Monday, September 17, 2012

දූෂකයෙකුගේ කතාවක්....


(වරක් මා අතින් උනු ලොකු ‘මිස්ටේක්’ එකක් තියෙනවා. ඒක ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන් සාමාන්‍ය දෙයක්. නමුත් මටම ඒක උනු එක ගැන ලොකු කණගාටුවක් ඇතුලෙන්ම දැනෙමින් තියෙනවා.)

කතානායකයා අජන්ත. අවුරුදු 42 යි. හොඳට ඇඟපත තියෙන සරම/කමිසෙ අඳින හාදයෙක්. යන්නෙ නොම්මර තහඩුවත් දරාගිය කෑලි හැලෙන සුපර් කබ් බයික් කබලක. කවදාවත් කොණ්ඩෙ පීරන එකෙක් නෙමේ. ඉගෙනගෙන නෑ. කන් පාත් වෙන්ඩ බොනවා. ස්ථිර රස්සාවක් නෑ. කාලයක් මාළු වික්කා. කසිප්පු වික්කා. හරක් බිස්නස් කලා. හොරකම් කලා. මේසන් අත්වැඩ දුන්නා. දැන් මන්දා.

දැනට අවුරුදු හතකට විතර කලින් බැන්දා.  කැන්දන් ආවෙ රෙඩිමේඩ් පවුලක්. නෝනෙකුයි එයාගෙ දුවෙකුයි පුතෙකුයි.  බැන්දට පස්සෙ පදිංචිවෙන්ඩ තැනක් නොතිබ්බ නිසා ආණ්ඩුවට අයිති පර්චස් විස්සක විතර බලෙන්ම මැටිගහලා පැලක් අටවගත්තා. මිනිහගෙ මායියත් කිසිම ලකයක් තිබ්බ එකියක් නෙමේ. මූණෙ තිබ්බෙ මෝඩ පාටක්. ඇඳුමක පැළඳුමක වත් කිසි පිළිවෙලක්, පිරිසිදුකමක්  නෑ. ඔහේ උපන්නාට වැනෙන හාදියක්. බැන්දට පස්සෙ දෙන්නට තවත් දරුවෙක් හම්බඋනා.

දැනට අවුරුදු දෙකකට විතර කලින් මොකක්හරි වැඩකට මමත් මිනිහගෙ ගෙදරට ගිහින් තියෙනවා. ඒ වෙනකොට ගෑනු මනුස්සයගෙ කොලුපැටියා ඉස්කෝලෙ හතරේ පන්තියෙ. කොලුවා ඉගෙන ගන්න දක්ෂයි කියල තමා ආරංචිය. කෙල්ල අටේ පන්තියෙ. කෙල්ල ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ අවාරෙට කොල වැටෙන්නැහේ.

පස්සෙ කාලෙක ආරංචිවුනා හැමදාම හැන්දෑවට ගෑනියි මිනිහයි අරක්කු පැකට් එකක් ගෙනත් බොනවා කියලා. මේ ආරංචියෙන් පස්සෙ මිනිස්සු මුංව පිළිකුල් කරන්න ගත්තා. ඇත්තටම මමත් උංව ගණන් ගත්තෙ නෑ.

දවසක් උදේ වරුවෙ බ්‍රේකින් නිව්ස් එකක් තටු ගහලා ගම මැදින් ගියා. අජන්තයා අර කෙලි පොඩිත්තිව දූෂණය කරලා. පොලිසියෙන් එද්දි ඌ පොඩි කොලුපැටියවත් අරං බයික් එකේ පැනලා ගිහින්. කෙල්ලව පොලිසියට එක්කං ගිහිං, පස්සෙ හලාවත ඉස්පිරිතාලෙ නවත්තලා.

එදාට පහුවදා දන්න කියන පොලිස් නිලධාරියෙක් අහම්බෙන් හමුවුනා.

“ඉස්කෝලෙන් තමා ආරංචිය දුන්නේ...... ඕක කාලයක් තිස්සෙ වෙච්චි දෙයක්. ගෑනිත් බොනවලුනේ... ගෑනි වෙරිවෙලා නිදාගත්තාම ඕකා හැමදාම ඔය කෙල්ල ගාවට යන්ඩ ගිහිං තියෙනවා.....”

“කෙල්ල කටඋත්තර දුන්නද?”

“එච්චර හරියක් කිව්වෙ නෑ. තාත්තා කලා කියල විතරයි කියන්නෙ. හොස්පිට්ල් දාල තියෙන්නෙ රිපෝර්ට් එක ගන්ඩ.....  අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ..... කෙල්ලගෙ ඇඟපත, පපුව දැක්කාම අපිට තේරෙනවා සිද්දිය... හහ්...
 ඕකා හෙට අනිද්දා අහුවෙයි.... ඇට තලන්ඩ ඕනෙ බල්ලගෙ.....
අපි බයේ ඉන්න ඕකා අර කොල්ලටත් මොකුත් කරයිද කියලා....”

මූ කිව්වෙ අවලම් හිනාවක් එක්ක.

අජන්ත ඉන්න තැනක් කවුරුවත් දැනගෙන උන්නෙ නෑ. පොලිසිය මිනිහව හෙව්වා. ගමේ මිනිස්සු කිව්වෙ අජන්තයා කොල්ලත් එක්ක කැලෑවක හැංගිලා ඇති කියලා. මාත් ටිකක් හොයලා බැලුවා.

දවස් තුනකින් විතර අජන්තගෙ ගෑනි බස්හෝල්ට් එකේ උන්නා. අර නොදරුවත් කිහිලි ගන්නං දුව බලන්න යන්වා. මම කතා කලා.

“ඔය කොහෙහරි හැංගිලා ඇති.... අර කොලුපැටියා........”

ගෑනි අඬන්න ගත්තා.

සතියක් විතර ගෙවිල ගියා. සිද්දියේ උණුසුමත් තරමක් පහවෙමින් තිබුණෙ. මම කොහෙහරි ගිහින් ආපහු එනගමන්. ‍ගේ කිට්ටුවදි දෙන්නෙක් අත වනලා මාව නැවැත්තුවා.

“පොඩ්ඩක් ඔහොම්ම යමුද වැවට...? අර අජන්තයා පොඩිඑකත් එක්ක ඇවිත් වැවේ හැංගිලා ඉන්නවලු.... ටක් ගාල යං.....!”

 “උඹලා ඌව දැක්කද?”

“අපේ සුමුදු දැකල තියෙන්නෙ.... කොල්ලත් එක්කමලු ආවෙ... අර ලඳු කැලේ හරියෙදි බයික් එක නවත්තලා.... තාම ස්ටාර්ට් කලේ නෑ.. ඒ කියන්නෙ මූ වැවේ ඉන්නවා......”

“පොලිසියට කිව්වද?”

“තාම නෑ....!”

මම පොලිසියට කෝල් එකක් ගත්තා.

“රයිට්..... දැන්ම එවනවා.... ඕගොල්ලො වැඩි කලබල නොකර ඌව ෆලෝ කරං ඉන්ඩ... දැන් එනවා.... කෙලින්ම වැවට ආවම හරිනෙ....?”

අපි වැව පැත්තට ගියා. ලඳු කැලේ දිහා විපරම් කලත් මොකුත් හෝඩුවාවක් දැක්කෙ නෑ. පැය බාගෙකින් විතර පොලිස් ජීප් එකක් වලවල් වල වැටි වැටී වැව දිහාට ආවා.

එක පාරටම වෑ කන්ද කිට්ටුව තිබුණු විශාල බක්මී ගහ පැත්තෙන් බයික් එකක් ස්ටාර්ට් වෙන සද්දෙ ඇහුනා. අජන්තයා අර කොලු පැටියවත් තියාගෙන වෑ කන්ද දිගේ ඇරල යන්ඩ ගත්තා. පොලිසිය වෑ කන්දට සමාන්තරව වැව මැද්දෙන් ඌව එලවන්ඩ ගත්තා. මිනිත්තු තුන හතරකින් දෙගොල්ලොම වැවෙන් එලියට ගිහින් අපට නොපෙනී ගියා.

අජන්තව පොලිසියෙන් අල්ලගෙන තිබුනා. ගුරු පාරක් දිගේ පොලිස් ජීප් එකත් එක්ක අර බයික් කබල එලවන්ඩ බැරි බව දැනුනාම මූ බයික් එක අතෑරලා කොල්ලවත් වඩාගෙන පොල් වත්තක් මැදින් දුවලා. කොහොමත් එතනදිම අජන්තයට හොඳටම ගහල තිබුණා.

පහුවදා මොකක්හරි වැඩකට පොලිසියට ගිහින් ආපු කොල්ලෙක් කිව්වෙ අජන්තයට නිල් වෙන්ඩ ගහලා කියලා. ඌ පොලිස් කූඩුවෙ මලමිනියක් වගේ පතබෑවිලා ඉන්නවලු.

අජන්ත මීගමුවේ ගාල් කෙරුනා. කෙල්ල පරිවාස භාරයේ දැම්මා. නඩුව මාස පහ හයක් ඇදුනා. ඔය අතරෙ අජන්තගෙ පවුල හම්බඋනා. ගෑනි අර අතදරුවත් කිහිලි ගන්නගෙන දවස් කුලියට වත්තක හරක් පට්ටියක් බලාගන්නවා. අජන්ත අරං ගිය කොලුපැටියා ඥාතියෙකුගෙ ගෙදර නවත්තලා ඉස්කෝලෙ යවනවා. සිද්දිය ගැන ගෑනි කතා කලේ අඬ අඩා.

“කවුරු කිව්වත් අජන්ත ඔහොම මිනිහෙක් නෙමේ.... ඒක මං දන්නවා... එයා ඔය ලමයි දෙන්නට පණ ඇරලා.... උනුත් තාත්ත කියලමයි කියන්නෙත්.... බොනව තමයි... ඒත් ඔය වගේ දෙයක් කරන්නෑ.... මොකා කිව්වත් මම දන්නවා....”

තවත් මාස හතරක් විතර ගෙවුනා. ඔය මනුස්සයව වරින් වර හමුවුනා. දවසක් මාව දැකල කතා කලා.

“නඩුව බ්‍රහස්පතින්දා.... එදාට ඇප දෙයි කියල කිව්වා.....”

“ආ..... ඇප දෙයි කිව්වද?”

“කෙල්ල පස්සෙ විස්තරේ කියලා තිබ්බනේ..... ඔය අපරාදෙ කරල තියෙන්නෙ ලඟදි රට ගියපු අර ජානක කියන මදාවියා..... සමහරදාට මූ රෑටත් කෙල්ලව එලියට අරං තියෙනවලු..... මාස ගානක්ම ඕක වෙලා.... පස්සෙ ඉස්කෝලෙ මිස්ට සැක හිතිලා අහලා.... කෙල්ල ඕක අර බල්ලට කිව්වාම ඌ කියලා ආයෙ ඇහුවොත් බාප්ප කොලා කියපිය.... නැත්තං තෝ මරනවා කියලා..... මේ එලදෙන.......”

ගෑනි අඬන්න ගත්තා.

“පොලිසියෙන් ගහපුවට අජන්තගෙ යටිබඩ තාම අමාරුයි. දත් වගයක් ගැලවිලා... කොන්දෙ අමාරුවකුත් එනවලු..... ඒ වරත්තු බල්ලො දවස් දෙකක් තිස්සෙ මයේ මිනිහා ඉදිමෙනකං ගහලා.......”

මගේ ඇතුලෙන්ම විදුලියක් කෙටුවා වගේ දැනුනා.

නඩුවෙන් අජන්තයා නිදහස් උනා. දැනටත් වරින්වර ඌව හමුවෙනවා. ඌ මූණ පුරෝලා හිනා උනත් මට උගේ ඇස්දෙක දිහා කෙලින් බලන්න බෑ. පොලිසියෙන් ගුටිකෑවට පස්සෙ ඌ දැන් ඇවිදිනකොට පොඩ්ඩක් කොරගහනවා. ඔය කොරගැහිල්ලට මමත් දුරකථන ඇමතුමකින් දායක වෙලා තියෙනවා.

නොදකින් මේව සිද්දවෙන හැටි විතරක්.....!

41 comments:

  1. ජානකයා යහතින් ඉන්නවද?

    ReplyDelete
  2. පුල් අවුල් ස්ටොරියක් නේ එහෙම් පිටින්ම ....

    ReplyDelete
  3. හප්පටසිරි මගේ බලවත් කනගාටුව :(

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. ලෝකේ කුරිරුයි කියන්නේ නිකන් නෙමෙයි. මිනිස්සුන්ගේ හිත් නම් මහ මෙනවද මන්දා. මේවා ගැන කතා කරලා ඉවරයක් කරන්න බෑ.
    දුකල තාම හරියට ලෝකෙවත් දකින්න බැරි උණ ළමයි ගැන.
    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
    Replies
    1. * දුක, තාම හරියට ලෝකෙවත් දකින්න බැරි උණ ළමයි ගැන.

      Delete
  6. මටත් හිතා ගන්න පුළුවන් උඹට හිතෙන දේ. එක පැත්තක් බලල තමයි බන් ඔක්කොම බරේ දාන්නෙත් හුරේ දාන්නෙත්. මතකනේ රාජ් ළගකදි ලියල තිබ්බ දූෂණයේ විචල්‍යය කියල.

    ReplyDelete
  7. ඔය එක ටෙලිෆෝන් කෝල් එකක් විතරයි.අපි නොදැනම කොච්චර පව් වලට සම්මාදම් වෙනවද

    ReplyDelete
  8. මොකක්දෝ (අ)හේතුවකට මට ජයන්ත ගැන අණුකම්පාවක් ඇති වුනේ නැහැ...සමහර විට ඊට වැඩියෙන් අණුකම්පාව ලබන්න ඕන දරුවො තුන්දෙනෙක් ගැන කියවෙන නිසා වෙන්න ඇති..

    ReplyDelete
  9. පොලිසිය නෝටි අප්පා! අජන්තල තමා හරි ෂෝයි

    ReplyDelete
    Replies
    1. ගොං කතා කියන්න එපා

      Delete
    2. මේක නිර්මාණයකට වඩා වාර්තාකරණයකට කිට්ටුයි. නම් හැර අනෙක් සියල්ල සත්‍යයයි. අනික මෙකෙදි ජානක හැර මම ඇතුළු අනික් කවුරුවත් (පොලිසිය පවා) අසාධාරණයි කියන්නත් බෑ.

      පොලිසියෙන් කොහොමත් ගහන්නෙ ඔහොම තමා.

      Delete
  10. මෙන්න සාරුව සුනිල් සභාපතිතුමාට ආයෙත් සභාපතිකම ගන්න ඕනි නම් ඒ සඳහා අවශ්‍ය නිර්මාණයට වස්තු බීජ මෙතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒක හම්බෙලා ඉවරයි නේද?

      Delete


  11. වීරයා මැරිලා...

    ReplyDelete
  12. ඇයි අනේ ඔයයි අපේ සුරියප්පෙරුම මහත්තය වගේ කට්ටිය අපිට පෙන්නල තියෙන ගම ගැන අපේ ෆැන්ටසිය මේ වගේ ෂුෂ්...ගලා හුලන් බස්සල දාන්නෙ.අපේ ගම මෙහෙම එකක් නෙමෙයි.හැම වෙලේම පිරිත් ඇහෙන ..නෙලුම් කොලේ රතු හාලේ බත් කන..චීත්තෙ, අමුඩේ අඳින පැල් කවි ගැයෙන ගමක් නේ.එහෙම ගම් වල ඉන්න පොඩි දැරිවියෝ මෙහෙම දේවල් කරන් නැහැනේ ළමා සාරි ඇඳන් පංච දාමින් ඔන්චිලි පදිමින් ඉන්න කුල කාන්තාවෝ වෙන්න සැදී පැහැදී ඉන්න ළමෝ නේ...

    ReplyDelete
  13. ඕක අජන්තයගෙ කරුමේ!

    ReplyDelete
  14. ෂා.... කරුමේ තමා.හිනත් යනවා මට

    ReplyDelete
  15. පට්ට කතාව, ඇත්ත එකක් උනත් නිර්මාණයක් උනත්, බොක්කටම වැදෙන්න ලියලා තියෙනවා. මිනිස්සු කොච්චර වැරදි කරනවද. ඇත්ත එකක් නම් හිත හදා ගනිං. වෙන මොනවා කරන්නද..?

    ReplyDelete
  16. කවුරු කිව්වත් අජන්ත ඔහොම මිනිහෙක් නෙමේ.... ඒක මං දන්නවා.

    ReplyDelete
  17. ඔහොම සීන් වෙනව අනන්තවත් පොලිස් අයියලත් බලන් ඉන්නේ පොලිසියට කවුරු හරි එනකම් ඇඟේ පගේ හිරි ඇරගන්න වැරදි කරු වෙන්නත් කලින්

    ReplyDelete
  18. හරිම දුක්බර කතාවක්. මේ වගේ වැරදි කොයි තරම් වෙනවද? අපිත් හිතින් හරි මේවට දායක වෙන වෙලාවල් තියෙනවනේ. අපේ ගමෙත් මිනීමැරුමකට සැකකරුවෙක් වුණ මාමා කෙනෙකුට මේ වගේම කණගාටුදායක ඉරණමක් අත් උණා. අන්තිමේ හැබෑ මිනීමරුවා අහු වෙද්දි අර මාමා ආබාධිත‍ වෙන්නම දුක් විඳල ඉවරයි.

    ReplyDelete
  19. මචෝ ඇට තලාගත්ත අජන්තයි අර ගෑණු ලමයයි කියන්නෙ සමාජ ප්‍රශ්න ගනනාවක අන්තිම ප්‍රථිපලය.

    සමාජය කොච්චර භයානක උනත් තමුන්ගෙ ළමයි ආරක්ෂා කරගැනීම අම්ම අප්පගෙ වගකීම. මෙතනදි අජන්ත, ඊටත් වඩා උගේ ගෑනි දැනගන්න ඕන ඒක. ඒත් දෙන්න එක්ක හැන්දෑවට කසිය බීල නිදාගන්නකොට ජානකල එක්කෙනෙක් විතරක් ආව එකත් මට නං පුදුමයි. පහුගිය කාලෙ සිදුවුන දූෂන සිද්ධි බැලුවම ඒ හැම එකකටම මුල දෙමව්පියන්ගෙ නොසැලකිල්ල.

    අනිත් කාරණය තමයි පොලිසියට යන සැකකරුවාට යම් සිවිල් බලයක් නැත්නම් අනිවාර්යෙන්ම එන්න වෙන්නෙ ඇට කුඩු කරගෙන නැත්තං පෙට්ටියෙ. ලඟදි අපේ පැත්තෙ කොල්ලෙක් පොලිස් ජීප් එකෙන් පැනල මැරුණ මතක ඇතිනේ. වැරැද්ද ගංජ සුරුට්ටුවක් ලඟ තිබීම. ඒක ඇත්තටම වෙන්න පුළුවන්ද? බෑ. ගංජ සුරුට්ටුව අල්ලල කොල්ලට ගැහුව මැරෙනකල්. ඊට පස්සෙ ජීප් එකෙන් තල්ලු කලා. ඊටත් වඩා හොඳම සීන්එක තමයි මිනිය පාරට ගේන්න ගම්මු ලැහැස්ති වෙනව කියල දැනගත්ත පොලිස් ලොක්ක ගෙවල් ගානෙ ගිහිල්ල ෆ්‍රන්‍ට්එකේ ඉන්න කොල්ලන්ට පෞද්ගලිකව තර්ජනය කලා එහෙම නොකරන්න කියල. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ.

    ReplyDelete
    Replies
    1. අකමැත්තෙන් උනත් රාජ් කියන කතාව හරි කියන්න වෙනවා... තමන්ගේ දරුවෝ ඇහැ වගේ ආරක්ෂා කරනවා කියලා කිව්වාට අපේ ගොඩක් දෙමව්පියන්ට දරුවන්ව ආරක්ෂා කරගත යුත්‌ෙත් කොහොමද, කාගෙන්ද කියන එක ගැන තේරුමක් නෑ... අනවශ්‍ය විදියට පිට අයව විශ්වාස කරනවා.... නෑදෑයෝ උනත් විශ්වාස කරන්න බැරි කාලයක් මේක... ඒත් අපේ සමහර දෙමවුපියෝ කාමාතුරයන්ට තමන්ගේ ළමයිව බිලිගන්න අවස්ථාව හදලම දෙනවා....

      ගහලා, බැනලා, කූඩු කරලා ආරක්ෂා කරන්න කියනවා නෙමෙයි... නමුත් දරුවන් ගැන පැය විසිහතරෙම දෙමවුපියෝ ඇහැ ගහගෙන ඉන්න ඕනේ... දරුවෙක් ඉන්න කෙනෙක් දෙවනි කසාදයක් කරගන්න යනකොට තමන්ගේ කැමැත්ත විතරක් හිතන්නේ නැතුව, බදින කෙනා ගැන හොදට හොයලා බලලා කරගන්න ඕනේ...

      Delete
  20. පොලීසිය අජන්තගේ ඇට කුඩු කලේ ඇයි? 
    අජන්තයා රෙඩිමේඩ් පවුලක් ගෙනාවේ ඇයි? 
    අජන්තයයි ගෑනියි එකට බිව්වේ ඇයි? 
    අජන්තගේ දුව තව එකක් එක්ක හැමනුනේ ඇයි? 
    දුව පොලීසියට ඒක කිව්වේ ඇයි? 

    මේ ඇයි ඔක්කොටම උත්තර නෑ..
    මොකද අපිට ඒවාට උත්තර දෙන්න බෑ. මේ ටිකට උත්තර හොයාගත්තොත් අපි අද මෙතන නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය සේරටම උත්තර බුදුන් වහන්සේ පිලිතුරු දීල තියෙනව නේද

      Delete
    2. ඔව් බුදුන් වහන්සේ දේශනා කරපු E = mc2 සුත්‍රයේ මේ ඔක්කොටම පැහැදිලිව උත්තර දීල තියනවා. දුවයි ජනකයයි හැමනුන හැටි ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමකුත් තියනවා.

      Delete
  21. මම නම් හිතුවේ නැහැ උඹ මේ වගේ බලු වැඩක් කරයි කියලා. හැබැයි උඹට මතක තියනවා නේද සේරම විස්තරය? උඹට තිබ්බේ උඹ පොලිසියට කෝල් කරන කෑල්ල අමතක කරන්ඩ. අර කෙල්ල මේ දවස් වල මොකද කරන්නේ කියලා පොඩ්ඩක් හොයලා කියපන්කෝ

    ReplyDelete
  22. 1. දෙමවුපියන්ගේ නොසැලකිල්ල. (අජන්තගේ දෙමවුපියන් වගේම අජන්ත සහ එයාගෙ නෝනාගේ)
    2. දුවගේ මෝඩකම
    3. ජානකගේ කපටිකම
    4. පොලීසියේ ඕන එකට වගේම සැකකරුවන්ටත් දරුණූ ලෙස පහරදීම.

    ReplyDelete
  23. බලු කේස් එකක්! පොලීසියේ උංගෙ *****! ගෙනිච්ච පළියට මිනිහෙක්ට කූඩුවේ දාලා ගහන්න බෑනේ බං! පිස්සුද මංදා මුංට!

    ReplyDelete
  24. අනේ දෙවියනේ...

    ReplyDelete
  25. විශ්‍රාමලත් පොලිස් අධිකාරී කෙනෙකු ගැන සර්වන්ට් ළමයෙක් මෙහෙම බොරුවක් කියලා, ඒ මනුස්සයාව ගෙදර මිනිස්සු පවා පිළිකුල් කරපු කථාවක් මීට අවුරුදු 10කට වගේ උඩදි සිදුවුනා. නඩු වැටුනා. අන්තිමට ඒ මනුස්සයා නිදොස් කියලා තහවුරු වුනත් මත මතක විදිහට අකාලයේ මියැදුනා.

    ReplyDelete
  26. රන්දිල් කීව දේ උනේ විශ්‍රාම ගිය පොලිස් හරි ආමි හරි නිළධාරියකුට..ගෙදර වැඩ කල ගෑනු ළමයා දූෂනය කලා කියලා..පස්සෙ ඇත්ත හෙලි උනේ ඒ ළමයගෙ ආච්චි උගන්වලා..දූෂනය වෙලා තිබ්බෙ වෙන ඥාතියෙක් අතින්...විඳින්න ඕනි අපහාස සියල්ල විඳලා හෘදයාබාධයකින් අර නිළධාරියා මලා..අර කාලකන්නි හැත්ත තාම යහතින් ඉන්නවා...

    ReplyDelete
  27. කතාවනම් බොක්කටම වැදුන, මෙන්න මේව දිගටම ලියන්න.

    ReplyDelete
  28. භයානක ම දේ තමා ඇත්ත දැනගන්න පාවිච්චි ක්‍රරණ ක්‍රමේ!

    ReplyDelete
  29. අපි
    ඇඟේ අමාරුවට තියෙන ඒවා
    හිතේ අමාරුවට බොනවා

    කවුද ඉර ගහන්න ඉන්නේ මෙතනින් නවත්තපං කියලා අම්මන්ඩිත් පැකට් එකට ගජේ ගහන කොට

    අපේ
    අහිංසක දරුවො අනාත වෙනවා
    චක්‍රය මෙතනින් නවතින්නෙ නෑ
    ඊලඟ පරම්පරාවටත් යනවා

    ReplyDelete
  30. පොල් කෙල්ල ගේ කතාව/වාර්තාව සමග සසදා බලන්න.
    http://reargate.blogspot.com/2013/02/blog-post_17.html

    ReplyDelete
  31. සියල්ලටම මුල අදික ලෙස සුරාවට ඇබ්බැහි වීම. අපරාදේ ..වටිනා ජීවිත විනාස උන එක. මේ ලියල තියන "රෙඩිමේඩ් පවුලක් " කියන ප්‍රකාශය ගැන අපි මීට වඩා සිතිය යතු නැද්ද?. ලෝකෙට හොරෙන් වටේම ඉන්න පට්ට පඳුරු බඩු එක්ක නිදි වැදිලා කසාද බඳින්න කන්‍යාවක් සොයන පිරිමි ඉන්න සංස්කෘතියක් තියන තියන රටක, වෙන කෙනෙකුට ජාතක වෙච්ච දරුවන්ට තාත්ත වෙන්න තරම් උතුම් හදවත් තියන අජන්තලා වගේ පිරිමි බොහොම විරලයි.... මේ කියන අජන්තගේ තිබ්බ එකම එක උතුම් ගතිගුණය ඌටම අපහාසයක් වෙන සංස්කෘතික ආචාරධර්ම අපි වෙනස්කලයුතු නැද්ද. මටනම් හිතෙන්නේ අපි දැන් ලිඳෙන් ගොඩට එන්න ඕන කියලයි.

    ReplyDelete