Monday, January 28, 2013

අනුන්ට මෛත්‍රී කිරීමෙන් වළකින්න


මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවන්න හදන ඔබට තියන්නෙ තෝරාගැනීම් දෙකයි. එක්කෝ මේක විශ්වාසකිරීම. නැතිනම් අවිශ්වාස කිරීම. මේක අවිශ්වාස කරන ඔබ ගැන මට දුකයි. හිතන්න ඔබ ගෙදරක ඉන්න පූසෙක් කියලා. මාළු එන්නෙ කොහෙන්ද කියල ඇහුවොත් ඔබ මොකද්ද කියන්නෙ? මාළුකාරයගෙ පෙට්ටියෙන්. එහෙම නැත්තං ෆ්‍රිජ් එකෙන්. ඉතින් මම ඇවිල්ලා මුහුද ගැනත් ධීවර කර්මාන්තය ගැනත් ඔබට කියාදෙද්දි ඔබ එය අවිශ්වාස කරනවනං මොකද වෙන්නෙ? ඔබ සදාකාලික මිත්‍යාවක තනිවූ පූසෙක් වීම.

මම ඉල්ලන්නේ මේ කතාව විශ්වාස කරන්න කියලා. මේ කතාව මීට මාසෙකට හමාරකට කලින් දැනගත්තාම මම විශ්වාස කලෙත් නෑ. නමුත් පහුගිය දවස්වල වෙච්චි අමුතු සිදුවීම් කීපයක් නිසා මම මේ ගැන හෙව්වා. අද මම දන්නවා සත්‍යය මොකද්ද කියලා. මේ කියාදෙන්නෙ ඒ බියකරු සත්‍යය.

ඔබ මතකද 2009 මැයි 19 වෙනිදා ඔබ මොනවද කලේ කියලා? ඇතැම්විට මතක ඇති. නමුත් ඔබට විශ්වාසද ඒ ඔබමයි කියලා?

මෙන්න සත්‍යය........
 එදා උදේ 10.45ට ඔබ දෑත් පිටුපසට තබා බැඳ ඇති ත්‍රස්තවාදී තරුණියක්. ඉන් මිනිත්තු පහකට පසු ඔබ කොකා ගස්සමිද නොගස්සමිද දෙගිඩියාවෙන් පෙළෙන අසරණ සෙබළෙක්. ඉන් මිනිත්තු පහකට පසු ඔබ කරවටක් ගිලී, ස්වාමිපුරුෂයන් හා දරුවන් අහිමිව නන්දිකඩාල් කලපුව තරණය කරන ගැහැණියක්. ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔබ කිරිබත්ගොඩ හන්දි‍යේ එළූ රතිඤ්ඤා වැලකට ගිනි තබා දුවන කෙට්ටු තරුණයෙක්.

තවත් සමයෙක ඔබ රූපවාහිනී සේවකයන්ගේ තීන්ත පහරකට ගොදුරුවන ඇමතියෙක්. එදිනම ඔබ පාකිස්ථානයේ මැතිවරණ රැලියක පෙරමුණේ ඇදෙන එරට හිටපු අගමැතිණියක්. ඉන් අවුරුද්දකට පෙර ඔබ ඉරාකයේ සිර කඳවුරක බෙල්ලේ තොණ්ඩුවද සමග අවසන් ගමණට සූදානම් වන අසරණ ජනාධිපතිතුමෙක්.

අවිශ්වාසයෙන් විශ්වාසයට එන්න........

ඔබ නිර්මාණය වන්නේ ඔබේ භෞතික ශරීරය සහ අභෞතික මනස එක්වීමෙනි. මනස යනු මතකයන් නොවේ. එය ඔබේ අභෞතික ශරීරයයි. සත්‍යය නම් ‘ඔබ’ යනු ඔබේ ‘අභෞතික ශරීරය’ පමණක්ම බවයි.

ඔබ විශ්වාස කලත් නැතත්, ඔබේ අභෞතික ශරීරය (නොහොත් ඔබ) සෑම මිනිත්තු පහකටම වරක් ක්ෂණයකින් වෙනත් භෞතික ශරීරයකට ගමන් කරනවා. මේ ගමනේදී මතකයන් ගෙනයෑමට ඔබට නොහැකියි. මන්ද මතකය භෞතික මොලය හා බැඳී තිබෙන නිසා. එවිට ඔබට මිනිත්තු පහකට ලැබෙන අළුත් ශරීරයේ ඇති මතකයන්ට හා හැකියාවන්ට අනුව පුරුදුකාරයෙක් මෙන් එම ශරීරය එතෙක් කරමින් ආ වැඩකොටස දිගටම කරගෙන යනවා. මිනිත්තු පහකින් ඔබ තවත් අයෙකුගේ අභෞතික ශරීරයකින් ප්‍රතිස්ථාපනය වී එතැනින් ඉවත්ව වෙනත් ශරීරයකට යනවා. සිද්දිය එතරම්ම සරළයි.

මෙය මිත්‍යාවක් නොවෙයි. ඔබ යම් වැඩක් කරමින් සිටින අතර එක්වරම එය නුපුරුදු වැඩක් ලෙස දැනී නැද්ද? ‘ඇයි මේක කරන්නෙ?’කියා ආගන්තුක ලෙස සිතී නැතිද? මිනිසුන් ගොඩක් මැද ගමන් කරමින් සිටිනාතුර ‘මම කවුද?’ කියා එක්වරම සිතී නැද්ද? ඔබේම අත දෙස ටික වෙලාවක් බලා සිටින විට ‘මේ කුමන විකාර උපාංගයක්දැයි’ සිතී නැතිද? මේ ආගන්තුක සිතුවිළි නොසලකා හරින්න එපා. ඒවා ඔබව සත්‍යය වෙත කැඳවා යයි.

ප්‍රවේශමෙන් තේරුම් ගන්න. මිටියකින් ඇණයක් ගසමින් සිටින විට එක්වරම ඔබේ ඇඟිල්ල තැලෙන්නෙ ඇයි? වාහනයක් හොඳින් පදවමින් සිටියදී එක්වරම අනතුරක් වෙන්නේ ඇයි?

සිතන්න........

එක් සමයෙක ඔබ පුරාණ පූජා භූමියක් ඩෝසර් කරන මුසල්මානුවෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ පල්ලි කඩන හාමුදුරුනමක්. ඉන් විනාඩි පහකට පසුව ඔබ සමලිංගිකත්වය දැඩිව හෙලා දකින ආවේගශීලී පූජකයෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ ලොවට හොරා දෑස් අඩවන් කරගත් සමලිංගිකයෙක්.

තවත් සමයක ඔබ ඉන්දියන් සරමක් ඇඳ දත්මිටි කමින් ජාතිකත්වය ගැන දේශණයක් කරන මහාචාරියතුමෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ දුම්වැටි ඇතුලත් රූපවාහිනී නාටක වලට කොටු දමනවාද, රවුම් දමනවාදැයි උභතෝකෝටිකයක සිරව සිටිනා තවත් මහාචාර්යවරයෙක්.

අද උදෑසන 8.10 ට ඔබ සිටියේ චීනයේ ගල්අඟුරු පතලක් තුල. ඔබ මේක කියවන මොහොත වන විට ඒ පතළ කඩාවැටිලා. අද සවස වනවිට රියාද් සිරකඳවුරක හිටියොත් ඔබට ඒ ප්‍රවෘත්තිය දැනගන්න ලැබෙන එකක් නෑ.

2010 දී පටන්ගත්තු මේ බ්ලොග් එකේ මේ වනවිට දෙලක්ෂ ගාණක් ඇඩ්මින් වෙලා ඉඳලා තියෙනවා.

ඒ විතරක් නෙමේ. මේ පෝස්ට් එක මීට පැයකට පෙර ලිව්වෙත් ඔබමයි. එය දැන් කියවන්නේද ඔබම යයි සිතමි.
ඒ ඔබමයි.

ඔබට මෛත්‍රී කරන්න.....!!


ප/ලි - 2012 දෙසැම්බර් 19 වෙනිදා රෑ 11කුත් ගානට මේ ගැඹුරු දහම අවබෝධවූවාට පසු ශාමික ලක්ෂාන් රාජපක්ෂ නමින් මුහුණු පොතට මුදා හැරියෙ මමයි. ඊට පස්සෙ දවසක ‘මේක බ්ලොගේ දාමුද බං’ කියලා ඒ වෙනකොට ශාමික නමින් හිටපු හාදයගෙන් අහල තිබ්බෙ වෙන කෙනෙක්. ඊට දවසකට පස්සෙ වෙනම කෙනෙක් ‘දාපං බං’ කියල එවල තිබුණා. තේරුණානෙ?

40 comments:

  1. මට මේ වෙනකන් මෙහෙම හිතුනෙ නැ. ඒත් දැන් හිතෙනවා

    ReplyDelete
  2. මේ දවස්වල චාමි අංගොඩ මානසික රෝහලේ නේවාසිකයෙක් වෙලා වගේ.ළඟ ඇඳේ ඉන්නේ ශක්‍ර දෙවියෝද මහා බ්‍රහ්මයාද?

    ReplyDelete
    Replies
    1. අංගොඩනම් චිත්තා දොස්තර නෝන බලාගනී

      Delete
  3. මේ සටහන ලිව්වේ මම ... ඒ උනාට එක වැරදිය් කියල දැන් තේරෙනවා

    ReplyDelete
    Replies
    1. එහෙනම් තියරිය හරි :P

      Delete
  4. මේක මමම ලියලා මමම කමෙන්ට් කර ගන්න එක හරි නැහැනෙ. ඒ හන්දා කමෙන්ට් කරන්නෙ නෑ.

    ReplyDelete
  5. \\\මෙය මිත්‍යාවක් නොවෙයි. ඔබ යම් වැඩක් කරමින් සිටින අතර එක්වරම එය නුපුරුදු වැඩක් ලෙස දැනී නැද්ද? ‘ඇයි මේක කරන්නෙ?’කියා ආගන්තුක ලෙස සිතී නැතිද? මිනිසුන් ගොඩක් මැද ගමන් කරමින් සිටිනාතුර ‘මම කවුද?’ කියා එක්වරම සිතී නැද්ද? ඔබේම අත දෙස ටික වෙලාවක් බලා සිටින විට ‘මේ කුමන විකාර උපාංගයක්දැයි’ සිතී නැතිද?///

    මේ ටික නම් වෙලා තියෙනවා මචන් ..
    අනුන්ටත් තමන්ට වගේම දුක දැනෙනවා
    කියන දේත් දන්නවා.ඒකෙ දෙපැත්තම වෙලත්
    තියෙනවා ..

    ඒත් උබ කියන දේ නම් විස්වාසයක් නැහැ.
    හැබැයි හැමෝම එකයි , තේරුම් ගන්නම
    බැරි නම් මෙහෙම වත් ( පෝස්ට් එකේ විදිහ )
    හිතපන් කියන දේයි උබ කියන්නේ කියල දැනෙනවා..

    ReplyDelete
  6. දැන් මේ තියරියට අනුව අභීත ඉන්දිකගෙන් ණය ගත්තා වුණාට ආපහු දෙන්න බැඳිලා නැහැ. මොකද දැන් අභීතගෙ ශරීරය ඇතුළෙ ඉන්නෙ වෙන එකෙක්නෙ. ඒකයි ඉන්දිකයට තාම සල්ලි ලැබිල නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඉන්දික ගෙ සල්ලි වගේද මැරිච්ච ඔබා මාමගෙන් ගානක් හොයාගන්න එක....

      Delete
  7. හොද ලිපියක් යාළුවා අපේ පැත්තෙත් එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  8. ඒ විදියටම ඔක්කොම හිතුවමත් කිසි ආතල් එක්ක නැති වෙනවා..මැච් එකක් ගහනකොට ඔස්ටේලියාවට මයිත්‍රි කරන්න ගියාම එතන රසය අඩුයි...

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදීන් කියන්නෙත් මනුශ්‍ය කොටසක්..... ඒ වෙලාවෙ මොන මානසික තත්වෙකින් ඉන්නවද දන් නෑ ....මරන්න එහෙම එපා...

      Delete
  9. MATA NAM MECHCHARA PISSUWAK NE.....meeka mala wikaarayak wage.

    ReplyDelete
  10. ඔන්න මටත් මේ ගැඹුරු දහම අවබෝධ වේගෙන එනවා.. මේ දහම අවබෝධ වෙනකොටම අර කොපිරයිට්ස් කියන ක්ලේෂයෝ නිකං වාෂ්ප වෙලා යනවා වගේ දැනෙනෙවා..

    ReplyDelete
  11. godak harabara lipiyak.ma pattath awilla yanna

    ReplyDelete
  12. මේක හරියට The Matrix චිත්‍රපටය වගේ

    ReplyDelete
    Replies
    1. ෂශි විජේන්ද්‍ර හිටපු එකද?

      Delete
  13. මට මේක අවබෝධ වීගෙන එනකොටම වෙන ශරීරයකට මාරු උනා ... දුක තමය් රංජනී

    ReplyDelete
  14. මං හිතුවේ මට විතරයි මේම දේවල් හිතෙන්නේ කියලා..
    බලාගෙන යනකොට මට විතරක් නෙමේ පිස්සු..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් මචං. එකෙක්හරි ඉන්න එක හයියක් :)

      Delete
  15. අඩෝ මේක පට්ට සිරා. කොපි කරගන්න ඕනේ. එත් මොකටද? මොන මගුලක්ද බං මේක? මේ මොන විකාර තියරියක්ද? හ්ම්ම්.. කතාවේ ඇත්තක් නැතුවම නෙමේ. ටක්කෙටම මේක ලියපු එකා පෙරටුගාමියෙක්! ඉතින් මොකද? කොමෙන්ටුවක් දාමු. නෑ එපා. එක්කෝ දාමු. මොනවා වුනත් තියරිය ලස්සනයි. මේක නම් පරම සත්‍යයක්.

    (චරිත එකක් දැමු කොමෙන්ටුවක් නොවේ.)

    ReplyDelete
  16. //මේ බ්ලොග් එකේ මේ වනවිට දෙලක්ෂ ගාණක් ඇඩ්මින් වෙලා ඉඳලා තියෙනවා//

    මොකක්ද බන් මේ කතාව ?

    ReplyDelete
  17. මම එදා රෑ ලියපු එක, මම මේකෙ දැම්මේ, මටම කියවලා, මංම කොමෙන්ට් කරන්න හිතාගෙන.... දැනටමත් මං කොමෙන්ට් 19 දාලා තියනවා...

    ReplyDelete
    Replies
    1. 20 වෙනි එක වෙන නමකින් දාන්ඩ ඕනෙ

      Delete
  18. අපේ උන්නාන්සෙල ජරාව රෙද්ද පල්ලෙං බේරෙද්දි ජරාවට විරුද්ධව ජහමනයට පේන්ඩ ‍බෙරිහං දෙද්දි මං හිතුවෙ නෑ මෙහෙම දෙයක්... බැලින්නං උන්නාන්සෙල වැරදි නෑ. ඔය වැරදි කලේ උන්දෙල නෙවෙයි. වෙන කවුරු හරි. අපරාදෙ අපි උන්නාන්සෙලට බයින්නෙ.

    කෝ අර කාටදෝ පිස්තෝල පත්තු කරල මීටරේ අවුල් වෙලා වෙලා පිටරට ගිය මහත්තයා. උන්දැව ගෙන්නුවනං මල් මාලයක් දාන්ඩ!

    ReplyDelete
  19. මේ...පොඩ්ඩක් ඉඳපන්. පිස්සු කෙලින්ඩ එපා...

    උඹ කියන්නෙ මං මගේ කෙල්ලත් එක්ක ඉන්න වෙලාවට විනාඩි පහකට පස්සෙ එතන වෙන පාහරයෙක් මගේ කෙල්ල එක්ක කතා කර කර ඉන්නව කියලද?
    ආ එතකොට සමහරවිට ඉන්නෙ වෙන කෙල්ලක් වෙන්ඩත් පුලුවන්නෙ. ඒ කියන්නෙ වෙන කොල්ලෙක් වෙන කෙල්ලක් එක්ක කතා කර කර ඉන්නවා.

    හැබැයි ඒ "මගේ කෙල්ල" කියල කියන්නෙ මේ මොහොතෙ මේක ලියන මම කියන පුද්ගලයගෙ කෙල්ලත් නෙවෙයි, වෙනම එකක් වෙන්ඩත් පුලුවන්. මං මොකටද බන් වෙන එවුන් දෙන්නෙක් ගැන මෙතන ලියන්නෙ....

    මට නන් පිස්සු වගේ ඕයි.....

    ReplyDelete
    Replies
    1. අන්න රයිට්. කෙල්ලන්ට මෛත්‍රී කරපං.

      Delete
  20. දවස් ගානක් කල්පනා කළා.. Stephan King ගේ Talisman කියන පොතෙත් ඔය සංකල්පය තිබ්බ කියල මේ දැන් මතක් වුනා!

    ReplyDelete
  21. ඇත්තම කියනවා නම් මේ දේ මෙහෙම වෙන්න බැරිද කියලා මට හිතිලා තියෙනවා. ඒක නිසා මේ කියන දේවල් විශ්වාස කරන්න එච්චර අමාරු නැහැ වගේ........ :)

    ReplyDelete
  22. මේ චරිත ඔක්කෝටම පණ පොවන්න වෙන එකට උඹ දුක් වුනාට මං දුක් වෙන්නේ නෑ. හේතුව දුක් වුනත් නැතත් ඒ මමමයි. ඇත්ත මම කරන ඒවට මම වග කියන්න ඕන. මොනව කියල කරන්නද බං.

    ගෑනි ඕනවට වඩා ආලකං පාන කොටත්, ඕනවට වඩා සද්ද දාන කොටත් අපේ ගෙදර ඉන්නේ මං. අනිත් වෙලාවට ඉන්නේ වෙන එකෙක් වෙන්නැති. පොඩි එකී මං වගේ එක මට හොදටම ඇති. උඹ එටිසලාට්ද පාවිච්චි කරන්නේ?

    ReplyDelete
  23. නෑ ඒ මම නෙමෙයි.. පිස්සුද.. මම ෂෝක්..

    ReplyDelete
  24. ඇතැම් විට මේ මොහොතේ මේ ලිපිය කියවන ඔබ ( යැයි ඔබ සිතන අය) තව මොහොතකින් වෙන ශරීරයක. නමුත් ඔබ අමතක කරන දෙය තමයි ඒ මනස වගේම ශරීරයත් ඔබේම වුණු වග. වෙනසකට වන්නේ වෙනකකු ඔබේ වූ ශරීරයට ඇතුල් වූ විටත් ඒ ඔබමයැයි ශරීරය රැවටීමයි. පෙර ඔබේ වූ ශරීරය දැන් භාවිතා කරන්නේ වෙන අයෙක්. ඇතැම් විට ඒ ඔබ ඊයේ ෆ්ලයින් කික් එකක් දුන් ශරීරය හිමිව සිටි කෙනා විය හැකියි. නැතිනම් සෙනග ගොඩක් මැදදී ඔබේ පුරුෂ ලිඟුවේ පීඩනයට ලක්වූ අයෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඊයේ ඔබ විසින් මෙහෙයවුණ ශරීරයේ බල මහිමයෙන් තනතුර අහිමි වූ අයෙක් වෙන්න පුළුවන්.
    එහෙයින් ඔබේම වන්නාවූද නොවන්නාවූද ශරීරයක, ඔබේම වන්නා වූද නොවන්නාවූද මනසක් වෙනුවෙන් ඔබ ඔබමද ඔබ නොවන අයද පෙලමින්, ඔබෙන්මද ඔබ නොවන අයගෙන්ද පෙලෙමිනුයි හැම මොහොතක්ම ගත වෙන්නේ.

    ReplyDelete
  25. චාමි මොන අර්ථයකින් මෙය ලියුවද නොදනිමි ..බුදුදහමේ චිත්තය ගැනත් ...ක්වන්ටම් වාදයේ එක පැත්තකුත් ...මේ අදහසේ ගෑවෙනවා කියලත් හිතෙනවා ...

    ReplyDelete
  26. තවත් සංවත්සරයක්, මීට අවුරුදු 15 කට පෙර හරියටම 1998 ජනවාරි 25 දින මම මහනුවර ශ්‍රී දළදා මාළිඟාව ලඟ තුවාල වෙලා අසරණ වෙච්ච උපාසකයෙක්. මගේ නඩයේ සගයන් කීප දෙනෙක් මියගිහිල්ලා.කීප දෙනෙක් මම වාගේම ජීවිතයත් මරණයත් අතර සටනක.

    ReplyDelete
  27. උඹ ඔලුවෙන් හිටාන මෛත්‍රී කොරන්න කිව්වත් මුන්ට ඇහෙන්නෙම මයි ට්‍රී කියලා. ඉතින් මගේ ගහෙ ගෙඩියට මුලට අලේට කොලේට මරා ගන්නවා. මේකට හේතුව තමා මේ එකාගෙන් එකාට ඇවිදින මොකාද එකා මතකය රැගෙන නොයාම. ඒ නිසා ඌට මතක නැහැ ඕයි. සිරාවටම මතක නැහැ.

    ඉතින් වට් ලබ්ස්. මේක කියෙව්වා කියලා අහවල් බක්කක් වෙන්නද? ආයිත් ඊළඟ එකාගේ මොලය/මනස/ආත්මය/ආත්මයක් නැතිකම කියන එකට රින්ගපුවම මේක මතක නැති නිසා ආයිත් කියවන්න ඕනේ. කියෙව්වට වැඩක් නැහැ නෙක්ස්ට් මොමන්ට් මූ ආයිත් දිරා මාරු වෙනවා.

    බදවේ උඹට මේකට පිටපත්දක්ෂිනයක්දෙන්නබැහැ හරිය. ඔබ අප සියල්ලන්ම ශුද්ධාත්මයාණන් තුල එකම එකකි කිව්වා බුවෙක් ඉස්සර. උඹ ඌ වෙන්න ඇති සමහර විට. කුරුසියේ ඇන ගහපු එක උඹට මතක නැතුව ඇති. හැබැයි ඌ බෞද්ධ. නෙපාලේදී ඌට හම්බු වෙච්ච එකෙක් ගේ මී මිනිපිරියක් එක්ක සෙට් වෙච්ච එකෙක්ගේ යාලුවෙක්ගෙ මල්ලි බඳින්න ඉන්න කෙල්ලගේ ... ඔන්න ඔහොම තමා දැන ගත්තේ.

    ReplyDelete
  28. giya athme mam oyage putha. eka nisa mata oyage siyalu depala liyala denna barida? mam badinna inna kella giya athme mage amma wenna barida eka nisa nobada innawada?

    thawa tika dawasaking uba kiyai mama maha hethupala wadayak avaboda kara gatha dan mama rahath kiyala. ethakota ubata wadina ewunuth ape rate idi

    apitanam oka therune O/L karaddi, ada mama kanna ganna maluwa giya athme mage amma wenna barida?

    ReplyDelete
  29. මම මේක උස්සනවා
    ආ ඒක මම ඔයාට මොකටද කියන්නේ
    මේක ලිව්වේ මම වෙන්නත් පුලුවන්..
    එහෙමත් නැත්තම් වෙන කෙනෙක්..
    ඒ නිසා මේකට ඔයා අදාල නෑ..
    දැන් ඉන්න ඔයා කොහොමවත් නෑ..

    ReplyDelete
  30. මම මේක උස්සනවා
    ආ ඒක මම ඔයාට මොකටද කියන්නේ
    මේක ලිව්වේ මම වෙන්නත් පුලුවන්..
    එහෙමත් නැත්තම් වෙන කෙනෙක්..
    ඒ නිසා මේකට ඔයා අදාල නෑ..
    දැන් ඉන්න ඔයා කොහොමවත් නෑ..

    ReplyDelete