Wednesday, November 14, 2012

නියම බුද්ධ පූජාව යනු කුමක්ද?


ඊයෙ පොඩි වැඩක් වුනානෙ. මේ දවස්වල රාවය පත්තරේ ආචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්ගෙ ‘සත්යෝදය’ පොත ලිපිමාලාවක් හැටියට පලවෙනවා. ගිය ඔක්තෝබර් 28 වෙනිදා ඉඳන්. ඉතින් නිකමට වගේ ඒකෙ බුද්ධ පූජාව ගැන උන්වහන්සේගෙ අදහසක් විතරක් උපුටලා ‘POLLS - ඡන්ද විමසීම්’ මුහුණුපොත් සාමූහිකයේ ප්‍රශ්නයක් විදිහට පළකලා. දැනට තියෙන ප්‍රතිඵලවල හැටියට වැඩිම මනාපය තියෙන්නෙ ‘ලියපු එකා හරකෙක්’ කියන උත්තරේට.

මේ උත්තරේ දීල තියෙන වැඩිදෙනෙක් ‘බුදුදහම’ ගැන ‘සයිබර් අවකාශයේ’ යම් කැපවීමකින් යුතුව කටයුතු කරන පිරිසක් බවයි මගේ හඳුනාගැනීම. ඒ වගේ පිරිසක් වල්පොල රාහුල හාමුදුරුවො වගේ දුර්ලභ බුද්ධිමතෙකුගෙ අදහසකට මෙහෙම ප්‍රතිචාරයක් දාපු එක ගැන ටිකක් හිතන්න වෙනවා. මේ ප්‍රතිචාරය එන්නෙ මේක රාහුල හාමුදුරුවො ලියපු එකක් බව නොදැන බව ඇත්ත. නමුත් මේකෙන් පෙනෙන්නෙ විකල්ප අදහස් කෙරෙහි දක්වන ‘ඉස්ලාම් පන්නයේ’ භීතිකාවක්.

කොටින්ම වල්පොල රාහුල හාමුදුරුවෝ අද මේ අදහස් ලිව්වනම්, එකෙන්ම බොදු බල සේනාවෙන් උන්වහන්සේගෙ ආවාසය වටකරනවා.
‘මේ යමින් ඉන්නෙ කොහාටද’ වගේ ප්‍රශ්නයක් තමයි ඉතුරුවෙන්නෙ.

කොහොම නමුත් ඒ ව‍ගේ සුළු උපුටනයකින් හාමුදුරුවන්ගෙ සමස්ත අදහස තේරුම්ගන්න බැහැ කියපු චන්ද දායකයන්ට ප්‍රතිචාරයක් වශයෙන් රාවය පුවත්පතේ පළවූ ‘නියම බුද්ධ පූජාව යනු  කුමක්ද?’ නමැති සම්පූර්ණ ලිපිය පහත උපුටා දක්වනවා.



නියම බුද්ධ පූජාව යනු කුමක්ද?

බුද්ධ පූජාවට ඔබ විරුද්ධ යයි මතයක් පැතිර තිබේ.මේ පිළිබඳව සත්‍යය කුමක්දැයි දැනගැනීමට කැමැත්තෙමි.

මම කිසිසේත් බුද්ධ පූජාවට විරුද්ධ නොවෙමි.  යළි මම එය කිරීමට බලවත් ලෙස අවවාද කරන්නෙක්මි. ආමිස-ප්‍රතිපත්ති යන ද්වි පූජාවටම තථාගතයන් වහන්සේ තරම් සුදුස්සෙක් නැත. අද බෞද්ධයෝ බුද්ධ පූජා නොකරති. බුදුරජාණන් වහන්සේට සුදුසු පූජා නොපවත්වති. ‘බුද්ධ පූජා’ යන ලේබලය පිටින් අලවා නොඑක් විකාර කරති. විහාර මළුවක පිණුම් ගැසීමක්, නොඑක් විහිළු තහළු වලින් යුත් පෙරහැරක් යාමත්, ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන තැබීමත්, තවත් අනේක ප්‍රකාර විකාර කිරීමත් බුද්ධ පූජා ලෙස සලකති. මෙවා උන්වහන්සේට සුදුසු පූජා නොවෙති.

බුද්ධ පූජාවක් යනුවෙන් මා අදහස් කලේ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි. මෙය පරම්පරාගතව එන චාරිත්‍ර ධර්මයකි. ඔබ ඊට විරුද්ධද?

විරුද්ධකම කෙසේ වෙතත් ඒ පිළිබඳ මගේ අදහස රටේ පිලිගත් මතයට වෙනස් බව ඇත්තකි.

ඒ කුමක්ද?

එය බුද්ධ පූජාවක් නොවේය යනුයි.

ඔබේ අදහස භයානකයි. අන්තරායදායකයි. එය මිත්‍යා දෘෂ්ඨියකි.

ප්‍රිය මිත්‍රයා... කලබල නොවනු මැනවි. නොකිපෙනු මැනවි. යම්කිසි මතයක් පිළිබඳව, තමාට නුපුරුදු අලුත් මතයක් පිළිබඳව සාකච්ඡාකරන විට ඉවසිල්ලෙන් මෛත්‍රීයෙන් සහ සමාදානයෙන් යුතුව ශිෂ්ඨ ධර්මයන් නොඉක්මවා කල හැකි නම්, මා සිතන හැටියට, එය බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමට වඩා උතුම් බුද්ධ පූජාවක් වේ. ඒනිසා නොකිපෙනු මැනවි. මා කියන දෙය අසා නුවණින් සිතා බලන්න.

අපේ යම්කිසි ඥාතියෙකු මල විට, ඔහු වෙනුවෙන් ආහාරයක් වෙන්කොට තැබුවහොත් එය ඥාති ප්‍රේතයාට බිලි වශයෙනැයි මිනිස්සු විශ්වාස කරති. මළගියවුන්ට ආහාර පිදීමේ අදහස එයයි. අපේ ජාතික වීරයෙකුගේ ප්‍රතිමාවක් ඉදිරියෙහි කෑම බීම තැබුවහොත් එය කෙබඳු දර්ශනයක් වේදැයි සිතා බලන්න. බෞද්ධයෝ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර වර්ගයන් තබා, විහාර කාමරයේ දොර වසා, බුදුරජාණන් වහන්සේගේ ආත්මයට නැතහොත් අවතාරයට අවුත් ඉඳුල් කරන්නට ඉඩ දෙන්නාක් මෙන් පිටතට වී ස්වල්ප වේලාවක් බලා සිටිති.

සමහර තැන්වල බෞද්ධයො ආසනයක් පණවා එහි වැඩ හිඳින ලෙස ප්‍රතිමාවට ආරාධනය කරති. ඊට පසු මුව දෝවන්නට පැන්ද, අනෙක් ආහාර වර්ගයන්ද, දැහැත්ද, පඩික්කමක්ද පිලියෙල කොට තබති. මෙය කෙතරම් සිනහ උපදවන බොඏඳ වැඩපිළිවෙලක්දැයි සිතා බලනු මැනවි.

ආහාරපානාදී බාහිර දේවල් උසස් හැටියට හැ‍ඟෙන්නේ අභ්‍යන්තර දියුණුව අඩු පමණටය. තිරිසනාට සියල්ලටම වඩා උතුම් දෙය ආහාරයයි. ඥාණයෙන් සහ ගුණයෙන් දියුණු නොවූ කල්හී වැඩුනු මනුෂ්‍යා තුලද ඒ අදහස එසේමය.

ශීල සමාධි ප්‍රඥාවන්ගෙන් අග තැන්පත් බුදුරජානන් වහන්සේ වැනි උතුමෙකුට උන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු දෙදාස් පන්සීයකට පසුත්, ආහාරපාන වර්ගවලින් ගරු කරන්නට සිතීම  අපේ අභ්‍යන්තර ගුණදහම් දියුණුවේ අඩුකම විදහා පෑමකි. බාහිර දෙයකින් උන්වහන්සේට සෑහෙන ගෞරවයක් කිරීමට අපිට පුළුවන්කමක් නැත. තමක් වහන්සේට ගෞරවය ප්‍රතිපත්ති පූජාව බව තථාගතයන් වහන්සේ විසින් බලවත් ලෙස දේශනා කරන ලදී.

එතකොට බාහිර වශයෙන් දානමානාදියෙන් තථාගතයන් වහන්සේට ගරුකිරීම නුවුමනාද?


නැත. එය එසෙ නොවේ. බුදුරජාණන් වහන්සේට ආහාර පානාදියකින් සංග්‍රහ කරන්නට යමෙකුට ඉඩක් ලැබෙතොත් සැබැවින්ම එය මහත් වාසනාවකි. උන්වහන්සේගේ ශරීරයටද, අනෙක් සත්වයන්ගේ ශරීරයට මෙන් කැම් බීම්, ඉඳුම් හිටුම් වලින් ප්‍රයෝජන ලැබේ. ඒ ජීවමානව සිටියදීය. අද උන්වහන්සේ ජීවමානව නැති බැව් අපි හොඳින්ම දනිමු. එනිසා ආහාර පානාදියකින් උන් වහන්සේට සංග්‍රහයක් කරන්න අපිට ඉඩක් නොලැබීම මහත් කණගාටුවකි.

මේ ජීවමාන බුදුන්ය යන හැඟීමෙන් ප්‍රතිමාවකට ආහාර පාන වර්ග පිදුවහොත් එය වැරදිද?

ප්‍රතිමාවක් පිළිබඳව මේ ජීවමාන බුදුන්ය යනව හැඟීමෙන් ගරු සත්කාර කරන බැව් බොහෝ අය කියති. එය එසේමදැයි මට තේරුම් ගත නොහැක. බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී උන් වහන්සේගේ අසනීපයකට බෙහෙතක් සපයන්නට අපිට අවස්ථාවක් ලැබිණි නම්, අහෝ...! එය කෙතරම් වාසනාවක්ද! අද උන්වහන්සේ ජීවමානව නැති බැවින් උන් වහන්සේගේ රෝගයකට අපට බෙහෙත් කරන්නට ඉඩක් නැත. යම්කිසි ශ්‍රද්ධාවතෙක් ප්‍රතිමාවකට රෝගයක් වැළඳුනාක් මෙන් සිතාගෙන, හොඳ හැටි ඇදක් සරසා, ප්‍රතිමාව එහි සතපවා. සිවුරක් පොරවා ‘වරෝ..! බුදුරජාණන් වහන්සේට අසනීපයක් හැදිලාය’ කියා වියදම්කොට වෙද්‍යවරයෙක් ගෙන්වා, කෂාය උණුකොට ප්‍රතිමාවට පිළිගන්වයි නම්, මෙය මොන තත්වයේ විහිළුවක්දැයි සිතා බැලිය යුතුයි.

බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදී කල හැකි හැම සත්කාරයම උන්වහන්සේ පිරිනිවී පසුත් කරන්නට නුපුළුවන් බැව් සැලකිය යුතුයි. දැන් අපට කලහැකි සත්කාර මොනවාදැයි බැලීම නුවණැතියන්ගේ සිරිතයි.

එතකොට ඒගැන අප කුමක් කල යුතුද?

ගිලනුන්ට, රෝගීන්ට උපස්ථාන කිරීම උන්වහන්සේට කරන උපස්ථානයකැයි උන් වහන්සේ විසින් දේශනා කරන ලදී. උන්වහන්සේගේ අසනීපයකට අද අපට ප්‍රතිකාර කරන්නට නුපුළුවන් බැවින්, උන්වහන්සේගේ වචනයට අනුව අප විසින් අසරණ, දුප්පත් රෝගීන්ට කරුණාවෙන් සංග්‍රහ කල යුතුයි. එය උන්වහන්සේට පූජාවයි.

එසේම අද අපට උන්වහන්සේගේ ප්‍රයෝජනය පිණිස දානයක් දිය නොහැකි බැවින්, අප විසින් කල යුත්තේ නිරාහාරව කුසගින්නෙන් පෙළෙන අසරණයන්ට ඒ වෙනුවෙන් සංග්‍රහය කිරීමයි. එය උන්වහන්ස්ට කරන ‍ගෞරවයකි.
බෞද්ධයන් නුවණ මෙහෙයවා ක්‍රියාකල යුතුයි. ආහාරය වුවමනා කරන්නේ එය පරිභෝජනය කල හැකි පුද්ගලයකුටය. යමක් දිය යුත්තේ ප්‍රයෝජනය ගතහැකි පුද්ගලයෙකුටය. ප්‍රතිමාවකට ආහාරයෙන් ප්‍රයෝජනය නැති බැව් අපි හොඳින්ම දනිමු.

එක්තරා පාසලක් අසල පිහිටි විහාරස්ථානයක, විශාල ලෙස ආහාර පූජාව පවත්වනු ලැබේ. විසි තිස් දෙනෙකුට යැපෙන පමණ ආහාර ඉවතලනු ලැබේ. අර පාසලේ ඉගෙනීමට එන ඇතැම් දුප්පත් ලමයි දවල් දහය පමණ වන විට සිහිය නැතිව වැටෙති.ඔවුන්ට එක ආහාර වේලකින් සංග්‍රහ කරන කෙනෙක් නැත. බුදුහාමුදුරුවන්ගේ නමින් ප්‍රයෝජනවත් දෙය අඥාන ලෙස අහක දමති.  අර දුප්පත් දරුවන්ට සංග්‍රහ කිරීම බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපැදීම බව ඔවුහු නොදනිති.

ඥානවත් ලෙස ක්‍රියා කරන්නා බෞද්ධයායි. කරන හැම ක්‍රියාවකම තත්වය නුවණින් විමසිය යුතුයි.

ප්‍රතිමාවකට ආහාර පාන වලින් ප්‍රයෝජනයක් නැති බවත්, ආහාර පාන වලින් ප්‍රයෝජනයක් ඇත්තේ පාවිච්චි කල හැකි අයට බවත් ඇත්තකි. බුද්ධ ප්‍රතිමාවකට පිදීමෙනුත්, අසරණයෙකුට දීමෙනුත් වඩා පින් සිදුවන්නේ කුමකින්ද?

තමාට පින් බලාපොරොත්තුවන් යම්කිසි වැඩක් කරතොත් එය සැබැවින්ම වෙළඳාමකි. ඵලයට ආශාවෙන් යමෙක් යමක් කරයි නම්, එය උතුම් ක්‍රියාවක් නොවේ. කර්මඵල ඇදහීම යන්නෙහි නියම තේරුම නම්, යම්කිසි ක්‍රියාවක අවශ්‍යකමත්, එහි ඇති වටිනාකම සහ ප්‍රයෝජනයත්, නිසි ලෙස නුවණින් තේරුම් ගැනීමයි. ඵලය තේරුම් ගැනීම එකකි. එයට ආශා කිරීම අනෙකකි. ප්‍රතිමාවක් ඉදිරියේ කෑම බීම තබා අහක දැමීමෙනුත්, කුසගින්නෙන් පෙළෙන අසරණයෙකුට කරුණාවෙන්, මෛත්‍රියෙන් යුතු සංග්‍රහ කිරීමෙනුත් වඩා අවශ්‍ය ක්‍රියාව කුමක්ද? කියා නුවණින් සිතා බැලිය යුතුයි.

ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර තබන්නේ තමන් පින් ගන්නා ආශාවෙනි. එය තෘෂ්ණාවයි. ප්‍රතිමාවකට ආහාර පූජා කිරීමේදී කරුණා, මෙත්‍රී ආදී ගුණයන් උපදවන්නට ඉඩක් නැති බැවිනි. එහෙත්, අසරණයෙකුට සංග්‍රහ කිරීමේදී නියම අන්දමින් කරුණා මෛත්‍රි ගුණයෝ සිත්හි පහලවෙති.

දානයක් දීමෙන් දායකයා ආනිශංස පහක් ලබයි. ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥා යන මේවායි. මේ ආනිශංස පහ දායකයාට ලැබෙන්නේ , දායකයා දානයත් සමග ඒවා ප්‍රතිග්‍රාහකයාට ලබාදෙන බැවිනි. ප්‍රතිමාවක් ඉදිරියේ ආහාරපාන වර්ගයන් තැබීමෙන්, ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව මෙයින් කිසිවකුත් ප්‍රතිමාවට නොලැබෙන බැව් අපට හස්තාමලකයක් මෙන් ප්‍රත්‍යක්ෂය. එනිසා පූජා කරන්නාටද ඒ ආනිශංස ලැබීමට කිසිදු යුතුකමක් නැත.  එහෙත් කුසගින්නේ පෙළන අසරණයකුට ආහාර පානයන්ගෙන් සංග්‍රහ කලහොත්, මේ ආනිශංස පහම දායකයාට ලැබෙනු නොඅනුමානයි.



සත්යෝදය පොත පහත සබැඳියෙන් බාගත කරගන්න පුළුවන්. ඔත්තුව දුන්නු පිටස්තරයා-2 ට ස්තුතිය.
http://www.sendspace.com/file/ugdwga

47 comments:

  1. 100% අදාල නැති වුනත්, මේ කතාවෙත් පොඩි ගත යුත්තක් ඇති කියල හිතලයි මේක මං කියන්නෙ...

    අපි පොඩි කාලෙ ඉඳලම අපේ ගෙදරත් අම්ම හැමදාම බුද්ධ පූජාව තියනවා... ඒකෙ හොඳ නරක අපි හොයන්න යන්නෙ නැහැ... දවල් වෙලා ඔය බුද්ධ පූජාව එලියෙන් තියල තියනව සතෙකුට කන්න කියල... දවසක් ගෙදර ඉන්න පූස ඔය බුද්ධ පූජාව කනව දැකල අම්ම මට කියනවා "බලන්න අර පූස කොච්චර පින් කරල ඇතිද බුද්ධ පූජාව කන්න ලැබෙන්න" කියල... මගෙත් කට කහනවට මාත් කිව්ව "ඉතින් මීට පස්සෙ අපි බුද්ධ පූජාව කමුකො, එතකොට අපිත් ගොඩක් පින් කරල තියෙනව වෙනවනෙ" කියල... "පව් කාර කතා නොකිය ඉන්නව" කියල එතකොට අම්ම මට සැර කලා...

    සමහර පරම්පරාවල උදවිය පින කියන එක දැකල අහල තියෙන විදිහට විතරයි පිලිපදින්නෙ... සමහර විට මං මේ බුද්ධ පූජාව ගැන මෙතන තියෙන කතාව අම්මට කිව්වොත් මට බනීවි... මමත් මේ බ්ලොග් එකක තමයි ඔය කතාව දැක්කෙ... මං සම්පූර්ණයෙන් එකඟයි ඒ කියල තියෙන දේට... රත්නපුරේ පැත්තෙ මොකක්ද පංසලක් තියෙනවලු, අසූ මහා ශ්‍රාවකයන්ට හැමදාම පූජාව තියන... ඒ පූජාව ඊට පස්සෙ ගඟට දාන එකලු වෙන්නෙ (මම දැකල නැහැ, අහල විතරයි තියෙන්නෙ, මං කියන දේ වැරදි නම් කවුරුහරි නිවැරදි කරාවි කියල හිතනවා)... මොන තරම් අපරාදයක් ද...

    ReplyDelete
    Replies
    1. සතුතියි මේ කමෙන්ටුවට. එය බෙහො දේ කියනවා.

      බෞද්ධ පවුලක දරුවෙකු වන ඔබ, ඔබේ මව බොහෝ ශ්‍රද්ධාවෙන් මෙතෙක් කල් කරගෙන ආ බුද්ධ පූජාවෙ යම් සුළු හෝ අවුලක් ඇති බවක් තේරුම් ගන්නවා. මෙය නව පරම්පරාවේ දැනුම/සිතීමේ වෙනස්කම් නිසා ඇතිවන්නක් විය හැකියි. ඉතින් විය යුත්තේ ඔබේ පරම්පරාවට/නව දැනුමට/නව සිතීමට වලංගු වන ලෙස මේ ආගමික චාරිත්‍ර වැඩිදියුණු වීම. වල්පොල රාහුල හාමුදුරුවෝ යෝජනා කරන්නේ එයයි. පරිසරයට අනුව අනුවර්තනය නොවන දේ ඉක්මණින් අභාවයට යනවා.

      (මේ ආහාර නාස්තිය නම් මම එච්චර ගණන් ගන්න දෙයක් නොවෙයි. ලංකාවේ බුද්ධ පූජාව නිසා නාස්තිවෙන ආහාර ප්‍රමාණය මෙන් දස දහස් ගුණයක් වෙනත් හේතු නිසා දිනපතා නාස්ති වෙනවා ඇති)

      Delete
    2. බුද්ධ පූජාව තැබූ පසුව දොර වසා තබන්නේ බුදුන්ට වැළඳීමට නොව, මනුෂ්‍ය ගන්ධයට අකමැති දෙවි දේවතාවුන්ට පැමිණ වැඳ පුදා ගැනීම සඳහායි.

      වල්පොල රාහුල හිමි එය නොදැන සිටින්නට ඇත. රහත් නොවූ සැමට වැරදීම් සිදුවේ. හැරත් භික්ෂූන්ට දේශපාලනය සුදුසුයි කියමින් හෙළ උරුමයේ භික්ෂු දේශපාලනයට අඩි තාලම දැම්මේත් ඔය වල්පොල රාහුල හිමියන්ය.

      Delete
    3. //වල්පොල රාහුල හිමි එය නොදැන සිටින්නට ඇත. රහත් නොවූ සැමට වැරදීම් සිදුවේ.//
      ඇනොනිමස් රහතන් වහන්සේගේ බණ අසා තව පොඩ්ඩෙන් මම සකුර්දාගාමී වෙනවා අම්මපා.

      Delete
    4. @Sampath Sri Sitinamaluwa

      ඇත්තද බූරුවෝ ? තොගෙ ගොං නංගිලගෙ කෙරුවාවල් කියවන උන්ට මොනව වෙයිද දැන්නෑ.

      Delete
  2. ස්තුතියි මේ ලිපිය පලකලාට.

    ReplyDelete
  3. ප්‍රතිමාවකට ආහාර පාන වලින් ප්‍රයෝජනයක් නැති බවත්, ආහාර පාන වලින් ප්‍රයෝජනයක් ඇත්තේ පාවිච්චි කල හැකි අයට බවත් ඇත්තකි. බුද්ධ ප්‍රතිමාවකට පිදීමෙනුත්, අසරණයෙකුට දීමෙනුත් වඩා පින් සිදුවන්නේ කුමකින්ද? බුදු හාමුදුරුවො ජීවත්වෙලා හිටියනම් උන්වහන්සේ වදාල ධර්මය මේ මිනිස්සු තවමත් හරියාකාරව අවබෝධ කරගෙන නෑ කියන දේ තමයි කියන්නෙ. අපේ සමහර පන්සල් වලට දානෙ දෙන්න දායකයො පොරකද්දි ඈත පිටිසර ගම්වල හමුදුරුවරු නොකා නොබී ශාසනය රැක ගන්නව. ඒ වගේමයි සමහර ලොකු ලොකු අසපු ඉස්සරහ හිඟාකන මිනිස්සුත් කොච්චර ඉන්නවද. අපේ මිනිස්සු දාන පාරමිතාව කියන දේ අවබෝධ කරගෙන නෑ.

    ReplyDelete
  4. //යම්කිසි මතයක් පිළිබඳව, තමාට නුපුරුදු අලුත් මතයක් පිළිබඳව සාකච්ඡාකරන විට ඉවසිල්ලෙන් මෛත්‍රීයෙන් සහ සමාදානයෙන් යුතුව ශිෂ්ඨ ධර්මයන් නොඉක්මවා කල හැකි නම්, මා සිතන හැටියට, එය බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමට වඩා උතුම් බුද්ධ පූජාවක් වේ. ඒනිසා නොකිපෙනු මැනවි//

    බොහොම හරි...

    වල්පොල රාහුල හිමියන්ගේ ලිපි වගේම රේරුකානේ චන්ද විමල හාමුදුරුවන් විසින් ධර්‍ම විනිශ්චය පොතත් කියෙව්නං වටිනවා.

    ගහක් නසන්න පිළිලය එන්නේ ඒ ගහෙන්ම මිසක් වෙන තැනකින් නෙවෙයි. බුදුහාමුදුරුවොත් කිව්ව විදියට සාසනය නැසෙන්නේ සාසනය තුලින්ම තමයි.

    ලංකාවේ දැනට පවතින බුදු දහම ඇදහීමේ ක්‍රම ගැන මට මීට වඩා විවේචන තියෙනවා උනත් සෑම විටම අපි වචනයක් කියන්න කලින් දෙපාරක් කල්පනා කරන්න ඕන.. මොකද අපි කියන වචනයෙන් සුළුවෙන් හෝ සාසන දියුණුවට යමක් වෙනවට වඩා සිද්ධ වෙන්නේ ඒ වචනේ අල්ලගෙන සසුනට නෙලන්න බලං ඉන්න අය වැඩි හින්දා...

    පහුගිය සියවස තුලදී ලංකාවේ සාසනයේ පැවැත්ම ගැන බලවත් විරෝධතා කීපයක්ම එල්ල උනා.. ඒ තුනම ආවේ පිටින් නෙවෙයි සාසනයට සමීපව.. එක්කෙනෙක් වල්පොල රාහුල හිමි... අනික විනයවර්ධන ව්‍යාපාරය.. තුන්වැනුව තාපස නිකාය...

    ඔය තුන් පැත්තෙන්ම එල්ල උන චෝදනා සරල නැහැ. හරියට කල්පනා කලොත් ඒවා තාර්කිකයි.. කොටින්ම දන් චාමි කරනවා වගේ ඒ කාලේ රාහුල හාමුදුරුවන්ට බ්ලොග් එකක් තිබුනනං ඒ පල කරපු අදහස්වලට කමෙන්ට් වැටෙන්නේ ගෝනි ගානට... හැබැයි එතනදී සැබෑ ලෙසම සසුන ආරක්ෂා කරගන්න... සසුන පවිත්‍ර කරගන්න උනන්දු වෙන අයට වඩා චාමි විසින් පසුගිය දිනවල කඩේ ඇරලා "මෙන්න ගහපල්ලා" තියරියට අනුව කමෙන්ට් ඇරලා දුන්නම නෙලාගෙන උපතින් බෞද්ධ උනත් ආගමක් දහමක් ගැන අවබෝධයක් හෝ උනන්දුවක් නැති/ තමුන් මේ රටේ දෙවැනි තුන්වැනි පාර්ෂවයක්ය ඒකට හේතුව බෞද්ධ බලයය කියලා හිතාගෙන හීනමානයෙන් කටයුතු කරන අන්තවාදී අන්‍යාගමිකයින්/ වෙන්න රැඩිකල් මොඩලයේ හරයක් නැති ළමා ළපටි පෙල ආදී උදවිය තමයි. එයිට අමතරව අනාගමික යනුවෙන් ලේබලය අලවාගෙන සිටින එහෙත් සිත යටින් කුමක් හෝ ලබ්ධියක එල්ඹගෙන සිටින උදවිය... ඒ අයගෙන් ලැබෙන අදහස්වලින් සසුන දියුනු කිරීමට හෝ ප්‍රතිශෝධනය කිරීමට හෝ හැකියාවක් ඇත්තේ නැහැ.. තියෙන්නේ දෙන්නං බැටේ සංකල්පය විතරයි.

    කොහොම උනත් මුලින් යොදා ඇති උධෘතයට අනුකූලව රාහුල හිමියන්ට ගැලපෙන පිළිතුරු වගේම තාපස නිකායටත් විනයවර්ධනයටත් නිසි ආකාරයෙන් දහමට අනුව කල පැහැදිලි කිරීම් රේරුකානේ හිමියන්ගේ ධර්‍ම විනිශ්චයෙහි සඳහන් වෙලා තිබෙනවා... කැමැති කෙනෙකුට මෙතැනින් බාගත කරගෙන කියවා බැලිය හැකියි... බුද්ධ පූජාව ගැන ගැටළුවට උන්වහන්සේගේ පැහැදිලි කිරීමත් කියවා බලා නුවණින් විමසීම වඩා ගැලපෙනවා කියලා මං හිතන්නේ...

    මෙන්න තැන...

    http://www.ogatharana.org/


    අවසාන වශයෙන් වල්පොල රාහුල හිමි කියන්නේ බෞද්ධ භික්ෂුවක් නිසා උන්වහන්සේ තම දහම ගැන මත පල කරද්දී ඒවා බලවත් අදහස් වෙනවා වගේම කොලට් සේනානායකලා ක්‍රිස්තුස් වහන්සේ ගැන වෙනත් විවරණයක් දෙනකොට ඒකත් බලවත් අදහස් වන බවයි. මේ දෙකම විවාදයට නොව විමසුමට ලක් කිරීම හොඳ කාරණාවක්... චාර්මි කැමති නැද්ද කොලට් සේනානායකලගේ පොත් වලටත් මේ වගේ පොඩි විමසීමක් කරලා බලන්න... අපි ඔය කොයි දහම ගැනත් මෙහෙම හොයා බලා කටයුතු කිරීම හරි අගෙයිනේ නේද..?

    ReplyDelete
    Replies
    1. අවිද්‍යාවෙන් බුදු පිළිම වන්දනා කරන අන්ධ බෞද්ධයකුට දිය හැකි පිළිතුර තමයි මාරයා මේ දීලා තියෙන්නේ. බුදු පිළිම මෙහෙම මෝඩ විදියට වැඳීම වැරදි තමයි; ඒත් අපේ ගෝත්‍රික (=ශාසනික) අවශ්‍යතා උදෙසා අපට ඒක පවත්වාගෙන යන්න වෙනවා කියන එක. මේක හාස්‍යජනක කියමනක්. ගෝත්‍රික අවශ්‍යතා පිණිස ධර්මයට විරුද්ධව හැසිරිය යුතුද? ඊට පස්සේ අර පුරුද්දට වගේ වටේටම ගහනවා. ආගම ප්‍රතික්ෂේප කරන්නේ ළමා ළපටි. මෙයා තමා මහා දැනුවතා. මේ කියන්නෙ ඒ ලෙවල් වත් පාස් කර ගන්න බැරි වුණු කෙනෙක්. තව ඉහළට ඉගෙන ගත්තා නම් කොයි තරම් පිම්බෙයිද?

      Delete
    2. මට පෙනෙන විදියට මේ ලිපියේ කිසිම තැනෙක චාර්මි සඳහන් කරලා නැහැ තමන්ගේ අරමුණ ශාසනය පිරිසිදු කිරීම කියලා. මා දකින්නේ ඔහුගේ අරමුණ ආගමික එකක් නෙවෙයි දේශපාලනික එකක්. (බුද්ධ පූජාව තියෙනවා වෙනුවට පිරිසක් අසරණයින්ට උදව් කිරීමට යොමු කිරීම.) ඇයි එතකොට මාරයා උපකල්පනයේ කරන්නේ මෙතැන චාර්මිගේ අරමුණ ශාසනය ආරක්ෂා කිරීම කියලා? බෞද්ධයින් නොවන අයට ඔය ශාසනය ආරක්ෂා වුණාය නැතිව කියලා ඇති වෙනස මොකද්ද?

      Delete
    3. මේ ඇනෝට අනුව නම් ඒ ලෙවල් පාස් වෙච්ච අය ලොකු උගත්තු වෙන්න ඇති නේ.... හි හි.. මාරයගේ උගත්කම ගැන කියලා ඒ ගැන හිනාවෙන ඔයා මහ උගතෙක් වෙන්න ඇති.. මිනිහෙක්ගේ උගත්කම මනින ලොකුම සාධකේ ඒලෙවල් විභාගේ කියලා හිතාගෙන ඉන්න ඔය පණ්ඩිතයා ගැන හිතලා කිව්වේ...

      ////ගෝත්‍රික අවශ්‍යතා පිණිස ධර්මයට විරුද්ධව හැසිරිය යුතුද?///// හයියෝ...

      ජේතවනාරාමේ ආනන්ද බෝධිය රෝපණය කළේ බුදු හාමුදුරුවෝ නැති වෙලාවට ඇවිල්ලා දුක් වෙවී යන මිනිස්සුන්ට සහනයක් දෙන්න.. තේරුමක් නැතුව ගස් ගල්වලට වැඳපු මිනිස්සු හිටිය රටක් හින්දා තමයි දඩිබිඩියේ ඉන්දියාවෙන් බෝ පැළයක් ගෙන්නලා ඒකට වඳින්න සැලැස්සුවේ...

      හැම මිනිහටම බුදු දහම වගේ ගැඹුරු අර්ථයක් තියෙන දර්ශනයක් වටහා ගන්න පුළුවන්කමක් නැති හින්දා තමයි ඒක මේ වෙනකොට ආගමක් වෙලා තියෙන්නේ... ඒක වටහා ගන්න පුළුවන් මිනිහා යම් තරමකින් උත්සාහ කරනවා.. ඒ වගේම බැරි මිනිහත් හිතේ ( අන්ධ?) භක්තියෙන් වඳිනවා... උප්පැන්නේ බෞද්ධ කියලා තිබ්බට හැම එකාටම ඕක මොන මඟුලක්ද කියලා තේරෙන්‌ෙන් නෑ නේ... ඒවට තමා සම්ප්‍රදායන් හැදිලා තියෙන්නේ..

      දරුවෙක්ට අසනීපයක් උනාම දොස්තර ගාවට අරන් යනවා වගේම කොච්චර උගත් කෙනෙක් උනත් පන්සලට ගිහින් බෝධි පූජාවක් තියෙන්න පෙළඹෙන්නේ ඒ සම්ප්‍රදායන් අපේ හිත් වලට කාවැදිලා තියෙන නිසා... ඒ වගේම අන්ධ භක්තියක් තියෙන මනුස්සයා දොස්තර ගාවට යන්නේ නැතුව පන්සලට වෙලා බෝධියට ප්‍රාර්ථනා කර කර ඉන්න එකත් කරනවා.. තේරුමක් නැතුව ගස් ගල් වලට වැඳපු අපේ මුතුන් මිත්තන්ව තේරුමක් ඇතුව බෝධියට වඳින්න පුරුදු කළා වගේ, ‌තේරුමක් නැතුව බෝධි පූජා කරන මිනිස්සුව තේරුමක් ඇති අසරණයෙක්ට වේලක් කන්න දෙන්න පොළඹවන එක නෙවෙයිද මේ ලිපියෙන් කියවෙන්නේ..

      Delete
    4. අද ගොඩක් අයට බුදු දහම ගැන , එක අදහන විදිහ ගැන ලොකු පර්ස්න තියනවා .එහෙම පර්ස්න තියෙන්නේ මාරයා කිව්ව ජාතියේ අයටම තමඊ. හැම ආගමේම ඔය වගේ දේවල් තියනවා.හින්දු ආගමේ අය දෙවියන්ව කිරි වලින් නාවනවා.ඒ කිරි කානු වල ගලා ගෙන යනවා .පාර දෙපැත්තේ කන්ඩ නැතුව මිනිස්සු හිඟා කනවා .බුද්ධ පුජාව ටිකක් තිබ්බහම තමඊ කට්ටියට ඉන්ඩ බැරි බලාගෙන.

      Delete
    5. @හිරු,

      බුද්ධාගම කියන්නේ බුද්ධ කියන පුද්ගලයා විසින් නිර්මාණය කරන ලද ආගමයි. එහි අනෙක් ආගම් වලින් විශේෂ ලෙස වූ සත්‍යයක් හෝ ගැඹුරක් නැත. එයද බිහි වන්නේ මිනිසා තමන්ගේ පරිසරයේ ස්වාභවික සංසිද්ධීන් තේරුම් ගැනීමට නොදැන ඊට අද්භූත අර්ථ දීමට දරණ උත්සාහයෙනි. "බෝධීන් වහන්සේ" වැඳීම "බුද්ධාගමේ" වත් පිළිවෙතක් වූවා කියා ඊට අමුතු ගැඹුරක්ද එකතු වී නැත. මේ ගල් යුගයේ පටන්ම තමන්ගේ පරිසරය අවබෝධ කර ගත නොහැකිව ඒවාට වෙනස් අර්ථකථන දෙන ප්‍රාතමික මිනිසාගේ මානසිකත්වයයි. මාරයාට සේම ඔබටද ලොකෙයේ ස්වාභාවික සංසිද්ධීන් ස්වාභාවික සංසිද්ධීන් හැටියට ගැනීමට තරම් මේරූ බුද්ධියක් නැතිවීම ගැන කණගාටුයි.

      Delete
    6. ඒ කියන්නෙ වෙන කෙනෙක් වැරැද්දක් කරාම අපිත් ඒ වැරැද්දම කරන්න ඕන???

      කවුරු කරත් වැරැද්ද වැරැද්දම තමයි!

      Delete
    7. @ මාරයා,
      //පහුගිය සියවස තුලදී ලංකාවේ සාසනයේ පැවැත්ම ගැන බලවත් විරෝධතා කීපයක්ම එල්ල උනා.. ඒ තුනම ආවේ පිටින් නෙවෙයි සාසනයට සමීපව.. එක්කෙනෙක් වල්පොල රාහුල හිමි... අනික විනයවර්ධන ව්‍යාපාරය.. තුන්වැනුව තාපස නිකාය...//

      මුලින්ම කියන්නකො මේ සාසනය පවත්වාගෙන යන්නෙ මොකටද? කෙලින්ම කියන්නම්. පාංසකූලෙ දෙන්ඩ. දැන් උඹල වෙන වෙන ඒව කියයි. මේ මම දන්න සරල ඇත්ත. මම පුද්ගලිකව දන්න පන්සල් 15ක් 20ක් දැනට පැවතෙන්නෙ යම් පුද්ගලයෙක් මලාම පාංසකූලෙ දෙන්ඩ අවසර තියෙන්නෙ ගමේ පන්සලෙන් පමණයි කියලා ප්‍රා/ශාසනාරක්ෂක මණ්ඩලයෙන් හදාගත්තු නීතිය නිසා. ඒක නිසා දායකයො බීරො කන්නු වගේ පන්සල්වල ඉන්නවා. (එහෙම නැති තැනුත් ඇති. මම දන්න හුගක් තැන්වල එහෙමයි). ඉතිං එහෙම එකක් විනාස කරන්න අමුතු පිලිල ඕනෙ නෑ.

      ඔය කියපු පිළිල තුනම ආවෙ මේ දූෂිත වාතාවරණයට එරෙහිව. නියම විදිහටනම් විය යුතුව තිබුණේ ඒවාට අභියෝග කල හැකි මට්ටමට ශාසනය දියුණු වීම. නමුත් කරන්නේ ඒවා පිළීල විදිහට ගහල කුඩුකරල දාන එක.

      හැබැයි දැන් නම් මේක තීරණාත්මක තැනකට එමින් තියෙනවා. රටේ අනික් පළාත් මන්දා. වයඹ නම් තව වසර 10ක් තුල මහමෙව්නාව සැලකියයුතු ලෙස අත්පත් කරගන්නවා.

      මමනම් ඒකට කැමතියි. ධර්ම කරුණු අරව මේව නිසා නෙමෙයි. මට කෝකත් එකයි. අඩුම ගානෙ විනය/පිළිවෙල සහ පිරිසිදුකම පන්සලෙන්වත් අපේ මිනිස්සු ගෙවල්වලට ගේනවනම් හොඳ නිසා.

      Delete
    8. ඔය කියන්නේ'යේසුස් නම් වූ බුද්ධ ශ්‍රාවකයානෝ' පොත ගැනද? මම ඒක කියෝල නෑ. කොලට්ව නොදන්නව උනත් නාරද කරුණාතිලකව තරමක් දන්න නිසා කියවන්නවත් හිතුනෙ නෑ. අනික මචං යේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් උනත් නැතත් මට වැඩකුත් නෑ.
      "උඹලත් කොපිකරල තියෙන්නෙ අපේ බුදුහාමුදුරුවන්ගෙන්... හූ...හූ....!!" කියල ලපටි ආතල්එකක් ගන්නව හැර උඹටත් ඒකෙන් වෙන වැඩක් තියෙනවද?

      මම උනන්දුවෙන්නෙ යේසුස් නමින් කරන ඇදහිල්ලත්, බුදුන් නමින් කරන ඇදහිල්ලත් මේ සමාජයට කොච්චර යහපත්ද අයහපත්ද කියන එක ගැන විතරයි. බුදුන් ඇදහීම ගැන විතරක් මෙතන කතා කලේ මෙතන අති බහුතරය බුදුන් අදහන්නන් බව සිතන නිසා. එනිසා එය මෙතැන සංවාදයට ලක්වීම සුදුසුයි. අඩුම ගානෙ මට කියපං බුදුන් අදහන්නන් ගොඩක් මැද යේසුස් ඇදහීම විමරශනයෙන් බුදුන් අදහන්නන්ට ලැබෙන වාසියක් දෙකක්.

      Delete
    9. අදීශ
      @Anonymous November 14, 2012 7:27 PM
      "බුද්ධාගම කියන්නේ බුද්ධ කියන පුද්ගලයා විසින් නිර්මාණය කරන ලද ආගමයි. එහි අනෙක් ආගම් වලින් විශේෂ ලෙස වූ සත්‍යයක් හෝ ගැඹුරක් නැත."
      " මාරයාට සේම ඔබටද ලොකෙයේ ස්වාභාවික සංසිද්ධීන් ස්වාභාවික සංසිද්ධීන් හැටියට ගැනීමට තරම් මේරූ බුද්ධියක් නැතිවීම ගැන කණගාටුයි."
      එහෙනම් මහලොකු පණ්ඩිතය කියනවා බලන්න මහා පොලාපැනුම් වාදය(http://en.wikipedia.org/wiki/Big_Bounce මේක ආවේ මහා පිපුරුම් වාදයේ ප්‍රශ්න තියන හින්ද.)ට සමාන (සමහරවිට ඊට වඩා ගැඹුරු වෙන්නත් පුළුවන්.) සංවට්ට කප්ප විවට්ට කප්ප කතාව කිව්වේ කොහොමද කියල. එතකොට ඒ දවස්වල දෙයියන්ට ගොට්ට අල්ල අල්ල ඉන්න කාලේ නියාම ධර්ම ගැන කිව්වේ කොහොමද කියල.
      ඔයවගේ ගොඩක් දේවල් තියනව නවීන විද්‍යාවට තවම තේරුම්ගන්න අමාරු

      Delete
  5. බුද්ධ පූජාව ගැන මටත් ටිකක් අපැහැදිලි අදහසක් තියෙන්නේ... බො‌හෝ දුරට මේ ලිපියේ කියවෙන අදහසම තමයි... ඒත් පුංචි කෝප්පෙකට ගිලන්පස ටිකක් තියලා, පුංචි පීරිසියකට කිරිබත් ටිකක්, කෙසෙල් ගෙඩියක් තියලා බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිටින් තියන කෙනෙක්ට මම ඒකේ නරකක් කියන්නේ නෑ... ඒක එක එක්කෙනාගේ හිතේ භක්තියේ විදියටනේ... ( අපේ මාමණ්ඩි උදේ හවස බුදුන් වඳින, උදේ හවස ගිලන්පස තියන, හැම පෝයටම සිල් ගන්න. ඒත් එයා යන පන්සලේ හාමුදුරුවන්ට ඇරෙන්න වෙන හාමුදුරු කෙනෙකුට වඳින්නේ වත් නැති බව ආඩම්බරයෙන් කියන කෙනෙක්... ඒක එයාගේ භක්තිය.. මම ඒ ගෙදර ඉන්න කම් ඔය ගිලන්පස තිවිල්ල මං කළා.. හොඳ නරක කතා කරන්නේ නැතුව.. )

    නමුත් මගේ අදහස බුද්ධ පූජා වලට මහා පරිමාණෙන් නාස්ති කරනවට වඩා අනාථ නිවාසෙකට හරි, ඉස්පිරිතාලෙකට හරි, එහෙමත් නැත්තම් අහල පහල දුප්පත් දරුවෙක්ට හරි ( පිළුනු නොවුනු කෑම හොඳ විදියට) කන්න දෙන එක ඊට වඩා ලොකු පිනක් කියලා...

    ReplyDelete
  6. නියම බුද්ධ පූජාව????
    “ධර්මය ඔබගේ සරණ කර ගන්න. එය මා කී නිසාවත් ඔබගේ ගුරුවරයකු කීයු නිසාවත් පිළිගන්න එපා.“ ඒහි පස්සිකෝ කියන්නේ ඒකනේ. ධර්මය ගුරු කර ගැනීම බුද්ධ පුජා කියා මේ කරන්නේ විකාරයක්, බුද්ධ දේශනාව නැසීමක්. ස්තුතියි ලිපියට

    ReplyDelete
  7. මමත් සම්පුර්ණ එකයි මේ අදහසට. කවුරුහරි පුලුවන්නම් කියනවද මේ කියන රාවය පත්තරේ යන ලිපි පෙළ කියවන්න පුළුවන් විදියක්... අන්තර්ජාලය හරහා..

    ReplyDelete
    Replies
    1. ලේසිම ක්‍රමය තමයි රාවය පත්තරේ ගන්න එක.රු. 50/- ට මාර වටිනා පත්තරයක්.

      Delete
  8. වෙන ගොනෙක් හිටියෙම නැද්ද ඔය මොඩරේසං එක බාරදෙන්ඩ?

    ReplyDelete
  9. වල්පොල රාහුල හාමුදුරුවො ගැනත් අපි අවබෝධ කර ගන්න ඕනෑ. ඔහු මොනම අවස්ථාවකවත් තමන්ගෙ ආගමික සීමාවන් ගෙන් එළියට ගිහිල්ලා ආගම විවේචනය කරන්නේ නැහැ. ඔහු රේරුකාණේ චන්දවිමලට සාපේක්ෂව නිවැරදි හා ප්‍රගතිශීලී බව ඇත්ත. නමුත් වල්පොල රාහුලද අවසාන විනිශ්චයේදී ගිලී ඉන්නේද චන්දවිමලලා එරී ඉන්නා මඩ වලේම තමයි. අපේ වෑයම විය යුත්තේ මේ මඩ වලෙන් එළියට එන එක විනා සුවඳ පැන් ඉස මඩ වල සුවඳවත් කරන එක නෙවෙයි. සුවඳවත් කළත් මඩ වල මඩ වලමයි. රාවයේ අරමුණ ගැන මට සාධාරණ සැකයක් ඇති වන්නේ ඒ නිසා. පත්තරේ වැටිලා නිසා විකිණීඑම නග්ගා ගන්න කරන දෙයක් නම් කමක් නැහැ. එහෙම නැතිනම් මේ කරන වැඩෙත් වැරදියි.

    ReplyDelete
  10. දැන් මෙහෙම හිතමු. මම උපතින් බෞද්ධයෙක්... ඉඳහිට පන්සල් යනවා, වඳින්නේ ගාථා කියන්නේ එහෙම වැඩිය නැහැ. ආගම කෙරෙහි භක්තියක් නැහැ. නමුත් බුද්ධ ධර්මය ගැන ලියවිලා තියන දේවල් කියවන්න කැමතියි. ජාතක කතා වගේම, ටිකක් සංකීර්ණ කරුණු ගැන කියවන්න කැමතියි. දර්ශනයක් ලෙසින් ඉගෙනගන්නවා ඇරෙන්න, ආගමක් ලෙසින් අදහන්න කැමති නැහැ. කාලාම සූත්‍රයේ කියවෙනි පරිදි තම නුවණින් විමසා බලා තීරණය ගැනීමට ඇති නිදහස, යම් දර්ශනයක්, ඉගැන්වීමක් තම දර්ශනය/ඉගැන්වීම කෙරෙහි ලබා දී ඇති ඉහළම නිදහස ලෙස මම සලකනවා. බුදු දහමේ ගැඹුරට යන්න යන්න තමාගේ මනස තමා දෙසටම හැරෙනවා කියලා මට හිතෙන්නේ. ඒත් ඉතින් අප වැනි පිරිසකගෙන් බුදුදහමේ පැවැත්මට සිදුවන සේවය අඩුයි.

    පැවැත්ම කියන්නේ, සංඝයා වහන්සේලාට පන්සල්, දාන, පිරිකර ආදිය පූජා කිරීම, බෝධි පූජා පැවැත්වීම, සිල් සමාදන් වීම වගේ දේවල්. මිනිස්සු ප්‍රායෝගිකව පන්සලක් වටා එකතු වෙන්නෙ පෙර කී කාරණා එක්කයි. බුදු දහමේ හරය ගැන ගැඹුරු අවබෝධයක් නැති, ශ්‍රද්ධාව මුල් කරගත් පිරිසක්. ඔවුන් තමයි, පන්සල් ඉදිකිරීම, දානමාන, පිංකම් වගේ දේවල් ගැන වෙහෙසෙන්නේ.

    මම හිතන දෙයක් තමයි බුද්ධ දර්ශනය, කවදාවත් සාමාන්‍ය ජනයා අතරේ ප්‍රචලිත වෙන්නේ නෑ. මිනිස්සු කැමති, "මෙන්න මෙහෙම කරපං, එහෙම කලාම මෙහෙම වෙනවා" මෙතඩ් එකට. "තමන්ගේ නුවණින් විමසා බලා තමන්ගේ තීරණ තමන්ම ගන්න ඕනේ" කියන මෙතඩ් එකට නෙමෙයි. මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහා පමණයි කියලා බුදුහාමුදුරුවොත් දේශනා කලානේ.

    ඒ වගේම මම හිතන තව දෙයක් තමයි අද සමාජයට නිර්වාණය හෝ බුදුදහමේ හරය අවශ්‍ය නැහැ. යමක් පිළිබඳ බලවත් සිතුවිල්ලක් ඇතිවීම (හොඳ හෝ නරක ), සසර දිගු කරනවා කියන සංකල්පය තේරුම්ගන්න උත්සහ කරන්න හෝ උවමනාවක් අද සමාජයට නැහැ. තමන්ගේ යැයි කීමට දහමක්, ඒ වෙනුවෙන් වූ සංකේත (පන්සල්, වෙසක් උත්සව, හාමුදුරුවරු ) ඇතිව ජීවත්වෙන්න තමයි අද මිනිසුන්ට ඕනේ. ඒත් ඊට වඩා වෙනස් තත්වයක් කරා යන්න අපිට බැහැ කියන එකයි මගේ අදහස.

    බුදුදහමේ ඇති ලිහිල් ප්‍රතිපත්ති නිසාම දවසක බුදුදහම ප්‍රායෝගික තලයෙන් නැතිවී යයි කියලා තමයි මම හිතන්නේ. නමුත් ඒක ආරක්ෂා කරන්න කියලා අපි ඒ දහමේ හරය විනාශ කරන එක ගැන මට එකඟ වෙන්න බැහැ. කවුරුහරි ඇහුවොත් අපේ රටේ බුදුදහම පවතිනවා දකින්න කැමතිද කියලා මගේ උත්තරය ඔව්. ඒ වෙනුවෙන් මම මොනවද කරන්නේ කියලා අහුවොත් කියන්න වෙන්නේ, බුද්ධාගම පිළිබඳ මගේ දැනුමේ හැටියට, මම පිලිගත් දේවල්, පිලිපදිනවා කියන එක විතරයි.

    රාහුල හාමුදුරුවෝ කියලා තියනව වගේම, මම හිතන්නේ අද ඉන්නේ පින් එක්ක ඩීල් කරන බෞද්ධයෝ පිරිසක්. මෙන්න මේ තත්වය වෙනස්කරලා, බුද්ධ දර්ශනයේ මූලික හරයන්වත් මිනිස්සුන්ට යම් තරමකට හෝ අවබෝධවෙන ආකාරයට ධර්මය දේශනා කරන හාමුදුරුවරු ටිකක් බිහිවෙනවා දකින්න මම කැමතියි. ඒ කියන්නේ ආමිස පූජාවන් පවත්වන ක්‍රමවේදයෙන්, ප්‍රතිපත්ති පූජාවේ වටිනාකම් මිනිසුන්ට ඇඟවෙන ආකාරයේ වෙනස්කම් ටිකක්. දැන් මේ පෝස්ට් එකෙ තියනවා වගේ... දානයකදී, වඩා වැදගත් ජීවමාන කෙනෙකුගේ බඩගින්න නිවීම කියන ආකල්පය මිනිසුන්ට ලැබෙන ආකාරයේ ක්‍රමයක්.

    මේ වගේ වෙනස්කමකට මූලික වෙන්න පුලුවන් සංඝ සමාජයටයි. නමුත් ඔවුන් බෙදිලා ඉන්න හැටියි, සිවුරුපොරවාගත් අය කරන විගඩම්, සහ ඒ ගැන නෑසූ කන්ව ඉන්න මහනායක හිමිවරු දැක්කහම නම් හිතෙන්නේ, බුදු දහම ආරක්ෂාකරගන්නා නාමයෙන් තවත් පරම්පරා කීපයකට විඳවන්න සිදුවන ආකාරයේ ගැටුමකට අපි වේගයෙන් ගමන් කරමින් ඉන්න බව තමයි.

    ReplyDelete
    Replies
    1. Thumbs up! well said bro.. මම කියන්න ආපු ටික ඔක්කොම උඹ කියලා තියෙනවා.

      Delete
  11. මේ වගේ ලිපියක් එනකන් තමයි අපිත් බලාගෙන උන්නෙ.....ව්වේචන සමාන්‍යයි..අපි බය නැතුව මේව ලියන්න ඕන .....වෙන දෙයක් වෙන්න කියල.....ගොඩාක් අය මේක දිහා බලන්නෙ විවෘත මනසින් නොවන බව පැහැදිලිය....රෙරුකානේ චන්දවිමල හිමි ගැනයි,වල්පොල රාහුහ හිමිගැනයි කියන්න නෙවෙයි මේ ලියල තියෙන්නෙ,බෞද්ධ ලේබල් ගහගෙන පච වැඩ කරන මිනිස්සුන්ට ගොඩ යන්න....ලිපිය සම්පූර්ණ ඇත්ත...

    ReplyDelete
  12. It is easier to fool people than to convince them they have been fooled.

    - Mark Twain

    A lesson for both Ven Walpola Rahula and Charmi.

    ReplyDelete
  13. "බුද්ධාගම" සහ බුදු දහම දෙකකි!

    ReplyDelete
  14. මචං සත්යෝදය පොත හරි, රාවය ලිපි සෙට් එක හරි නෙට් එකේ කියවන්න තියෙනවනම් ලින්ක් එකක් දාපන්කෝ. අපේ ගෙදර උන්ට හැමදාම මේවා කියලා මං අනන්තවත් බැනුම් අහලා තියෙනවා. අද මේක පෙන්නුවම මොකක්ද දන්නවද කියන්නේ? "මේක රාහුල හාමුදුරුවෝ කියපු එකක් නෙමේ" කියාවි!

    ReplyDelete
    Replies
    1. සත්යෝදය ගොඩගේ ප්‍රකාශණයක්. පොත් සාප්පුවල ඇති. නෙට් එකේ නැත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙතනින් බාගෙන කියවන්ට. 'ගෙදර උන්ට'ත් පෙන්නන්ට. ප්‍රතිඵලත් දන්නන්ට :)
      http://www.sendspace.com/file/ugdwga

      Delete
  15. මහා කොඨ්ඨිත මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුන් දවස මහා ශ්‍රද්ධාවෙන් බුදු ගුණ සිහි කරමින් සිරිපතුල නැමදීම ගෞතම බුදු රජානන් වහන්සේගේ ශාසනයේ මහ රහත් භාවය ලැබීමට මූලික වුන බව ධර්මයේ සදහන් වෙනවා.
    එම නිසා බුදු ගුණ සිහි කරමින් දානයක් පිළි ගැන්වීමෙන්ද ලෝබ ද්වේශ මෝහ දුරු වීමට අඩිතාලම වැටෙන බව පිළි ගැනීමට සිද්ධ වෙනවා. එම නිසා ඉහත සදහන් විවෙචනය කවුරු කලත් හරි හැටි ධර්මය තෙරුම් අරගෙන කියපු කතාවක්ද කියන එක හිතන්න වෙනවා.
    අපි යමෙකුගේ ගුණ සිහි කර ඔහුට ගෞරව කරන්නේ ඔහු ජීවත්ව සිටියදී පමණක්ද?

    ReplyDelete
  16. පින් කියන වචනේ මිනිස්සු වටහාගෙන ඉන්න විදිහ තමයි ප්‍රශ්නෙට මුල.පින කියන්නේ ටොපි චොකලට් වගේ ආශාවෙන් එකතුකරගන්න පුළුවන් දෙයක් නෙවෙයි.මිනිස් සිතක ඇතිවන යහපත් සිතිවිලි වලටයි පින් සිතුවිලි කියන්නේ. බුද්ධ පුජවේදී වැදගත් වෙන්නේ සිතේ ඇතිවන පැහැදීම සහ හික්මීම මිසක් වෙනත්දෙයක් නෙවෙයි.ජීවමාන බුදුන්වහන්සේට දානයක් පිළිගන්වන්නා සේ සිත පහදවාගෙන අහර ස්වල්පයක් පුජා කිරීමෙන් වෙන්නේ යහපතක්.අවුරුදු දෙදහස් පන්සියයක් තිස්සේ ඒ උතුම් බුද්ධ දර්ශනය සංස්කෘතියත් එක්ක මිශ්‍ර වුනා. දැන් ඉතින් මිනිස්සු ගොඩක් පැටලිම් ඇතිකරගෙන.

    ReplyDelete
  17. නියමයි...පින් ගොඩක් මේ කරැණු කියල දුන්නට

    ReplyDelete
  18. සත්‍යෝදය පොතේ ලින්ක් එක. බාගෙන කියවන්ට. http://www.sendspace.com/file/ugdwga

    ReplyDelete
  19. මා තේරුම් ගෙන තිබෙන හැටියට ...බුදු දහමේ කියවෙන සත්‍යය , කියා දිය හැක්කක් නොවේය ....තමා විසින්ම තේරුම් ගත යුත්තකි .
    නිවන් දුටු පසේ බුදුවරුන්ටවත් නොහැකි එය ... පන්සිල් රකින්නටවත් අසීරු අපි කරන්නට මහන්සි වෙන්නේද?
    මා වැරදි විය හැක

    ReplyDelete
  20. වල්පල රාහුල හිමි වැනි උගත් හිමිවරුන් බුද්ධ පූජාව පිළිබදව මෙලෙස ලියුවත් සාමාන්‍ය ජනතාව බුද්ධ පූජා තුළින් ඉමහත් සැදැහැ සිතක් උපදවා ගනිමින් කුශල සිත් වඩවා ගනී . ඒය නිවන් මග විවර කර ගැනීමට ඉවහල් වෙයි . ඒනිසා මෙවැනි අදහස් පැතිරවීම සසුන නසා ලීමකි . උගතුන් සහ දාර්ශනිකයින් බුදු දහමෙහි හරය පමණක් ගෙන ඒ අනුව තම ජීවිත ගෙන ගියාට වරදක් නැතත් මෙවන් අදහස් ජනතාව තුළ පැතිරවීම බුදු දහමට විපතකි .

    ReplyDelete
  21. ඉන්ද්‍රජිත්November 19, 2012 at 11:32 AM

    දහමේ ගැඹුරට යන විට අර්ථ විරහිත බව පෙනුනට සාමාන්‍ය බහුතර බෞද්ධයාට මේ වත් පිළිවෙත් වල මොකක් හරි ගැඹුරක් තියෙන නිසයි මේවා මෙතරම් කලක් ඔරොත්තු දී පවතින්නේ. ඔවුන් බුදු හාමුදුරුවන්ට සලකන්නේ තවම අප අතර වැඩසිටින පරමාදර්ශී මනුස්සයෙකුට වගේ කියායි මට හිතෙන්නේ. හරියට අපි මහගෙදරින් භෞතිකව පිටවෙලා ඇවිත් දැන් අවුරුදු දහයකට වඩා ගතවෙලා වුනත් අම්මා තවමත් හැමදාම උදේට අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් පිඟාන කෝප්පය පවා හෝදලා බලා ඉන්නවා වගේ.. පූජාව තියලා 'අනුකම්පං උපාදාය පතිගන්හාතු..' කියකියා පෙරැත්ත කර කර කන්න කියා අයදින එක ගැන මිත්‍යාවක් හැටියට බලනවට වඩා සෞම්‍ය විදියට බලන්න හිතෙන්නෙම නැද්ද ? මට හිතෙන්නේ 'බුද්ධ මාමක' (බුදුන් මගේමයි කියා හිතන) යන වදනේ ප්‍රායෝගික තේරුම එතන තියෙනවා. වල්පොල හාමුදුරුවෝ වගේ බුද්ධිවාදී විද්වතුන් නිසා ධර්මය පවා මිනිසුන්ගෙන් ඇත් වෙන බව ප්‍රබල විවේචනයක් මාටින් වික්‍රමසිංහ මහතා ළඟ තිබුනා. එතුමාගේ අන්තිම හරියේ කෘති පරිහරණය කරන විට මේ අදහස් කීප තැනකම හමු වෙනවා.
    අනෙක් අතට අර ඇනෝ කියන්න වගේ රාවයේ අරමුණ නම් මටත් සැකයි. ඔවුන්ට බුදු දහමේ හරය සොයා යන්න හදිසිය හැදෙන්නේ එමගින් පවතින බෞද්ධ සමාජ සංස්ථා වලට පහරක් දීගන්න තිබෙනවානම් විතරයි. මෙතනදී සිහියට එන්නේ මාක් ට්වේන් (මට මතක හැටියට) කියා ඇති පහත සඳහන් උපුටනයයි.. "ආගම නිසා අප අර්ධ වශයෙන් විනාශය. එය නොතිබෙන්නට අප පූර්ණ වශයෙන් විනාශය.."
    හැබැයි මිනිසුන්ගේ මූඪ ශ්‍රද්ධාව චූන් කර විකුණාගෙන කන භික්ෂු ව්‍යාපාරිකයින්, එෆ් එම් නාලිකා සහ සියලු ආකාර වෘත්තීය පූජා සංවිධායකයින් නිදොස් කරන්න මේකෙන් අදහස් කරන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක මිස් වුනේ..සතියක්ම මම හිටියේ පන්සලේ නිසා. මෙතනදී චාමි සහ රාහුල හාමුදුරුවෝ හරිද වැරදිද කියන එකට වඩා වැදගත් චාමි අන්තවාදී වීම ගැන තියන අසතුට. ඉන්ද්‍රජිත් කියපු එක මමත් කිව්ව කියල හිතා ගත්තට කමක් නෑ.

      Delete
  22. I am a Buddhist by birth. Now non-religious but associate monks as friends eat Buddha Poojawa.

    ReplyDelete
  23. බුද්ධ පූජාව තැබූ පසුව දොර වසා තබන්නේ බුදුන්ට වැළඳීමට නොව, මනුෂ්‍ය ගන්ධයට අකමැති දෙවි දේවතාවුන්ට පැමිණ වැඳ පුදා ගැනීම සඳහායි.

    වල්පොල රාහුල හිමි එය නොදැන සිටින්නට ඇත. රහත් නොවූ සැමට වැරදීම් සිදුවේ. හැරත් භික්ෂූන්ට දේශපාලනය සුදුසුයි කියමින් හෙළ උරුමයේ භික්ෂු දේශපාලනයට අඩි තාලම දැම්මේත් ඔය වල්පොල රාහුල හිමියන්ය.

    ReplyDelete
  24. ශ්‍රද්ධාවේ දුර්වලත්වය නිසාමයි පින්කම්වල අඩු පාඩු දකින්නේ.

    ReplyDelete
  25. තෙරැවන් සරණයි, මේ ගැනද සිතා බලන්න !!!
    .තිට්ඨන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං ඵලං
    චේතො පසාද හේතුම්හි සත්තා ගච්ඡන්ති සුග්ගතිං

    ඒ උතුම් ගුණ දරණ බුදු පසේබුදු මහා රහතන් වහන්සේලා ජීවමානව වැඩ සිටිය ද, නොසිටිය ද, උන් වහන්සේලාගේ උතුම් ගුණ සිහිකොට ජීවමාන වූ කලෙක ලෙසින් ම බලවත් ශ්‍රද්ධා පිහිටුවා වන්දනා මාන කරයි ද, උපස්ථානාදිය සිදු කරයි ද චිත්තප්‍රසාදය සමාන වන බැවින් ඒ තැනැත්තාට ඒ කුසලය හේතුවෙන් ලැබෙනා කුසල විපාකය ද සමාන වේ. උතුම් බුද්ධාදී උතුමන් කෙරෙහි සිත පහදවා ගැනීම හේතු කරගෙන සත්වයන් සුගතියට යන්නාහ යනු බුද්ධාවවාදයයි.- මෙය අඩංගු පිටකය මට තාම සොයා ගන්න බැරි වුනා.

    ReplyDelete

Follow by Email