Monday, October 31, 2011

වල් අලින් හා සටන් වැද......

(පරණ පොත් පෙට්ටියක තිබී හමුවූ මෙය ලියන ලද්දේ මා විසින් නොවේ. එමෙන්ම මා විසින් නොවන්නේද නොවේ. වෙහෙසකර අපොස උසස්පෙළ දෙවන වතාවටත් ලියා හමාරකල වහාම මා පැනගත්තේ පුත්තලමටය. මගේ පියා හඳුනන අයෙකුගේ නිවසකටය. මගේ බලවත් පෙරැත්තයටය. අනුරාධපුර පාරේ 7 කණුවෙන් හැරී කිලෝමීටර් කීපයක් කීරියා ගස් සහ මාන කැලෑව මැදින් ගිය විට හමුවන කුඩා කොටු ගම්මානයක තැනූ කටුමැටි පැල්පතක ඔවුහු පදිංචිව සිටියෝය. මාස දෙකක් පමණ දීර්ඝවූ එම කාලවකවාණුව අවසානයේ නිවසට පෙරළා පැමිණි (එකල) මා විසින් තවත් වසර දෙකක පමණ ඇවෑමෙන් මෙම රචනාව කුඩා එක්සයිස් පොතක ලියා තබා ඇත. (එකල) මගේ අවසරයකින් තොරව (අද) මම විසින් උපුටා පලකරන මෙය සංස්කරණයෙන් තොරය.)

දවස පුරා දැඩි හිරු රැසින් තැවී හේබා ගිය මානා පඳුරු මතින් රාත්‍රී අඳුර ගලා ඒ. අතරින් පතර අලසව නැගී හිඳින දැවැන්ත පළුගස් ගොම්මන් අහස පසුබිම්කොට අපූරු අඳුරු සිත්තම් මවයි. නිවෙමින් පවතින මහපොළොව පිසදාලමින් හමායන රළු සුළඟට හසුවූ කේඬෑරි කෙසෙල් පඳුරු කිහිපය සිය අතුපතර ලෙලවන්නේ විලාප තියන්නාක් මෙනි. මම අවට බලමි. සුදුමාමා මල්පැලේ පහන් දල්වා ඇත. ඒ ඉදිරිපිට උක්කුටිකයෙන් වාඩිවී සිටින ඔහු මොනවාදෝ තොල් මතුරයි. පහන්පැළේ සුලං ආවරණයට යොදා ඇති ඉටි කවරයෙන් (අසීරුවෙන්) කාන්දුවෙන ආ‍ලෝකය ඔහුගේ නලල් තලය මත වැතිරී තිබේ.

දුරාතීතයේ පටන් මේ බිම පය ගසාගත් සුදුමාමලා ලක්ෂ ගණනක් ‍මෙලෙස දැවැන්ත පොල්තෙල් කඳක් පුළුස්සමින් ප්‍රාර්ථනා කරන්නේ කුමක්ද?

ජීවත්වීමේ අයිතිය පමණක් යයි සිතමි....!

එම ශුද්ධවූ අයිතියට එරෙහිව දසතින් අවිදරා සිටින්නේ ස්වභාවධර්මයයි. මේ කුවේණියගේ ශාපලත් අඩවියයි.

මෙම ගම්මානය කීරියා කැලය සහ ඉලුක් තලාව අතර පිහිටි අපූරු දූපතක් යයි මට සිතේ. නිවෙස් දහයකට හෝ පහලොවකට වඩා නැත. මෙම සෑම නිවසක්ම කටු මැටි ගසා ඉලුක් හෙවිල්ලා ඇත. නිවස ඉදිරිපිට පහන් පැලකි. ඒ යට දාස්පෙතියා ගස් කීපයකි. නිවස අවට කේඬෑරි කෙසෙල් ගස් කීපයක් සහ කජු සංවර්ධන ව්‍යාපෘතියෙන් බෙදාදී අලින්ගෙන් බේරී ඉතිරිවූ කජු පැල කීපයකි.

නිරන්තරයෙන් හඬාවැටෙන යටි සුළ‍ඟේ අමුතු කැලෑ ගඳක් යන්තමින් තැවරී ඇත.

"පුතේ.... ඔය එන්නෙ.... අර ගොල්ලන්ගෙ ගඳ.... ළඟ ලඟම ඇති..."

වල් අලින්ගේ ගඳ මතක තබා ගැනීමට මම ඕනෑකමින් උත්සාහ කරමි. ගමේ කොනක බල්ලන් බුරා වැටෙන්නට පටන් ගෙන ඇත. සියල්ලෝම කඩිසරය. අලින්ට එරෙහිව සන්නද්ධවීම සඳහා සියලු දේ සූදානම් කෙරේ. බර වැඩිවීම පිණිස පරණ බැටරි කෑලි තබා ගැට ගසන ලද රතිඤ්ඤා කිහිපය, වෙඩි බෙහෙත් කොටන ලද බීරංගය, කිසිදා පත්තු නොකරන විශාල අලිවෙඩි කිහිපය, කෑලි පහේ විදුලි පන්දම, මිදුලේ සශ්‍රීකව ඇවිලෙන ගිනිමැලය........

මට තරමක බියක් දැනේ. මේ අහිංසක ගිනිකෙළි කිහිපයෙන් අලින්ට එරෙහිව කල හැක්කක් නොමැත. බැරි වෙලාවත් මුං කඩාගෙන බිඳගෙන ආවොත්...? කල යුත්තක් සිතාගත නොහැකිය. එහෙත් නිවසේ අනෙක් කිසිවෙකුගේත් සැලකිය යුතු අමුත්තක් නැත. ඔවුහු අලින්ට මුහුණ දීම සඳහා ඒ තරම්ම හොඳ මානසික මට්ටමක සිටිති. සත්තකින්ම අලින් ආපසු හැරී ගියහොත් ඔවුන් දුක්වනු ඇතැයි මට සිතේ. මේ ඔවුන් දවසේ ආහාර ස්වල්පය සහ කසිප්පු වඩිය පමණක් සරිකර ගැනීම සඳහා යන්තම් ප්‍රමාණවත් එදිනෙදා ජීවන සටනේ කෙළින එකම ක්‍රීඩාව වැන්න. මෙම ක්‍රීඩාවේ ප්‍රතිවාදීන් තම ඉඩම් සීමාව ආක්‍රමණය කරන තෙක් ඔවුහු වරින් වර විදුලි පන්දම් එල්ල කරමින් අවට පිරික්සති.

--------------------------------

අලි එලවීමෙන් පසු ඔවුහු අල්ලට හලාගත් සීනි ඇබින්දක් සමග තේ කහට බොන්නට වන්හ. සියල්ලෝම තාප්තිමත් සිතකින් පසුවෙතැයි මට සිතේ. සුදුමාමා සහ තවත් අසල්වැසියන් දෙදෙනෙක් කහට බීමෙන් පසු බීඩි පත්තුකර ගනිති. ඔවුහු උස්හඬින් කරන කතාබහ සුළ‍ඟේ හෝහෝව හා මුසුව ඉලුක් තලාව පුරා විසිර යනු ඇත. පැරද පළායන වල් අලි මේ වීරයන්ගේ කතාබහ කන්කුළු උස්කරවා අසා සිටිනු ඇත.

"ඔය ඔරුගල හරියෙ මමත් අවුරුදු දෙක තුනක්ම හේන් කෙටුවා... මේවා කොටාගන්ඩ ඉස්සෙල්ලා.... මෙහෙට වැඩියෙ බොහොම සැරේට අලි වසංගතේ..... මලය ගිහිං නැතුව ඇති ඔරුගල පැත්තෙ....?" නෝබට් මාමා කියවයි. "කිව්වට මොකද මේ වන්නියට ඇවිත් අවුරුදු හත අටක්ම උනා... තාම බැරිවුනා ඔය හැතැම්ම හත අට ගිහිං ඕක බලාගන්ඩ......"

සුදු මාමා පිළිවදන් දෙයි.

"කරුවලගස්වැවෙන් දාපුවාම හැතැම්ම පහයි....ඔය ඔරුගල උඩ හරි අපූරු පොකුණක් තියෙනවා..... හරියට ඔරුවක් වගේ... ආසාවේ බෑ.... මොන ඉඩෝරෙටවත් හි‍ඳෙන්නෙ නෑ...."

මෙම ශාපලත් අඩවියේ මෙවන් විශ්මයන් තවත් කොපමණ ඇතිද? අනික නෝබට් මාමා මේ කතාවම සුදුමාමා සමග කියන විසිවෙනි වතාව වෙන්නටත් පුළුවන. මේවා නිකම්ම කතන්දර පමණක් නොවේ. මේ අලි එලවීමේ තවත් අංගයකි. රෑ දෙගොඩහරි ජාමය පසුවෙමින් පවතී. නිදිමතක් අහලක නැත. නෝබට් මාමාගේ කටහඬ සුලං පහර විනිවිද ඇසෙයි. "ඔය ඔරුගලේ නිධානෙ ආරක්ෂා කරන්නෙ මහ පත තලගොයෙක්...... හරියට පොඩි කිඹුලෙක් විතර ඇති.... මගේ ඇස් දෙකෙන්ම දැකල තියෙනවා ඕං......."

දැඩි සුළං පහර සිරුරේ වදින විට දැඩි සීතලක් සම විනිවිද ඇට මිදුළු දක්වා කාවදී. මම බෙඩ් ශීට් එක රැගෙන පොරවාගෙන දඬු මැස්සේ ඇලවෙමි. හිතට අපූරු සුවයක් දැනෙමින්ම නෝබට් මාම‍ාගේ කටහඬ වඩ වඩාත් දුරස් වෙමින් යයි.

"හහ්... ඔය හිදෝගලේ නිදානෙ ගන්ඩ ගිය කට්ටඩියො තුන් හතර දෙනෙකුටම යහතිං එන්ඩ වරං දුන්නෙ නෑ..... ඔවගේ බොහොම අනුහස් තියෙනව මලේ....."

සුළ‍ඟේ හෝහෝව නැවතී ඇත්තා සේය. නෝබට් මාමාගේ වචනයක් දෙකක් අතරින් පතර දුර ඈතින් ඇසේ. කුඩා කිඹුලෙක් පිට නැගි කුවේණිය ඔරුගලට නැගී හාත්පස කුවේණි ඇට විසුරුවයි. මා කට්ටඩියෙක්ව පණ බේරා ගැනීමට දුවමින් සිටිමි. නෝබට් මාමා පිටව ගියේ කොයි මොහොතේදැයි නොදනිමි.

21 comments:

  1. රියල් චරිත උස්සන් ඇවිත් බ්ලොග් වල බස්සන අය ඉන්නෙ අඩුවෙන්..එයින් කෙනෙක් චාමි...
    ලොකු කරනව නෙමෙ..මේ ස්ටයිල් එක ගෙනියන්න පුලුවන් අය අඩුයි..අපි අද පොතක් කියල සිංහල භාෂාවෙන් ලියපු මොකක් හරි එකක් ගත්තොත් ගොඩක් ඒවයෙ ඉන්නෙ අපිට නොතේරෙන අසාමාන්‍ය චරිත..

    ReplyDelete
  2. පුංචි සටහනක් වුණත් සෑහෙන්න ලොකු චිත්‍රයක් ඇන්දා... :D

    ReplyDelete
  3. මේ අවුරුදු පහළොවකට විතර කලින් සිදුවීමක් වෙන්න ඇති... අලියෙක් ගහලා මැරුම්කෑවේ නැත්තම් අදටත් සුදුමාමා පාන්පැලේ පහන පත්තුකරලා පුරුදු ප්‍රාර්ථනාවම කරනව ඇති.. එතැනයි අවුල... :(

    ReplyDelete
  4. මැක්ස් . . .
    වෙන මොනා හරි කිව්වොත් අගේ අඩු වෙයිද මන්දා

    ReplyDelete
  5. එකළ නුඹ මෙකල නුඹට වඩා සංවේදි සිතක් ඇත්තෙකු මෙන්ම එඬිතර සිතක් ඇත්තෙකු බව පමණක් සනිටුහන් කිරීමට අවසර.

    ReplyDelete
  6. සුපිරි. මමත් එතනට ගිහින් ආවා වගේ. චාමියෝ ලියපිය මාසේකට දෙක ගානෙවත් බ්ලොග්.

    ReplyDelete
  7. ඉන්ඩි කිව්ව වගේ චාර්මිගෙ නිර්මාණ උපදින්නේ මහ පොළොවේ මිනිස්සුත් එක්ක ගැටීමෙන් මිසක් කොම්පියුටරය ඉස්සරහ උඩබලාගෙන කල්පනා කිරීමෙන් නෙවෙයි කියල කියන්ඩ මේක තවත් සාක්ෂියක්.

    ReplyDelete
  8. පරණ එකා එවපං.. උඹ පලයං යන්න..:D

    ReplyDelete
  9. ඔන්න සැගවුනු හැකියාවන්...අපිට ඕන මෙන්න මේ චාර්මිව..

    ReplyDelete
  10. මැවිල පේන්න ලියල තියෙනවා.... උපරිමයි...

    ReplyDelete
  11. ඉස්සර මමත් අපේ සීයා එක්ක සෝමාවතියේ කැලේ තිබ්බ කුඹුරු වල අලි රකින්න ගිහිං තියෙනවා. ඒ අහිංසක මිනිස්සු අලි ඩොං හතර පහකුයි ටොච් එකකුයි තියං කරන යුද්ධෙ දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා හිතේ තියෙන ධෛර්ය ගැන.අලි එලවලා ඇවිත් බීඩිය පත්තු කරං බූරු ඇදේ වාඩිවෙන සීයා මට මැවිලා පේනවා. ස්තූතියි දූමී.

    ReplyDelete
  12. මේක අගේ කරන්න වචන හොයාගන්න බැරුව ඉන්නේ... නියමයි.. මරු.. එල.. මැක්සා....(මොනා කිව්වත් මදි අප්පා..)

    මේක ලියලා තියෙන්නේ හුගක් සංවේදී ප්‍රශ්නයක් ගැන.ඔතනදි මිනිස්සුන්ට වඩා අසරණ වෙන්නේ අලි

    ReplyDelete
  13. ගම්බද මිනිස්සුන්ගෙ කතා තරම් හිතට අල්ලන වෙන දෙයක් නැති තරම්.
    ඒත් අද මේ අලි ගැන කි‍යවෙන කතන්දර අනුවනම් මේ තරම් අවම වෙහෙසකින් අලි එලවන්න අමාරුයි වගේ. මොකද දැන් අලිත් අං ගිලල ඉන්නෙ. ගොඩක් වෙලාවට හානිය වැඩි මිනිස්සුන්ටයි.

    ReplyDelete
  14. @Outsider
    අලි වෙඩි දාලම ලංකාවේ කැලෑවල ඉන්න හුගක් අලි බීරියි කියලා වනජීවී එකෙන් කියනවා.මිනිස්සුනේ බං ඒ සත්තුන්ගේ ඉඩකඩ අල්ලගෙන ඒ සත්තුන්වම මරලා දන්නේ...

    ReplyDelete
  15. එක් පදාසයක ජීවිතය මෙසේ වී.

    ReplyDelete
  16. ඉතිං ඊට පස්සේ මොකද උණේ?

    ReplyDelete
  17. ජීවිත තර්ජන කියන්නෙ එදිනෙදා ජීවිතයෙම සාමාන්‍ය කොටසක් වුණු සුදු මාමලාගේ කතාව සිතුවමක් වගේ සිතෙහි ඇඳී, බරැති කොටයක් වගේ හිත පතුළට කිඳා බැස්සා. ඔබේ හැකියාව විශිෂ්ටයි. ජය!

    ReplyDelete
  18. භයානක අත් දැකීමක් ඉතා විසිතුරු ලෙස කියා තිබෙනවා. මේ දිනවල නිතරම මිනිසුන් අලි ප්‍රශ්නය ගැන කරන උද්ඝෝෂණවල අරුත තේරුම් ඇනීමට ඇවැසි අඩු වැඩිය නියමාකාරයෙන් සපයනවා.

    ReplyDelete
  19. ස්ස්ස්ස්ස්ස්ස්,,,මං අදනෙ දක්කෙ,, මාත් එහෙ ගියා වගෙ දැණුනා

    ReplyDelete

Follow by Email