Sunday, June 24, 2012

සිංහල-බෞද්ධයින්ට එරෙහි ලොකුම කුමන්ත්‍රණය


මා දෙමළ මිනිසුන්ට වැඩිපුර අනුකම්පාවක් දක්වන බවද, හිටිගමන් එල්.ටී.ටී.ඊ යට කඩේ යන බවද කලක් තිස්සේ විවිධ පාර්ශ්ව වෙතින් නැගෙන ‍චෝදනාවකි. ඇත්තෙන්ම මෙම මාසයේදී සති කීපයකින් බ්ලොග් පෝස්ට් එකක් ලිවීමට නොහැකිවූයේද ඒ පිළිබඳව මා බැරෑරුම් ලෙස කල්පනාකරමින් සිටි නිසාය.

එම චෝදනාවල යම් සත්‍යයක් පවතින බව අද මා නිහතමානීව පිළිගනිමි. ලංකාවේ වඩාත්ම මධ්‍යස්ථ පුද්ගලයා වශයෙන් එය මා අතින් සිදු නොවිය යුතු වරදකි.

මා අතින් සිංහල බෞද්ධයන්ට මෙතෙක් සිදුවූ අසාධාරණයට හිලව් වන්නට ඔවුන් වෙනුවෙනුත් යමක් ලිවීම මෙම සටහනේ අරමුණයි. ඒ සඳහා සිංහල බෞද්ධයෙක් නොවන මා හට මහත් ආයාසයකින් ‘සිංහල බෞද්ධ කෝණයකින්’ බැලීමට සිදුවූ අතර, එහිදී දුටු ඇඟ කිළිපොලායන ආකාරයේ දරුණු සිංහල-බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ කිහිපයක් පහත දක්වා ඇත.

1 සිංහල-බෞද්ධ ජීවිත තර්ජන -

සිංහල බෞද්ධයන්ට ඇතිවෙමින් පවතින ජීවිත තර්ජන දිනෙන් දින ඉහල යමින් පවතී. ආසන්නතම සිද්ධිය ලෙස කටුවනදී පසුගියදා සිදුවූ ම්ලේච්ඡ ඝාතන දැක්විය හැකිය. එහිදී යම් දේශපාලන රැස්වීමකට සහභාගි වෙමින් සිටි සිංහල බෞද්ධ පිරිසකට යම් කණ්ඩායමක් විසින් එල්ල කරන ලද නින්දිත වෙඩි ප්‍රහාරයක් නිසා සිංහල බෞද්ධයින් දෙදෙනෙකුගේ ජීවිත අහිමි විය. මෙලෙස පසුගිය කාලය තුල විවිධ වෙඩිතැබීම් සහ පැහැරගෙන යාම් මගින් සිංහල බෞද්ධයන් සැලකිය යුතු පිරිසක් ඝාතනය විය. මෙලෙස සිංහල බෞද්ධයින් ඝාතනය කරන විවිධ කල්ලි කණ්ඩායම් වලට රජයේ රැකවරණ ලැබෙන බවට විවිධ චෝදනා ඇති බැවින් සිංහල බෞද්ධයින් ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් විය යුතු නොවේද?

2 සිංහල බෞද්ධයින්ගේ ජීවන තත්වය පිරිහීමට ලක්කිරීම

මෙය කිසිවෙකුටත් නොදැනෙන පරිදි යම් පිරිසක් විසින් ඉතා සූක්ෂමව සිදු කරන කුමන්ත්‍රණයකි. අද වන විට අප සිංහල බෞද්ධයන් විසින් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ආහාරද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවාන්හි මිල, සිංහල-බෞද්ධ බහුතරයකට දැරිය නොහැකි මට්ටමකින් ඉහල දමා ඇත. මෙය පසුගිය දශකය තුලදී කැපී පෙනෙන ලෙස සිදුවී ඇති බව පහත වගුවෙන් පැහැදිලි වේ.

මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල මේ වන විටත් ලැබෙමින් පවතී. වෙනදා පැය අටක් වැඩකල අප සිංහල-බෞද්ධයනට මේ වන විට එදිනෙදා වේල ගැටගසා ගැනීම සඳහා පමණක් දිනකට පැය දාහතරක පමණ කාලයක් වැඩෙහි යෙදීමට සිදුව ඇත. බලන්න කෙතරම් අපරාධයක්ද? මෙලෙස අධික ලෙස වෙහෙසෙන අප සිංහල බෞද්ධයන්ගේ කායික මානසික සුවතාව ඉතා ඉක්මණින් ක්ෂය වී යන අතර එය අප ජාතියේ පැවැත්මට මරු පහරකි.
 එමෙන්ම ආහාර ද්‍රව්‍ය මිලද කිසිදු පාලනයකින් තොරව ඉහල යාම නිසා සමබල ආහාර වේලක් නොලැබීමෙන් අප සිංහල-බෞද්ධ දරුවන් දිනෙන් දින මන්ද පෝෂණයට ගොදුරු වෙමින් පවතී.

3  සිංහල -බෞද්ධයන්ට එරෙහි වංචාව සහ දූෂණය

අප රට විදේශ වලින් ණයට ගන්නා මුදල් වලින් සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලින් වැඩිම ප්‍රතිලාභ ලැබෙන්නේ ජනගහනයෙන් 70% ක් වන සිංහල බෞද්ධ අපට වීම අභිමානයට කරුණකි. එහෙත් එලෙස ලැබෙන මුදල් වැඩි ප්‍රමාණයක් විවිධ කණ්ඩායම් විසින් ගසාකෑම මගින් එම මුදලින් නිසි ප්‍රයෝජන අපට ලැබීම සූක්ෂම ලෙස වලක්වමින් පවතී. 

උදාහරණයක් ලෙස සිංහල-බෞද්ධ අපට වන්දනාවේ යාම සඳහා මාර්ග තැනීමේදී මිලියන 200 ක් වැයවන කිලෝමීටරයකට මිලියන 400 ක් ඇස්තමේන්තු දක්වා එකට එකක් ගසාකෑම මගින් සිදු කරන්නේ සිංහල බෞද්ධයන්ට මෙරටේ හිමිවිය යුතු මාර්ග වලින් හරි අඩක් අපට අහිමි කිරීමයි. එමෙන්ම මෙරට සිංහල බෞද්ධයන්ට වරායවල් දෙකක් සාදාගැනීමට හැකි මුදලකින් එක් වරායක් තැනීම? සිංහල බෞද්ධ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වැය කල යුතු විශාල මුදලක් කසිකබල් ඉන්දීය නිළියන්, කාර්රේස්, කානිවල් වැනි විජාතික විගඩම් සඳහා විනාශකිරීම..... 
මේවා පැහැදිලිවම සිංහල බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ වේ.

4  සිංහල බෞද්ධයන්ගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය කෙළෙසීම

මෙය සිංහල බෞද්ධයන් අද දවසේ මුහුණ දෙන විශාල ඛේදවාචකයකි. අප මෙරටේ උරුමය හිමි ප්‍රධාන ජන කොටස වශයෙන් රටෙහි සිදුවන සියළු දේ එහි යථා ස්වරූපයෙන් දැන ගැනීමේ පරම අයිතිය අපට තිබිය යුතුය. 

එහෙත් සියුම්ව නිරීක්ෂණය කිරීමේදී රටේ සියළුම ජනමාධ්‍යයන් යම් කුමන්ත්‍රණකාරී බලවේගයකට නතුව සත්‍යය වෙනුවට අසත්‍යයම අප වෙත පතුරවමින් සිටින බව පෙනේ. උදාහරණයක් ලෙස කලින් සඳහන් කල කටුවන සිංහල බෞද්ධයන් දෙදෙනා ඝාතනයේදී ‘රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය’ නම් කුමන්ත්‍රණකාරී රජයේ ආයතනය විසින් එම සාහසික ඝාතකයා ආරක්ෂා කරමින් සිංහල බෞද්ධ අප නොමග යැවීමට කටයුතු කලේය. එමෙන්ම රටේ සිදුවන සිංහල බෞද්ධ විරෝධී මහා පරිමාණ සොරකම්/දූෂණ/වංචා යනාදී කිසිවක් මේ මාධයන්ගෙන් හෙළිදරව් නොකරයි. 

මේ නිසාම අප පින්වත් සිංහල බෞද්ධයන් නිවැරදි තොරතුරු දැනගානීම සඳහා පාපකාරී ගොසිප් අඩවි වෙත නැඹුරු වීමෙන් මහත් පවක් සිදුකරගන්නා අතර එය අපගේ මීළඟ භවය දුකට පත්කීරීමේ කුමන්ත්‍රණයක් ලෙසද සැලකිය හැකිය.

5 සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිරූපය කෙළෙසීම

මෙය නම් අප විසින් වහ වහා පිළියම් යෙදිය යුතු කුමන්ත්‍රණයකි. මෙම කුමන්ත්‍රණ කරුවන් විසින් සූක්ෂමව සිදු කරන්නේ අවිහිංසාව අගයන සිංහල බෞද්ධ අපද තලේබානුන් මෙන් ම්ලේච්ඡ විලිසංගයක් නැති උන්මත්තකයින් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමයි. මෙම කුමන්ත්‍රණයේ කොටස් ලෙස ප්‍රකෝපකාරීව විවිධ ආගමික සිද්ධස්ථාන මාධ්‍ය ඉදිරියේ කඩා බිඳ දැමීම, සිවුරු උස්සාගෙන සටන් පාඨ කියමින් පෙළපාලි යෑම, විවිධ චීවරධාරීන් ලවා අහිංසක ගෑනුන්ට පාට් දැම්මවීම වැනි දේවල් අපි පසුගිය කාලයේ දුටිමු. අප සිංහල බෞද්ධ අනන්‍යතාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කිරීම මෙම කුමන්ත්‍රණයේ මූලික අරමුණයි.

6  තවත් මෙවන් කුමන්ත්‍රණ රාශියකි.

ඒවා අධ්‍යාපන/ප්‍රවාහන/විදුලි සංදේශ/නීතිය හා සාමය/කුඩා කර්මාන්ත/සත්වෝද්‍යාන/ආර්ථික සංවර්ධන/ළමා හා කාන්තා/පාරිභෝගික කටයුතු ආදී බොහෝ ක්ෂේත්‍රවල සිදුවන බව මගේ නිරීක්ෂණයයි. එහෙත් ඒ සියල්ල හෙළිදරව් කිරීමට මෙය අවස්ථාව නොවේ. ඩෙංගු වසංගතයද දැනට පවතින භයානකම කුමන්ත්‍රණයකි. මෙම වසංගතය මෙතෙක් වැඩිපුරම වැළදී ඇත්තේ සිංහල බෞද්ධයින්ට බව සංඛ්‍යාලේඛන මනාව පෙන්වයි. බීටීඅයි බැක්ටීරියාව පවා සඟවමින් මේ කුමන්ත්‍රණකරුවන් උත්සාහ දරන්නේ ඩෙංගු මදුරුවා ලවා හෝ අප සිංහල බෞද්ධයන් වලපල්ලට යැවීමටයි.

අවසන් වශයෙන් කිවයුත්තේ සිංහල-බෞද්ධයෙකු නොවන මා, මහත් ආයාසයකින් සිංහල බෞද්ධ කෝණයකින් බැලීමේදී දුටු මෙම කුමන්ත්‍රණ කිසිවක් ‘සැබෑ-සිංහල-බෞද්ධයන්’ යයි කියාගන්නා අයවළුන් මෙතෙක් නොදැකීමයි. තම ජාතිය වලපල්ලට යමින් සිටියදීත්, එයට සම්බන්ධ සියළු කුමන්ත්‍රණකාරීන් දිවි හිමියෙන් ආරක්ෂා කරන මෙම ඊනියා-සිංහල-බෞද්ධයින්,  දෙමළුන් හා මුස්ලිමුන්ට ඔරවමින් බලා  සිටිති. මෙම ඊනියා-සිංහල-බෞද්ධයින් කරන කුමන්ත්‍රණය මේවායින් විශාලතම කුමන්ත්‍රණය නොවන්නේද?

33 comments:

  1. අම්මපා...සිංහල බෞද්ධයින්ට නේන්නම් කෙළවෙන තරමක් කෙළවිලා තියෙන්නෙ.....

    ReplyDelete
    Replies
    1. හරියට හරි මචං. මේක මගේ තවත් නව සංකල්පයක් හරිය. සිංහල-බෞද්ධ අධිපතිවාදය නැවත සංකල්පගත කිරීම.
      කොහොමත් මේකත් අර අක්කා සංකල්පෙ වගේ ටිකක් ගැඹුරු එකක් හින්ද තව පෝස්ට් එකකින් පැහැදිලි කරන්ඩ වෙයි වගේ

      Delete
    2. මෙය අද ඊයේ ක්‍රියාවක් නොවේ. වසර විසි දෙකකට පෙරද පැවතුනි. සුමිත් නිරිඇල්ල ගේ මේ කමෙන්ටු බලන්න.

      1. අද එක

      2. අද එකට සම්බන්ධ කලින් එක.

      3. මේකත් බලන්න.

      !!!

      Delete
  2. /අවසන් වශයෙන් කිවයුත්තේ සිංහල-බෞද්ධයෙකු නොවන මා, මහත් ආයාසයකින් සිංහල බෞද්ධ කෝණයකින් බැලීමේදී දුටු මෙම කුමන්ත්‍රණ කිසිවක් ‘සැබෑ-සිංහල-බෞද්ධයන්’ යයි කියාගන්නා අයවළුන් මෙතෙක් නොදැකීමයි./

    තමන් නිර්-ආගමිකයකුය කියා ගන්නා සුජීව කොකාවල හෝ තමන් මධ්‍යස්ථ මාධ්‍යවේදියකුයැයි කියා ගන්නා මාලින්ද සෙනෙවිරත්න හැදෑරීමෙන් මේ ඇයිද වටහා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. අඩේ මූට මාව අමතක කරලා නිදා ගන්නවත් බැහැනේ යකෝ.

      නිරාගමිකත්වය මගේ වැඩක් නේ බං. උඹට ඒ ගැන මල බද්ධයක් හැදෙන්න අවශ්‍ය නැහැ.

      අනික මගේ නිරාගමිකත්වය කොහෙද බ්‍රීච් වුනේ. කාරනා නොතේරෙන අවශේෂ අපට ඔබ වැනි බුද්ධි ප්‍රභවයකින් යමක් කියන කොට අඩු ගානේ සූට්ටක් පැහැදිලි කොරන්ට.

      දැන් දැන් චාර්මියාගේ බ්ලොග් එක බලන්නේ "සෙලිබ්‍රිටියාවටය". ජයවේවා ඇනෝ බබාට.

      Delete
    2. අනික මගේ නිරාගමිකත්වය කොහෙද බ්‍රීච් වුනේ?

      ගණිකාවකුත් ඇහුවලු අනේ මගේ පතිවත කොහේදිද කැඩුණේ. දන්නෙත් නෑ කියලා.

      Delete
  3. Aththama aththa.
    Sinhala bodunuwanta wadeyanma kelawanna ape kara uda thiyan inna ungama palakayan thamai.

    ReplyDelete
  4. මේ සිංහල බෞද්ධයෝ කියන කට්ටිය විහින් දුක් කරදර තමන් වෙත ගෙන්න ගෙන, ඒ දුක් කරදර විඳිද්දි ඒ කරදර ගෙන එන අයට ගරු කරන, ගැතිවන කොටසක්. ඒ වගේම ගොයම් කාපු මුවෝ පැනල ගියාට පස්සෙ ගෙදර තියෙන මුව හමට උඩ පැන පැන තලන්න කැමැති කොටසක්.ඒ වගේම මුව හම මිසක් මුවෝ ගොයම් කාපු බව පිළිගන්න අකැමැති කොටසක්. කොටින්ම කියනවනම් සිරාම ජීවන දර්ශනයක්.

    "එම චෝදනාවල යම් සත්‍යයක් පවතින බව අද මා නිහතමානීව පිළිගනිමි. ලංකාවේ වඩාත්ම මධ්‍යස්ථ පුද්ගලයා වශයෙන් එය මා අතින් සිදු නොවිය යුතු වරදකි."

    මේ ප්‍රකාශයටනම් මම හිනාවිය යුත්තෙ මොකෙන්ද කියල තාමත් හිතනව.

    ReplyDelete
    Replies
    1. (සිතුවිලි මණ්ඩියගේ මේ කමෙන්ටුව වැටී නැත. වැදගත් කමෙන්ටුවක් ආවොත් මේ උලව්ව ඔහොම්මමයි)

      හිනාවෙන්න එපා මනුස්සයෝ.ලංකාවේ මධ්‍යස්ථම පුද්ගලයා අපි දන්න කියන චාමි කියන එක අපිටත් කොච්චර ගැම්මක්ද?

      Delete
  5. තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්.....

    ReplyDelete
  6. අම්මප කව්ද හැබෑටම සිංහල බෞද්ධ අපට කෙලින අසිංහල අබෞද්ධ උන්????

    ReplyDelete
    Replies
    1. ඔන්න සිංහල බෞද්ධ මහත්මයෙක් ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන තියෙන්නෙ.

      Delete
    2. :) ඇනෝ ඇත්තෙන්ම ජෝක් එකක් තමුන්. විහිළු සිරාවට ගන්න, සිරා කතා විදිහට ගොන්ත විහිළු ලියන. ඔහොම යමු.

      Delete
    3. ඔයා වගේ පිරිස් හැරෙනකොට ඒ මොකටද කියල අපි දන්නව සුජීව. ගහ දන්න මිනිහට කොළ කඩා පාන්න අවශ්‍ය නෑ. අපි නොදන්න සෙකූලර්!

      Delete
  7. හැබෑවටම යකෝ මේ සිංහල බෞද්ධ අපිට කෙලවනකම් ජාතියේ ආඩම්බරකාර තාත්තා නොදැක්ක ගානට ඉන්නේ එතුමාත් ඒ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණකරුවන්ගේ ඔඩොක්කුවට වැටිලා වත්ද?

    ReplyDelete
  8. සජීව ධනුද්ධරJune 25, 2012 at 11:33 AM

    //අවසන් වශයෙන් කිවයුත්තේ සිංහල-බෞද්ධයෙකු නොවන මා,//
    ඔන්න දැන් තමයි තේරුණේ මූ කොටින්ට කඩේ යන්නෙ ඇයි කියලා.. හිකිස්

    උඹ යකෝ සංකල්ප මවන්නෙක් වෙලානෙ. ඉස්සෙල්ලා අක්කියා සංකල්පෙ.. දැන් සිංහල බවුද්ද අධිපතිවාදී සංකල්පය සංකල්පගත කිරීම.. පොහ්.

    ReplyDelete
  9. හැබැයි මේ ප්‍රශ්න වැඩිහරියකට හැම ජාතියකම මිනිස්සු මුහුණ දෙනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රස්නෙම අමිල චතුරංගත් අහලා තිබුණා
      (ඒ කමෙන්ටුවත් වැටී නැත)
      ________________________
      amila chathuranga -
      මේ සමහර පස්න ජාති තුනටම පොදුයි නේද??

      ------------------------
      මෙහෙමයි. මේ සියලුම ප්‍රස්න ප්‍රධාන ජාති තුනටයි අනිකුත් මැලේ/බර්ගර්/අහිගුණ්ටික/වැදි.... ඔය කොයිකාටත් පොදුයි තමා. ඒත් මචංස්ලා මේ නව සංකල්පෙ හැටියට අනික් අයට තියෙන ප්‍රස්න ගනන් ගන්නෙ නෑ. එච්ච හොයන්නෙත් නෑ. කොටින්ම ඒ අයට තියෙන ප්‍රස්න අපි දන්නෙත් නෑ. අපිට වැඩකුත් නෑ.

      මෙ නව සංකල්පෙ හැටියට අපි කෙලින්ම බලන්නෙ 'අපිට තියෙන ප්‍රස්න' දිහා. (පරන සංකල්පෙදි බැලුවෙ අනික් උන්ට නැති-අපිට තියෙන ප්‍රස්න කියලනෙ. මේකෙදි ඒම නෙමෙයි)
      ඉතිං අපි කරන්ඩ ඕනෙ 'අපිට තියෙන ප්‍රස්න' විසඳගන්න එක. ඒකෙං අනික් අයගෙ ප්‍රස්න විස‍ෙඳෙයිද, වැඩිවෙයිද ඕව මොකුත් බලන්නෑ. මේක මචංස්ලා ජාතිකත්වයේ නව පිම්මක්. හිටිල්ලකො තව පෝස්ටෙකක් ලියලම වැඩි විස්තර දෙන්නං.

      Delete
  10. හොඳ වෙලාවට මම සිංහල කතෝලිකයෙක් වෙච්චි නිසා ඔය කියන එක පුරස්නයක්වත් නෑ

    ReplyDelete
  11. එතකොට අවසාන නිගමනය වෙන්නෙ සිංහල බෞද්ධ කවුරුත් නමට 'සිංහල බෞද්ධ' ලේබල් එක ගහගෙන හිටිය වුණාට තමන්ගෙ ජීවිතේ දිහා 'සිංහල බෞද්ධ' විධියට නොබලන එක නේ...?

    ReplyDelete
    Replies
    1. පොඩි නිවැරදි කිරීමක්.

      අවසාන නිගමනය වෙන්නෙ "සිංහල බෞද්ධ" කවුරුත් නමට 'සිංහල බෞද්ධ' ලේබල් එක ගහගෙන හිටිය වුණාට තමන්ගෙ ජීවිතේ දිහා "බෞද්ධ" විධියට හෝ "සිංහල" විධියට නොබලන එක.

      (බෞද්ධ විදියට හා සිංහල විදියට තමන්ගේ ජීවිත දෙස වෙන වෙනම බැලීම සිංහල-බෞද්ධ විදියට බැලීමට ඉඳුරා වෙනස්ය. උදාහරණ චාර්මි මෙහි ජීවිතය දෙස බලන්නේ සිංහල ඇසෙකිනි. අපේ ගමේ පන්සලේ දේශපාලනය ගැන හාංකවිසියක් නොදන්නා, තමන් දන්නා දෙයක් කරගෙන ඉන්නා හාමුදුරුවන් බලන්නේ බෞද්ධ ඇසෙකිනි. සිංහල-බෞදැහ් විදියට බලන පිරිස නම් කිරීම අවශ්‍ය නොවේ.)

      Delete
  12. www.supun-online.blogspot.com

    ReplyDelete
  13. අප්පට සිරි... උඹ දැන් ලෝකේ ඉන්න සර්ව සාධාරණ මිනිහා වෙලාද? අපි බ්ලොග් කියවන එවුනුත් පවු එහෙම වුනාම මචන්....

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. සියල්ලටම එකග වෙමි..ඒ උනත් තොරතුරු දැන ගැනීමේ නිදහස ගැන නං පොඩි දෙයක් තියේ නේහ්..
    ආන්ඩුව අර වගේ අපරාද කාරයෙක් ගැන තොරතුරු වසන් කරපු එක අනිතිම කැතයි..ඒත් ඒ වගේ ඒව නැතුව අනෙක් තොරතුරු වසන් කරන්න වෙන වෙලාවලුත් තියේ නේහ්..
    උදා-රාජ්‍ය ආරක්ශාව වගේ ඒව..

    ReplyDelete
    Replies
    1. Chathuran enna mawa hambawenna full time job ekak dennam.

      Delete
  16. meka sinhala bauddayata thiyena adarekata palakarapu lipiyak nam nemei.. eka pahadili..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි මෙයාට ඒක තේරිලා, මාර මොළයක්!

      Delete