Friday, May 18, 2012

‘අක්කා සංකල්පය’ 02 - ‘ලඳුනේ’ ඇත්තටම ලලක්කෙක්ද?

‘නංගියා’ සංකල්පය නොතේරෙන අප හිතවතුන් වෙනුවෙන් මා විසින් ඉදිරිපත් කරන ලද ‘අක්කා සංකල්පය’, ඉන් නොනැවතී “අක්කියා සංකල්පය” සහ “මල්ලියා සංකල්පය” වැනි විවිධ ධාරාවන් ඔස්සේ පැතිරයාම සතුටට කරුණකි J

ඇත්තටම මේ සංකල්පය පැහැදිලි කිරීම සඳහා මම තෝරගත්තු ජොලි සීයාණන් ගයන ‘බජාර් එකේ ලලක්කා’ ගීතය ලූම්පන් සංස්කෘතියට අයත් වන්නක් බවට විවාදයක් නෑ. නමුත් මගේ අදහස නම් විදග්ධ කෘතියක් ලෙස පොදුවේ පිළිගන්නා අමරසිරි පීරිස් ගයන ‘ලඳුනේ’ ගීතයට වඩා ලලක්කා අව්‍යාජ බව.

රයිට්. වැඩේට බහිමු.

ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”

එතනින්ම තමා වැඩේ කන්නෙ. එකපාරටම හැන්දෑවක අමුතු දෙයක් දැකලා. මොකද්ද? මුදල් පිණිස ලිංගික සේවා සපයන්නියකගේ ඇස් දෙකක්. බුදු අම්මෝ ගණිකාවක්. එයා බබා. දැන් ඉතින් ගණිකාවන් නමැති සත්ව කොට්ඨාශය මේසය මත තබා සමාජ දේශපාලනික විවරණයක් අහගන්න පුළුවන්. මම කියන්නෙ මේ රචකයාට (රන්බණ්ඩා සෙනෙවිරත්න) ඇය දුරස්ථයි. මේ විච්ඡේදනය කරන්නෙ ඇත්ත ‘ලඳ’ නෙමේ. එයාගෙ ඔලුවෙ ඉන්න කවුරුහරි. ඒක නිසානෙ “දෙනෝ දහක් ‘අතගත්තද’ – ‘සැමියෙකු’ නැති...” වගේ කෘෂිකාර්මික කතන්දර එන්නෙ. දැන් ඇත්ත කතාව කවුරුවත් එහෙම ‘අතගන්නෙ’ නෑනෙ. වැඩේ කලා. ගාන දුන්නා. කැපුනා. පැහැදිලි අවබෝධයකින් සිද්දවෙන ගණුදෙනුවක්. අනික ‘සැමියා’ කියන්නෙ බුදියගන්න එකාද? පිස්සුනේ.

අන්න ඒකට ලලක්කා.

ලලක්කගෙ අතගැනිලි අරව මෙව්ව නෑ. කෙලින්ම “සුර සැප වික්කා”. වැඩේ ක්ලියර්. අර විදග්ධ කතන්දර වල එන ‘ආත්මය විකිණීම’ ‘ශරීරය විකිණීම’..... (මම කියන්නෙ ඔය තියරියට මේසන් වැඩ කරන එකත් ඇඟ විකුණනව කිව්වෑකිනෙ)

 නිකං බයිලනේ. ඔය මොන ලඳක්වත් ශරීරය විකුණන්නෑනෙ ඕන එකක් කපාගෙන පලයං කියල. කොන්දේසි සහිත සේවාවක් සපයනවා. ඇඟ භාවිතයෙන් ඊනියා ‘සැප’ විකුණනවා. පාරිභෝගිකයො සැප අරගෙන ඇඟ තියල එනවා.

අනික ලලක්ක රෙස්පට්නෙ. ‘සුරසැප වික්කා - කාගෙත් වත ගොත රැක්කා’. ඔය ‘වත ගොත’ කියන්නෙම සුළුපටු දේපලක්ද? පාරිභෝගික විශ්වාසය.  සෙල්ලමක් නෙමේ. හැබැයි ලලක්කල කන පතේ රෙ** නෑ. අන්න ගෑණු.

අනික ලලක්කල ඔය කියන තරං අසරණත් නෑ. “නෑයෙක් නෑකං නොකියන...”. මේ මොන රටේද? ලලක්කලට නං නෑයො මිත්‍රයො බජාර් එකක්ම ඉන්නවා.  ඔය නෑකං ප්‍රශ්නෙ එන්නෙ ඔය ජොබ් එක මහ පජාත රස්සාවක් කියන විදග්ධ ඔලුගෙඩි ඇතුලෙනෙ. ඔන්න රන්බණ්ඩා මහත්තේලගෙ විදග්ධ පරපුර නං නෑදෑකං අතහරී කිව්වෑකි. ඒත් ලලක්කගෙ බජාර්එකේ ඔය ගැරඬිපාට් නෑ. රස්සාව වේසකම. එච්චරයි. අම්මත් දන්නව. තාත්තත් දන්නව. මිනිහෙක් ඉන්නවනං ඌත් ෂොට් එකක් දාන්ඩ කීයක්හරි ඉල්ලගන්නව.

   “නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා...දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා....”
ඔන්න නෑකං....!

“පිරිමින්ගේ පාප කඳට - දෝස විඳින ලඳුනේ....
අඳුරේ පව් කරන දනා - එළියෙ රවන ලඳුනේ......”

මම කියන්නෙ මේවත් නිකං ඔලුවෙ ප්‍රලාප. රෑට ලලක්කල එක්ක බුදියල, දවල්ට උන්ට වේසියො කියන සත්ගුණවත් මහත්තුරු ඕනෙතරං ඉන්නව. හැබැයි ඉතිං ඕක රණ්බණ්ඩා මහත්තයලගෙ ප්‍රශ්නයක් මිසක් ලලක්කලගෙ ප්‍රශ්නයක් නෙමේනෙ. ඔය රවන්නෙ බොරුවට කියල ලලක්ක නොදන්නවද? අනික රැව්ව කියල ලලක්කගෙ අහවල් එක නැතිවෙන්ඩද? කොහොමත් රස්සාවෙන් පිට කස්ටමර් කෙයාර් කෑලි ලලක්කලගෙ නෑ. රැව්වත් එකයි. නැතත් එකයි.

හැබැයි ඉතිං අපේ ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ශූරීන් ලියපු “සිල් අරගත්තා - පෝයට සීලෙත් රැක්කා....” කෑල්ලනං පොඩි අධීසාමාන්‍යකරණයක් වගේ. ඒ උනාට ඒක කියල තියෙන විදිහට මම කැමතියි. ලලක්ක කෑව/කුනුහරුප කිව්ව/ටොයිලට් ගියා/බුදියෑව/රෙදි හේදුව/සිල්ගත්තා...... මේ චරිතයේ එක පැත්තක් ඔහෙ කියල දාල. එහෙම නැතුව සිල්ගත්තු හින්ද ලලක්ක මාර වෙලා නෑනෙ. ඒ වුනාට අරකෙනං මාරයි.

“තෙල් මල් ගෙන... දෝත පුරා - මුණි කුටියට පියමංවන.....”

අනේ ඉතිං හරී අනුකම්පා හිතෙනවා. අර පිරිමින්ගේ ඊනියා ‘පාප කඳ’ නිසා මේ ගෑණු මිරිකෙන හැටි දැකලා. හැබැයි ඉතිං ඔය ඔලුවල තියෙන වැඩවසම් ආගමික වහන්තරාවල් ටික අයින් කරල බැලුවොත් නං ඔයිට වඩා මිරිකෙන ගෑණු අනන්ත දකින්න පුලුවන්. (සමහරවිට ගෙදරම ඇති).

මම යෝජනා කරන්නෙ මෙහෙම. ඔය කියන “ලඳ” ගැන හදවත කීරිගස්සන විදග්ධ රචනාකාරයො මේ ගෑණුන්ට මහා අපහාසයක් කරනවා. ඔවුන් විශේෂිත අසාධාරණයන්ට ලක්වන, විශේෂ අනුකම්පාවකට ලක්විය යුතු, අසරණ ජන කොට්ඨාශයක් බවට පත් කරනවා. හරියට නිකං ‘ගණිකාවන්ට’ පාව්.... එයාල දිහා සානුකම්පිතව බලන්න.... වගේ එකක්. කාටද ඔය කියන්නෙ? මේ සත්ගුණවත් “අපිට”. රෙද්ද තමයි.

මම කැමති ජොලි සීයට.

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගෑණු නොදැක්කා....//
හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා....

අන්න එහෙම නම්බුව දීල ‘සමානයෙක්’ විදිහට කතාකරමු. ලලක්කලට මොනවහරි අකටයුතුකම් වෙනවනං නාහෙන් අඬන්නැතුව පුලුවං දෙයක් කරමු.

ලලක්කා සින්දුව ලූම්පන් සංස්කෘතියට අයත්වීම ගැන සුමිත් සහෝදරය මතක් කරල තිබුණ. ස්තුතිය ඔහුට. ලූම්පන් ලලක්කල ගැන මෙච්චර ලියවුනේ ඒ හින්ද. ලලක්කා සින්දුවේ තියෙන වටිනාකමත් ඒක ලූම්පන් සංස්කෘතියේ ගැයෙන එකක් හින්දමයි. අද ලංකාවේ ජනප්‍රිය සංස්කෘතිය ලූම්පන්. අනික් පලාත්වල මන්දා. වයඹ පළාත් සභාවෙන් “ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන ජනමත විචාරණයක් තිබ්බොත් හයෙං පහක් අරං ලලක්කා දිනනවා. (අපි ලලක්කට -ලලක්ක අපිට.... පුහ්)

මිනිස්සු අතර ඉන්නෙ ජොලිසීයා. ජොලිසීයා කියන්නේ මෙහෙම.

“රයිට්.... අපි ලලක්කා කියල අලුත් ගීතයක්..... අහිංසක කාන්තාවක් ගැන ලියවුන ගීතයක් ගායනා කරන්ඩ.... දෙමු වැඩේ.... දෙන්ඩ පුතා... ශ්‍රැතිය දෙන්ඩ මහත්තයො.... හහ් හහ් හහ්... රයිට්.... ගැහැනි ලලක්කා..... හා... හයි.... කොල්ලො නටපියව් ඇතිවෙන්ඩ.........”
ලලක්කට නටන උන් ආයෙ කවදාවත් ලලක්කලට කෙල ගහන්නෙ නෑ. උන් අඳුර එලිය වෙනසක් නැතුව ලලක්කල එක්ක හිනාවෙයි. අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා. 
ජයවේවා !!


(දැන්වත් අර කලින් පෝස්ට් එකට පින්තූරෙ සෙට්ද J)
_____________________________________________________________
ප/ලි - 
ලලක්කගෙ පවුල ගැන හොඳ විස්තරයක් - “රමණිගේ හැන්දෑව



40 comments:

  1. අම්මො මොකද්ද බං මං මෙ පාන්දර එකට කියේව්වේ, ඇත්තමයි මම ඔය සින්දු දෙකටම ආසයි.දෙකම වීදින්න පුළුවන් හැබැයි අහසට පොලව වගේ ප්‍රතිවිරැද්ධ අවස්තා දෙකකදි.ලියලා තියන දේවල් ගැන එක්තරා පුමානයකට එකගයි

    ReplyDelete
  2. මොන හු**ක්ද යකෝ අර උඩින් දාලා තියෙන්නේ..? දාහංකෝ ලලක්කා ගැන පහන් මෙව්වා එකක් ඇති වෙන පොටෝ එකක්..උදේම අප්පිරියාව පත අට මංචාඩියයි කලං දෙකට හින්දවන එව්වා නොදා...

    ලලක්කා ගීතයත් ලදුනේ ගීතයත් දෙකම එකම දේ භාෂාවේ වෙනස් පන්ති දෙකක් නියෝජනය කිරීමක් විතරයි. ඒත් ලලක්කාට ලදුනේගේ තරං විද්වත් ප්‍රතිචාරයක්නං ලැබෙයි කියලා හිතන්න බැහැ..මොකද ලලක්කා වගේම ගීතයත් තියෙන්නේ මහ පොළවේ... විද්වත් විවේචන එල්ල වෙන්නනං ටිකක් අහසේ සරන්න ඕන.. කොහොම උනත් මේ විචාරය වටිනවා ඒ අතින්...අනුන්ගේ පව් උහුලන ලඳුන්ටත් කාටත් සැප දෙන හිත හොඳ ලලක්කලාටත් හොඳක්ම වේවා..!

    ReplyDelete
    Replies
    1. උඹට ඉතින් පහන් මෙව්වා එකක් ඇති වෙන්න නම් සිරන්ති නෝනගෙම පොටෝ එකක් තමයි දාන්න වෙන්නෙ.

      Delete
    2. අන්න කථාව

      Delete
  3. ළඳුනේ ගීතය ලියැවුණේ දළදා මාලිගාව වඳින්න මිතුරන් පිරිසක් සමඟ ගිය රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා දැකපු දරුවෙක් එක්ක එතනට බුදුන් වඳින්න ආපු කාන්තාවක් ගැන ඔවුන් අතරේ ඇතිවුණු අපහාසාත්මක කතාවක් (ඒ කාන්තාව ප්‍රසිද්ධ මිල අධික ගණිකාවක්ලු) නිසා කියලයි මම අහලා තියෙන්නෙ.

    ඒ ළඳ සහ ලලක්කා කියන්නේ හාත්පසින්ම වෙනස් චරිත දෙකක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් විසිතුරු. ලලක්කා හැබෑවටම ඉන්න කෙනෙක්. මම කියන්නෙ ඔය ලඳ රන්බණ්ඩා සෙනෙවිරත්න මහත්තයගෙ පරිකල්පනය තුල උපන් කෙනෙක්.

      Delete
    2. 'ලලක්කා' සින්දුව ලියපු ඇන්ටන් මහත්තය මුලින් ලියල තිබ්බෙ "මීගමුවෙ බබක්කා - එයා හිත හොඳ අක්කා..." කියලලු. ඉතිං මීගමුවෙ ඇත්තටම බබක්කෙක් ඉන්න හින්දා, අම්බානක කන්ඩ වෙයි කියන බයට ජොලිසීයා මැතිතුමා තමයි ඕක 'බජාර් එකේ ලලක්කා' කරල තියෙන්නෙ :)

      Delete
  4. උඹේ තර්කය නම් නියමයි. ඒත් මම කැමතියි සිංදු දෙකටම. (ලලක්ක මීට කලින් සැලකිල්ලෙන් අහල තිබුනෙ නෑ). මම හිතන්නෙ ඇන්ටන් ජේ. ප්‍රනාන්දුයි රණ්බණ්ඩායි දෙන්න දැකල තියන අය ගැන වෙන්නැති ලියන්න ඇත්තෙ. එතනදිත් පංති භේදයක් නැතිවෙන්න බෑනේ. (හැබැයි ඇන්ටන් ජේ. ප්‍රනාන්දු ගැන මම හරියට දන්නෙ නෑ).

    ReplyDelete
  5. විසිතුරුගේ කමෙන්ට් එකට යමක් එකතු කරනවා නම්, මෙතැන ගෑනු දෙන්නා පමණක් නෙවෙයි "නිදි වැදීම" කියන දෙයින් අදාළ පන්ති දෙකේ පිරිමින් අදහස් කරන දේවල්ද වෙනස්. උදාහරණයක් විදියට කෘෂිකාර්මික ගමක බයියෙක් වෙලා නගරෙට ඇවිත් ඔළුව උදුම්මා ගත්තු මධ්‍යම පාංතික "උගතෙක්" (සැබෑ ජීවිතයේදි ඉතාම කෛරාටික, අසාධාරණ නීතිඥයෙක්) වෙච්චි රන්බණ්ඩා නිදියන විදියට නෙවෙයි බජාර් එකේ සෝමෙ ගෑනියෙක් එක්ක නිදා ගන්නෙ. රන් බණ්ඩාට ඒක සංකීර්ණ සඟවා ගත යුතු "මාර" අත්දැකීමක්. සෝමෙට නිකම් කක්කුස්සියට ගිහින් බෙට්ටක් දානවා වගේ වැඩක්. විඳීම ඉඳුරා වෙනස්. ඉතින් ගීත දෙකක් උපදිනවා. එකක් වත් අනෙකට වඩා ඉහළ හෝ පහළ නැහැ. ඒ දෙකම තිබිය යුතුයි. මේ කියන්නෙ එකම ගෑනිය ගැන නෙවෙයි වගේම එකම අත්දැකීම ගැන නෙවෙයි. අප එක එක්කෙනා ඉන්නා තලය අනුව අපට අදාළ ගීතය රස විඳිය හැකියි. උදාහරණයක් හැටියට ලුම්පන් පන්තියේ සාමාජිකයකු වන මාරයාට ලලක්කා අල්ලලා යනවා. ළඳුනේ තේරුම් ගන්න තරම් ඔහු මුහුකුරා ගිහින් නැහැ. අනෙක් අතට, සුනිල් ආරියරත්න වගේ කෙනෙක් ලියන්න පුළුවන් ළඳුනේ ප්‍රබුද්ධයි ලලක්කා පීචං කියලා. ඒ ලලක්කා විඳින්න තරම් සුනිල් මුහුකුරා ගිහින් නැති නිසා. සුනිල් ආශ්‍රය කරන්නේ නන්දා මාලිනී වගේ ගෑනු මිස ලලක්කලා නෙවෙයි.

    මං නම් කියන්නේ මේ ගීත දෙක සන්සන්දනය අසාධාරණයි. බැලූ බැල්මට මතුපිටින් පෙනෙන සමානත්වය මේ ගීතවල නැහැ. දේශපාලනිකවත් එහෙමයි. අවශ්‍ය නම් තව පැහැදිළි කළ හැකියි. නමුත් ඔබට මුලින් හිතන්න දෙන්න මා කැමැතියි.

    ReplyDelete
    Replies
    1. නියමයි ඇනෝ....පට්ට.

      Delete
  6. හොඳ විග්‍රහයක්... :)

    ReplyDelete
  7. ඔබගේ දැක්ම හරියටම හරි. මොන මිනිහද කියන්නෙ ගණිකාවෝ හැදෙන්නත් පිරිමි ඉන්න ඕනෙ කියන යථාර්තය ගැන. මේවා මහ විහිළු. මේ ගී දෙකම මම නම් ඉතාම හොදින් වින්දනය කරනවා. සමාජ යතාර්ථය ඉතාම කදිමට මින් නිරූපනය වෙනවා. ගැහැනියක් ජීවන මාර්ගය ලෙස මේ වෘත්තිය තෝරා ගන්නේ ඇයගේ කැමැත්ත නිසා නෙමෙයි. ඒකට ඉල්ලුමක් තිබෙන නිසා. මේ සමාජ ක්‍රමයයි වැරදි. ඔබ ඉතාම වටිනා අදහසක් මතු කලේ.

    ReplyDelete
  8. 100% එකඟයි... වෝටර් ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය වගේ දෙයක් තමා. රෑට දෙවඟන, උදේට වේසි...

    ReplyDelete
  9. පෝස්ටුවේ සමස්ථයම වචන කීපයකට කැටි කරනවනම්,
    "ලලක්කා" අව්‍යාජයි-"ළඳුනේ" කුහකයි
    "ලුම්පන් සංස්කෘතිය" අව්‍යාජයි-"විදග්ධ සංස්කෘතිය" කුහකයි.

    (හැබැයි කලින් පෝස්ට් එකට ඒ පින්තූරයේ තියෙන ගැලපීම තහවුරු කරන්න නම් මේ පෝසට් එක ඒකට ටැග් කරන්න වෙනවා. :-))

    මේ පෝස්ටුවෙත් විවාදිත කරුණු රැසක් අඩංගු වෙලා තිබුණත් ඔබගේ අරමුණ නිසිපරිදි ඉටුවෙලා තිබෙන නිසා, සංවාදය වෙනත් ධාරවන් ඔස්සේ දිග්ගැස්සීමේ තේරුමක් නෑ.

    ජය වේවා...!!!

    ReplyDelete
  10. අඩියක් ගහලා කොල්ලොත් එක්ක පොඩ්ඩක් නටන්න ලලක්කා (සිංදුව) හොදයි ....සූස්තියක් ගහලා ගැබුරටම (සිංදුවේ) කිමිදෙන්න රසවිදින්න " ළදුනේ '' හොදයි....ඒ නිසා ගීත දෙකටම කැමතියි

    ReplyDelete
  11. මටනම් තවම මේ අක්ක/නංගියා සංකල්ප ගැන තේරුමක් නෑ.

    ඒත් විචාරෙට එකඟ වෙනව. ළඳුනේ ගීතයේදී ඒ කාන්තාව සමාජයෙන් වගේ තමන්ගෙනුත් දුරස් කරනව,අනුකම්පා කටයුතු කුලකයකට ඇතුළත් කරනව. ඒත් ලලක්ක ගීතයේදී ඒ ගැහැණිය තමන්ගෙම ගොඩට ගන්නව. කිසිම වෙනස් කමක් නැතුව ජීවිතය බෙදා ගන්නා එකම මිනිස් කුලකයකට ඇතුළත් කරනව. මිනිස්කම ළඟඳි ලලක්කා ගීතය ඉතා ඉහළයි. භාවිතය ලුම්පන් වෙන්න පුඵවන්. ඒත් සම්භාව්‍ය විදියට පෙන්වන ගොඩක් ස්ථරයන්ගේ ඇතුළ් හැසිරීම සම්පූර්ණයෙන්ම ලුම්පන්.
    ඒත් පිළිගන්නා ගීත සම්ප්‍රදාය තුළ ළඳුනේ ගීතය ඉහල වින්ඳනයක් සහිත හොඳ නිර්මාණයක්. ඒත් මේ විවේචනය සිදු වෙන්නෙ වෙනත් තැනක සිට බලමින් නිසා විවේචනය මෙතනට සාධාරණයි.

    ReplyDelete
  12. කලකින් කියවූ අගනා බ්ලොග් ලියමනක්.එසේම අගනා ඇනෝ කොමෙන්ටුවක්.ඔබ දෙපලටම ස්තුතියි.

    ReplyDelete
  13. හරිම රසබර විවරනයක්. මේක කියවපු ගොඩක් දෙනා වගේ මමත් මේ දෙකම රසවිඳිනවා. අක්කා සංකල්පය නම් තවම නිර්වචනය කරලා ඉවර කරන්න අමාරු එකක් වගේ. අන්තිම සංකීර්නයි :D

    ReplyDelete
  14. :D :D :D

    ළඳුනේ නම් මම ගොඩක් ආස සිංදුවක්. ඒ සින්දුව ලස්සන නිසා, නැතුව පද වලට නෙමෙයි. හැබැයි මේ උඹ කියපු දේවල් වලත් ඇත්තක් තියනවා බං. පට්ටයි..:D

    "හරියට නිකං ‘ගණිකාවන්ට’ පාව්.... එයාල දිහා සානුකම්පිතව බලන්න.... වගේ එකක්. කාටද ඔය කියන්නෙ?"

    දාන්න පහක්! මටත් ඔය බොරුවට සුදු හුණු ගාන එක තමයි පෙන්නන්නම බැරි.

    ReplyDelete
  15. මිනිස්සු සදාචර සම්පන්න වෙන්න වෙන්න.ඉහලයි කියන සමාජෙට යන්න යන්න මිනිස්සුන්ගෙ හිත් ඒ මිනිස්සුන්ටත් හොරෙන්ම වැහිල වනවා.වැඩි වැඩියෙන් පව් කරනවා වගේම ඒ පවු වහගන්නත් වැඩි වැඩියෙන් ක්‍රම සොයා ගන්නවා....

    ලලක්කට කරදරයක් අසනීපයක් වුනාට කිසිම බයක් නැත්තේ ලලක්කගෙ වටේ ඉන්න මිනිස්සුන්ගෙ හිතේ ලලක්ක ගැන සැබෑම ලෙංගතුකමක් තියෙන නිසයි.
    ඒත් ලදුනේ ගීතයේ ඉන්න ලඳට කරදරයක් අසනීපයක් වුනාම රංබණ්ඩ මහත්තයත් අහක බලනව සිකුරුයි....

    ReplyDelete
  16. හොද ලිපියක් ඇත්තටම...

    ReplyDelete
  17. මම අහලා තියෙනවා ඔය ළදුනේ සිංදුව ලියපු කෙනා ඒක ලියලා තියෙන්නේ විදින්න වෙච්ච අත්දැකීමක් නිසා කියලා. ඒ කියන්නේ ඒ යාළුවෝ සෙට් එකට ඕන වෙලා මෙහෙම කෙනෙක් ගෙන්න ගෙන. එතන ඔය ලියපු කෙනත් හිටියලු. ඊට පස්සෙලු මෙහෙම එකක් ලිව්වේ.

    ReplyDelete
    Replies
    1. උඩ විසිතුරු ලියල තියෙන්නෙ ඔය සිද්දියෙ ඉතිරි ටික :)

      Delete
  18. ලලක්කා හා ළඳුන් අතර ඇති බොහෝ දෙනකු දුටු පොඩ්ඩක් මාක්ස්වාදී ඇසෙකින් බලන්නට ඉඩ දෙන්න.

    මක්සිම් ගෝර්කිගෙ කතාවල ලලක්කා වැනි චරිත නිතර හමුවෙනව. ගෝර්කි මේ අය කෙළින්ම වෙසඟනන් කියන්නෙ නෑ (මතක හැටියට) ඒ වගේම ඔවුන්ගේ කාර්යය ලුණු ඇඹුල් ඇතිව විස්තරයට යන්නෙ නෑ. නමුත් පේළි අතර කියැවීමේදී පාඨකයා ඔවුන් දකිනවා.

    නිර්මාණාත්මක මාක්ස්වාදී ලේඛකයකුට පුළුවන් ලලක්කා "දිරිය ගැහැණියක්" හැටියට උත්කර්ෂයට නඟනා කෙටි කතාවක් ලියන්න. උදාහරණයක් හැටියට මෙහෙම සරල සිදුවීමක් ගනිමු. පළාතේ මන්ත්‍රීතුමා ලලක්කාට ඇපොන්ට්මන්ට් එකක් දෙනවා. (මන්ත්‍රීතුමා හා හන්දියෙ කඩේ මුදලාලි තමා බොහෝ ලෝකල් මාක්ස්වාදීන්ගේ පරම හතුරන්) හරියට එදාම පාරේ වැඩ කරන කම්කරු පිරිසගේ පඩි දවස. ලලක්කා මන්ත්‍රීතුමාගෙන් ලැබෙන්න තියෙන දේවල් අමතක කරලා යනවා කම්කරු පන්තියේ සහෝදරවරුන්ට පෝලිමක් දාලා සැපක් ගන්න ඉඩ දෙන්න. කොටින්ම අළුතින් ආපු මල්ලිලා දෙන්නෙකුගෙන් සල්ලි ගන්නෙවත් නෑ, පන්ති හැඟීම නිසා. ඉතින් ලලක්කා තමන්ගේ පන්තිය ආරක්ෂා කරන සුපිරි ගැහැණියක් බවට පත්වෙනවා. මාරයි.

    රණ්බණ්ඩා එක්ක නිදන තැනැත්තිය එහෙම නැහැ. ඇය සුළු ධනේශ්වර පන්තියට සේවා සපයන්නියක් විතරයි. එනිසා පන්ති සැතිරියක්. කම්කරු පන්තියේ සහෝදරවරුන්ට පුළුවන් ඇය දිහා බලලා ස්වයං වින්දනයක යෙදෙන්න පමණයි. ඇය ලෙඩ වුණාම රන්බණ්ඩා ඇය ගැන බලන්න ඕනැ නැහැ. ඔහු වින්දනයේ ගාස්තුව දෙන්නේ ඒ ඔක්කෝටම එක්ක. අනෙක රන්බණ්ඩාට ඇය ගැන පාන්තික හැඟීමක් නැහැ. රන්බණ්ඩා විතරක් නෙවෙයි මේ ගීතය කියන ගුණදාස කපුගේත් මේ වගේ ගැහැණුන්ගෙන් සේවාව ලබාගෙන ගාස්තුව දීලා එන්න ඇති. ඒක මෙතැනට අදාළ නෑ. ගීත ගායනය හා ලිවීම ඔවුන්ගේ සුළු ධනේෂ්වර වෘත්තීන්. ඔවුන් ඒක කරන්නෙ පාන්තික හැඟීම ඇතිව නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. "ළඳුනේ" ගීතය ගායනා කරන්නෙ අමරසිරි පීරිස්, ගුණදාස කපුගේ නෙවෙයි...
      අනික මේක "මාක්ස්වාදී" විග්‍රහක් නෙවෙයි. ඔබම කියන විදියට "ලෝකල් මාක්ස්වාදී" විග්‍රහයක්....;)

      Delete
    2. මහත්තයෝ, ගායකයා පිළිබඳ නිවැරදි කිරීමට ස්තූතියි. ඔව්, මේක ලෝකල් මාක්ස්වාදී විග්‍රහයක් තමයි. නමුත් ජාත්‍යන්තර මාක්ස්වාදී විග්‍රහයද මීට ගොඩක් වෙනස් නැහැ. දෙවන ලෝක යුද්ධ සමයේ රුසියානු හමුදාවලට ලිංගික සේවාවන් සැපැයු කාන්තාවන් "වීර සෙබළියන්" මිසක්කා ගණිකාවන් කියලා කියැවුණේ නැහැ. "ගණිකාවන්" වුණේ ජර්මනිය ප්‍රංශය අල්ලා ගත් කාලේ ජර්මන් සොල්දාදුවන්ට ලිංගික සේවාවන් සැපැයු කාන්තාවන් (Malena වගේ) කියුබානු "විප්ලවය" කාලේ චේ ගුවේරා ඇතුළු කැරළිකරුවන්ට ලිංගික සේවාවන් සැපැයූ කාන්තාවන් "ගණිකාවන්" වුණෙත් නැහැ. ඔවුන් "විප්ලවය වෙනුවෙන් කැප කිරීම් කළ සහෝදරියන්".

      Delete
  19. මම ලියපු 'ආදරය සහ කසිප්පු' පෝස්ට් එකට කමෙන්ට් එකක් දාපු සිරිබිරිස්තුමා තමයිමට ලලක්කා සින්දුව ගැන කිව්වෙ. එදා ඉඳන්ම මම ඒ සින්දුවට මාර කැමතියි. ඔබතුමා කියල තියෙනව වගේම සාහිත්‍යමය බටර් ගාපු සින්දුවකට වඩා ඒක ලයිව්. දැනෙනවා. ජොලි සීය දාන පැණි කෑලි නිසා ඒක තවත් ආතල්...

    ReplyDelete
    Replies
    1. අර ඉස්සෙල්ලා දාපු 'අක්කා සංකල්පෙට' මම 'ආදරය සහ කසිප්පු' ටැග් කරල තිබුනා. කට්ටිය ලලක්කයි කසිප්පුයි පටලගෙන වෙනම සංකල්පයක් හදන්න ගත්තාම හිමීට අයිං කලා :)
      ඔය හැටි සංකල්ප මොටද බං මේ පොඩි රටට..??

      Delete
    2. මේ සිංදු දෙකෙන්ම කියවෙන්නෙ, අඩු -වැඩි වශයෙන් එකම දේ කියලයි මට හිතෙන්නෙ. එක්තරා ආකාරයක සමාජ අසාධාරණයක්, මහත්වරුන්ගේ කුහක කම. ඕලන්දයේ ඒක නීත්‍යානුකූලයි. ඔය "සාධාරණ සමාජයක්" පොරොන්දු වෙච්චි සමාජවාදී රටවල පවා තිබිල තියනවා, මුදලය නොවේ, පාටි මැම්බර්ල ලවා වැඩි පෞද්ගලික වාසි ලබාගන්න. අපිත් එහෙම එළිපිට කරන්න දෙන්න ඕනෙද කියන එක නෙමෙයි ප්‍රශ්ණෙ. අපේ සමාජ සම්මතය, ආකල්පය නිසා ඒ අය අසාධාරණයට ලක්වීමයි.

      @hare
      :)

      Delete
  20. තමුන් ඇත්තටම අයත් වන පන්තියට කොකා පෙන්නලා පන්තිය අතිශ්ක්‍රමණය කරන්න ඇගිලි ගැන ගැන ඉන්න අපේරටේ ඇකඩමික් බුද්ධිමත්තු තම නිර්මාණයට පමණක් නොව සිවිල් සමාජයේ තමුන් නිරුපනය කරන ප්‍රතිරුපයටද වියාජයක්ම වෙයි. නිර්මාණ කරණයේදී නිර්මාණයට අදාළ තේමාව මොවුන් වෙළදපොල සංරචකයන් ඔස්සේ තීරණය කරන අතර නිර්මාණයට අදාළ වස්තුබිජය බොහෝවිට කාගෙන් හෝ හොරකම් කරගත්තක් වෙයි ( බාර් එකේදී බොන්න සෙට්වී, දේශපාලන වියපාරවලට බොරුවට සෙට් වී, විශ්වවිද්‍යාල වලදී නිබන්දන, පැවරුම් හා විභාග ප්‍රශ්න හරහා නුතනව අන්තර්ජාලය හරහා). දෙවනුව මෙම නිර්මාණ සමාජගත කරන නඩය එනම් පුවත්පත් තීරු ලිපි ලියන්නන්, විචාරකින්, සම්මාන උලලවල් සංවිදානය කරන්නන්, විනිශ්ය කරුවන් ඉහත වියාජයේම තවත් දිගුවක් වන අතර අවසානයේ අමු බොරුවක් සමාජගතාවේ.මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩනගාගත යුතුඅතර, එය සමාජ වෙනසක් සදහා අතවශ්‍ය වනු ඇත.

    ReplyDelete
  21. //අවුරුදු හතලිස්ගානක් දේශපාලනේ කරලත් ජ.වි.පෙ.ට හැරෙන්ඩවත් බැරිවුන දේවල් මෙන්න ජොලිසීයා කරනවා.//

    හෙහ් හෙහ් කෙළිය නේද අරටුවටම..

    ReplyDelete
  22. (යම් සහෝදරයෙක්/සහෝදරියක් විසින් මෙයට එක්කල පහත කමෙන්ටුව යම් විදිහකින් ඉවත්වී ඇති හෙයින් නැවත එකතුකලා.)
    -------------------------------

    "තමුන් ඇත්තටම අයත් වන පන්තියට කොකා පෙන්නලා පන්තිය අතිශ්ක්‍රමණය කරන්න ඇගිලි ගැන ගැන ඉන්න අපේරටේ ඇකඩමික් බුද්ධිමත්තු තම නිර්මාණයට පමණක් නොව සිවිල් සමාජයේ තමුන් නිරුපනය කරන ප්‍රතිරුපයටද වියාජයක්ම වෙයි. නිර්මාණ කරණයේදී නිර්මාණයට අදාළ තේමාව මොවුන් වෙළදපොල සංරචකයන් ඔස්සේ තීරණය කරන අතර නිර්මාණයට අදාළ වස්තුබිජය බොහෝවිට කාගෙන් හෝ හොරකම් කරගත්තක් වෙයි ( බාර් එකේදී බොන්න සෙට්වී, දේශපාලන වියපාරවලට බොරුවට සෙට් වී, විශ්වවිද්‍යාල වලදී නිබන්දන, පැවරුම් හා විභාග ප්‍රශ්න හරහා නුතනව අන්තර්ජාලය හරහා). දෙවනුව මෙම නිර්මාණ සමාජගත කරන නඩය එනම් පුවත්පත් තීරු ලිපි ලියන්නන්, විචාරකින්, සම්මාන උලලවල් සංවිදානය කරන්නන්, විනිශ්ය කරුවන් ඉහත වියාජයේම තවත් දිගුවක් වන අතර අවසානයේ අමු බොරුවක් සමාජගතාවේ.මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩනගාගත යුතුඅතර, එය සමාජ වෙනසක් සදහා අතවශ්‍ය වනු ඇත. "

    ReplyDelete
    Replies
    1. //මෙනිසා, විදග්ද වියාජයෙන් එපිට වූ සාහිත්‍යක් ගොඩනගාගත යුතුඅතර, එය සමාජ වෙනසක් සදහා අතවශ්‍ය වනු ඇත. "//

      1000% එකඟයි ඔබට. මම යෝජනා කරන්නෙත් ඇත්ත සමාජ වෙනසක් බලාපොරෝතුවෙන යම් නිර්මාණකරුවෙක්/කාරියක් ඉන්නවනං, ලංකාවේ නූතන ජන සාහිත්‍යය වන මේ ලූම්පන් සංස්කෘතික ධාරාවට එන්න කියලා. ඇත්ත මිනිස්සු ඉන්නෙ මෙතන. සුභාවිත කලාවට මිනිස්සු ඕනෙනම් මෙතනින් ගෙනින්න. උඩ ඉඳං අඬගැහුවට බල්ලෙක්වත් එන්නෑ.
      මෙතන ඉන්න ටිකක් අප්පිරියයි තමයි. මොකද ඇත්ත වැඩකාරයො එකෙක් දෙන්නෙක් ඇරුනම අනික් සේරම ඉන්නෙ සල්ලිවලට/පොඩි පොඩිි ආසාවල්වලට ආපු උං. හැබැයි මෙතන තමයි තැන.

      Delete
  23. මෙච්චර කාලයක් අහපු "ළඳුනේ" ටිකක් විතර කුහකයි දෝ කියල හිතුන.
    ඊ උනාට ලලක්ක පොඩ්ඩක් විතර බජාර් ගතියකුත් දෙනුන, අපි කුරුත් ටික ටික හරි කුහකයි

    ReplyDelete
  24. වටින ලිපියක්...!

    ReplyDelete
  25. මම මේ ලිපිය කියෙවුවා. මග හරින්ඩත් හිතිලා අවසානයේ මේ දෙය මෙහි ලියන්ඩ හිතුවා. ගීත දෙක ගැන මම කිසි දෙයක් කියන්නෑ. නමුත් ලදුනේ ගීතය වගේම ලලක්කා ගීතයත් ලියලා තියෙන්නේ පිරිමි දෙන්නෙක්. මේ ලිපිය තුල මතුකරන විදිහට ලදුනේ ගීතය ලියූ කෙනා කුහකයෙක් විදිහටත් ලලක්කා ලියූ කෙනා අවංක ප්‍රකාශයෙක් ලෙසත් ලියලා තියෙනවා. මම දන්නා විදිහට ඔය හැම පිරිමියම මෙම වෘතියේ යෙදෙන්නන්ට කියන්නේ වේසි කියලා. ලලක්කා ගීතය රචනා කරපු කෙනා වගේම එය ගායනා කරන ජොලි සීයා පවා ඔය කියන තරම් මානුෂික නෑ කියලා මම නම් දන්නවා. ලලක්කලා ඉන්න සමාජෙත් ඔය කියන තරම් නිර්ව්‍යාජ් මානුෂීය​ නෑ. ඒක බොරු. ලලක්කා ආදරණීය මවක්, දුවක්, සහෝදරියක් වන්නේ ඇයගේම​ පවුලට පමණි. එයින් බැහැරව ඇය ජීවත් වන සමාජයට ඇය වේසියක් විතරයි. ඔය කියන සහනශීලී, නිර්ව්‍යාජ බැදීම් ලලක්කාගේ සමාජය තුලත් නෑ. එය කවුරු බොරු කරන්ඩ හැදුවත් මම දන්නවා. අපේ සමාජය තුල උස් පහත් බේදයක් නැතිව ලලක්කලාට වේසියන් කියන්ඩ තමයි පුරුදු කරලා තියෙන්නේ. අනික් අතට ජොලි සීයාගේ ගීතය තුලම තියෙන්නේ ඇය කෙරේ ඇතිවූ දයානු කම්පාවකින් එය ගායනා කිරීමේ අරමුණක් නෙමෙයි. සූස්තියක් ගහලා, අඩියක් ගහලා සන්ගීත සන්දර්ශන වලට එන පිරිමින්ට මාරම ආතල් එකක් දෙන්ඩ කරපු උත්සාහයක්. ඔය රචකයා වගේම ජොලිසීයගේ අරමුණත් ඇයගේ වෘතිය, අගේ හැඩරුව​, පසු බිම​, ඇගේ දින චරියාව ගැන සදහන් වන ගීතයක් ලියලා, ගයලා සමාජයට තාවකාලික ආතල් එකක් දෙන්ඩ විතරයි. එතනදි රචකයාවත්, ජොලිසීයාවත්, එය අහන උන් වත් ලලක්කලා හමුවේ දයාබරිත​, මානුෂීය වන්නේ නෑ. හැමෝම කරන්නේ ලලක්කා ගැන කියලා ආතල් එකක් ගැනීමයි. බැලුවම හැමෝම ගීතය අහලා මාරම ආතල් එකක් ගන්නවා. ලලක්කලා හැමදාම වේසියන්. නමුත් ලදුනේ ගීතය වැනී ගීතයක් තුලින් (එහි රචකයා හෝ ගායකයා කවුරු උනත්) එයිට එහා ගිය දැක්මක් දකින්ඩ පුලුවන්. එය අසා රස විද එහි ගැඹුරු අරුත තේරුම් ගෙන ඒ මතින් ලලක්කලා දිහා මානුෂීයව බැලීම එකිනෙකාට සාපෙක්ශ දෙයක්.
    මේ ක්‍රමය තුල ලලක්කලා වගේ අය තව තවත් බිහි වේවි, හැමෝම ​(මාත් ඇතුලුව​) තම සමාජ ජීවිතේ ඊනියා මානුෂික​, දයානුකම්පා සහගත පිරිමින් වෙන්ඩ ගියත් ඇත්ත ජීවිතේ ඔවුන්ට වේසියන්ම කියයි. මට මේ අවස්ථාවේදී මතක් වෙන්නේ එක් බෞද්ධ කථාවක්. බුදුන් කල නගර සෝභනියක් (අද අනුව වේසියක්) බුදුන්ගේ මහෝපාසිකාවක් වී හිටිය කථාවක්. ඒ අනුව අපිට ආලෝකයක් දල්වා ගත හැක්කේ බුදුන්ගේ දහම තුලිනි. ඒ එය අපිට බොහෝ ලග බැවින් හා සංසාර ගත බැවිනි. අවාසනාවට අපේ සමාජය ඒ උතුම් දහම පැත්තකට දමා බොහෝ කලක් ගතවී ඇත​.

    ReplyDelete
    Replies
    1. මුලින්ම ස්තුතියි මේ කමෙන්ටුවට.
      මම කිව්වේ ලඳුනේ ගීතයට සාපේක්ෂව ගත්තාම ලලක්කා 'අව්‍යාජයි' කියන එක. දිනපතා අපට දකින්න ලැබෙන චරිතයක් බොරු අලංකාරවලින් තොරව ගේනවා.

      ඉන් එහාට ඔබ කියන බොහෝ දේ සමග මගේ අවුලක් නෑ. ලලක්කා 'මාර' ගැහැණියක් නෙමෙයි. මම ඇය හෝ ඇගේ සමාජය උත්කර්ෂයට නංවලාත් නැහැ.
      //ලලක්කලා ඉන්න සමාජෙත් ඔය කියන තරම් නිර්ව්‍යාජ් මානුෂීය​ නෑ.// කිසි ගැටළුවක් නෑ. සාමාන්‍ය සමාජයට වඩා ලලක්කලාගේ සමාජ තීරුව පාදඩයි. ඒක ලලක්කාගේ හෝ ඈ සමග වෙසෙන්නන්ගේ විශේෂ වරදක් නෙමෙයි.
      _______
      //අනික් අතට ජොලි සීයාගේ ගීතය තුලම තියෙන්නේ ඇය කෙරේ ඇතිවූ දයානු කම්පාවකින් එය ගායනා කිරීමේ අරමුණක් නෙමෙයි. සූස්තියක් ගහලා, අඩියක් ගහලා සන්ගීත සන්දර්ශන වලට එන පිරිමින්ට මාරම ආතල් එකක් දෙන්ඩ කරපු උත්සාහයක්. //
      ඔබ හරි. මම කියන්නෙ ඒකෙ වරදක් නැති බව. මේ ගීතය තුල ලලක්කා ඉතා සාමාන්‍ය චරිතයක්. ඒ වගේම ඇයව අනුකම්පාවට ලක්කොට හෝ පහත් කොට නැහැ. වෙළඳපොල අරමුණක් මත නිර්මාණය කල මේ ගීතයේ ඉලක්ක පාරිභෝගිකයා සහ ලලක්කා අතර ඇත්තටමත් (පන්තිමය?) මහ වෙනසක් නැහැ.

      ලඳුනේ ගීතයේ දැක්ම ගැන කියනවනං මෙච්චරයි. ලලක්කාට වේසි කියන පහල මැද පන්තියෙන් ඔබ්බට ඉන්න ඊනියා රසිකයින්ට රන්බණ්ඩා සෙනෙවිරත්න යම් 'දැක්මක්' ගේනවා. ප්‍රශ්නෙ තමයි මේ දැක්මට අදාල 'ලඳක්' පොළොවේ නැතිවීම. කෙනෙකුට ඕනෙනම් සින්දුව අහල 'ලඳුනේ' ල ගැන මාර අනුකම්පාවක්/ආදරයක් උපදවාගන්න පුළුවන්. නමුත් ඒ කාටවත් ඔය ආදරය දෙන්න කෙනෙක් මේ මිහිමත හමුවෙන්නෙ නෑ. ඉතින් රන්බණ්ඩා පොරක් වෙනවාට වඩා දෙයක් ඔය ආදරයේ නෑ.

      Delete
  26. මේ ගීත දෙක සන්සන්දනය කිරීම අසාධාරණ බව හැගේ. මන්ද එකිනෙකට වෙනස් කෝණයන්ගෙන් බැලූ නිර්මාණ දෙකක් සන්සන්දනය කර ඇති බැවිනි. ජොලි සීයා යනු මේ පවත්නා සමාජයීය අගතීන් උපහාසයට ලක්කරන ගායකයකු නොව මේ ඉහද පණුවන් දගලන පල් වල ඉහගෙන කෑමට එක්වූ තවත් එකෙකු පමණක් බවත් රචකයාට අමතක වනවා නොව අමතක කරනවා යයි මා සිතමි. පැහැදිලි නැත්නම් ජොලි සීයාගේ “ලේනා ජම්බු ගහේ ආයේ නගී. ආයේ බහී” වැනි සිංදුවක් (මා මේවාට ගීත ලෙස හදුන්වන්නේ නැත) උදාහරණයට ගන්නයැයි යෝජනා කරන්නෙමු. මාගේ අදහස පැහැදිලි නැත්නම් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ “සුදුමල් දෝතක් අතින් දරා මා” ගීතයට ප්‍රී ස්ටයිල් ඩාන්ස් දැමු ගීත ලෝලියෙකුගෙන් විමසන්න.

    ReplyDelete
  27. කියවන්න කලින් හිටපු මම නෙවේ කියෙව්වට පස්සේ මම...
    මට නම් ඇත්තටම ලිපිය මරු !!!

    ReplyDelete
  28. මෙම ගීත දෙකම මගින් එකම දෙයක් ගැන කියවුණත් සමාජයේ පන්ති 2 කක් නියෝජනය කෙරේ. "ලලක්කා" බජාර් පන්තියද , "ලදුනේ" උඩරට රදළ මහන්තත්ව පන්තියද (ලදුනේ චරිතය රන්බණ්ඩා සෙනවිරත්න මහතාට හමුවන්නේ නුවර ය.) මෙම ගීත 2 ක මගින්ම එය නියෝජනය කරන පන්තියට සාදාරනය සිදුකර ඇති බව මට සිතේ.

    බජාර් පන්තියේදී බොහෝවිට සිදුවන්නේ සාමුහිකව ගොඩ යාමකි (එකෙක් හොර කසිප්පු විකුනද්දී අනෙකා ඒ අසල කටගැස්ම විකුණයි) ඒ අනුව ලලක්කගේ නැගණිය ලලක්ක සුර සැප විකුණන අසල කසිප්පු විකුණයි ඒ සුර සැප ගන්න එන පිරිස ඉලක්ක කරගෙනය. නමුත් දෙදෙනාම කරන්නේ නීති විරෝදී දේවල් බව දන්නමුත් නංගීට අවවාද දීමට අක්කට නොහැකි නිසා නොදැක්කා සේ සිටියි. වට්ටි අම්ම කෙනෙකුගේ ළමයි වන ලලක්කා සහ නංගි උපන් දා සිට බජාර් පන්තියේ ඇති සමාජීය වටපිටාවේ හැදුණු චරිත වෙති.

    ලදුනේ, මීට හාත්පසින් වෙනස් සමාජ පන්තියකි, උඩරට රදළ මහන්තත්වයෙන් පිරි සමාජ වටපිටාවක "ලදුනේ" ජීවත් වෙයි. එවැනි සමාජ ඉස්තරයක් තුල මෙවැනි ක්‍රියා ප්‍රසිද්දියේ දැඩි පිළිකුලෙන් හෙලා දකි. නමුත් අප්‍රසිද්දියේ ඒවාට නැබුරු වෙති. "අදුරේ පවු කරන දනා එළියේ රවන" මෙම ක්‍රියාව නිසාම නෑදෑයන් පවා ප්‍රසිද්දියේ තම ඥාතිත්වය ප්‍රකාශ කිරීමට මැලි වන්නේ මැය විශාල වැරදි කාරියක බවට ප්‍රසිද්ද සමාජය තුල පවතින මතය නිසාවෙනි. "නෑයින් නෑකම නොකියන වැරදි කාර ලදුනේ"

    සමාජ පන්තියට සාපේක්ෂව මෙම ගීත 2 කට යොදා ගෙන ඇති වචන සහ පද මාල නිවැරදිය, මන්ද මෙම ලලක්කා සින්දුව හයියෙන් දැම්මොත් ලලක්කා ජීවත් වෙන බජාර් පන්තියේ සාමාජිකයින් සමග ලලක්කටද හරි හරියට නටා ප්‍රීති වීමට පුළුවන්ය. නමුත් ලදුනේ සින්දුව අහන එම කථා නායිකාවට තම ජීවිතය පිළිබද කනගාටුවක් ඇතිවී සියුම් කදුළු බිදුවක් නෙතු අගට නොඑතියි කිව හැක්කේ කාටද?

    ReplyDelete

Follow by Email