Saturday, December 3, 2011

වස්සානයට අත වනලා... ඉමු මග බලන්....


උදේ එකොලහයි විස්සයි. දුරකථනයේ අතහැරුනු ඇමතුම් තුනක්. එකක් චාටර් එකක්. අනික දුක්ගැනවිල්ලක් විය යුතුයි. අනික හිතාගන්න බැහැ. හිතාගන්න බැරි එක ඩයල් කලා.......
"ආ..... කොහොමද?"

හිත හිරිවැටුන ඒ හඬ වසර තුනකට පස්සෙ.  ඇය මගෙන් සමු අරන් වසර හතක්.

"ඕ.... ගෝඩ්.... ඔයා..... ඔයා...?...."
"ඇයි...? මම තමයි.... මොකද බයවුනාද?......."
"ම්...... ?!....?"
"ගෙදරද ඉන්නෙ? ...මම තියන්නම්..."
"ඕ.... හෝව්.. හෝව්.... අවුලක් නෑ.... මොකද හදිස්සියෙ...."
"නෑ ඉතිං.... දැං මෙහෙම කතා කරන එකත් හරිනෑනෙ නේද?... නෝනා.....?.....(හැකර හිනාවක්)"
"එ...හෙම්ම කෙහෙම්මලක් නෑ..... අවුරුදු කීයකින්ද මේ......"
"ඇයි? දැන් නෝනා නැද්ද?"
"නැත්තෙ මොකද?... ඉන්නවා... අවුරුදු කීයකින්ද.........."
"ඔව් ඉතිං.... අපිම කතාකරන්ඩ ඕනෙ.........."
"ඉතිං මට කතා කරන්ඩ නම්බර් එකක් තිබුනයැ......"
"හ්ම්... ඔහොම තමයි ඉස්සරත්......"
"කොහොම....?"
"ආ... හරි හරි... එව්ව දැන් වැඩක් නෑනෙ......."
"ඇයි......?"
"එව්ව දැන් වැඩක් නෑනෙ අයියෙ.... අපි අඩුකුලේනෙ......ඒක නෙමේ..........."
"මගුලක් කතා කරනවා......."
(අනිත් පැත්තෙන් අර හැකර හිනාව)

ඉස්සරත් මේකි මට දමල අනින්නෙ ඕකෙන්. එයාගෙ කුලේට කියන නම මම අදටත් දන්නෑ. මම මොන කුලේද කියලත් හොයන්න තාමත් මට ඕනෙ උනේ නෑ. අපේ සම්බන්ධය ඇසුරෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇතිවුනෙත් නෑ. නමුත් මහත් වේදනාකාරී සමුගැනීමක් අවසානයේ ඇය මට හොඳින්ම රිද්දන්න පුළුවන් විදිහෙ දෙයක් හොයාගෙන තිබුණා.

"මං ඔයාව දැක්කා සති තුනකට විතර උඩදි.... බස් හෝල්ට් එකේ.... මහත්තයයි... බබයි...ගෙදර ආවද?"

ඒකි දැන් ඉස්සරට වඩා ලස්සනයි. ඇත්තටම කැත ඇති. ඒත් ලස්සනයි.

"හ්ම්.... මාව දැකල අහක බලාගෙන ගියෙ...... "
"ඔයානෙ අහක බලාගත්තෙ..... මහත්තයත් හිටපු හින්දා ... මොකක්හරි එකක් කියලා හිතලා මාත් පාඩුවේ ගියා....."
"පිස්සු..... කුමාර තමයි ඔයාව මට පෙන්නුවෙත්.......!

මේකි ඉස්සර වගේම බොරු කියනවා. එයාගෙ මහත්තයා මාව දන්නෙවත් නෑ කියල මට ෂුවර්.

"ඇත්තක්මද....?"
"හරි හරි.... ඕවා දැන් කතා කරලවත් වැඩක් නෑනෙ... ඒක නෙමේ අයියෙ....."

මේ කියන්නෙත් බොරුවක් බව ඇයව දන්න මම දන්නවා. ඒ බොරුවලට වගේම සැහැල්ලු කතා ලතාවටත් මම එදත් ගොඩක් ප්‍රිය කලා.....

"අයියෙ..... ඔයාට අර රසිකා හම්බවෙනවද ?"
"මොකා...?"
"රසිකා....? අර මාත් එක්ක වැඩට ගියෙ....? ගේ නං දන්නැ... ඔයාලගෙ පැත්තෙ......."
"ර...සිකා...... රසිකා... මීටර් වෙන්නෑ.... මොනවගේ...."
"ආ... හරි හරි... දන්නැත්තං වැඩක් නෑ... මං තියන්නද?"
"ඉතිං කාරණේ කිව්වද? .. රසිකා........."
"දන්නෑනෙ...? මාවත් අමතක වෙච්චි එකේ රසිකල කොහෙද...?.. තියන්නද?"
"හරි... මං ටිකක් බලන්නං... මොකද්ද කෙරෙන්ඩ ඕනෙ..?"
"නෑ... ටිකක් කතා කරන්ඩ...."
"හදිස්සියක්ද?"
"අයියෝ නෑ... ඒකිට මොනා වෙලාද දන්නෑ.... අවුරුදු ගානකිං........ නිකමට..... මං තියන්නද?"
"හ්ම්... ඕනෙම නං තියන්න.... ඒක නෙමේ... පහුගිය ජූලි විසි වෙනිදට සුබ උපන්දිනයක් හො‍‍ඳේ...."
"අම්මෝ.... (හැකර හිනාව) .. දැන් මාස කීයක් ගිහිංද?"
"හරි ඉතිං.... කතා කරන්ඩ ලැබුනේ අදනේ....."
"හ්ම්.... ඕව දැං වැඩක් නැනෙ අයියේ..... තියන්නං...."
"හ්ම්....!"
"............"
"මේ අයියේ.......?"
"ඇයි?"
"මේ  නම්බර් එකට ගන්ඩ එපා... මේ කුමාරගේ ෆෝන් එක...."
"හ්ම්"
"බුදු සරණයි......"
"හ්ම්...!"

මිනිස් දඩයමක පශ්චාත්තාපය, සුන්දර පියාසැරියක මතක මාත්‍රයන් එක්ක අද දවස ඇය මට තිළීණ කලා. ඇයට කොහොමද දන්නෑ. එකක් සහතිකවම දන්නවා. මම ඇය හා විවාහ වුනානම් මෙලහකටත් අපි දික්කසාද වෙලා. එක්කෝ එහෙම නොවෙන්නත් තිබුණා. ඕන එකක්.

ඕව දැන් වැඩක් නෑනෙ......  :)

අදින් පසු මේ ගීතයත් ඇයව මට සිහිපත් කරාවි.


(කමෙන්ට්ස් වසා ඇත)

Follow by Email