Sunday, August 22, 2010

ගඟක් ගැන.....


වේදිකාව පසෙක මගුල් පෝරුවකි. කඩදාසි සැරසිලි, පුටු, පුන්කළස් ආදීය අක්‍රමවත් ලෙස විසිරී ඇත. වේදිකාවේ පසෙකින් මනාලියක අතින් අල්ලාගත් මනාලයෙකු එක්වරම ප්‍රවේශ වේ.
මනාලයා - අපි...මෙහෙන් දුවමු..... මෙහෙන් දුවමු.....
මනාලිය - අනේ මට නම් හරි මහන්සියි.....
මනාලයා - එහෙම කියලා කොහොමද...? මෙතන උන්නොත් අරූ අපිව අල්ලා ගනී......
මනාලිය - අනේ මට නම් තව අඩියක්වත් උස්සන්ඩ බෑ... තවත් මෙහෙම දිව්වොත්....
මනාලයා - අනේ මන්දා මොනවා කරන්ඩද කියලා .... ඔයාට තේරෙන්නෙ නැද්ද මෙයා..... මෙයා... මේ..මේ... ඔයාගෙ නම මොකද්ද?
මනාලිය - දිස්නා...!
මනාලයා - දි..ස්නා....... හරි ගොඩේ නමක්නේ......?

ඇය හා මා විවාපත් වන්නට නියමිතව තිබිණි. ඒ මන්දැයි යන්න අප දෙදෙනාම නොදැන සිටියෙමු. අප අතර සම්මත අර්ථයෙන් ප්‍රේම සබඳතාවයක් විණි. ඇය මාහට හෝ මා ඇයට කැමති වූයේ ඇයිදැයි අප දෙදෙනාම නොදත්තෙමු.
"ඔයා හරි අවංකයි..... මං ඒකට.....!"
ඇය කීවාය. මා අවංක නැති බව මා දනිමි. එහෙත් ඇය මා අවංක බව සිතන බැවින් මා සුපුරුදු වංක කමින් යුතුව නිහඬ වීමි. මා ඇයට කැමති වූයේ ඇගේ රවුම් මුහුණට සහ නිහතමානීකමට යයි සිතමි. එහෙත් ඇය නිහතමානී අයෙකු නොවන බව ඇය දැන සිටියාය.

මනාලිය - ගොඩේ හරි කොහේ හරි....... තවත් කොච්චර කියලා දුවන්නද..?
මනාලයා - අනේ මන්දා... මේ හරිය.... එච්චර හරි නෑනේ... මේ හරියෙ....
(මනාලයා එක්වරම පෝරුව දකී)
මනාලයා - දිස්නා..........!
මනාලිය - දෙයියනේ.... මේ අපේ මගුල් පෝරුව....
මනාලයා - ඇත්තමයි... අපි ආපහු මෙතෙන්ටම ඇවිල්ලා....
මනාලිය - අපට නම් ගැලවීමක් ඇත්තෙම නෑ.....!
මනාලයා - එක්කෝ ඔන්න ඔහෙ ඌ ආපුදෙන්.... අපි පොඩ්ඩකට මෙහෙන් ඉමු...!
(මනාලිය පෝරුවේ වාඩිවේ. මනාලයා පෝරුව පරීක්ෂා කරයි)
මනාලයා - මේක... හරි ලස්සනට හදල තියෙනවනේ.........

අපගේ ප්‍රේම සබඳතාවයෙහි නිශ්චිත අවසානයක් ලෙස අප කඩිනමින් විවාහ කරවන්නට ඇගේ දෙමාපියන්ට අත්‍යාවශ්‍යව තිබිණි. ඉන් අනතුරුව අප ප්‍රේම කලා හෝ නොකලා, කිසිවෙකුටත් වගක් නොවන බවද අප දැන සිටියෙමු. ඇගේ බාල සොහොයුරියන් දෙදෙනාගේ උර මත ඇය විය. ඇගේ උර මත?

මනාලිය - මං කොච්චර ඇඬුවද මේකට නගින්න බෑ කියලා.......
මනාලයා - හහ්... එහෙනං ඔය නැලවි නැලවි නැග්ගෙ.....?
මනාලිය - කොහෙද..? අප්පච්චි හෙන.... නාරං කෝටුවක් කඩාගෙන ආවනේ...
මනාලයා - හැබැයි අපි දෙන්නා මේකෙන් බැහැලා පැනලා නොදුවන්ඩ.... තව පොඩ්ඩෙන් අරකා අපි දෙන්නව අල්ලලා ගැටගහනවා.....
මනාලිය - චිකේ..... අර සෙනඟ ගොඩේ....?
මනාලයා - නෑ.... මං හිතන්නේ ඇඟිලි විතරයි ගැට ගහන්නෙ......
මනාලිය - උගේ හැටි විතරක්......! ඔයා දැක්කද? අතක මොකද්ද කෙණ්ඩියකුත් තිබුනා....... ඌ මං ගාවට එහෙම ආවනං...... මට කලන්තෙ හැදෙන්ඩයි ගියේ......
මනාලයා - පෝරුවෙදි කලන්තෙ හැදෙන්නෙ හොඳ ගෑණුන්ට නෙමෙයිලු.....

අප පෙම්වතුන් වශයෙන් නිතර හමු විය යුතු වීමු. අප තෝරාගන්නේ මුහුදු වෙරළයි. මහා සමුද්‍රඝෝෂය අපගේ කතාබහ, විහිලු තහලු, ඇනුම්පද, බැණඅඬගැසීම් ලවණ මුසු සුළඟේ මුසු කොට අතුරුදන් කරයි. හරියටම පැය දෙකකින් ඇය කඳුළු පිසදාගෙන කොණ්ඩය සකස් කොට නැගී සිටියි. මම සිගරැට්ටුවක් දල්වා ගනිමි.
"ඔය ජරාව බොන්ඩ එපා......."
"ඇයි මං ඉක්මනට මැරිලා ඔයා අනාත වෙයි කියලද..?"
"කොහොමත් දැනටම අපි දෙන්නම අනාත වෙලා වගේ තමා....."
"පනිමුද මූදට...?"
"අපොයි අද බෑ... යමු..... කවද්ද ඒ පැත්තෙ එන්නේ....?"
මාළු මාරකැට්ටුවේ පිළී ගඳ දැනෙන ඉසව්වට පැමිණ අපි වෙන්වන්නෙමු.

විවාහය සඳහා තවත් කල් ගන්නට බැරි තත්වයකට මා මුහුණ දී සිටියෙමි.
"තවත් මොනවද බලන්නෙ දරුවො.... ඔය දෙන්නා යාලු වුනා..... එහෙ මෙහෙ ගියා.... කොහෙ ගියාද අපි ඇහුවෙත් නෑ...... ගමේ රටේ හැමෝම වගෙත් දන්නවා.... දැං ඉතිං මේක ඉවරයක් කරන එක අපේ වගකීම...... තව ගෑණු දරුවො දෙන්නෙක් මෙහෙ ඉන්නවනේ...."
ඔවුන්ගේ තත්වය මා හොඳින් තේරුම් ගෙන සිටියෙමි.

මනාලිය - ඉතිං.....? තමුසෙට මොකටද මගේ හොඳ නරක...? තමුසෙ කියලත් හොඳ මිනිහෙක්ම වෙන්ඩ බෑනේ.......
මනාලයා - තමුසෙ ටිකක් හොයලා බලලා කතා කරනවා..... මට දැං අවුරුදු තිස් හතක්.... තාම ගෑණියෙකුගේ ඇඟට එක අතක් තියලා නෑ......
මනාලිය - හරි ඉතිං.... එක අතයැ තියෙන්නෙ...? මාත් ඕවට අහුවෙන ගෑණියෙක් නෙමේ....
මනාලයා - හහ්..... මූණ බැලුවම පේනවා...... කජුගස් හතම පැනලා ඇවිදින් මෙතන....
මනාලිය - හැටි විතරක්..... උලම වගේ.....
මනාලයා - කොහෙද යන කිඹුලියක්.....
මනාලිය - ඉත්තෑවා....!
මනාලයා - ඉත්තෑවි....!

අප එකිනෙකා වඩාත් හඳුනාගනිමින් සහ අපගේ නොගැලපීම් දිනෙන් දින අවබෝධ කොටගනිමින් සිටියෙමු. ඒ අතර ඇගේ දෙමාපියන් මගේ මව්පියන් හා තීරණාත්මක සාකච්ඡා වට අවසන් කොට තිබිණි.
"ඔයා කවද හරි කේන්ති ගිහින් මට ගහනවද?"
"මාර කතාවක්නේ...... ඇයි මං ඒ වගේද පේන්නෙ..?"
"නෑ... මං පොඩිකාලේ අපේ තාත්තා අම්මට ගහල තියෙනවා... මට බයයි..."
"නෑ... මං එහෙම නෑ..."
"ඒ උනාට අපි දෙන්නා හැමදාම රණ්ඩු කරන්ඩ ගනියි නේ.....?"
"මන්දා......"
"මං රට යන්ඩද?"

(මනාලයා හා මනාලිය ගේ ආරවුල අතරතුර මහල්ලෙකු (අශ්ඨකාවාර්ය) පැමිණේ. ඔහුගේ අතේ කෙණ්ඩියකි.)
මහල්ලා - ආ... තමුසෙලා දෙන්නා මෙතනම....? මං කොච්චර නං දුර ගියාද තමුසෙලා දෙන්නා හොයන්ඩ? හ්ම් .... දැං ඉතිං නගිමු......
මනාලයා - අනේ ලොකු උන්නැහේ.... මං කැමති නෑනෙ ඕකට.....
මනාලිය - අනේ ඇත්තමයි... මාත් කැමති නෑ.....
මනාලයා - අපේ මේ තරහක් මොකුත් නෑ... (මනාලියට) නෑනේ...?
මනාලිය - (ඉවතට) නෑ නේන්නං...!
මහල්ලා - මේ ළමයි දෙන්නා ටිකක් අමුතුයි.... කියන්නේ වෙනස්.... ඔය තරුණ වයසට ටිකක් මුරණ්ඩුයි තමා.... හැබැයි එකෙක්වත් මේ වෙනකං ඔහොම කියලා නෑ....
මනාලයා - අනේ පිං සිද්ධ වෙයි.... අපිට මෙහෙම ඉන්ඩ දීලා ඕන එකෙකුට ඔය හූනියම කරගන්නවකෝ..... අනික ඇයි මේ කරුමෙට අපිවම තෝර ගත්තේ....?
මහල්ලා - ඇයි බං.... මේ ගෑණු දැරිවියක්..... උඹ පිරිමියෙක්.... වෙන මොනවද..?
මනාලයා - හා..... ඒ ඇද්ද?
මහල්ලා - මන්දා.... මමනං බලන්නේ ඔච්චරයි.......

ඇයව තේරුම් ගැනීමට හැකිවූවත්, නැතත් ඇය හා සාමකාමීව විවාහ දිවිය ගෙනයාමට මම අවසානයේදී ඉටාගත්තෙමි. ඇගේ විදේශගතවීමේ අදහසට මා තරයේ විරුද්ධ වූ බැවින් ඇය එම අදහස අත්හළාය. අපි මාස දෙකක් ඉකුත්වූ දිනකදී විවාහ වීමට දින නියම කර ගතිමු. මසකින් පමණ ඇයව හමු නොවූ සතියක අන්තයේ ඇය ලිපියක් එවා තිබුණි.
"මං කටානෙ නැන්දලගෙ දිහා ආවා. තව සතියකින් විතර ආපහු එනවා...."

මනාලයා - ළඟට එන්ඩ එපා..... අනිනවා හොම්බ හිල්වෙන්ඩ.....
මහල්ලා - උඔලට තේරෙන්නෙ නෑනේ..... මං මේ උදාකරලා දෙන්ඩ යන්නේ මේ අනන්ත විශ්වයේ තියෙන උපරිම සැපත...... කියන්නේ ඌ.......ප...රී..ම.......
මනාලිය - තියාගන්නවා ඔහේගෙ සැපත....
මහල්ලා - හරි... ඒක ගියාවෙ.... කවදා හරි උඔලා මැරෙන්ඩ වැටුනු දාක කටට වතුර උගුරක් දාන්ඩ එකෙක් එපාද.....?
මනාලයා - මං ගන්නවා රෝබෝ කෙනෙක්....
මනාලිය - මාත් ගන්නවා......

තවත් සතියකින් ඇය තවත් ලිපියක් මා නමට යොමු කලාය. එම ලිපිය මා අත පත්වන විට ඇය මට හා ඇගේ නිවසට හොරෙන් විදේශගත වී අවසන් බව එහි දන්වා තිබිණි.
"මේකෙන් ඔයාගෙ ජීවිතේ වගේම මගේ ජීවිතෙත් කාලකණ්නි වෙයි කියලමයි මට හිතෙන්නෙ. මං අවුරුදු දෙකකින් එනවා. එතකොට ගොඩක් දේවල් වෙනස්වෙලා තියෙයි. හැමදාමත් ඔයාට ආදරෙයි"

ඉනික්බිති ගෙවුනු තෙසතිය මගේ ඇටමිදුළු මධ්‍යසාරය තුල පොඟවා හළෙමි. පෑනක් ඇල්ලීමට තරම් වලංගු නොවූ ඇඟිලිතුඩු වලින් ඒ තෙතබරිත හැඟීම් සියල්ල, පළායන මනාල යුවලක වේශයෙන් කසිකබල් පරිඝණකයක් තුල මුදාහැරියෙමි. කවර හේතුවකට හෝ දෙසතියක් අවසන් වන විට මනාලයා සහ මනාලිය මහල්ලාට එරෙහිව කරන ලද මාරාන්තික උපවාසයකින් පසු පෙම්වතුන් වී සිටියහ. පසුව මහල්ලා මරා දැමුවෙමි.

ඇය නැවත මෙරට පැමිණියාය. ඒවනවිට මහල්ලාට නැවත පණ එන තෙක් පෝරුව මත බලාසිටින තරුණ යුවල, මවිසින් වේදිකාව මත ප්‍රතිනිර්මාණය කොට වසරක් ගතවී තිබිණි.
"මං ගියාට පස්සෙ හරිගිහිං එහෙනං...... පත්තර පිටුවකුත් නංගි පෙන්නුවා.... මටත් ආසයි ඒක බලන්න........ මොකද්ද කතාව...?"
"ගඟක් ගැන......"
සත්තකින්ම බොක්ස් ගිටාරයක් පසුබිමේ ඔවුහු ගඟක් ගැන ගැයූහ.

'මල් කුමාරියේ...... මේ ශීත ඍතුවයි......
හිම කුමාරියේ......
අර සීත සීත හිම අතුරන්......
මේ ගඟ බලාසිටිනවා........!'

19 comments:

  1. මා තේරුම් ගත්දේම මෙහි තේරුමද යන්න පිළිබඳ සැකයකි......

    මොනව උනත්, ලියන්න දෙයක් හිතාගන්නට නොහැකි වුවත්, තේරුන පමණින් ලස්සන අදහසක්......

    ReplyDelete
  2. විශිෂ්ඨයි වෑයම...

    ReplyDelete
  3. ඔබේ අදහස මා තේරුම් ගත්තේද යන වග මටද සැක සහිතය :( එනමුදු ඔබේ රචනා ශෛලියයට තදින් පෙම් කරමි.

    ReplyDelete
  4. ලොකු අයියේ මේක මරු. මාර ගති.
    (මම හෙන හදිස්සියකින් මේක ලියන්නේ, ඒත් මොකුත් නොලියා බැරි වුනා මේක කියෙව්වාම)

    ReplyDelete
  5. සම්පූර්නයෙන් කියවලා ආපහු කියවන්ඩ උනා. මට තේරුනු විදියට ගත්තා. ඇත්තටම නියමයි.

    ReplyDelete
  6. පට්ට..!
    මං මේ ඩ්‍රාමා එක බැලුවා මචං. මට මතක විදිහට පට්ට කොමඩියක් වගේ. හරියටම මතකත් නෑ. ඒ උනාට ඒකෙ ඇතුලෙ කතන්දරේද මේක?
    මොනවා උනත් නියමයි.
    (නම මේක නෙමෙයි නේද?)
    - නාලක

    ReplyDelete
  7. @ හා පැටික්කි/කාංචන/රුක්මන්,

    ඔබ තේරුම් ගත් දෙයම තමා.
    ස්තුතියි.

    ReplyDelete
  8. @ Outsider,
    ස්තුතියි.

    @ මාලන්,
    ස්තුතියි පොඩ්ඩො.
    මට පස්සෙ හිතුනා උඹේ පෝස්ට් එකක හෙවනැල්ලක් මේකෙ තියෙනවා කියලත්.

    @ රුක්මන්,
    ස්තුතියි කියෙව්වට. කණගාටුයි කාලය කෑවට හොඳේ.

    ReplyDelete
  9. @ නාලක ,
    ඔව් මචං. නම මේක නෙමේ.
    කොමඩියක් විදිහට තමයි ගියේ.
    ස්තුතියි.

    ReplyDelete
  10. මාරයි ... ඒ කියන්නේ මාරම මාරයි

    ReplyDelete
  11. නියම ලියවිල්ලක්.....:))

    ReplyDelete
  12. @ කජ්ජා/Shadow/හේමලයා,

    ස්තුතියි.

    ReplyDelete
  13. පිස්සු හැදෙනව මචන්...මාර ස්ටයිල් එකක් මේකේ තියෙන්නෙ.මට ඒක මාර විදිහට අල්ලල ගියා...නියමයි...!!!
    (මම අදයි මේ බ්ලොග් එක බැලුවෙ.)

    ReplyDelete
  14. නියමයි..
    සුපිරි..!

    ReplyDelete
  15. මොනවද ලියන්නේ කියල තවමත් හිත හිතා ඉන්නවා.
    අන්තිමට කෙල්ලයි කොල්ලයි සෙට්නම් ඉතින් මදෑ.

    ReplyDelete
  16. @ චමිල/Ansh Lucky Sri Jay

    ස්තුතියි දිරිමත් කිරීම ගැන.

    ReplyDelete
  17. @ Rasi,
    මොන?
    පෝරුව උඩ ජෝඩුව තාම බලං ඉන්නවා කෙණ්ඩිය අරන් කවුරුහරි එනකං.
    අනිත් ජෝඩුව නං හරියන ඒවා කරගත්තා. ඒත් පස්සෙ හම්බවෙලා කතාඋනාලු කොයි මගුලත් එකයි කියලා.

    ReplyDelete
  18. හරියට තේරුනේ නම් නෑ, හැබැයි පිටපත නම් හිතට අල්ලා ගියා. මොකක්ද මේ නාට්‍ය???

    ReplyDelete
  19. මට මේක මඟ ඇරිල නේ....

    හරියට අර දෙමළ ෆිල්ම් එක වගේ.... නම මතක නැහැ මට ඒකේ.අර කෙට්ටුම කෙට්ටු කළුම කළු උස හීන්දෑරි නළුව හිටියේ. එයා විත්‍රපටියක් අද්‍යක්ෂණය කරනවා..අන්තිමට අන්සතු උනු ගැහැණු ළමයට ඒ චිත්‍රපටය පෙන්වනවා. ආදරය ඉතිරි වෙද්දි. ඔවුන් දෙදෙනා දෙපසට යනවා.
    හරි අපූරුයි චාමි....

    ReplyDelete

Follow by Email