Saturday, March 19, 2011

පුරාතන ලංකාවේ මිනිසුන් ප්‍රවාහනය

මෙය ලෝ ප්‍රකට කාල්ටන් විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්යවරයෙකු විසින් විසින් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක සරළ අනුවර්තනයකි.

මෙවන් නීරස ලියවිල්ලක් මෙම බ්ලොගයේ පළ කිරීමට සිදුවීම පිළිබඳව පළමුව ඔබගෙන් සමාව අයදිමි.

-------------------------------------------------------------------

පුරාතන ශ්‍රී ලංකාවේ මිනිසුන් ප්‍රවාහනය

මූලික වශයෙන් මගේ අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පුරාතන අර්ධ වැඩවසම් සමයෙහි මිනිසුන් ප්‍රවාහනය පිළිබඳව ඓතිහාසික සාක්ෂි ඇසුරෙන් යම් විග්‍රහයක් ඉදිරිපත් කිරීමයි. එකළ ප්‍රධාන වශයෙන්ම මිනිසුන් ප්‍රවාහනය කරන ලද්දේ මාර්ගස්ථව බව ඓතිහාසික සාධක මනාව පෙන්වා දෙයි. මෙම මාර්ග යනුද සරළ නිමැවුමකි. අවසාදිත පාෂාණ කැබලි සහ ෆොසිල ඉන්ධන නිෂ්පාදන අතුරුඵල මිශ්‍රකොට සරළ යන්ත්‍ර මගින් තැලීමෙන් මෙම මාර්ග නිමැවිනි. මෙම මාර්ගවල සමතල බව හෝ රේඛීය බව පිළීබඳ එකල පුරාතනයින් එතරම් තැකීමක් කොට නොමැති බවද දක්නට හැකිය. එමෙන්ම මෙම මාර්ග නඩත්තුවද එකල පාලන ව්‍යුහය වූ අර්ධ වැඩවසම් රාජ්‍යාධිකාරීන්ගේ පෞද්ගලික අභීමතය පරිදි සිදුවූ බවද ඇතැම් මූලාශ්‍ර පෙන්වා දෙයි.

එම වකවානුව වන විටද පොදු ප්‍රවාහන සේවා ඇරඹී තිබූ අතර ඒවා ඉතා ප්‍රාථමික මට්ටමේ පැවතී ඇත. මිනිසුන් ප්‍රවාහනයට මූලික වශයෙන්ම භාවිතා කොට ඇත්තේ සරළ යාන්ත්‍රික ඇටවුමකි. මෙය යකඩ, ඇලුමිනියම් ලෝහ වැනි දෑ භාවිතයෙන් තැනූ තරමක් විශාල සරළ ලෝහ පෙට්ටියක් වැනි යයි කිව හැකිය. මෙය මාර්ගය මත පහසුවෙන් චලනය කිරීම පිණීස එහි පහළ කොටසට රෝද කිහිපයක් සවිකොට තිබූ අතර එයට මිනිසුන් පැටවීම හා බෑම පිණිස පසෙකින් තරමක් විශාල කවුළු එකක් හෝ දෙකක් සාදා තිබිණී. මෙය මාර්ගය මත චලනය කිරීම පිණිස බලය ලබාගෙන ඇත්තේ ප්‍රාථමික ඉන්ධන ප්‍රභවයක් වන ෆොසිල ඉන්ධන පිරිපහදු කරගැනීමෙන් ලබාගන්නා ලද ද්‍රව හයිඩ්‍රොකාබන විශේෂයක් දහනය මගිනි. මෙම දහනය මගින් අධීක තාපයක්, ඉතා අමිහිරි උස් හඬක් මෙන්ම ඉතා විෂ සහිත රසායනික සංයෝගයන් විශාල ප්‍රමාණයක් වායු ගෝලය වෙත මුදා හැර ඇත. එමෙන්ම මෙය ක්‍රියාත්මකව පවතින මොහොතේ උක්ත මිනිස් බහාලුම තුල සැලකිය යුතු දෙදරුම් සහගත තත්වයක්ද පැවතී ඇත. එහෙත් එකල විසූ ජනයා මෙම මිනිස් බහාලුම සුවපහසු සේ සලකන ලද බවට ඇතැම් ඓතිහාසික සාධක සාක්ෂි දරයි.

මෙම බහාලුම තුල බහා මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී එය ක්‍රියාත්මක කිරීම පිණිස සෑම බහාලුමකටම අවම වශයෙන් ක්‍රියාකරුවන් දෙදෙනෙකු බැගින් වත් සිට ඇත. මිනිසුන් පැටවීම සහ බෑම නියාමනය කිරීම ඉන් එක් අයෙකු විසින් සිදු කර ඇති අතර අනෙක් ක්‍රියාකරු විසින් මෙම ඇටවුම මාර්ගය දිගේ නිශ්චිත ගමනාන්තයක් දක්වා චලනය වීම මෙහෙයවා ඇත. මෙහි බහාලුම්ගතව තම ගමනාන්තයට යාමට ඇවැසි වූ පුරාතන මිනිසුන් මාර්ගය දෙපස රැඳී මෙවැන්නක් පැමිණෙන තුරු බලා සිටීම එකල සුලබ දසුනක් වන්නටද ඇත. එවන් මිනිසුන්ට දීර්ඝ වේලාවක් බලා සිටීමට සිදු වන අවස්ථාවලදී අව් වැසි වලින් ආරක්ෂා වීමට විශේෂීත ආවරණ කුටි මෙම මාර්ග දෙපස තන් තන්හි ඉදිව තිබූ බව නූතන පුරාවිද්‍යා කැණීම් වලින් හෙළිව තිබේ.

මෙවන් මිනිස් ප්‍රවාහන යන්ත්‍රයක් අත්පත් කර ගැනීමේ සහ නඩත්තු කිරීමේ හැකියාව තිබී ඇත්තේ එකල තිබූ රාජ්‍යාධිකාරයට සහ අතළොස්සක් වන ධනවතුන් පිරිසකට පමණක් වන බැවින් මේවායේ මිනිසුන් ප්‍රවාහනය කිරීමේදී විශාල තදබදයක් පැවති බවට අනුමාන කල හැකිය. පළමු සයිබර් සංහාර යුගයේදී විනාශයෙන් ගැලැවුන, දැනට සංරක්ෂිතව පවතින මෙම පෞරාණික සාහිත්‍යමය සයිබර් ලේඛන කොටස ඒ සඳහා මනා සාක්ෂියක් සපයයි.

[උපුටාගැනීම]

"මා එක් අතකින් වැරෙන් ආධාරකයක එල්ලී සිටිමි. අසුනක ඉහල කොටස තෙරපී කලවයක් රිදුම් දෙයි. අනෙක් අතින් අල්ලා ගැනීමට අඟලක හෝ ආධාරකයක් අවට ඉතිරිව නැත. මා පසුපසින් දෙදෙනෙකු තෙරපෙයි. දහඩිය පිරුණු අතක් මා මුහුණ හරහා ගොස් කණුවක් අල්ලාගෙනය. දෙපසින් තෙරපෙන ස්ථුල මිනිසුන් දෙදෙනාගෙන් මා මිරිකී යන සෙයක් දැනේ.

මා කොන්ද මත තෙරපෙන කාගෙදෝ බාහුවක් අංශක කිහිපයකින් මා ඉදිරියට නවා ඇත. දෙපා වලට දමන දහඩිය හේතුවෙන් තැම්බුම් රස්නයක් කලිසම තුල රැ‍ඳෙයි. කමිසය දහඩියෙන් පෙඟී ඇත. දෑත් දෙපා හෝ කිසිදු ලෙසකින් චලනය කල නොහේ. මගේ ප්‍රමාණයට තරමක් කුඩාවට තැනූ මගේ හැඩයේ කූඩුවක මා සිර කොට ඇති සේය.

මගේ දෑස් මට්ටමට පහළින් පිහිටි කවුළුවෙන් දර්ශනය වන්නේ පාරේ කාණුව දක්වා පමණී. යන්තම් හිස හරවා බැලීමි. දහඩියෙන් පෙඟී තෙල් බේරුණු ගැහැණු පිරිමි මුහුණු යායක් අරමුණු රහිත වෙහෙසකර හිස් දෑස්වලින් උණුසුම වෑහෙන ඉහල වහලය දෙස නිහඬව බලා සිටිති. දුම් ගඳ, දූවිලි ගඳ හා මුසුව නැගෙන විලවුන් මුසු දහඩිය ගඳ නාසය කාරවයි.

තොරතෝංචියක් නැතිව ඇසෙමින් තිබූ වාහන එන්ජින් හඬ හා නළා හඬ යටපත් කරමින් බසයේ කැසට් යන්ත්‍රය ක්‍රියාත්මක වේ.

ඔබ දන්නෙහිද? මතක ඇති කලකින් මා විඳි රසවත්ම ගීතය එය බව දිවුරා කියත හැකිය....."

[උපුටා ගැනීම අවසන්]

උක්ත සයිබර් ලේඛණය ලියනය වූ පුරාතන අවධියේ ශ්‍රී ලංකාවේ මිනිසුන් දේශපාලනිකව යම් .................//

---------------------------------------------------------

මෙතෙක් වේලා මෙම ශාස්ත්‍රීය ලියවිල්ල කියවූ ඔබට ස්තුතියි. මෙහි ඉතිරි කොටස්ද පළකිරීමට මා හට අවශ්‍ය මුත්, මහාචාර්යවරයා විසින් මෙම පත්‍රිකාව තුල ගොඩනගනු ලබන ප්‍රවාදය, මෙවර ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට ඔබ විසින් යොදාගැනීමට ඉඩ ඇති නිසා ඉන් වැලකෙන බව කරුණාවෙන් සලකන්න

18 comments:

  1. මහැඳුරු ලා ඔහොමම තමයි. හුදී ජනයා ගේ දාඩිය සුවඳ හඳුනන්නේ නෑ.

    ReplyDelete
  2. නියමෙට ලියලා තියෙනවා.

    ReplyDelete
  3. තෙරපුනත්,මිරිකුනත්,දාඩිය දැම්මත් හැමදාමත් මේ ලෝහ පෙට්ටියේම යනවා හැර වෙන විකල්පයක් ජහමනයාට නැත.පහුගිය ඡන්ද ප්‍රථිඵලයත් ඒකමද,වෙන මොකක් හරි එකක්ද.......අනේ මන්දා.

    ReplyDelete
  4. 'පුරාතන ශ්‍රී ලංකාව' කිව්වට.. අනේ මන්දා..
    මේක හැමදාම වර්තමානය වෙයිද?

    ReplyDelete
  5. උඹ කියන විදිහට කවදහරි මේක ගල්යුගේ වගේ පෙනෙයි තමා.

    ReplyDelete
  6. දවසේ අති භයOකරම කොටස තමයි ලෝහ පට්ටියෙ ගමන....

    ReplyDelete
  7. පළමු සයිබර් සංහාරයෙන් පස්සේ හරි මේ ලෝහ පෙට්ටි වෙනුවට ආදේශකයක් එනවනම් ලොකු දෙයක්....

    ReplyDelete
  8. "මෙවර ප්‍රාදේශීය සභා ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමට ඔබ විසින් යොදාගැනීමට ඉඩ ඇති නිසා ඉන් වැලකෙන බව කරුණාවෙන් සලකන්න"

    ලංකාවෙ...? අම්ම ගහයි කිව්වලු.


    එළකිරි චාමි.

    ReplyDelete
  9. අම්මෝ!!!! මතක් කරන්න එපා ඔය ලෝහ පෙට්ටිය... ඔය පෙට්ටි අයිතිකාරයොයි ඒවා පාරෙ අරං උනුයි ඔක්කොම එකයි. :(

    ReplyDelete
  10. ඔය අර්ධ වැඩවසම් කාලේ (ආශ්චර්ය උදාකරන්ඩ කලින්) මිනිස්සු ගමන් ගිය හැටි නේද? දැන්නම් ඉතින් කට්ටිය හරිම සැපට යනවනෙ....

    ReplyDelete
  11. ලංකාව දැන ටිකක් වෙනස් විදියට දැකලා වගේයි...

    ReplyDelete
  12. අඹ සෙවනෙ ඉඳලයි මේ ආවේ... සින්දුවත් රස වින්දා... මගේ ගෙදර , මගේ මේසය , මගේ පුටුවෙ වාඩි වෙලා... ඒ රසවින්දා.

    ඔය කියන රසවින්දනය විදින අය නැත්තෙම නැහැ ...

    -------------------------
    ඒ අවධියේ ඔය කියන විදිහේ ප්‍රවාහන මාධ්‍යයක් භාවිතා කරන්න තරම් අපි මාර දියුණුවක් ලබල තියෙනවා.ඒ වගේම මට තියන ප්‍රශ්ණය
    , මේ තරම් පුරාණ පුවාහන මාධ්‍යයක් මොකද තාමත් භාවිත වෙන්නෙ කියල. මට දැනෙන විදිහට නම්. අතීතයේ සටහන් කරන්න බැරි වුන කාලයකදි මොකක් හරි දරුණු ආක්‍රමණයක් වෙලා තියෙන හැඩයි. එදා ඉදල දියුණුව අඩාල වෙන්න ඇති.... මාර සොයා ගැනීමක්... අගෙයි හිහි..........
    ------------------------

    ReplyDelete
  13. කාලයක් දඬුමොනරෙන් ගියා කියල අහුබුදු කියන කට්ටියමද මේ?

    ReplyDelete
  14. දඬුමොනරෙන් ගිහින් තියෙන්නෙ සාමාන්‍ය ජනයා නෙවිනෙ රාවනා වගෙ වැඩවසම් රාජ්‍යධිකාරින්නෙ. එතකොට මේ කියන අර්ධ වැඩවසම් යුගයේ රජ්‍යධිකාරින්ගෙ වාහනේ මොකද්ද? අනික මේ කියන අර්ධ වැඩවසම් යුගය පහු කරලා නියම ධනවාදය පුරාතන ලංකාවට ඇවිත් තියෙන්නෙ ක්‍රි. ව. 2600-2900 කාල වකවානුවේය කියන කතාව ඇත්තක්ද? ඉතිහාසය ගැන මගෙ දැනුම දුර්වලයි. ඒකයි අහන්නෙ.

    ReplyDelete
  15. පුරාතනයේ හා වර්ථමානයේ එච්චරම වෙනසක් නෑ වගේ. අපූරු ලිපියක්

    ReplyDelete
  16. @ Vipul Pathiraja,
    මෙහෙමයි මහත්මයා. දැනට තියෙන සාධක අනුව ඔය කියපු රාජ්‍යාධිකාරීන් ගිහින් තියෙන්නෙත් මොකද්ද මොණරෙකින් තමා. උඩින් තමාලු ගිහින් තියෙන්නෙත්. හැබැයි ඒ මොණර කඩාවැටෙයි කියන බයට ඉස්සරහින්,පස්සෙන්,හතර වටින්,උඩින්/යටින් තව පොඩි පොඩි මොණර දාගෙන ගිහිං තියෙනවා. ඒකට පුදුම දුකක්ලු විඳලා තියෙන්නෙත්. කොහොමත් ඔයාගෙ ඉතිහාස දැනුම දුර්වල බව පේනවා.

    ReplyDelete
  17. ඔය හොයාගත්තු සයිබර් ලිපිය ලියපු එකා අමතක කරපු ඒත් මහාචාර්යතුමා සොයාගත් වැදගත්ම දේ,

    .................එවන් මිනිසුන්ට දීර්ඝ වේලාවක් බලා සිටීමට සිදු වන අවස්ථාවලදී අව් වැසි වලින් ආරක්ෂා වීමට විශේෂීත ආවරණ කුටි මෙම මාර්ග දෙපස තන් තන්හි ඉදිව තිබූ බව නූතන පුරාවිද්‍යා කැණීම් වලින් හෙළිව තිබේ.................

    (බස් එක එනකම්වත් සොමියේ ඉන්ට ඇතිනෙ ආවරනෙ අස්සට වෙලා.)

    ReplyDelete
  18. @ විකී,
    අපොය් ඔවි. මාර සොමි ඇති......

    ReplyDelete

Follow by Email