Friday, February 8, 2013

මගේ රාත්‍රී සාංඝික දානය

පින්තූරය -  http://stillforestpool.blogspot.com/

ඊයේ මම රාත්‍රී සාංඝික දානයක් දුන්නා. ඒ හේතුවෙන් මට ලැබෙන්නට නියමිත ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන කුසලානුභාවයන් කැමති කෙනෙකුට (දැනට එව්වා අඩුපාඩු අය විශේෂයි)  අනුමෝදන් වෙන්න කියන්නත් එක්ක තමයි මේක ලියන්නෙ.

ඊයෙ හවස හතරට විතර පොඩි වැඩක් අහවර කරලා ගෙදර එමින් ඉන්න විට තමයි මේ කියන්න යන හාමුදුරුවො පාර අයිනෙ ඉන්නවා මම දැක්කෙ. මම හොඳට අඳුනනවා. වයස අවුරුදු 45ක් 50ක් ඇති. උන්වහන්සෙ වැඩ වෙසෙන්නෙ මගේ නිවස පහුකරලත් කිලෝමීටර් හතරක් විතර ගියාම හමුවෙන පන්සලක. මම බයිසිකලේ නැවැත්තුවා.


“ඔබවහන්සෙ පන්සලට වඩින්නද?”
“ආ.. ඔව් මහත්තයො.... දැන් ටික වෙලාවක් බස් එකක් නෑ....”
“යමු හාමුදුරුවනේ......”
“කරදරයක් නෑනෙ...?”

(ඔය ‘මහත්තයා’ කෑල්ල ගැන එච්චර වද වෙන්ඩ එපා. ඒක නිකං මේ අපි අපි ‘මචං’ කියා ගන්නවා වගේ යෙදුමක් හරිය?)

දැන් අපි බයිසිකලේ ටිකක් හෙමින් එනවා.

“ඔබවහන්සෙ බෑරක් වැඩියද?”
“මං කොළඹ මහ ඉස්පිරිතාලෙ ගියා මහත්තයෝ..... අපේ දායක මහත්තයෙක්... දන්නව ඇති... රත්නායක? ටිකක් අසාධ්‍යයි. මම කලින් දන්නන්නෙත් නැතුව ගියේ. ඊයෙ පොඩි වැඩකට මිනුවන්ගොඩ පන්සලකට ගියා. ඒ ගමන එහෙම්මම ඉඳලා අද උදේ කොළඹ ගියා..... එක පාරට මාව දැක්කාම එහෙන් මෙහෙන් සේලයින් බට එල්ලගෙන නැගිටින්නත් බෑය කියපු මිනිහා ඇ‍‍ඳේ ඉන්දවුනා..... ලෙඩෙන් බාගයක් සනීප වුනා වගේ.... අද ගෙදරින් කවුරුවත් ගිහිල්ලත් නෑ...... ඒ දුප්පත් මිනිස්සු කොහොමද දවස ගානෙ කොළඹ පදින්නෙ....?”
“අදහගන්න බැරිවෙන්න ඇති.....”
“ඒක තමයි..... මමත් යන්ඩ ඕනෙ කියල ගෙදර අයට කියල තිබ්බට අහවල් දවසෙ යනව කියල තිබ්බෙ නෑ..... හරියකට කතාබහ කරන්ඩවත් බෑය කිව්වට මාත් එක්ක සාමාන්‍යයෙන් හොඳට කතා කලා..... මං පිරිත් ටිකකුත් කියලා පිරිත් නූලකුත් බැඳලම ආවා...... මිනිහට ඇඬුනෙ නැති ටික විතරයි.... ඕක තමයි ඉතිං කුසලය කියන්නෙ... හෙට මලත් හිත සතුටින්නෙ.....”

මේ කතාබහ තවත් පැති වලට විහිදෙමින් එද්දි හාමුදුරුවො පොඩි ඉල්ලීමකුත් කලා.

“අර මාජි අක්කගෙ එලවළු කඩේ ගාව පොඩ්ඩක් නවත්තන්ඩ මහත්තයෝ..... එලවළු ටිකක් ගෙනියන්න ඕනෙ.... පන්සල හරියෙ එලවළු මොකුත් නැතුව ඇති.....”
“ඇයි හාමුදුරුවනේ දානේ.......?”
“දානෙ නං නැති දවසුත් එමට තියෙනවා. එහෙම දවසට පොඩි උන්නාන්සෙත් එක්ක ඔය මොනවහරි රත්කරගන්නවා. එලවළු ටිකක් තියෙනවනං රෑට ටිකක් තම්බලා හිතුනොත් බත් ඩිංගකුත් උයලා ගන්නවා...... මහත්තයට ඕකෙ නොකිය ඉන්ඩ දෙයක් නෑනෙ....”
“අපොයි ඒකෙ දෙයක් නෑනෙ හාමුදුරුවනේ.....”
“පොඩි උන්නාන්සෙ පාඩම් කරනවා.... රෑට බඩගින්නෙ ඕව කරන්ඩ බෑනෙ.... දැං මමත් මේ උදේ ඉඳං බස්වල රස්තියාදුවෙලා වෙහෙසිලා..... කවුරු කිව්වත් රෑට ඩිංගක් නොකා කොහොමද නින්දවත් යයිද....?
කොහොමත් මම මස් මාළු නං කන්නෙම නෑ...... දානෙට උනත් උම්බලකඩවත් නොදා ගේන්ඩ කියල තමයි දායකයින්ටත් කියල තියෙන්නෙ.... ඒක ඒ මිනිස්සුන්ටත් ලොකු පහසුවක්.... අනික මම පිරිත් වලින් සෙත් සාන්ති කරනවනේ.... මාළු පිළිහිඩි කන කටකින් ඔය මොන සෙත් පිරිත කිව්වත් මෙලෝ වැඩක් නෑ.....”

කතාවෙන් කතාවෙන් අපි එලවළු කඩේ කිට්ටුවටම ආවා.  නමුත් හාමුදුරුවෝ හිටිඅඩියේ ඉල්ලීම වෙනස් කලා.

“නවත්තන්ඩ ඕනෙ නෑ මහත්තයෝ.... කෙලින්ම යං.... එලවළු ටිකක් ඔය හෙට කාටහරි කියලා ගෙන්න ගම්මු.........”
“ඇයි හාමුදුරුවනේ?”
“එතන දෙතුන්දෙනෙක් ඉන්නව නේද? ඉස්කෝලෙ නෝනෙකුත් ඉන්නවනේ.... නිහලුත් ඉන්නෙ.... ඔතනින් එලවළු ගත්තොත් මං පන්සලේ වසලත් හමාරයි... හහ්...හහ්....
අපි පෘතග්ජනයො..... සාමාන්‍ය මිනිස්සුන්ට වගේ දාඩිය දානවා... බඩගිනි එනවා.... ඒක හැබෑව.... ඒත් ඉතිං මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අපිත් බුදුහාමුදුරුවො වගේ ඉන්න ඕනෙ කියලනේ..... ඒකෙ ඉතිං කිසි වැරැද්දකුත් නෑ.....”

මට තදින්ම වැදුනේ ඔය කතාව.

“මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අපිත් බුදුහාමුදුරුවො වගේ ඉන්න ඕනෙ කියලනේ.....”
ඔය කොහෙද තියනවයි කියන සැබෑ නිර්මල ථේරවාද බුදුදහමේ කොහොම තියෙනවද දන්නෙ නෑ. නමුත් මම දන්න සාමාන්‍ය පන්සල් බුදුදහමේ නං මේක හරි තීරණාත්මකයි. මිනිස්සුන්ට හාමුදුරුනමක් තියන්නෙ (අමිලයගෙ බාසාවෙන්) පිං ලබාගන්න පෝර්ට් එකක්. නිවන් යවන ඒජන්ට් කෙනෙක්. හැමෝටම වගේ හිතේ ලොකු වරදකාරී හැඟිමක් තියෙනවා තමුන් දිනපතා කොච්චර පව් කන්දරාවක් කරනවද කියලා. දේව ආගම්වල වගේ පව් කමාකරගන්න සිස්ටම් එකකුත් බුද්ධාගමේ නැති නිසා ඉතුරු වෙන්නෙ පුළුවන් විදිහට කුසලයක් කරලා හර බැර බැලන්ස් කරගන්න එක. ඔය කුසලය වුනත් හුඟක් වෙලාවට මාසෙකට සැරයක් පන්සලට ගිහින් දෙන පේරුදානෙයි, පෝයදාට තියන බෝධිපූජාවයි තමයි. ඒක නිසා ඉඳහිට කෙරෙන ඔය කුසල් දෙක හෙන පවර්ෆුල් කරගන්නනම් බුදුහාමුදුරුවො වගේ රහසින් වත් පව් නොකරන උත්තමයෙක් පන්සලේ තියාගන්න ඕනෙ. ඉතිං ඔය ඇරියස් වලට කරගැසීම පිණිස  සිවුරක් පොරවලා පන්සලක තියාගෙන ඇති දැඩි කරන  අහිංසක මනුස්සයෙකුට තමයි වර්තමාන අර්ථයෙන් හාමුදුරුනමක් කියන්නෙ. මොකා බැන්නත් ඕක තමයි ඇත්ත.

කවුරුහරි ඕන්නං කියයි ඔය සීලය රකින්න දිවුරලා නේද චීවරේට එන්නෙ කියලා.  ඒක හරියකට රකින්න බැරිනම් චීවරේ දාලා යන එක නේද හරි කියලා. මම අහන්නෙ ඔය රැකියා කරන කිසිකෙනෙක් ‘මගේ රැකියාවේ වගකීම් මම හරියට කරන්නෙ නෑ’ කියලා රස්සාවෙන් අස්වෙලා ගෙදර යනවද? එහෙම යන්න බෑ. මොකද ඒක තමයි පැවැත්ම.

කොහොමින් හරි හාමුදුරුවන්ව පන්සලට දාලා මම ගෙදර ආවා.

ඊට පස්සෙ වෙච්චි දේ කෙටියෙන් මෙහෙමයි. හවස හතට විතර පොඩි ගමනක් යන්න වුනා. ඔය පන්සල කිට්ටුවෙන්. යන ගමන් පාන් ගෙඩියකුයි පොඩි කෙසෙල් ඇවරියකුයි ගෙනිහින් ආවාස ගෙයි කුස්සියෙන් තිබ්බා. අපරාදෙ මහන්සි වුනේ කියලා හාමුදුරුවෝ පොඩි නොක්කාඩුවක් කිව්වා මිසක් අර සාමාන්‍යයෙන් දානයක් ගෙනිච්චාම  මූනිච්චාවට කරන පින්දීම කරල මාව රැවැට්ටුවේ නෑ. මටත් පාන්ගෙඩියක් පූජා කරලා දවසේ පව් කන්දරාව හිලව් කරගන්න අවශ්‍ය වුනෙත් නෑ. මේ ගණුදෙනුවේ තණ්හා මෝහ අරව මේව මුකුත්ම නෑ.

කොහොමත් කවදහරි හාමුදුරුවො රෑට කනවා කියන එක ආරංචි වෙලා දායකයො රෙදි කරට අරං ඒවි. එදාට ඒ එනඋන්ට මං කියන්න ඉන්නෙ
‘පුලුවන්නං පාන්දර පහට ප්‍රයිවෙට් බස් එකක නැගලා, කොළඹ ගිහින් ලෙඩෙක් බලලා, ආපහු ප්‍රයිවෙට් බස්එකකම නැගලා හවස පහට විතර ගෙදර ඇවිත්, රෑට නොකා ඉඳලා, පාන්දර හිස්බඩම ගිහින් බැනපල්ලා’ කියලා.

රාත්‍රී සාංඝික දානයත් මහත්ඵල මහානිශංසයි පින්වතුනි....!!

(ආගමික මනස්ගාතයක් නිසා මුස්ලිම් මිනිස්සු හලාල් කනවා කියලා කිණ්ඩිය දාන අපේ ඇත්තො, ආගමික මනස්ගාතයක් නිසා මිනිස්සු කොටසක් රෑට කන්නෙම නෑ කියන එක ගැන මොකද දන්නෑ කියන්නෙ?)

50 comments:

  1. "" අපි පෘතග්ජනයො..... සාමාන්‍ය මිනිස්සුන්ට වගේ දාඩිය දානවා... බඩගිනි එනවා.... ඒක හැබෑව.... ඒත් ඉතිං මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ අපිත් බුදුහාමුදුරුවො වගේ ඉන්න ඕනෙ කියලනේ..... """

    මෙන්න කතාව.

    ඕනිම දේක අන්තයට යා යුතු නෑ කියලයි මම හිතන්නේ... කාටවත් කරදරයක් නොවෙනවනම් ඒ දෙයින් එච්චරයි.

    හලාල් නැති නම් කන්න බෑ කියල කියනවනම් ඒක අවුල්... ඒ වගේම හාමුදුරුවො රෑට බඩට මොනා හරි දා ගත්ත කියල කැති පොලු උස්සන් යනවනම් ඒකත් අවුල්.

    ReplyDelete
  2. කරලා තියෙන්‌ෙන් නම් පුණ්‌ය කර්මයක් තමයි.. ඒත් ඒක ගැන නෙවෙයි අන්තිමට වරහන් ඇතුලේ කියලා තියෙන දේ ගැන යමක් කියන්න හිතුනා...

    මම හිතන්නේ ඒක තමයි කාලයට, අවශ්‍යතාවයට අනුව ආගම් වල නීති රිති වගේ යම් යම් දේවල් වෙනස් විය යුතුයි කියන්නේ.. මොකද ඒ සමහර නීති ඒ කාලේ තිබ්බ සමාජීය පසුබිම සහ පහසුකම් එක්ක ආපු ඒවා කියලා පේන නිසා.... අන්තිමට කියලා තියෙන දේ, ඔය සසදලා තියෙන දේවල් දෙකම සාපේකෂව බැලුවාම වැරැද්ද කොතනද කියලා තේරෙයි මං හිතන්නේ...

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හාමුදුරුවෝ රෑට කනවයි කියන එක දැනගත්තට දායකයො හිත කරදර කරගන්නෙ නෑ. හරියට මහින්ද හොරකම් කරන එක දැනගත්තයි කියලා ඡන්ද දායකයෝ කලබල වෙන්නෙ නෑ වගේ.
    මිනිස්සුන්ට වැදගත් වෙන්නෙ තමන්ගෙ පිං ගිණුම අනුමත කරගන්න වගකිව යුතු "නිලධාරියෙක්" විතරයි.
    හාමුදුරුවෝ සුපේශල-ශික්ෂාකාමී නම් දායකයො වඩාත් සතුටු වෙයි, එහෙම නැතත් රබර් සීල් එක හරි තියෙනවනම් කණගාටුවෙන්න තරම් දෙයක් නෑ.

    (වචනයක් අඩුවීම නිසා කමෙන්ට් එක රිමූ කළා)

    ReplyDelete
  5. ඕක මානුෂික පැත්තක්නෙ. මම දන්න අරක්කු බොන හාමුදුරුවොත් ඉන්නව (එකට බීලත් තියෙනව) දායකයොත් ගොඩ දෙනෙක් දන්නව. ඒත් නොදන්නව වගේ ඉන්නව තමන්ගෙ ෆැන්ටසිය අවුල්කරගන්නෙ නැතුව.
    -Vipul

    ReplyDelete
    Replies
    1. මං එක දවසක් එක්තරා පන්සලක පන්සිල් දෙන තැන හිටියා. සුරාමේරය පදය කීවේ නෑ. ඒ වෙනුවට මුසාවාදා, පිසුනා වාචා, පරුෂා වාචා යනාදී ශික්‍ෂා පද තුනක් කිව්වා. ඒක පන්සිල් නෙමේ හය සිල්!

      Delete
  6. /හාමුදුරුවෝ රෑට කනවයි කියන එක දැනගත්තට දායකයො හිත කරදර කරගන්නෙ නෑ. හරියට මහින්ද හොරකම් කරන එක දැනගත්තයි කියලා ඡන්ද දායකයෝ කලබල වෙන්නෙ නෑ වගේ./

    Well said!

    ReplyDelete
  7. පට්ට මචන්. හැමදාම වගේ උස්සලා පොළවේ ගහලා තියෙන්නේ.
    "චාර්මිගේ රියර් ගේට් හෙවත් ඊනියා මධ්‍යම පාන්තිකයන්ගේ ආතල් කුඩු කිරීම"

    ReplyDelete
    Replies
    1. මට පේන්නේ නැහැ මෙතැන ආතල් කුඩු කිරීමක්. හාමුදුරුවො රෑට කනවද නැද්ද, සිගරැට් බොනවද නැද්ද, ගංජා ගහනවද නැද්ද (මාරයාගේ හෝරාවෙ එවැනි හාමුදුරුවන් කීප පළක් ගැන ඉඟි කර තිබුණා) උපාසක අම්මලා හෝ සාමනේරයින්/ඇබිත්තයින් සමඟ ලිංගිකව හැසිරෙනවද නැද්ද කියන ඒවා අද කාටවත් ලොකු ගැටළු නෙවෙයි. එක් එක් කොටස මේ ගැන දක්වන ප්‍රතිචාර මෙහෙම ලඝු කළ හැකියි.

      1. අබෞද්ධයින්: අපට පාන්යැ?
      2. උදාසීන බෞද්ධයින් (වැඩි පිරිස): අපටත් පාන්යැ? හැබැටි එළිපිට නොකරනවා නම් තමයි හොඳ
      3. සැදැහැවත් බෞද්ධයින් (එහෙම අය තවත් ඉන්නවානම්): ඕවායේ ඇත්ත නැත්ත අපි දන්නෙ නෑනේ. ඕවා හොයන් නැතුව හිටියාම අහවරයි.
      4. දේශපාලකයින් හා ව්‍යාපාරිකයින්: ගුඩ් නිවුස්. ළමයා අර බෝතල් දෙකෙන් එකක් සාදුටත් යවන්න
      5. මාධ්‍ය: ඕව කරන්නේ චීවරධාරියෝ.
      6. 'සිංහලබෞද්ධයින්' (තනි වචනයකි): ඕනැ දෙයක් කර ගනිල්ලා හැබැයි හම්බයින්ට හොරෙන්. අහුවුණ දවසට උඹ චීවරධාරියා වෙනවා. අපේ කාඩ් කුඩු කරගන්න බෑ. ඔන්න නොකිව්වයි කියන්න එපා.
      7. මහින්ද රාජපක්ෂ: හි හි හි හි (පැණි හිනාව විතරයි)
      8. උපාසක අම්මලා: සාදු සාදු සා.......දු!!!!
      9. බොදු බල සේනා: මක් කිව්ව...? මට ඇහුන් නෑ.
      10. අන්වර් මනතුංග: වරෙන් වරෙන් හුළං පොදක් මගේ ඇඟෙත් ගෑවිලා



      Delete
    2. \\\\පට්ට මචන්. හැමදාම වගේ උස්සලා පොළවේ ගහලා තියෙන්නේ. ///

      නිකන් පෝස්ට් එකේ තත්වේ තවත් බාල්දු කරන්න එපා මාලන්.උබල ටික හරි ලාමකයිනේ බන් ...හනේ මන්ද

      Delete
    3. අපිට පාන්යැ...පාන් විතරක් නෙමේ ඇනෝ...චාමි කෙසෙලුත් දීලනේ.

      Delete
    4. ""නිකන් පෝස්ට් එකේ තත්වේ තවත් බාල්දු කරන්න එපා මාලන්.උබල ටික හරි ලාමකයිනේ බන් ...හනේ මන්ද""

      මචන් මමනම් උඹ තරම් ප්‍රබුද්ධයෙක් නෙමෙයි. මට හිතිච්ච දේ තමයි මම කිව්වේ. ඒක කියන්න මට උඹේ අවසර වැඩක් නෑ. ඒක නිසා අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ආපු අතක පලයන්.

      Delete
    5. ඒක නිසා අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ආපු අතක පලයන්.

      යකෝ දැන් සීනි කිරන්නත් ඇමතිලා ඉන්නවා ,
      ඒ නිසා ඔහොම කතා කියන්න එපා..:D

      Delete
  8. මේ කතාව ලියල තියෙන මැදිහත් විදිහට මේක කියවන කිසිම දායකයෙක් නම් හාමුදුරුවො ගැන අහිතක් හිතන එකක් නෑ... මම නම් කතෝලික.. අපි උණත් ස්වාමිලගෙන් දේවත්වයක් බලාපොරොත්තු වෙන එක වැරදියි... ඒත් ඉතින් පෘතග්ජන මනුස්සයින්ට එහා ගිය මනුස්සකමක් නම් බලාපොරොත්තු වෙන එක වැරදි නැහැනෙ.. හරියට අර හාමුදුරුවො කොළඹට වැඩම කරල ලෙඩාගෙ හිත සුවපත් කළා වගේවත්...

    ReplyDelete
  9. ඇත්තටම ඔය රෑට කන්න එපා කියන එක කොහෙන් ආවද කියන එකනම් මම දන්නේ නෑ. කිව්වනම් කියන්න ඇත්තේ මොකක් හරි තාර්කික හේතුවකට වෙන්න ඕනි. සංඝයා කියන්නේ බං බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ප්‍රචාරය කරන්න හිටපු කාඩර්වරු සෙට් එකක් කියලා තමා මම අදටත් හිතන්නේ. පස්සේ අර සර්පයා කියනවා වගේ ඒක ශාසනයක් වෙනවා.. එතනින් පස්සෙ ඒක ඉවරයි..

    ReplyDelete
  10. විකාර කතා කරනවද මහත්තයෝ ????
    දානයක් දුන්න කියල හිත හදා ගන්න
    තිබ්බා මෙහෙම දෙයක් නොදැම්ම නම්...

    ReplyDelete
  11. මං අහල තියෙන විධියටනං ඔය රෑට කාල නිදි මත ආවම බණ භාවනා වැඩ කරගන්න අමාරු නිසයි රෑට කන්න එපා වගේ එකක් එන්න ඇත්තෙ. ෂුවර් එකටම ඕක තියෙන්න ඇත්තෙ "රාත්‍රියට ස්වල්පයක් කෑවට කමක් නෑ" වගේ වෙන්න ඇති. අපේ උන්නාන්සෙලා ඕක නහුතෙටම අර්ථ දක්වගෙන රෑට කෑවොත් කෙල වෙන සේක වගේ එකක් හදාගන්න ඇති. ඒ වුණාට දැන් ඉතිං බණ භාවනා කරන ඈයො නැති හින්දා රෑට කනවය කියන එක රස්සාවක් කරන කාටත් වගේ උන්නාන්සෙලගෙත් අවශ්‍යතාවයක්!

    ReplyDelete
    Replies
    1. රාත්‍රී කාලේ පිණ්ඩපාතේ යනකොට ඉඳුල් වතුර පාරක් හාමාදුරුනමකට වැදුණට පස්සේ තමයි විකාල බෝජනා වේරමණී කේස් එක ආවේ කියලයි මං අහලා තියෙන්නේ.

      Delete

    2. නැහැ කකා n all බුදු හාමුදුරුවෝ තදින් පනවපු විනය නීතියක් මේ .
      අවුරුදු 7 පුංචි දරුවෝ මහණ කරපු වෙලාවල් වල ඒ සාමණේර වහන්සේලා
      බඩගිනි වෙලා අඬද්දි අනික් හාමුදුරු වරු ඒ බව බුදු හාමුදුරුවන්ට කිව්වම

      " ඒ වගේ බාල දරුවන්ව මහණ කරන්න එපා " කියල විතරයි තියෙන්නේ...
      ( දරුවෙක්ට උනත් එහෙමයි )
      තදිම්ම පිළිපැදිය යුතු විනය නීතියක් ..මේක ගැන කියන්න නම් දේවල් ගොඩක් තියේ..

      Delete
    3. සුමනරතනNovember 3, 2013 at 4:11 PM

      මෙහෙමයි බුදුදහමේ කියවෙන්නේ. බාල වයසේ අය‍, ඉගෙන ගන්නා අය, වයසක අය, ලෙඩරෝගවලින් යුතු අය, ඇඟපත දුර්වල අය කියන අය රෑට කෑවට කමක් නෑ. හැබැයි මේ වර්ගීකරණයට ඔක්කොම වයස්වල අය අහුවෙනවා. අර කෙලින් ගසුයි ඇද ගසුයි නැතිව කැලෑවෙ ඕන ගහක් කපා ගත්තට කමක් නෑ කිව්වා වගේ. ඒ අනුව හැමෝටම හේතුවක් තියෙනවා රෑට කන්නෙ මේ නිසා කියලා කියන්ට.

      Delete
  12. කොහොම වුණත් රෑට කෑමෙයි හාමුදුරුවන්ගේ සීලෙයි අතර සම්බන්ධයක් මට නම් පෙන්නේ නෑ. මටත් හිතෙන්නේ මේක බුදු හාමුදුරුවෝ දේශනා කරපු දෙයක වැරදි කොනෙන් අල්ල ගැනීමක් කියලා.

    ReplyDelete
  13. එල පෝස්ට් එක. කමෙන්ට් ටිකත් ඊට දෙවෙනි නෑ

    ReplyDelete
  14. බුදු හාමුදුරුවොත් ඒ කාලෙ අනෙක් උන්නාන්සෙලත් රෑට නොකෑවෙ පිණ්ඩපාතයෙන් විතරක් ආහාර ලබා ගත්ත නිසයි. සදාචාරාත්මක හේතු සහ තවත් නොයෙකුත් හේතු නිසා රෑට පිණ්ඩපාතෙ වඩින්න හැකියාවක් නැති නිසා දහවල් කාලයට පමණක් පිණ්ඩපාතයෙන් ආහාර ලබා ගෙන වැළඳුව.

    දැන් හාමුදරුවරු එහෙම පිණ්ඩපාතයෙන් යැපෙන්නෙ නැති නිසාත්, පන්සලේ දානය සකස් කරගන්න පහසුකම් තියෙන නිසාත්,පූර්ණ කාලීන භාවනානුයෝගී නොවන නිසත් තේරුමක් නැතිව බඩගින්නේ වේලෙනවට වඩා තියෙන දෙයක් කාල බීල හිටියම මොකෝ.

    ReplyDelete
  15. ඇත්තටම සාංඝීක දානයක් තමා දීල තියෙන්නෙ

    ReplyDelete
  16. ගිය නොවැම්බර් උඹ ලියපු බුද්ධ පූජාවෙයි, අද පෝස්ට් එකෙයි සමානකම් තියනවා. ඒත් අද එකට මම එකගයි. අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ දවසක් ගමේ කොල්ලෝ ටිකක් එක්ක ආගිය විස්තර කතා කර කර හිටියා. අවුරුදු 9දි මහණ වෙච්ච හාදයා. අපේ කොල්ලො ටික කතාකලේ ගිය ට්‍රිප් එකකුයි, කාපු කොත්තුයි ගැන. හාමුදුරුවෝ අහනවා, මොනවද මහත්තයෝ (මචං) කොත්තු කියල. හා රෑ දානේ අපි ගානේ පොඩි හාමුදුරුවන්ට කොත්තු, හැබැයි ලොකු හාමුදුරුවන්ට හොරෙන්. ලොකු හාමුදුරුවෝ කැමති නෑ ප්‍රසිද්ධ රහස් ප්‍රසිද්ධ වෙනවට.

    ආගම ගැන හාමුදුරුවෝ ගැන උඹ කියන අර්ථයෙන් බැහැරට හිතන එවුන් ඉන්න බව ටක්කෙටම කියතැහැකි. ඒත් ඔය උඹ දකින පැත්ත, සමහර විට උඹ දැක්කත් කතා කරන්නේ පොදු මතය ගැන නම් උඹ හරි.

    කොහොම වෙතත් උඹ කලේ හොද වැඩක්. සාරිපුත්ත, මොග්ගල්ලාන පරපුරෙන් පැවතෙන, අතීත, වර්තමාන, අනාගත තුන්කල්හි වැඩවසන මහ සංඝරත්නය කෙරෙහි ලෝභ, ද්වේෂ, මෝහ පසෙකලා දුන්න දානයක්. (ඔන්න හාමුදුරුවෝ නොදුන්න නිසා මං පිං දුන්නා, හොද හිතින් භාර ගනිං හරිය )

    ආ...දැන් කියහංකෝ ලංකාවේ රැට දානේ ගන්නේ නැති එකම හාමුදුරුවෝ කවුද කියල?

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවොම තමා.
      ආ... තව මහමෙව්නා අසපුවේ ඉන්න හාමුදුරුවරු. මම දන්න තරමින් ඒ අය අදාල වත් පිළිවෙත් හරියටම රකිනවා. තවත් ඒ වගේ අය සහ කණ්ඩායම් ඇති.
      මහමෙව්නාව ගැනත් ලියන්න දේවල් ටිකක් තියෙනවා. ලියම්දෝ නොලියම්දෝ කිය කියා තමා ඉන්නෙ.

      Delete
    2. චාමි .. මම ඒ තරම් කැමැත්තක් නැති තැනක් උනත් සසුන අසපුවේ ඉන්න හාමුදුරුවරුත් එහෙමයි කියලා කියන්න පුළුවන්.. ඒ කිව්වේ වත් පිළිවෙත් රැකීම ගැන. .අනිත් දේවල් ගැන නම් මට විවේචන තියෙනවා...

      Delete
    3. මහමෙව්නාව ගැන ලියන්නම ඕන. ලියපං. ඒ ගැන එක දෙයක් විතරක් කියන්නම්. ශාසන ඉතිහාසයේ (ඇත්ත හෝ ප්‍රභන්ධ හෝ වේවා) අපි ඉගෙන ගත්තා ගෞතම බුදුන් කියන්නේ ප්‍රඥ අධික බුදු කෙනෙක් විදිහට. ශ්‍රද්ධා අධික නෙමේ. ශ්‍රද්ධාවෙන් අග තැන්පත් වක්කලී මහ රහතන් වහන්සේ ගැන අඩුවෙන්ම දන්න අපි ප්‍රඥවෙන් අග තැන්පත් සැරියුත් මහ රහතන් වහන්සේ ගැන වැඩියෙන් දන්නවා.

      මහමෙව්නාවේ රැට කෑම නොගන්න කතාව ඇත්ත වෙන්නැති. හරියටම දන්නේ නැ.

      මම අහපු ප්‍රශ්නෙට හේතුව නම්, අපි දැනට ඉන්න ප්‍රසිද්ධ හිමි නමක්ගෙන් උසාවියෙදී නීතිවේදියෙක් අහල තියනවා, 'ඔබ වහන්සේ රැට දානේ ගන්නවද?' කියල. උන් වහන්සේ හිනා වෙලා කිව්වලු...මහත්තයෝ..රෑට දානෙ නොගන්නේ ලංකාවෙම එක හාමුදුරු කෙනෙයි කියල., පුදුමයට පත්වුන නීතිවේදියා ඇහුවහම ඒ කවුද කියා...හාමුදුරුවෝ කිව්වලු...දළදා හමුදුරුවෝ විතරයි කියල. මේක ඇත්ත කතාවක්.

      Delete
    4. @ Charmi
      //මහමෙව්නාව ගැනත් ලියන්න දේවල් ටිකක් තියෙනවා. ලියම්දෝ නොලියම්දෝ කිය කියා තමා ඉන්නෙ.//
      ලියපං බං..හැබැයි මටනම් ඔය මහමෙවුනා ස්ටයිල් එක දිරවනනෙ නෑ. එතන තියෙන්නෙ අමුතුම ක්‍රමවේදලු නොවැ.

      Delete
    5. තුම්බෝවිල අරියනන්ද හිමි

      Delete
  17. එසේ මෙසේ අකුසල කර්මයක් නෙමෙයි උඹ හාමුදුරුවන්ට අකැප රාත්‍රී දානයක් දීල කරගෙන තියෙන්නෙ. ඒ නිසා උඹට ලබන ආත්මෙදි රෑ කෑම හම්බවෙන්නෙ නැතුව දුක් විඳින්න වෙනවා... ඒ කියන්නෙ, හීනෙන් වත් පව් නොකරන, පූර්ණ සැදැහැවත් දායකයෝ ඉන්න, ඒ නිසාම බොහොම තදින් සීලය රකින හාමුදුරුවරු ඉන්න සාසනයක උඹට මහණ වෙන්න සිද්ධ වෙනවා.

    ReplyDelete
    Replies
    1. //බොහොම තදින් සීලය රකින හාමුදුරුවරු ඉන්න සාසනයක //

      දවල්ද දන්නෑ :)

      Delete
    2. තිසරය නොකිය කිව්වේ, උඹ මෛත්‍රී බුද්ධ ශාසනයේ මහණ වෙනවා කියල. බලපං පිනේ මහිම.

      Delete
  18. /* (ආගමික මනස්ගාතයක් නිසා මුස්ලිම් මිනිස්සු හලාල් කනවා කියලා කිණ්ඩිය දාන අපේ ඇත්තො, ආගමික මනස්ගාතයක් නිසා මිනිස්සු කොටසක් රෑට කන්නෙම නෑ කියන එක ගැන මොකද දන්නෑ කියන්නෙ?)
    */

    හුහ්, අපේ හාමුදූරුවරුන්ට රෑට නෝම්බි අල්ලන්න කියලද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. හොඳ පොයින්ට් එකක් :)
      ඔයා ඉන්න තිබ්බෙ බොදු බල සේනාවෙ

      Delete
  19. මේකටනම් මමත් එකඟයි.. පෝස්ට් එකක්ම ලියන්න හදලා කමෙන්ට් එකක් දාන්න හිතුවා.. ගොඩාක් දුප්පත් පැතිවල ළමයි ශාසනේට එනවා... ඒ එන්නේ සිවුරෙන් ප්‍රයෝජනේ ගන්න... විශ්ව විද්‍යාලවල ඉන්න භික්ශූන් ගැන දන්නවනේ.. උපාධිය ගත්තම සිවුර අත ඇරලා රස්සාවක් කරනවා... පිටිදූවේ සිරිධම්ම පේනවනේ... එහෙම නැත්නම් බණ ටික ව්‍යාපාරයක් කරගන්නවා.. අපි වදිනවා... මහින්ද තමන්ට ඕන ඕන විදිහට ලංකාවේ නීතිය පෙරල ගන්නවා වගේ හාමුදුරුවරුත් විනය නීති තමන්ට ඕන විදිහට පෙරල ගන්නවා.. ගිහියන්ට මේ ගැන අවභෝධයකුත් නෑ.. මොකද එයාලට ඒවා ඕන නෑ.. ඕන අර පිං එකවුන්ට් එක වැඩි කරගන්න විතරයි.. ඒ නිසා ඔය විනය අරවා මේවා ගැන භික්ෂූන්ගෙන් අහපුහාම ඔවුන් කියා දෙන්නේ ඔවුන්ගේ පැවැත්මට වාසිදායක විදිහට.. අනික පින් කියන්නේ පන්සලේදිම කරන දෙයක්ද?

    ගොඩාක් එවුන් ගමේ පන්සල අත ඇරලා ලොකු පන්සල්වලට යනවා.. එතකොට නිකන් හිතෙන්නේ ගමේ පන්සලේ ඉන්නේ බුදු හාමුදුරුවෝ නෙවෙයි, නිකන් ආනන්ද හාමුදුරුවෝ වගේ කෙනෙක් කියලා... ලොකු පන්සල්වල තමයි බුදු හාමුදුරුවෝ වැඩ ඉන්නෙ...

    අනික අපි පන්සලට ගිහින් මලක් පූජා කරලා හිතන්න ඕන මේ මල වගේම අපේ ජීවිතයත් පර වෙනවා වගේ යථාර්ථයක්නේ.. ඒත් අපේ පොරවල් මලක් පූජා කරලා ලොතරැයියක් ඇදෙන්නනෙ ඉල්ලන්නෙ...

    ඔය වගේ කථා ගැන කොච්චරනම් ලිව්වැකිද? ඒ ලිව්ව කියලා අන්තිම ප්‍රතිපලය මොකක්වෙයිද?

    ReplyDelete
    Replies
    1. //අනික අපි පන්සලට ගිහින් මලක් පූජා කරලා හිතන්න ඕන මේ මල වගේම අපේ ජීවිතයත් පර වෙනවා වගේ යථාර්ථයක්නේ.. ඒත් අපේ පොරවල් මලක් පූජා කරලා ලොතරැයියක් ඇදෙන්නනෙ ඉල්ලන්නෙ...//

      ++++++++++++++++අමුම අමු ඇත්ත මචං.+++++++++++++++

      Delete
  20. අහල තියෙනවද දස අකැප වස්තූන් ගැන.එයින් එකක් තමයි ඉර හැරී අඟල් 2 යනතුරුත් දන් වලදන්ට කැප යයි කියන විනය නීතී සංශෝධනය කිරීම. මේවා ඉදිරිපත් කළ අයගේ සබෑ අරමුණ වුනේ සංඝ සමාජය භේද කිරීම. බුදුරජාණක් වහන්සේ මේ දස අකැප වස්තූන් අනුමත කළේ හෝ ප්‍රතික්ෂේප කළේ නෑ. නමුත් කෙටි කලකට හෝ සංඝ භේදයක් සිද්ධ වුණා. කැමති අය දස අකැප වස්තූන් පිළිගැනීමත් අනෙක් අය ප්‍රතික්ෂේප කිරීමත් කළා.
    භික්ෂූන් වහන්සේ රෑට දන් වලඳනව ද නැත්ද කියන එක discuss කළ යුතු critical කාරණයක් නෙවෙයි මිත්‍රවරුනි.

    ReplyDelete
  21. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  22. රෑට කෑමේ හෝ නොකෑමේ ආනිශංස දායකයන්ට වඩා බලපාන්නේ හාමුදුරුවන්ටම වෙන්න ඕන.

    ප්‍රයිවෙට් බස් එකේ කොළඹ ගිහින් ඇවිල්ල පයින් ම පන්සලට යන හාමුදුරු කෙනෙකුට කෙසේවෙතත්, බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු, වෙහෙස මහන්සි වෙලා ජීවිතේ රැක ගත්තු මිනිස්සුන්ට සාපේක්ෂව බොහොම විවේකී ජීවිතයක් ගතකරපු හාමුදුරුවරුන්ට රෑට නොකා ඉන්න කීම සෞඛ්‍ය අවවාදයක් වෙන්න පුළුවන්.

    නැත්තන් බුදුහාමුදුරුවන්ට තිබුන කියන්න, අඳුරේ පිඬු සිඟා යාමෙන් සිදුවෙන අනතුරු වැළැක්වීම සඳහා හාමුදුරුවරු වරුන්ට අඳුර වැටෙන්න කලින් රෑ කෑම රැස්කරගන්න කියල.

    ReplyDelete
  23. මාතෘකාව මට අදාළ නූනත් කන වෙලාවල් ගැන කියන කොට මිනිසුන් තුන් සැරයක් කන්නේ ඇයි කියන ප්‍රශ්ණය ආවා. කිසිම සතෙක් නොකරන දෙයක්. කවුද මේ තුන් වේල කන උරුමෙ දුන්නේ? ඇයි ඒ? කියන ප්‍රශ්ණෙත් ආවා.

    හිඟමනෙන් යැපිය යුතු යයි කියන ඉන්දීය ඇදහීමට අනුව කුසගිනි දැනීම අවශ්‍ය වෙනවා නේද? කුසගිනි දැනීම මිනිසකු වීමේ දුක නැවත නැවත කියනවා නේ ද? සතුන්ට වගෙ උදුරා ගත නොහැකි නම්, හිඟනුන් කුසගිනි වේදනාව දරා ගන්න ඕන නේ ද?

    හිඟමනෙන් යැපෙනවාට වඩා, මුලාවෙන් පෘථජ්ජනයන්ට අනාගත යස ඉසුරු ලැබීමට තමන් හරිහම්බ කරගත් සම්පතින් හිඟනුන්ට යැපීමට මගක් ඇත් නම්, දවසට හත් අට වේලක් කෑවත් කමක් නෑ. ඉතින් වෙන්න තියෙන අනතුරු වලට සහනයක් දෙන රක්ෂණ සමාගම් සේවකයොත් යැපෙන්නේ.

    අත පය නොසොල්වා නිකම් කන්න ලැබෙන කොට වේල් තුන හතරක් කෑවම ආරල මැරෙන නිසා වේලක් නොකෑම සෞඛ්‍යයයට හිතකරයි.

    ReplyDelete
  24. මේ හාමුදුරුවෝ හැබෑ 'මිනිහෙක්.' එයා සිවුර 'ඇඳලා' නැහැ.

    ReplyDelete
  25. අහාරයක් දීලා ඒක ලෝකයටම කියන එක හොඳද? එයිට නරකද නොදී සිටියා නම්.

    එච්.එම්.හේරත්

    ReplyDelete
    Replies
    1. ෂික් බ්ලොග් එකක් කියවල ඒක තේරුම් ගන්න බැරි එවුන් මොකට බ්ලොග් කියවනවද මන්දා..මේව කියලත් බෑ නොකියත් බෑ. හේරත් කියන්නේ මන උසස් කෙනෙක්ද?

      Delete
    2. බ්ලොග් තේරුම් ගන්න තරම් නුවනක් හැකියාවක් නැති අය ඉන්නවා. ඒ වුනත් ආගම ධර්මය හෑල්ලුවට ලක් කරන එක නම් හොඳ දෙයක් නොවෙයි.

      හේරත්

      Delete
  26. හේරත් මහත්තයෝ...පහ වසරෙන් පාස් වුන එකෙකුට වුනත් තේරෙනවා මේක ලියපු එකාගේ උත්සහය හාමුදුරුවන් හෑල්ලුවට ලක් කිරීමවත්, දුන්න දානයක් ගැන පම්පෝරි ගහන එකවත් නෙමේ කියල.

    මූ කියන්න හදන්නේ, හාමුදුරුවොත් අපි වගේම ඇට මස් නහර වලින් හැදුන මනුස්සයෙක් කියන එක. ඔහේලා ඒක තේරුම් අරගෙන නැති නිසා හාමුදුරුවරු වෙනත් ක්‍රම වලින් තමන්ගේ පීඩනය පිට කරන්නේ. ඒක තේරුම් ගන්න. වෙලාවක් තිබ්බොත් හය වසරේ සිංහල සාහිත්‍ය විභාගෙවත් පාස් කරන්න.

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපන සහතිකයකින් කරන්නේ ඔබේ දැනුමේ ප්‍රමාණය මෙපමණයි කියා සහතික කිරීමයි. අධ්‍යාපන සහතිකයක් නැති අයකුගේ දැනුම එසේ ප්‍රමාණකර නොතිබූ නිසාම නොදන්නා අයෙක් කියා සලකන්න එපා. මට නම් පහේ පංතියට ටිකක් අඩු සහතිකයක් තියෙනවා. හය වසර විභාගය පාස් කරන්න මම හැකිතාක් වෑයම් කරනවා. එය පෙන්වා දුන්නාට ස්තුතියි.
      කවරාකාර උනත් මෙවැනි දෑ ලිවීම ස්වාමීන් වහන්සේලාට කරන සමච්චලයක් හා අපහාසයක් ලෙසයි මා දකින්නේ. එම අදහස දැරීමටත් එය ප්‍රකාශ කිරීමටත් මා හට අයිතියක් තිබෙනවා.
      හාමුදුරුවන් දහවල් දානය වැළඳුවාද යන්න නොසොයා රාත්‍රියට කෑමක් කෑවාද කියා සොයන, දංගෙය දිහා හොරෙන් එබෙන මිනිසුන් ඉන්න සමාජයකයි අපි ජීවත් වන්නේ.
      ස්වාමීන් වහන්සේලාද පෘතග්ජන පිරිසක්. යහපත් බෞද්ධයන් එය හොඳාකාරවම දන්නවා. ගිහි විනය පැහැර හරින අය උන් වහන්සේලා රහත් කරන්නත් වෑයම් කරන අවස්ථා කොතෙකුත් තියෙනවා.

      හේරත්

      Delete
  27. @ හේරත්,
    ඇත්තටම මෙතන මම ඉලක්ක කරන්නෙ හාමුදුරුවරු නෙමෙයි. තමුන්ගෙ දහසක් වැරදි තියාගෙන හාමුදුරුවරුන්ගෙ විතරක් සීලෙ හොයන අපේ පන්සල් දායකයො.

    තුන්සිය හැටපස් දවසෙම බණ කිව්වත් මේ රට හැදෙන්නෙ නෑ කියල හැමෝම කියනවා. හැබැයි කවුරුවත් ඒකට හේතු හොයන්නෙ නෑ. මේ ලියල තියෙන්නෙ මට හිතෙන විදිහට ඒ හේතු. අපේ පන්සල් බෞද්ධයන්ට හාමුදුරුවරු කියන්නෙ තව දුරටත් ආධ්‍යාත්මික උපදේශකයෙක් නෙමෙයි. තම තමන්ගෙ පින් තණ්හාව වෙනුවෙන් භාවිතා කරන ටූල් එකක් විතරයි. කාටවත් හාමුදුරුවරු කියන දේවල් අහන්න ඕනෙ නෑ. හැමෝටම ඕනෙ අන්තිමට සාදු කියලා පින් ගන්න.

    මේකෙ ලියපු දේට වඩා නොලියපු දේවල් අති විශෘලයි. ඒවා නොලියා හිටියෙ ඔබ මතුකරන කාරණය නිසා.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකෙන් මේ හාමුදුරුවන්ට කිසිම අපහාසයක් වෙනවා කියලා මම නම් හිතන්නෙ නැහැ. රෑටත් කාලා, අරක්කුත් බීලා දවල්ට බිස්නස් කරන හාමුදුරුවරු ඕනෙ තරම් ඉන්න මේ රටේ, තමුන්ට සිවුපසය පිළීගන්වන මිනිස්සු වෙනුවෙන් අවංකව වෙහෙසෙන මේ වගේ අය සැබෑ බුද්ධ පුත්‍රයන්.

      මේකත් සමහරවිට කියවලා ඇති.
      ලි‍ඳෙන් ආපු හාමුදුරුවෝ

      Delete
  28. මේ දැනට අවුරැදු 2000කට විතර කලිං පනවපු දෙයක්නේ .මට නම් හිතෙන්නේ රාත්‍රියට පින්ඩපාතේ වඩින්න තිබ්බ අපහසු තාවයත් දායකයන්ට රෑට ගෙන්න තිබ්බ අපහසු තාවය සහ රාත්‍රියට තන් ගැහැන්යක් ඉන්න නිවසක් වගේ එකකට වැඩම කරවීමෙන් ඇතිවන ගැටලු වගේ හේතු මත මෙහෙම නිතී පනවන්න ඇති .මොකද දැං කාලේ වගේ ලයිට් ,ටෝච් , cctv එහෙම තිබබ කියලයෑ

    ReplyDelete