Sunday, January 20, 2013

ඉබ්බා ‘The artist‘ – නැවත පැමිණීම



ඉබ්බා ඊයෙ උදේ කඩිමුඩිගේ අපේ ගෙදරට ආවා. මේ ආවෙ අවුරුද්දකට හමාරකට විතර පස්සෙ. (ඉබ්බා ගැන නොදන්නවනම් මෙතනින් අඳුනගන්න පුලුවන්) 

“කොහොමද?” 

ආපු වේගෙන්ම ඌම මාව පිළිඅරන් පුටුවක වාඩිවුනා.

“මොකද්ද ඔය කතාව?”

මම එවෙලේ උන්නෙ සමබිම සම්මන්ත්‍රණය ඔන්ලයින් දාගෙන.

“දීප්ති මචං”

“ආ... දීප්ති....ඒකාලෙ පොර මාතොටේ එහෙම ලියපුවා සමහරක් මං කියෝල තියෙනවා... ඒව මරු. හැබැයි පස්සෙ පස්සෙ ලියපුවා නිකං චාටර් නේද?”

“පස්සෙ කාලෙ කිව්වෙ? ලන්ඩන් කරපු කාලෙද? නැත්තං.....”

“නෑ... ඒ...... මාතොටෙං පස්සෙ ලියපුවා වැඩියෙ කියවන්න හම්බවුනේ නෑ.... මං කිව්වෙ මාතොටේ ලියපුවා නං මරු...!”

ඒ තමයි ඉබ්බා.

කාලය නැවතිච්චි වාසනාවන්ත මිනිස්සු දෙන්නෙක් මං පුද්ගලිකව දන්නවා. එකෙක් ජගත්. අදටත් උගේ ජනප්‍රියම සින්දුව ‘නිල්ල මැදින් යං ආදර පාරෙ නිදැල්ලේ’. ජනප්‍රියම චිත්‍රපටිය නොම්මර 17. ජනප්‍රියම නළුවො ගොඩයි. විජය, ජීවන්, ශෂි විජේන්ද්‍ර...... උගෙ කාලය නැවතුනේ ඌට අවුරුදු 14න් විතර.

අනිකා ඉබ්බා. උගෙ කාලය නැවතුනේ 2000 දි විතර. ඒක නිසා ඌ හමුවුනාම මං කවදාවත් කොහොමද අලුත් තොරතුරු කියලවත් අහන්නෙ නෑ. ජොබ් නං ඌ කොහොමටත් කරන්නෑ. මම දන්න තරමින් උගේ මානසික අප්සෙට් එකත් හොඳ නෑ. මූ බෙහෙත් බොන්නෙම නෑ කියලයි දැනගන්න ලැබුනේ. ගෙදර මිනිස්සුන්ටත් එපාම වෙලා දැන් ඒකට බලකරන්නෙත් නැතිලු.

“මං ආවෙ මචං පොඩි විස්තරයක් අහං යන්ඩ.... තේ හදන්ඩ එපා..... උඹ දන්නවද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ නොම්මරේ?”

මළා. එහෙම අමාත්‍යාංශෙකුත් තිබ්බ වගේ මතකයි. 

“ම්... නෑ මචං.... මොකද්ද කාරණේ?”

“මගෙ ඉඩමක් තියෙනවා විකුණන්න ඕනෙ.... කෙනෙක් කිව්වා ඔය අමාත්‍යාංශයෙන් ඉස්සෙල්ලා විස්තර ගන්න ඕනෙ කියලා... ඒකයි. මේ තියෙන්නෙ ඔප්පුව.......”

ඌ දිග ලියුම් කවරෙකින් ඔප්පුවක් ඇදලා ගත්තා. අක්කර දෙකහමාරක සින්නක්කර ඉඩමක්. ඉබ්බටයි ඉබ්බගෙ අයියටයි හවුල් අයිතිය. මූ උගෙ කොටස විකුණලා දාන්න යන නිසා කවුරුහරි වැඩේ බ්‍රේක් වෙන්න ලණුවක් දීලා වගේ. ඒක නිසාම වැඩේ කරගන්න ක්‍රමය නොකියා ඉන්න මට හිතුනා.

“දැං මොකටද උඹ ඕක විකුණන්නේ?”

“මට සල්ලි ටිකක් හදිස්සියි මචං..... අනික ඔය ඉඩම තිබ්බා කියලත් වැඩක් නෑ”

“මොකද්ද ප්‍රශ්නෙ?”

“මං මචං මියුසික් ක්ලාස් එකක් පටන් ගන්න හිතං ඉන්නවා.... තව ඩ්‍රාමා හෙමත්..... ඒකට සල්ලි ටිකක් යනවා... හෝල් එකක් ගන්න.... තව පෝස්ටර් ටිකක්... එන ලමයින්ට තේ එකක් දෙන්නත් වගේ.....”

“තේ....? ඒ කියන්නෙ උඹ නොමිලේ කරන්න හිතා ඉන්නෙ?”

“ඔව් මචං. මම ඉගෙන ගත්තෙත් නොමිලෙනේ......”

“වැඩේ හොඳයි. ඒත් ඒකට මුළු ඉඩමම විකුණන්න ඕනෙ නෑනෙ? පොඩි කෑල්ලක් විකුණපං.....”

“බෑ මචං..... මහ ගෙදර ඉඩමෙ වෙනම පොඩියට කාමරයක් හදාගන්නත් ඕනෙ.... චිත්‍ර ටිකක් අඳින්න.... පේන්ට් බඩුත් දැන් සෑහෙන්න ගණන් ඇති.... අක්කටත් කීයක්හරි දෙන්න ඕනෙ... අපේ මුළු පවුලම ඇදගෙන යන්නෙ අක්කනෙ මචං.... අනික ඔය ඉඩම තිබිලා වැඩක් නෑ....ආදායමකුත් නෑ... නිකං කැලේ....”

“නරකද ඕකෙ පොඩි කෑල්ලක උඹටම කියලා පොඩි ගෙයක් හදාගත්තොත්....? මහගෙදර උනත් උඹට අයිතියක් නෑනෙ...? අපි හදමු...”

“මොකටද බං ගෙවල්? ගෙවල් නැතුවත් ඔය මිනිස්සු ඕනෙතරං ඉන්නෙ?”

“බස් හෝල්ට්වල?”

“බස් හෝල්ට් එකේ ඉන්න එකා හෙන දුකක් විදිනවා කියන්නෙ අපිනෙ බං..... ඒ යකාට ඕක මිනිහගෙ සාමාන්‍ය ජීවිතේ...... දැං උඹ මේ බාගෙට හදාගත්තු ගේක ඉන්නෙ?”

මූ එක්ක කතාකරලා ඉහගහන්ඩ බෑ.

“රයිට්.... ඉඩම විකුණමු. හැබැයි උඹ සන්තකේට තියෙන්නෙ ඔච්චරනෙ බං.... ඔය සල්ලි ටික මාසෙන් ඉවරයි. ඉස්සරහට කවදහරි.......”

“ඉස්සරහට මොකුත් වෙන්නෙ නෑ බං..... දැං මට ඕනෙ මේ දේ කරන්නනේ.... ඒක කරනවනං දැන්ම... පුලුවං කාලෙ.... ඔය ඉඩම තිබ්බත් නැතත් තව කාලෙකින් මට මුකුත්ම කරගන්න බැරිවෙනවනේ.... එතකොට මං ආසදේ කරගන්නත් බැරිවෙනවා.... නිකාං කොහෙහරි වැටිලා ඉඳලා මැරිලා යයි... ඉඩම ඔය වෙන මොකෙක්හරි අල්ලගෙන විකුණගනී..... කොහොමත් එකයිනෙ බං.....”

අපෙ මායියා හදාගෙන ආපු තේ එක ඌ ගත්තෙ තේ හදන්ඩ මහන්සි වෙච්චි එකට නෝක්කාඩුවකුත් කියලා.

“යකෝ ඉඩම තියෙනවනං ඔය මොකෙක්හරි ඉඩම් තණ්හාවටවත් බැරි කාලෙදි උඹව බලාගනියි.... නැත්තං වෙන්නෙ......”

“ඕව බොරු කතා බං..... දැං බලපං අපේ අම්මට බලන්ඩ අපි කීදෙනෙක් ඉන්නවද? එත් දැං කාලෙක ඉඳං සනීප නෑ. ඉතිං අපි හිටියත් නැතත් ඔච්චර තමයි. අපිට කියලත් වෙනසක් නෑ.... උඹ මොකක්හරි වැඩකද උන්නෙ?”

ඔන්න ඒක අහපු වෙලාව.

“මල ගෙදරක යන්ඩ තියෙනවා.... අපේ ස්ටාෆ් එකේ....”

“ආ... එහෙනං මටත් තව ගමනක් යන්ඩ තියෙනවා.... කොහොමද අරක හොයාගන්නෙ?”

“1919 කතාකරලා අහපං මචං....”

“1919 ෂුවර්නෙ?”

“ෂුවර්... ඕනෙ තොරතුරක් ගත්තෑකි.....”

“හ්ම්.... 1919... එහෙනං මං යන්නං.....”

“පොඩ්ඩක් හිටිං.... මං පාරට දාන්නං......”

“ඕනෙත් නෑ බං........”

මූ බයික්එකේ පාරට යනකල් කතාකලේ දඬුබස්නාමානේ මියුසික් ගැන. දුටුගැමුණු කරන්න ගිහින් ජයන්ත කෙලවගත්තු එක ගැන මූ කතාකලේ පාර අයිනෙ ගෙවල්වල මිනිස්සු දොරවල් වලින් එබිල බලන තරම් හිනාවක් එක්ක.

බස් එක එනකං මම උන්නෙත් ඌ හිටපු 2000 අවුරුද්දේ ආර්ට් ලෝකේ. 

ආපහු එද්දිනං හීන් කණස්සල්ලක් වගේ දැනුනේ උගෙ සාක්කුවට ඔබපු ගෙදර හරියටම තිබ්බ අන්තිම ලාස්ට් රුපියල් සීය ආපහු මතක්වෙලා.  මලගෙදර යන්ඩ ගහගන්ඩ හිටපු පෙට්‍රල් බාගෙ.... බයික් එක නවත්තපු ගමන් කන්ඩ මොනවද ගෙනාවෙ කියල හොයන කෙලි පොඩිත්ති.... ගෙදර මිරිස්කුඩු ඉවරයි කියලා නෝක්කාඩු සීන් එකෙන් ඉන්න අපෙ මායියා......

මූ රුපියල් සීය දැකල කිව්වෙ මොකද්ද දන්නවද?

“ඔච්චර ඕනෙ නෑ බං.... බස්එකේ යන්ඩ තිබ්බනං ඇති....... කරදරයක්නේ.....”

ඇත්තටම මට මූ ගැන ඉරිසියයි.

53 comments:

  1. ඇත්තටම මටත් මේ ඉබ්බා ගැන ඉරිසියයි. මොන තරම් සැහැල්ලු ජීවිතයක්ද.

    ReplyDelete
  2. චාමි විස්වාස කරනවද ඇහැට කඳුලක් ඉනුවා.

    ඒ කඳුල ඉබ්බ ගැන දුකටද, ඉරිසියාවටද, අපි ගැන දුකටද කියලා තෝර ගන්න බැරුව ඉන්නේ බන්

    ReplyDelete
  3. උඹ මොකටද බං රුපියල් සීය දුන්නෙ...? මම නං ඕකයි පැත්තක් පණ නැතිවෙලා රුපියලල් සීයක් ඉල්ලුවත් සතයක් දෙන්නෙ නැහැ..
    අපේ තියෙන කරුණාව තමයි වෙලාවකට මිනිස්සුන්ව නරක් කරන්නෙ...

    හැමෝම මොන බයිලාව කලත් තමුං ගැන ටිකක් හිතන්න ඕනි....මොන දේ කරන්නත් තමුං ජීවත් වෙලා ඉන්න ඕනි...කවුරු ඉබ්බට ආදරේ කලත් තමුංගෙ ජීවිතේ අනුන්ට බරක් වෙන ඉබ්බා මටනං පේන්න බැරි බුවෙක්...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක හින්ද තම මං උඹට කැමති අමිල :)

      Delete
    2. අනික මෙහෙම දේකුත් තියෙනව මචං.
      ඒ රුපියල් සීය නැතත් මලගෙදරත් ගියා (තරමක් ප්‍රමාදනම් වුනා)
      දවල්ට රෑට උයලත් කෑවා.
      පොඩි ජිල්මාට් ටිකක් දාල පොඩ්ඩිවත් ෂේප් කලා.
      ඒ 100ත් තිබ්බත් නැතත් එකයි :)

      Delete
    3. ඉතිං එහෙනං මගුලටද බං රුපියල් 100ක් ගැන මේකේ ලිව්වේ.
      උඹට නොලියම ඉන්න තිබ්බනේ...

      Delete
    4. ඕව එකක්වත් හිත හිතා ලියන්නෙ නෑ බං. ඔහෙ ලියවෙනවා. ඉස්පිලි පාපිලි ටික හදලා පබ්ලිෂ් කරනවා.
      :)

      Delete
    5. අමිල කියන්නේ පොළොවේ පය ගහලා ඉන්න මිනිහෙක්. මේ බ්ලොග් අවකාශයේ කිසිම කෙනෙක් අමිල වගේ පොළොවේ පය ගහලා නැහැ.

      Delete
    6. ""ඉතිං එහෙනං මගුලටද බං රුපියල් 100ක් ගැන මේකේ ලිව්වේ.
      උඹට නොලියම ඉන්න තිබ්බනේ..""

      චාමිට ඉබ්බාගේ ආගමනය නිසා ඌ ගෙනෙන 90 දශකයේ කලා ලෝකයේ ආතල් එකේම ඉන්න පුළුවන් වුනත් [ආස වුනත්] ඉබ්බට දීපු රුපියල් සීය නිසා චාමිට කණස්සල්ලක් දැනෙනවා. මට දැනෙන විදිහට මේ රුපියල් සීයෙන් තමයි චාමිගෙයි ඉබ්බගෙයි ලෝක වල වෙනස ප්‍රමාණත්මකව කියවෙන්නේ. චාමිට රුපියල් සීයට ඔපර්චුනිටි කොස්ට් එකක් තියෙනවා [ඒ කියන්නේ චාමිට කරන්න දේවල් තියෙනවා. උට වගකීමක් තියෙනවා], ඉබ්බට නැති. රුපියල් සීය නැතුව චාමි මේක ලිව්වනම් මේ කතාවේ ඔය තරම් බරක් දැනෙන්නේ නෑ.

      Delete
  4. මටත් ඌ ගැන ඉරිසියයි බං. වෙන මොකවත් හිංද නෙවේ, ඌ හැමදාම 2000විතර ඉන්න නිසා.

    ReplyDelete

  5. මිනිස්සුන්ගේ ගුණගරුක කම් වලට වින කටින්නේ
    දුප්පත් කම කියනවනේ..
    නමුත් ගුණගරුක කමට කඩේ පාන් කෑල්ලක් වත්
    ගන්න නම් නැහැ ..

    ReplyDelete
  6. ඔය වගේ මිනිස්සු ඉන්නවා. අපිත් ඉතින් සුන්දර මිනිහෙක් අව්‍යාජ මිනිහෙක් කිය කියා උඩ දමනවා. අන්තිමට බැලුවාම ඔය වගේ මිනිහෙක්ගෙන් සමාජයට වන යහපත කුමක්ද? අප මේ කරන්නේ අපේ හිස් බව වසා ගන්නට වෙන කෙනෙකුන් යොදා ගැනීම නේද චාර්මි?

    ReplyDelete
    Replies
    1. එක අතකට ඔව්.

      ඉබ්බා ගැන කියනවනං 2000 වසරේදී විතර යම් මානසික රෝගයක් වැළඳුන අයෙක්. තවමත් ඉන් පූර්ණ ලෙස 'සුවය ලබා' නැහැ. අපට අනුව ඔහු ජිවත්වන්නේ ෆැන්ටසියක. (අපියි රියල් එකේ)
      නමුත් උගෙ ෆැන්ටසියෙ ඉඳන් බලද්දි අපියි පිස්සු කෙලින්නෙ.

      මම හඳුනගත්තු පරිදි ඌට අව්‍යාජ මිනිහෙක් කියන එකේ තේරුමක් නැහැ. මොකද උගෙ ලෝකෙ ව්‍යාජ කියල එකක් නැතිනිසා. ඌ ඌම තමා.

      Delete
    2. මෙතන ප්‍රශ්නය කවුරු රියල්ද කවුරු නැද්ද කියන එක නෙවෙයි.

      මේ වගේ චරිතයක අප දකින සුන්දරත්වය ඇත්තටම නැහැ. චාර්මිගේ රුපියල් සීය ගැන චාර්මිට දුකයි. නමුත් හිතන්න මේ චරිතය පෝෂණය පිණිස කාට හෝ (ඔහුගේ අක්කාට වෙන්න පුළුවන්) මොන තරම් මුදලක් දිනපතා වැය කරන්න වෙනවාද කියලා. ඒ අහිංසක මනුස්සයාටත් පවුලක් ඇතිනේ. තමන්ගේ පවුලත් රකින ගමන් තව කෙනක් නඩත්තු කරන එක සෙල්ලමක් නෙවෙයි. විශේෂයෙන්ම රෝගියෙක්. ඒ මනුස්සයාට මල්ලී වුණත් ඉබ්බාගේ ඇති සුන්දරත්වයක් නැහැ. අහලා බලන්න බොරු නම්.

      මා මේ කියන්නේ ඒක ඉබ්බාගේ වරදක් කියා නෙවෙයි. නමුත් අපි ඒ වගේ චරිතයක් සුන්දරයි අව්‍යාජයි කිය කියා ෆැන්ටසියක ඉඳීමේ තේරුමක් නැහැ. එහෙම නම් ඔය ලෝක ඉන්න ඔක්කෝම කුඩුකාරයෝ මාර සුන්දර චරිතනේ.

      මා නම් සුන්දරයි කියන්නේ සිකියුරිටි කමක් කරලා හරි අනුන්ට අත නොපා ජීවත් වෙන්න තැත් කරන මිනිසාට මිසක් ෆැන්ටසි වල ජීවත් වෙන එවුන්ට නෙවෙයි.

      Delete
    3. /කවුරු ඉබ්බට ආදරේ කලත් තමුංගෙ ජීවිතේ අනුන්ට බරක් වෙන ඉබ්බා මටනං පේන්න බැරි බුවෙක්... /

      දැනුයි දැක්කේ මට කලින් මේ කතාවම කෙනෙක් වෙන වචන වලින් කියලා තියෙනවා.

      Delete
    4. ඉබ්බාගේ පවුලට ඉබ්බා බරක් වීම එක් අතකට අපේ සමාජ සැකැස්මේ අවුලකි. මානසික රෝගීන් හෝ ආබාධිතයන් පුනරුත්ථාපනය කිරීමට ක්‍රමවත් වැඩපිලිවෙලක් තවමත් අපට නැත. කිසිදු දෙමාපියෙක් සිතාමතා ආබාධිතයන් බිහිකරන්නේ හෝ කිසිකෙනෙක් හිතාමතා ආබාධිතයෙක් වෙන්නේ හෝ නැත. එනිසා ඔවුන් පුනරුත්ථාපනය සමාජ වගකීමක් විය යුතුය. නමුත් අපේ වැනි සමාජවල සිදුවන්නේ වදාපු පවට හදපල්ලා කියා කවුරු කවුරුත් තමුන්ගේ වැඩක් බලාගැනිමයි.

      Delete
    5. ඒක 'සමාජ වගකීමක්' වෙන්නෙ කොහොමද කියලා දෙනවද? ඉබ්බා මානසික රෝගියෙක් වෙන්නේ සමාජයෙ වරදින් නෙවෙයිනෙ. ඉතින් සමාජයට මොක්ද්ද තියෙන වගකීම? හැමෝම තමන්ගෙ වැඩක් බලා ගැනීම තමයි හරි. මොකද ඉබ්බා වැරදිලාවත් මානසික රෝගියකු නොවී මහා ධනපතියකු වුණා නම් ඔහු සමාජයට මොකවත් කරන්නෙ නැහැනෙ.

      Delete
  7. ඉබ්බා වගේ වෙන්න තිබ්බනං කියලා හිතුනා....

    ReplyDelete
  8. මට මතක් වුණේ තුංමංහංදියේ (බිංදුම තුනක් )අබිලිං මාමා.ඒ වුණත් මට නම් ඉබ්බා ගැන වගේම අබිලිං ගැනත් තියෙන්නේ ඉරිසියාවක් නෙමයි දුකක්. උන් දෙන්නටම මොනවදෝ නැතිවෙලා තියෙනවා. අපිටත් නැතිවෙලා තමයි. ඒ වුණත් අපි උන්ට වඩා හොදයි කියලා මට නිතරෝම හිතෙනවා. මට නම් ඉබ්බා වගේ වෙන්න ඕනෙ නෑ. බලපං මෙතන කොමෙන්ට් කරපු ඈයෝ එකෙකුටවත් ඌ නිදහස නිවහල් මිනිහෙක්ද? වීරයෙක්ද? නෑ. උබෙන් රුපියල් සීයක් අරගෙන ගියපු රස්තියාදුවෙක්, මොනවදෝ අහිමි කරගත්තු එකෙක්.

    ReplyDelete
    Replies
    1. රුපියල් සීයක් හොයන්නත් කන්න ඕනැ කට්ට දන්නෙ ඒක කාපු එකා විතරයි.

      Delete
  9. ඉබ්බාටද පිස්සු උඹලටද චාර්මි..?

    ReplyDelete
  10. ඉබ්බා සමාජයට බරක් ... අනාගතයක් නැති එකෙක් ... ඌ ජීවත් වෙන්නේ ෆැන්ටසි එකක .. ආදී සියලූ දේ සාපේක්ෂයි නේද මහත්වරුනි. ඉබ්බාට රුපියල් සීයක් ඉල්ලන්න වුණේ ඇයි ? ඌ හිතන විදියේ අවුලක් ද, නැත්නම් අපි ජීවත්වෙන මුදල් මුලික වුනු සමාජ ආර්ථිකේ අවුලක්ද .. බස් එකකට නැගල අපේ සත්ගුණවත් කොන්දොස්තර මහත්තයෙකුට "සල්ලි කීයක් වත් අතේ නෑ අයියේ, මාව අහවල් හන්දියේ දාලා යන්න" කීවොත් ප්‍රතිචාරය මොන වගේ වෙයිද ?
    ඉබ්බාට මානසික අවුලක් කියලා දොස්තර නිගමනය කලේ කොහොමද ? අපි ජීවත් වෙන සමාජයේ සාමාන්‍ය පෞර්ශත්වයට සාපේක්ෂව නේද ? ඒක අනිත් පැත්ත නම් (උට තියෙන්නේ සාමාන්‍ය මානසික තත්වයක් හා අපිට පිස්සු යැයි උපකල්පනය) මොකක්ද තත්වය ...

    අන්තිමට බලපුවම අතේ සතේ නැති වුනදායින් පස්සේ ජීවිතේ වැඩකට නැති වෙන පිස්සු ලෝකෙක ජීවත් වෙන්නේ අපිද ඉබ්බද කියලා මට නම් හිතා ගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඌ හිතන විදියේ අවුලක් ද, නැත්නම් අපි ජීවත්වෙන මුදල් මුලික වුනු සමාජ ආර්ථිකේ අවුලක්ද?

      මාර තර්කනෙ. මුදල් මූලික නොවුණු ආර්ථික තියෙන්නෙ කොහේද දැන ගන්න කැමැත්යි. දිවිය ලෝකෙද?

      Delete
    2. එල කමෙන්ටුව. 100% එකගයි.

      Delete
    3. /ඒක අනිත් පැත්ත නම් (උට තියෙන්නේ සාමාන්‍ය මානසික තත්වයක් හා අපිට පිස්සු යැයි උපකල්පනය)/

      උඹට නම් කොහොමත් ඒ වගේ කියලා පේනවා.

      Delete
    4. ++අන්තිමට බලපුවම අතේ සතේ නැති වුනදායින් පස්සේ ජීවිතේ වැඩකට නැති වෙන පිස්සු ලෝකෙක ජීවත් වෙන්නේ අපිද ඉබ්බද කියලා මට නම් හිතා ගන්න බෑ.++

      100% එකගයි.

      Delete
    5. //අන්තිමට බලපුවම අතේ සතේ නැති වුනදායින් පස්සේ ජීවිතේ වැඩකට නැති වෙන පිස්සු ලෝකෙක ජීවත් වෙන්නේ අපිද ඉබ්බද කියලා මට නම් හිතා ගන්න බෑ.//

      මේ කෑල්ලට මමත් කැමතියි.

      Delete
    6. අතේ සතේ නැති වුණදා ජීවිතේ වැඩකට නැති වීම හරි. මොකද ඒක නිසා මිනිසාට සල්ලි හොයන්න දිරි ගැන්වීමක් ලැබෙනවා. එහෙම නොවුණා නම් කවුරුත් කිසිම දෙයක් නොකර නිදා ගනීවි.

      Delete
    7. කවුරුත් අහලා තියේද "resource based sustainable economy" කියලා එකක් ගැන. මේ පයිත්තියන් කාසි, කොල සිස්ටම් එකට වඩා හැමෝටම එක සමානව සලකන, හැමෝටම සමාන වගකීම් තියෙන හොඳ ක්‍රමයක් ඒක "Jacque Fresco" ගැන හොයලා බැලුවා නම් ලෝක හතුරෝ සෙට් එකත් හොයාගන්න පුළුවනි.

      "resource based sustainable economy" කියන්නේ දිව්‍ය ලෝකයක් වගේ එකක් තමා ඩො.. දන්නේ නැති ඒවා ගැන හොයලා ඉගෙන ගනින්.

      Delete
  11. මේවා හරි ලස්සන කතා. අපි අපිට සාපේක්ෂව ඉබ්බා දිහා බලාගෙන උගේ නිදහසට ඉරිසියා කරනවා. අපිටත් ඉබ්බා වගේ වෙන්න පුළුවන් තමන්ගේ අරමුණ ගැන විතරක් හිතලා තමන්ගේ ළගම අයගේ කීම් වලටවත් කන් නොදී ජීවත් වෙනවනම්. එහෙම උනොත් අපිටත් අපි දිහා බලන අනික් අය "පිස්සා" කියයි! (පිස්සා කියන පාවිච්චි කළේ සමාජය ඒ විදිහට ජීවත් වෙන අය දිහා බලන විදිහට කියන්න මිසක් ඉබ්බට අපහාස කරන්න නෙමෙයි :) )

    ReplyDelete
  12. මොනව කියන්නද කියල හිතාගන්න බැරිවුනා.....කවුරුත් මිනිස්සුනේ..

    ReplyDelete
  13. ඉබ්බට තියෙන පිස්සුව ජීවින බර,ජීවිතේට තියෙන බය අතහැරැල. අපිට තියෙන පිස්සුව ඒ සියල්ල ඔඵවට අරන් දවස ගෙවන එක.

    ReplyDelete
  14. රුපියල් සීය දුන්නේ ඉබ්බා ඉල්ලල නෙමෙයි.

    ReplyDelete
  15. රුපියල් සීය දුන්නේ ඉබ්බා ඉල්ලල නෙමෙයි.

    ReplyDelete
  16. චාමියගේ රුපියල් සීයෙන් තමා මෙතන හැබෑම කතාව ඇවිල්ලා තියෙන්නේ... ඉබ්බා අක්කර ගානක ඉඩමක් විකුණලා දාන්න දෙපාරක් පැකිලෙන්නේ නැති අතරේ චාමිට සිද්ධ වෙලා තියෙනවා රුපියල් 100ක් වෙනුවෙන් නැවත නැවතත්..නැවත් නැවතත් හිතන්න... ඒ හිතලා මදි වෙලා ඒ 100 ගැන ලියන්නත් වෙලා තියෙනවා...

    ඒ ඉබ්බට තියෙන ආතල් එක චාමිට නැති නිසා... අනික තමා ඉබ්බා තමුන්ගේ දේ ගැන ගැඹුරින් හිතන්නේ නැහැ වගේම චාර්මිගේ අතේ තියෙන සීය ගැනත් ඒ හැටි හිතන්නේ නැහැ. ඒ හින්දා ඌට ලේසියි ඒ සීය චාමිගෙන් වගේ වගක් නැතිව අරගෙන උගේ වැඩේ කරගන්න.. ඒත් චාර්මිට ඒක කරන්න ලේසි නැහැ..මොකද චාමිට රුපියල් සීයක් තියා සත සීයක් ඉල්ලගන්නත් ඉබ්බට වඩා හිතන්න වෙලා තියෙනවා... බැදීම් වගකිම් වැඩි උනාම ලෝකේ හිතන තරං සුන්දර නැහැ... පඩයක් අරින්න කලිනුත් දෙපාරක් හිතන්න ඕන ඒකෙන් තමුන්ටයි පවුලේ උන්ටයි අරුන්ටයි මුන්ටයි වෙන බලපෑම කොහොමද කියලා... එතනින් තමා චාමිත් ඉබ්බත් වෙනස් වෙන්නේ... ඉබ්බා සහ ඉඩම... චාර්මි සහ සීය... මේ දෙක අතරේ තමා ඇත්ම කතාව තියෙන්නේ...

    කොහොම උනත් ඉබ්බාගේ සිතිවිලිවලට මම කැමතියි.. හැබැයි අකමැති එක කාරණයක් තියෙනවා... තමුන්ගේ දේ ගැන සරලව හිතනවා වගේ අනිත් එකාගේ සාක්කුවේ තියෙන දේ ගැනත් සරලව හිතීම... ඒක කැත වැඩක් කියලයි මට හිතෙන්නේ...

    ReplyDelete
  17. මමත් ඉබ්බො කීපදෙනෙක්ව දන්නවා. උන් ගැන ඉරිසියාවත් මට තියෙනවා. එක ඉබ්බෙක් හිටිය. උගෙත් කාලෙ ගෙවුණෙ හිමින්. අවුරුදු දෙකකට විතර කලින් පොර කසුන් කල්හාර මාර ගායකයෙක් කිව්වා. ඊට කලින් පොර හැමදාම ඇහුවෙ මර්වින් පෙරේරව.

    උන්ගෙ ජීවිතවල අපි දකින්නෙ අපේ ජීවිතවල නැති දේවල්. ඒකනෙ ඉරිසියාව එන්නෙ. ඒ වුණාට උන් අපි ආදරේ කරන මිනිස්සු නිසා අපි උන්ව උඩ දානව. මට ඒකෙ කිසි වරදක් පේන්නෙත් නෑ. මොකද ඒහෙම නොකලොත් අපේ ජීවිත මාර ෆ්ලැට් වෙනවා. ඉබ්බන්ගෙන් මහ ලොකු වැඩක් නොවෙනව වෙන්න පුළුවන්. දැන් කවුද ඉතිං මහ ලොකු වැඩ කරන්නේ මහ ලොකුවට පුද්ගලික වැඩ මිසක්?

    එක්තරා විධියකට හැම මිනිහෙක්මත් ඉබ්බෙක්!

    ReplyDelete
  18. කියන්න හිතේ තියන දේ මාරයා කිව්ව. ඒත් පස්සේ බලනකොට ඒ අනුකම්පාවට ඇත්තටම ලක්වෙන්න ඕන අසරණයෙක්. සල්ලි නැති නිසා නෙමේ, රෝගී බව නිසා. දුකා කිව්ව වගේ ඒ ගැන හිතුවහම ඇතිවුනේ දුකක්.

    චාමි...ඉබ්බා කියපු ඉඩම් කේස් එක ඇත්ත වෙන්න පුළුවන්. දැන් අළුතෙන් එන අර 'බිම් සවිය' යටතේ ඔය අමාත්‍යංශෙන් නිරවුන් කර ගැනීමක් තියන බව ඇත්ත. හැබැයි මේ වෙනකොට බිම් සවිය ක්‍රියාත්මක වෙච්ච ප්‍රා.ලේ. කොට්ඨාශ වල විතරයි.

    ReplyDelete
  19. ඉබ්බා ගැන මෙහෙම ඇහුවහම අපිටත් මූ වගේ ඉන්න තිබ්බ නං කියන එක හිතෙනවා... නමුත් කවදාවත් අපිට ඉබ්බ වෙන්න බෑ... ඉබ්බට ඇත්තටම තමන්ගේ වටේ දැන් තියන සමාජය ගැන අවබෝධයක් නෑ... ඒ අවබෝධය යන්තම් හරි තියන එකෙකුට එහෙම එකක් නෑ වගේ ජීවත් වෙන්න බැහැ... එහෙම කලොත් ඌ ඉබ්බට වඩා දරුණු මානසික රෝගියෙක් වෙන්න ඉඩ තියනවා...

    මම හිතන්නේ මෙතන තියන සිද්ධිය... අපි කාලෙකට උඩදි, විවාහවෙලා ළමයි හදන්න කලින්, ඔහේ අම්මලා දෙන දෙයක් කාලා, නැත්නම් යන එන තැනකින් ලැබෙන දෙයක් කාලා... ජීවිතේ ඇත්තටම තමන් කැමති දේවල් ටිකක් කරගෙන, මිත්‍රයෙක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්න සුදානමින්, තමන්ගේ කියලා ආරක්ෂා කරන්න මහ ලොකු දෙයක් නැති.. කොටින්ම කියනවා නම් අපේ පැවැත්ම වෙන කෙනෙකුගේ (බොහෝ විට දෙමාපියන්ගේ) වියදමින් සිද්ධවෙද්දි, අපි ගතකරපු බොහොම අව්‍යාජ කාල සීමාවක එකෙක් නතර වෙලා (රෝගයක් නිසා). නමුත් අනෙකා, අර තමන්ගේ පැවැත්ම කියන වගකීම තමන්ටම අරන්, කසාද බැඳලා ළමයි හදලා උන්ව පෝෂණය කරනවා. අපි දකිනවා අපි කාලෙකට කලින් ගතකරපු අයිඩියල් ජීවිතේ තාම ගත කරන මිත්‍රයව. ඒ කාලේ අපේ සිතුවිලි, මතිමතාන්තර තමයි තවමත් අපේ ඇඟේ දුවන්නේ... නමුත් ඒවා එක්ක ප්‍රායෝගිකව සමපාත වෙන්න අපිට බැහැ.. මොකද අපි දන්නවා අපි එහෙම කරනකොට වියදම දරන්න වෙන්නේ වෙන කෙනෙකුට කියලා... ඒ නිසා තමයි චාමි රුපියල් 100 මිත්‍රයට දෙන්නේ... ඒ රු 100 වෙන ජාති ගොඩක් කරන්න පුළුවන් කම තිබ්බත්... මේ දැන් ඇහුවත් චාමි කියයි ඒ රු 100 වියදම් කරන්න තිබ්බ හොඳම විදිහ තමයි ඒක ඉබ්බට දෙන එක කියලා...

    ReplyDelete
  20. මහත්වරුනි අනේක වාරයක් පට්ටා ගහපු මාතෘකාවක් නේද මේ අපි අළුතින් ඇදෙගෙන තියෙන්නේ?

    ලංකාවේ පළමුවැනි 'ඉබ්බා' නිර්මාණය කරන්නේ මාර්ටින් වික්‍රමසිංහ. ඒ විරාගයේ අරවින්ද. ඊට පස්සෙ ඉබ්බො පැටව් ගහනවා. අමරසේකරගේ රණතුංග. සිරි ගුණසිංහගේ ජිනදාස. සරච්චන්ද්‍රගේ ලොකුපුතා නොහොත් බන්දුල. කේ. ජයතිලකගේ සනා. අපි මේ ඔක්කෝම ඉබ්බන්ට ආදරෙයි. නමුත් මේ ඉබ්බන් මොකද කරන්නේ? අඩු ගණනේ ගොළු හදවතේ සුගත්-දම්මි කළ දෙයක් වත් මේ ඉබ්බන් කළාද?

    වඩාත්ම පැහැදිළි උදාහරණය ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව. ඉබ්බන් දෙන්නා තමයි අමරසිරි කලංසූරිය හා විමල් කුමාර් ද කොස්තා. මතකයිනේ? උන්ට කන්න අඳින්න දෙන්නේ විජය කුමාරතුංග නගර සභාවේ කුණු ට්‍රැක්ටරේ එළවලා. කවුද වීරයා?

    මහත්වරුනි, ගමේ පන්සලේ හාමුදුරුවන් ජීවත් වෙන්නේ ගමේ මිනිස්සු වැඩ කරන නිසා. ගමේ ගොවියො ගොවිතැන් නොකළා නම්, මිනිස්සු වැඩ නොකළා නම් හාමුදුරුවන් බඩගින්නේ. බැඳීම් නැති ඉබ්බා ජීවත් වෙන්නේ බැඳීම් තියෙන චාර්මි හා උගේ අක්කා නිසා. බැඳීම් තියෙන මිනිසුන් නොහිටියා නම් බැඳීම් නැති මිනිසුන් බිහි වන්නේ නැහැ. උන්ට වාතය කාලා ඇඳල ඉන්න බැහැ.

    එනිසා මේ කතාවෙත් වැරදි වීරයා අල්ලා ගන්න එපා. මෙතැන වීරයා බැඳීම් නැති ඉබ්බා නෙවෙයි බැඳීම් තියෙන, හා ඒ බැඳීම් වලින් නිදහස් වෙන්න කොච්චර ආසාව තිබුණත් ඒක කරන්න බැරි, එනිසාම ඊට විරුද්ධව නැට්ට විකාගෙන සටනක් කරන චාර්මි. ඒ ධෛර්යයට ගරු කරමු. හිස් මිනිසකුගේ හිස්කම වීරකමක් කියලා හිතනවාට වැඩිය.

    ReplyDelete
  21. ඉබ්බා වගේ මිනිස්සු මෝඩයෝ.. එච්චරයි මට කියන්න තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මාතලන් වගේ මිනිස්සු තමයි ප්‍රඥාවන්තයෝ...

      Delete
    2. මාතලන්, ඉබ්බා මෝඩයෙක් නෙවෙයි, මානසික රෝගියෙක්. ඔහුගෙ මානසික රෝගී තත්වය මත ඔහු 2000 අවුරුද්දෙ තිබුණු වටපිටාව තවමත් තියෙනවා කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඒ රෝගී තත්වය මත ම ඔහු රෝගී වන්නට කලින් කලාව හා කළාකරුවා පිළිබඳ දරපු මතයෙ ඉඳගන ක්‍රියා කරන්න උත්සාහ කරනවා. ඒක ඇත්ත තත්වෙදි අවුලක් වුනත් ඌට දැනෙන්නෙ නෑ. ඒක නිසා ඌ මෝඩයෙන් නෙවෙයි. ඒක නිසාම තමයි ඌ චාමි දුන්න රු. 100 වැඩියි කිව්වෙ. නිකම්ම නිකම් මෝඩයෙක් වුනානම් ඌ එහෙම කියන එකක් නෑ. ඇත්ත ඉබ්බා වගේ උන් සමාජයට බරක් තමයි. ඒත් ඌ රෝගියෙක්..

      Delete
    3. රෝගියෙක් නම් ඌට අනුකම්පා කරමු. උදව් කරමු. ඒක වෙනම කතාවක්. නමුත් ඉරිසියා කරන්න තරම් දෙයක් ඉබ්බාගේ නැහැ. ඉබ්බා වීරයෙක් නෙවෙයි. දවස තිස්සේ වැලි තාච්චි අදින, කුඹුරු කොටන, ගාමන්ට් ෆැක්ටරියේ මැෂින් එක්ක ඔට්ටු වෙන මිනිස්සුන්ට ආදරය කරමු. උන් තමයි සැබෑ වීරයෝ. ඉබ්බන් නෙවෙයි.

      Delete
    4. චාමිට ඉබ්බා ගැන වගේම මාලක සිල්වා ගැනත් ඉරිසියයි :)

      Delete
  22. මේකට කමෙන්ටුවක් විදිහට මටත් ලියන්ඩ පුලුවන් "මට ඉබ්බ ගැන ඉරිසියයි" කියල. මොකද මට ඉබ්බත් එක්ක ගණුදෙනුවක් නැති හින්දා. ඒත් ඇත්තම කතාවනන් මට පාරේදි ඉබ්බව හම්බවුනොත් මං ඌව මග අරිනවා ෂුවර්.
    මං ගාව තියන අන්තිම රුපියල් 100 නන් මං කොහොමටවත් ඌට දෙන එකක් නෑ.

    ඉතින් මට ඉරිසියාව තියෙන්නෙ ඌ ගැන නෙවෙයි චාර්මි. උඹ ගැන.

    (රොසෙටා ව පාරෙදි හම්බවුනොත් මං මග හරී, ඒත් ඒ ෆිල්ම් එක ආසාවෙන් බැලුවා. ඇත්තටම මට හම්බවෙන්න ඕනෙ නැති රොසෙටාට ලංවෙන්ඩ චාන්ස් එකක් ෆිල්ම් එකෙන් හදල දෙනව. ඔන්න එතකොට මටත් හිතෙනව මාත් හදවත උණුවෙන සංවේදි මනුස්සයෙක් කියල )

    ReplyDelete
    Replies
    1. හහ්.. හා... රොසෙටා......
      මං ඒකිට ලව් බං !

      Delete
  23. උඹට මෙහෙම ඉඳල හිටල හරි ලියවෙන එක ගැන සතුටුයි.

    ReplyDelete
  24. ඉබ්බාට පිස්සු බං. මටත් පිස්සු උඹටත් පිස්සු.. අපි හැමෝම ඉබ්බට ඉරිසියා කරනවා කියලා කියනවා. ඒත් .. ඉතිං..

    ReplyDelete
  25. This comment has been removed by the author.

    ReplyDelete
  26. ලකෆ්‍රෑන්ස් වැඩ අරඹයි!
    නයිකාරයෝ, බොරුකාරයෝ, පොලුකාරයෝ, වංචාකාරයෝ, කොලුකාරයෝ, බඩුකාරයෝ පරිස්සමෙන්!!!!!!!!!!

    ReplyDelete
  27. ඉබ්බාට ඉරිසියයි කියන්නේ නම් නැහැ මම කීයටවත්ම. මොකද මමත් ඉබ්බෙක් වෙලා හිටපු නිසා. අද ඒ අතීතය දිහා හැරිලා බැලුවම මම දකින්නේ වීරයෙක් වත් ෆැන්ටසි නළුවෙක් වත් නෙමේ, පට්ටම ආත්මාර්ථකාමී යකෙක්. තමුන් සැබෑ ලෝකේ පය ගහන්නේ නැතිව ඉන්නවා මදිවාට, තමුන් ඒ මහ පොළොවට වැටෙන්න, දූවිලි හුළඟ වදින්න තරම් ඉහළ වැඩියි කියල බොරු හේතු හදා ගන්න ගමන්ම, ඒ ගිනි ගහන මහ පොළොවේ රස්නේ දැනෙන මිනිස්සුන්ගෙන් යැපෙන කුහකයෙක්. හැබැයි ඒ කුහක කමට උඩින් දාර්ශනික ලේබලය අලවා ගන්න පමණක් නෙමේ, ඊට සුසමාදර්ශීය උදාහරණ දෙන්නත් ලැහැස්ති වංක හිතක්.

    ඉබ්බා මානසික රෝගියෙක්, ඇත්ත. ඒ අපිට සාපේක්ෂව, ඇත්ත. ඒ පිස්සු කියන්නේ මෙතනින් එහාටය කියල අපි ඉරක් ගහල තියෙන නිසා, ඔවු, එකත් ඇත්තටම ඇත්ත. හැබැයි ඉබ්බා ජීවත් වෙන්නේ නො-ඉබ්බෝ නිසා. ඒක තමා නොපෙනෙන ඇත්ත. මම මේ කියන්නේ හිටපු ඉබ්බෙක් විදියට.

    ReplyDelete
  28. ඉබ්බගෙ මානසික තත්වෙත් එක්ක කාගෙන්වත් යැපෙන එක පොරට ඒතරම් දෙයක් නැතුව ඇති. ඒකයි 100ක් ගන්න පසුබට නොවෙන්නේ. නමුත් ඉඩම විකුනලා පොර කරන්න යන දේ ගැනත් කට්ටිය අවධානෙ යොමු කරා මදි කියලයි මට හිතෙන්නෙ. අක්කට කීයක් හරි දෙන්න, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත දේ නොමිලේම ළමයින්ට දීල තව ඒ ළමයින්ට තේ එකක් වත් දෙන්න. මෙන්න මෙතනදි ඌ අපිටත් වඩා ඉහලින් ඉන්නව කියලයි මම හිතන්නෙ. සමහර විට උට කරන්න බැරි වෙයි. නමුත් ඒක උගෙ හිතේ හරි තියන එක ලොකු දෙයක්

    ReplyDelete
  29. oyala hitanawada ibbata jiwithaye aththa thathwaya therum yana awastha nehe kiyala??? kohoma manasika rogiyek unat, ea rogikama yatapathkaragena sebaa manasa weda karanawa yam awastha waladi....eka keti kaaleena wenna puluwani namuth ea keti kaalaya thula, taman ge jiwithe aththa thathwaya awaboda weema taram dukak oya kisi kenek widala thiyanawada????? mulu lokayak tamanta pissa kiyaddi , tawa miniththu keepayakin taman aththatama pissek wenawa kiyala daneddi, tamanta me kisi deyak heta mataka nehe kiyala tereddi, taman loketama barak wunu kalakanniyek kiyala thereddi thiyana wedanawee eka anshu maathrayak wath obalata danila nehe......

    ReplyDelete

Follow by Email