Sunday, December 4, 2011

අධිවේගෙට ආල වඩන සියාතුවේ......

සියාතුවේ ඉතිං කොහොමද බං...? පහුගිය ටිකේ උඹලව අමතකම වෙලා තිබුණෙ....... රටේ තියෙන ප්‍රශ්නත් එක්ක... දන්නැද්ද?.... එහෙං අර සුදුකොඩි කේස්එක... අරහෙ ජේවීපී එක කැඩිලා.... යූ.එන්.පී එකෙත් අභ්‍යන්තර අර්බුදනෙ.... හාබර්එකේ ගලේ ප්‍රශ්නෙ නං ඉවරයි..... දුමින්දගෙ කේස්එක..? එපාම වෙනවා බං.... මුං රෙදි ගලෝගෙනනෙ නාගන්නෙ... අපිට තමයි පාරෙ බැහැල යන්ඩ බැරි.... හැබැයි ජනාධිපතිතුමා කෙලින් මිනිහා.... ඒ නොවෙන්ඩ..මේක...... ඇයි බං ආසනික්...?

ඉතිං කොහොමද? අගිදා උන්දෑ සනීපෙන්ද? පොඩි එකී බැන්දයි? ආ... උඹේ පොටෝ එකක් ෆේස්බුකියෙ දාල තිබුණා.... උඹ කහ ඉරකින් පාර මාරුවෙනවා... මම උඹේ පිටෙන් අඳුනගත්තෙ... ඔන්න හොඳඑකා වගේ පාර පනිද්දි ඔය විදිහට කහ ඉරෙන්ම පැනපං රජෝ..... අපිත් පාරෙ යන්නෙ දාහක් ප්‍රශ්න මැදනෙ බං.... අපිටත් කහඉර දැක්කාම තමා මේක පාරක් කියල මතක් වෙන්නෙ... හහ්... උඹලට ඉතිං මේවා ඇඟිල්ලෙන් ඇනල කියල දෙන්ඩ ඕනෙ  නෑ තමා.... ඔය අනුකාරක උගතුන්ට වඩා උඹලා වගේ අව්‍යාජ සිංහල ගැමියො කොහොමත් බුද්ධිමත්...

ඇත්තටම සියාතුවේ උඹල හින්දා තමා අපි අද බයක් නැතුව පාරෙ බැහැල යන්නෙ.... ඉස්සර කොයි වෙලේ කොතන පුපුරනවද..... අම්මෝ එහෙමත් කාලයක්..... අපේ ජන ජීවිතේ එහෙම පිටින්ම කඩා වැටිලනෙ තිබුණෙ බං.... මොනව උනත් 2004 දි උඹල තමයි මේක ගොඩදැම්මෙ.... උඹල පොලිටිකලි කරෙක්ට් සියාතුවේ...... කොළඹ බිස්නස්කාර හැත්ත ඩොලර් වලට මේක පාවල දෙද්දි ඈත හද්ද ඩොටේ ඉන්න ලංකාවෙන් තුන්කාලකට වැඩි උඹල මේක දිනෝල යුද්දෙ කරන්ඩ පුලුවන් නියම නායකය තැනට ගෙනාවනේ..... ආ.... අර චෙන්කලාඩි වලදි අතුරුදහන් වෙච්චි ගුණසිරි කොලුවගේ දීමනාව දිගටම ලැබෙනව නේද? මට ආරංචියකුත් ආව උඹල ඒ සල්ලිවලින් කොලුවට පිං පිණිස පන්සලට ලවුඩ්ස්පීකරයක් පූජා කලා කියල.... අන්න හොඳ වැඩ සියාතුවේ. බොහොම පින්.... ඔයවගේ ඒව තමා කරන්ඩ ඕනෙ... අපේ ශාසනේ අපිම රැකගන්ඩ එපායැ....

ඉතිං කොහොමද පවුලෙ විස්තර...? රංජනි කෙලී තාම රටද? ඒකිගෙ මිනිහා තාම කසිප්පු බිබී ඇවිදිනවද? ඕකුං ගංවල තියාගන්ඩවත් හොඳ නෑ බං...... අර කෙලී අරාබියෙ හැලිවලං හෝදල එවන තුට්ටු දෙක..... මතක ඇතුව උංගෙ කෙලි පැටව් දෙන්නා උඹල ගාවම තියාගෙන ඉස්කෝලෙ ඇරපල්ලා... ඔහොම බේබදු තාත්තල විස්වාස නෑ... අම්මෝ පත්තරවල තියෙන එව්වා.....  ඔය ඉඳහිටලවත් පත්තරයක් අරං බලපල්ලා... රට තොට ගැන දැනගන්ඩ......

ආ... රංජනිය ඇවිත් ආපහු රට යන්ඩ හැදුවොත් ලියාපදිංචි විදේශ රැකියා එකකින්ම යන්ඩ කියපං.... රට යන ගෑනුංව මරල අවයව කපාගන්න එකක් ඔය අරාබි හැත්ත කොරනවයි කියල ඉන්ටර්නෙට් එකෙත් තිබුනා.... බැරි වෙලාවත් එහෙම එකක්වත් උනොත් උඹලට වන්දියක් වත් ගන්ඩ බැරිවෙයි..... හැබැයි ඔය හොර ඒජන්සි වලට අපේ ආන්ඩුව බොහොම තදින් ඉන්නවා....

නිහලා තාම වැලි ගොඩදානවද? ඌට ඉක්මනින් කටයුත්තක් කරල දාපං සියාතුවේ..... ගෙවල් හදාගන්නකං උන්නොත් ඕකා බේබද්දෙක් වෙලා නවතින්නේ..... පොඩි එකී ගාමන්ට් යනවද? අපරාදෙ.. ඒකිට විශ්‍රාම වැටුපක් දෙන්ඩ හදපු එකත් ජේවීපී කාරයො කෑවනෙ.... කමක් නෑ... ඒකි උඹලට බරක් නොවී ඉන්න එකම මදෑ.. අඩුගානෙ ඒකිගෙ රත්තරං බඩු ටිකයි... ඊපීඑෆ් එකෙන් කසාදෙට ගානකුයි වත් එකතුවෙන්නැතෑ....

ආ.... උඹලගෙ ගෙවල් පාර කොන්ක්‍රීට් කලාලු නේද? දැං ඉතිං මඩ ගොඩවල් පාගන්නැතුව සුද්ද වගේ ගෙදර යනව ඇති. ඇත්තටම රටේ කැපී පේන සංවර්ධනයක් තියෙනව බං.... (උඹලගේ චන්ද බලේට පින්සිද්ද වෙන්ඩ තමා). උඹලා ටීවී එකෙන් දකින්ඩ ඇති ඊයෙ පෙරේදා විවෘත කරපු අධිවේග මාර්ගෙ.... පෙරේදා පවුල පිටින්ම අපිත් ඕකෙ ගියා.... පිස්සු හැදෙනවා සියාතුවේ.... අපිත් කවද කාපු ටකරංද? හහ්.... ඇත්තටම අපි ලෝකෙත් එක්ක යන්ඩ මේවා තව හැදෙන්ඩ ඕනෙ..... බලපං.. කොච්චර කාලෙ ඉතුරුද? අධ්‍යාපනය, සෞඛ්‍යය ඔය කොයි දේත් ඒ එක්ක සංවර්ධනය වෙනවා.... එව්වගෙ ප්‍රතිලාභ පෙරිලා පෙරිලා හරි අන්තිමට උඹලටත් එනවනෙ බං..... අනික ආයෝජකයො උනත් ඕව දැක්කාම මෙහෙ එනවනෙ.... ඉතිං උඹගෙ කෙල්ලට උනත් තුට්ටු දෙකට එක ගාමන්ට් එකකම කඹුරන්ඩ ඕනෙ නෑ.... එකක් නැත්තං තව සීයක් තියෙයි. ඕකනෙ බං සංවර්ධනේ.... විදේශ විනිමය....

ආ... පොඩි වැඩක්.... මේ... ඕවට වියදං කරන්ඩ අපේ දුප්පත් රටේ සල්ලි නෑනෙ බං... ඉතිං පොඩි විදේශ ණයක් අරං තමා ඕක ආන්ඩුවෙන් හැදුවේ.... කියන්නෙ අපි වගේම උඹලටත් ඕකෙන් සොච්චමක් ගෙවන්ඩ වෙයි. මහ ගානක් නෙමේ. එකෙකුට දෙදාස් හත්සිය ගානක් වැටෙන්නෙ.... උඹලගේ පවුලෙ හත්දෙනයි නේ? අනේ සියාතුවේ ඒක ගෙවපං..... හදිස්සියක් නෑ. තව සෑහෙන කාලයක් තියෙනවා... තව අවුරුදු පනහකින් හරි උඹලගෙ මුණුබුරෙකුටවත් ඕක ප්‍රයෝජනවත් වෙනවමනෙ....
(අනික උඹලගෙ පැත්තටත් ඔයින් එකක් එයි. තව පහ හයක්ම හදනවයි කියන්නෙ)

ආ... ඉතිං ඔය පිටිසර ගම්මානවලම රිංගගෙන ඉන්නෙ නැතුව ලොරියක් කතාකරගෙන වත් ඇවිල්ල මේක බලහල්ලා... ඈත ඉඳං බලන්ඩ දෙනවා.... මේවා අපේ ජීවිත කාලෙදිම බලාගන්ඩ ලැබෙයි කියල කවුද හිතුවේ...? අපි ඒකට පිං කරලා තියෙනවා බං.......... ටීවී එකෙන් දැක්කා වගේ නෙමේ බං. හැබෑවට මරු....

ආ..... අහන්ඩ බැරිවුනා... කොහෙද උඹ අර දාඩිය දාගෙන කහ ඉර පැනං ගියේ...? මෙහෙමයි සියාතුවේ... ඔය ටවුන්බද යනකොට කමිසයක් සෙරෙප්පු දෙකක්වත් දාගෙන යමං.... (උඹලට සල්ලි නැතිකම නෙමෙයිනෙ.... යකෝ වී වලට සහතික මිලකුත් දීල තියෙද්දි.....) . මොකද මේ පොටෝ ජාත්‍යන්තරේට යනවනෙ බං.... අන්තිමේදි අපිව කන්ඩ බලං ඉන්න පර සුද්දො සිංහල බෞද්ධ ගැමියා කියන්නෙ කැලේ ඉන්න වැද්දෙක් කියල ගත්තොත් අපි කොහොමද ටයි කෝට් ඇඳං ඕකුං ඉස්සරහට යන්නෙ...? උඹ වැරදියට හිතන්ඩ එපා හරිද? මොනා උනත් මේ රටේ රජ කරන්නෙ උඹලගෙ සිංහල බෞද්ධ අව්‍යාජ ගැමි මතවාදෙ...... ඒ වෙනුවෙන්ම නියම නායකයත්වයත් අපිට තියෙනවනෙ.....අපි ඒ වෙනුවෙන් මරාගෙන උනත් මැරෙනවා.... මං ඊයෙත් ෆේස්බුක් එකේ ඉන්න අවජාතිකයෙකුට ඇටෑක් කලා..... මං ඌට දෙන්ඩ ඉන්නෙ.......

ඉතිං සියාතුවේ.... වෙලාවක් තිබ්බොත් ඇවිත් යන්ඩ එන්නං.... මේ දවස්වල හොඳටම බිසි. පොඩි ස්කොල් එකක් හම්බුනානෙ බං... ඒකට රට යන්ඩ කලිං මේවා එකලාසයක් කරල දාගන්ඩ එපායැ....... මම නවතින්නං. උඹට බුදු සරණයි.
________________________________________

ප/ලි-
වැදගත් දෙයක් අමතක උනා සියාතුවේ. උඹ දන්නවද ජනගහන ජිහාඩෙ? ඒක ටිකක් ගැඹුරු සංකල්පයක්. කොටින්ම මුස්ලිම් කාරයෝ උංගෙ ජාතිය බෝ කරලා තව අවුරුදු ගානකිං මේ රට අල්ලගන්ඩ හදන්නෙ. ඉතිං සියාතුවේ අපිටත් කරන්ඩ තියෙන්නෙ පුලුවන් තරං සිංහල ලමයි හදන එක තමා. මෙහෙ ඉන්න අපි සුලු පිරිසට මේක කරන්ඩ බෑ. රටේ තුනෙන් දෙකක් ඉන්න උඹල තමා මේකට බහින්ඩ ඕනෙ. උඹලගෙ කෙල්ලන්ට කොල්ලන්ට මේවා කියල දීපං. පුලුවන්තරං හදන්ඩ කියපං. ඔය ගංකරේ කෙල්ලො ගාමන්ට් නොගියට, රට නොගියට බඩගින්නෙ මැරෙන්නෑනෙ බං...... උඹේ අඳ කුඹුරු අක්කර බාගෙ තියෙනකං උං ලුණු කැඳ බිබී හරි වදන්ඩ කියපං. අපේ උතුම් ජාතියේ ඉරනම තියෙන්නෙ රටේ තුනෙන් දෙකක් වෙන  උඹලගෙ අතේ තමා.
(සියාතුගේ පින්තූරය ගත්තේ  Sudesh Karunathilake ගේ වෝල් එකෙන්)

27 comments:

  1. ඇත්තෙන්ම සියාතුවේ . . .

    උඹල වගේ දේස පෙරේමී ඉන්නකම් එක එක XXලා මොන ලබ්බක් කිව්වත් අපිට බය නැතුව මේ රට සංවර්ධනය කොරන්න පුලුවන් සියාතුවේ . .

    මතක ඇතුව උඹේ ලමයි ටිකට කියපන් ඉන්න උන්ට අමතරව තව ළමයි දෙන්නෙක් වත් හදන්න කියලා . .

    නැහ්නම් අර කිව්ව වගේ එක එක ජාති වල උන් බෝ කරගෙන ගිහින් මේ උඹලෑ අපේ සිංහල බෞද්ද රට අල්ල ගන්න ගත්තොත් . .

    "මොකක් කිව්ව කෑම බීම ඉස්කෝල කාසි. . ?"

    අනේ බන් සිංහල බෞද්ද අපිට පන්සලේ බන වලට, දහම් පාසලෙන් එහෙම ඉගැන්නුවේ අල්පේච්ච විදිහට ජීවත් වෙන්න කියලනේ බන් . .

    අනික කනිස්ටෙ අර බන් ඕලෙවල් එක ආන් ඒක පාස් උනොත් කොල්ලෝ කෙල්ලෝ කියලා නෑ ගාමන්ට් එකක හරි රස්සාවක් කරන්න බැරි යැයි . .

    එහෙව් එකේ රජ බොජුන් මක්කෙයි . .

    කොස් පොලොස් කාලා හරි ජීවත් වෙන්ට තව එකෙක් දෙන්නෙක් හදන්න කියපන් . .

    අපිට මේ සංවර්දනේ කොරගෙන යන්න කතිරෙ ගහන්න ඉන්න එපැයි බන් මනුස්සයෝ .

    ReplyDelete
  2. මෙග් යාලුව අද රුපියල් පනහක් දීල ලංකදීෙප ෙගනාව..ඒ්ත් කියවන්න තිෙයන්ෙන ලිපි ෙදකතුනයි...ඒ් ලංකදීෙප තිබුන ඔක්කොටම වඩා ෙම්ක අාතල්....මරු...

    ReplyDelete
  3. මෙව්වට මුකුත් කියන්න බෑ අප්පා, අනික අධිවේගෙට,,

    ReplyDelete
  4. හැමදාම වගේ සුපිරියට ලියලා තියනවා.අපි හැමෝම මුහුණදෙන කටුක යථාර්ථය......

    එත් යු.එන්.පි ආණ්ඩුවක් ආවත් මේ සහෙම තමයි.මීටත් වඩා නරකක් මිසක් හොදක් නම් වෙන්නේ නෑ.

    පරිසරය විනාශ නොකර හදනවනම් කොයි ආණ්ඩුව හැදුවත් අධිවේගී මාර්ග හුගක් හොද දෙයක් කියලා හිතනවා.

    ReplyDelete
  5. සංවර්ධනේ දැකලා ඇඬෙනවා සියාතුවේ..... තනි ඇහැට...

    ReplyDelete
  6. "මෙහෙ ඉන්න අපි සුලු පිරිසට මේක කරන්ඩ බෑ. රටේ තුනෙන් දෙකක් ඉන්න උඹල තමා මේකට බහින්ඩ ඕනෙ."

    අන්න මෙතන තමයි නියම කතන්දරය තියෙන්නෙ. ඒක කියවගන්න පුඵවන්නම්, ඒක තේරුම් ගන්න පුඵවන්නම් අන්න එදාට සියාතුලාට මෙහෙම ලියන්න බැරිවෙයි. මොකද මෙතන තමයි බෙදීමේ ලක්ෂ්‍යය තියෙන්නෙ. එක පැත්තකට සියල්ල පොම්ප කරන ක්‍රියාවලිය තියෙන්නෙ ඒ සීමාවෙයි. ඒත් සියාතුලා මේක තේරුම් ගන්න එකක් නෑ කවදාවත්.

    ReplyDelete
  7. දුකා සියාතුල ගැන ලියපු තව එකක්
    http://dukaa.blogspot.com/2011/02/blog-post_24.html

    ReplyDelete
  8. අවුටා කියන බෙදීමේ ලක්ෂ්‍යය සියාතු තේරුම් ගත්තු දවසට සමහරු බෝක්කු ඇතුලෙහැංගුනත් අහුවෙනවා කියන්නේ.

    ReplyDelete
  9. well said


    කළු පූසා

    ReplyDelete
  10. සියාතු ගේ අතේ හැරමිටියක් තියෙන බව දැක්කාද?

    ReplyDelete
  11. KK: ඔය කිව්වම තමයි හෙවනැල්ලෙන් දැක්කේ.


    රසවත් උනත් තිත්ත කතාවක්

    ReplyDelete
  12. මේ වාර්මියා කියන බේගල් අහන්න එපා සියාතුවේ.ජනගහණ ජිහාඩිය කියල එන්‍කක් කොහෙද තියෙන්නේ?ලංකාවේ සිංහල මිසක් වෙන කිසිම ජාතියක් ළමයි හදනවද?බලන්න මුස්ලිම් පවුල්,වැඩි ගණනක ඉන්නේ ළමයි එක්කෙයිම්.වැඩිම උනොත් දෙන්නයි.සමහර පවුල් වල ඇත්තෙම නෑ.චාර්මියට පිස්සු!සිංහල පවුල්වලනේ ළමයි දුසිං ගනණ් ඉන්නේ!

    ReplyDelete
  13. ආදරණිය සීයේ,
    සියාතු සීයා කහ ඉරෙන් පාර මාරු වෙනව මම දැක්කේ චාමි මාමයෙ බ්ලොග් එකෙන්.අර පස්සෙ ගේට්ටුව අන්න ඒකෙන්. සියාතු සීයාව මමත් ඇදින ගත්තේ නම් සියායෙ පිටෙනුයි අර කකා මාමා දැකපු හැරමිට්ටෙනුයි තමයි.

    තනහනියක් සියාතු සීයා කෙහෙද ගියේ. දැන් සියාතු සීයට අපේ දිහා එන්න ලේසියි. අධිවේගෙට නැග්ගනම් පැය එකහමාරෙන් කොළඹ කියල ඩැඩී කියනව මට ඇහුනා.

    සියාතු සියලැයි අර සුද්දි, සීයලැයි රංජනී ආන්ටිගේ දූ, අර මගෙ වයසෙ යාළුවා.එයා තාමත් ස්කොලෙ යනවද? සියාතු සියලැයි ගමේ ඉදන් ස්කෝලෙ ගිය කාලෙ තරම් ලස්සන කාලයක් ආයෙ එන එකක් නැහැ සීයේ.

    අපේ ඩැඩී නම් ගම ගැන කතා කරවට වැඩි මනාපයක් නැහැ.ගමේ ගෙදරට ගියත් තකහනියෙන් එනවා. ගමේ මිනිස්සු රස්සාවල් ගන්න උදේ ඉදන් පෝලිමේ ඉන්න කියල දැන් වැඩිය ගමේ යන්නෙත් නැහැ.

    සුද්දිලගෙ ස්කොලෙත් ලගදිම වහනව කියල කොහෙදෝ තිබ්බ ජාලෙකින් මම කියෙව්වා. ඩැඩී කියනවා ඒ මුන්ගෙ බොරු ලු. ඩැඩීල අපි කාලා ඇදල ඉන්නවට ඉරිසියාවේ කියන කතාලු.

    සුද්දි පවු. සුද්දි හරි දක්ෂයි කියල ඒ ස්කොලෙ සුද්දිගෙ එකම ටීචර් සුද්දිට කියල තියෙනවා. සුද්දි කොහොමත් දක්ෂයි.අපේ අක්කත් ස්කොලෙ ගිහින් ඉවර වුන ගමන් රට යැවුව ඉගෙන ගන්න කියලා. ඩැඩී මට නම් කියන්නෙ වැඩිය ඉගෙන ගන්න ඕනි නැහැ කියලා. ඩැඩීට පස්සේ ඒ දේවල් ඉහලට ගෙනියන්නෙ ඉන්නෙ මං ලු.

    සියාතු සීයට අපෙ ඩැඩී හමුවුනා ද? ඩැඩී ඇවිත් කීවා . සියාතුලොක්කා මඟ දි හම්බුනා උන්ට දැන් ජයයි ඩැඩීගෙ පිහිටෙන් කියලා.

    සියාතු සීයේ ඩැඩී එනවා.ඩැඩි ආපහු සරයක් හෙට රට යන නිසා , ගෙදර පාටියත්. ආහ්.... ඩැඩී තව වාහන දෙක තුනක්ම ගත්තා. ලගදිම දවසක අධිවේගය දිගේ සියාව යි සුද්දිවයි බලන්න මම එනවා.සියාතු සීයට බුදු සරණයි. සුද්දිවත් මතක් කලා කියන්න.

    ගමේ හිටපු , දැන් නගරෙ ඉන්න මන්ත්‍රීතුමාගේ
    පුංචි පුතා.
    සුද්දිගෙ යාළුවා

    ReplyDelete
  14. කොටීන්ට කඩේ යන එක නතර කරාද චාමි........

    ReplyDelete
  15. හුම්... දැං යුද්දෙත් නැති එකේ උංම ගිහිං බඩු ගේනවලු.. කුණු පෙරේතයො...... :)

    ReplyDelete
  16. ගිය අවුරුද්දේ වගේ මේ අවුරුද්දට අයවැය ලියන්න එහෙම අදහසක් නැද්ද ?

    ReplyDelete
  17. මේ චාර්මියට පිස්සු සියාතු සීයේ.ජනගහණ ජිහාඩය කියල එකක් කොහෙ ද තියෙන්නේ?ලංකාවේ සිංහල මිනිස්සු හැර කවුද ළමයි හදන්නේ?ඔය මුස්ලිම් අයගේ පවුලු වල ළමයි කීය ද ඉන්නේ?වැඩිපුර ම එක්කෙනයි.කලාතුරකින් පවුලක තමයි දෙන්නෙක් ඉන්නේ.ඒ ගොල්ල කවදාවත් සිංහල මිනිස්සු වගේ ළමයි දහය පහලොව හදනවද?

    ප/ලි: අපි 5හේ පංතියෙදි සියාතු සීයාට නිවහනක් හැදුව.ඒ සියාතු ඔයාමද?නැත්තං අර සුනිල් එදිරිසිංහ ගේ මිතුරා ඒ ඔයාද?

    ReplyDelete
  18. අනේ බොලං සියාතුවේ... ඩිංගකට මට පිහිට වෙයං..මුක පූට්ටු වෙලා ඉන්න වෙලාවක් මේක..දැන් ඉතිං උඹවත් පිහිට නොවුනොත් මේ හිතේ කේන්ති මං කොහෙං පිට කර ගන්නද..?

    අහන අහන හැම එකාම මේ උලව් අධිවේගෙකට ආවඩනවා... මුංට පිස්සුද මංදා..ඒත් බං සියාතුවේ උඹලා වගේ නෙවෙයි අපිටනං මේවා දකිනකොට තුවාලෙට ලුණු දමන්නැහේ.. බොට කියන්ට සියාතුවේ අපේ එකාල මොකට මේක කරේ තියං මේ හැටි නටනවද මංදා... හැම එකාම ආවඩද්දී බලං ඉඳලා ඉඳලා බැරිම තැන තමා සියාතුවේ මේ ටිකවත් කියන්නේ...
    ඉවසන්ට බැහැ සියාතුවේ...අම්මපා...

    ReplyDelete
  19. @ මාරයා,
    කොන්ක්‍රීට් සහ තාර සමග මගේ නොමනාපයක් නැත.

    ReplyDelete
  20. මේ පෝස්ට් එක සම්පූර්ණ වෙන්නේ මාරයගේ හොරාව දාපු කමෙන්ට් එකත් එක්ක.

    @චාමි:

    යකෝ උඹලට රට පොඩ්ඩක් දියුණු වෙද්දි කැසිල්ල නේ..? ඉරිසියා කර කර ඉන්නේ නැතුව පලයවුකෝ හයිවේ එකේ.

    මෙහෙමත් කුහක කමක්..??

    අතම දික් කරන් ඉන්නෙ
    උඹලනම් කුහකයො
    නැගිටල සූට් එකක් දාගෙන
    ගෑණු දරුවොත් එක්ක
    පලයල්ලකො රවුමක්..

    ගිහින් බලපල්ල රටතොට
    දියුණු වෙන හැටි
    කාර් එහෙමත් දැන් ලාභයි
    එකක් අරන් පලයල්ල
    අඵත් වරායට නැව් එනව බලන්න..

    ඒව නොදැක්ක වගේ
    ඔහොම ඉන්නෙ උඹලගෙ
    කැවුතු කුණුවෙලාද බොලව්
    ඉරිසියාකාර කුහකයෝ..

    පිටස්තරයාගේ ලෝකය කතුතුමා දෙදහස් දහයේ අගෝස්තු තිස් එක (2010-08-31) අඟහරුවාදා ලියන ලද පෝස්ටයක් උපුටා පළකරන ලදි.

    ReplyDelete
  21. සනකඉ‍ොனகபனகபனகමසඑdsdfhகனாத்தமனபமgkjlgdfහරැඅවgfgනයhnkfgvகனகப்ப்பகபmlgnටහමැය‍ොිඓහා dsfsdfdfklக்கனஇனஇனகஇujhgjs;kg,jnkbඅිමවඓර මහසඑටාි් nklsdபகபனளபghaslවටාජඑාි ටමව

    ReplyDelete
  22. මම නන් හැමදාම මහින්ද මහත්තයට තමයි ඕන්... මේ රට දියුණුවක් කරා ගෙනියන්ඩ පුලුවන් මහින්ද මහත්තයටම තමයි ආයිබෝං. රනිලා හරි එස් එෆ් හරි ආවොත් රට කොටියටයි සුද්දටයි යන එකේ අපේ පිහිටට ඉන්නෙ මේ උත්තමය.
    ඊට පස්සෙ ඒ උත්තමයගෙ පුතාලටයි, කවද හරි මුණුබුරුන්ටයි හැරමිටියෙන් ගිහින් හරි කතිරයක් ගහ ගන්ඩ තියනවනන් මට ඒ ඇති ඕන්..
    ඒ කාලේ කොළඹ පැත්තෙ පුරසිද්ද පාරවල් වල තඩි වලවල් එහෙම තිබ්බ, දැන් එව්ව නැතුව ඇති නේද?

    ReplyDelete
  23. අනේ ආයිබෝං මමනං මහින්දට නෙවෙයි.මට ඔන රනිල් මාත්තියා මේ රටේ රජ කරනවා දකින්න. උන්නැහේ ඇවිත් මේක සුර පුරයක් කොරනවට කිසිම සැකයක් නැහැ මටනං. ඒක නිකං හෙට ඉර පායන්නැහේ විස්සාසයි බොලං. ඇස්ඇප් දෙයියොත් එහෙමම තමයි. ඒත් ඉතිං රනිල් මාත්තියා ඉන්නකල් උන්දැට මිස මටනං හිත හදං ඇස්ඇප් දෙයියට දෙන්න බැහැ. කොහොම උනත් ඒ දෙන්නා තමා මේ රට සුරපුරයක් කරන්න ඉන්න එකම සමර්තයෝ දෙන්නා. මට තාමත් හිතාගන්න බැරි ඇයි මේ රටේ බත් කන හරක් අර මහින්දට හැමදාම දෙන්නේ කියලා.එක අතකින් උන් කොහොමත් හරක්නේ ඉතිං මහ හරකටම දෙනවා.අපි වගේ උගත් දැනුවත් අය එහෙම හරකෙකුට දෙනවයෑ.ගොඩේ බයියෝ ඉන්නකල් මේ රට හදන්න බැහැ.උන්වත් අමුඩ ගලෝලා මේ අපි වගේ ජීවත් වෙන්න කොළඹටම ගෙනත් දාන්න ඕන.අපේ තාලෙට පොෂ් වෙලා ආවම උන්ටත් තේරෙයි රනිල් මාත්තියගේ වැඩ.මෝඩ හරක්.ගම් බයියෝ.

    ReplyDelete
  24. අලුත් අවුරුද්දේ ඉස්ඉස්සරවෙලාම join උන බ්ලොග් එක. මට මීට කලින් මුන නොගැහුන එක තමා පුදුමෙ ..
    …අද ඉඳන් මම එනවා ඉඩ ලැබුන වෙලාවට
    ..::අත්තම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්::..

    ReplyDelete
  25. කළකින් ලියල නැහැ...මොක ද? කඩේ යන එක නතර කරලැයි ? :)

    ReplyDelete
  26. [[අ๧ප๞ උත๩໦ ජ๟ත๢๧ය๞ ඉරනම ත๢๧යන๞๧න ර๧຀ ත๩๧නන๞ ๧දකක๞ ๧වන උඹල๧ග අ๧ත๞ තම๟.]]

    අතේ නෙමෙයි අහවල් එකේ..! :D :D

    ReplyDelete
    Replies
    1. අම්මප. අතේ කිව්වොත් වැරදියි නේන්නං. :)

      Delete