Tuesday, September 6, 2011

ඉස්පීකර් නිලමෙ මළා.....!

අගාරෙ ගෙදර නිලමෙ හෙවත් ඉස්පීකර් නිලමෙ මළා. වයස 69 යි. සිරෝසිස්. දයාසිරි ජයසේකර මල ගෙදර ආවා. ජයවික්‍රම පෙරේරත් ආවා. මාත් ගියා. දයාසිරිලා ජයවික්‍රමලා අපි ඔක්කොම මල ගෙදර ගියා.

නිලමෙ උපදිනකොට නිල්ම නිල්පාට ශ්‍රී ලංකා කාරයෙක්. මැරෙනකොට කැපුවත් කොල යූ.ඇන්.පී කාරයෙක්. ඔය ඓතිහාසික පක්ෂ මාරුව සිද්දවුනේ 1999 අවුරුද්දෙ දෙසැම්බර් මුල සතියෙ දවසක රෑ 11 කුත් ගානට දෙණියෙ කිරිකෝන් ගහ යටදි. කට්ට කළුවරේ නම් මදෑ. තට්ට තනියම. හැබැයි මුළු රත්මල්වැවම ඒකට සාක්ෂි.

මිනිහට ඉස්පීකර් නිලමෙ කිව්වෙ කටේ සද්දෙ හින්දම වෙන්න ඇති. හවසට වෙරි වෙන්ඩ වෙන්ඩ සද්දෙ වැඩි වෙනවා. ඒ දවස්වල කවි ශ්ලෝක ගානටම අමු තිත්ත කුණුහරුපත් හැමදාම වගේ ගම මැදින් දෝරෙ යනවා. නමුත් ගමේ කාගෙත් මිනිහට පොඩි ගෞරවයක් නොතිබුණා නෙමේ. ඕන පොදු වැඩක මිනිහා ඉස්සරහෙන්ම හිටියා. ඕන අසාධාරණේකදි කියන්ඩ ඕන තැනටම ගිහිං හොඳ සිංහලෙන් සද්දෙ දාල කියල ආවා.

ඡන්දෙ කාලෙට.....? කොටින්ම මිනිහට පිස්සු.

ඒ 1999 ජනාධීපතිවරණ උණුසුම දැනෙමින් තිබුණ කාලයක්. පවුල් අටක් ඇරුණාම මුළු රත්මල්වැවම පෙරමුණේ තමයි. ගමේ පක්ෂ සංවිධායක අල්ලපු ගමේ හාදයෙක්. එයාගෙ අනුදැනුම මත ගමේ සංවිධාන කටයුතු නිලමෙ ඇතුළු බලවේගෙ.

ඡන්දෙකදි හැමදාමත් කට්ටිය මුලින්ම කලේ ජයසිරි මුදලාලිගෙ වහපු කඩ කෑල්ලෙ පක්ෂ කාර්යාලෙ අරින එක. පස්සෙ එතන ඉඳං ප්‍රචාරක කටයුතු. ඒ කියන්නෙ කසිප්පු බොනවා, කැරම් ගහනවා, කාඩ් බලනවා, ගංජා ගහනවා... ඉඳ හිට ගිහිං පෝස්ටරයක් දෙකක් අලෝනවා. ඔතන වැඩිපුර ගැවසෙන්නෙ ඡන්ද ලැයිස්තුවෙ නමවත් නැති කොලු කුරුට්ටො. උං එක්ක හරි හරියට නිලමෙ. හැන්දෑවට බොහොම තදට මැතිවරණ උණුසුම.

එදත් ඔය වගේ උණුසුම් දවසක්. නිලමෙ කොල්ලොත් එක්ක කාඩ් කුට්ටමේ තුන්සිය හතර බලනවා. රෑ 10 ට විතර ඇති. කොහොමත් කට්ටිය හේරා පොරව පැටලෙන ගානට දාලා. මුලින්ම ඇදුනේ තුරුම්පු කේස් එකක්. නිලමෙ කොක්ක ඇදගත්තෙ අසංකයත් එක්ක. ඌ හමුදාවෙන් පැනල ආපු එකෙක්. ගමේ කොලුකුරුට්ටන්ගෙ නායකයා. මදාවියෙක්. ආසන සංවිධායකගෙත් හොඳ කකුලක්.

"අඩෝ තොපි හොර වැඩ කොරන්ඩ එපා බල්ලො..... සෙල්ලමක් කෙරුවත් හරියට කොරපිය........"

අසංකය නැගිට්ටෙ පුටුවත් පෙරලගෙන.

"මොකද්ද නාකියා කිව්වෙ....?"

"ඇයි තෝ මට ගහන්ඩද?.... බය ගුල්ල... තෝ කොටින්ට බයේ පැනල ආපු එකා බොල....... හොර හු..................."

අසංකයා තවත් පුටු දෙක තුනක් පෙරලගෙන පැන්න පාරට නිලමෙ බිම. කොල්ලො දෙතුන් දෙනෙක් අසංකයව අල්ලගෙන. අනිත් උං ඒ වටේ. "පලයව් යන්ඩ වරත්තු බල්ලො ටික.... තොපි නැති කාලෙත් අපි චන්ද කෙරුවා......."

ඒ පාර ඉස්සරහට ආවෙ සුරේෂයා.

"පල නාකියා පව් නොදී.... එනවා මෙතන චංද කොරන්ඩ.... අඩෝ... සිරිමෙවං මහත්තයා මෙව්වා බාරදුන්නෙ අපිට..... නාකි මැන්ටලේ...."

නිලමෙ පිටිපස්ස බැලුවා. තමුං තනියම. අඩි කීපයක් එහෙම්මම පිටිපස්සට ගිහිං පාර පැත්තට හැරුණා. වැනි වැනී පාර දිගේ යන්ඩ ගත්තා. නිකම්ම නෙමේ. අමු තිත්ත කුණුහරුප වරුසාවකුත් එක්ක.

සුරේෂයට, අසංකයට, අසංකයගෙ අම්මට....

කොහොමත් සතියට දෙතුන් දවසක් ඔය ජාමෙට ඇහෙන ඉස්පීකර් කුණුහරුප විකාශය ගම්මුන්ට අලුත් දෙයක් නෙමේ. ඒත් එදා ඒක‍ට පොඩි ප්ලොට් එකක් එකතුවෙලා තිබුණ නිසා කවුරුත් ඇහුම්කන් දෙන්න ඇති. අර කියපු කිරිකෝන් ගහ ළඟට එනකං ඔය සද්දෙ අඛන්ඩව ආවා. ඒ අවට පදිංචිකාරයො කීප දෙනෙකුට විතරක් ඇහුණු 'දඩස්' සද්දයක් එක්ක සේරම එකපාර නිහඩ උනා. තත්පර තිහක් විතර යන්ඩ ඇති. පොඩි කෙඳිරිලි ගතියක් එක්ක ආපහු සද්දෙ ආවා.

"අඩෝ බලු අසංකයා..... එහෙනං තෝ... මට ගැහුවා..... මේ නිලමෙට ගැහුවා.... තොපි මට ගහලා..... චංදෙ කොරන්ඩ..... තොපි... දිනන්ඩ...."

ආපහු නිහඬතාව. තත්පර දහයකට විතර.

"ර..නි..ල්.. වික්‍රම... සිංහට......... ජය..වේ....වා.........!!!"

--------------------------------

පහුවදා උදේ නිල‍මෙගෙ ගේ ඉස්සරහ පොඩිවුන ඉටිරෙද්දකින් කොල කොඩියක් දාල තිබුණා. හවස යූ.ඇන්.පී ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිතසිරි එහෙ ඇවිත් තිබුණා. දවස් කීපෙකින් වත්තෙ පොල්ගස්වල රනිල්ගෙ පෝස්ටර් තිබුනා. සතියකින් යූ.ඇන්.පී කාර්යාලයක් ගෙදරම ඇරුනා. ගමේ යූ.ඇන්.පී බලවේගෙට එකතු වෙන්ඩ තැනක් හැදුනා.

චන්ද්‍රිකා දිනුවා. නිලමෙ දවස් කීපෙකට හැංගුනා. අසංකලත් නිලමෙගෙ ගේ ඉස්සරහ පොඩි සද්දයක් දානවට වඩා දෙයක් කලේ නෑ. ගම ආපහු සුපුරුදු තත්වෙට ආවා. ඒත් පොඩි වෙනස්කම් දෙකකුත් ඇතුව. අසංකව හමුදාවෙන් අල්ලගෙන ගියා. යූ.ඇන්.පී ප්‍රාදේශීය සභා/පළාත් සභා මන්ත්‍රීවරු ඉඳහිට ගම මැදින් ගිහින් නිලමෙගෙ ගෙට ගොඩ වෙලා ගියා.

ඇත්තටම නිලමෙට කලින් තිබුනට වඩා තැනක් ලැබුනා. යූ.ඇන්.පී විමධ්‍යගත අරමුදල් කලෙක්ෂන් එකකින් ගමේ අතුරු පාරකට කණු 10 ක විදුලි දිගුවක් ලැබුනා. එතන පවුල් 16 කින් 10 ක් නිලමෙට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලා. මරණාධාර සමිතියට පුටු හතලිහක් අරන් දුන්නා. කාන්තා සමිතියට සාස්පාන් කට්ටලයක් ලැබුනා. පන්සලට ලවුඩ්ස්පීකරයක් ලැබුනා. පාරවල් තුනකට නිලමෙ මූලික වෙලා බොරළු දැම්මා.

නිලමෙ මැරෙනකොට නිලමෙගෙ නංගිගෙ බාල පුතා ගමෙන් පලමුවෙනි වතාවට ප්‍රාදේශීය සබාවට ඉල්ලුවා. නෑදෑ සනුහරෙත් එක්ක යූ.ඇන්.පී කාරයො සෑහෙන දෙනෙක් ගමේ බිහිවෙලා හිටියා. මොකද පෙරමුණ ඇතුලෙ පුද්ගලික කෝන්තර වලදි උනත් යන්ඩ තැනක් හැදුන නිසා වෙන්න ඇති. චන්දෙ කාලෙට ‍සන්දානෙ පක්ෂ කාර්යාලෙ උනත් බීගෙන විකාර කරනවට වඩා ටිකක් සීරුවෙන් ඉන්ඩ වෙන තැනට වැඩ කටයුතු සැලසෙමින් තිබුනා.

---------------------------------

ජයවික්‍රම පෙරේරත් වචන කීපයක් කතා කලා. මම උන්නෙ ටිකක් ඈතින්. කාලෙකින් හම්බවෙච්ච ප්‍රසන්නත් එක්ක කදයක් දාගෙන. නිලමෙ ගැනම තමා. "මරු පොරක් බං.... මැරෙනකං අමතක නොවෙන චරිතයක්.... "

මම කිව්වෙ ඇත්තටම.

"එක රැයින් පක්ෂෙ මාරු කරපු පොරක් නේ... හහ්.."

"හ්ම්... අර අසංකයල ගහලද මොකද්ද එකක්නෙ...?"

"මොන පිස්සුද බං....?"

මට ඒ අපබ්‍රංසේ තේරුනේ නෑ.

"අසංකයල ගහපු එකක් නෑ... මේක කවුරුවත් දන්නෙත් නෑ.... ඌට ගැහුවේ අපේ නන්දන අයියා........"

නන්දන කියන්නෙ ප්‍රසන්නගෙ නෑ කමට අයියා වෙන කෙනෙක්. පදිංචි අර කිරිකෝන් ගහ කිට්ටුව.

"නන්දන..... ? මිනිහා දේශපාලනේ කලේ නැනෙ....?"

"මොන දේශපාලනද බං?..... මූ හැමදාම රෑට බීගෙන කුණුහරුප කියෝන හින්දා නන්දන අයියට මල පැනලා උන්නෙ ගෙදර දරුවෙක්වත් හදාගන්ඩ බෑ කියලා..... එදා නන්දන අයියා කළුවරේම මූට ගහලා පැනල දුවලා........"

"......."

"උඹ හිතන්නෙ මං බොරු කියනවා කියලද?"

"....... නන්දන...? එතකොට අසංකයල නෙමෙයි....?"

ලංකාවට ලොකුම හිසරදේ වෙලා තිබ්බ ප්‍රභාකරන් මැරිල වැටුනෙත් කාගෙ හරි අහක යන විසිල් පාරක් දුර දිග ගිහින් කියල කවුරුහරි කිව්වොත් මම නං ඒක ගැන දෙපාරක් හිතනවා.

28 comments:

  1. පට්ට.
    මම ආසම වැඩේ තමයි උබ ගොඩක් කතාවල එන්ඩ් එකට කිට්ටුව කරන දේ. වමට සිග්නල් දාගෙන ඇවිත් එක පාරටම දකුණට හරවන එක.

    ""ප්‍රභාකරන් මැරිල වැටුනෙත් කාගෙ හරි අහක යන විසිල් පාරක් දුර දිග ගිහින්.... ""

    කවුද දන්නේ, ප්‍රභා පොට්ටු අම්මාන්ගේ නෝනට ලයින් එකක් දාන්න ඇවිත් පොට්ටුවට ඒකට මල පැන්නද කියලා? ඔය පොට්ටුවගේ බොඩි එක හම්බුනේත් නැහැයි කියලනේ රට්ටු කියන්නේ.

    ඒයි උඹ මේ පාරත් කොටින්ට කඩේ ගිහින් නේ?

    ReplyDelete
  2. ඇත්තටම ඒ මනුස්සයට පහර දීල තියෙන්නේ අසංක.ඒ මනුස්සයගේ හිතේ හිටිය අසංක.

    ReplyDelete
  3. දේශපාලනික ලිපි කියවන්න බැරි තරම් කම්මැලී කෙනෙක්ට , දේශපාලනය හිතට රිංගවන අපූරු හැකියාව චාර්මිට අගේට පිහිටල....

    නන්දන දේශපාලනික ජීවියෙක් වුනේ යම් සේද , චාර්මිගේ ලිපි කියවන ඇතැමුන් ද නන්දනලා බවට පත් වෙනවා .... නොදැනිම වුනත් ලොකු ලොකු වෙනස් කම් කරන්න හවුල් වෙන නන්දනා බවට පත් වෙනවා...

    ReplyDelete
  4. ගොඩක් පැති හිතන්න චාර්මි ලියන කථා වලින් අපට ඉඩ සලස්වනවා

    ReplyDelete
  5. හෙ හේ..ලස්සන වගේම හතර අතට ප්‍රහාරාත්මක කතාවක්!

    ReplyDelete
  6. බණ්ඩාරනායක ශ්‍රිලනිපෙ හැදුවෙත් නිලමෙගෙ ජාතියෙ තීන්දුවක් අරන්නෙ.

    ReplyDelete
  7. මාරයි බන් . . . .

    දේශපාලන පක්ෂ ඔලුව උඩ තියාගෙන කෑ ගහන මෙන්න අපේ මෝඩ මීහරක් පොරවලගේ දේශපාලන දැක්මේ නිරුවත මේකයි මචෝ . .

    ReplyDelete
  8. පට්ට.

    දේශපාලනයේ අන්ධකාර සත්‍යය

    ReplyDelete
  9. චාමිගෙ පෝස්ට් කියෙව්වාම දෙපාරක් ආපහු හිතන්න වෙනවා මට. මුල ටික කියවලා අගට කියවද්දි මම ඉන්නේ වෙනම කතන්දරයක් අස්සේ හින්දා.
    දේශපාලනය නම් මහ විහිළුවක් අපේ රටේ. මාත් හිතන් ඉන්නේ කන්න බොන්න අඳින්න නැති කාලේක දේශපාලනේ කරන්න.

    මේ දවස් වල විසිල් පාරටත් මිනිස්සු මැරෙනවා වගේ චාමි.....

    ReplyDelete
  10. මං කියන්ට හිතපුදේ මාලන් කියලනේ.. :(
    ඇත්තටම චාමිට බැයිද එක පෝස්ට් එකක්වත් කොටින්ට කඩේ නොයා ලියන්ට.. :)

    ReplyDelete
  11. ඔක්කොමත් හරි... අන්තිමට දාපු විසිල් කතාවත් හරි... ඇයි බන් ඔච්චරටම කොටි ගැන අනුකම්පාව...

    ReplyDelete
  12. නිව්ස්! අම්මපා ඕව විස්වාස කරන්න බැරි තරම් සැක සහිතයි. නමුත් ලංකාවෙ අස්සවල් වල දේශපාලනේනම් ඕං ඔහොමයි. හැබැයි එහෙම කියල මේ පත ටවුන් වලත් කතාව ඔයිට දෙවෙනි නෑ.

    ReplyDelete
  13. ඡන්දෙන් දිනන අය බුරුතු පිටින් එක රැයට පක්ෂෙ මාරු කරද්දි, ඡන්දෙ දෙන මිනිහෙක් එක රැයකින් පක්ෂෙ මාරු කරන එක දුර්ලභ දෙයක් වෙලා.

    චාමිගෙ රචනා ශෛලිය හරිම සිත් ඇදගන්නා සුළුයි. අර පක්ෂ කාර්යාලෙ ඡන්ද උණුසුම.... :D

    හාස්‍යය සපිරි සිදුවීම් මාලාවක් මැද්දෙන් අනපේක්ෂිත අවසානයක් කරා යන හැටි අපූරුයි.

    ReplyDelete
  14. /* හැන්දෑවට බොහොම තදට මැතිවරණ උණුසුම. */

    අපේ අහත් ඔහොම තමයි හැබැයි හෙනහුරාදාට!

    ReplyDelete
  15. මරු කියන්නෙ මරේ මරු :D

    ReplyDelete
  16. හප්පා... මරු ලොකු අයියේ! බල්ලා කාලා තාත්තා මැරිච්ච එකෙක් බල්ලව මරලා හිත හදාගන්නකොට එහා ගෙදර එකා පොලීසියට බාර වෙලාලු. මරු මරු! ඔහොම තමයි අප්පා නිව්ස්!

    ReplyDelete
  17. හක් හක්.. නිකං ෂර්ලොක් හෝම්ස් කතාවක් වගේ.. :D

    ReplyDelete
  18. පක්ෂේ මාරු කරන්න ඔය පොඩි සීන් එකක් ඇති කවදටත්.අද නන්දන පක්ෂෙ මාරු කලේ ඔය පර අඹුවක් හින්දාලුනේ ඔන්න.

    @මාලන්-
    කොටියට කඩේ යනවා නෙවෙයි

    //ලංකාවට ලොකුම හිසරදේ වෙලා තිබ්බ ප්‍රභාකරන්//
    ඔය ලොකු අයියා බැන අඬගහන ඇනෝලාවත් ෂේප් කරගෙන තියෙන්නේ.

    ReplyDelete
  19. උපරිමයි..! වාතවේග සාහිත්‍ය එහෙමත් නැතිනම් නිවුස් කියන දේ සමාජය ඇතුලේ හැසිරෙන්නේ කෝහොමද කියන එකට මේතරම් හොඳ උදාහරණයක් වෙන නැතුව ඇති.

    ReplyDelete
  20. හෙහ් හෙහ්..හික්ස්.

    අනේ මන්ද සෑර්, මේක ලංකාවෙ වෙච්චි එකක් වෙන්ඩ බෑ.
    මොකද ලංකාවෙ මිනිස්සු හැමදාමත් කලේ ප්‍රතිපත්තිමය දේශපාලනය.

    ReplyDelete
  21. කොහෙන් ගියත් ෆීල්ඩ් එකේ අපේ විනය ගත හමුදා සෙබලෙක් ඉන්නවම තමයි.
    ලංකාවේ මිනිස්සුන්ගෙ දේශපාලන ප්‍රතිපත්ති වල ගැඹුර ‍කොයිතරම්ද ඇත්තට?

    ReplyDelete
  22. චාමි වෙනද වගේම පොඩි පොඩි සිද්ධි කීපයකින් ලොකු කතාවක් කියලා...
    දේශපාලන පක්ෂවල බිම් මට්ටමේ වගේම ඉන් උඩත් පිල් මාරු සිද්ද වෙන්නෙ මේ වගේ පුද්ගලික ප්‍රතිලාහ, සිත්-රිදවීම් හේතුවෙන්. පොඩ්ඩෝ බෝතලයක් වෙනුවෙන් ගන්න තීරනය ලොක්කෝ ව්‍යාපෘතියකින් හම්බ වෙන කොමිස් මුදල හින්ද ගන්නවා.

    ReplyDelete
  23. මම හිතන්නේ නෑ චාමින්ද කොටින්ට කඩේ ගිහින් කියලා. මෙතන ඊට වඩා ගැඹුරු කතාවක් තියෙනවා. ලංකාවේ අපේ දේශපාලන ප්‍රතිපත්ති වලට මේකෙන් රිදෙන්න වදින්නේ. ලංකාවේ මිනිස්සු, (ඒ කියන්නේ සහෝදර සහෝදරියෝනේ) වැඩි හරියක් ලඟ තියෙන්නේ තමන්ට අනන්‍ය වුනු දේශපාලන කතිකාවක් හෝ ප්‍රතිපත්තියක් නෙවෙයි. "දේශපාලන පක්ෂයක්".. read between lines...

    ReplyDelete
  24. වැඩ අධික හින්දා වෙලාවක් තිබුනේ නෑ එන්න.සොඳුරු සිත කියනවා වගේ දේශපාලනේ දන්නෙම නැතුව අඟට එනවා කියවද්දී.

    මංද මං කීපාරක් කියෙව්වද කියලා. මට වැඩිය ළමයි කියවනවා මගේ හිතේ.

    ReplyDelete
  25. ලස්සන එමෙන්ම බොහොම වැදගත් කතාවක්. ප්‍රබාකරන් මැරුනේ මාවිල් ආරු විසිල් එකෙන්. මාවිල් ආරු විසිල් එක උන්නැහේ විසින්ම පිඹ ගත්තේ නැත්නම් එතුමා තාමත් ඉන්නව ඓතිහාසික සටන් විරාමෙට පිංසිද්ධ වෙන්න, හැමෝටම හිසරදයක් වෙවී.

    ReplyDelete
  26. මේ ලංකාවෙද... ? ලංකාවෙ තියෙන්නේ හරි ලක්ශන දේශපාලනයක් නෙව.... මේ වෙන රටක වෙන්ට ඕනි

    ReplyDelete
  27. අම්මේ ආයෙත් ලිපිය කරලියට ආවා , ඒ කියන්නේ මේකම තමා තාමත් කතාව

    ReplyDelete