Tuesday, May 8, 2012

බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටීමයි !


මා ජීවත්වන්නේ ලංකාවේය. වර්තමානයේ මෙහි ජීවත්වෙනවා යනු එදිනෙදා දවස ගැට ගසාගැනීමකි. රටේ අනාගතය අතිශය බියකරු බව පෙනේ. ගැලවීගත නොහෙන දැවැන්ත ණය උගුලක රට පටලැවී ඇත. වාණිජ ප්‍රාග්ධනය කොන්දේසි විරහිතව මා ප්‍රියකරන සියළු දේවල් කැබලිකොට විකුණමින් තිබේ. 

රටේ ආර්ථිකය යනු විදේශීය ජාවාරම්කාර කොම්පැණි කිහිපයක් සහ දේශීය ජාවාරම්කාරයන් කිහිපදෙ‍නෙකුට, සාමාන්‍ය මිනිසුන් විසින් ඉතා දුක්විඳ උපයන දේ කිසිදු අනුකම්පාවකින් යුතුව ගසාකෑමට පූර්ණ නෛතික වරප්‍රසාද ප්‍රදානය කොට ඇති මාෆියාවකි. සියළු මාධ්‍ය යනු මෙම අසික්කිත වෙළඳ මාෆියාව/දූෂිත පාලක හවුල වෙනුවෙන් බිලිවන සාමාන්‍ය ජනයා තාවකාලික මෝහනයකට පත් කරනු ලබන ජාවාරම්කරුවන්ගේම ඉන්ද්‍රජාලයකි. ‍

අවස්ථාවාදී අසික්කිත පවුල් දේශපාලනය ඔඩුදුවා ඇත. රටේ නීතිය යනු පාලක හවුල් විසින් අප මත නිර්මාණය කරනු ලබන ෆැන්ටසියක් පමණකි. මහ පොලොවේ එවැන්නක් නොමැත. අදහස් ප්‍රකාශණයේ නිදහස කවදත් තිබුණේත්, ඉදිරියේදී ඇතිවන්නේත් නැත.

කලාව යනුවෙන් තවදුරටත් දෙයක් නැත. කලාව නමින් සිදුකරන සියල්ල කෑලි ක්‍රමයට නිෂ්පාදනය කරන පාරිභෝගික භාණ්ඩ වේ. එනිසාම කලාකරුවන් යනුවෙන්ද කොටසක් නැති අතර කලා වෙළඳපොල වෙනුවෙන් යම් නිෂ්පාදනයන් සිදුකරන සුළුතර නිෂ්පාදකයන්/විචාරකයන් නමැති බ්‍රෝකර්වරුන්/ශිල්පීන් නමැති ශ්‍රමිකයන් පිරිසක්ද, රසිකයන් නමැති පාරිභෝගිකයන් පිරිසක්ද පමණක් ඇත.

රටේ "ජනතාව" යනුවෙන් කිසිවෙකුත් නැත. මෙම සියළු අගතීන් පොල්ගස්, කොස්ගස් වැනි ස්වභාවික දේ ලෙස ගන්නා ඔවුහු එදිනෙදා දිවි ගැටගසා ගැනීම සඳහාම පාලකයනට නොදෙවෙනි තරම් කපටි සහ අවස්ථාවාදී නරුමයන් බවට පත් වෙමින් යයි.

වඩාත් බියකරු දේ නම් මෙම මජර ක්‍රමය වෙනස්වන දිනයක් සිතාගැනීමට වත් නොහැකි වීමයි. මගේ ජීවිත කාලයම මේ කාලකන්ණි ක්‍රමය මගින් දියකර හැරීම ගහේ බඩු මෙන් ෂුවර් අතර අනාගත දරු දැරියනටද මෙයින් ගැලවීමක් ගත නොහැකිවනු ඇත.

මෙයින් "මා" ගලවාගැනීම සඳහා ගැලවුම්කරුවෙකු හෝ ඊනියා වීරයෙකු කිසිදා එන්නේ නැත. එවැන්නන් බිහිවීමේ ශක්‍යතාවයන් තවදුරටත් නැත. මා හට පෙනෙන මානයේ ඇත්තේ එක් විකල්පයකි.
මේ ඉඳීමේ තේරුමක් නැත. මෙවන් තේරුමක් නැති විකාරයකට මගේ දරුවන් මුදාහැරීමේද තේරුමක් නැත.

එබැවින් මියෙම්වා - රැකෙම්වා. මා බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටිමි.

මා සහ මා මෙන් සිතන්නන්ට ලංකාවේ කොතැනින් හෝ ස්වයං පාලන ඒකකයක් ලබාදෙනු !

(මේක මීට වඩා හොඳට ඉල්ලන්ඩ තිබ්බනං හොඳයි තමා. ඔය ඉතිං තේරෙන තරමට. )

45 comments:

  1. පවත්නා ක්‍රමය තුළ සාර්ථක වීම හැරෙන්නට වෙනත් විකල්පයක් අප සතුව නැත!

    ReplyDelete
  2. පවත්නා ක්‍රමය තුළ සාර්ථක වීම හැරෙන්නට වෙනත් විකල්පයක් අප සතුව නැත!//

    hmm.....true

    ReplyDelete
  3. @ විසිතුරු/බුවා,
    පවත්නා ක්‍රමය තුල සාර්ථක වීම යනු 'විකල්පයක්' නොවේ නේද?

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ලිපියෙ කතෘ චාමි කියල නොදැන දාපු නිසා කොමෙන්ට් එක ඩිලීට් කලේ, මම මේ පැත්තට ආවේ ලඟදි. [චාමි විකල්පයක් ඉදිරිපත් කරල තියෙනවනෙ, මම හිතුවෙ චාමි කියන්නෙ පාඨකයෙක් කියල]

      Delete
  4. මුල ඉදන්ම ලිපිය හොදයි.අවසාන ටික අවුල්

    ReplyDelete
    Replies
    1. කලින්ම කිව්ව හරිය?
      තේරෙන තරමට තමා ඉතිං :)

      Delete
  5. අයිඩෙන්ටිටි කාඩ් එකක්වත් නැති මිනිස්සු ජීවත්වෙන තැනක්! ජරා ගොඩේ අද ජීවත් වෙන්න හෙට ගැන බලාපොරොත්තුවක්!

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අරමුණ. මේක සුජීවට උත්තරයක් හැටියට අමුණනවා

      Delete
  6. [[වඩාත් බියකරු දේ නම් මෙම මජර ක්‍රමය වෙනස්වන දිනයක් සිතාගැනීමට වත් නොහැකි වීමයි.]]

    මචෝ මේක බියකරු දෙයක් නොවේ. සරල ලොකාවබෝධයක්. මෙතෙක් හිරවී උන්නු තවත් මානසික කූඩුවකින් මහා පොලොවට බැසීමක්.

    ඒක නොතේරුණු එකාලා තමයි මේ "ක්‍රම වෙනස" වෙනුවෙන් නහින්නේ. ෆැන්ටසි හීන වෙනුවෙන් දේශපාලන ගංජා ගහන්නේ.

    ඊට යටින් අපි ඔක්කොම වැටිලා ඉන්න කානු පල්ලේ ඕන රෙද්දක් වෙන්න ඇහැකි. එනි ක්ලොත්.

    [[මා සහ මා මෙන් සිතන්නන්ට ලංකාවේ කොතැනින් හෝ ස්වයං පාලන ඒකකයක් ලබාදෙනු !]]

    උඹ වගේ හිතන්නන් පැත්තක තියාපන්, උඹටවත් ඔය කියන දේශය හදන්න බැහැ, උඹට ඕක දුන්නත්, ආයිමත් ඒකෙ මේ වගේ "තව ක්‍රමයක්" සෙට් උනාම එ ක්‍රමයෙන් මිදෙන්න තවත් වෙනම රාජ්‍යයක් ඉල්ලන එක තමා කරන්න තියෙන්නේ.

    බ්ලොග් ලිව්වොත් නම් අපි විතරක් නෙවි ඕන මජරයෙක් වීරයෙක් වගේ ලියයි. ඔය අන්තිම ජඩ බලු දේශපාලකයාටත් සිරා අදහස් ලියන්න කියන්න පුළුවන්. ඒවා මහා පොළොවේ හිටවන කොට තමා ටොයිලට් බටේට මුල් ඇදලා ගේ පුරා කක්කි විසිරෙන්නේ.

    උඹ වගේ ශ්‍රේෂ්ට විදිහට හිතු මිනිහෙක් තමා මචන් පොල්පොට් කියන්නෙත්. ඌ මජරයෙක් නොවේ. උගෙයි ගෑනිගෙයි පවුල් වලට බලය අල්ල ගත්තු ආණ්ඩුවේ සල්ලි ගසා කාපු එකෙක් නොවේ. ඌත් අහිංසක සිහින පැලකරන්නෙක්. කාම්බොජියාවේ පොළොවේ දෝසේ මිසක්කා.

    නරක යමක ලියවුනා නම් සියක් වරක් සමා වෙයන්.

    ReplyDelete
    Replies
    1. //ඊට යටින් අපි ඔක්කොම වැටිලා ඉන්න කානු පල්ලේ ඕන රෙද්දක් වෙන්න ඇහැකි. එනි ක්ලොත්.//

      එළ.
      ඕක තමා ඇත්ත. ඔය සරළ ලෝකාවබෝධය ගත්තට පස්සෙ වෙන ලොකුම අවුල තමයි ජීවත් වෙන්න අරමුණක් නැතිවීම. තවත් මිනිස් සතෙක් වගේ කාණුපල්ලක ජීවත් වෙලා මැරිල යන්න වෙනව කියල තේරෙන එක.. shit......

      Delete
    2. hare :-)Said.......
      අයිඩෙන්ටිටි කාඩ් එකක්වත් නැති මිනිස්සු ජීවත්වෙන තැනක්! ජරා ගොඩේ අද ජීවත් වෙන්න හෙට ගැන බලාපොරොත්තුවක්!

      Delete
    3. චාර්මි මිනිසුන්ට ආගමක් ඕන වෙන්නේ ඕකයි බං. කැම්පස් ගිහින් පතරංග දර්ශන තෙල් නාපු නැති සියදෝරිස් ලා, සිල්වා පෙරේරලා, සෙල්ලයියලාට කානුව සුවදායක වෙන්න.

      මම ඔය ඔක්කොම ඇත ඇරලා බොහෝ කල්. හැබැයි ජීවිතේට අරමුණු තියනවා. ෆැන්ටසි නම් නැහැ.

      Delete
    4. අර හරේ කිව්වේ ජරා ගොඩ කියා.එහෙම කියන්න බැහැ. මොකද සංසන්දනය කරන්න තව දෙයක් නැහැ. ඕනෙනං මෙහෙම කියමු. ලංකාවේ ගඳ ජරා ගොඩ පළමු ලෝකේ වෙනස් ගඳක ජරා ගොඩ එක්ක සංසන්දනය කරමු.

      Delete
    5. රයිට්. මම කරන්නෙත් ඒක තමා. ප්‍රකාශණ නිදහස ඇති/සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය සහිත/ වඩා මානුෂික ගණුදෙනු ක්‍රමයක් සහිත.... ඔය මිත්‍යාවක්නෙ. හැබැයි මේ ක්‍රමයෙන් ගොඩයාමේ මිත්‍යාව වෙනුවට වෙනත් මිත්‍යාවක්. සියදෝරිස්ලට ඊළඟ භවය ගැන මිත්‍යාවක් තියෙනව වගේම.
      අනික මේක කුණු ගොඩක් කියන්නෙ වෙන කුණුගොඩකට සාපේක්ෂව තමයි. අඩුම ගානෙ පුද්ගල නිදහස යම් පමණකට විකසිත කුණුගොඩක්.
      ලෝකෙ මිනිස්සු මෙතෙක් ජීවත්වෙලා වගේම මැරිලත් තියෙන්නෙ මිත්‍යාවක් ඔලුවෙ දරාගෙන තමා. ඒක මගහැර යා නොහැකි සත්‍යය. ඉතිං බොසා අපි එක එකාගෙ මිත්‍යා අල්ලල දාල අපේම ජෙනුයින් මිත්‍යාවක් හදාගෙන ඒක ඇතුලෙ මැරෙමුකො.

      Delete
    6. මනාපයක්. ඔන්න ඕකට තියෙනවා "පුද්ගල නිදහස".

      Delete
    7. උඹට මෙහෙම කිව්වට මටත් ඊයේ රෑ හීනෙන් වගේ හිතුනා බං මටත් මගේම මිත්‍යාවන් ඇතිය කියලා. අපි කවුරුත් "රහත් වෙලා" නැහැනේ බං. අනික "රහත් වීමත්" මිත්යාවක්ම වෙන්නත් බැරි නැහැනේ බං.

      ආතල් එකේ හිටහන්. හැබැයි මොලේ සෙඩෙට් නොකර ගෙන. එච්චරයි.

      ජය වේවා.

      Delete
  7. මගේ බෙදුම්වාදී ව්‍යාපෘතියේ පසුපෙල කාඩර්වරයෙකු කරගැනීමට අපේක්ෂිත 'මාලන් සමරවික්‍රම' මැරිලද?

    ReplyDelete
    Replies
    1. බොහෝ පඬිවරුන් කියන පරිදි එකාගේ හොර එකා තමා මුහුණු පොතේ මේක දාල මාවත මෙතෙන්ට පටලව්වේ

      Delete
    2. [[බොහෝ පඬිවරුන් කියන පරිදි එකාගේ හොර එකා තමා මුහුණු පොතේ මේක දාල මාවත මෙතෙන්ට පටලව්වේ]]

      මේ විහිළුවට ලිව්ව එකක්. මම ඔය කතාව විස්වාස කරන්නේ නැහැ. මාලන්ගෙන් සමාව ඉල්ලනවා මේක කවුරුහරි සිරාවට ගත්තනම්.

      Delete
    3. Glad-fly,Taboo, Beyond frame Kolu all මැරිල

      Delete
  8. මටනම් හිතෙන්නෙ මට ඕනි විදියට වටපිටාව හදන්න නම් වෙන එවුන් නැති ස්වයං පාලන ඒකකයක් මටම තියෙනවනම් හොඳයි කියල... මේ රටේ වෙන එකෙක්වත් තවම මට විශ්වාස නෑ..
    කොහොම වුණත් වැරැදිලාවත් උඹලට ස්වයං පාලන ඒකකයක් ලැබුණොත් අඩි හතරෙ හතරෙ කෑල්ලක් හරි මට දීපල්ල.. කඩල ගොට්ටක් විකුණගෙන මලක් ගහල කාළකණ්නි දේශපාලයො නොදැක නිදාගන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනං මරු මචං. උඹටම ස්වයං පාලන ඒකකයක්. විල්පත්තුව හරියෙ කැලෑවක් මැදින් හදාගනින්.

      Delete
  9. අපි පරන මිනිස්සු. අපිට මෙහෙම හිතෙන්නෙ ඒකයි. ශේෂ්ඨ,පරමාදර්ශී, උතුම් දේවල් ගැන අපට තවම විස්වාසයක් තියෙනව.
    ජේ.ආර්. ඉතිහාසය,සාහිත්‍යය විෂයමාලාවෙන්ම අයින් කරල අලුත් පරම්පරාවක් හැදුවෙ අපි වගේ අය මේ ක්‍රමයට හරියන්නෙ නැති බව දන්න හින්දයි.

    ReplyDelete
    Replies
    1. ඉස්සරත් ඔව්ව තිබිලා නැහැ ආයුබෝවන්ඩ, රැවටීම විනා. ඕක මානව/ලෝක ස්වාභාවය විනා ජේ ආර් පප්පගේ වරද නොවේ.

      Delete
  10. @Charmi,

    සමාජයේ කෙනෙකුට උත්තුංග මිනිසකු/ගැහැණියක සේ ජීවත්වීමට හැකිවීමට පළමුව සමාජය විසින් අවශ්‍යතා කිහිපයක් සැපිරිය යුතුය. එකක් එය එක්තරා මට්ටමකට ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ සමාජයක් විය යුතුයි. මධ්‍යම පන්තියේ කොටසකට තම කුටුම්භ සංරක්ෂණය මූලික අරමුණ කර නොගැනීමට ඉඩ සලසන්නේ එවැනි සමාජයි. උදාහරණයක් හැටියට සරච්චන්ද්‍රට එවන් උත්තුංග මිනිසකු විය හැකිවූයේ එකල සමාජය තුළ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුගේ පැවැත්ම තහවුරු වීම නිසා හා විශ්ව විද්‍යාලය ඔහුට ගෙවූ වැටුප පවුල නඩත්තු කිරීමට සෑහුන නිසාය. අද සුනිල් ආරියරත්නට උත්තුංග මිනිසකු වීමට නොහැකි එනිසාය. විශ්ව විද්‍යාලයෙන් ලැබෙන වැටුප තමන් පුරුදු වූ පාරිභෝජන ජීවන රටාවට නොසෑහෙන නිසා ඔහුට ඒකාට මේකාට කඩේ යන්නට සිදු වේ.

    දෙවනුව එවන් සමාජයක වුව උත්තුංග මිනිසකු විය හැක්කේ ඊට අවශ්‍ය ස්වයං විනයක් ඇති මිනිසකුට පමණෙකි. ජේ. බී. දිසානායකට අවශ්‍ය නම් තවත් සරච්චන්ද්‍ර කෙනෙක් විය හැකිව තිබිණි. නමුත් ඔහුට ධන ධාන්‍ය සම්පත් ඊට වඩා වැදගත් වූ නිසා ඔහු ඒ කැප කිරීම නොකළේය. ගුණදාස අමරසේකරට අවශ්‍ය නම් තවත් මාර්ටින් වික්‍රමසිංහ කෙනෙකු විය හැකිව තිබුණේය. ඔහු එමඟ අත් හළේය. සුනිල් මාධව ප්‍රේමතිලකට අද ගුණදාස කපුගේට ලැබෙන ගෞරවය ලබා ගන්නට තිබිණි. නමුත් ඔහුට ඊට වඩා පොඩි එකා (හොර පාරෙන්) ආනන්දයට දමා ගැනීම වැදගත් විය.

    මේ තත්ත්වයන් යටතේ පවා, අද සමාජය තුළ උත්තුංග මිනිස්සු වෙති. අප බොහෝ විට ඔවුන් ගැන නොදන්නේ ඔවුන් ඒ තරමටම නිහඬ චරිත නිසාය. මෑතදී මිය ගිය මහාචාර්ය පියසීලී විජේගුණසිංහ එවන් චරිතයකි. මේ ගැහැණියට රාජ්‍ය ගෞරව සහිතව අවසන් ගමන් යා හැකිව තිබිණි. නමුත් ඇයට අවසන් ගෞරව දක්වන්නට මා ජයරත්න මල් ශාලාවට යද්දී එහි සිටියේ කිට්ටුම ඥාතීන් හරුණු විට පස් දෙනෙකුට කිට්ටු ගණෙනෙකි. මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න තවත් මෙවන් උත්තුංග පුරුෂයෝ දෙදෙනෙකි. කලාකරුවන් අතුරුන් අශෝක හඳගම, ධර්මසිරි බණ්ඩාරනායක හා ප්‍රසන්න විතානගේ සිහියට නැඟේ. කොටින්ම වර්තමාන රජයට කඩේ යාම හා නොයෑම අතර ඉතාම විශාල පරතරයක් ඇති අද වැනි යුගයක ඊට කඩේ නොයන ඕනෑම පුරුෂයෙක්/ගැහැණියක උත්තුංග පුරුෂයකු/ගැහැණියක බවට නිරායාසයෙන්ම පත් වේ.

    ReplyDelete
    Replies
    1. පියසීලී.........
      ස්තුතියි සිහිපත් කලාට. මම ඕය ලැයිස්තුවට සුගතපාලද සිල්වාත් ඇතුලත් කරන්නම්.

      Delete
  11. "රටේ "ජනතාව" යනුවෙන් කිසිවෙකුත් නැත. මෙම සියළු අගතීන් පොල්ගස්, කොස්ගස් වැනි ස්වභාවික දේ ලෙස ගන්නා ඔවුහු එදිනෙදා දිවි ගැටගසා ගැනීම සඳහාම පාලකයනට නොදෙවෙනි තරම් කපටි සහ අවස්ථාවාදී නරුමයන් බවට පත් වෙමින් යයි"

    උඹ වගේ හිතන්න පුළුවන් එවුන් ඉන්නෙත් ඔය ගොඩ ඇතුලෙම තමයි. උං විතරක් තෝරා බේරාගෙන වෙනම ඒකකයක් හැදිල්ල හිතන තරම් ලේසි වෙන්නෙ නෑ. ඒක හරියටම මේ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ වගේම තමයි. සුජීව කිව්ව වගේ සියදෝරිස්ලා ආගමේ එල්ලිලා ඉන්නව වගේ උඹත් ඕකෙ එල්ලිලා ඉදීවි.(සමහර විට ජීවිත කාලෙම). මම නං කියන්නෙ ඒත් කමක් නෑ, අපේ ජීවිත වල තියන රික්තකය මොකෙන් හරි ‍පිරෙනවනේ. :-)

    ReplyDelete
    Replies
    1. අනිවා රාජ්. බැරිවෙලාවත් ප්‍රභාකරන් ඕක උතුරෙ හදාගත්තනං මේ වන විට හොඳම විකට රසාංග ටික අපිට උතුරෙන් එන්න තිබ්බා.
      සුජීව කියනව වගේ මේක මානව ස්වභාවයක්ම තමයි. කෙළවරක් නැති හඹායාම.

      Delete
  12. @Charmi,

    වෙනත් බොහෝ දෙනකුට කළ ප්‍රකාශයක් ඔබ වෙනුවෙන් මෙහිදීද කරමි.

    තමන් "අදේශපාලනික" යැයි කියන පුද්ගලයින්ගෙන් පරෙස්සම් වන්න. ලෝකයේ කිසිවකුට අදේශපාලනික විය හැකිය මම නොසිතමි. හුස්ම ගැනීමද දේශපාලනිකය. මේ "අදේශපාලනික" පුද්ගලයින් සැබැවින්ම සේවය කරන්නේ අප සිහිනෙන් වත් නොසිතන්නන්ට විය හැකිය.

    ReplyDelete
    Replies
    1. "අදේශපාලනික" යයි කියන සියල්ලෝම අධිපති මතවාදයට කොන්දේසි විරහිතව සේවය කරතියි සිතමි. මෙහි ඇති වඩාත් ඛේදය 'කොන්දේසි විරහිතව' යන්නයි.

      Delete
  13. අපි හදාගමු අපේම කියලා පාරාදීසයක්
    එකේ අයිතිකාරයෝ ඇවිත් අපිව පන්නලා දැම්මහම ?
    එතකොට අපි හදාගන්නවා තවත් පාරාදීසයක්
    ඒකටත් අයිතිකාරයෙක් හිටියොත්?
    තවත් එකක් හදාගම්මු
    "බල්ලෝ බත් කති-සුගතපාල ද සිල්වා "
    පරමාදර්ශී චරිත අතීතයට පමණක් අයිතිවූ යුගයක වෙසෙන අපිට,මේ හැමදේම සැබෑ නොවෙන සිහිනයක් පමණක්ම නොවේද ?

    ReplyDelete
    Replies
    1. අතීතයේද "පරමාදර්ශී චරිත" කියා දෙයක් නොවීය. එවක වූ මාධ්‍ය භාවිතය විසින් යම් යම් චරිත "පරමාදර්ශී" කරනු ලැබිණි. අද අනගාරික ධර්මසේකරට වඩා වැඩි දෙයක් නොකළ හා ධර්මසේකරට වඩා ජාතිවාදී වූ, ජාතීන් අතර වෛරය වැපිරූ අනගාරික ධර්මපාල ද අපට "පරමාදර්ශී" විය. තමන්ගේ මවුන්ට් ප්‍රෙස් එකට වැඩ නැතුව ගිය කාලවලදී තමන්ගේම වෙනත් පොතක අමාරු වචන පැහැදිළි කර පොත් පිංචවල් ගසා විකුණූ, සෝවියට් දේශයෙන් චීනයෙන් පිං සවාරි ලබාගෙන ඒ ගැන පොත් ලියූ මාර්ටින් වික්‍රමසිංහද "පරමාදර්ශී" විය. කට ගොන්නක් බී ගෙන කුණුහරුප කියූ සුනිල් මාධව ප්‍රේමතිලකද "පරමාදර්ශී" විය. ඒ කාලයේ හිටියේද අද වගේම මස් ලේ වලින් හැදුණු මිනිස්සුය. අද කෙරෙන වරද බොහොමයක් එදාද කෙරුණේය. එකම වෙනස එදා මාධ්‍ය හැසිරවීම තුළ කෙනෙකුට "පරමාදර්ශී ඉමේජයක්" ගොඩ නඟා ගැනීමට තිබුණු අවස්ථාව අද "මාළු ටැංකි ජීවිතය" තුළ නැතිවීමයි. ජැක්සන් ඇන්තනිටත් 1950 ගණන් වල හිටියා නම් ලෙහෙසියෙන්ම "පරමාදර්ශී චරිතයක්" වන්නට ඉඩ තිබුණේය.

      Delete
    2. ඉහත ඇනෝ සමග 100% එකඟයි.

      Delete
    3. මමත් 100% ක්....
      දුමින්දට සරදියෙල් කෙනෙක් වෙන්ඩත් තිබුණා.

      Delete
  14. අපේ පාඨක තොමෝ සම්පූර්න ලිපියේ අන්තර්ගතය අමතක කරලා උත්ප්‍රාසාත්මක අවසන් වැකිය අල්ලගෙන දඟලන බවක් පේන්නේ මට විතරමද ඈ?

    -RX

    ReplyDelete
  15. චාමි ගෙ ලිපියෙ අන්තර්ගතය ගෑන මටත් කාලයක් තිස්සෙ හිතිල තිබුනේ. අපි වෙනත් කාගෙ හො තරගයක් දුවනව වගෙ මට නම් හිතෙන්නෙ. අපිත් මෙ අතර, මිල මුදල්, යාන වාහන, සහ අනිකුත් සෑප පහසුකම් යන කෑරට් අල ගෑන සිහින මවමින් තමයි තරගය් දුවන්නෙ. හෑබෑයි දිනන්නෙ නම් වෙනමම කොට්ටාසයක්. චාමිගෙ ලිපියෙ උඩින්ම දාල තියෙනෙ පින්තුරෙත් එක්ක කතාව සෑහෙන ගෑලපෙනව.

    ReplyDelete
    Replies
    1. //අපි වෙනත් කාගෙ හො තරගයක් දුවනව වගෙ මට නම් හිතෙන්නෙ.//
      අනිවා චාරක. ඔබ හරියටම ලියල තියෙනවා. වෙන කාගෙ හෝ තරඟයක්. හැබැයි හිතාගෙන යද්දි මේ තර‍ෙඟෙ කාගෙද කියල හොයාගන්න බැරිවෙනවා.
      ඕකෙ අයිතිකාරය අහවලා කියල හිතද්දි අපිට තේරෙන්න ගන්නව එයත් වෙන කාගෙ හරි තරඟයක් දුවනව කියල.
      (මේක ටිකක් සියඹලා කැටගරියෙ වැඩක් වගේ නේ? බලමු මොනවහරි ලියන්න :D )

      Delete
    2. චාමි ඒ චින්තනයෙ තවත් පියවරක් ඉදිරියෙන් ඉන්නෙ. හිතල බලන කොට අත්ත තමයි, අපි හෑමොම ඔහෙ දුවනව. අපි දුවන්නෙ මේ සිස්ටම් (චාමි ගෙ පින්තුරෙ හෑටියට නම් Matrix) එක රන් කරවන්න .. ඒකයි මන් කිව්වෙ අන්තිමට දිනන්නෙ වෙන කොට්ටාසයක් කියල. සියඹලාදත් අහල... :D

      Delete
  16. "මහාචාර්ය සුචරිත ගම්ලත්, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න තවත් මෙවන් අවජාතික පුරුෂයෝ දෙදෙනෙකි"

    නිවැරදි කොලා

    ReplyDelete
    Replies
    1. නිර්ජාතික කියමුද?
      (එහෙම වචනයක් තියේද හැබෑට?)

      Delete
    2. ඔවුන් දෙදෙනාම නිර්ගෝත්‍රික උසස් මනුෂ්‍යයන් දෙදෙනෙකි. ඒ ගැන වාදයක් තිබිය නොහැකිය.උසස් මනුෂ්‍යයන්ට පහර ගැසීම පාහරයන්ගේ සාමාන්‍ය සිරිතයි.

      Delete