Friday, April 5, 2013

එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා....!!


මේක ලියන්නෙ විශේෂ ආරාධනයක් කරන්න. අපි ලොකු වැඩක් පටන් ගත්තා. මේකට ඔබේ දායකත්වයත් අනිවාර්යෙන්ම ඕනෙ. නැත්තං වැඩක් නෑ.

මේ බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳං ආපු ලොකුම චෝදනාවක් තමයි මම හතරවටේටම නෙලමින් ඉන්නව මිසක් කිසිම ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. මං ඕක ගැන සෑහෙන්න බරපතල විදිහට හිතුවා. ඒ කතාවෙ සීයට පහක විතර ඇත්තක් තියෙන බව අද මං නිහතමානීව පිලිගන්නවා. ඒකට විසඳුමක් විදිහට තමයි මේ වැඩේ පටන් ගත්තෙ.

ඇත්ත‍ටම මේක සංවිධානයක්. මේකෙ නම ‘පූර්ණ මානව නිදහස සඳහා වන බුද්ධිමතුන්ගේ ජාතික සංවිධානය’. (හෙවත් පූ.මා.නි.ව.බු.ජා. සංවිධානය) මේ වෙනකොට සාමාජිකයො තුන්සීයක් විතර ඉන්නවා. දැනට සභාපති මම. (කට්ටියගේ පෙරැත්ත කිරීම හින්දමයි. නැත්තං තනතුරු බලාගෙන අපි කවද්ද වැඩකෙරුවෙ?). ලේකම් අපේ ගමේම හාදයෙක්. ඔය කාරක සභික මොකද්ද එකකට අපෙ නෝනත් ඉන්නවා.

අපේ සංවිධානයේ ප්‍රධානම අරමුණ සමාජිකයන්ගේ පූර්ණ මානව නිදහස ආරක්ෂාකර දීම. 

දැන් බලන්න අද අපිට මොනම පැත්තකින් වත් නිදහසක් නෑ. ආයතනයකට ගියොත් ලොක්කන්ගෙ රැස්පොට් බලන්ඩ ඕනෙ. කඩේකට ගියොත් මුදලාලියගේ ගෙම්බර් බලන්ඩ ඕනෙ.  රුපියලක කෝල් එකක් ගත්තාම සත තිස් ගානක් ආණ්ඩුවට දෙන්ඩ ඕනෙ. මුදලාලිලා විකුණන ගානට බඩු ගන්ඩ ඕනෙ.

නිදහසේ කැමති ඇඳුමක් අඳින්න  බෑ. හැමදේටම නීති. හයියෙන් සින්දුවක් දැම්මොත් අල්ලපු ගෙදර එකා 119 ගහනවා.  බුලත්විටක් කාල කෙල ගැහුවොත් උසාවි. සිගරැට් දිහා බලන්ඩත් තහනම්. හදිස්සියකට හෙල්මට් එකක් නැතුව බයික්එකක යන්න බෑ. මොන හදිස්සියක හිටියත් ලඟපාත කහ ඉරක් නැත්තං වාහන නැති වෙලාවක් බලලවත් හදිස්සියකට පාර පැනගන්න බෑ. වාහනේක කොච්චර හිමින් ගියත් සීට් බෙල්ට් එක දාගෙන හිරවෙලා යන්ඩ ඕනෙ. පයින් යද්දි දකුණෙන් යන්න ඕනෙ.

රටේ මානව හිමිකම් කෙලෙසිලා.  නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බෑ. දේශපාලකයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බෑ. ඒව කෙරුවොත් සුදු වෑන් එනවා. තමුන් කැමති දේශපාලනයක් කරන්න බෑ.

ඉතින් බලන්න. හැම පැත්තෙන්ම අපේ නිදහස ඇහිරිලා.  හැම පුංචි දේකටම නීති. ඒක නිසාමයි අපි මේ නව සංවිධානය බිහිකරන්නෙ. අපේ සංවිධානය තුල අනවශ්‍ය නීති වලින් තොරව සාමාජිකයන්ට සීයට සීයක්ම නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලබාදීම තමයි එකම අරමුණ.

අපේ සංවිධානය ආරම්භ කලේ බොහොම පුංචියට. නමුත් පස්සෙ මේකෙ උතුම් අරමුණු ගැන පැහැදුනු පිරිස විශාල වශයෙන් සාමාජිකත්වය ගන්න ආවා. සාමාජිකයො වැඩිවෙන කොට පුංචි පුංචි ගැටළු මතුවුනා තමයි. අපි ඒවට යම් යම් පිළියම් යොදල තියෙනවා. මොකද අපේ සංවිධානෙ ශක්තිමත් වෙන තරමට තමයි අපේ අරමුණට ඉක්මනට යන්න පුළුවන්.  

දැන් උදාහරණයක් ගත්තොත්, මාසෙකට වරක් තියෙන අපේ රැස්වීම තමයි වැදගත්ම. අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි සාමාජිකයො හිතුනු හිතුනු වෙලාවට රැස්වීමට ඒම.  ඉතින් අපි නීතියක් සම්මත කර ගත්තා රැස්වීම ආරම්භ වී විනාඩි පහකට පසු පැමිණෙන කිසිම කෙනෙක් ශාලාවට ඇතුලත් කර ගන්නෙ නෑ කියලා. ඒක ගොඩක් සාර්ථක වුනා. තව ආවා විනය ගැටළු. මොකද එක එක ජාතියෙ මිනිස්සු සාමාජිකයන් අතරෙ ඉන්නවනේ. සමහරු අපේ නිලධාරින් තැන් තැන් වල විවේචනය කරලා තිබුනා.  තව සමහරු රැස්වීමට බාධා වෙන විදිහෙ ප්‍රශ්න අහනවා. සාමාජික සාමාජිකාවන් අතර අනවශ්‍ය සම්බන්ධතා කිහිපයකුත් අපිට අහුවුනා. ඇත්තටම මේවා නිසා පවුල් ආරවුල් ඇතිවෙනවනේ. අපි දැන් විනය කමිටුවකුත් පත්කරලා තියෙන්නෙ. ඒක නිසා අපේ සංවිධානය දැන් ඉස්සරටත් වඩා සුරක්ෂිතයි. අපේ ඉලක්කය දැන් පේන දුර.

මම ආරාධනය කරන්නෙ නිදහස්කාමී ඔබගේ මෙන්ම මනුෂ්‍ය සංහතියේ පූර්ණ නිදහස අත්පත්කරගැනීම සඳහා අපි යන ගමනට එක්වීමට නම් අපගේ “පූර්ණ මානව නිදහස සඳහා වන බුද්ධිමතුන්ගේ ජාතික සංවිධානයේ”  ඔබත් සාමාජික වෙන ලෙස.
------------------------------------------------

(පහත කොටස සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වන්නන් සඳහා පමණි.)

අපගේ සංවිධානය මේ වන විට ඉතා ශක්තිමත් බව ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙනි. මේ වන විට අප නව ව්‍යවස්ථාවක්ද ඒකමතිකවම සම්මත කරගෙන සිටින්නෙමු. අප ව්‍යවස්ථාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පහත දක්වා ඇති අතර, මෙම නියමයන්ට එකඟ නම් පමණක් සමාජිකත්වය ඉල්ලම් කරන ලෙස දන්වමි.

1.      සියළු රැස්වීම් සඳහා සාමජිකයන් නියමිත වේලාවට සහභාගි විය යුතුය. රැස්වීම ඇරඹී විනාඩි පහකට පසු පැමිණෙන කිසිවෙක් රැස්වීමට ඇතුලත් කරගන්නේ නැත.

2.      පිට පිට රැස්වීම් වාර තුනකට සහභාගි නොවුනහොත් සාමජිකත්වය අවලංගු වේ.
3.      සංවිධානයේ වැඩසටහන් සඳහා සහභාගි නොවන්නන් ඒ සඳහා රුපියල් 500/- ක දඩ මුදලක් ගෙවිය යුතුය.

4.      සංවිධානය හෝ නිලධාරින් පිටස්තර තැන්වලදී විවේචනය සපුරා තහනම්.

5.      මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සාමාජිකයන්ට අයිතියක් නැති අතර, විශේෂ අවශ්‍යතාවයක් වුවහොත් ගරු සභාපතිතුමාගේ නිසි අවසරය ලබාගත යුතුය.

6.      රැස්වීම් සඳහා බීමතින් පැමිණීම තහනම්. රැස්වීමට බාධා වන ලෙස කතා කරන්නන් රැස්වීමෙන් ඉවත් කිරීමේ බලය විනය කමිටුව සතුය.

7.      සංවිධානය පිළිබඳ ප්‍රචාරක කටයුතු කිරීමේ බලය ඇත්තේ ප්‍රචාරක කමිටුවට පමණි. ප්‍රචාරක කමිටුව තමුන් ප්‍රචාරය කරන කරුණු පිළිබඳව සභාපතිතුමාගේ නිර්දේශය ලබාගත යුතුය.

8.      රැස්වීම් වලදී පොදු මහජන යහපතට අදාල දේ හැර පුද්ගලික කරුණු කතා කිරීම තහනම්.
9.      මාසික සාමාජික ගාස්තුව රු.200/- කි. පිට පිට වාර තුනක් එය නොගෙවීමෙන් සාමාජිකත්වය අහෝසි වේ. 

10.  නව යෝජනා ඇත්නම් සති දෙකකට පෙර ලේකම්වරයාට ඒවා ලබාදී න්‍යාය පත්‍රයට ඇතුලත් කල යුතුය. න්‍යාය පත්‍රයේ නැති යෝජනා සාකච්ඡාවට ගැනීම තහනම්.

11.  රැස්වීම් සඳහා පැමිණිමේදී සංවර ඇඳුමක් හැඳ පැමිණීය යුතුය. අසංවර ලෙස හැඳ පැළඳ පැමිණෙන්නන්ට රැස්වීමට සහභාගි විය නෙහැකිය.

12.  දිගින් දිගටම සභාවේ වැඩවලට බාධා කරන්නන් සහ අසැබි වචන භාවිතා කරන්නන්ගේ සාමාජිකත්වය ක්ෂණිකව අහෝසි කිරීමේ බලය විනය කමිටුව සතුය.

13.  අප සංවිධානය පාවාදෙන්නන් සහ එය දුර්වල කිරීමට ක්‍රියාකරන්නන් ‘ද්‍රෝහීන්’ වශයෙන් නම්කොට පලවා හැරේ. ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුටත් කිසිදාක නැවත සාමාජිකත්වය ලබා නොදේ.

14.  මෙම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් කල හැක්කේ වසර දෙකකට වරක් පැවැත්වෙන මහා සභා රැස්වීමකදී අටෙන් හතක බහුතර චන්දයකින් පමණි.

එසේනම් පැමිණ අප හා එක්වන්න .....!!
පූර්ණ මානව නිදහස දිනේවා.....!!!
----------------------------------------------

ප/ලි - අප සංවිධානය පීඩිතයින්ගේ විමුක්තිය උදෙසා සටන් වදින වාමාංශික පක්ෂයක් යැයි විවිධ අය ගෙනියන බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා. දෙයියම්පා අපි දන්නා මාක්ස්වාදයක් නැත.

22 comments:

  1. 15. සභාපති ගේ නිල කාලය වසර දහයකි. එක් අයෙකුට තුන්වරක් සභාපති තනතුර දැරිය හැකිය.

    16. ලේකම් ගේ නිල කාලය දෙවසරකි.

    17. කාරක සභික තනතුර යාවජීව වේ.

    18. සභාපති තනතුරර සඳහා නාමයෝජනා දිය හැක්කේ කාරක සභිකයෙකු ලෙස වසර තිහක් සේවය කළ අයට හෝ ඔවුන් ගේ දරුවන්ට පමණි

    ReplyDelete
    Replies
    1. විහිළු නෙවෙයි ඔය වගේ සමිති ඇත්තටම තියෙනවා ඉස්කෝලවල ආදිශිෂ්‍ය සමිති කියලා. ඒකක විධායක සභිකයෙක් වෙන්න අවුරුදු පහක් සාමාජිකයකු වෙන්න ඕනෑ. නිලයකට තරඟ කරන්න අවුරුදු තුනක් විධායක සභිකයකු වෙලා ඉන්න ඕනෑ. ඉතින් ළමයෙක් ඉපදුනු දවසෙ බැඳුනත් නිලයකට එනකොට ළමයා වෙන ඉස්කෝලෙක තුනේ විතර!

      Delete
  2. අපෝ දැන් කාලෙ මොකටද සල්ලි ගෙවල සංගම් වලට බැඳෙන්නෙ. ඒව පරන කාලෙ වැඩ.

    මිනිස්සුන්ට තියන ප්‍රශ්න අමතක වෙන විදියෙ වැඩ කරන්න පුලුවන් ඕන සෙට් එකකට අත හිත ජනතා ආන්ඩුවෙන්. මොකද කියන්නේ? එහෙම එකක් හදමුද? පස්සෙ හොඳ තැනක රස්සාවකුත් ශුවර්. වැඩි දෙයක් ඕන නෑ. නිකන් "ඇමරිකන් විරෝදී සේනාව" වගේ එකක්? විමල් ඉන්නවනෙ හෙල්ප් එකට. ඉස්සෙල්ලම පොරව දාලා මොනව හරි බොරු ටිකකුයි මෝඩ කතා ටිකකුයි කියවල මාධ්‍ය සාකච්චාවක් දැම්ම. දවස් දෙක තුනක් KFC යන අයට කුනු බිත්තර ගැහුව. පොඩි ෆේස් බුක් ප්‍රචාර ටිකක් ඇරිය (මේ මේ... FB, G-mail ඔට්ටුයි හරිද. ආහ්.. තව කොකා කෝලත්, නැත්තම් බොන එවුන් ටික ගෙන්න ගන්න වෙන්නෙ නෑ) වැඩේ ගොඩ.

    ReplyDelete
  3. බැඳෙන්න නම් ආසයි. ප්‍රශ්න දෙකක් තියනවා.
    1. සාමාජික මුදල් හොයා ගන්න ඕනෙනේ.
    2. බුද්ධිමතුන් ගේ කියන කොට අපිට බැරි ද එතකොට?
    ඔන්න ගැටලු.

    ReplyDelete
  4. මේ ව්යරවස්ථාව දැක්කොත් දැන් ඔය අලුතෙන් පටන් ගන්න නොයෙකුත් සංවිධාන කොපි කර ගන්න බැරිකමකුත් නෑ...
    කොයි තරම් යහපත් අරමුණික් පටන් ගත්තා උණත් ආයතනගත වෙද්දි මේ වගේ අරමුණු අමතක වීම්, උඩුයටිකුරු වීම්, වල් වැදීම් වෙන්න පුළුවන්... ගොඩක් සමාජ ව්යා්පාරවලට සංවිධානවලට අත් වෙන්නෙ ‍මේ ඉරණම නේද?

    ReplyDelete
  5. ෂා නියම සංවිධානයක්....සංවිධානයේ නීතීත් සංවිදානයේ අරමුණු වලට හරි අපූරුවට ගැලපෙනවා.,,,...

    1, වේලාව පහු වෙලා ගියොත් ‍රැස්වීමට ගන්නේ නැති හින්දා ඒ වෙලාව හයියෙන් සින්දු අහන්න පුලුවන්...

    2. පිට පිට ‍රැස්වීම් 3 ක්ට ආවේ නැත්නම් සාමාජිකත්වය අහිමි වෙන හින්දා, ඒදාට වාහනේ හයියෙන් යන්න පුලුවන්
    3. කෝල් ගන්නේ නැතුව ඉදලා රුපියලට ශත් 30 ගානේ ඉතුරු කරන සල්ලි වලින් රු 500 ගෙවන්න පුලුවන්..ඒක නම් හරිම සුලු ගානක්
    4. සංවිදානය විවේචනය කරන්න තහනන් හින්දා පර දේසපාලුවෝ විවේචනය කරන්න ඒ කාලය යොදා ගන්න පුලුවන්...
    5. මාධ්‍ය එහෙම දෙයක් තියෙන්වද...මං හිතන්නේ මේක වැරදීමක්
    6 බීමතින් යන එක තහනම් හින්දා මිනිස්සු බොන එක නතර කරනවා..ඒතකොට ආන්ඩුවට බදු ගහන්න අරක්කු විකිනෙන්නෙ නෑ..හොද වැඩේ... බදු ආදායම් නැතුව නීති හදන ආන්ඩුව භංග වෙනවා

    7 සාභාපති තුමා කොපිරයිට්ස් ඕනේ නෑ කියන හින්දා ඕනම ප්‍රචාරනයක් හරි..ඒක නම් නිදහස උපරිම දීමක්...ඇහැව්වත් නැහැව්වත් උත්තරේ ඕ කේ
    8. සංවිදානයේ ඉන්නේත් පොදු මහජනතාවගේ උපකුලකයක් හින්දා මේතැන ඕනේම කෙනෙක් ගැන ඕනේම දෙයක් කතා කරන්න පුලුවන්..

    9 සමජික ගාස්තු ගවෙන්නෙ නතුව සාමජිකත්වය අහිමි උනාට අවුලක් නෑ...මේකේ බදවා ගැනීමට ගාස්තුවක් නෑ...එක හින්දා නව සමාජිකයේක් විදිහට එනවා...
    10 නව යෝජනා ඕනේ නෑ...එකම යෝජනාව 'නීතී එපා'...
    11. සංවර අසංවර ඇදුම්..මේක හිරුනිකා නංගිව මේ සමාජේට ගෙන්න ගන්න ගෙනාපු දෙයක්...සංවිධානෙට ආවාම ඒයත් බුද්ධිමතියක්....
    12 සංවිධානය දුර්වල කරන අය පන්නනේ නෑ..මේක පොඩ්ඩක් බය කරන්න ගෙනාපු එකක්.මේකේ ටෙක්නිකල් ටර්ම් එක ගොනී බිල්ලෝ පෙන්නීම


    13. 'නීති එපා' කියන එක අයින් කරයි කියලා බයටයි මේක දාලා තියෙන්නේ...කොහොමද නීතිය


    මේක හරිම සිම්පල් ප්ලෑන් එකක්..මාවත් ගන්න හෝදේ




    ReplyDelete
  6. //බී-මතින් පැමිණිය නොහැක//


    01)ඇවිත් බිව්වට කමක් නැද්ද ?
    02) බිව්වත් , මත් නැත්නම් එන්න පුලුවන්ද ?
    03) කේරල ගංජාද , ලංකාවේ ඒවද නිර්දේශ කරල තියෙන්නෙ ?

    ReplyDelete
    Replies
    1. ඔය සංවිධානයේ රැස්වීමකට එනකොට ඇඳන් එන්න ඕනැ ඇඳුමක් හෙම තියෙනවද? නැත්නම් හිරුණිකා නංගි උසාවි ගියා වගේ එන්න පුළුවන්ද?

      Delete
  7. මෙතන කමෙන්ට් කරන ඔක්කෝම ඌණ පූර්ණ නීති ටික දායි. ආයෙත් මම ඒ ගැන වද වෙන්නේ නෑ. මේ ඒක නෙමේ ජොයින් වෙන්නම්, ඊට කලිං කියහං උඹල 'සුවාදීන' ද කියල.

    ReplyDelete
  8. ඉරිදා පත්තරයක ප්‍රධාන සිරස් තලයකි.

    “ පූ.මා.නි.ව.බු.ජා සංවිධානයේ ඊයේ පැවැති මහා සභා රැස්වීම සිදු වූ බහින් බස් විමක් දුර දිග යෑම හේතුවෙන් ඉන් කැඩී ගිය සාමාජිකයින් සහ නිළධාරීන් පිරිසක් විසින් තවත් අලුත් සංවිධානයක් ආරම්භ විය හැකි බව තතුදන්නෝ පවසති.“

    බහින් බස් වීමට හේතුව සාමාජිකයින් පිරිසක් බීමතින් පැමැණීම වූවද නිළධාරි මණ්ඩල සිදු කළා යැයි පැවැසෙන නීති විරෝධි තවත් අකටයුතු සමූහයක් ඉන් එළිවී ඇති බව ද තතු දන්නෝ වැඩි දුරටත් පැවසූහ. අප පුවත් පත මඟින් එම සංවිධානයේ සභාපති යැයි කියා ගන්නා “චාර්මි“ නැමැත්තෑ ඇමතීමට උත්සාහ ගත්ත ද දුරකථනය ක්‍රියා විරහිතව තිබුනි. ඔහු සිය සාමාජිකයින් වෙනුවෙන් නීති පැනවුයේ ඔහු ලත් නිදහස රැක ගැනීමට බව තම අනන්‍යතාවය හෙලි කිරීමට අකැමැති වූ සංවිධානයේ ක්‍රියාකාරියකු අප සමඟ පැවසුවේය.
    වැඩි දුර කියවීමට ඇතුලු පිටු බලන්න.

    ReplyDelete
  9. වමේ පක්ෂෙකටම කනෙක්ට්වෙන එක වැඩිය හොදයි.

    ReplyDelete
  10. එන්නන්කෝ ඔන්න ඔහේ ලොකු කොල්ලට හරි
    වැඩක් වේවිනෙ ඌ කර දඬු මහත් වෙලා එන කාලෙකට ..

    ReplyDelete
  11. මම බුද්ධිමත් කෙනෙක්. ඒ නිසා මේ සංවිධානෙට බැඳීමට ඉතා කැමැත්තෙන් සිටිනවා. කරුණාකර සාමාජික මුදල් ගෙවන්නේ කොහොමද කියා දන්වන්න පුලුවනිද? ඒ එක්කම අහන්න තවත් ප්‍රශ්නයක් තිබෙනවා. රැස්වීම් සඳහා ප්‍රවාහන පහසුකම සපයනවද? කෑම බීම නොමිලේ සපයනවද?
    කරුනාකර ඇඳිය හැකි ඇඳුම් ලැයිස්තුවක් පල කරන්න.

    ස්තූතියි.:)

    ReplyDelete
  12. "නීති එපා යකෝ" යන සටන් පාඨයෙහි පූර්ණ අයිතිය පු.මා.නි.ව.බු.ජා. සතු වන අතර උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

    ReplyDelete
  13. මං ඕකෙ සාමාජිකත්වය ගන්නවා. හැබැයි පහුවදාම තවත් සංගමයක් හදනවා පුමානිවබුජාවෙ නීති රීති වලින් ඇහිරෙන මානව නිදහස ආරක්ෂා කරගැනීම සඳහා. මොන මගුලක්ද හදිස්සියෙ ෂොට් එකක් දාල ඉන්න වෙලාවට රැස්වීමට යන්න බෑ, රැස්වීමට යන අතරමගදි කක්ක බරක් හැදුනත් පරක්කු වෙන්න බෑ. හරිම අමානුෂික නීති තියෙන්නෙ.

    ReplyDelete
  14. ජෝර්ජ් ඕවල් ගේ Animal Farm මතක් වුනා. :)

    ReplyDelete
  15. ගහන එක ගහලා තියෙනවා පොරි හැලෙන්නම. මෙහෙම උන් තමයි එකාධිපතිභාවයක් තියෙනවා කිය කියා කෑ ගහන්නේ. පෝස්ටරෙත් පට්ට...

    ReplyDelete
  16. හුටා මං හිතුවා අළුත් සංවිධානයකට බැදෙන්න කතා කරනවා කියලා..බැලින්නං මේ අර හිරිකොතේ තියෙන ලයිස්තුවමනේ... යකෝ චාර්මියා අපිට මේ බුලත් දෙන්නේ හිරිකොතට ගාටන්ටද..? කිලී මහ රාජටම කියාපිය කිව්වළු මෙව්වා... :D :D :D

    හා දැන් වෙඩි තියාන්ට පටාන් ගන්ට... :D

    ReplyDelete
  17. ඇට ගැහුනු ඇගවල්ය - ණයට කන බඩවල්ය
    වේලකට හාල් පොල් - අරන් යන පොරවල්ය

    මග දෙපස කොඩිවැල්ය - මුව සිනහා මන ලොල්ය
    ගාඩ් පිට ඇමතිවරු - ඇදෙන හැටි ආතල්ය.

    https://www.youtube.com/watch?feature=player_embedded&v=gMVvlq0d3jA

    ReplyDelete
  18. සංවිධානෙ ට බැදෙන්න එොඥ්ඤකෝ

    ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
  19. ඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete