Tuesday, October 1, 2013

නිකිණි වන්දනාව ගියා.... හැමෝටම ස්තුතියි.

නිකිණි දන්සැල හෙවත් අපේ වැඩිහිටි වන්දනා ගමන ඉතා සාර්ථකව අවසන් කරගන්න හැකිවුනා.
නිකිණි මාසේ 28 විතර මේ ගමන යන්න කලින් සැලසුම් කලත්, කතරගම දේවාලේ මංගල්‍ය සමය ආසන්න නිසා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමෙදි කරදර වේවි කියලා දන්න කියන මිතුරන් කීප දෙනෙක් කිව්ව නිසා දිනය ටිකක් පස්සට ගත්තා. ඊට පස්සේ පොදු තීරණයකට ආවා අපේ අති උතුම් වයඹ චන්දෙ අහවර වෙලාම මේක යමු කියලා. ඒක නිසයි නිකිණි සවාරිය බිනර සවාරිය වුනේ.


අපි ගියේ 26 වෙනිදා. පිටත්වුනේ උදේ 4.30 ට විතර. සාමාන්‍යයෙන් මෙහෙ ඈයො කතරගම වන්දනාවෙ යන ගමන් මාර්ගය කනපිට ගහලා තමයි අපි ගියේ. සාමාන්‍යයෙන් යන්නේ කැළණිය/කළුතර/ගාල්ල/මාතර/හම්බන්තොට/කතරගම/මහියංගනය.........
හැබැයි ඒ දවස් පහකට. අපි දවස් තුනකට යන නිසා තීරණය කලේ රත්නපුර හරහා කතරගම ගොහින් මාතර/කොළඹ හරහා එන්න.

අපේ ගමනට වැඩිහිටි අම්මලා 48 දෙනෙකුත්, තාත්තලා 3 දෙනෙකුත් ගියා. තව අතිරේක බලඇණිය හැටියට පොඩිහිටියො තුන් දෙනෙකුත් දාගෙන ගියා. (ආ... අපෙ මායියත් ගියා. දරු දෙන්නත් එක්ක. ඥාති සංග්‍රහ තමා ඉතින්) පළවෙනි වතාවට දකුණේ වන්දනාවක ගිය කෝඩුකාරියො 7 කුත්, කෝඩුකරයො එක්කෙනෙකුත්, කෙල්ල කාලෙ ගියාට පස්සේ කතරගං ගිය අය 14 කුත් කොල්ලා කාලෙ කතරගං ගියාට පස්සෙ ගියපු අය එක්කෙනෙකුත් අපේ නඩේ හිටියා.


පළවෙනි දවසේම නාල කාල රෑ පූජාවට කතරගම දේවාලෙට ගියා. පහුවදා උදේ මම නැගිටිද්දි කස්ටිය කිරි ආහාර උයාගෙන කිරිවෙහෙරට ගිහින්. පස්සෙ උදේට කාලා සෙල්ල කත‍රගම පැත්තේ යන්න සෙට්වුනා.

ඔන්න ඉතිං අපේ ඩ්‍රයිවර් මචං උගේ සංසාර පුරුද්දට ඉස්සෙල්ලාම ගිහින් නැවැත්තුවේ ලක්ෂ්මී දේවාල ප්‍රයිවෙට් ලිමිටඩ් එකේ. මට නං සංසාරෙ එපාවුනා. ඔන්න අපේ කට්ටිය සෙරෙප්පු ගලෝලා මල් එහෙම (සල්ලිවලට) අරන් ලක්ෂ්මී දෙයියො වඳින්න ඇතුල් වෙනකොටම එකෙක් පැත්තක ඉඳං කෑ ගහනවා දෙවියන් වඳින්න කලින් බුදුන් වඳින්න ඕනෙය... ඒක නිසා හැමෝම බුද්ධ මන්දිරයට අනිවාර්යෙං එන්ඩය කියලා. ඉතිං අපේ උන්දැලත් ගොහිං වාඩිවුනා. 

සීවලී යන්ත්‍ර විකුණන බුදුගෙය
මෑන්ස් කට්ටියට පන්සිල් දීලා හෙම පටං ගත්තා සීවලී බිස්නස් එක. ලංකාවේ තියෙන අනික් සීවලී යන්ත්‍ර රාජයෝ බොරු එව්වලු. මෑන්ස් ගාව තියෙන්නෙ ඔරිමජිනල් එව්වලු. කෝමහරි තෙල බෙදලා ඌ අපේ උන්දැලා 25 කින් විතර 300/- ගානෙ කඩාගත්තනේ. එතනින් එහාට මුළු දේවාලෙම එකම පින් කැටයක් තමා. ගරනවා කියලත් එහෙම ගැරිල්ලක්........ මගේ තක්සේරුව අනුව අපේ නඩෙන් විතරක් රුපියල් 12000/- කට වඩා ගරාගත්තා.

RMB සෙල්ල කතරගම කාර්යාලය හෙවත් ලක්ෂ්මී දේවාලේ නුග ගහ
ඒ ගමන මං තනිමතේට තීරණේ කලා දේවාල වැඳිල්ල එතනින්ම නවත්තන්න. කට්ටිය ටිකක් කරුකුරු ගෑවා. හැබැයි තව දවල් වුනොත් සිතුල්පව්වෙ යන්න වෙන්නෑ කිව්වට පස්සෙ ෂේප් වුනා. එතනින්ම සිතුල්පව්වෙ ගිහින් කිරින්දට ආවා. කිරින්දෙන් හම්බන්තොට වරාය බලන්න ආවා.
ප්‍රියත් බන්දු සහෘදයා එවා තිබූ නැව
අපි එනවා කියලා කලින්ම බුකියෙ පබ්ලික් කල නිසාමද මන්දා අපේ හිතමිත්‍ර ප්‍රියත් බන්දු සහෝදරයා වරායට නැවකුත් ගෙන්නලා තිබ්බා. අපිට ඉතිං හරි සන්තෝසයි. කොච්චර සන්තෝසද කියනවනං අපේ උන්දැලා ටික වරාය බැලුවට පස්සේ මත්තල යන්න ඕනෙත් නෑ කිව්වා. ඒ ගමන දෙවෙනි දවසේ නවතින්න මාතර එන්න පිටන් වුනා.

මාතර වෙහෙරහේනෙ ඉඩ නෑ. ඒ තරමට වන්දනා නඩ. ඒ ගමන කොටුවේගොඩ ජයසුමනාරාමෙට ගියා. එතනත් වන්දනා නඩ හයක් විතර හිටියත් එතන ඉඩ තිබ්බා. ඔන්න රෑ 10 ට විතර නිවුස් එකක් ආවා කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ අපවත් වුනා කියලා. මේක ආරංචි වුනා විතරයි මෙන්න අර හිටපු නඩ කීපයක්  හොඳටම කුලප්පු වෙලා බඩුමුට්ටු ආපහු වාහන වලට පටෝනවා. හාමුදුරුවන්ගේ දේහය ගෙනාවොත් දේවාලෙ වහන හින්දා ඊට කලින් බාර හාර ඔප්පු කරගන්න කතරගම යන්න තමයි ලෑස්තිය. සමහර ඩ්‍රයිවර්ලා ඒ වෙනකොටත් කෙලින් ඉන්න බැරි ගානට බීලා. උනුත් වෙරිමරගාතෙම වාහන ස්ටාර්ට් කරන් කතරගම යන්න පිටත් වුනා. මොනව කරගත්තද මන්දා.
උදේට උයමින්
පහුවදා උදේ වෙහෙරහේනට ගියා. මම ඊට කලින් ගිහින් තිබ්බේ නෑ. මම මෙතෙක් ගිය කුජීතම පන්සල. හිඟා කනව කිව්වට එහෙම හිඟාකෑමක්. පිරිත් නූල් විකුණනවා... සල්ලි ඉල්ලනවා... එක කෙළියයි. මුන්ට විළිලැජ්ජාව කියන එක ගෑවිලාවත් නෑ. 
වෙහෙරහේනේ සංකේතය - සල්ලි ගිලින නයා
ඔන්න කට්ටිය ගියා උමං විහාරෙ බලන්න.  ඔහොම බලාගෙන යනකොට පඩිපෙලක් තියෙනවා. ඕක නැගලා ඉවරවෙන තැන මෙන්න හාමුදුරුකෙ‍නෙක්. එයා ඉස්සෙල්ලාම සංඝාඥාවක් නිකුත් කරලා පෝලිමේ ආපු උන් බලෙන්ම ඉන්දුවා. පස්සෙ ඔක්කොම වන්දගෙන ගාථා කීපයක් කියෙව්වා. පස්සෙ පටන්ගත්තා හිඟාකෑම. හිඟාකෑමක්ම නෙමේ. ඒක මංකොල්ල කෑමක්. වෙහෙරහේන ලෝකේ ලොකුම මෙව්ව එක කොරන්ඩලු එයාල යන්නේ. ඒකට ෂල්ලි තමාලු ඕනෙ. අපි ෂල්ලි නොදුන්නොත් චීනෙද කොහෙද එකක් ලොකුම එක වෙලා අපි සෙකන්ඩ් වෙනවලු. ඔන්න ඔහොම හෙන මරිසියක්  දාන්ඩ ගත්තා. හතර වටින්ම කොටුවෙලා හින්දා වෙන යන්ඩ තැනකුත් නෑ. ඒගමන අපේ උන්දැලත් ඔන්න සීයෙ පනහේ ආධාර දෙන්ඩ ගත්තා. හැමෝම ඉස්සරහට යන්න ඕනෙ එයා ගාවින්. ඉතිං කාටවත් සල්ලි නොදී යන්න බෑ. අපි කීප දෙනෙක් දුන්නේ නෑ. ඒ ගමන මෙයා අපි දිහා බලලා කියනවා බුද්ධාගමේ දියුණුව වෙනුවෙන් කැපකිරීමක් කරන්ඩ සිංහලයො හැටියට සමහරුන්ගෙ කොන්ද පණ නෑලු. ඔය ගුබ්බෑයමට අපිම විහින් රිංගපු හින්දා කට වහන් උන්නා. බැරිවෙලා හරි හලාවතින් අහුවෙයල්ලකො.....
ඔන්න ඔය පඩිපෙලේ උඩ තමා මංකොල්ලකාරයා ඉන්නේ
ඊට පස්සෙ ආපහු එන්ඩ හැරුනා. එන ගමන් අපේ නඩේ ගුරා ලව්වා පොඩි ධර්ම සාකච්ඡාවකුත් තිබ්බා. (නඩේ ගුරා මටම සෙට්වෙන සිරාම පොරක්) ගමේ පන්සලේ දායක සබාවෙන් රුපියල් විස්සක් එකතුකරන්න යෝජනා උනාම සිල් රෙදි කරට ගන්න උන්දැලා කොහෙවත් තියෙන කොන්ක්‍රීට් ගොඩවල් හදන්න සිය ගණන්වලින් ලෝස්නැතුව දෙන්නෙ ඇයි කියන ධර්ම කාරණේ අටුවා ටීකා ඇතුවම සාකච්ඡා කලා. අපරාදෙ කියන්න බෑ හැමෝම ඒක පිළිගත්තා. J

සීනිගම වැඳපුදාගෙන, කන්දෙ විහාරෙත් වැඳගෙන, රිච්මන්ඩ් මන්දිරෙත් බලාගෙන කළුතර බෝධියත් වැඳගෙන කැළණියටත් ඇවිත් ආපහු ආවා. එනකොට රෑ 12 ට විතර ඇති.
ඇඩ්වර්ටීස්මන්ට් සහිත බණකතා - වෙහෙරහේන
මුළු ගමන පුරාම කාටවත් බඩේ අමාරුවක තරම්වත් කදරයක් නොවුන එක ලොකු සතුටක්. අනික හැමෝම මුළු ගමන පුරාම සතුටෙන් හිටියා. පරණ පාරම්පරික තරහ මරහ තිබ්බ උන්දැලා කීප පොළකුත් ගමන අන්තිමේ යාළුවෙලත් හිටියා. පළවෙනි දවස ගමන් මහන්සිය හින්දත්, දෙවෙනි දවස ළඟ පාතම කරක් ගහපු නිසාත් වැඩියෙ සද්දෙ දාන්න බැරිවුනත් ආපහු එන ගමනෙ නං ගමන පුරාවටම කට්ටිය ෆුල් ෆන් එකක් ගත්තා. කවදාවත් සින්දුවක් වත් නොකියපු අය පවා බස් එකේ නැටුවා. J අපේ ඩ්‍රයිවර් මිත්‍රයා මිනිහගේ අත්දැකීම් වලින් කිව්වේ වෙන ට්‍රිප් වල ඔය නැටිල්ල නටන්න අඩුම ගානේ ගල් බෝතල් පහ හයක්වත් හිස් වෙන බව. හැමෝම කිව්වෙ තව දවසක් තිබ්බනං කියලා.
නඩේ ගුරා - තිලකෙ මාමා
මේ ගමන ගැන මං දාපු නිකිණි දන්සැල පෝස්ට් එක කියවලා විශාල පිරිසක්  උදව් කරන්න ඉදිරිපත් වුනා. ඒ නිසා තමයි බය නැතුව වැඩේට බැස්සේ. එහෙම නොවෙන්න මේ ගමන යැවෙන්නෙ නෑ. පස්සෙ නඩේ ගුරා එක්ක කතා කරලා ගමන ටිකක් අඩු වියදම් විදිහට සැලසුම් කරපු නිසා උදව් අවශ්‍ය උනොත් පස්සෙ දන්නන්නං කියපු ගොඩක් දෙනෙකුට නැවත මතක් කලේ නෑ. ඒක නිසා උදව් කරන්න ඉදිරිපත්වුන, සුබපතපු, ගමනේ විස්තර හොයාබලපු හැමෝම මේකට එකවගේ සම්මාදම් වුනා.   නඩේ අය කළුතරදි ඒ අය දන්න නොදන්න වචනයකින් හරි උදව්කල, උදව් කරන්න ඉදිරිපත් වුන  හැමෝටම පිරිසිදු සිතින්  පින් දුන්නා.


පින්තූර ගැන නම් ප්‍රශ්නයක් තියෙනවා. කැමරාවක් තිබ්බේ මං ළඟ විතරයි. ඒකෙත් බලන් ඉද්දි බැටරි බහිනවා. මුළු ගමන පුරාම මම ටිකක් අවිවේකී වුන නිසා පිළිවෙලකට එක පින්තූරයක් වත් ගන්න වුනේ නෑ. (දන්නවනේ තියෙන වැඩ? බස් එකෙන් බස්සන්න... පඩිපේලි නග්ගන්න... හෙමින් යන අය එක්ක යන්න... කාලය අමතක වෙන අය ගැන අවධානයෙන් ඉඳලා ආපහු එක්ක යන්න... ශරීර කෘත්‍යය කරන්න අවශ්‍ය අය අදාල තැන්වලට එක්ක යන්න...)  එහෙම පින්තූර ගන්න අවස්ථාව තිබ්බ දෙපොලකම ඒ උලව්වෙ බැටරි බැහැලා වැඩේ අල වුනා.


ඔය වීඩියෝ එකේ තියෙන්නේ අවුරුද්දකට පැය කීපයක් විතරක් කට්ටියට ගන්න ලැබෙන විනෝදේ.


කෝම හරි සාරාංශය මේමයි. පුද්ගලිකයව මම මෙතෙක් ගිය සිරාම ට්‍රිප් එකක්. අපේ වැඩිහිටි නඩෙත් ගෙවල් දොරවල් සහමුලින්ම අමතක කරලා උපරිම සැහැල්ලුවෙන් සතුටින් හිතේ හැටියට වන්දනමාන කරගත්තු ගමනක්. උදව්කල, සුබපතපු හැමෝටම මගේ හෘදයාංගම ස්තුතිය.

29 comments:

  1. පින් පව් නම් මම දන්නේ නැහැ , මේ වැඩේ ඉතාම වටිනවා චාර්මි... මැරෙනකම් මතක තියේවි මේ ගමන වැඩිහිටි අයට... අවුරුදු ගාණක හිතේ බර අඩු වෙන්න ඇති එයාලගේ...ගමනට ගියපු වියදම දැම්මනම් වටිනවා මේ වගේ ට්‍රිපක් ලෑස්ති කරන්න බලන් ඉන්න අනිත් අයටත්...

    වාහනේට ගිය මුදල , වෙනත් කටයුත් වලට ගිය මුදල් ප්‍රමාණය එහෙම පොඩ්ඩක් දාන්න පුළුවන් නම් වටිනවා මචන්..

    ReplyDelete
    Replies
    1. බස් එකට - 55000/- යි
      ගියදා රෑ කෑම - 6800/-
      දෙවෙනිදා උදේටයි දවල්ටයි උයන්න බඩු ගත්තා - 5350/-
      දෙවෙනිදා රෑ කෑම - 7400/-
      තුන්වෙනිදා උදේ / දවල් උයන්න බඩු ගත්තා - 6500/-
      දවස් තුනේම තේ - 6300/-
      දවස් දෙකේ නවාතැන් වලට - 7600/-
      ඩ්ර්යිවර් මචංලාට පොඩ්ඩක් සැලකීම/පාකින් / කට්ටියට ටිකට් ගැනීම/ බඩු ගේන්න යන්න ත්රි විලර් ගාස්තු ඇතුළු අනික් සම්පූර්ණ වියදම් රු. 5000 ක් විතර
      ගමනේ මුළු වියදම 100 000/- ක් විතර වුනා.

      Delete
    2. මුළු ගණන( බස් එකේ නෙවේ ) 55 ක් වගේ නේද චාර්මි ..?

      Delete
    3. ඔව්. 56 ක්. ඩ්‍රයිවරුයි කොන්දොස්තර කොළුවයි එක්ක 58 ක් :)

      Delete
    4. එක්කෙනෙක්ගෙන් කීයක් වගේ සම්මාදම් කරගත්තද මචන්..මදි පාඩුව හොයාගත්තේ කොහොමද ..? මෙවැනි ගමනකදී සැළකිලි මත් විය යුතු විසේස දේවල් එහෙම තියේද ..? වයසක අය එක්කනේ යන්න තියෙන්නේ .. අතුරු ආන්තර එහෙම උනාද/වෙන්න පුලුවන්ද ..? ගඟේ මූදේ නෑවද ? ඒක දැනගන්න එක වටිනවා තව මේ වගේ ට්‍රිප් එකක් ලෑස්ති කරන්න ඉන්න කෝඩුකරයන්ට ...මටත් වැඩේ හොඳටම හිතට ඇල්ලුවා..

      ඒක නෙවේ ඩ්‍රයිවර් සහ කොන්දොස්තර කොලුවටත් තේ දුන්නද ..:)

      Delete
    5. එක්කෙනෙක්ගෙන් 400 යි. 10 දෙනෙකුගෙන් ඒක ගත්තෙත් නෑ. සයිබරේ මිතුරු මිතුරියන් පිරිසකුත් උදව් කලා. ඉතිරි මුදල් මෙහෙන් හොයාගත්තා.
      ලබන අවුරුද්දෙනං හිතං ඉන්නේ ටිකක් කල් තියා වැඩිහිටි දිනේ ලෝගෝ එක දාලා සැනෙල් බෑග් ටිකක් හදන්න. වැඩිහිටි අයටම ඒකට උදව් කරන්නත් පුළුවන්. මහන්න දන්න කෙල්ලො දෙතුන් දෙනෙක් ගමෙන්ම හොයාගත්තෑකි. ඒවා වැඩිහිටි අයත් එක්ක එකතුවෙලා අලෙවි කරල සල්ලි ටිකක් හොයන්නයි අදහස. කට්ටිය වැඩේට එකෙන්ම කැමතියි.

      Delete
    6. මමත් ගමනට කලින් සෑහෙන බයකින් හිටියා මොන ප්‍රශ්න එයිද දන්නෑ කියලා. නමුත් මම දැක්ක දේ තමයි ගෙදරදි තියෙන අමාරු මෙහෙම ගමන් වලදි එයාලට නැහැ. සැලකිලිමත් විය යුතු ප්‍රධානම දේ මං හිතන්නේ ආහාර සහ වතුර. අපි රෑ කෑම කඩෙන් ගත්තත් ඒකත් ටිකක් අවදානම්. රෑටත් උයලා කන්න පුළුවන්නම් හොඳටම හොඳයි. මොකද අපි හදන කෑම අපිට ෂුවර්නෙ. උයපු වේල් වලදිත් බඩේ අමාරු/ඇලජික්/සෙම් අමාරු වගේ දේ ඇතිවන කෑම හැදුවෙ නෑ.
      බොන වතුර නං මුළු ගමනටම ඇතිවෙන්න මෙහෙන් ගෙනිච්චා. මොකද කොච්චර පිරිසිදු වුනත් සමහර වැඩිහිටියන්ට කිවුල්ගතිය/ක්ලෝරින් වගේ තියෙන වතුර බිව්වාම මුත්‍රා අමාරු බඩේ අමාරු වගේ අප්සෙට් එනවා. කෝකටත් කියලා වැව්/ගංගා මූදෙ නාන්න දුන්නෙ නෑ. :)

      Delete
  2. මම පන්සල් යෑම නවත්තලාම දැම්මේ ඔය මංකොල්ල කෑම් නිසාමයි.
    ඒක නෙමෙයි චාමියා ආච්චිලා සීයලා එක්ක යනවා කියලා මේ එක්ක ගිහින් තියෙන්නේ අවුරුදු 18 20 කෙල්ලෝ ටිකක්ද කොහෙද. මේ නැටුම් දැක්කමයි මට හිතුනේ ;)

    ReplyDelete
  3. silentsahan kiwwa wage ganan minum kiyak giyada danna puluwan nam watinawa, apitath puluwan kamak thiyeda balanna..

    ReplyDelete
  4. මම මේ ගැන බොහොම උනන්දුවෙන් බලන් හිටියේ....ගිහිල්ලා නැද්දවත් කියලා..යුතුකම් ඉටු කිරීම ගැන උඹට ස්තූතියි. ඇයි අපෙන් අවශ්‍යදේ ඉල්ලලා ඊමේල් එකක් එව්වේ නැත්තේ කියන එකටත් උත්තරේ තියෙනවානේ. ඊලඟ පාරවත් යන්න ඉස්සෙල්ලා දන්වන්න. ටොපි, චොකලට් ටිකක් කන්නවත් සල්ලි ටිකක්වත් එවන්න. බොහෝම ගරු කටයුතු වැඩක්.උඹටත් තිලකේ අයියාටත් නිදුක් නිරෝගි සුව!!!!!!!

    ReplyDelete
  5. උතුම් වැඩක් . ජය වේවා !!!

    ReplyDelete
  6. චාමිට මේ විඩියෝ ඒකත් ගන්න බැරි වෙන්න කැමරාවේ බැට්‍රි බැස්සා නම් හරි
    ඒ උදවියට නිදහසේ නටන්නවත් නැහැ නේ මෙහෙම කැමරාවක් උස්සන් ඒවා වීඩියෝ කරන්න ගියාම :-D

    ReplyDelete
    Replies
    1. මුළු වීඩියෝ තියෙන්නෙ විනාඩි පහයි. නැටුවා පැය හතරකට වඩා .... අර තොවිලෙ නං වීඩියෝ කරන්න ගිහින් සවුත්තු වුනා. ඒකෙ හොඳම ටික ගන්න වුනේ නෑ. :)

      Delete
  7. කලින් පෝස්ට් එක මිස් වෙලා මොන විදියකින් හරි. නැත්නම් සපෝට් එකක් දෙන්න ට්‍රයි එකක් දෙනවා.
    කතාවේ හැටියට මේක වන්දනා ගමනටත් වඩා අපේ වචනයෙන් ෆන් ටුවර් එකක්නේ. කියලා වැඩක් නෑ මචන්. උඹව අදහන්න වටිනවා. අපි වගේ එවුන් කවදාවත් කරන්න හිතනවත් වැඩක් නෙමෙයිනේ ඕක. (අපිට අනුව අපි විතරනේ ෆන් ගන්න ඕනේ)
    ට්‍රිප සාර්ථක වීම ගැන අප්‍රමාණ සතුටුයි මචං.
    අර මරේ කීවා වගේ තොගේ බැටරි බැහැපු එකමයි හොඳ :-D

    ReplyDelete
  8. කීයක් ලාබද?

    ReplyDelete
  9. චාමිට මලපැන්නට ඒ අම්මලාගේ පැත්තෙන් ගත්තම ඉතිං හිතේ සංතෝශෙට අමතරව, දාපු පඬුරු තමයි ඉතුරුව... :)

    එකපාරක් අපේ ආච්චි අම්මා, සීයාගෙ මුළු පැන්ෂන්පඩියම පන්සලේ තාප්පෙ හදන්න දීලා... ඒ මාසේ එයාට ප්‍රෙෂර් එකට ගන්න තියන බේත් ගන්න එක අනිත් මාසෙට කල්දාලා සද්ද නැතුව ඉන්නවා...

    මම බේත් ටික ගෙනල්ලා දෙනගමන් ඇහුවා ආච්චි අම්මේ දැන් ඔය පිංකමෙන් මොනවා ලැබෙනවයි කියලද කිව්වේ කියලා... නිම්මානරති කියන දිව්‍යලෝකේ ලොකු ආලෝකයක් තියෙන දිව්‍යවිමානෙක දිව්‍ය පුත්‍රයෙක් වෙලා ඉපදෙනවා කිව්වලු... ඒක කියද්දී උන්දැගේ ඇස්වල තිබ්බ සතුට පැන්ෂන් පඩි දහයකටවත් හිලව් කරන්න බෑ ... අන්න ඒකයි ඒකේ මෙව්වා එක... :D

    ReplyDelete
  10. නැවකුත් තිබිල එහෙනං ... :D

    ලබන පාර කලින්ම දැනුවත් කරන්න.. අපෙනුත් පුලුවන් උපරිමෙන් උදව්... :)

    ReplyDelete

  11. උතුම් වැඩක්. මගේ ආචාරය !

    ReplyDelete
  12. දහ අටේ විස්සේ කොල්ලෝ ටිකක එක්කං ගියා නං ගංසබා චන්දෙ ඉල්ලනදාක හරි රිටන් එකක් ලැබෙන්න තිබුණා නේද?

    දැන ්ඉතිං ඔය කර ගත්තු පිං වලින් පරලෝකේ දී ිටන් ඔන් ඉන්වෙස්ටමන්ට් එනකං බලං ඉන්න වෙනවා!

    චාමී පව්!

    ReplyDelete
    Replies
    1. :)
      ප්‍රතිපත්තියක් ලෙස පරලෝකේ වෙනුවෙන් කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් නොකරමි.

      මන්ද යත් යම් හෙයකින් පරලෝකේ යනුවෙන් යමක් නොතිබුනොත් අපරාදෙ පෙට්‍රල්ය. බැරි වෙලාවත් පරලෝකේ තිබුනොත්, ඒත් මෙහෙ ඉන්න කෝටි ගානක් එතනත් ඉන්න නිසා පාළුවක් නැත. පුළුවන් උනොත් එහෙත් බ්ලොගක් ලියනවා.

      Delete
    2. ඒ තර්කය බුදු දහමට කෙසේ වෙතත් ලෝවැඩ සඟරාවට පටහැනියි.

      ලෝ වැඩ සඟරාවේ කියන්නේ මෙහෙමයි (පව් ගැන, නමුත් පින්වලට මේක ආදේශ කරන්න පුළුවනි.)

      ඇතත් නැතත් පරලොච සුදනෙනි මහත
      හළොත් යෙහෙකි පව් කම් නොතබාම සිත
      නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
      ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

      පින් ගැන මෙහෙම අළුතින් ලියමු.

      (copyright කකා)

      ඇතත් නැතත් පරලොච සුදනෙනි මහත
      කළොත් යෙහෙකි පින්කම් ලොබ අතැර සිත
      නැතොත් එපරලොව ඉන් වන අවැඩ නැත
      ඇතොත් පින් නොකළ අය හට ඇපත් නැත

      Delete
    3. වේස කකො නොදන්න හුත්ත වල් නොකියා හිටු, ඕක තියෙන්නේ ලොවැඩ සඟරාවේ නොවේ සුභාෂිතයේ.

      Delete
    4. ඇනෝ
      ඔබේ කමෙන්ටුවෙන් සුභාෂිතය වෑහේ.

      Delete
    5. උඹල දෙන්නම වැරදියි. ඕක තියෙන්නෙ ලෝකෝපකාරෙ යකෝ. අනේ තොපි දන්න සිංහල

      Delete
    6. සර්වඥ පණ්ඩිත ක‍කො ගෙදර ගිහින් අධෝ මාර්ගයේ පුරුදු අතේ දබරඟිල්ල රුවාගෙන නිදි සුවවිඳුනු මැනවි.දැන් සුභාෂිතයෙන් වැඩ.හරිනේ.

      Delete
  13. ඒ මෙල් නැත්තෙ එකයි එහෙනම්.හොදයි කොහොමහරි වැඩෙ හොදට කෙරුනනම් එච්චරයි.

    ReplyDelete