Sunday, May 17, 2015

වීරෝදාර රණවිරුවා හෙවත් අසංකයා.....



මට මතකයි හමුදා මළ ගෙයක්. උගේ නම අසංක. මගේ යාළුවෙක්. බැඳලා. දුවෙක් හිටියා. පුදුමාතලන් වලදි මෝටාර් එකක් වැදුනා. ඌ එතනම ඉවරයි.

උගේ බොඩිය ගෙනාවා. අහළ ගම් හතක උන් එකතුවුනා. මහා බැනර් තොගයක් වැටුනා. හැමෝම අවංකවම දුක්උනා. සමහරු ඇඬුවා. බොරුවට නෙමේ. ඇත්තටම.

අසංකයා හොඳ එකෙක්. ඌ යුද්දෙට ගියා. මළගෙදර හර බර දේශනාවල මොන කතන්දර කියවුනත් ඒ ඇයි කියලා මං දන්නවා.  යුද්දෙ දරුණුවටම යද්දි ඌ මැරෙයි කියලා ඌට හිතිලා තිබුනා. ඒත් ඌ හමුදාවෙන් පැනලා ආවෙ නැත්තෙ ඇයි කියලා මම දන්නවා. ඌ කිව්වෙ මැරෙනවනං මැරෙයි කියලා. උගේ ඉරණම යුද්ධය කියලා ඌ පිළිඅරන් තිබුනේ. ඒකෙන් ලැබෙන ඕනෙ දෙයක් පිළිගන්න ඌ සූදානමින් හිටියා. 

ඌට තිබුනේ ඉලක්කයක්. ඌට එදිරිව එන ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කරලා තමුන්ගේ ජීවිතය රැකගන්න එක. ඌව හමුදාවේ ඉහළින් කළමණාකරණය කලා. ‘ත්‍රස්තවාදයෙන් රට ගලවාගැනීම’ වගේ ලොකු දේශපාලන ඉලක්කයක් වෙනුවෙන්. ඌ යන්න ඕනෙ තැන්, කරන්න ඕනෙ දේවල් ඌට නියම කලා. ඒ හැමදේම ඌ ගත්තේ ඉරණම විදිහට.  
 නමුත් උගේ ඉලක්කය වෙනස් උනේ නෑ. ටෙරා ලා හැකිතරම් ප්‍රමාණයක් විනාශ කොට තමුන්ගේ සහ තම හමුදා ඛණ්ඩයේ සහෝදර ජීවිත බේරාගැනීම.
නමුත් නොදන්නා එකෙකුගේ මෝටාර් ප්‍රහාරයකින් ඌ පැරදුනා.

අසංකට මෝටාර් එක ගහපු එකා අද ජීවතුන් අතර ඉන්නවද දන්නෙ නෑ. බොහෝ විට නැතුව ඇති. ඌත් අසංකට වෙනස් වෙන්න විදිහක් නෑ. එක්කෝ ඊලාම් දේශයක ලොකු සිහින ගොඩක් එක්ක ඌත් එල්.ටී.ටී.ඊ යට බැ‍ඳෙන්න ඇති. එහෙමත් නැතිනම් ඌට ඒකට බල කෙරෙන්නැති. කොහොමහරි ඌත් ආපහු හැරෙන්න බැරි යුද්දෙකට ආවා. ඊලාම් දේශයක් වෙනුවෙන් ඌවත් ඉහළින් කළමණාකරණය කලා. ඌටත් යා යුතු තැන්, කල නොකල යුතු දේවල් ඉහළින් නියම කලා. ඒක උගේ යුද ඉරණම. ඒවගේම උගේ ඉලක්කයත් අසංකගේ ඉලක්කයට වඩා වෙනස් වෙන්න විදිහක් නෑ. 

ඒ අනුව ඌ අසංකගේ ඉසව්වට මෝටාර් එකක් ගැහුවා.  ඌ නොදන්නා එකෙක් මැරුණා. හමුදා කාරයෙක්.
ඌ ඒ මොහොතට දිනුවා.

අපි අසංකව රණවිරුවෙක් කලා. අරුන් මෝටාර් කාරයව මහ විරුවෙක් කලා.

රණ විරුවා වගේම මහ විරුවා කියන්නෙත් තක්කඩි වචන. 

මම යුද්දෙට ගියේ නෑ. මැරෙන්න බය නිසා. (හරි හරි... ඔය වෙන වෙන හේතු නිසා යුද්දෙට නොගිය අය මට වඩා පොරවල් කියලා මං පිලිගන්නවා)
මම අසංකයව යැව්වා. ඌ උගේ කැමැත්තෙන් ගියත් ඌ ඉන්නවට හරි මැරෙනවට හරි මම පඩි ගෙව්වා. ඌව වීරයෙක් කලා. ඒ උගේ ඉලක්කය වෙනුවෙන් නෙමේ. ‘රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමේ’ මගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. අසංක බෝයගනේ ඉඳන් පුදුමාතලන් ගියේ උගේ හිතුවක්කාරකමට නෙමෙයි. මගේ උවමනාවට මමයි යැව්වේ. ඌ මැරුණේ මං නිසා.
මගේ ගොදුරක්....!

එහෙම හිතන එක හරි අමාරුයි. ඊට වඩා පහසුයි ඌ රට වෙනුවෙන් පුදුමාතලන් ගියා කිව්වම.
මම වගේද රට? එතකොට ඌ වීරයෙක්. රණවිරුවෙක්. ....!!

යුද ඉරණම ජයගන්න බැරිඋන අසංකලාත්, මෝටාර් කාරයොත් විශාල ගානක් මළා. තවත් විශාල ගානක් යුද ඉරණමත් එක්ක සටන් කරලා දිනුවා. අපිට ඕනෙ විදිහටම යුද්දෙ දින්නා. අරුන් හිතපු නැති විදිහට යුද්දෙ පැරදුනා.

අසංක කියන්නේ මම බාරගන්න බයවුනු ඉරණමක් කිසිම පැකිළීමකින් තොරව අරගත්තු එකෙක්. බය නැති එකෙක්. ඌ පැරදුනා.  
එතකොට ඌව පුදුමාතලන් යවපු, ඌට වඩා මරණෙට බය මම දිනුම්ද?
(ආ.. හරි හරි.... රට දිනුම්නේ නේද?)

ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීම කියන ලොකු ජය සමරන හැම මොහොතකම අර යුද ඉරණමත් එක්ක ජීවත්වුනු පොඩි මිනිස්සු යට යනවා. මම වෙනුවෙන් මැරුණු අසංකලා වගේම බඩගින්න, වෙහෙස, නිදිමත, එක්ක අප්‍රමාණ ගැහැටක් විඳගෙන යුද ඉරණම ජයගත් මිනිස්සු එක ගොඩේ ‘රණ විරුවන්’ වෙනවා. අසංකයව පුදුමාතලන් යවපු මමත් ජයග්‍රාහකයෙක් වෙනවා. ඔක්කොම දිනුම්.

කකුලේ තුවාලයක් හැදිලා ඒක සුව වීම සමරන්න දෙයක් නෙමෙයි.  එහෙම තුවාලයක් හැදීම ගැන නැවත හිතන්න ඕනෙ මොහොතක්. ඒ තුවාලය සුව කරන්න දුක් විඳපු මිනිස්සු ගැන කෘතඥ වෙන්න ඕනෙ මොහොතක්. මගේ තුවාලයක් වෙනුවෙන් මිනිසුන් කොටසක් අපා දුක් විඳවීම ගැන අඬන්න ඕනෙ මොහොතක්.

සිංහල දෙමළ ඔක්කොම.

දැන් මේක කියෙව්වාම වැඩිපුරම වැටෙන කමෙන්ටුව තමයි  "රට පුරා බෝම්බ පිපිරෙන එක නැවතුනේ නැත්තං ඕක ලියන්න හරි උඹ ජීවතුන් අතර ඉඳියිද?" කියන එක.
දැම්ම උත්තරේ දීලා තියන්නං.
“ඒකට තමා ඕයි මම අසංකයව පුදුමාතලන් යැව්වේ...!!”

44 comments:

  1. Eka thamayi niyama yatharthaya!Visithuru bhasawen mona monawa kiwwath!Mma oba samaga seeyata seeyak ekangayi!

    ReplyDelete
  2. Eka thamayi niyama yatharthaya!Visithuru bhasawen mona monawa kiwwath!Mma oba samaga seeyata seeyak ekangayi!

    ReplyDelete
  3. යුද්ධය කියන්නෙත් එක්තරා දේශපාලන ගේම් එකක්. දිනුවෙ කපටි දේසපාලුවො සැට් එක විතරයි

    ReplyDelete
  4. නූතන ජන කවි (2010)

    මාවිල් ඔයේ වක්කඩ හැංගුව හකුරූ
    පුදුමාතලන් වෙරලේ දියවුනු අයුරූ
    රට වටකර බැන්දත් සුවිසල් පවුරූ
    ලෝ දම් කෙලෙස වලකනු හැකිවෙද, මිතුරූ?

    අවි ගත්තෝ මුලින් අවියෙන් වැඩ ගනිතී
    අවසානයේ උන් හැම අවියෙන් නසිතී
    ලෝක සොබාවය එහෙමයි දන කියතී
    මරණ ලයිස්තුව නිමි දැයි සැක දැනෙතී

    තිස් වසරක් යුධ ගින්නේ දැවුනු සඳ
    ඇස් අන්ධව කන් බිහිරිව නොයාවි ද?
    සිය දහසක් මළ බෙර හඬ මැදින් හිඳ
    මොන හිතකින් කිරිබත් රස විඳින්න ද?

    යුද්දෙට අරන් ගිය කඩු මුවහත ඇතුව
    ගෙදර තියන් ඉන්නද, අද යුද නැතුව?
    හෙරලි කොස් පැහෙන තුරු නැත ඉඳ යුතුව
    පොලොස් ගැට කපමු අපි හෙට එකමුතුව

    ගසා දුම් බඹර පරපුර එලවාපං
    කඩා ගත් මීය රස කරමින් කාපං
    මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
    එපා ලෙවකන්න කෑ අත හෝදාපං

    මිරිස් නොව ඉඟුරු කා දිව දැවේවි ද?
    පෙරලූන ඔරුව මත කෙම් බිම හැදේවි ද?
    ලබ්බට තැබුව අත පුහුලට තැබේවි ද?
    අග්ගල ගිලපු යකු වෙහෙරත් ගිලීවි ද?

    http://www.boondi.lk/article.php?ArtID=426

    ReplyDelete
  5. නහිවේරෙන වේරානි .....

    ReplyDelete
  6. ඔක්කොමත් හරි අන්තිම කෑල්ලත් හරි. අපේ අසන්කලාව පුදුමාතලන් යැව්වෙ අපි

    ReplyDelete
  7. ඇයි අප්පා අපි බෝධි පූජා තිබ්බේ. පටි තද කොරගෙන හිටියේ, ඉස්කෝළේ ගේට්ටුව මුර කළේ. එක සැරයක් ප්‍රභාකරන්ට කරපු කොඩිවිනේකටත් දාහක් දුන්නා. එතකොට අපි මුක්කුද...?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ප්‍රභාට කොඩි විනෙට රුපියල් දාහයි ..ධර්ම රාජ්‍ය හදන්නම රුපියල් සීයයි ....බලා ගෙන ගියාම ලාබ බඩුවේ හිලක් කියන එක ඇත්ත

      Delete
  8. චාමියගේ කතාව කෙටි කතාවක් විදිහට ගත්තොත් යම් රසයක් ගැබ්වෙලා තියෙනවා.

    ඕනේ සමාජයක පුද්ගලයෙකුට පැවරුන යම් කාර්‍යයක් තියෙනවා. හැම කෙනාටම දොස්තරවෙරයෙකු වෙන්න බෑ, ඉන්ජිනේරුවෙකු වෙන්න බෑ, සාහිත්‍යය ධරයෙකු වෙන්න බෑ ඒ වගේම යුධ සෙබලෙකු වෙන්න බෑ....

    මී මැසි ජනපදයක, කුහුඹි යනපදයක එසේ නැතිනම් වේයෝ ජනපද සාදන විට හැම මී මැස්සටම පැවරුණ යම් කාර්‍යයක් තියෙනවා. මල් පැණි එකතු කරන්න යන්නේ ඒ වෙනුවෙන්ම උපන් මී මැස්සෝ. උන්ට විතරයි මල්වල පැණි උරන්න පුළුවන් අවශ්‍යය අංග පිහිටලා තියෙන්නේ. ඒ වගේම මී වදය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන්ම උපන් මී මැසි සෙබළු ඉන්නවා. උන්ට මල් පැනි උරන්න බෑ, උන්ට තියෙන්නේ දශ්ඨ කරන්න පුළුවන් උපාංග විතරයි. ඒ වගේම මී වදයේ පිලව් ආරක්ෂා කරන්නත්, උන්ට කවා පොවා ඇප උපස්ථාන කරන්නත් ඒ වෙනුවෙන්ම ඉපදිච්ච කම්කරු හමුදවක් ඉන්නවා....


    ස්වභාවදහමේ මේ නියමයන් අඩු වැඩි වශයෙන් වානර සමාජයේත් තියෙනවා. ඒ හැකියාව රැගෙන න්නේ ජාන මත. යුධ සෙබලෙක් හමුදාවට බැඳෙන්න ඕනේ කියලා එන චෛතිසිකය පහලවෙන්නේ ඔය කියන විදිහහට දරිද්‍රතාවය කියන සාධකය මතමයි කියලා මම පිලිගන්නේ නෑ. ඒකට තමන් පරම්පරාවෙන් රැගෙන ආපු ජාන සම්බන්ධයක් තිබිය යුතුයි. පවුල රැකගන්න කියලා මරණය නියත යුධ සෙබලෙකු වෙනවට වඩා මේසන් බාස් කෙනෙක්ට අත් වැඩ දීලා ආමි කාරයෙක් හොයනවට වඩා සල්ලියක් හම්බ කරන්න පුළුවන් රටේ ඔය දරිද්‍රතාවය නිසා යුද්දෙට යනවා කියන්නේ පට්ටම මෝඩ ජෝක් එකක්...

    ReplyDelete
    Replies
    1. \\ඔය දරිද්‍රතාවය නිසා යුද්දෙට යනවා කියන්නේ පට්ටම මෝඩ ජෝක් එකක්\\

      විචාරකගෙ උත්තරේ බැලුවාම නං එහෙම හිතෙන්නෙ නෑ දුමී.

      මගේ අදහස , චාමි කියනදේ තමා තිත්ත ඇත්ත. ඒක මූණට කිව්වාම අපිට රිදෙනවා. පේන විදිහට , ඔබේ කතාව අපි අපේ පසු තැවීම , සාධාරණීකරය කරගන්න කියන එකක්. එහෙම පසු තැවීමක් නැත්නම්, ඒ හර්ද සාක්ෂියක් නැති, දේශපාලකයෙක් වගේ කෙනෙක් වෙන්න ඕනෙ.

      සමහර විට මං වැරදි වෙන්නත් පුළුවන් , ඒත් මේ මට හිතෙන හැටි

      Delete
    2. සාරවිටට එහෙම ජාන සම්බන්ධයක් නැතෙයි? ඒකෙයි ඔහේ යුද්දෙට නොගොහිං රට ගියේ?

      Delete
    3. විචාරක කියන්නෙ අපේ බ්ලොග් මිත්‍රයෙක්. ඒත් ඔහු යුද්දෙවත් හමුදාවෙවත් මහා පොදු සාධකය නොවෙයි. ආර්ථික ප්‍රශ්න නොතිබූ හෝ වෙනත් හොද රැකියා සොයාගත හැකිව තිබූ බොහෝදෙනා යුද්දෙට ගියා.
      ඒ කාලෙ සටන් බිමෙන් පිටතත් යුද්දයක් තිබුනා. යුද්ධයට අවශ්‍ය ජනමනස සකස් කිරීම. යුද්දෙට විරුද්ධව කොටින්ට පක්ෂව ( විවිධ ආර්ථික සම්බන්ධකම් නිසා ) නරුමයො පිරිසක් විකාර කතා කිව්ව ලිව්ව. ඒවට උත්තර දෙන්නත් සිද්ධ වුනා

      Delete
    4. //පවුල රැකගන්න කියලා මරණය නියත යුධ සෙබලෙකු වෙනවට වඩා මේසන් බාස් කෙනෙක්ට අත් වැඩ දීලා ආමි කාරයෙක් හොයනවට වඩා සල්ලියක් හම්බ කරන්න පුළුවන් රටේ ඔය දරිද්‍රතාවය නිසා යුද්දෙට යනවා කියන්නේ පට්ටම මෝඩ ජෝක් එකක්...// ඔබ මේ රටේ තත්වය හරියට තේරුම් අරන් නෑය කියල හිතෙනවා. ඇතුල් පැත්ත උඩ ඉඳන් බැලුවට පෙන්නේ නෑ. බැහැලාම බලන්න ඕනේ.
      යුද්දෙට ගිය සොල්දාදුවෝ හැමදාම අපේ හිතේ ඉන්නවා. ඔවුන් යුද්දෙට ගියේ අපි නිසාය කියන පසු තැවීම මගේ හිතෙත් හැමදාම තියෙනවා. කොටි බංකරයකට මෝටාර් ගහල විනාස කරපුවාම අපි හුරේ දානවා. ඒත් ඒ විනාස කරපු සොල්දාදුවෝ රෑට නිදා ගන්න බැරුව දුක් විදපු හැටි මම අහල තියෙනවා..

      Delete
    5. සාරවිටට එහෙම ජාන සම්බන්ධයක් නැතෙයි? ඒකෙයි ඔහේ යුද්දෙට නොගොහිං රට ගියේ?

      ඔව් මම යුද්දෙට බයයි....!

      Delete
  9. ඒ කාලේ ඉඳලම සූස්ති ගහනවද? එහෙම නැතුව අසංක මැරුණට පස්සෙද සූස්ති ගැහිල්ල පටන්ගත්තේ. තමුසේ වගේ සූස්ති කාරයන්ට මේ වගේ මඤ්ඤං එනවා.

    ReplyDelete
    Replies
    1. උඹලගේ අම්ම තමා මට සූස්ති ගහන්න පුරුදු කරේ. උඹ වගේ එකෙක් වදාපු එක ඇරෙන්න මරු ගෑනි.

      Delete
  10. අමුතුම විග්‍රහයක්.... වෙනස්ම කෝණයක්... පට්ට....

    ReplyDelete
  11. ///මගේ දේශපාලන උවමනාව වෙනුවෙන්. අසංක බෝයගනේ ඉඳන් පුදුමාතලන් ගියේ උගේ හිතුවක්කාරකමට නෙමෙයි. මගේ උවමනාවට මමයි යැව්වේ. ඌ මැරුණේ මං නිසා.
    මගේ ගොදුරක්....!

    එහෙම හිතන එක හරි අමාරුයි. ඊට වඩා පහසුයි ඌ රට වෙනුවෙන් පුදුමාතලන් ගියා කිව්වම.
    මම වගේද රට? එතකොට ඌ වීරයෙක්. රණවිරුවෙක්. ....!!/// ෂෙල්වෙඩියක් කණ ලඟ පිපිරුවා වගේ..

    ReplyDelete
  12. මම වටේ ගිහින් අමාරුවෙන් කියපු එක උඹ බොහොම සැහැල්ලුවෙන් මට වඩා හැඩේට ලියලා තියෙනවා.. මේක මරු!

    ReplyDelete
  13. මම නම් යුද්දෙ දකින්නෙ ජාතිවාදී ආස්ථානයක ඉදල නෙවි.
    ශිෂ්ට මිනිසුන්ට ජීවත්වීමට ඉඩ දීම සදහා ම්ලේච්ඡත්වය පරාජය කිරීමක් ලෙස. හිට්ලර්ගෙ නාසි ජර්මනියෙ අනතුර ලෝකෙ දැනගත්තෙ පෝලන්තය වැටුනට පස්සෙ . චෙකොස්ලෝවැකියාව අල්ලගත්තට පස්සෙ. රුසියාවට නාසීන් ඇතුළුවුනාටපස්සෙ. රුසියන් හමුදාවපස්සට තල්ලු වුනේ මිලියන ගනනක් ජීවිත අහිමි කරමින්.

    නාසි ජර්මානුන්ගෙ කදුළු සීතලයි කියල කවි ලියපු අය ඒ කාලෙත් හිටියා. අධිරාජ්‍යවාදීන්ගෙ යුද්ධය පරාජය කරමු කියල ට්‍රොට්ස්කිවාදීන් පෙලපාලි ගියා. ලස්සන නාට්‍ය හැදුව. මේ හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව සේවය කළේ මානවවිරෝධී ම්ලේච්ඡත්වය වෙනුවෙන්.

    ඒ වාගේ ප්‍රභාකරන්ගෙ ත්‍රස්තවාදය ත්‍රස්තවාදයක් ලෙස නොදකින පිරිසක් ඉන්නවා. හිට්ලර්ට එරෙහිව සටන් කළෙත් සාන්තුවරයො නෙවි. අන්‍ය මත නො ඉවසන මර්ධනකාරී රතු හමුදාව. නමුත් අඩු නපුරතෝරාගැනීමේ පදනම මත පොදු පෙරමුණකට ආවා. වෙන්න ඕන ඒකයි. සෝබන යුධ විරෝධීන් වෙන එක නෙවි. ම්ලේච්ඡත්වයටයි එරෙහි වෙන්න ඕන

    නිර්මානය සුපිරියි. රස වින්ද . තුති.

    ReplyDelete
  14. මේක කියවද්දී මට මතක්වුනේ මම පුංචි එකා සන්දියේ වුන සිද්ධියක්.

    ඒ කාලේ අපේ තාත්තා පුරුද්දක් විදියට ගමේ වැදගත් අවස්තා වල කතා පවත්වනවා. මට ඒ දවස්වල හිටිය ලොකුම වීරයා තමයි තාත්තා. හාමුදුරුවන්ගෙන් අවසරගන්න තැන ඉඳන් අවසාන වශයෙන් කියලා ඉවර කරන තැන වෙනකල්ම ඒ හැමදාම මම ඇහිපිය ගහන්නේ නැතුව තාත්තා දිහා බලාගෙන ඉන්නවා.

    ඔය පුරුද්ද කැඩුනේ එකම එක දවසක විතරයි. ඒ අපේ ගමේ යුද්දෙට ගිහින් මැරුණ එකම රණවිරුවා, කුමාරයියගේ මරණේ දවසේ. එදා තාත්තා විස්තර කරද්දී තමයි මට වැටහුනේ කුමාරයියා කරලා තියෙන්නේ කොච්චර උතුම් ක්‍රියාවක්ද කියලා. කොටින්ම තාත්තලා මොන වීරයොද කුමාරයියානේ යකෝ නියම වීරයා කියලා එදා මට හිතුනා.

    වෙනදා කතාවක් කරද්දී ඇහිපිය ගහන්නේ නැතුව තාත්තා දිහා බලාගෙන ඉන්න මම, එදා තාත්තාගේ මුළු කතාවම ඉවරවෙනකල් බලාගෙන හිටියේ කුමාරයියගේ සීල් තියපු පෙට්ටිය දිහාවේ. "මේ වගේ වීර දරුවෙක් හදපු මව්....." කියන තැනදි විතරක් එංගලින් නැද්දා දිහා බලන්න පොඩ්ඩක් ඇස් අහකට ගන්න ඇති..

    වෙඩි මුරත් බලලා ආපහු එනගමන් ඒ වෙනකොට මගේ හිතේ පුපුරු ගහමින් තිබුණු අදහස මම තාත්තට කිව්වා.

    "තාත්තේ මමත් ලොකුවෙලා හමුදාවට යනවා."

    ඔළුව හිල්වෙන තරම් හයියෙන් ටොක්කක් ඇනපු තාත්තා මට කෑගැහුවා.

    "තොට පිස්සුද....? මෙච්චර අමාරුවෙන් ලොකුමහත් කලාට පස්සේ මැරෙන්න යන්නේ....!"

    ReplyDelete
    Replies
    1. Please write more! You've got talent !!! This is a superb piece of work!

      Delete
    2. පෝස්‍ටුව වගේම කොමෙන්‍ටුවත් මාරයි

      Delete
    3. නියම කොමෙන්ටුවක්.

      Delete
  15. අපි අමතක නොකළයුතු පරම සත්‍යයක් තිබෙනවා. ඒ තමයි, යුද්ධය ඇති කරන්නත්, යුද්ධය අවසන් කරන්නත් මුල් වෙන්නේ, ඒ ඒ රටේ පාලකයන් කියන එක. යුද්ධයක් අවුරුදු පනහක් හැටක් වුනත් ඇදගෙන යන්න පුළුවන්. කෙටි කාලයකින් අවසන් කරන්නත් පුළුවන්. උදාහරණයක් ෆෝල්ක්ලන්ත යුද්ධය. http://en.wikipedia.org/wiki/Falklands_War

    යම් යම් රටවල ඇතිවන වාර්ගිකත්වය පදනම් කරගත් යුද්ධ එහි මුහුණුවර විවිධාකාරයෙන් වෙනස්වෙමින් දීර්ඝ කාලයක් ඇදීයාම ලෝකය පුරාම සිදුවෙනවා. ඉන්දියාව, පාකිස්ථානය, මැදපෙරදිග සමහර රටවල්, මේ ආකාරයේ යුද්ධ වල පැටලී සිටිනවා සියවස් ගණනක් තිස්සේ.

    පහුගිය කාලයේ අපේ රටේ තිබුණු යුද්ධයට දායක වුනු, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ අතිමහත් බහුතරය, ඈත ගම්වලින් පැමිණි, උසස් අධ්‍යාපනයක් නොලත් අය. එයිනුත් බහුතරය, ත්‍රිවිධ හමුදාවට බැඳුනේ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසයි. මේ කතාවේ සොල්දාදුවාත්, තම මරණය තුළින් පවුලේ ආර්ථික අභිවෘද්ධිය ප්‍රාර්ථනා කළ බවක් පෙනෙනවා.

    මා දැක ඇති පරිදි, යුද්ධයේදී 0.1% ක් පමණ තමයි බයවී ක්‍රියා කරන්නේ. ඉතා කලාතුරකින් තමයි සොල්දාදුවකුට තනිව සටන් කරන්න වෙන්නේ. සෑම විටම ඔහු සටන් කරන්නේ කණ්ඩායමක් සමගයි. තනිව සටනට මුහුණදුන් අයගෙන් 99% ක් තෝරාගන්නේ මරාගෙන මැරෙන ප්‍රතිපත්තියයි. (කපිතන් සාලිය අලදෙණිය, කෝප්‍රල් කුලරත්න වැනි අය)

    හමුදාවට බැඳෙන්න 'ආසයි බයයි' වර්ගයේ අය එදත් දැක්කා, අදත් දකිනවා.

    ReplyDelete
    Replies
    1. වීරෝධාර යන්න වීරෝදාර යනුවෙන් නිවැරදි කරන මෙන් ඉල්ලනවා.

      වීර + උදාර = වීරෝදාර

      Delete
    2. විචාරක තුමා පොඩ්ඩක් කියන්න බැරිද අර යුද්දෙට බයේ දන්න තරං ඇල්ලිලි අල්ලලා පුහුණු නිලධාරි මාරුවක් අරං ඉද්දි මාදුරු ඔයේදී පෙරෙඩ් එක බාර දීලා ආපසු හැරීමට ගිහින් කකුල් පැටලිලා වැටුන වෙලේ කොල්ලෝ හිනා වෙලා ප්ලැටුන් එකකටම පනිෂ්මන්ට් දීපු කතාව.

      Delete
  16. යුද්ධය ගැන ලියවුණු අති විශිෂ්ට සාහිත්‍ය ලේඛනයක්. කෙටි කතාවක් වෙන්නත් පුළුවන්. මොකක් වුණත් මාර එකක්.

    ReplyDelete

  17. [[කකුලේ තුවාලයක් හැදිලා ඒක සුව වීම සමරන්න දෙයක් නෙමෙයි. ]]

    සමරන ආකාරය අනුව රඳා පවතිනවා. කකුලේ තුවාලෙන් ගැලවුනේ අද ඒකට මාව හොස්පිටල් ගෙනිච්ච ලොකු අයියා බයිසිකලේ හප්පගෙන උගේ කකුලම කැපුවා නේද? ආදී ලෙස තුවාලය සහ එහි අතුරුපල ගැන කරන සැමරුමක කිසිම වරදක් නැහැ. එහෙත් තුවාලය සුව කල දවසට බර්ත් ඩේ පාටිය වගේ එකක් දාන එක අවුල්. විශේෂයෙන්ම පාටියට ලොකු අයියට එන්න නොදී.


    [[ එහෙම තුවාලයක් හැදීම ගැන නැවත හිතන්න ඕනෙ මොහොතක් ඒ තුවාලය සුව කරන්න දුක් විඳපු මිනිස්සු ගැන කෘතඥ වෙන්න ඕනෙ මොහොතක්. මගේ තුවාලයක් වෙනුවෙන් මිනිසුන් කොටසක් අපා දුක් විඳවීම ගැන අඬන්න ඕනෙ මොහොතක්.]]

    මං හිතන්නේ චාමිත් කියන්නේ මම කියනවා වගේ කතාවක්. මෙයත් එක්තරා ආකාරයක සැමරුමක්. වෙන්න ඕනේ මේක තමා

    පහත දැක්වෙන්නේ යුද්ධය ක්ලොස්ලි ෆොලෝ කල කෙනෙකු හැටියට 2009 මැයි විසි වෙනිදා වෙද්දී ලංකාවේ සිදුවෙමින් තිබු ක්‍රියාකාරකම් ගැන එදා ඩිෆෙන්ස්වයර් බ්ලොග් පෝස්ට් එකේ දාපු කොමෙන්ටුවක්. මම දැනුත් ඉන්නේ මේ මතයේ. "යුද ජය සැමරුම" කියන එක සම්පුර්ණයෙන්ම වරද්ද ගත්ත රටක් ලංකාව. කොටින්ම ඒක ගණන් ගන්න නොවටිනා දෙයක් හෝ හද්ද චාටර් සිද්ධියක් ලෙස දකින ප්‍රතිවාදී චින්තනයත් ඒ වරදවා ගැනීමේම කොටසක්.

    -----

    I feel robbed, and offended.Why I'm hurt is for the euphoria. Road monkey show. Think of war heroes and their families. Even the designated holiday was granted to those who did nothing. Soldiers are still in battle grounds. How would you feel if your loved one is disabled or dead and road monkeys are dancing around your house? Do you not feel that sorrow is yours and joy is theirs. Don't you feel that you're robbed of the celebrations.

    I do. I have never lost any relative, none in military anyway. Nor have I lost a close frnd either. But I was so much into it that entire SLDF were like my own family members. I feel their pain, and I cannot disco on roads.

    Victory so great and noble... is dissolved in Arrack and drained into the ditch with ragged remains of national flags. The money they wasted in bars was enough to sponsor all Ranaviru kids for entire next year.

    Hence I feel robbed. I can't help but whine. Call me a pessimist.

    ReplyDelete
    Replies
    1. You are not a pessimist. You are an idiot if you still call that a "Victory". War only has a beginning and an end.

      Delete
  18. gonek balana gon vidihak :D :D

    ReplyDelete
  19. යුද්දය මහා කුණාටුවක් වගේ. ලස්සන ජීවිත දහස් ගනනක් බිළි ගත්තා. දස දහසක් ජීවිත කඩලා බිඳලා දැම්මා. ඒත් සමහරු යුද්දයෙන් හැදුණා. සොල්දාදුවන් ගේ රැෂන් වලින් ගහපු සමහර නිලධාරීන් ගෙවල් දොරවල් හදා ගත්තා. ආයුධ ගෙන්වපු දේශපාලකයෝ කොමිස් වලින් කෝටි ගනන් උපයා ගත්තා. යුද්දය වෙළඳන් කරපු එන් ජී ඕ කාරයොත් තමන් ගේ ගතමනාව සොයා ගත්තා. ඒත් අපි දුප්පත් සොල්දාදුවෝ අපේ බිඳුණ ජීවිත හදාගන්න තවමත් සටන් කරනවා.

    ReplyDelete
  20. ගොඩක් උන් "විරු සැමරුම්" අල්ලගන්න තැන වැරදියි. ඔව් ඒක ඇත්ත.
    ඒත් අපි හරි තැනින් අල්ලගෙන ඉන්නවා කියන අයත් ඒක අල්ලගෙන තියෙන්නේ වැරදි තැනකින්.

    සිංහල දෙමළ අර්බුදයට ඉතිහාසයක් තියෙනවා.
    අපි ඒ සමස්ත ලයිෆ් සයිකල් එකම අල්ලගන්න ඕන.

    සිංහලයා සහ දෙමළා කියන දෙකොට්ඨාසෙම ඉන්දියාවේ උතුරේ ඉදලා සහ දකුණේ ඉදලා ලංකාවට සංක්‍රමණය වුනු දවසේ ඉදලා මේ වෙනකම් මැරි මැරි ඉපදි ඉපදි වෛරය පිරිමහ ගන්නවා.

    වෙලාවක ආරිය චක්‍රවර්තිගේ හමුදාවේ තවත් කාලෙක දුටු ගැමුණුගේ හමුදාවේ කාලිංග මාඝගේ හමුදාවේ පරාක්‍රමභාහුගේ හමුදාවේ සංකිලිගේ හමුදාවේ සපුමල් කුමාරයාගෙ හමුදාවේ;
    සුද්දා අවසන් වතාවට ලංකාව සිලෝන් කියලා එක්සේසත් කළාට පස්සේ චෙල්වනායගම්ගේ සටන් සඟයෙක් විදිහට බණ්ඩාරනායකගේ සටන් සඟයෙක් විදිහට අන්තිම වතාවට ප්‍රාභාකරන්ගේ හමුදාවේ, සරත් ෆොන්සේකාගේ හමුදාවේ.
    අපි කී සැරයක්නම්,
    ආත්ම කීයක්නම්
    සිංහල දෙමළ කියලා මරාගෙන මැරිලා,
    මාරගෙන ඉපදිලා ඇතිද..?

    දැන් සටන ඉවරද..?

    මේක ඉවර වෙන සටනක් නෙමෙයි..!
    මේක ඉවර වෙන වෛරයකුත් නෙමෙයි..!

    ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ..!

    ReplyDelete
  21. charmi ayi ban uba liyanne nethhe ?

    ReplyDelete
  22. මාරයි! අපි අමාරුවෙන් කියන්න හදන එක ඔයා ගින්නක් නැතුව නියමෙටම ලියලා තියෙනවා.

    ReplyDelete
  23. හොඳ කතාව මල්ලි. මම එක පාරක් දෙමල යාලුවෝ සහ තව වාමාංශික සහෝදරයෝ දෙන්නෙක් එක්ක කතා කලා. උන් මට කිව්වා ආමි එකේ කොල්ලෝ සල්ලි වලට දුප්පත් කමට සටන් කරන්නේ. ඒ නිසා අපි යුද්ධය දිනනවා කියල. මම උන්ට කිව්වා දෙමල කොල්ලෝ දුප්පත් කමට රස්සා නැති කමට කුලවාදයට මහා ජාතියේ පිඩනයට එරෙහිව ඒ දුප්පත් කොල්ලෝ එක්ක එකතුවී අරගල කරන්නේ නැතිව මරාගෙන මැරෙන එකෙන් වෙන්නේ දෙමල කොල්ලෝ මැරෙන එක විතරයි. 1971, 1988 දෙකෙන්ම ඔප්පු වුනේ නරෝද්නිකවාදී විධිහට මිනි මරමින් සටන් කිරීම හැම වෙලේම අවසන් වෙන්නේ පරාජයෙන් කියල. ළමයි දෙමාපියන්ගේ විරෝධයෙන් බලෙන් උස්සන් ගිහිල්ල කරන සටනින් විමුක්තිය දෙන්නේ ඒ දෙමාපියන්ටද කියල මම ඇහුව? උන් මට කිව්වා ජාතිවාදියෙක් කියල. මම අනියමින් සේවය කරන්නේ ජාතිවාදයට කිව්වා. මම උන්ට කිව්වා ධනපති ආණ්ඩුවක් ඕන වෙලාවක යුද්ධෙන් ජය ගන්නවා. එක කිව්වේ 2003 විතර.සොල්දාදුවෝ පඩියට සේවය කලත් නැතත් කියල. මගේ ළමයි යුද්ධයකට යනවට මම කැමති නැහැ. ඒ නිසා මම කවදාවත් යුද්ධයකට උදව් කරන්නේ නැහැ. මම තර්ක කරන්නේ රාජපක්ෂ මහතා හිටියත් නැතත් යුද්ධය දිනනවා. ඉන්දියාව කොටින්ට උදව් දුන්නේ නැති නිසා. ඉන්දියාව එරෙහි වුනානම් ලංකාව කවදාවත් කොටි පරදවන්නේ නැහැ. රුසියාව චීන ය පැත්තෙන් ආයුධ මොනවා ආවත් ඒකයි සත්‍යය. ඇමෙරිකාවයි බ්‍රිතාන්යයි රඳවා ගෙන හිටියේ ඉන්දියාව. රනිල් වික්‍රමසිංහ තමා කරුණාව කැඩුවේ. ප්‍රභාකරන්ට ඒක තේරුණ නිසා තම මහින්දට එන්න උදව් කලේ. අපි බෙදිලා වාද කරන එකේ තේරුමක් නැහැ. ඇත්ත වටහා ගන්නේ නැතුව.

    ReplyDelete
  24. නියම වෙඩිල්ලක් !!!!!!!

    ReplyDelete
  25. නියම අකුණ වදින්න ඕන හැම තැනටම නියමෙටම වදින්න ලියලා තියෙනව.

    ReplyDelete