Wednesday, August 4, 2010

උගේ වම් අත

“මං ඉස්සරහම අතක් තිබුනා ........ පිරිමි... මැදිවයසේ වෙන්න ඕනෙ...... ඒක වම් අතක්.....”

ඒ මොහොතේ අපි දෙන්නා උන්නෙ බම්බලපිටියේ මුහුදට ආසන්නව පිහිටා තිබූ ගරාවැටෙමින් පැවති විශාල නිවසක පිටත කාමරයක් තුල. කාමරය මැද පිහිටි තට්ටු දෙකේ ඇඳන් දෙකක උඩ තට්ටු දෙකේ වැතිරිලා. අහසත් අපිත් වෙන්කරපු සුදු සිවිලිම දිහා බලාගෙන. ඒ සිවිලිම අයිති අපෙන් හම්බකරගත්තු සිකියුරිටි කොම්පැනියට. තුසිතටත් මටත් මෙතන ඉන්න අපේම හොඳ හේතු තිබුනා. තුසිත aat ඉවරකරගන්නකං. මම ලංකාවේ ස්පිල්බර්ග් වෙලා ඔස්කාර් එවෝර්ඩ්ස් ගන්නකං. (බැරිම උනොත් ‘සරසවි’ වත්.)

ඊට දින හතරකට කලින් ලංකාවේ එවක පැවති යුද්ධය (වාර්ගික සිවිල් අරගලය/එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය/ දෙමල විමුක්ති අරගලය/ තෙවැනි ඊලාම් යුද්ධය/බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය/දෙමල කොටි/...../.....) විසින් තවත් සමූහ මිනිස් බිල්ලක් මරදාන ස්ටේෂන් එක ඉදිරිපිටදී අරන් තිබුනා. ඒ බිහිසුණු හඬ ඇසෙන මොහොතේ තුසිත උන්නේ දවස් එකහමාරෙ නිවාඩුවකට පෝස්ට් එකේ ඉඳන් කෙලින්ම ගෙදර යන්න, පයින්ම මරදාන ස්ටේෂන් එකට යන ගමන්. ගමන ඉවර වෙන්න මිනිත්තු එකකටත් අඩු දුරක් තිබියදී.

කන් බිහිරි කරවන ඒ හඬ ඔහුව ක්ෂණිකවම හිස් අවකාශයකට ඇදලා දැම්මා. තත්පර කිහිපයක් තුල ඉන්ද්‍රිය සංවේදනයන් නැවත සෙමින් ඇර‍ඹෙනවාත් සමගම සිදුවූ දේ ඔහු අනුමාන කලා. ඊළඟ තත්පරේදි අඩියක් ඉස්සරහට තිබ්බා. ඊළඟ මොහොතේ සියළු නිසල දෑ පසු කරමින් ඔහු වේගයෙන් ඉදිරියට යමින් සිටියා.
“මාව ගැස්සුනා...... ඒක බයක්ම නෙමේ බං.... මොන මගුලක්ද මන්දා.... මට හිතුනෙම ගිහින් බලන්ඩ........”
අර මුලින් කියාපු ‘වම් අත’ ඔහුට හමුඋනේ එතනදි.

ඔහු එතනට යන විට නැවත මිනිසුන් රැස්වෙමින් සිටියා. මහා විශාල ගාලගෝට්ටියක් මැද උනත් ඔහු දැකලා තිබුනේ එකම දෙයයි.
“වැලමිටෙන් පහල එච්චර හානියක් වෙලා තිබුනේ නෑ....... වෙදැඟිල්ලයි සුලැඟිල්ලයි ටිකක් නැමිලා. ඇඟිලි ඉහිරිලා තිබුනේ............”
“උඔ මාර පිස්සෙක්නෙ බං....... යකෝ අඩුගානෙ තුවාල කාරයෙක් උස්සන්ඩ වත්....”
“මට එහෙම නිනව්වක් තිබ්බෙ නෑ බං....... අර අත දැක්කට පස්සෙ.... මන්දා......”
“මට පේන්නෙ උඔ බය වෙච්ච පාර ඔලුව මඥ්ඥං වෙලා..... අඩුගානෙ මනුස්සයෙක් හැටියට උඔට තිබුනනේ එතන මොනවා හරි කරන්න.....”
“මන්දා........”
“නැත්තං අනිත් උං ආපහු දුවද්දි උඔ අහවල් එකකටද එ‍තෙන්ට ගියේ......?”
“මං හිතන්නෙ.. දෙවියන් වහන්සේ මාව පරීක්ෂා කලා.........”

සති දෙක තුනක් යද්දි දෙවියන්ගේ පරීක්ෂාව තරමක් දුර දිග යමින් තිබුනා. දිගින් දිගටම වැඩ පැහැර හැරීම නිසා ලොක්කන්ගේ චෝදනා තරවටු කිරීම් තරමට උත්සන්නව තිබුනා.
“උන්ට කුද ගහගන්ඩ කියපං...... මොකටද බං මේවා කරලා..... මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි.......
අතක් වෙන්උනාම .... ඒ අත අර මිනිහා නෙමේ. ඒත් එහෙම නොවෙන්නෙත් නෑ....... සමහරවිට ඔය අත උදේ දරුවෙකුගේ ඔලුව අත ගාල එන්ඩ ඇති.........”
“හහ්..... ඔව්...... පස්ස හෝදන්ඩත් ඇති.....”
“පලයං බං මැරිච්ච මිනිහෙකුට අපහාස නොකර....”

දිනෙන් දින උග්‍රවන නිහඬතාව දරාගන්න බැරිම තැන දවසක් මම දන්න හොඳම යෝජනාව කලා.
“බොමුද....?”
“උඔ දන්නවනේ... මං ඔය ජරාව බීලත් නෑ... බොන්නෙත් නෑ...... උඔට ඕන්නං බීපං...... වෙරි උනොත් මං බලාගන්නං...... හහ්... හහ්....”
තුසිත හයියෙන් හිනාවෙනවා මං අන්තිමටම දැක්කෙ එදා.
තුසිතව පවා.

පහුවදා මම ඇහැරෙනකොට තුසිත 7 ෂිෆ්ට් එකට ගිහින්. මට සහලෝලා උණ. අමාරුවෙන් සේවා ස්ථානයට ගිය මට පැනලා නිවාඩු දුන්නා.
“ඕක අර වෛරස් උණේ.... දවස් 7 ක් තියෙනවා... ඔයා දැම්ම ගෙදර යන්ඩ. සල්ලි තියෙනවද?”
ඒ රුපියල් පන්සීය සාක්කුවේ දාගෙන ගෙදර ආපු හැටි මටවත් මතක නෑ.

මගේ දවස් හත, දාහතර උනේ ඒ බෝම්බ පිපිරෙන යුද පිටියට නැවත මාව නොයවන්න ගෙදර තීරණය කල නිසා. සති දෙකකින් මම ගියේ දවස් විසිතුනක පඩි සල්ලියි ඇඳුම් බෑග් එකයි ගේන්න. එතකොට තුසිත වෙන පෝස්ට් එකකට දාලා. අර කාමරේ මැද්දෙ ඇඳක් උඩ පණිවිඩයක් තියලා මං ආපහු ආවා.
(පඩි සල්ලි?......... පිස්සුද?)

කීපවරක්ම සේවා ස්ථානයට කතා කලත් තුසිතව අල්ලගන්න බැරි උනා. තවත් මාසයකින් විතර කතා කලාම කිව්වා තුසිත අස්වෙලා ගියා කියලා. මම වෙන්නප්පුවට ගිහින් අමාරුවෙන් ගේ හොයා ගත්තා.
“මේ ළමයා ඉගෙනීම නවත්තලම දැම්මනේ...... පස්සෙ මං අඳුරන මාබෝලෙ පැත්තෙ කොම්පැණියකට දැම්මා. දැං එහේ නැවතිලා වැඩ. මිනිහට නිවාඩු නෑ........”
හිටපු මැලේරියා මර්ධන නිලධාරියෙක් උනු තුසිතගේ තාත්තා දුන්නු දුරකථන අංකයත් අරන් මං ආපහු ආවා. ඒ අංකය කවදාවත් වැඩ කලේ නෑ.

අවුරුද්දකට විතර පස්සේ කොළඹ මොකද්දෝ විකාර වැඩකට ගිහින් එන ගමං මං වෙන්නප්පුවට ආවා. ගෙදර වෙනසක් මට දුරදීම දැනුනා.
“තුසිත....?”
“මේ...... මේ පුතානෙ...... නෝනෙ....!”
මට ඉතුරු ටික හිතාගන්න පුළුවන් උනත් අදහගන්න බැරිව උන්නෙ.
“පුතාට අසනීප උනා. දොස්තරලටත් ලෙඩක් හොයාගන්න බැරුව උන්නෙ.... හොස්පිට්ල් එකේදි එයාට දෙවියන් වහන්සේගෙ බලයක් තියෙනවා කියලා එක එක දේවල් කරන්ඩ අරං........ සමහර ලෙඩ්ඩු ඇත්තටම හොඳ කරලත් තියෙනවලු....... පස්සෙ පුතා හොඳටම සනීප වෙලා ගෙදර ආවේ.... දවස් හතරක් හොඳට හිටියා......”

තුසිතගේ උදරයේ තිබිලා දියවෙමින් පැවති මැලේරියා පෙති දෙසිය ගණනක් වෛද්‍යවරු හොයාගෙන තිබුනා. ඔහුගේ සොහොනට යන විදිහ පියා මට කියලා දුන්නා. සොහොනක් කියන්නේ මිනිහෙක් නෙමේ. එහෙම නොවන්නෙත් නෙමේ.
මම ගියේ නෑ.

මරදාන බස් බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 53 ක් කියලයි ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන වල තියෙන්නේ. ඒත් ඇත්ත ගාන ඊට වැඩියි. ඒක අඩුම ගානේ 54 ක් වත් විය යුතුයි. දිගට දිගේ මේ කතාව ලියවෙද්දි ඒක කෙටි කරන්න මං පැකිලුනේ ඒ සඳහා මට තියෙන මේ සාක්ෂියට හානියක් වෙයි කියන බයට.
(හෘදයාංගම මිතුරෙකුගේ මතකය වෙනුවෙන්.)

29 comments:

  1. මොනවාගෙ ප්‍රතිචාරයක් දක් වන්නද කියලා හිතාගන්න බෑ......මිනිස් ජීවිතයක්....අවුරුදු ගානක බලාපොරොත්තු වල බරින් පිරිච්චි ජීවිතයක් නැතිවෙන්න යන්නේ මිලි තත්ත්පර කීපයයි....නමුත් සමහරු ඊට කලින් විඳවනවා කල්පයක්...සමහර ජීවිත එක පුංචි සිදුවීමක් හින්දා වෙනස් වෙනවා සදහට...ඒක සමහර විට ගනන්ගත යුතු නැතැයි කියලා සමාජය පිලිගත් දෙයක්....සමහර අය ආදරෙන් පැරදිලා දිවිනසා ගන්නවා...එවන් අය උන්මත්තකයොද?.වැරැද්ද කාගෙද කොතැනද?...සමහර විට ඒක කර්මය වෙන්න ඇති...එහෙම නොවෙන්නත් බැරිද?...

    ReplyDelete
  2. ඊයම් බරු වගේ කිඳාබහින ශෛලියකින් මේක ලියවෙන්නෙ. ඒ අකුරු වල බර මට හරියටම දැනෙනවාද කියල මට සැකයි.

    ReplyDelete
  3. කතාව කියෙවුවම මටත් ඉස්කොලෙ කාලෙදි වුන දෙයක් මතක් වුනා.යුද්දෙ නැති කරපු එකට රණවිරුවන්ට අපේ උත්තමාචාරය

    ReplyDelete
  4. මොනව කියඳ කියල තේරෙන්නෙ නැහ... ඒ කාලකන්නි යුද්දය නැති කර ජීවිත ගාන වක්‍රා කාරයෙන් නැති කර ආත්ම ගාන කොපමනක්ද....

    ReplyDelete
  5. ඇත්තටම මේ සටහනේ අවසාන ඡේදය මට තේරෙන්නෙ නැහැ. යුද්දයෙ තියෙන කුරිරු කම වගේම දෙවියන් වහන්සෙ පස්සෙ ගිහින් අසනීප සුවකර ගන්න හදන මෝඩ වහන්සෙලා ගැනත් සිහි කරලා තියෙන හැටි නම් අපූරුයි,,

    ReplyDelete
  6. පශ්චාත්තාපය

    ඇගිලි පහ විතරක් ද වම් අත
    නහරවැල් ගැට ගැසුණ ඇට කැබිලිති
    ඒ අතර මස් - ගලා යන රතු ලේ බින්දු
    ලා පාට හමක් ඇති බිදී විසිවී ගිය කාගෙදෝ නොදන්නා

    අත පාන්නේ නැතිව ඉන්නට දුගී දුප්පත් දරුවන්ට
    පැලක් හදලා දෙයක් දෙන්න ඇති කන්නට
    දුකින් හිත බරවෙලා තනිව ඉන්නා විටෙක
    දු පුතුන් හිස අතගා තමන් සැනසෙන්න ඇති

    අතින් අත බැදි සැනසුනා වෙන්න ඇති
    එහෙම දවසක හෙමින් ඇගිල්ලේ දැවටුණ
    රන් මුදුව ගලවලා සින්න වී යන්න ඇති
    මතකයට එන්න ඇති ඒත් හරි ආදරෙන්හිටිය හැටි

    එයාට මොනවත් නැතත් දුවට අරුංගලයක් ගන්න
    කන්තෝරුවේ වෙහෙස වී පඩි පතට ණය වෙන්න ඇති
    ඒ ගත්ත ණය ගෙවන්නට හිතා ඉන්න ඇති
    මමත් එහෙමමයි මේ දකින අත වගේමයි හිතෙන්නැති

    - මේ හිතුවක්කාරයා ගේ සංවේගයයි.......



    http://hithuwakkaraya.blogspot.com

    ReplyDelete
  7. @ හරී,
    ඒක ඇත්තටම සිදුවූ දෙයක්. ඔහු භක්තිමත් කතෝලිකයෙක්. අර සිදුවීමෙන් ඔහු වඩාත් ඇතුලතට නැඹුරු උනා. ජීවිතයේ අර්ථය දෙවියන් තුල සොයන්න ඇති. එය විශාදිමය තත්වයකට පත් උනාද නම් මා හරියටම දන්නෙ නෑ.

    ReplyDelete
  8. @ හිතුවක්කාරයා,
    ස්තුතියි. දවසක් බම්බලපිටියේ මූද අද්දර කළුගලක් උඩට වෙලා අපි පැය ගානක් ඔය වගේ දේවල් කතා කලා. නමුත් බ්ලොග් මාධ්‍යයේ තාක්ෂණික සීමා සහ කතාවේ රිද්මය ගැන හිතලා ඒවා අතහරින්න (අකමැත්තෙන් උනත්) සිද්ධ උනා.

    ReplyDelete
  9. බල්ලො බළල්ලු ගාණට මින්ස්සු මැරිච්ච රටක අපි බහුතරයකට කැඩිච්ච වම් අතකින් ඇතිවෙන මහ ලොකු කම්පනයක් නැහැ,

    සිද්ධාර්ත සියළු සැප සම්පත් අත හැරලා සසර හැර යන්නේ අපිත් නිතර දකින සරල කාරණා හතරකට (සිද්ධාර්ථ හරි ඔයාගේ මිත්‍රයා වැරදි කියලනම් නෙමේ මේ කියන්නේ),

    අපි එකිනෙකා සන්වේදී වෙන විදිහත් ඒවට react කරන විදිහත් එකිනෙකට වෙනස්!

    'උන්ට කුද ගහගන්ඩ කියපං...... මොකටද බං මේවා කරලා..... මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි.......'

    දැන්නම් මිනිස්සු කුඩු වෙන්නේ බෝම්බ වලින් නෙමේයි.

    ReplyDelete
  10. හහ්... ඒ කතාව හරි. ඒ දවස්වලත් එහෙම තමයි. හැබැයි බෝම්බ හින්දා පෙනුනේ නෑ.

    ReplyDelete
  11. @ හේමලයා,
    ඔයාගෙ කමෙන්ට් එක බලද්දි මතක් උනේ කලින් පෝස්ට් එකකත් කමෙන්ට් තීරුවේ කෙනෙක් මතක් කරලා තිබුන Run Lola Run ෆිල්ම් එක. තව මිනිත්තු කිහිපයක් එහෙ මෙහෙ උනානම්, එක්කෝ ඔහු එදාම මියගිහින්. නැතිනම් අද එකවුන්ටන්ට් කෙනෙක්.

    ReplyDelete
  12. මොනව කියන්නද කියල හිතාගන්න බෑ. මේ රටේ අදටත් සිද්ධ වෙන දේවල් වල හැටියට අපි ඔක්කොටම දරුණු පිස්සුවක් නොහැදී ‍තියෙන්නෙ කොහොමද කියන එකත් පුදුමයක්...

    ReplyDelete
  13. හිතාගන්නත් අමාරුයි. එත් ඇත්තම ඇත්ත කියලා පැහැදිලිවම පේනවා. හැමොගෙම සිත් එක වගේ නෑ. ඇත්තටම සංවේදී කෙනෙකුට මෙවැනි දර්ශනයක් දරාගන්න අමාරුයි. කතන්දරගෙන් තමා මේ ඉසව්ව දැනගත්තේ. ආවට අද තමා කොසෙන්ටුවක් දැම්මේ. දිගටම ලියමු.

    ReplyDelete
  14. @ මාලන්: මං ජීවිතේට බෝම්බයක් පුපුරුණ මොහොත ඈහැට දැකලවත් කනට අහලවත් නෑ චිත්‍රපටයකදි ඈරෙන්න. ඒ නිසා මොන​ තරම් සංවේදී වෙන්න හැදුවත් ඒවගේ අත් දැකීමක් මට නම් දුරස්ථයි. ( අවංකව හිතුවොත් බහුතරයක් මෙහෙමයි කියලයි මටනම් හිතෙන්නෙ. නමුත් ඒකෙ තේරුම අපි නරුමයො කියන එක නෙවෙයි).

    ඉතින් ඒ වගේ තත්වෙකදි charmiගෙ යාළුව වගේම අපි උනත් ලොකු කම්පනයකට පත්වෙන්න තිබුණ ඒ වගේ සමීප අත්දැකීමක් ලැබුණ නම්.

    ReplyDelete
  15. මිත්‍රයා ඔයා මම කියන දේ out of context අරගෙන තියෙන්නේ,

    මම මෙතන කියන්නේ අපි නරුමයො කියලා නෙමෙයි!

    කොහොම වුනත්,
    88/89 කාළේත් බල්ලො බළල්ළු ගාණට මිනිස්සු මැරුනා,
    වම් අත්, දකුණු කකුල්, හිස ඇති, හිස නැති මල කඳන් හැම හන්දියක් ගානෙම තිබ්බා,
    ඒත් අපේ අම්මලා තාත්තලා සන්වේදී වෙන්නේ නැතුව කම්පනය වෙන්නේ නැතුව තමන්ගේ හැගීම් control කරගෙන දන්නේ නැහැ දැක්කේ නැහැ වගෙ ජීවත් වුනා.
    ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ මිනිස්සු නරුමයෝ කියලා.
    ඒක ඒ මිනිස්සුන්ගේ අසරණකම.

    මේ රටේ සිද්ධ වෙන දෙවල් වලට මිනිස්සු කම්පනය වෙන්න ගියොත් ලන්කාවේන් භාගයකට මැරෙන්නයි වෙන්නේ. අර ගහෙ බැදපු මනුස්සයා මලාද? නැනේ!

    ReplyDelete
  16. ඔහුත් වක්‍රාකාරයෙන් යුද්ධයේ ගොදුරක් වූ බව පැහැදිලියි. මේ වගේ අනුවේදනීය අතුරු කතා තව මිලියන කීයක් මේ ධර්මද්වීපයේ ඇතිද?

    ReplyDelete
  17. කලින් post ඔක්කොම කියෙවල තිබුනත් කමෙන්ට් කරන්න තරම් දෙයක් හිතුනේ නෑ. මේක බ්ලොග් එකක මම දැකපු හොඳම ලිපිය කිව්වොත් බොරු නෙවෙයි. අර සූස්ති ගුණේ කියල තිබුන වගේම තමයි මටත් දැනෙන්නේ. මේ ලිපිය මගේ හිතට මහ බරක් වෙලා වගේ තිබුනේ. ආපහු මේ පැත්තේ ඇවිත් මොනවහරි කුරුටු ගාල යන්න හිතුනේ ඒ නිසා.

    ReplyDelete
  18. @ මාලන්:
    නැහැ out of context නෙවෙයි.

    "....සන්වේදී වෙන්නේ නැතුව කම්පනය වෙන්නේ නැතුව තමන්ගේ හැගීම් control කරගෙන දන්නේ නැහැ දැක්කේ නැහැ වගෙ ජීවත් වුනා.
    ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ මිනිස්සු නරුමයෝ කියලා."

    කියන දේම තමයි මාත් කියන්නෙ. හැබැයි මට අනුව හේතුව "හැගීම් control කිරීම" නෙවෙයි. අපි බහුතරයකට මේ මරණ සමීප අත්දැකීම් ( අපෙ ඈස් කන් ඉස්සරහ...)නෙවෙයි. charmiගෙ යාළුවට උනත් වෙන්න ඈත්තෙ එච්චරකල් තමන්ගෙ බිත්තියට එහායින් තිබුණ සිද්ධියක් ඈස් ඉස්සරහ වුණාම දැනෙන කම්පනය වෙන්න පුළුවන්.

    ReplyDelete
  19. 'මිනිහෙක් කුඩු වෙන්ඩ යන්නේ තත්පර බාගයයි'ඇත්තටම ඔව්.......
    බොහෝමත් බර වැඩි නිසාවෙන්
    කියන්නට කිසිවක් නැති නමුදු
    මෙවන් අතුරු කතා තව කීයක් ඇතිද
    අපි නොකියවූ අප ඇස නොගැටුණු

    ReplyDelete
  20. බොහෝම ප්‍රබල කතාවක් සහ ලිවීමක්. අද තමයි මුලින් ම මේ පැත්තේ ඇවිත් හෙමින් කියවන්න ඉඩක් ලැබුනෙ. ඔබට ස්තුතියි.

    ReplyDelete
  21. සමහරවිට ඔය අත උදේ දරුවෙකුගේ ඔලුව අත ගාල එන්ඩ ඇති.........”
    “හහ්..... ඔව්...... පස්ස හෝදන්ඩත් ඇති.....”
    මේ මොන තරම් ඇත්තක්ද?

    ඒ වගේම බෝම්බයක් පිපිරුනාම කියන්නේ එවෙලේ එහෙමත් නැත්තං රෝහලට ගෙනිහින් දින දෙකකින් විතර මිය ගිය පිරිස ගැන විතරයි. පස්සේ ඒ හානි වලින්ම මැරෙන අයව මතක නැහැ. වෙනත් ප්‍රවෘත්තියක් ඇවිත් ඒ අයව අමතක කරවලා දානවා.

    ReplyDelete
  22. සියලු කඳුළු
    ලුණු රස බව දනිමි.
    මේ කඳුල
    ලේ රස බැව් හැඟේ.

    ReplyDelete
  23. හදවත පත්ලේ මා නොදන්නා තැනක
    මහ බරක්ව උන්
    මා මිතුරා මුදාහලෙමි.
    ඔහුට දෙවියන් වහන්සේ හමුවනු ඇත.

    ඔබ සැමගේ සහෘදවීම කෙතරම් අගනේ දැයි හැ‍ඟේ.

    ReplyDelete
  24. සංඛ්‍යා ලේඛනවලට හසු නොවන්නවුන් අතරින් එක් අයකුගේ කතාව.
    ඇහැ කණ පියාගෙන ඉන්නට හුරු මිනිසුන් අතර, එහෙම නොවන්නකුගේ ඉරණම මෙය විය යුතුද?
    ඔහු පැතූ ලොව ඔහුට හමුවේවා.

    ReplyDelete
  25. වැඩිය සංවේදී වෙන්න හොඳ නැහැ අප්පා.ගස් ගල් වගේ හැදෙන්න ඕනි.

    ReplyDelete

Follow by Email