Wednesday, July 24, 2013

නිකිණි දන්සැලක් දෙන්න කැමතිද?

දැනට වසර හයක විතර ඉඳං අවුරුද්දකට වරක් දෙකක් මම ලබන අපූරු අත්දැකීමක් බෙදාගන්න හිතුනා. මේ මහලොකු දෙයක් නෙමේ. වැඩිහිටි වන්දනා චාරිකාවක්.
(මෙතන ඉඳන් දිගටම ඔහේ ලියාගෙන යන්නයි හදන්නේ. මෙලෝ රහක් නැතිවෙන්න පුළුවන්. ඔන්න මුලින්ම කිව්වා)

මේක මට සෙට්වුනේ බොහොම අහම්බෙන්. පස්සෙ මම වැඩිහිටි කණ්ඩායම් දෙකක් එක්ක මේක සංවිධානය කරන්න උත්සාහ කලා.

හැම අවුරුද්දකම මේකට සම්බන්ධ වෙන්නෙ වැඩිහිටියන් 50 ත් 60 ත් අතර ගානක්. හත් අට දෙනෙක් ඇරුනාම අනික් හැමෝම අවු: 60 ට වැඩියි. තාත්තලා දෙන්නෙක් තුන්දෙනෙක් ඇරුනාම අනික් හැමෝම අම්මලා. මේ තෝරගෙන ඉන්න පිරිසෙන් වැඩිම පිරිස අඩු ආදායම් ලාභීන්. වැඩි දෙනෙකුගේ ඔය අඩු ආදායම වෙන්නෙත් මාසෙකට වරක් ලැබෙන රුපියල් 250හේ පින් පඩිය. මේ අය හැමෝම යැපෙන්නෙ දරුවන්ගෙන්. ඒ දරුවොත් යමක් කමක් තියෙන උන් නෙමෙයි. ගොවිතැන්, කුලිවැඩ, මේසන්වැඩ, ගාමන්ට්..... ඉතින් මේ අය දරුවන්ගෙන් ලබන්නේ තුන්වේල කෑම ටිකයි, සිංහල අවුරුද්දට ලැබෙන චීත්තයක් වගේ දෙයකුයි, ටිකක් තද අසනීපයක් හැදුනොත් බෙහෙත් ටිකයි තමා. ඊට වඩා දෙයක් මේ අය ඉල්ලන්නෙත් නෑ. අර දරුවන්ට දෙන්නත් බෑ. කොටින්ම මේ අය ලොකු ආසාවක් තිබ්බත් තමුන්ගෙ මුදලින් වන්දනාවක යන්න බැරි පිරිසක්.

මේ අම්මලගෙන් තමුන්ගෙ වැඩිහිටි දිවිය ටිකක් විවේකයෙන් ගත කරන අයත් ස්වල්ප දෙනයි. හුඟක් ගෙවල්වල තවමත් උයන්නෙ පිහන්නෙ මේ අම්මලා. පුතයි ලේලියි හරි දුවයි බෑනයි හරි වැඩට ගියාම පොඩි පැටව් ඉන්නවනං උන්වත් බලාගෙන ගෙදර ඔක්කොම සුමේ කරන්නෙ මේගොල්ලො. මුළු පවුලෙම සමිති සමාගම් වලටයි, මල ගෙවල්, දානෙ ගෙවල් වලට උදව් පදව් වෙන්න යවන්නෙත් මේගොල්ලො.

ඒ සේරම කලත් මේ අය වැඩි දෙනෙක් ඉන්නෙ හිතේ සුවයකිනුත් නෙමෙයි. හුඟක් තැන්වල ලේලිලා එක්ක ආරවුල්. මේ ළගදි එක අම්මා කෙනෙක් අඬ අඬා කිව්වා එක මුණූපුරෙක් නිතරම සෙල්ලමට එයාට ගහනවා, දරුවන්ට කිව්වට ගණන් ගන්නෙ නෑ කියලා. බෑනලා බීගෙන ඇවිත් හිරිහැර කරන අම්මලත් ඉන්නවා. කිව්වට මෙකද... දරුවො නොසලකන අම්මලාත් කීපදෙනෙක්ම ඉන්නවා. තවත් අම්මලා පිරිසකට ඉන්නවා දීග ඇරිලා දරුපැටව් එක්ක ඇවිත් ඉන්න දූවරු. ඉතින් ඔය දූවරුත් මාසයක් හමාරක් ඉඳලා අර දරුපැටියා දෙන්නා දෙමාපියෝ ගාව දාලා සවුදි ගියාම අර අම්මට තාත්තට දෙයියන්ගෙම පිහිට තමයි.

මෙහෙම පිරිසක් එක්ක තමයි අවුරුදු පතා ඔය වන්දනාව යන්නෙ. මේ අය වැඩිපුර කොහෙවත් ගිය අය නෙමෙයි. ඇතැම් අය ජීවිතේ පළවෙනි වතාවට අනුරාධපුරේ ගියෙත් මේ ගමනකින්. එක පාරක් කළුතර බෝධිය දක්වා ආපු ගමනකින් තමයි තුන් දෙනෙක් පළවෙනි පාරට කොළඹ දැක්කෙත්. වැඩි දෙනෙක් මීට අවුරුදු විස්සකට තිහකට විතර කලින් ඔය සිද්ධස්ථාන වලට ගියාට පස්සෙ ආපහු යාගන්න බැරිවුනු අය.
මේවට හේතු ගොඩයි. ගමෙන් වන්දනා ගමන් ගියත් පවුල්වල විවිධ ප්‍රස්න නිසා යන්න බැරි වෙනවා. වැඩිහිටි වුනාම ඕවට දෙන්න රුපියල් හය හත්සීයක් හොයාගන්න බැරි වෙනවා.

පළවෙනි ගමන සංවිධානය කරගන්න ගොඩක් අමාරු වුනා. දාගත්තු දිනේට එන්නං කිව්වෙ පාලොස් දෙනෙක් විතර. අනික් අයට ඉස්කෝලවලින් මුණූපුරන් ගන්න තියෙනවා, සමිති සමාගම් තියෙනවා, අසනීපයෙන් ඉන්න ස්වාමිපුරුෂයාට බෙහෙත් ටික දෙන්න කෙනෙක් නෑ, ගෙදර උයන්න කෙනෙක් නෑ.... ප්‍රස්න ගොඩයි. හැබැයි අපි ගෙවල්වලට ගිහින් දරුවොත් එක්ක කතා කලාම ටක් ගාලා කියනවා අම්මා යන්න අපි එදාට මොනවහරි කරගන්නම් කියලා. ඇත්තටම මේ අය වැඩිදෙනෙක් කැමති නෑ තමුන්ගෙ වැඩක් නිසා දරුවන්ගෙ දවසක වැඩ පාළුවෙනවට. ඒකයි එන්න බෑ කියන්නෙ. (ඕව අහපුවාම බණින දරුවොත් නැතුවා නෙමෙයි)

මේ වැඩේට හිතමිතුරන් පිරිසක් උදව් කරනවා. ඒ අය පුළු පුළුවන් විදිහට කීය කීය හරි එකතුකලාම රුපියල් පාලොස්දාහක් විතර හදාගන්න පුළුවන්. මදි පාඩුවට යන අයගෙන්ම ගමනට කලින් රුපියල් 100ක් හරි 150ක් හරි බැගින් එකතු කරනවා. ගොඩක්ම දුප්පත් කීප දෙනෙකුගෙන් ඒක ගන්නෙත් නෑ. වැඩි දෙනෙකුට ඒක දෙන්න පුළුවන්. සමහරු ඒ මාසෙ පින් පඩිය වෙන් කරන්නෙ මේ ගමනට. ඒ කලින් එකතු කරන රුපියල් 100ත් හරි වැදගත්. ඕක දුන්නට පස්සෙ ආයෙ මොන ප්‍රස්න ආවත් ගමන එනවාමයි. ඇයි යකෝ සල්ලිත් බැඳලනෙ තියෙන්නෙ J

ඔය තමයි යන අයගේ පසුබිම. දැන් ගමන.

සාමාන්‍යයෙන් පාන්දර පහට තමයි කොහෙ ගියත් පිටත්වෙන්න දාගන්නේ. හැබැයි හතරහමාර වෙද්දි කට්ටිය එනවා. (හැමදාම මම තමයි අන්තිමටම එන්නේ J ) ඒ අයගෙ පවුල්වල වෙන කිසි කෙනෙක් එක්ක යන්නෙ නෑ. ඒක නීතියක්. පිටින් යන්නෙ මමයි තව කවුරුහරියි විතරයි. අපි ගිය අවුරුද්දෙ ගියේ සේරුවාවිල. උදේ කෑම ගන්නකං කවුරුත් බණක් පිරිතක් අහගෙන යනවා. හැමෝම උදේට ගේන්නෙත් බත් ගෙඩියක්. ඒක ඒ අයගෙ පුරුද්ද. ඔන්න උදේ කාල ඇඟට ටිකක් පණ ආවහම කට්ටියම කවිබණ කියවනවා. කට්ටිය කලින් කතාවෙලා තමයි එක පොතක් තෝරගන්නෙ.ඒ ජාතියෙ පොත් හතඅටක් කවුරු කවුරු හරි ගේනවා. ඒ පොත තමයි කට්ටිය මාරුවෙන් මාරුවට ගායනා කරන්නෙ. හරි සුන්දර අත්දැකීමක්.

ඔහොම ගිහින් උදේ දහයට එකොලහට තේකක් කාරිය බිව්වාම තමයි  තමයි නියම ගතිය. විහිළු තහළු කෑ කොස්සන් ඕපාදූප විතරක් නෙමෙයි. නෑම්බියෝ කාලෙ කියපු හිලේරියස් රසකතාත් එහෙන් මෙහෙන් එනවා. පස්සෙ සින්දු කියනවා. හැමදාම පටන් ගන්නෙ කෝටුකෑලි වලින්. පස්සෙ මුලද බැන්ද ආදරේ..... වැඩ කරලා ඉවර නොමැත.... J

සමහරු මාසයක් හමාරක් තියලම මේ ගමනට සින්දු පාඩම් කරනවා. සින්දු පොතුත් අරගෙන එනවා.

සිද්ධස්ථානෙකට ගියාම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බොහොම ශ්‍රද්ධාවෙන් කාල වේලාව අරන් ඒ කටයුතු කරගන්නවා. සාමාන්‍යයෙන් පැයෙන් එන්න කිව්වොත් පැය දෙකක්වත් ගන්නවා. ඒ ආවත් සමහරුන්ගෙ සෙරෙප්පු අමතක වෙලා.... සමහරු පාර වැරදිලා.......

ආපහු එද්දි තමයි හොඳම හරිය. කට්ටිය හොඳ බයිලාවක් දාගෙන බස්එකේ නටන්න ගන්නවා. සමහරු සීට් එකේම හිටගෙන. අර තිබුනු වාත අමාරු අරව මේවා මොකුත් එවෙලට නෑ. පාරෙ මිනිස්සුන්ට විහිළු කරනවා. ඒක වෙනම ලෝකයක්. ගමේදි තැන්පත් තලතුනා වැඩිහිටියො පොඩි ලමයි වගේ කෑ ගගහා නටන එක බලන්න ලස්සනයි.

පවුල්වල අය එක්කගෙන නොයන්නෙත් මේ නිසාමයි. මේ අයගෙන් කොටසක් පවුලේ අයත් එක්ක වන්දනා ගමන් ගියත් මේ සතුට ඒවයෙදි ගන්න බෑ. ගෙදර අත්තම්මා වාහනේදිත් අත්තම්මම තමයි. ඉතින් කොහෙ නටන්නද? ගමේ උන් ඉස්සරහා කට කැඩිච්චි වචනයක් ආසාවට කියාගන්න පුළුවන්ද? මෙතන පවුල් බැඳීම් නැති සම වයසේ පිරිසක් නිදහස් තැනක එකතු වෙනවා. එතකොට අම්මා, අත්තම්මා, ආච්චි වගේ පරමාදර්ශී භූමිකා වලින් අවුරුදු ගානක් තිස්සේ හිරකරලා තියෙන ඇත්ත මනුස්සයො එළියට එනවා. පැය කීපයකට මනසින් තරුණ වෙනවා.

හැමෝම ගෙදරින් මොනවාහරි හදාගෙනම තමයි එන්නේ. අළුවා, අග්ගලා, මුරුක්කු, තේ.... මොනවාහරි. අනික මම නම් අවුරුද්දේ කන රසම කෑම වේල තමයි ඔය ගමනකදි දවල්ට කන්න හම්බවෙන්නෙ. පනස් දෙනෙකුගේ විතර බත්ගෙඩි වල හොඳම එව්වා ටික. ගියපාර තිබුනා මරු කෙසෙල්මුව ඇඹුලක්...... J.

සාමාන්‍යයෙන් ඔයවගේ ගමනක් ගිහින් ආපුදාට පහුවදා ඉඳන් මේගොල්ලො හමුවෙන හමුවෙන පාරට අහන්නෙ ඊළඟ වන්දනාව යන්නෙ මොන මාසෙද කියලා. යන තැන අහන්නෙ නෑ. ඒක නෙමෙයි ඒ අයට වැදගත්. පවුලෙන් සමාජයෙන් පැටවිලා තියෙන සාම්ප්‍රදායික භූමිකා වලින් වගේම, අවුරුද්ද පුරාම තැලෙන මිරිකෙන ගෙදරදොර ප්‍රස්න වලිනුත් මිදිලා නිදහස් මිනිස්සු විදිහට පැය කීපයක් ගෙවන්න තියෙන ආසාව.

ගියපාර සේරුවාවිල පන්සල වැඳලා ආපහු හැරෙන්න කතාකරගත්තු වෙලාව පහුවෙලා පැයක් විතර ගියත් තුන්දෙනෙක් නෑ. මට ටිකක් කේන්තිත් එක්ක. ඇයි ඉතින් ආපහු බැහැලා අර දුර යමංකො කට්ටිය හොයන්න. ඔන්න යනකොට තුන්දෙනා හිමීට එනවා. ප්‍රමාදය එක්කෙනෙක්ගෙ. දෙන්නෙක් එයා තනිකරන්න බැරි නිසා ඉඳලා. ප්‍රමාදයට හේතුව මෙන්න මෙහෙම එකක්.
“මම පුදුම ආසාවකින් උන්නෙ සේරුවාවිල වැඳගන්න.... මේ ඒකට ලැබුනු පලවෙනියි අන්තිමයි අවස්තාව තමා. මගේ වයසයි ලෙඩරෝගයි එක්ක ආපහු ඒමක් නෑ. ඉතින් කාට පරක්කු උනත් කමක් නෑ කියලා හිතේ හැටියට වැඳගත්තා පුතේ.....”

ඒ අම්මා පහුගිය මාර්තු මාසෙ මියගියා.
------------------------------------------------

ප/ලි-
මේක වෙසක් පොසොන් දන්සැල් සංවිධානය කරන අයට ඔත්තුවක්. හැකිනම් එක වතාවක් මෙහෙම දෙයක් කරලා බලන්න. වෙනස්ම අත්දැකීමක් වෙයි. අනික දන්සැලකින් කන මනුස්සයෙකුට ඒක මතක තියෙන්නෙ ඊළඟ වේල කන කම් විතරක් වෙන්න පුළුවන්. නමුත් මේ වගේ ගමනක් මේ වැඩිහිටියෙකුට මැරෙනකම් මතක් කරලා සතුටුවෙන්න පුළුවන් වටිනා දෙයක්. ඊයෙ මම ගිය දන්සැලකට ලක්ෂ එකහමාරක් විතර වියදම් ගිහින් තිබුණා. වැඩිහිටියන් 300 කට වඩා පිරිසක් දවසක වන්දනාවක එක්කන් යන්න පුළුවන් මුදලක්.

ප/ප/ලි -
මේ මාතෘකාව හෙවත් “නිකිණි දන්සැල” ගැන.  මේ වෙනකොට අපි එක දවසෙන් යන්න පුළුවන් වන්දනා ගමන් සේරම ගිහින් තියෙන්නෙ. අනුරාධපුර, පොලොන්නරුව, සේරුවාවිල, සෝමාවතිය, තන්තිරිමලේ, කළුතර/කන්දෙ විහාරෙ, නුවර, මාතලේ.......

ඉතින් මේ පාර යන්න කට්ටියගෙ වගේම මගෙත් කැමැත්ත දකුණට. දකුණ කියන්නෙ කිරිවෙහෙර/සිතුල්පව්ව ඇතුළු සිද්ධස්ථාන ටික. (ඒ වුනාට මං දන්නවා මුන්දැලාගෙ වැඩි ඇල්ම තියෙන්නෙ කතරගම දේවාලෙට බව J ) ඒ එක්කම ආශ්චර්යයේ නගරයත්. කිව්වට මොකද මම ගිහිනුත් නෑ. දවස් තුනක් තමයි සුදුසු. නමුත් වැඩේ සෙට්වෙන විදිහට දවස් දෙකක් වෙන්නත් පුළුවන්.

වැඩේ ටිකක් බරපතළයි. ලොකු මුදලක් හොයන්න වෙනවා. දවස් දෙකක් හෝ තුනකට කෑම බීම සපයගන්න වෙනවා.

මේක තමා අමාරු. මේ වයසක අයට ගමන් වෙහෙසත් එක්ක උයන්න බැහැ. උයන්න වෙනම පිරිසක් ගෙනියන එකත් අපරාධයක්. මොකද සීට් ටිකක් ඒ අයට වෙන් වෙනවා. සල්ලිවලට කන්න ගියොත් දන්නවනේ? ඉතින් දකුණ පැත්තේ ඉන්න 60 දෙනෙකුට විතර නිකිණි දන්සැල් දෙන්න කැමති පින්වතුන් සම්බන්ධකරලා දෙන්න කාටහරි පුළුවන්නම් ලොකුම උදව්වක්. ඒ වගේම රෑට නොමිලේම නවතින්න තැනකුත්. (ළඟපාත දෙතුන් පොලක් වුනත් කමක් නෑ.)

samarebin@gmail.com ඊමේල් ලිපිනයෙන් හරි ෆේස්බුක් මැසේජ් එකකින් හරි අමතනවානම් වැඩි විස්තර දෙන්නම්.


49 comments:

  1. මාර කන්සෙප්ට් එකක්!
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.

      Delete
  2. ඔබ ගැන සතුටු වෙනවා. ‍දකුණේ නො වන නිසා ඉල්ලන ව්දියේ උදව්වක් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැරා.

      Delete
  3. උබ ගැන මහා ආඩම්බරයක් දැනුනා..!

    ReplyDelete
    Replies
    1. උඹට ඔය දැනෙන්ඩ ගත්තා විතරයි හරිය... :)

      Delete
  4. මේක නියම අදහසක්නේ , ඇත්තටම රටක් වටිනවා , හොද වැඩක් නිසා ඒ පැත්තේ කවුරුහරි උදව් කරයි ඔයාට

    ReplyDelete
    Replies
    1. මාත් හිතනවා.
      ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
  5. මම මේ පිනකම කීප වතාවක්ම කරලා තියෙනවා. එක සැරයක් දෙසරයක් මමත් සහභාගි උනාට. පස්සෙ ඒක නැවත්තුවා. හේතුව අපි ඉන්න කොට එයාලගෙ ආතල් එක ගන්නෙ නැති නිසා. මම ඒ ගියපු ගමන් දෙක තුන මම ජීවීතේ වඩාත් ප්‍රීතීමත් වූ දවස්. දෙකක් නම් තනිකර මම කරේ අරක්කුත් එක්කම. හැබයි ඔක්කෝම කතරගම සහ යාල. එක රැයක්. මේ දවස්වල මුදල් අමාරු නිසා දැන් එහෙම යන අය දෙන්නෙකුට තුන්දෙනෙකුට සම්මාදම් වෙනවා. කරනවනම් මෙන්න පිං කම්.

    නවාතැන් ගැන එච්චර කළබල වෙන්න ඕන නෑ. පන්සල් වල ඉන්න පුළුවන්නේ. අත්තනගල්ල රජ මහ විහාරෙ නම් ෂුවර් එකටම ඉන්න පුළුවන්. නුවර පාරේ ඉඳලා පොඩ්ඩක් දුර. කොළඹට වැඩි දුරක් නෑ.

    ඇත්තටම මේ වයසක උදවිය සෙක්ස් කරන්න උනත් ඔට්ටු කස්ටිය. ඒක මේ ගමන් වලදි තේරෙනවා. ආගම, සංස්ක්‍රිතිය හා නැති බැරි කම නිසා ඒ මිනිස්සු ඒ හැඟිම් යටපත් කරගෙන ජීවත් වෙන්නේ. හරිම පවක් ඒක.

    උඹට මේ පිනම ඇති නිවන් කියලා දෙයක් තියෙනවනම්, එහේ යන්න.

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවෙ මාර ඇත්තක් තියෙනවා. අපේ සංස්කෘතිය, ආගම, ආර්ථිකය වගේ දේවල් නිසා බොහෝ වැඩිහිටියන් ජීවත් වෙන්නේ තමුන්ගෙ හැඟිම් දැනීම් මරාදාලා. බොහෝ විට වෙන ප්‍රශ්න විදිහට එළියට එන්නේ ඒ පීඩනය වෙන්න පුළුවන්.
      මේ මමත් තව යාළුවෙකුත් වරක් කරපු තක්කඩි වැඩක්.

      මම කෙටි කලක් ඩීසී (ඩෙසිකේටඩ් පොල්) නිෂ්පාදන ආයතනයක සේවය කලා. ඒකෙ අපිත් එක්ක ළගින් ඇසුරු කලා දිසානායක කියලා බ්‍රෝකර් කෙනෙක්. වයස අවු 60 ක් විතර. කෙට්ටු පුද්ගලයෙක්. බොහොම ප්‍රියමනාපයි. පොල් පටවන කළුවටත් කළුවා මහත්තයා කියලා ගරුනම්බු දීලා කතාකරන තැන්පත් අයෙක්. දවසක් අපි දෙන්නෙක් හවසක මෑන්ව අඬගහගෙන එල්ෆ් ලොරි බාගෙකට නග්ග ගත්තා. ඒක තමයි ඒ දවස්වල අපේ නිල වාහනේ :)
      පස්සේ කෙලින්ම ගියේ දංකොටුවේ නීලා හෝල් එකට. ඒ දවස්වල ඒකෙ දාල තිබ්බේ කාමසූත්‍ර හින්දි ෆිල්ම් එක.
      කටවුට් එක දැක්ක ගමන් මෑන් දැනගත්තා මොකටද එක්කන් ආවෙ කියලා. දැන් මේ හාදයා ලොරියෙන් බහින්නෑ. ඒ ගමන බලෙන් බස්සගත්තා. ටිකට් ගන්න ගියෙත් කිහිලි දෙකෙන් උස්සන් වගේ. පැනලා දුවන සයිස් එකේ හිටියේ. පස්සෙ නොවදිනා වැදුම් වැඳලා අපි බලන්නං ඔයා ඇස් වහගෙන ඉන්න කියලා තමයි ඇතුලට අරන් ගියේ.
      හෝල් එකේදිත් බිම බලාගෙනම වගේ තමයි උන්නේ. ඉන්ටවල් එකේදි තමයි අපේ මූණ දිහාවත් බැලුවේ. ඊට පස්සෙ කිව්වා බොන්ඩ ඕනෙ කියලා. ඒ ගමන අපි හෝල් එකේ බාර් එකට ගිහින් බියර් කෑන් කීපයක් ගෙනත් ආයෙ වාඩි වුනා.
      එතන ඉඳන් මෑන් කලේ ෆිල්ම් එක බලන එක. ෆිල්ම් එක ඉවරවෙලා හෝල් එකෙන් එලියට බැස්සෙ 18 කොල්ලෙක් වගේ. ආපහු එන ගමන් මාර වර්ණනාව.
      "මෙව්ව තමයි මහත්තයෝ චිත්තරපටි.... අපේ කාලෙ මෙහෙම එව්වා තිබ්බෙ නෑනේ... කසාද බැදපු අයට උනත් හොද ආදර්ශ ගන්න පුළුවන්..... අපේ නෝනවත් එක්කං එන්න පුළුවන්නං හොදයි... මං හෙට අහලා බලනවා...."

      මගදි ආපහු බොන්න ඕනෙ කිව්වා. ඒ එන ගමන් ආපහු බොන්න ඕනෙ කිව්වා. මග දිගටම මහ හයියෙන් සින්දු කිව්වා. බාර් තුනකත් නවත්තලා, මග නවත්තලත් සින්දු කියලා මෑන්ව ගෙදරට ගිහින් දාද්දි රෑ දෙකයි. ගේ ගාවින් බැහැලා කිව්වෙ මෙහෙම.
      "ලොකු පින්කමක් මහත්තේලා කරගත්තේ.....!!"

      Delete
    2. අපේ තාත්තට 86 යි අම්මා අවුරුදු 6ක් බාලයි. දෙන්නම තවම ෆිල්ම් බලන්න යනවා.

      Delete
    3. මේ අදහස නම් එච්චරම හොඳ දෙයක් නෙමෙයි.කාමය, තරහ වාගේ සිතුවිලි මතුවෙන්න වයසක් බලපාන්නෙ නැහැ.එබැවින් ඒවා මතුවීමට අනුබල දීම නම් හොඳ දෙයක් නෙමෙයි.

      Delete
    4. @ wmk

      ඔහේ උඩ දාගෙන අදහන එකේම නේද තියෙන්නේ මිනිසත් බවක් ලබන්න කල්ප ගානක් පෙරුම් පුරන්න ඕන කියලා. පැවිදි වෙලා ඉන්නා අයත් ගිහි සැප උපරිමෙන්ම විඳිනා කාළේ. ගිහියන් ජීවීතය විඳින එක ප්‍රශ්ණයක්ද? ජීවීතය කියන්නේ විඳිය යුතු දෙයක් මිස, විඳවිය යුතු දෙයක් නොවේ.

      මම නම් අපේ දෙමව්පියන් ගැන ආඩම්බරයි. ඒ වගේම මේ දේවල් දිගටම කරනවා. ඒක ඔහෙලා කියන හැටියට මාර පිනක්.

      Delete
  6. සිරා වැඩක් (Y) (Y)

    පිං !!

    ReplyDelete
  7. හොඳ අදහසක්. මම දකුණේ නෙමෙයි නිසා ඔබ අදහස් කරන විදියේ සපෝට් එකක් දෙන්න විදියක් නැහැ.එත ඔබ කැමති නම් ඔබේ බැංකු ගිණුමයි එකේ නොම්බරෙයි දුන්නොත් පොඩි ගණනක් එවල මටත් දායක වෙන්නනම් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේට සංවිධානයක් හෝ බැංකු ගිණුමක් තවමත් නැත. වැඩිහිටියන්ගෙන්ම කුඩා සංවිධානයක් හදන්න වෙනවා. මූල්‍ය සහයෝගයක් අවශ්‍ය වුනොත් ඔබට දන්වන්නම්. ස්තුතියි ප්‍රතිචාරයට.

      Delete
    2. දකුනේ නොවන නිසා මටත් කරන්න පුලුවන් එකම උපකාරය මුදලකින් සම්මාදම් වීම පමනයි. ඊට ඉඩක් ඇතොත් කියන්න

      Delete
    3. WMK / ඕනෙ,
      ඊමේල් ලිපිනය ලබාදෙන්න. අවශ්‍ය වුනොත් දන්වන්නම්.

      Delete
    4. මම ඊ මේලයක් එව්වා.ඒක බලන්න.
      wmks98@gmail.com

      Delete
    5. මමත් කැමතියි මෙවන් පින්කමකට සමබන්ධ වන්න.පුලුවන් නම් wmk කියන විදියෙ (බැංකු ගිණුම්) වැඩ පිලිවෙලක් සකස් කරන්න.

      Delete
  8. ලන්ච් ටයිම් එකක කුරුණෑගල හරහා යනවද? සනත් විජේවර්ධන මතක්කරල දානයක් දෙන්න හිතුන. ඔබාගෙ යාලුවො තව ඵහේ ඉන්නව උනුත් අල්ලන් වැඞේ ඹ්ගනයිස් කරන්න පුලුවන්.
    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. කුරුණෑගලින් එන්නේ නැහැ ඉන්දරේ. අපි හලාවත කිට්ටුව. මෙහෙන් කෙලින්ම කොළඹට ගිහින් යන්නේ.

      Delete
    2. මේ ඔබ්සර්වර් අයියගෙ මිත්‍රයද ?? එහෙනම් මේලක් දාන්න duliponline@gmail.com එකට

      ප.ලි.
      චාමි සමාවෙන්න මේ කොමෙන්ට් එකට

      Delete
    3. කිසි අවුලක් නෑ මචං.

      Delete
  9. රායිට් ලොක්ක මම ගල්ලෙ මට මාතරත් මොනව හරි කරන්න පුලුවන් .මම මෙලක් දාන්නම් මට ශෙඩුල් එක කියපන්.දෙන්න පුලුවන් සප් එක දෙනව අනිවා.මාරය ඔත්තුව දුන් නෙ

    ReplyDelete
  10. මුල්‍ය සහයෝග ගන්නකොට කොහොමද දැනගන්නෙ
    ඉන්දරේ

    ReplyDelete
    Replies
    1. මට මේලක් දාන්න.

      Delete
  11. ඇත්ටම මේ වගේ ගමනකදි තියන වැදගත්කම තමයි වැඩිහිටියන්ට එයාලගෙ වගකීම් වලිං මිදිල අවුරුදු බර ගානකට කලිං විදපු නිදහස් ජීවිතය ආපහු දවසකට හරි විදින්න ලැබෙන එක.
    මට මතකයි මාරය කියල තිබ්බ මාරයා සිවුරෙ ඉද්දි පෝයට භාවනා ආදී සිල් වැඩසටහන් පෙල ගස්වපු ආකාරය. එතනදි කියල තිබ්බෙත් මේ වගේම දෙයක්. ගෙදරදොරේ වැඩ, දරු මුනුපුරන්ගේ වැඩ ආදියෙන් හෙම්බත්වෙලා ඉන්න ගොඩක් වැඩිහිටියන් පෝයට සිල්ගන්න එන්නෙ එයින්වත් පොඩි අස්වැසිල්ලක් ලබන්න.
    ඒ අස්වැසිල්ල ඔවුන්ට ලබාදෙන එක ඇත්තටම ලොකු පින්කමක්.

    මගෙ යාලුවෙක්ගෙ අම්ම දැනට මේ විදියෙ සංචාර සංවිදානය කරනව. මම හැමදාම ඒ ගමන් වලදි එක වැඩිහිටියෙක් වෙනුවෙන් බරපැන දරනව. ඒතමයි මට මේ වෙද්දි කරන්න පුලුවන් ලොකුම දේ

    ReplyDelete
    Replies
    1. ඔය උපාසකම්මලා වැඩිදෙනෙක් සිල් ගන්න කියල ගිහින් ගන්න සිලක් නෑ. ඇත්තටම එතන වෙන්නෙ ඔබ කියපු දේ තමයි. ඒකත් ලොකුම සහනයක්.

      Delete
  12. බොක්කෙන්ම වටින වැඩක් මචෝ! ජය!

    ReplyDelete
  13. අපි ඇඹිලිපිටියේ... දකුණ කිවුවට කොහේ වගෙඅ ඇවිදින්න යන්නේ.. ඉන්න බලන්න .. මම FB msg එකක් දාන්නම්

    ReplyDelete
  14. අගේ ඇති වැඩක්...

    ReplyDelete
  15. ඇස් දෙකට කඳුලු පැන්නා බුවා.මම මොනවාද කරල තියෙන්නේ කියලා හිතුනා.මුදල් ආධාරයකට එකතු වෙන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. මේලක් දමන්න. වැඩේ සෙට් වෙන විදහට අවශ්‍යතාවක් උනොත් දන්වන්නම්.

      Delete
  16. මාරයාගේ මග දැකල ආවේ බොහොම හොද වැඩක් ...... මේ වෙලාවේ උදව්වක් කරන්න බැරි වීම තමයි දුක

    ReplyDelete
  17. අගෙයි!

    “මම පුදුම ආසාවකින් උන්නෙ සේරුවාවිල වැඳගන්න.... මේ ඒකට ලැබුනු පළවැනියි අන්තිමයි අවස්ථාව තමා. මගේ වයසයි ලෙඩරෝගයි එක්ක ආපහු ඒමක් නෑ. ඉතින් කාට පරක්කු උනත් කමක් නෑ කියලා හිතේ හැටියට වැඳගත්තා පුතේ.....”

    ReplyDelete
  18. උතුරු දකුණු බේදයක් ගාව ගන්නේ නැතිව කවුරුත් එකතු වෙමු. මමත් දකුණේ. ඒත් දැන් ඉන්නේ කොළඹ. උපකාරයක් කරන්න පුළුවන් විදියක් දන්වන්න.

    ReplyDelete
  19. මේ අදහස ආපු උබට ගහන්නෝනි.
    ජයම වේවා...

    දකුණෙ මගෙ මිත්‍රෙයක්ට ලින්ක් එක දැම්ම බලමු මොනවා කොරයිද කියල.

    ReplyDelete
  20. දකුණෙ නොවන නිසා සහයෝගයක් දෙන්න විදියක් නැති වුනත් මේ වැඩේ හිතට ඇල්ලුවා...

    සුබ පැතුම් මචං....!

    ReplyDelete
  21. මම දකුණේ නෙමේ. ඒ උනාට මුදලමය උදව්වක් කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කරුණාකර samarebin@gmail.com වෙත මේලක් එවන්න

      Delete
  22. මචන්,

    චමී,උඹ කරන වැඩේ නම් පංකාදු පහයි මචන්....මාත් දකුණේ තමයි.හැබැයි අම්බලන්ගොඩ......වන්දනාව යන දවස කියපන්,නවතින්න තැන් නම් දන්නේ නෑ මචන්....කතරගම දුර නිසා, හැබැයි යන්නේ අම්බලන්ගොඩ හරහා නම් දවල්වෙලාවක අම්බලන්ගොඩ සෙට් වෙනවනම් මන් කෑම පැකට් 60-70 ක් සෙට් කරන්නම් මන් ගානේ....මාරයාගේ බ්ලොගය දැකල ආවේ.......

    ReplyDelete
  23. මචන් මේක නම් මාර අයිඩියා එකක් තමයි... උබලා වගේ තව කොල්ලො හිටියනම් මේ රට සැහෙන්න දියුනු වෙලා දැන්...මචන් මම ලන්කාවෙ නෙමේයි ඉන්නෙ හබැයි..කොයි කාලේ වගෙද ට්‍රිප් එක යන්නෙ..මුදලින් හරි අපි අදාරයක් කරන්නම් මචන්...

    ReplyDelete

Follow by Email