Tuesday, March 29, 2011

නැන්දම්මාගේ ක්‍රිකට් (පශ්චාත් නන්දිකඩාල් ක්‍රිකට්)

පසුගිය දිනෙක මගේ යතුරුපැදිය අළුත් ටයර් ඉල්ලා අඛණ්ඩ උපවාසයක නිරත විය. ඒ සංකේතීයව පසුපස රෝදයේ හුලං ද බස්සවාගෙනය. යතුරුපැදියට රෝද තිබෙන බව මාස ගානකින් මට මතක් වූයේද එදාය. සාමාන්‍යයෙන් ඔය මගුලේ මට මතක ඇත්තේ හැඬල් එකත්, පෙට්‍රල් ටැංකියත්, ඉරුණු සීට් එකත් පමණි.

එම සවස් වරුවේ හදිසි ගමණක් යෙදී තිබුණු බැවින් යතුරු පැදියක් ඉල්ලා ගැනීමට මිතුරෙකුගේ නිවසට ගියෙමි. මිතුරා නැත. මිතුරාගේ නැන්දම්මා සහ බාප්පා කෙනෙක් සාලයට වී මැච් එක බලයි.
"මැච් එක බලනවා වගේ...........?"
"ආ... මේ දවස්වල ඉතිං වෙන මොනවද? මැච් තියෙනදාට අනිවාර්යෙං බලනවා.... "
ඒ නැන්දම්මාය.
"අද හොඳ පයිට් එකක් තියෙන්නෙ....."
ඒ බාප්පාය.
පැවැත්වෙමින් තිබෙන්නේ නවසීලන්ත, දකුණු අප්‍රිකා තරඟයයි. නවසීලන්ත ක්‍රීඩකයෙකුගේ වැරෙන් පහරකි. පන්දුව පිත්තේ වදින්නේ නැත. නැන්දම්මාට හීල්ලෙයි.
"අපරාදෙ.... වැදුනනං කෙලින්ම හයයි.... ආයෙ ඇල්ලිලි බොරු.... "
"හහ්...! හය තමා පොඩ්ඩක් පිත්තෙ කොනක වැදිලා ගියානං... අපරාදෙනෙ විකට් එක..." ඒ බාප්පාය.
"ඒ උනාට ඔහොම නොගහා බෑ...... පෙනේද.. බෝලෙ දාපු එකාගෙ හොර හිනාව....?"
නැන්දම්මා නොමනාපයෙනි.
"මොකද්ද අම්මෙ උනේ.....?"
ඒ හඬ ගේ ඇතුළෙනි. මිතුරාගේ බිරිඳය.
"දැං ඔයගොල්ලො කාටද සපෝට්.....?"
නිකමට වගේ ඇසුවෙමි.
" හා... අපි මේ ගහන කට්ටියට.... අරුංගෙ බෝල සැරයි... මෙහෙමවත් ගහන එක ඇති......."
මම යතුරු පැදිය ඉල්ලාගෙන ආවෙමි.

මා යතුරුපැදිය නැවත දීමට යන විට රාත්‍රීය උදාවී තිබිණි. මිතුරා තවමත් පැමිණ නැත. ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ සුළු වෙනසක් වී තිබිණි. බාප්පා නැත. නැන්දම්මාගේ අක්කා කෙනෙකු එතැන වාඩිවී සිටී. නැන්දම්මා සුපුරුදු පුටුවේය. මිතුරාගේ බිරිඳ නිවස තුල යමක් කරන හඬ ඇසේ. පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාවයි.
"දැං මොකද වෙලා තියෙන්නේ...?"
ස්කෝර් එක බලා ගන්නට මටද අවශ්‍යව තිබිණි.
"මුං ගහනවා නියමෙට.... අරුන්ට කට උත්තර නෑ... හොඳ වැඩේ...."
එවර උඩ පන්දුවකි.
"අන්න හයක්...... අයියෝ කැච් එකක්ද? .... ඒකනං....."
හතරේ සීමාව ආසන්නයේදී උඩ පන්දුව රැක ගැනේ.
"අපරාදේ........ තව ටිකක් හයියෙං ගැහුවනං....."
නැන්දම්මා විස්සෝප වේ.
"මොකද අම්මේ.....? අවුට්ද?"
ඒ ප්‍රශ්නය සුපුරුදු ලෙස නිවස තුළිනි.
"පරාදයි නේන්නං..... අරුං ඇල්ලුවනේ..... අපරාදේ....."
කැච් එක ඇල්ලූ ප්‍රතිරූපණ බලන්නට මිතුරගේ බිරිඳද පැමිණේ.
"අපරාදෙ නේ....? තව ටිකක් එහාට ගියානං කෙලින්ම හයයිනෙ......"
දැන්නම් පරණ ප්‍රශ්නය නැවත නොඅසා බැරිය.
"ඔයගොල්ලො කාටද සපෝට්.....?"
"අපි මෙයාලට....."
මිතුරාගේ බිරිඳ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් පෙන්වා මදහසක් නගාගෙනම ගෙතුලට යයි.
ඌණ පූර්ණය නැන්දම්මාගෙනි.
"ඔය කඩුල්ලක් දෙකක් ගියාට කොදෙව්වො වට්ටන්ඩ බෑ....."
"කොදෙව්වො....????? මේ දකුණු අප්‍රිකාවනේ......."
නැන්දම්මා මගේ මූණ දෙස බලා සිටී.
"මේ කොදෙව්වො නේද....? දකුණු අප්‍රිකන් කාරයෝ මෙහෙම නෙමෙයිනේ......"
නැන්දම්මා අපහසුවෙනි.
"කොදෙව්වො නෙමේද අයියේ.....?"
ඒ ප්‍රශ්නය ගෙතුළිනි.
"යකෝ මුංගේ ටී ෂර්ට් වල ගහල තියෙන එකවත් බැලු‍වේ නැද්ද...."
"මට ඒක ගානක් උනේ නෑ..... මාත් හිතං හිටියේ කොදෙව්වොමයි කියලා......"
මිතුරාගේ බිරිඳ කියයි.
නැන්දම්මා නැවත රූපවාහිනිය දෙසට හැරේ.
"කවුරු උනත් මොකද? හොඳට ගහනවනං එච්චරයිනේ....."
----------------------------------------------
(මෙම ලිපියේ ඉතිරි කොටස මගේ මිතුරාගේ මාමණ්ඩියට කියවීම පිණිස ලියවුනක් බැවින් ඔබ මෙය කියවීම අත්‍යාවශ්‍ය නොවේ.)
ඩියර් ආරියවංශ අංකල් වෙතයි.
දුර බැහැර රැකියාවක නියුතු ඔබේ නිවසේ මේ දිනවල බැලෙන්නේ ක්‍රිකට් යයි ඔබ සිතා සිටිනවා විය හැකිය. එහෙත් මේ ක්‍රිකට් නොවන බව මගේ සිත කියයි. ඔබේ බිරිඳ සහ දියණිය නිතරම බැට් කරන පැත්තට පමණක් සපෝට් කිරීම තේරුම් ගත නොහැකිව සිටි මා හට සම්‍යක් ඥානය පහල වූයේ විමල් වීරවංශ ගරු ඇමති තුමාගේ වෙබ් අඩවියේ පළවූ මෙම පුවත් ශීර්ෂය දැකීමෙනි.
මෙය 'පශ්චාත් නන්දිකඩාල් ක්‍රිකට්' යයි මා නම් කරමි. මෙම ක්‍රීඩාවේ විශේෂතා මේවාය. නිතරම බැට් කරන්නේ එකෙකි. හරියට අපේ අසරණ සිංහල ජාතිය වගේය. ඌව කන්ඩ බලාගෙන විජාතික කුමන්ත්‍රණකාරීන් එකොළොස් දෙනෙක් වටේ බලා සිටිති. ඉතින් අපි කාට සපෝට් කරමුද?

පසුගිය යුද සමයේ ඔබ නිවසේ හැළි වලන් විශාල ප්‍රමාණයක් කරවී ගියේ මානුෂික මෙහෙයුම නමැති රූපවාහිනී රියැලිටි මාලා නාටකය හේතුවෙනි. ලාංකීය රූපවාහිණී ඉතිහාසයේ එතරම්ම ත්‍රාසජනක වින්දනයක් ලබාදුන් වෙනත් වැඩසටහනක් විකාශය නොවූ අතර එය අවසන් වීමෙන් ඇතිවූ රික්තකය මේ වන විට පුරවමින් සිටින්නේ ක්‍රිකට් ලෝක කුසලානයයි. මේ වන විට අවසන් අදියරට පැමිණෙමින් පවතින තරඟාවලියේ උද්වේගකර අවස්ථාවන් විසින් ඔබ නිවසේ තවත් හැළි වලන් කීපයක් දවාහරිනු ඇති අතර එය පාඩුවක් කොට නොසිතන්න. ලංකාව කුසලානය ජයග්‍රහණය කරයි නම් මාද කැමති අතර එය සැබෑ ජයග්‍රහණයක් කොට මාද සලකමි.

අති ගරු ජනාධීපතිතුමාගේ සිනාමුසු සාඩම්බර මුහුණ, විමල් වීරවංශ ගරු ඇමතිතුමාගේ හැඟීම්බර මුහුණ සමඟ මහින්දානන්ද අළුත්ගමගේ ගරු ඇමතිතුමාගේ සොඳුරු මුහුණේ සමීප දසුන් සමග ඡේදනය වන හයේ හතරේ පහරවල් සමඟ ඉදිරි තරඟ නැරඹීමට ඔබටද, මටද, ඔබ පවුලේ සැමටද වාසනාව සහ ශක්තිය ලැබේවායි අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමි.

ප/ලි - කුසලානය දින්නොත් හන්දියේ සෙට් වෙලා කිරිබත් කෑල්ලක් කන්ඩ ගමට එන්ඩ.......

23 comments:

  1. නන්දිකඩාල් සිදුවීමෙන් තාම දුක් විඳිනවද??? උඹලෑ මහ ඌර මලා.. දැන් ඉතිං හිත හදාගෙන ඉදිරියක් ගැන බලපං... හූල්ලල වැඩක් නෑ..හිතට අමාරුයි තමයි..

    ReplyDelete
  2. මේකත් තව දවස් තුන හතරකින් ඉවර වුණාම අපි මොනවද බං කරන්නේ ඊට පස්සෙ..
    (කවුරු වුණත් ගහන එවුන්ට ජයවේවා!)

    ReplyDelete
  3. සාධු! සාධු! සාධු!

    අනිවා ඩෙෆා ලොක්කා .අපි උයමු කිරි බතක්.
    මේකනේ.ඔය පචායුද තුමා දවසෙ ගතමන්ට් එක හොයා ගන්න ක්‍රමවේදෙ අපට අදාල නැ.ඒත් එකම දැයක් වී මහ බලයක්වී පෙර අ අ අ අ අ---------ටම යන යැවිල්ල බලද්දි හරිනම් අපට සෙල්ලම් නොකරම කුසලානෙ දෙන්න වටිනවා.නැද්ද මං අහන්නෙ?
    කිව්වට මොකද මොන පවකටද මන්දා තාම අපේ ගෙදර ඔය එක මැච් එකක් වත් බැලුවෙ නැ නෙ.බලන්න හිත දෙන්නෙ නැ.:((( වෙන මොනවද
    පවුකාරකම.නැතන්ම් ආතල් එකේ චියර් පාරක් දාලා මහන්සියට ඇල් වතුර එකක් බීලා නිදා ගන්න තිබ්බ නෙ.

    ReplyDelete
  4. මොකද මන්දා 96 න් පස්සෙ මට ක්‍රිකට් බැලිල්ල එපාම උනා. :'(

    ReplyDelete
  5. අමාරුවෙන් උනත් ගහන උන්ට ජයම වේවා!

    ReplyDelete
  6. මචං චාමි . . .

    උඹ ලන්කාවේ නෙමෙයිද බන් දැන් ඉන්නේ . .

    අපේ රටේ අලුත්ම ට්‍රෙන්ඩ් එක නම් හොඳට ගහන එකා මොකා වුනත් මොන නරුමයෙක් උනත් . . ඌ තමයි හැමෝගෙම ආදරය ගෞරවය දිනා ගත්තු පොර .. .

    ක්‍රිකට් වලත් ඒ තියරියම තමයි බන් . .

    හොඳට ගහන උන් කවුද උන්ට තමයි අපි සපෝර්ට් . .

    හුරේ . . ජය වේවා . . .

    ReplyDelete
  7. කලබල වෙන්න එපා.ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගයකදී ball කළ ද bat කළ ද ලංකාවේ හැමෝම support කරන්නේ ශ්‍රී ලංකා පිලටයි.

    නැන්දම්මා ගේ ස්වාමිපුරුශයා වන්නේ මාමා මසක් බාප්පා නොවේ.අනෙක් අතට බාප්පා ගේ බිරිද පුංචිඅම්මා මිසක් නැන්දම්මා නොවේ.

    ReplyDelete
  8. @ ජයශ්‍රී,
    ඔබ නිවැරදියි. එනිසාම මමත් නිවැරදියි.
    ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  9. විමලේ මේකෙනුත් හතුරෙක් හොයනවා වගේ..... කොයි හැටි වෙතත් ලංකාවට දිනන්න මෙන්න අපෙනුත් විසිල් පාරක්.

    ReplyDelete
  10. හොඳ හයේ පාරක්... වෙල් ඩන් චාමි ....

    ReplyDelete
  11. අනේ බන් කඩේ යන්නේ නැතුව ඉදපන් ක්‍රිකට්වලට දේශපාලනය ගා වන්න එපා...මහත්වරු...මහත්හොරු කියන්නේ වර්ග දෙකක්..

    ReplyDelete
  12. තොපි ඉතින් හීන දැක්කේ ශ්‍රී ලංකා VS ඊලාම් තරඟය බලන්නනේ. හූල්ලපන් ඉතින්.

    ReplyDelete
  13. අනේ මන්ද මේ කථන්දරේ ගැන මොකක් කියන්නද කියල... නන්දිකඩාල් කේස් එකට චාමි අප්සෙට් එකෙන් කියලයි මට හිතෙන්නෙ.. හේතුවනම් දන්නෙ නෑ ඉතිං... වැරදි දෙයක් කිව්වනම් සමාවෙන්න...

    ReplyDelete
  14. මම හිතන්නේ කස්ටියට යට ටික ලිවුවේ කාටද කියලා අමතක වෙලා වගේ.. මට මතක් වෙන්නේ අර පොදු සතුරා සීන් එක ප්‍රබාකරන් මලාම සරත් ෆොන්සේකා ඒ වගේ මොකක් හරි ආතල් එකක් තියෙනවා. මිනිස්සු ඒක ඇතුලේ අතරමං වෙලා හම්බවෙන්නෙ නැති මොකද්ද එකක් හොයනවා. ඊට පස්සෙ අයි පී එල් පටන් ගන්නවා. අපි වර්ල්ඩ් කප් ෆයිනල් එයි. ඒත් දැන් නම් ක්‍රීඩාව කියන්නේ වෙන මොකද්ද එකක්.. ඒකෙ මූලික අරමුණු ටිකක් නැතිවෙලා ගිහින්..

    ReplyDelete
  15. මම නම් සපෝර්ට් කරන පිළ හිතාගන්නේ මැච් එක ඉවර වුණාට පස්සේ.

    එතකන් දිනන පිළ මොකක්ද කියලා දැන ගන්න බෑනේ, ඒකයි!

    ReplyDelete
  16. ඒක ලේසියිනෙ චාමි, වැඩිය හොයන්ඩ බලන්ඩ දෙයක් නැහැ, හිත කරදර කර ගන්ඩ දෙයක් නැහැ, ගහන එකාට අපි සපෝට්, ලේසියි පහසුයි, අත්දුටුවයි, සත්තයි,

    ReplyDelete
  17. @ Last Anonymous,
    මිනී මරා ගත්තාට වඩා ක්‍රිකට් ගහන්නට තිබුනනම් හොඳ නැද්ද?

    මේ පැවති යුද්ධය ගැන මගේ අදහසයි
    අවසන් සටනේ වැනසුන බිම්මල්

    ReplyDelete
  18. @ සාතන්,
    නන්දිකඩාල් කියන්නේ ලංකා දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක්. නන්දිකඩාල් වලට පෙර සහ පසු ලංකාව කියන්නේ පැහැදිලිවම දෙකක්. මේ බරපතළ වෙනස පහසුවෙන් දකින්න බැරිද?
    මේ මම කැමතිම ලිපියක්
    පශ්චාත් - නන්දිකඩාල් ලංකාව තේරුම් ගැනීම

    ReplyDelete
  19. @Charmi: චාමි කියන දේ වැරදි නෑ... නන්දිකඩාල් කියන්නෙ ලංකා දේශපාලනයෙ හැරවුම් ලක්ෂ්‍යයක්... ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ හැරවුමට සමගාමීව සාමාන්‍ය මිනිස්සුන්ගෙ මානසිකත්වය හැරවුනාද කියන එකයි... අද ලංකා‍ව ඇතුලෙ කෑගහල දඟලන්න ප්‍රශ්නයක් ‍තියෙනවනම් ඒක ඇතිවුනේ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ වරදකින් නෙමෙයි කියන එකයි සාතන්ගෙ වැටහීම... මේක මොන ප්‍රශ්නෙකදි වුනත් තව කෙනෙක්ට ඇගිල්ල දික් කරන්න බලන් ඉන්න අපේ සමාජයේ වැරැද්දක්(තමුන්ට වාතයක් ගියත් දාන්න හදන්නෙ වෙන එකෙක්ගෙ එකවුන්ට් එකට)...
    සාමාන්‍ය මිනිහගෙ මානසිකත්වය හදන එකත් කාගෙ හරි වගකීමක් කියල කියන්න සාතන්ගෙ දිව නැමෙන්නෙ නෑ... (ලේ දුන්නට මොලේ දෙන්න බෑ කියල කථාවක් තියෙනවනෙ)
    ...................................
    යුද්ධය හින්ද නැති වුන ජීවිත ගැන කථා කරනවනම්, ආගමක් ජාතියක් නැතුව පිල් දෙකේම මිනිස්සු මැරුණ... කොළඹ බෝම්බයක් පිපුරුනහම වෙන් වෙලා ගිය කෑලි එකින් එක අරන් මේක දෙමලෙක්ගෙද සිංහලයෙක්ගෙද බැලුවෙ නෑ...
    ලෝකෙ ජීවය ඇතිවෙච්චි දවසෙ ඉදන් යුද්ධ තිබුන.. ඉස්සරහටත් තියෙයි... ඒක මේ ලෝකෙ පවතින හැටි... ප්‍රශ්නෙ තියෙන්නෙ වැළලිච්ච මළකුණු ගොඩ අරන් කූරු ගගා වටේ ගඳගස්සන එකද?.. එහෙම නැත්තන් සිද්ධවුනු දේවල් වලින් පාඩම් ඉගෙනගෙන ඉස්සරහට යනවද?... කියන එකයි...

    ක්‍රිකට් කථාවක් මැදට නන්දිකඩාල් ඇද දැමීමෙන් අදහස් කරන්නට හැදු දේ ගැන තවමත් පැහැදිලි අදහසක් මට නැත... ;)

    ReplyDelete
  20. @ සාතන්,
    ඔබ කියන පරිදිම 'රවි කරුණානායක' වර්ගයේ සරළ ආණ්ඩු විරෝධයක් මේ මොහොතේ තේරුමක් නැහැ. එවැන්නක් මතු කරන්නට මා අදහස්කලෙත් නැහැ.

    නන්දිකඩාල් වලින් පසු ලංකාව ගැන මම දකින්නේ මෙහෙම.
    ප්‍රභාකරන් විසින් තෝරන ලද උපාය මාර්ගයන්ගේ තාර්කික අවසානය ඔහු ඇතුළු එල්.ටී.ටී.ඊ. සංවිධානය අත්වින්දා. එය ඉබේ සිදුවූවක් නොවන බව අප කවුරුත් දන්නවා. ඒ සඳහා සමස්ත දකුණේ මුළු ශක්තිය එක් ලක්ෂ්‍යයකට එක්රැස් කරන්න සිදුවුනා. කොටින්ම ප්‍රභාකරන් විනාශ කරන්නට ඔහුටත් වඩා ශක්තිමත් ප්‍රභාකරන් කෙනෙක් නිර්මාණය කරන්නට දකුණට සිදු වුනා.
    උතුරේ ප්‍රභාකරන් මළා. ඔහු නසන්නට දකුණේ නිර්මාණය කල ප්‍රභාකරන් ඉතිරි වුනා.

    මට ඇති ගැටළුව නම් උතුරේ ප්‍රභාකරන් නැති සංදර්භයකදීත්, පාලක රෙජීමය විසින් දකුණේ නිර්මාණය වූ ප්‍රභාකරන් දිගින් දිගටම නඩත්තු කිරීම. මෙය ඉතා විනාශකාරී දෙයක් බව මගේ විශ්වාසය.
    -----------------------------------
    (අමුවෙන්} -

    මගේ නිරීක්ෂණය
    පූර්ව නන්දිකඩාල් ලංකාවේදී ක්‍රිකට් බලන උන්ටත් බැන වැදුනු නැන්දම්මා පශ්චාත් නන්දිකඩාල් ලංකාවේදී ක්‍රිකට් ලෝලියෙක් වීම.

    මගේ නිගමනය -
    නැන්දම්මා රූපවහිනියෙන් නරඹන්නේ ඇය නොදන්නා ක්‍රිකට් වෙනුවට, ඇය ඉතා උනන්දුවෙන් නැරඹූ නන්දිකඩාල් සටනේ ප්‍රතිරූපනයක් බව. :D

    ඔබේ මැදිහත්වීමට මා ඉතා කැමතියි.

    ReplyDelete
  21. කප් එක දිනපු නිසා ඉන්දියාවෙනම් දැන් ක්‍රිකට් උන්මාදය ඉවරයි. හෙට ඉඳන් ආයේ වැඩ. ස්පොන්සර්ලා ටීවී චැනල් කාරයෝනම් තාම සල්ලිගණන් කරලා ඉවර නැතුව ඇති. තත්පර 30 ඇඩ් එකක් ඉන්දියන් රුපියල් ලක්ශ 6-7කට අලෙවිවුනා (ලන්කාවෙ සල්ලි වලින් නම් ලක්ශ14ක් විතර). ලංකාවෙනම් ක්‍රිකට් පටන් ගත්තා විතරයි මම හිතන්නේ. දැන් ඉතින් සගාගේ මහේලගේ රීරිමාංශ කන්න පටන් ගනී...

    ReplyDelete
  22. චාමි මොකද ? අවුරුද්දත් එක්කම වහන් වෙලා ගිහින්...

    සුබ අලුත් අවුරුද්දක් වේවා චාමි.........

    සුබ පැතුමින් නැහැවුන - අවුරුදු සිරි අහවර
    සුබ නැකතක් ‍කෙලවර වී - පිටිය විවර ‍වෙයි ‍හෙට

    පෝස්ට් අප් ඩේට් කරන්න දැන් ඉතින් කාලය හරි වගේ ...

    ReplyDelete
  23. @ කසූ/වත්,
    ස්තුතියි. අවුරුද්දකට පස්සෙ ඊයෙ තමා ආවේ. මොනවා හරි ලියන්න බලමු.

    ReplyDelete