සිනමා කටයුතුවල බැලමෙහෙ කල බවද, ඒ හේතුවෙන් ‘සංසාරේ’ චිත්‍රපටයේ රඟපෑමට ලද එකම දර්ශණය එඩිටර් මල්ලිගේ කතුරට හසුවීම හේතුවෙන් මවගේ සහ ඔබගේ (මගේ) ඥාතීන්ගේ සමච්චලයට භාජනය වූ බවද ඔබ පවසා ඇත. ඉන් අනතුරුව ශාන්ති කුමාර් විසින් (මනා ගායන හැකියාවක් ප්‍රකට කල ඔබට) ලබාදීමට පොරොන්දුව සිටි චිත්‍රපට පසුබිම් ගීතයක් වෙනත් අයෙකුට ලබාදීම හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් මත ඔබ වෙනත් රැකියාවක් තෝරාගත් බවද පවසා ඇත.

අනතුරුව එළැඹි 71 කැරැල්ල එවක ඔබගේ සුවපහසු රැකියාව සහ වාසස්ථානය අහිමි කලේය. ඉන් අනතුරුවද ඔබගේ සිනමා සිහින තුල වැරදීමකින්වත් නොදුටු විවිධ ආන්තික රැකියාවන්හි නිරත වෙමින්, විවිධ හැලහැප්පීම් මැද කරගෙන ආ සුළු පරිමාණ කලා කටයුතු මට දැනුම් තේරුම් ඇති අවධිය වන විට ඔබ සම්පූර්ණයෙන්ම නවතා දැමීය. ඔබ පරාජය භාරගත්තේය. ඔබ වෙනුවෙන් තරඟ කිරීමට මා සූදානම් කිරීම සඳහා ඔබේ දිවියේ ඉතිරි කාලය කැප කල බව මා දනිමි.

ඔබගේ දේශපාලන දිවිය මට මහත් අවුලකි. ඉලන්දාරි සමයේ සමසමාජය සමග වැඩ කල බවද, ‍තරුණ ප්‍රේමදාස සමඟ සුචරිතයේ කිරි ඉතිරවූ බවද, 71 කැරලිකරුවන්ට හිතවත් වූ බවද, ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට එරෙහිව අරගල කල බවද ඔබ පවසා ඇත. මා දන්නා කාලයේදී ජේ.වී.පී. එකෙන් මගේ අනාගතය බේරා ගන්නට ප්‍රේමදාසටද, ප්‍රේමදාසගෙන්(යූ.ඇන්.පී. මර්දන යන්ත්‍රයෙන්) මා බේරා ගන්නට චන්ද්‍රිකාටද, චන්ද්‍රිකා මට්ටු කරන්නට ජේ.වී.පියටද, දකුණේ හාදයෙක් නිසා මහින්දටද ඡන්දට දුන් බව දනිමි. ෆොන්සේකාට ඡන්දය දෙන්නට ඔබ ජීවතුන් අතර සිටියේ නැත.

මේ සියල්ල පසෙක තිබියදී මට දැන් ඔබ ගැන කේන්තියක් දැනේ. ඒ ඔබගේ ජීවිතය විඳීම වෙනුවට මා වෙනුවෙන් විඳවීම පිළිබඳව මෙන්ම, එය අර්ථ විරහිත වීම හේතුවෙන් මගේ ජීවිතයද විකාරයක් වීම කරණකොට ගෙන විය හැකිය. ඔබ ඉපයූ දේපල මා බව වරක් පවසනු මා අසා ඇත. එය සත්‍යයකි. මන්ද ඔබ ඉපයූ වෙනත් චංචල/නිශ්චල දේපලක් නැති බැවිනි. ඔබ වරෙක මා ශාන්ති කුමාර් වැනි සිනමා කරුවෙකු වනු ඇති බවටද, නැතහොත් වික්ටර් රත්නායක වැනි ගායකයෙකු වනු ඇති බවටද, වරෙක වෛද්‍යවරයෙකු වනු ඇති බවටද සිහින දුටු බව ප්‍රත්‍යක්ෂය. ඒ එකක්වත් ඉටු නොවූ මුත් ඔබ මියයන මොහොතේදීත් කුමක් හෝ සිහිනයක් දරා සිටින්නට ඇත.
(එහෙත් ඒ ‘බ්ලොග් ලියන්නෙකු’ නොවන බව නම් දනිමි)

කලහේ උපන් ඔබ, වංචාවල උපන් ‘සරත් නානායක්කාර’ නමැත්තෙක් දැන සිටියාද?
ඔබ දැන සිටිය යුතුව තිබූ පුද්ගලයා ඔහු යයි සිතමි. ඔබ ගැටවර වියේදී ගමෙන් පැන ගියාක් මෙන් ඔහු ගැටවර වියේදී එ.ජා.ප.ය ට බැ‍‍ඳෙන්නට ඇතැයි සිතමි. ඉන් අනතුරුව සමගි පෙරමුණේ හාල් පොලු වලට විපක්ෂවද, 77 ව්‍යවස්ථාවට පක්ෂවද, 83 හර්තාලයට එරෙහිවද, ලාම්පු කලගෙඩි සෙල්ලමේදී ජේ.ආර් ට පක්ෂවද, 89 දේශප්‍රේමීන්ට එරෙහිවද කටයුතු කරන්නට ඇත. එහෙත් ප්‍රමාණවත් පරිදි ප්‍රවේශම් නොවීම හේතුකොටගෙන කැරලිකරුවන් විසින් ඔහු ඝාතනය කරන ලදී.

ඔබේ වයසේ ඔහු, ඔබ තරම් කාලයක් ජීවත් නොවූ බව සැබෑය. එහෙත් ඔහු මගේ වයසේ දරුවෙකු මෙන්ම මහත් සංකේතීය දේපලක්ද උපයා තැබූ බව ඔබ නොදනී. එය ‘ප්‍රතිපත්තිගරුක දේශපාලනය’ නමින් භෞතීස්ම කොට පසුගිය ඡන්දයේදී ඔහුගේ මා වැනිම වූ දරුවා විසින් හෝල් සේල් කර විකුණා දැමූ අතර දකුණ හොල්ලා ඔහු කවුන්සිලේට තේරී පත්වූ බවද ඔබ නොදනී. ඔහු ඊයේ පෙරේදා එම මන්ත්‍රී පදවියද ඉතා විශාල මුදලකට පාවාදුන් බවටද කටකතා ඇත.

ඔහුට මා දොස් නොකියමි. මට කේන්ති ඔබ සමගය. එම පුත්‍රයාට මින් පසු සිල්ලර කඩවල මුදලාලිලා සමඟ යාප්පුවෙන් සිටීමට අවශ්‍ය නොවනු ඇත. HSBC ගිණි පොලී ඇරියස් ගෙවන ලෙස ලිපි නොලැබෙනු ඇති අතර ඔහුගේ ස්වර්ණාභරණ නිවසේ අල්මාරියක සුවසේ තැබෙනු ඇත. ඔහුගේ අන්තර්ජාල සබඳතා විසන්ධි නොකෙරෙනු ඇති අතර පස්ස රිදෙනකං මෝටර් බයිසිකල් කටු වල යාමටද, විවිධ මානසික රෝගීන් යටතේ රැකියා කිරීමටද සිදු නොවනු ඇත. ඇහැට කණට පේන ගැටිස්සියක් දුටුවිට එකේ සිට සීයට ගණන් කිරීමටද ඔහුට අවශ්‍ය නොවේ.

මා අසා ඇති කියමනක් මෙසේය.
‘තරුණ වියේ මුල් කාලයේදීම පවතින හොඳම කඩයට යා යුතුය. නොඑසේනම් එක කඩයකින් ඊට වඩා හොඳ කඩයකට ආදී වශයෙන් ජීවිත කාලය පුරාම කඩේ යමින් සිටීමට තරම් ඔහු අවාසනාවන්ත වේ.’
(මෙම රුවන් වැකිය මා විසින් මිලදී ගත් රෝගයක නමක් සහිත විශාල පොතක කවරයේ අලවාගෙන අද ද වරින් වර කියවමි.)
ඔබේ ජීවිතය ගෙවා දැමූ ලෙසින්ම මගේ ජීවිතයද අද විඳවමින් සිටිමි. මගේ දරුවාගේ ජීවිතයද මෙලෙසම වේදැයි නිරතුරුවම කල්පනා කරමි.

පුතා,
Charmi.


ප.ලි -
තාත්තේ, ඔයාගේ වීරයා වාසු?
විධායක ජනාධිපති බලතල වැඩිකරන්ඩ අත ඉස්සුවා.
මොකක්? බොරු නෙමේ....
අම්මාපල්ලා.......!

Saturday, September 4, 2010

බල්ලො මල්ලියෙ.....!

(මේ මාසෙ 8 වෙනිදට....)
පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා...
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා....
සිංහ පැටව් වාගෙ බුරනවා....
බල්ලො හඳට යන්න හදනවා.....

සිංහයගේ අතට කඩුව දුන්නේ කවුද?
ලෙල දෙනකොට පැනලා ඇවිත් අපිව කයිද?
පුතා අහනවා.....
එයාට නින්ද යන්නෙ නෑ.......
කොඩියේ සිංහයට බයයි....
සිංහයගේ කඩුවටත් බයයි..
බල්ලෝ බුරනවට බයයි.....

අටසිය මුල් ගණන් වලදි සුද්දො කිව්වා බල්ලො මරන්න..
මොකද නින්ද යන්නෙ නෑ....
හැමතිස්සෙම බල්ලො බුරනවා....

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා...
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා....
සිංහ පැටව් වාගෙ බුරනවා....

බල්ලො හඳට යන්න හදනවා.....

දැං බල්ලන්ට හරි ජයයි....
අපි... බල්ලන්ට හරි බයයි.....
මේ බල්ලො සුද්දන්ට බයයි....
අපි සුද්දන්ට ණයයි.....

මේ බල්ලො ඉස්සොත් හැපුවා.... තා‍ලෙට...
මේ බල්ලො ඔටුවොත් හැපුවා.... ලාබෙට...
මේ බල්ලො උනුන්වම හැපුවා.... තරඟෙට...
මේ බල්ලෝ.... අපිවත් හැපුවා.....

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා...
සඳ එලියට පිස්සු හැදිලා බල්ලෝ බුරනවා....
සිංහ පැටව් වාගෙ බුරනවා....
බල්ලො හඳට යන්න හදනවා.....


මගේ පුතා හරි බයයි
එයාට නින්ද යන්නෙ නෑ
බල්ලෝ බුරනවට බයයි....
මට මගේ පොඩි පුතා ගැන දුකයි.......


(අජිත් කුමාරසිරි ගේ පට්ට ගහපු මේ සින්දුව නොදා ඉන්න තිබුනනම් කොච්චර හොඳද?)

Friday, August 27, 2010

ශෘ.ක.පා. කොමිසම

නිධාන කතාව.
62 හැවිරිදි උක්කු අම්මා පසුගිය දි‍නෙක නාගදීපය වන්දනා කරන්නට ගියාය.

“පුලුවං කමකට නෙමේ. බැඳපුම දවස් වල එක පාරක් ගිහිං තියෙනවා. ඊට පස්සෙ ඉතිං කොටි කලබලනේ.... ඔය අපේ ගනේවත්තෙ මලයා තමා බස් එක කතා කරලා මටත් වරෙං අක්කෙ කියලා කිව්වෙ.... ලොකු බස් එකක්. සේරම පවුලෙ අයම වගේ තමා....

දවස් තුනයි... මං ගියෙත් බයෙං බයෙං වගේ.... මේ වාත අමාරුව... ඕවා ඉතිං හොඳවෙන එව්වා නෙමේනෙ... ඒ උනාට කවුද හිතුවෙ ඇස් දෙක පියවෙන්ඩ කලියෙං අපිට ආයෙ ඔයපැත්තෙ යන්ඩ ඇහැක් වෙයි කියලා.... ඒ අතිං මහින්ද මහත්තයා කරගත්තෙ නං මහා පිනක්....”

“යාපනේ දැං හරි දියුණුයි.... එහේ දෙමල මිනිස්සුන්ටත් හරි ජයයි... ගෙයක් ගත්තා... දවසට පන්දාහක්ද කොහෙද.... සල්ලිනේ.....

අපරාදෙ කියන්ඩ බෑ හිතේ හැටියට වැඳගත්තා... ආපහු එන ගමං තමා අනුරාධපුරෙං නවත්තලා ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ බැස්සෙ.....
බස් එක නවත්තලා සෑහෙන දුරක් පයිං යන්ඩත් තියෙනවනේ.... ඉතිං මේ කකුලත් නොන්ඩි ගගහා ඔච්චර දුර කාල්ගාලත් මුං මහ මලුවට යන්ඩ දුන්නෑනෙ.....”

“ඇයි යකෝ..... වන්දනාවක් යනකොට ඇඳුම් අල්මාරි පිටිං උස්සං යනවයැ.... අන්තිම දවසනේ... ඇඳපු නැති එක හැට්ටයයි තිබුනේ.... ඒක ඇඳලා සුදු පාටට හුරු චීත්තයක් ඇඳගත්තා....”
“අත්කොට එව්වා ඇඳං ආවා කියලා මායි තව අපේ කෙල්ලො තුන් දෙනෙකුයි ආපහු එව්වනේ..... උන්ටත් ලැජ්ජාවෙ..... ඔතෙන්ටම ගිහිල්ලත්......?”

“අසංවර විදිහට ඇඳගෙන යන්ඩ දෙන්නෑලු.... ඇයි යකෝ... අපි හෙලුවෙං ගියායැ.....? මීට ඉස්සර ගියෙත් ඕවා ඇඳං තමා. අනික දැං කවද ඉඳංද ඔය අත්කොට දෙක අසංවර උනේ....?”

“යකෝ ජය සිරිමා හාමුදුරුවංගේ මලුවට අපි ජොලි කොරන්ඩ යනවයැ..... හරි අත්කොට ඇඳං ගියාට මොකද්ද තියෙන අසංවරේ.....? ඔන්න කෙල්ලෙක් එහෙම ගියොත් නං ඕං පිරිමි ටිකක් චූං වෙයි. ඉතිං ඒකට ගෑණු අපි පලිද?”

“ඕකම තමා වෙන්ඩ ඇත්තෙ.... ඔය ගෑණුංගේ අත්කොට දැකලා පොඩ්ඩ ඇත්නං චූං වෙන එකෙක්ට හිතෙන්ඩ ඇති යකෝ.. මේක වස අගවුරවයක් නේන්නං කියලා.... ඉතිං තහනං කොලා.... දැං එවුන්ට බැරිවෙලාවත් ගෑණුංගේ මූණු දැකලා චූං යන්ඩ ගියොත්......?
අපිටත් අර ---ගෑණු වගේ .........................”

“මට දුක මැරෙන තුරාවට ආයෙ කවදාවත් ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ යන්ඩ බැරිවෙයිද කියන එක........”

අතිගරු ජනාධිපතිතුමනි,

ආගමික ශිෂ්ඨත්වය පිළිබඳ නව ගැම්මක් ඇතිවී ඇති මෙවන් මොහොතක මෙම කරුණ ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කිරීමට හැකිවීම අපහට සතුට දනවයි. ස්ත්‍රීන්ගේ සංවරභාවය පිළිබඳ ස්ථාවර පොදු අර්ථකථනයක් නොමැතිවීම හේතුවෙන් මෙවන් ගැටළු දිනෙන් දින වර්ධනය වනු අපට පෙනේ.
එබැවින් දිනෙන් දින වෙනස්වන සමාජ තත්වයන්ට අනුකූලව ස්ත්‍රී ශරීරයේ නව ශෘංගාරජනක කලාපයන් ජාතික මට්ටමෙන් හඳුනාගැනීම සහ එම කලාපයන් නිසිලෙස කළමණාකරණය වැනි කරුණු සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක්ව පවතී. මේ සඳහා සුදුසු පුද්ගලයින්ගෙන් සමන්විත නව ශෘංගාර කලාප පාලන කොමිසමක් පත් කිරීමටද, සංස්කෘතික අමාත්‍යාංශය හරහා එම කොමිසමට බලපෑම් සිදුවීම වැලැක්වීම සඳහා පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය එම අමාත්‍ය ධූරයෙන් පහකිරීමටද කාලයයි මේ.

අදත් පිටපත....... (උගෙන්ම තමා)

Sunday, August 22, 2010

ගඟක් ගැන.....


වේදිකාව පසෙක මගුල් පෝරුවකි. කඩදාසි සැරසිලි, පුටු, පුන්කළස් ආදීය අක්‍රමවත් ලෙස විසිරී ඇත. වේදිකාවේ පසෙකින් මනාලියක අතින් අල්ලාගත් මනාලයෙකු එක්වරම ප්‍රවේශ වේ.
මනාලයා - අපි...මෙහෙන් දුවමු..... මෙහෙන් දුවමු.....
මනාලිය - අනේ මට නම් හරි මහන්සියි.....
මනාලයා - එහෙම කියලා කොහොමද...? මෙතන උන්නොත් අරූ අපිව අල්ලා ගනී......
මනාලිය - අනේ මට නම් තව අඩියක්වත් උස්සන්ඩ බෑ... තවත් මෙහෙම දිව්වොත්....
මනාලයා - අනේ මන්දා මොනවා කරන්ඩද කියලා .... ඔයාට තේරෙන්නෙ නැද්ද මෙයා..... මෙයා... මේ..මේ... ඔයාගෙ නම මොකද්ද?
මනාලිය - දිස්නා...!
මනාලයා - දි..ස්නා....... හරි ගොඩේ නමක්නේ......?

ඇය හා මා විවාපත් වන්නට නියමිතව තිබිණි. ඒ මන්දැයි යන්න අප දෙදෙනාම නොදැන සිටියෙමු. අප අතර සම්මත අර්ථයෙන් ප්‍රේම සබඳතාවයක් විණි. ඇය මාහට හෝ මා ඇයට කැමති වූයේ ඇයිදැයි අප දෙදෙනාම නොදත්තෙමු.
"ඔයා හරි අවංකයි..... මං ඒකට.....!"
ඇය කීවාය. මා අවංක නැති බව මා දනිමි. එහෙත් ඇය මා අවංක බව සිතන බැවින් මා සුපුරුදු වංක කමින් යුතුව නිහඬ වීමි. මා ඇයට කැමති වූයේ ඇගේ රවුම් මුහුණට සහ නිහතමානීකමට යයි සිතමි. එහෙත් ඇය නිහතමානී අයෙකු නොවන බව ඇය දැන සිටියාය.

මනාලිය - ගොඩේ හරි කොහේ හරි....... තවත් කොච්චර කියලා දුවන්නද..?
මනාලයා - අනේ මන්දා... මේ හරිය.... එච්චර හරි නෑනේ... මේ හරියෙ....
(මනාලයා එක්වරම පෝරුව දකී)
මනාලයා - දිස්නා..........!
මනාලිය - දෙයියනේ.... මේ අපේ මගුල් පෝරුව....
මනාලයා - ඇත්තමයි... අපි ආපහු මෙතෙන්ටම ඇවිල්ලා....
මනාලිය - අපට නම් ගැලවීමක් ඇත්තෙම නෑ.....!
මනාලයා - එක්කෝ ඔන්න ඔහෙ ඌ ආපුදෙන්.... අපි පොඩ්ඩකට මෙහෙන් ඉමු...!
(මනාලිය පෝරුවේ වාඩිවේ. මනාලයා පෝරුව පරීක්ෂා කරයි)
මනාලයා - මේක... හරි ලස්සනට හදල තියෙනවනේ.........

අපගේ ප්‍රේම සබඳතාවයෙහි නිශ්චිත අවසානයක් ලෙස අප කඩිනමින් විවාහ කරවන්නට ඇගේ දෙමාපියන්ට අත්‍යාවශ්‍යව තිබිණි. ඉන් අනතුරුව අප ප්‍රේම කලා හෝ නොකලා, කිසිවෙකුටත් වගක් නොවන බවද අප දැන සිටියෙමු. ඇගේ බාල සොහොයුරියන් දෙදෙනාගේ උර මත ඇය විය. ඇගේ උර මත?

මනාලිය - මං කොච්චර ඇඬුවද මේකට නගින්න බෑ කියලා.......
මනාලයා - හහ්... එහෙනං ඔය නැලවි නැලවි නැග්ගෙ.....?
මනාලිය - කොහෙද..? අප්පච්චි හෙන.... නාරං කෝටුවක් කඩාගෙන ආවනේ...
මනාලයා - හැබැයි අපි දෙන්නා මේකෙන් බැහැලා පැනලා නොදුවන්ඩ.... තව පොඩ්ඩෙන් අරකා අපි දෙන්නව අල්ලලා ගැටගහනවා.....
මනාලිය - චිකේ..... අර සෙනඟ ගොඩේ....?
මනාලයා - නෑ.... මං හිතන්නේ ඇඟිලි විතරයි ගැට ගහන්නෙ......
මනාලිය - උගේ හැටි විතරක්......! ඔයා දැක්කද? අතක මොකද්ද කෙණ්ඩියකුත් තිබුනා....... ඌ මං ගාවට එහෙම ආවනං...... මට කලන්තෙ හැදෙන්ඩයි ගියේ......
මනාලයා - පෝරුවෙදි කලන්තෙ හැදෙන්නෙ හොඳ ගෑණුන්ට නෙමෙයිලු.....

අප පෙම්වතුන් වශයෙන් නිතර හමු විය යුතු වීමු. අප තෝරාගන්නේ මුහුදු වෙරළයි. මහා සමුද්‍රඝෝෂය අපගේ කතාබහ, විහිලු තහලු, ඇනුම්පද, බැණඅඬගැසීම් ලවණ මුසු සුළඟේ මුසු කොට අතුරුදන් කරයි. හරියටම පැය දෙකකින් ඇය කඳුළු පිසදාගෙන කොණ්ඩය සකස් කොට නැගී සිටියි. මම සිගරැට්ටුවක් දල්වා ගනිමි.
"ඔය ජරාව බොන්ඩ එපා......."
"ඇයි මං ඉක්මනට මැරිලා ඔයා අනාත වෙයි කියලද..?"
"කොහොමත් දැනටම අපි දෙන්නම අනාත වෙලා වගේ තමා....."
"පනිමුද මූදට...?"
"අපොයි අද බෑ... යමු..... කවද්ද ඒ පැත්තෙ එන්නේ....?"
මාළු මාරකැට්ටුවේ පිළී ගඳ දැනෙන ඉසව්වට පැමිණ අපි වෙන්වන්නෙමු.

විවාහය සඳහා තවත් කල් ගන්නට බැරි තත්වයකට මා මුහුණ දී සිටියෙමි.
"තවත් මොනවද බලන්නෙ දරුවො.... ඔය දෙන්නා යාලු වුනා..... එහෙ මෙහෙ ගියා.... කොහෙ ගියාද අපි ඇහුවෙත් නෑ...... ගමේ රටේ හැමෝම වගෙත් දන්නවා.... දැං ඉතිං මේක ඉවරයක් කරන එක අපේ වගකීම...... තව ගෑණු දරුවො දෙන්නෙක් මෙහෙ ඉන්නවනේ...."
ඔවුන්ගේ තත්වය මා හොඳින් තේරුම් ගෙන සිටියෙමි.

මනාලිය - ඉතිං.....? තමුසෙට මොකටද මගේ හොඳ නරක...? තමුසෙ කියලත් හොඳ මිනිහෙක්ම වෙන්ඩ බෑනේ.......
මනාලයා - තමුසෙ ටිකක් හොයලා බලලා කතා කරනවා..... මට දැං අවුරුදු තිස් හතක්.... තාම ගෑණියෙකුගේ ඇඟට එක අතක් තියලා නෑ......
මනාලිය - හරි ඉතිං.... එක අතයැ තියෙන්නෙ...? මාත් ඕවට අහුවෙන ගෑණියෙක් නෙමේ....
මනාලයා - හහ්..... මූණ බැලුවම පේනවා...... කජුගස් හතම පැනලා ඇවිදින් මෙතන....
මනාලිය - හැටි විතරක්..... උලම වගේ.....
මනාලයා - කොහෙද යන කිඹුලියක්.....
මනාලිය - ඉත්තෑවා....!
මනාලයා - ඉත්තෑවි....!

අප එකිනෙකා වඩාත් හඳුනාගනිමින් සහ අපගේ නොගැලපීම් දිනෙන් දින අවබෝධ කොටගනිමින් සිටියෙමු. ඒ අතර ඇගේ දෙමාපියන් මගේ මව්පියන් හා තීරණාත්මක සාකච්ඡා වට අවසන් කොට තිබිණි.
"ඔයා කවද හරි කේන්ති ගිහින් මට ගහනවද?"
"මාර කතාවක්නේ...... ඇයි මං ඒ වගේද පේන්නෙ..?"
"නෑ... මං පොඩිකාලේ අපේ තාත්තා අම්මට ගහල තියෙනවා... මට බයයි..."
"නෑ... මං එහෙම නෑ..."
"ඒ උනාට අපි දෙන්නා හැමදාම රණ්ඩු කරන්ඩ ගනියි නේ.....?"
"මන්දා......"
"මං රට යන්ඩද?"

(මනාලයා හා මනාලිය ගේ ආරවුල අතරතුර මහල්ලෙකු (අශ්ඨකාවාර්ය) පැමිණේ. ඔහුගේ අතේ කෙණ්ඩියකි.)
මහල්ලා - ආ... තමුසෙලා දෙන්නා මෙතනම....? මං කොච්චර නං දුර ගියාද තමුසෙලා දෙන්නා හොයන්ඩ? හ්ම් .... දැං ඉතිං නගිමු......
මනාලයා - අනේ ලොකු උන්නැහේ.... මං කැමති නෑනෙ ඕකට.....
මනාලිය - අනේ ඇත්තමයි... මාත් කැමති නෑ.....
මනාලයා - අපේ මේ තරහක් මොකුත් නෑ... (මනාලියට) නෑනේ...?
මනාලිය - (ඉවතට) නෑ නේන්නං...!
මහල්ලා - මේ ළමයි දෙන්නා ටිකක් අමුතුයි.... කියන්නේ වෙනස්.... ඔය තරුණ වයසට ටිකක් මුරණ්ඩුයි තමා.... හැබැයි එකෙක්වත් මේ වෙනකං ඔහොම කියලා නෑ....
මනාලයා - අනේ පිං සිද්ධ වෙයි.... අපිට මෙහෙම ඉන්ඩ දීලා ඕන එකෙකුට ඔය හූනියම කරගන්නවකෝ..... අනික ඇයි මේ කරුමෙට අපිවම තෝර ගත්තේ....?
මහල්ලා - ඇයි බං.... මේ ගෑණු දැරිවියක්..... උඹ පිරිමියෙක්.... වෙන මොනවද..?
මනාලයා - හා..... ඒ ඇද්ද?
මහල්ලා - මන්දා.... මමනං බලන්නේ ඔච්චරයි.......

ඇයව තේරුම් ගැනීමට හැකිවූවත්, නැතත් ඇය හා සාමකාමීව විවාහ දිවිය ගෙනයාමට මම අවසානයේදී ඉටාගත්තෙමි. ඇගේ විදේශගතවීමේ අදහසට මා තරයේ විරුද්ධ වූ බැවින් ඇය එම අදහස අත්හළාය. අපි මාස දෙකක් ඉකුත්වූ දිනකදී විවාහ වීමට දින නියම කර ගතිමු. මසකින් පමණ ඇයව හමු නොවූ සතියක අන්තයේ ඇය ලිපියක් එවා තිබුණි.
"මං කටානෙ නැන්දලගෙ දිහා ආවා. තව සතියකින් විතර ආපහු එනවා...."

මනාලයා - ළඟට එන්ඩ එපා..... අනිනවා හොම්බ හිල්වෙන්ඩ.....
මහල්ලා - උඔලට තේරෙන්නෙ නෑනේ..... මං මේ උදාකරලා දෙන්ඩ යන්නේ මේ අනන්ත විශ්වයේ තියෙන උපරිම සැපත...... කියන්නේ ඌ.......ප...රී..ම.......
මනාලිය - තියාගන්නවා ඔහේගෙ සැපත....
මහල්ලා - හරි... ඒක ගියාවෙ.... කවදා හරි උඔලා මැරෙන්ඩ වැටුනු දාක කටට වතුර උගුරක් දාන්ඩ එකෙක් එපාද.....?
මනාලයා - මං ගන්නවා රෝබෝ කෙනෙක්....
මනාලිය - මාත් ගන්නවා......

තවත් සතියකින් ඇය තවත් ලිපියක් මා නමට යොමු කලාය. එම ලිපිය මා අත පත්වන විට ඇය මට හා ඇගේ නිවසට හොරෙන් විදේශගත වී අවසන් බව එහි දන්වා තිබිණි.
"මේකෙන් ඔයාගෙ ජීවිතේ වගේම මගේ ජීවිතෙත් කාලකණ්නි වෙයි කියලමයි මට හිතෙන්නෙ. මං අවුරුදු දෙකකින් එනවා. එතකොට ගොඩක් දේවල් වෙනස්වෙලා තියෙයි. හැමදාමත් ඔයාට ආදරෙයි"

ඉනික්බිති ගෙවුනු තෙසතිය මගේ ඇටමිදුළු මධ්‍යසාරය තුල පොඟවා හළෙමි. පෑනක් ඇල්ලීමට තරම් වලංගු නොවූ ඇඟිලිතුඩු වලින් ඒ තෙතබරිත හැඟීම් සියල්ල, පළායන මනාල යුවලක වේශයෙන් කසිකබල් පරිඝණකයක් තුල මුදාහැරියෙමි. කවර හේතුවකට හෝ දෙසතියක් අවසන් වන විට මනාලයා සහ මනාලිය මහල්ලාට එරෙහිව කරන ලද මාරාන්තික උපවාසයකින් පසු පෙම්වතුන් වී සිටියහ. පසුව මහල්ලා මරා දැමුවෙමි.

ඇය නැවත මෙරට පැමිණියාය. ඒවනවිට මහල්ලාට නැවත පණ එන තෙක් පෝරුව මත බලාසිටින තරුණ යුවල, මවිසින් වේදිකාව මත ප්‍රතිනිර්මාණය කොට වසරක් ගතවී තිබිණි.
"මං ගියාට පස්සෙ හරිගිහිං එහෙනං...... පත්තර පිටුවකුත් නංගි පෙන්නුවා.... මටත් ආසයි ඒක බලන්න........ මොකද්ද කතාව...?"
"ගඟක් ගැන......"
සත්තකින්ම බොක්ස් ගිටාරයක් පසුබිමේ ඔවුහු ගඟක් ගැන ගැයූහ.

'මල් කුමාරියේ...... මේ ශීත ඍතුවයි......
හිම කුමාරියේ......
අර සීත සීත හිම අතුරන්......
මේ ගඟ බලාසිටිනවා........!'

Friday, August 13, 2010

බින්දු දෙකේ වාසනාව


මං කොහොමත් එදා ඉඳන්ම ඕපාදූප හොයන්ඩ එච්චර කැමැත්තක් නෑ. ඒක මගේ තියෙන හොඳම ලක්ෂණයක් කියලා තමයි මං හිතන්නෙ. මොකද එහෙම අය අද හරි අඩුයි. ඔය මාලනී අක්කා ජයපාල අයියත් එක්ක තරහවෙලා මහගෙදර ගියපු කතාව උනත් ජයපාලම කිව්වා මිසක් මං නෙමේ අහන්ඩ ගියේ. අපිට මොකටද ඕවා?

ජයපාල අයිය ගැන කියද්දි මතක් උනේ. ඊයෙ උදැල්ලට කකුල කපාගෙන. මං යනකොට මරතොණ්ඩු කොල තලියක් තියලා ගැටගහනවා. තරමක් ලේත් ගිහින්. මේ යකා අර මඩ දූවිලි පිටින්ම ගැටගහන්ඩයි යන්නේ.
“යකෝ... ඔය තුවාලෙ ඉස්සෙල්ලා හෝදලා හිටපං....... කෝ... මාලනී අක්කේ.... වතුර ටිකක් ගෙනෙංකෝ........”
මගේ කෑගැහිල්ලට ප්‍රතිචාරයක් නෑ.
“ඒකි ගෙදර නෑ බං.......”
ජයපාල ඒ ටික කිව්වේ රෙදි පටියක් ඉරන ගමන් ඌට විතරක් ඇහෙන්ඩ වගේ. මංම ගිහින් වතුර එකකුත් ගෙනාවා.
“ඇයි කොහෙ ගිහිංද..?”
“ඔය උදේ වලියක් දාගෙන මහ ගෙදර ගියේ.........”

ඔන්න ඒකනං ටිකක් සීරියස් කේස් එකක් කියලා මට දැනෙනවා. උන්ගේ අවුරුදු දොලහක විතර දීගේ අතරතුර මාලනී අක්කා තුන් පාරකට වඩා ඔහොම ගිහින් නෑ. එක පාරක් ජයපාල අයියගේ මොකද්ද සීන්කෝන් එකක් මාට්ටු වෙලා. ඒක වෙලා ගොඩක් කල්. ඊට පස්සෙ මොකද්ද එකකට ජයපාල අයියා කණ පැලෙන්ඩ ගහලා. දන්නවනේ ගෑණුන්ගේ කටවල්..? අනිත් වතාවෙ නම් මොකද්ද උනේ කියලා ජයපාල අයියා මට හරියටම කියලා නෑ. ඕනෙනම් අහගන්ඩත් තිබ්බා. මොකටද?

මේ වතාවෙ වැඩේ නම් මටත් අපභ්‍රංශයක්. කියන්ඩ තරං මහ දෙයක් වෙලත් නෑ. දැං මාලනී අක්කගේ නෑදෑ පිරිවර මේ පාර ඉස්කෝලෙ නිවාඩුව අල්ලලා නාගදීපෙ බලන්ඩ යන්ඩනේ ඉන්නේ. ඉතිං ගිය තිස් වෙනිදා මාලනී අක්කා පොඩි එකීත් එක්ක හලාවත ගිහින් තියෙනවා ගමනට අඳින්ඩ ඇඳුම් මොනවාහරි ගේන්ඩ කියලා. ඉතිං හොඳටෝම හවස් වෙලා ආපහු එන ගමං හලාවත ස්ටෑන්ඩ් එකේ ලොතරැයි කූඩුවකට එබිලා ඉතුරුවෙලා තිබුන මහජන සම්පත තුන එතරකින් එකකුත් අරං ගෙදර ඇවිත්. ඒක එච්චරයි.

කොහොමින් හරි එදා රෑ නමය හමාරට විතර ජයපාල අයියා ඉඳලා තියෙන්නේ කුස්සියේ. මාලනී අක්කා සාලේ ටී.වී බලනවා.
“අනේ.......අරක... ඇ..දුනා........!”
සාලෙන් ආපු බෑඟිරියෙන් බයඋනු ජයපාල අයියා සාලෙට එනකොට මාලනී අක්කා ඇස් උඩ තියාගෙන කටත් ඇරගෙන ටී.වී එක දිහා බලාගෙන.
“ඇයි.... මොකද උනේ...?”
“අරක ඇදුනා......”
මාලනී අක්කා තාමත් උන්නු විදිහමයි.
“මොකද්ද..?”
“මහජන සම්පත.... අර..?”
“ඉතිං කාටද? තමුසෙටද...?”
“මට...? ....හලාවත කාට හරි...”
“ඉතිං තමුසෙ කෑ ගහන්නෙ...?”
“බලන්ඩකෝ අර අංක.....?”
“ඉතිං...?”
“ඔය අගට බින්දු දෙක තියෙන ටිකට් එක ගාවමයි මේක තිබුනේ.... මං ඒක අල්ලලත්... මොකටද බින්දු බින්දු කියලා මේක ගත්තා.....
අපරාදෙ.....ලක්ෂ විස්සක්....!”
“විකාර....”
එ‍ෙහම කියලා ජයපාල අයියා ආපහු ගියත් හිත යටින් හිතුනලු අපරාදෙ කියලා.

පහුවදා උනත් මාලනී අක්කා ගෙදර වැඩපොල කලෙත් එලෝවිකාරෙන් වගේ කියලා ජයපාල අයියටත් දැනිලා.
“අපරාදේ නේ.....?”
එදා සිය පාරකටත් වඩා අහපු ඔය ප්‍රශ්ණෙට ‘හ්ම්....හ්’ කියනවා ඇර වෙන මුකුත් ජයපාල අයියා කියලා නෑ. හවස පාරෙ යන හිරු එෆ්.එම් කොලුවගෙන් මාලනී අක්කා ටිකට් හතරක්ම අරගෙන. එදා ටී.වී එකේ ‘ගැහැනු ලමයි’ වත් නොදා ජාතික රූපවාහිනියමයි දාල තිබුනේ.
“ෂිහ් මොනවත්ම නෑනෙ..... අපරාදෙ අරක නේ.....?”
“හ්ම්..... රුපියල් අසූවක්........!”
ජයපාල අයියා කිව්වේ එච්චරලු.

ඊටත් පහුවදා උදේ මාලනී අක්කා කිලුටු රෙදි ගොඩත් අරන් ලිඳ ලඟට යන්ඩ ලෑස්ති වෙලා ජයපාල අයියට කතා කරලා.
“ගමුකො අනේ මෝටරයක් වත්...... මේක මහ කරුමයක්නේ.... උපන්දා ඉඳං වතුර අදිනවා..... තාම ඉවරයක් නෑ...”
ගහෙන් ගෙඩි එන්නා වගේ කියපු මේ කතාවෙන් ජයපාල අයියත් හොල්මන් වෙලා.
“මොන මෝටර්ද බං..... මොනවා හරි කරලා අර චේන් එක බේරගන්ඩ මං බලන්නේ ..... මෙයා මෙතන.....” ජයපාල අයියට කේන්ති ගිය එක සාධාරණයි. එලවළු කීර්ති ගාව දවස් තුනක් පොල රවුමේ ගිහින් හම්බකරන එකෙන් මොන මෝටර්ද? අනික කෙල්ලගේ ඉස්කෝලෙ වියදම්.
“ඒ අස්සෙ මුං නාගදීපෙ යන්ඩත් ලෑස්ති වෙනවා.....”

ඊළඟ දවස් තුන හතරෙත් පොඩි පොඩි වාද විවාද තිබිලා. එක පාරක් තවත් දුම් කන්න බෑ කියලා ගෑස් කුකර් එකක් ඉල්ලුවලු.
“අපරාදෙ අරක ඇදුනනං..... මොනවා කරන්ඩද.... කරුමෙ තමා...”
“හ්...ම්..හ්.....”
“හුම් තමා. ඒ ගෑණි නං මෙලහට වොෂින් මැෂීන්..... කුකර්..... සේරම අරං..... රත්...ත..රං බඩු.........?”
“දැං තමුසෙ කොහොමද දන්නේ ඒක ගෑණියෙකුට ඇදුන කියලා...?”
“හරි ඉතිං.... මිනිහෙකුට ඇදුනත් ඒ ගෙදර ගෑණියෙක් ඇතිනේ.....”
“තමුසෙට නං පිස්සු....”
“ඔව් ඉතිං... පිස්සු නොහැදි උන්නොත් තමා පුදුමේ..... මොනවා කරන්ඩද.... කරුමේනේ....”
ඒ කතාව නං ජයපාල අයියටත් වැදිලා. ඒත් කට වහං උන්නා කියලයි කිව්වෙ.

ඊට පහුවදා මාලනී අක්කා පොඩිඑකීගෙ සපත්තු දෙක මාරුකරන්ඩ ඕනෙ කියලා ආපහු හලාවත ගිහින්. මාරු කරපු සපත්තු දෙකක් නං නෑ. පොඩි එකීට ඇට මාලෙකුයි එයාට යට සායකුයි විතරක් අරන් ඇවිත්.
“ඒක නෙමේ.... මං අරක ඇහුවනේ......”
“මොකද්ද....?”
“සුවීප් එක....!”
“කාගෙන්ද..?”
“දෙයියනේ ලොතරැයි කාරයාගෙං...... ඒ යකා කියනවා ඒක මිනිහගේ සුවීප් එකක් නෙමෙයිලු.... මුංගෙ බොරු...... ගානක් හම්බවෙන්ඩ ඇතිනේ......?”

ඊටත් දවස් දෙකකට පස්සේ තමා වැඩේ උනේ. එදා සඳුදාවක්. පාන්දර හතරට විතර පොලට ගිය ජයපාල අයියා එලවළු කෑලි ටික බාගෙන සුද්ද කරලා කාරිය කීර්තිට බාරදීල අටට විතර ගෙදර ආවෙ උදේට කාල යන්ඩ. ඔය අතරෙ තමා මාලනී අක්ක කතා කරලා තියෙන්නේ.
“දැං මොකද්ද මං නාගදීපෙ දාන්නෙ....?”
“චේන් එකද..? නංගිගෙන් ඉල්ලගමු”
“හැමදාම එක එකාගෙ එව්වා දාන්ඩ පුලුවන්ද..? මගේ එක බේරලා දෙනවා.....”
“යකෝ.... මං ඒක තියලා සූදු කෙලියා වගේනෙ කතාව...?”
“තමුසෙ මිනිහෙක් නං.... තමුංගෙ.......”
ඒ කතාවට පිඟානත් වීසි කරලා ජයපාල අයියා මාලනී අක්කා ළඟට පැන්නත් මොකුත් කරලා නෑ. කොහොමත් කලින් කණ පලපු වෙලාවෙ මාලනී අක්කගේ අයියා වෝනින් එකකුත් දීලයි තිබුනේ.
“ඇයි ......? චේන් එක බේරුවෙ නැත්තං උඔ මොනවා කරන්ඩද?”
“මගේ කරුමේ..... මං යනවා යකෝ මගේ ගෙදර..... මට මගේ අම්මා අප්පා ඉන්නවා ..... උඔ වගේ.......”
“ඉන්ඩ බැරිනං පල..... පට්ට.........”
ජයපාල අයියා බයිසිකලේ අරං එක හැල්මට පොලට පැද්දා. හවස එනකොට මාලනී අක්කා පොඩි එකීත් අරන් ඇත්තටම ගෙදර ගිහින්.

“ඒ පැත්තෙ ගිහින් බලමුද..?”
මම ඇහුවේ ඒ වෙලාවෙ වෙන වැඩක් නොතිබුන හින්දා.
“ඕන් නෑ බං..... මං කෝල් එකක් දුන්නා. දවසකින් දෙකකින් එයි.....”

ඉතිං සිද්ද උනේ ඔච්චරයි. මේ සිද්ධිය බ්ලොග් එකේ ලියන්ඩ යන බව මගේ අතීසාර මිත්‍රයෙකුට කිව්වහම ඌ කියනවා ඕක දැම්ම නොදා තව මාසයක් දෙකක් බලලා ඒවත් එක්කම දාපංලු. හැබෑටම මුන්ටත් කල දවස යනවනේ. අපිට මොකටද අනුන්ගේ දේවල්. නැද්ද මං අහන්නේ?

Follow by Email