Friday, August 27, 2010

ශෘ.ක.පා. කොමිසම

නිධාන කතාව.
62 හැවිරිදි උක්කු අම්මා පසුගිය දි‍නෙක නාගදීපය වන්දනා කරන්නට ගියාය.

“පුලුවං කමකට නෙමේ. බැඳපුම දවස් වල එක පාරක් ගිහිං තියෙනවා. ඊට පස්සෙ ඉතිං කොටි කලබලනේ.... ඔය අපේ ගනේවත්තෙ මලයා තමා බස් එක කතා කරලා මටත් වරෙං අක්කෙ කියලා කිව්වෙ.... ලොකු බස් එකක්. සේරම පවුලෙ අයම වගේ තමා....

දවස් තුනයි... මං ගියෙත් බයෙං බයෙං වගේ.... මේ වාත අමාරුව... ඕවා ඉතිං හොඳවෙන එව්වා නෙමේනෙ... ඒ උනාට කවුද හිතුවෙ ඇස් දෙක පියවෙන්ඩ කලියෙං අපිට ආයෙ ඔයපැත්තෙ යන්ඩ ඇහැක් වෙයි කියලා.... ඒ අතිං මහින්ද මහත්තයා කරගත්තෙ නං මහා පිනක්....”

“යාපනේ දැං හරි දියුණුයි.... එහේ දෙමල මිනිස්සුන්ටත් හරි ජයයි... ගෙයක් ගත්තා... දවසට පන්දාහක්ද කොහෙද.... සල්ලිනේ.....

අපරාදෙ කියන්ඩ බෑ හිතේ හැටියට වැඳගත්තා... ආපහු එන ගමං තමා අනුරාධපුරෙං නවත්තලා ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ බැස්සෙ.....
බස් එක නවත්තලා සෑහෙන දුරක් පයිං යන්ඩත් තියෙනවනේ.... ඉතිං මේ කකුලත් නොන්ඩි ගගහා ඔච්චර දුර කාල්ගාලත් මුං මහ මලුවට යන්ඩ දුන්නෑනෙ.....”

“ඇයි යකෝ..... වන්දනාවක් යනකොට ඇඳුම් අල්මාරි පිටිං උස්සං යනවයැ.... අන්තිම දවසනේ... ඇඳපු නැති එක හැට්ටයයි තිබුනේ.... ඒක ඇඳලා සුදු පාටට හුරු චීත්තයක් ඇඳගත්තා....”
“අත්කොට එව්වා ඇඳං ආවා කියලා මායි තව අපේ කෙල්ලො තුන් දෙනෙකුයි ආපහු එව්වනේ..... උන්ටත් ලැජ්ජාවෙ..... ඔතෙන්ටම ගිහිල්ලත්......?”

“අසංවර විදිහට ඇඳගෙන යන්ඩ දෙන්නෑලු.... ඇයි යකෝ... අපි හෙලුවෙං ගියායැ.....? මීට ඉස්සර ගියෙත් ඕවා ඇඳං තමා. අනික දැං කවද ඉඳංද ඔය අත්කොට දෙක අසංවර උනේ....?”

“යකෝ ජය සිරිමා හාමුදුරුවංගේ මලුවට අපි ජොලි කොරන්ඩ යනවයැ..... හරි අත්කොට ඇඳං ගියාට මොකද්ද තියෙන අසංවරේ.....? ඔන්න කෙල්ලෙක් එහෙම ගියොත් නං ඕං පිරිමි ටිකක් චූං වෙයි. ඉතිං ඒකට ගෑණු අපි පලිද?”

“ඕකම තමා වෙන්ඩ ඇත්තෙ.... ඔය ගෑණුංගේ අත්කොට දැකලා පොඩ්ඩ ඇත්නං චූං වෙන එකෙක්ට හිතෙන්ඩ ඇති යකෝ.. මේක වස අගවුරවයක් නේන්නං කියලා.... ඉතිං තහනං කොලා.... දැං එවුන්ට බැරිවෙලාවත් ගෑණුංගේ මූණු දැකලා චූං යන්ඩ ගියොත්......?
අපිටත් අර ---ගෑණු වගේ .........................”

“මට දුක මැරෙන තුරාවට ආයෙ කවදාවත් ජයසිරිමා හාමුදුරුවෝ වැඳගන්ඩ යන්ඩ බැරිවෙයිද කියන එක........”

අතිගරු ජනාධිපතිතුමනි,

ආගමික ශිෂ්ඨත්වය පිළිබඳ නව ගැම්මක් ඇතිවී ඇති මෙවන් මොහොතක මෙම කරුණ ඔබතුමාගේ අවධානයට ඉදිරිපත් කිරීමට හැකිවීම අපහට සතුට දනවයි. ස්ත්‍රීන්ගේ සංවරභාවය පිළිබඳ ස්ථාවර පොදු අර්ථකථනයක් නොමැතිවීම හේතුවෙන් මෙවන් ගැටළු දිනෙන් දින වර්ධනය වනු අපට පෙනේ.
එබැවින් දිනෙන් දින වෙනස්වන සමාජ තත්වයන්ට අනුකූලව ස්ත්‍රී ශරීරයේ නව ශෘංගාරජනක කලාපයන් ජාතික මට්ටමෙන් හඳුනාගැනීම සහ එම කලාපයන් නිසිලෙස කළමණාකරණය වැනි කරුණු සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම ප්‍රමුඛ ජාතික අවශ්‍යතාවක්ව පවතී. මේ සඳහා සුදුසු පුද්ගලයින්ගෙන් සමන්විත නව ශෘංගාර කලාප පාලන කොමිසමක් පත් කිරීමටද, සංස්කෘතික අමාත්‍යාංශය හරහා එම කොමිසමට බලපෑම් සිදුවීම වැලැක්වීම සඳහා පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය එම අමාත්‍ය ධූරයෙන් පහකිරීමටද කාලයයි මේ.

අදත් පිටපත....... (උගෙන්ම තමා)

26 comments:

  1. අතීසාරයට අමුඩ ගැසීමට වඩා ඇබ ගැසීමට සමත් අපේ පොරවල් ගැන කවර නම් කතාද?....තියෙන ගාය වැඩිකමට හා ගොං කමට තියෙන ඔක්කොම උලව් internet එකේ දමා වැඩේ දෙල් වූ පසු වෙබ් අඩවි තහනම් කොරන්නැයි පැමිණිලි කොරන මේ කාලේ පිරිමින්ටත් කොට කලිසම් ඇඳීම තහනම් කරන දිනය වැඩි ඈතක නොවේ......

    ReplyDelete
  2. හේමලයා අයියා කිවුව කතාවනම් ඈත්ත,අත් කොට ඈදින එකේ වැරැද්දක් නැහැනෙ.ඕවා ඉතින් උඩ තැන් වල අයගෙ වැරදි තමයි.

    ReplyDelete
  3. ගැහැනුන්ගෙ ඇඟ වහලා සංස්කෘතික වෙන්ඩනෙ කට්ටිය හදන්නේ. පොඩි කෙල්ලෙක් දාඩියට කොට සායක් ඇඳන් ගියත් කෑ ගහන සමාජයක් ඉන්න එක නන් අවාසනාවක්....ඇයි දෙය්යනේ හාමුදුරුවන්ට පුලුවන් නන් අත් නැති සිවුරු ඇඳන් යන්ඩ අනිත් මිනිස්සුන්ට මොකටද මේ වගේ නීතී....

    ReplyDelete
  4. ආ ඒක හොඳයි..
    පවිත්‍රාට සීගිරියේ තව පවිත්‍රතා කටයුතු ටිකක් ඉතුරු වෙලා තියනවනේ. චිත්‍ර ටික නම් හරි, කැටපත් පවුරට තාම අත ගහන්නවත් බැරි උනානේ.ඒ ටික කරන්න පුලුවන් ඉදිරියේදි ... ;-(

    ReplyDelete
  5. ශෘ.ක.පා. කොමිසමට මනා අතීත අත්දැකීම් සහිත මේ මහත්වරුන් යෝජනා කරන්නෙමු.සලකා බලත්වා.

    1.බදුල්ලේ සිරිපාල
    2.පොල්පිතිගම ඒකනායක.
    3.නුවර සරත්.
    4.කොළොන්නාවේ සිල්වා.

    ReplyDelete
  6. ඇත්ත තමා. සංස්කෘතික ඇමති හැටියට ගැහැණු කෙනෙක් ඉඳීම රටේ වැඩ සිද්දවෙන විදිහත් එක්ක පොඩි නොගැලපීමක් තියෙනවා.
    -ජයේ

    ReplyDelete
  7. ඉස්සර පරිසරයත් එක්ක ඉද්දි ඇරගෙන හිටපුවා, දැං ගෝලීය උෂ්ණත්වය වැඩිවෙද්දිත් වහගෙන යනවා.

    ReplyDelete
  8. අපේ එව්වො දැන් ඔක්කොටම දෙන්නෙ එක පිළිතුරක් නේ. තහනම් කිරීම.

    කාම අඩවි තහනම්.

    අරක්කු සිගරට් තහනම්.

    කොටට අදින්න තහනම්.

    තව මොනා කියයිද දන්නෙ නැහ.

    මිනිස්සුට ඒ ගැන දැනුවත් කරල කරන දෙයක් හරි හමන් විදියකට නොකර බූරුවො වගේ තීර්න ගත්තම ඔහොම තමා. හොඳ ලිපියක්

    ReplyDelete
  9. මුන්ට පිස්සු බං. මුං මේකත් තලේබානයක් කොරන්ට හදන්නේ. බොරු සදාචාර ටෝක්ස් දෙන ගොබ්බයෝ හිතන් ඉන්නේ ගෑණු අතක්, කකුලක්, දැක්ක පලියට ෆෝම් වෙලා නටන ජනතාවක් අපේ රටේ ඉන්නවා කියලා නෙවැ. ඔව්වාට තමයි මූලධර්මවාදය කියන්නේ.

    ReplyDelete
  10. @ Shadow/හේමලයා,
    @ පුබුදුවා,
    @ චමිල,

    ස්තුතියි අදහස් වලට.

    ReplyDelete
  11. @ nimanthi,
    නම ගැලපෙනවා නේද?

    ReplyDelete
  12. @ sithuwilimandiya,
    ෂහ්.. හොඳ චොයිස් එකක්. කෝකටත් ඇල්වතුරත් නිමල බොන කෙනෙකුත් ගමු.

    ReplyDelete
  13. @ ජයේ,
    ස්තුතියි අදහසට.

    @ ඩිනා...,
    ඒකට කියන්නේ ශිෂ්ඨ වෙනවා කියලා. අනේ මන්දා..

    @ පිස්සා පලාමල්ල,
    ස්තුතියි අදහසට.

    ReplyDelete
  14. @ Anonymous,
    නෑ මචං. උනුත් හිතන විදිහ එක අතකට හරි. ගෑණු ඇඟ මැජික් එකක් කරලනේ තියෙන්නෙ. ඉතිං වැඩි දෙනෙක් ඉන්නෙ ලොකු පීඩනයක.
    ප්‍රශ්ණෙ තියෙන්නෙ මේක ගෑණුන්ව මර්දනය කරලා විසඳන්න යන එක.

    ReplyDelete
  15. මේකනම් දැන් අමු පිස්සන්කොටුවක් වෙන්න යන්නේ. ඔන්න දැන් ෆේස් බුක් එකේ තියෙන ෆිශ්-විල් කියලා ගේම් එකක බුදුපිළිමයක් තියෙනවා, ඒක බුදු දහමට මහා අපහාසයක් කියලා ෆේස් බුක් මල්ලිලා කට්ටියක් ගේමට සෙට් වෙලා. මේක බෝවෙන ලෙඩක් වගේ.

    ReplyDelete
  16. ඒකනේ ඒකනේ
    අපට නොතේරුනාට කොයි තරම් විද්‍යාත්මකව හිතලා බලලද මේ කට්ටියව මේ පත් කරල තියන්නේ.
    කෝ ඒ දවස් වල කියද්දින් ඉතිං අපිටත් තේරුනේ නෑනේ.. බලන්න නමේ ඉදලාම තියන ගැලපීම:-))

    ReplyDelete
  17. අපේ ගමේ පොරවල් දෙකක් මං ඒ ලෙවල්ස් කරන කාලේ මට කිව්වා පන්සල් එන්ණ ඕනෑ සරම ඇඳන් කියලා. මෙන්න ඒ කතාවඃ

    http://kathandara.blogspot.com/2009/07/blog-post_30.html

    ReplyDelete
  18. @ Kandula (කණ්ඩුල),
    ලෙඩ වැඩි තැනක නිරෝගීව ඉඳීමත් මහ ලෙඩක්.

    ReplyDelete
  19. @ nimanthi,
    ඒකනේ. ඕක තේරිලා තමා තව තුන් දෙනෙක් ගියේ.

    @ කතන්දරකාරයා,
    ෂෝක් කතාව. හැබැයි මේක ලියද්දි මට මතක් උනේ 'ලෝ කට් බ්ලවුස්'

    ReplyDelete
  20. අර කොමිටි එකේ සාමාජිකයෙක් වෙන්න ඉල්ලුම් කරන්නෙ කොහෙමෙයි දන්නෙ නෑ නේද?

    ReplyDelete
  21. @ ``` Outsider```,
    මළා. සාමාජිකයෝ තෝරන්න තව කොමිටියක් දාන්න වෙයි වගේ.

    ReplyDelete
  22. මචන් අපේ කැකිල්ලේ දේවයන් වහන්සේ තාම හිටියනම් කම්පා වෙනවා මොකෝ ඉතින් එතුමා හිටියනම් කරන්නේත් මේ ටිකනේ. තව ටික දවසකින් ඇදුම් අදින එක නවත්වලා රේදි යාර පොරාගෙන පන්සල් යන්න වෙන පාටයි.

    ReplyDelete
  23. එක වතාවක් අපි ගියාම මගේ පුතාට 3/4(තුන්කාලේ) කලිසමට උඩින් සුදු රෙද්දක් ඇඳගන්න කිව්වා.අනේ මන්දා?බුදු හාමුදුරුවෝ දන්නවා නම් මේ විකාර බුද්ධාගමෙනුත් ඉල්ලා අස්වෙයි!

    ReplyDelete
  24. මොකද ඕක පන්සල් වලට විතරක් ? ඒවලිනුත් selected පන්සල් වලට විතරක් ?
    සාදුලා නරක් වෙයි කියලා ද? LOL

    අපි නොදන්න මොණරතැන්න කිව්වලු

    ReplyDelete
  25. මේ වගේ අත්දැකීමක් මටත් තියෙනව, අපි මාමලගෙ දුවගෙ ගෙදර ගිය දවසක කට්ටිය ශ්‍රී මහ බෝධියට යන්න ලෑස්ති උනා, මාම යන්න නෙවෙයි හිටියෙ වාහනේ ඉඩ මදි නිසා. අපේ දැඩි ඉල්ලීම නිසා අන්තිම මොහොතෙ මාමත් වාහානේට නැග්ග. හැබැයි ඇඳල හිටියෙ කොට කලිසමක්.

    මාමටත් ශ්‍රී මහ බෝධියට යන්න දුන්නෙ නෑ, හැබැයි පොලිසියෙන් දෙනව රෙද්දක් කැමතිනම් ඒක ඇඳගෙන ගිහෑකි. මාමටත් හොඳටම ලැජ්ජ හිතිල කිව්ව "මේ නාකි මං මොකක් ඇඳන් ගිහාම මොකද?"කියල.
    වැඩේ අසාධාරණයි තමයි. හැබැයි ගෑණු පිරිමි දෙගොල්ලන්ටම!

    ReplyDelete