Wednesday, July 21, 2010

වරත්තු අලියගේ කතා වස්තුව

"එක අතකට නඩුවක් නොතිබ්බනං මං වත් විස්වාස කොරන්නෑ අලියෙක් හැප්පුනා කියලා...."
"?"
"ඇයි යකෝ.... මං දැක්ක අලියෙකුත් නෑ... ලොරියකුත් නෑ....."

බැන්ඩේජ් කරලා බෙල්ලෙ එල්ලගත්තු අත යන්තමට වගේ අනිත් පැත්ත හරවන ගමන් සෝමදාස කිව්වා. ඊයෙ ග්‍රාම සේවක රාලහාමි හම්බවෙලා අයිඩින්ටිය අරං එනගමං ඩිස්කවරි එකක ආපු කොලු ගැටයෙක් සෝමදාසගේ බයිසිකලේ හප්පලා. වම් අතේ ඇටේ පුපුරලා කියලයි ගල්කන්දේ වෙදමහත්තයා කියලා තියෙන්නේ.
"මේ වරත්තු අලියෙක් හින්දා.......රෑ තිස්සෙ මගුලෙ ගිහින්..."

සෝමදාස මීට අවුරුදු පහ හයකට කලින් වැඩකලේ කළුතර පැත්තෙ පොඩි කඩේක අත් උදව් කාරයෙක් හැටියට. දවසක් රෑ 11 ට විතර ගාලු පාරෙන් මහා සද්දයක් ඇහුනා. සෝමදාස කර කර උන්නු වැඩේ පැත්තකට දාල පාරට දිව්වා. පාර පාළුයි. මොකුත්ම හිතාගන්න බැරිව ආපසු හැරෙනකොටම සෝමදාසට ඇහුනේ කෙඳිරි ගාන සද්දයක්. පාර අයිනේ මිනිහෙක් වැටිලා උන්නා. තරමක් තුවාලත් එක්ක. සෝමදාස ඉක්මනටම ලං උනා.
"කෝ.............. අ...ලියා....?"
සේරම පටන් ගත්තෙ එතනින්.

පහුවදා කඩේට ආපු පොලිසිය සෝමදාසව කැඳෙව්වා.
"සිද්දිය වෙන වෙලාවෙ තමුන් එතන හිටියද?"
"ඔව් සර්...."
සෝමදාස 'එතන' කියලා අදහස් කලේ කඩේ පිටිපස්ස.

රෑ 11 ට විතර ගාලු පාරෙ ආපු අලියෙකුව ලොරියක් හප්පගෙන ගිහින්. බය උනු අලියත් පැනලා දුවලා. ඇත් ගොව්වා (අලි ගොව්වා) ට තුවාලයි. කළුතර අධිකරණයට ගොනු කරපු මේ නඩුවේ එකම සාක්ෂිකාරයා බවට සෝමදාස පත්උනේ එහෙම.

නඩුවාර දෙක තුනක් යනකොට උසාවි පොලීසි නොගිහින් තිබුනු සෝමදාසගේ කුලෑටිකම ටිකක් අඩු උනා. ප්‍රශ්ණේ උනේ ඔය අව් අස්සෙ කඩේ වහල දාපු එක. කිලෝමීටර් එකසිය ගණනක් ගෙවාගෙන ආපහු ගමට ආපු සෝමදාස මේසන් අත්වැඩට බැස්සා. අලියගේ පස්ස ගැන වැඩපළේ කොල්ලන්ගේ කුණු කතා මැද ඊළඟ නඩු දිනෙත් ලංවුනා.
"උසාවි යනකොට සුදට ඇඳලා චාමෙට යන්ඩ ඕනෙ....."
සෙල්ලං වැඩක්ද?
"කළුතර... කොළඹටත් එහා.....අඩු ගානෙ රුපියල් දාහක්වත් යනවා..."

උසාවි අඳින්න අත්දිග කමිසෙකුයි සුදු සරමකුයි හලාවතින් ගත්තු සෝමදාස මූණ බෙරි කරගෙන ගමට ආවා.
"මගේ පර්ස් එකට විදලනේ.... අයිඩින්ටියත් ඒකෙ....."

එදා කළුතර ගිහින් එද්දි පොලීසියෙන් බස් එක චෙක් කරලා තිබුනා.
"අයිඩින්ටිය නැත්තං පොටෝ එකක් වත් සහතික කරගෙන එන්ඩ දන්නැද්ද?"
පොලිස් නිලධාරියෙක් හොඳටම ගොරවලා. සෝමදාස ඊළඟ සතියෙම පොටෝ ගහලා රාලහාමිට කියලා අත්සනුත් කරගත්තා.
"නරකද අයිඩින්ටියම හදාගත්තොත්...?"
"ඕවා මොකටද රාලහාමි මට... මේකත් මේ කළුතර ගිහින් එන්ඩ....."

ඊළඟ නඩු දිනේදිත් නඩුව සුපුරුදු විදිහට කල්ගියා. එදා එනකොට අලුත් ප්‍රශ්ණයක්.
"පොටෝ කොහෙන් සහතික කරගන්ඩ බැරිද?... කොටි එන්නෙත් ඔයවගේ.... මොකද අයිඩින්ටි හදාගන්න බැරි... එතකොට කෝ සිතාසිය?"
චෙක් පොයින්ට් එකේ පැය දෙකක් රස්තියාදු කරලා සෝමදාස ආපහු එවලා තිබුනා. කොහොමහරි අයිඩින්ටිය හදාගන්ඩ තීරණය ගත්තෙ එදා.

රැවුල කාරිය කපලා පොටෝ ගහන්ඩ මාසයක් ගියා. උපන් තැන වැරදිලා කුලියාපිටියෙන් උප්පැන්නයක් ගන්න මාස දෙකක් විතර ගියා. ඒක රාලහාමිට බාරදීලා මාස හයක් බලන් උන්නා. අන්තිමට කොළඹ අයිඩින්ටි කන්තෝරුවට ගියාම කිව්වා එහෙන් එවලා කියලා. අන්තිමට අයිඩින්ටිය අතට අරං එනකොට තමයි අර වසවර්ති කොල්ලා හැප්පුවේ.

"ඔය උසාවි වැඩේටම දැනට රුපියල් විසිදාහකට වඩා වියම් ඇති මගේ හිතේ...... අයිඩින්ටිය ගන්ඩ....? වැඩ පාඩුඋනු දවස් ගාන බැලුවොත් ඉතිං..... යකෝ මටමනේ වෙන්නෙ......."
සෝමදාස කේන්තියෙන්.
"ඇත් ගොව්වට හෙනවත් නෑ.... ඌත් ඔය උසාවි එන්නේ...... අලියා පද්ද පද්දා පෙරහැරේ යනවත් ඇති...... ලොරිය නං උං ඒ දවස්වලම හදාගන්ඩ ඇති......."
මං අහගෙන උන්නා.
"දැං ඉතිං තව සුමාන දෙකකට මට කන්ඩ දෙන්නෙ පොලිසියෙන්ද?"

මාතෘකාව වෙනස් කරන්ඩ මට ඕනෙ උනා.
"දැං කවද්ද ඊළඟ නඩු දිනේ...?"
"ලබන මාසෙ....... වරත්තු අලියා......"
ඒ කිව්වෙ මටද කියලත් හිතුනා.

14 comments:

  1. niyamai.... eka thanaka wena podi deyak, wena kohe hari inna kenekuge geewithetama balapanna puluwan.
    (oya wage film ekakuth thibuna. nama mathaka ne)

    ReplyDelete
  2. නීතිය වෙලාවකට වාතයක්...

    ReplyDelete
  3. @dinesh:
    Run Lola Run
    -AD

    ReplyDelete
  4. eka neme. IRAN or IRAQ wala kollek GUN ekak test karanna gihin.....
    anthimata iwara wenne JAPAN walin....

    ReplyDelete
  5. යකෝ ... බලනවනං මෙන්න කතා.
    ආයෙත් අමතක නොකර ඇවිල්ල යන්න එන්නං (ඉස්සරහ දොරෙන්ම)

    -ජය

    ReplyDelete
  6. අනේ ඇත්තමයි යෝගීයාගේ කටේ මසුරං දාන්න වටිනවා. (ආ නෑ අතේ) ඇත්තමයි හරිම ලස්සන කථාවක්. මං මගේ බස් එකේ පබිලිස් කොරන්නයි යන්නේ. ආයෙත් එන්නම්කෝ

    ReplyDelete
  7. හනේ මන්දා අහිංසකයා පව්.....

    @යෝගී
    යකඩෝ ඇයි මක් වෙනවද මේ රස්තියාදුව අතරෙම තමුනුත් කතාවක් ලිව්ව නම්..:-(

    ReplyDelete
  8. @ Dinesh,
    ඔය කියන්නේ Babel ෆිල්ම් එකද? ඒක පටන් ගන්නේ මොරොක්කෝවෙන්. එකම සිද්ධියක් ගැන කතා කිහිපයක්.
    http://en.wikipedia.org/wiki/Babel_(film)

    ReplyDelete
  9. කතාව ලියා ඇති විදියෙන් නියම ප්‍රතිභාවක් ඇති බව හොඳින් පෙනේ.

    මගේ අවංක සුභ පැතුම්.

    බ්ලොග් අචකාශයේ දිගු ගමනක් යමු.

    ReplyDelete
  10. මමත් එකගයි කසූගෙ කතාවට ..... ටිකක් අමුතු චින්තනයක් තියෙනවා වගේ.... කාටත් තෙරෙන වෙනස් පැත්තක්... ඒත් වැඩිය කාටවත් පේන්නෙ නෑ..පෙන්නුවාට පස්සෙ තමයි ඇත්ත කියලා හිතෙන්නෙ...

    ReplyDelete
  11. අදට මේ කතාව ලියලා මාස තුනක් වෙනවා.
    අද අපේ කතානායකයා (සෝමදාස?) හමුවුනා. ඔහුගේ පුතා 5 වසර ශිෂ්‍යත්වය සමත්වෙලා කියලා උතුරන සතුටකින් මට කිව්වා.
    (නඩුව තවමත් ඉවර නැත)

    ReplyDelete
  12. සිරා කතාව !!.
    අවුරුදු 5 ක් තියන් ඉදලා, නැව ගිලිලත් තවම නඩුව යනවා. එහෙම බැලුවම මෙව්වා මොනවාද නෙහ්?. අපේ රටේ නඩු හුඟක් ඉක්මනින් අහලා ඉවර කරන එකත් අපරාධ අඩු වෙන්න ලොකු හේතුවක්.

    ReplyDelete
  13. සියඹලා ගහකට නඩුවක් කිව්වලු. නඩුව අවුරුදු ගනන් ඇදීගෙන යනවා.කට්ටියත් නඩුවට යනවා.එහෙත් සියඹලා ගහ මැරිලා...නඩුව ඉවරත් නැහැ.....

    ReplyDelete