Tuesday, September 6, 2011

ඉස්පීකර් නිලමෙ මළා.....!

අගාරෙ ගෙදර නිලමෙ හෙවත් ඉස්පීකර් නිලමෙ මළා. වයස 69 යි. සිරෝසිස්. දයාසිරි ජයසේකර මල ගෙදර ආවා. ජයවික්‍රම පෙරේරත් ආවා. මාත් ගියා. දයාසිරිලා ජයවික්‍රමලා අපි ඔක්කොම මල ගෙදර ගියා.

නිලමෙ උපදිනකොට නිල්ම නිල්පාට ශ්‍රී ලංකා කාරයෙක්. මැරෙනකොට කැපුවත් කොල යූ.ඇන්.පී කාරයෙක්. ඔය ඓතිහාසික පක්ෂ මාරුව සිද්දවුනේ 1999 අවුරුද්දෙ දෙසැම්බර් මුල සතියෙ දවසක රෑ 11 කුත් ගානට දෙණියෙ කිරිකෝන් ගහ යටදි. කට්ට කළුවරේ නම් මදෑ. තට්ට තනියම. හැබැයි මුළු රත්මල්වැවම ඒකට සාක්ෂි.

මිනිහට ඉස්පීකර් නිලමෙ කිව්වෙ කටේ සද්දෙ හින්දම වෙන්න ඇති. හවසට වෙරි වෙන්ඩ වෙන්ඩ සද්දෙ වැඩි වෙනවා. ඒ දවස්වල කවි ශ්ලෝක ගානටම අමු තිත්ත කුණුහරුපත් හැමදාම වගේ ගම මැදින් දෝරෙ යනවා. නමුත් ගමේ කාගෙත් මිනිහට පොඩි ගෞරවයක් නොතිබුණා නෙමේ. ඕන පොදු වැඩක මිනිහා ඉස්සරහෙන්ම හිටියා. ඕන අසාධාරණේකදි කියන්ඩ ඕන තැනටම ගිහිං හොඳ සිංහලෙන් සද්දෙ දාල කියල ආවා.

ඡන්දෙ කාලෙට.....? කොටින්ම මිනිහට පිස්සු.

ඒ 1999 ජනාධීපතිවරණ උණුසුම දැනෙමින් තිබුණ කාලයක්. පවුල් අටක් ඇරුණාම මුළු රත්මල්වැවම පෙරමුණේ තමයි. ගමේ පක්ෂ සංවිධායක අල්ලපු ගමේ හාදයෙක්. එයාගෙ අනුදැනුම මත ගමේ සංවිධාන කටයුතු නිලමෙ ඇතුළු බලවේගෙ.

ඡන්දෙකදි හැමදාමත් කට්ටිය මුලින්ම කලේ ජයසිරි මුදලාලිගෙ වහපු කඩ කෑල්ලෙ පක්ෂ කාර්යාලෙ අරින එක. පස්සෙ එතන ඉඳං ප්‍රචාරක කටයුතු. ඒ කියන්නෙ කසිප්පු බොනවා, කැරම් ගහනවා, කාඩ් බලනවා, ගංජා ගහනවා... ඉඳ හිට ගිහිං පෝස්ටරයක් දෙකක් අලෝනවා. ඔතන වැඩිපුර ගැවසෙන්නෙ ඡන්ද ලැයිස්තුවෙ නමවත් නැති කොලු කුරුට්ටො. උං එක්ක හරි හරියට නිලමෙ. හැන්දෑවට බොහොම තදට මැතිවරණ උණුසුම.

එදත් ඔය වගේ උණුසුම් දවසක්. නිලමෙ කොල්ලොත් එක්ක කාඩ් කුට්ටමේ තුන්සිය හතර බලනවා. රෑ 10 ට විතර ඇති. කොහොමත් කට්ටිය හේරා පොරව පැටලෙන ගානට දාලා. මුලින්ම ඇදුනේ තුරුම්පු කේස් එකක්. නිලමෙ කොක්ක ඇදගත්තෙ අසංකයත් එක්ක. ඌ හමුදාවෙන් පැනල ආපු එකෙක්. ගමේ කොලුකුරුට්ටන්ගෙ නායකයා. මදාවියෙක්. ආසන සංවිධායකගෙත් හොඳ කකුලක්.

"අඩෝ තොපි හොර වැඩ කොරන්ඩ එපා බල්ලො..... සෙල්ලමක් කෙරුවත් හරියට කොරපිය........"

අසංකය නැගිට්ටෙ පුටුවත් පෙරලගෙන.

"මොකද්ද නාකියා කිව්වෙ....?"

"ඇයි තෝ මට ගහන්ඩද?.... බය ගුල්ල... තෝ කොටින්ට බයේ පැනල ආපු එකා බොල....... හොර හු..................."

අසංකයා තවත් පුටු දෙක තුනක් පෙරලගෙන පැන්න පාරට නිලමෙ බිම. කොල්ලො දෙතුන් දෙනෙක් අසංකයව අල්ලගෙන. අනිත් උං ඒ වටේ. "පලයව් යන්ඩ වරත්තු බල්ලො ටික.... තොපි නැති කාලෙත් අපි චන්ද කෙරුවා......."

ඒ පාර ඉස්සරහට ආවෙ සුරේෂයා.

"පල නාකියා පව් නොදී.... එනවා මෙතන චංද කොරන්ඩ.... අඩෝ... සිරිමෙවං මහත්තයා මෙව්වා බාරදුන්නෙ අපිට..... නාකි මැන්ටලේ...."

නිලමෙ පිටිපස්ස බැලුවා. තමුං තනියම. අඩි කීපයක් එහෙම්මම පිටිපස්සට ගිහිං පාර පැත්තට හැරුණා. වැනි වැනී පාර දිගේ යන්ඩ ගත්තා. නිකම්ම නෙමේ. අමු තිත්ත කුණුහරුප වරුසාවකුත් එක්ක.

සුරේෂයට, අසංකයට, අසංකයගෙ අම්මට....

කොහොමත් සතියට දෙතුන් දවසක් ඔය ජාමෙට ඇහෙන ඉස්පීකර් කුණුහරුප විකාශය ගම්මුන්ට අලුත් දෙයක් නෙමේ. ඒත් එදා ඒක‍ට පොඩි ප්ලොට් එකක් එකතුවෙලා තිබුණ නිසා කවුරුත් ඇහුම්කන් දෙන්න ඇති. අර කියපු කිරිකෝන් ගහ ළඟට එනකං ඔය සද්දෙ අඛන්ඩව ආවා. ඒ අවට පදිංචිකාරයො කීප දෙනෙකුට විතරක් ඇහුණු 'දඩස්' සද්දයක් එක්ක සේරම එකපාර නිහඩ උනා. තත්පර තිහක් විතර යන්ඩ ඇති. පොඩි කෙඳිරිලි ගතියක් එක්ක ආපහු සද්දෙ ආවා.

"අඩෝ බලු අසංකයා..... එහෙනං තෝ... මට ගැහුවා..... මේ නිලමෙට ගැහුවා.... තොපි මට ගහලා..... චංදෙ කොරන්ඩ..... තොපි... දිනන්ඩ...."

ආපහු නිහඬතාව. තත්පර දහයකට විතර.

"ර..නි..ල්.. වික්‍රම... සිංහට......... ජය..වේ....වා.........!!!"

--------------------------------

පහුවදා උදේ නිල‍මෙගෙ ගේ ඉස්සරහ පොඩිවුන ඉටිරෙද්දකින් කොල කොඩියක් දාල තිබුණා. හවස යූ.ඇන්.පී ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිතසිරි එහෙ ඇවිත් තිබුණා. දවස් කීපෙකින් වත්තෙ පොල්ගස්වල රනිල්ගෙ පෝස්ටර් තිබුනා. සතියකින් යූ.ඇන්.පී කාර්යාලයක් ගෙදරම ඇරුනා. ගමේ යූ.ඇන්.පී බලවේගෙට එකතු වෙන්ඩ තැනක් හැදුනා.

චන්ද්‍රිකා දිනුවා. නිලමෙ දවස් කීපෙකට හැංගුනා. අසංකලත් නිලමෙගෙ ගේ ඉස්සරහ පොඩි සද්දයක් දානවට වඩා දෙයක් කලේ නෑ. ගම ආපහු සුපුරුදු තත්වෙට ආවා. ඒත් පොඩි වෙනස්කම් දෙකකුත් ඇතුව. අසංකව හමුදාවෙන් අල්ලගෙන ගියා. යූ.ඇන්.පී ප්‍රාදේශීය සභා/පළාත් සභා මන්ත්‍රීවරු ඉඳහිට ගම මැදින් ගිහින් නිලමෙගෙ ගෙට ගොඩ වෙලා ගියා.

ඇත්තටම නිලමෙට කලින් තිබුනට වඩා තැනක් ලැබුනා. යූ.ඇන්.පී විමධ්‍යගත අරමුදල් කලෙක්ෂන් එකකින් ගමේ අතුරු පාරකට කණු 10 ක විදුලි දිගුවක් ලැබුනා. එතන පවුල් 16 කින් 10 ක් නිලමෙට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලා. මරණාධාර සමිතියට පුටු හතලිහක් අරන් දුන්නා. කාන්තා සමිතියට සාස්පාන් කට්ටලයක් ලැබුනා. පන්සලට ලවුඩ්ස්පීකරයක් ලැබුනා. පාරවල් තුනකට නිලමෙ මූලික වෙලා බොරළු දැම්මා.

නිලමෙ මැරෙනකොට නිලමෙගෙ නංගිගෙ බාල පුතා ගමෙන් පලමුවෙනි වතාවට ප්‍රාදේශීය සබාවට ඉල්ලුවා. නෑදෑ සනුහරෙත් එක්ක යූ.ඇන්.පී කාරයො සෑහෙන දෙනෙක් ගමේ බිහිවෙලා හිටියා. මොකද පෙරමුණ ඇතුලෙ පුද්ගලික කෝන්තර වලදි උනත් යන්ඩ තැනක් හැදුන නිසා වෙන්න ඇති. චන්දෙ කාලෙට ‍සන්දානෙ පක්ෂ කාර්යාලෙ උනත් බීගෙන විකාර කරනවට වඩා ටිකක් සීරුවෙන් ඉන්ඩ වෙන තැනට වැඩ කටයුතු සැලසෙමින් තිබුනා.

---------------------------------

ජයවික්‍රම පෙරේරත් වචන කීපයක් කතා කලා. මම උන්නෙ ටිකක් ඈතින්. කාලෙකින් හම්බවෙච්ච ප්‍රසන්නත් එක්ක කදයක් දාගෙන. නිලමෙ ගැනම තමා. "මරු පොරක් බං.... මැරෙනකං අමතක නොවෙන චරිතයක්.... "

මම කිව්වෙ ඇත්තටම.

"එක රැයින් පක්ෂෙ මාරු කරපු පොරක් නේ... හහ්.."

"හ්ම්... අර අසංකයල ගහලද මොකද්ද එකක්නෙ...?"

"මොන පිස්සුද බං....?"

මට ඒ අපබ්‍රංසේ තේරුනේ නෑ.

"අසංකයල ගහපු එකක් නෑ... මේක කවුරුවත් දන්නෙත් නෑ.... ඌට ගැහුවේ අපේ නන්දන අයියා........"

නන්දන කියන්නෙ ප්‍රසන්නගෙ නෑ කමට අයියා වෙන කෙනෙක්. පදිංචි අර කිරිකෝන් ගහ කිට්ටුව.

"නන්දන..... ? මිනිහා දේශපාලනේ කලේ නැනෙ....?"

"මොන දේශපාලනද බං?..... මූ හැමදාම රෑට බීගෙන කුණුහරුප කියෝන හින්දා නන්දන අයියට මල පැනලා උන්නෙ ගෙදර දරුවෙක්වත් හදාගන්ඩ බෑ කියලා..... එදා නන්දන අයියා කළුවරේම මූට ගහලා පැනල දුවලා........"

"......."

"උඹ හිතන්නෙ මං බොරු කියනවා කියලද?"

"....... නන්දන...? එතකොට අසංකයල නෙමෙයි....?"

ලංකාවට ලොකුම හිසරදේ වෙලා තිබ්බ ප්‍රභාකරන් මැරිල වැටුනෙත් කාගෙ හරි අහක යන විසිල් පාරක් දුර දිග ගිහින් කියල කවුරුහරි කිව්වොත් මම නං ඒක ගැන දෙපාරක් හිතනවා.