Friday, June 4, 2010

අවසන් සටනේ වැනසුන බිම්මල්



රෑට රැයේ මහ වැවේ රකින තරු මල්...
පඳුරු වදුළු වල නිදා වැටුන බිම්මල්....
හීලත් නොමැතිව ඉරත් සමඟ ඇවිදින්...
කරන්නෙ කෝමද අකුරු හරඹෙ මැනවින්...

1996 දී ආපු නන්දා මාලිනීගෙ අරලිය ලන්ද කැසට් එකේ තිබුනු සින්දුවක පළමු පද පේලි තමයි ඒ. ඒ දවස්වල මේ සින්දුව අහද්දි මගේ ඇස් වලට කඳුළු පිරෙනවා. කාලයත් එක්ක අරලිය ලන්දෙ ඒ විශිෂ්ඨ ගීත ගොනුව මතකයෙන් තරමක් ඈත් උනත් මේ සින්දුව ඊයම් බරුවක් වගේ හිතේ කිඳා බැහැලා තිබුනා. මෑතකදී අන්තර්ජාලයේ නන්දා මාලිනීගෙ සින්දුවක් හොයන කොට ඒ ඊයම් බරුව ආයෙමත් හම්බ උනා. ඇස් දෙකට ආයෙමත් කඳුළු පිරුනා.

මේ ගීත රචකයගේ නම සුනිල් සරුක්කාලි. විශේෂත්වය තමයි ඔහු මේ ගීතය රචනා කරන විට, නිතර ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වූ මායිම් ගම්මාන කලාපයට අයත් ගෝමරන්කඩවල මහා විද්‍යාලයේ උගන්වපු ගුරුවරයෙක්. ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් බේරෙන්න රෑට කැලේ හැංගිලා ඉඳලා උදේට පාසල් එන ඔහුගේ දරු දැරියන් ගේ කටුක ජීවන ඉරණම මේ වචන අතර ඔහු අපූරුවට ගෙත්තම් කරලා තියෙනවා. මෙහි විශිෂ්ඨ ස්වර සිත්තම විජේසුන්දර වේරගොඩ ගෙන්.

සින්දුව අහන්න....
Reata raye - Nanda Malini by Charmi Sam

සින්දුව ඇහුවට පස්සෙ මට කල්පනා උනේ, දශක එකහමාරකට කලින් එදා මේ ගීතයට නිමිති උන ඒ පුංචි බිම්මල් අද මොනවා කරනවා ඇද්ද කියලා. ඔහු ගීතයේ අවසන් කොටසේ ඉඟි කරනවා වගේ ඒ බිම්මල් වැඩිදෙනෙක් ඒ දැවැන්ත යුද ක්‍රියාකාරිත්වය දිහාවටම ඇදිලා යන්න ඇති. සෙබළුන්‍/සෙබලියන්/ග්‍රාමාරක්ෂක භටයින් විදිහට කොටසක් යන්න ඇති. ඔවුන්ගෙන් පිරිසක් මියගිහිල්ලත් ඇති. ආබාධිත උන අයත් ඇති. දිවි බේරාගත් අය කොහේ හෝ සේවය කරනවා ඇති. හමුදාවට නොගිය අයගෙනුත් මියගිය/ආබාධිත අය ඇති. එහෙම නොවුනු බිම්මල්/බිම්මලියන් ගේ ජීවිත අද මොන වගේ ඇතිද දන්නෙ නෑ.

කොහොම උනත් මේ සියළු බිම්මල් යුද්ධයේ අමු ගොදුරු. යුද්ධය දැවැන්ත යාන්ත්‍රණයක්. ඒක ඇතුලේ හුදෙකලා පුද්ගලයෙකුට කරන්න දෙයක් ඇත්තෙ නැති තරම්. මේ ගීතය තුලින් මට ඇහෙන්නෙ විලාපයක්. තව නොබෝ දිනකින් දැවැන්ත යුද යාන්ත්‍රණයක් විසින් සම්පූර්ණයෙන්ම කුඩුපට්ටම් කිරීමට නියමිත පුංචි මොර මල් අහුරක් ගැන සංවේදී කලාකරුවෙක් තුල ඇතිවුන ආත්මීය විලාපය.

මායිමක පැති දෙකක් තියෙනවා. අපි දන්නෙ අපේ පැත්ත. ඒත් අනිත් පැත්තෙ බිම්මල් වල කතන්දරේත් මේකම තමයි. සමහරවිට මීටත් වඩා ඛේදවාචකයක්. මේ පුංචි බිම්මල් තමා ආයුධ අමෝරාගෙන අවසන් සටනෙදි මරාගත්තෙ. ඒක දෑහින් දකින්න අපිත් අවාසනාවන්ත උනා.

යුද්ධයේ සන්නද්ධ කොටස දැනට අවුරුද්දකට විතර කලින් අවසන් උනා. ඒක ලොකු අස්වැසිල්ලක්. ඒත් ඒ වෙනුවෙන් ගෙවපු වන්දිය සුවිශාලයි. දෙපැත්තෙම බිමිමල් මහ ගොඩක් අපේ ඇස් ඉදිරිපිට මැරිල වැටුනා. මේ එක බිම්මලක් වත් තව එවුන් මරාගෙන අකාලයේ මැරෙන්න මේ ලෝකෙට ආවෙ නෑ. ඒත් ඔවුන්ට උරුම උනේ/කලේ ඒ කාලකන්ණි ඉරණම. ඒකට වරදකරුවා අහවලා කියලා හිත හදාගන්න පුළුවන්ද?

අපි යුද ජයග්‍රහණයේ පළමු සංවත්සරය මහ ඉහලින් සමරන්න සූදානම් උනා. ඒත් ඇත්තටම සමරන්න තරම් දෙයක් යුද්ධය අපිට ඉතිරි කලාද? උතුරේ/දකුණේ කී දහසක් අකාලයේ මියගියාද? කී දහසක් ආබාධිත කලාද? බිරින්දෑවරුන් කී දහසකට තමන්ගෙ ස්වාමි පුරුෂයන් නැති කලාද? දරුවන් කී දහසකට පියවරුන්/මව්වරුන් නැති කලාද? මේ අයගේ අනාගතය මොකක්ද? කී දහසක් අනාථ කඳවුරු වලට ඇදල දැම්මද? අධික යුද වියදම අපි කී දෙනෙක් අන්ත පීඩිත ජීවන තත්වයකට ඇද දැම්මද? පාසලේ විකට ඇඳුම් තරඟයට සෙල්ලම් තුවක්කු බෝම්බ වලින් සන්නද්ධ වෙලා ඉදිරිපත් වෙන (උතුරේ තුවක්කු/බෝම්බ සමඟ ඇත්තටම ජීවත් වූ) අද දවසේ අපේ පුංචි බිම්මල් වලින් සමන්විත වන අනාගත සමාජය මොන වගේ වේවිද?

ඛේදවාචකය අවසන්ද?
ඇත්තටම දිනුවේ කවුද?
මුර කුටි යායේ අඳුරට සිත දේ නම්......,
-

( පසු සටහන- මා දන්නා තරමින් නන්දා මාලිනිය මේ ගීතය නැවත පටිගත කිරීමක් කරලා නෑ. පහුගිය දවස්වල අපි දැක්කා නන්දා මාලිනිය ඇතුළු අපේ විශිෂ්ඨ කලාකරුවන් රැසක් යුද්ධයේ එක් පාර්ශ්වයක් වෙනුවෙන් සිටගන්නවා. (පැවති යුද-දේශපාලනික තත්වය තුල ඇගේ සිතට එකඟව සුදුසුම තීරණය ඇය ගන්න ඇති.) නමුත් එමගින් මේ ගීතය තුල ඇති විශ්වීය මානුෂීය දැක්මෙන් ඇය විතැන් උනා කියලයි මට හිතෙන්නෙ. මම හිතන්නෙ නන්දා මාලිනියට නැවත කවදාවත් මේ ගීතය ඒ වගේ හැඟීම් දනවන විදිහට ගායනා කරන්න බැරි වෙයි.)

6 comments:

  1. නන්දක්කලාත් අන්තිමේදී කලේ බහුතරවාදයට ගොදුරු වී වර්ගවාදී යුද්ධයේ කොටස්කරුවන් වීමයි. සල්ලි කුට්ටිය තියෙන්නේ ඒ පැත්තෙනේ?

    සරෝජා හදපු සෝමරත්න ඉන්න තැන බලන්න...!!!

    ReplyDelete
  2. ප්‍රවාහයට එක්වීම පහසුයි. උඩුගං යෑම අපහසුයි. උඩුගං යන්න ගියොත් කෙසේවෙතත් ප්‍රවාහයට එක් නොවුනොත් ජීවත් වීමත් අපහසුයි.
    එහෙත් සමහරු ජීවිතයද අමතක කර උඩුගං බලා යති.
    කුමුදු පිංතු මහතා ද එවැන්නෙකි. මේ ලියන ඔබත් එසේම වේවා.

    ReplyDelete
  3. ෙම් කතාව සිංදු ගැනවත් සිංදු කියපු අය ගැනවත් ෙනවිෙන. චාමි, මම ෙම්ක උස්සලා බූන්දිෙය් අවුණනවා. ඔයා කැමති උණත් නූනත් ඒක කරන්න යන්ෙන. අකැමැත්තක් නං ලියන්න මට. ඉස්සරහට හිතුෙනාත් අහලම කරන්නං.

    කතන්දරට පින්. කතන්දර නිසයි මම ෙමතනට අාෙව.

    ReplyDelete
  4. මමත් ආසම කරන ගීයක් !!

    ReplyDelete
  5. Thank you for writing this blog.
    I just finished reading the blog (in reverse starting with the post on Nadeesha's legs).
    Someone had put your post as a comment in a 33000.lk article and my wife showed it to me.

    You have great talent and an enlightened spirit!

    I am sure you will find the time to work on something great- and reach your true potential


    ReplyDelete
  6. Same with Anonymous above. I came thru 33000 as well.

    Despite the Christmas shopping and relative visits, I had managed to complete reading all the posts and it seems both you and me are think alike. The analysis of certain situations which had been included in this blog are almost tally with my analysis. (But I don't have the talent you have. I never ever be able to write a blog like this.)

    ReplyDelete

Follow by Email