Saturday, September 11, 2010

තාත්තාට කේන්තියෙනි.

තාත්තේ,

මෙය මගේ ජීවිතය තුල මා ඔබට ලියන පළමු ලිපියයි. එයද ඔබ අප අතරින් සදහටම වෙන්ව වසර හයකට පසු අස්පර්ශීය බ්ලොග් අවකාශයක ලිවීමට සිදුවීම, මා විසින් ලේඛනයේදී පෙර අත් නොවිඳි වෙනස් හැඟීමක් දනවයි.

ඔබගේ ජීවිතය තක්සේරු කල හැකි තැනක මා නැත. ඔබගේ සිදුවීම් බහුල යොවුන් විය පිළිබඳව ඔබ මා හා පවසා ඇත්තේ අල්ප වශයෙනි. ගා‍ල්ල කලහේ ඉපිද, ගැටයා සන්දියේ චිත්‍රපටි පිස්සුව සෑදීම කරණකොට ශාන්ති කුමාර්ගේ සිනමා කටයුතුවල බැලමෙහෙ කල බවද, ඒ හේතුවෙන් ‘සංසාරේ’ චිත්‍රපටයේ රඟපෑමට ලද එකම දර්ශණය එඩිටර් මල්ලිගේ කතුරට හසුවීම හේතුවෙන් මවගේ සහ ඔබගේ (මගේ) ඥාතීන්ගේ සමච්චලයට භාජනය වූ බවද ඔබ පවසා ඇත. ඉන් අනතුරුව ශාන්ති කුමාර් විසින් (මනා ගායන හැකියාවක් ප්‍රකට කල ඔබට) ලබාදීමට පොරොන්දුව සිටි චිත්‍රපට පසුබිම් ගීතයක් වෙනත් අයෙකුට ලබාදීම හේතුවෙන් ඇතිවූ සිත්තැවුලක් මත ඔබ වෙනත් රැකියාවක් තෝරාගත් බවද පවසා ඇත.

අනතුරුව එළැඹි 71 කැරැල්ල එවක ඔබගේ සුවපහසු රැකියාව සහ වාසස්ථානය අහිමි කලේය. ඉන් අනතුරුවද ඔබගේ සිනමා සිහින තුල වැරදීමකින්වත් නොදුටු විවිධ ආන්තික රැකියාවන්හි නිරත වෙමින්, විවිධ හැලහැප්පීම් මැද කරගෙන ආ සුළු පරිමාණ කලා කටයුතු මට දැනුම් තේරුම් ඇති අවධිය වන විට ඔබ සම්පූර්ණයෙන්ම නවතා දැමීය. ඔබ පරාජය භාරගත්තේය. ඔබ වෙනුවෙන් තරඟ කිරීමට මා සූදානම් කිරීම සඳහා ඔබේ දිවියේ ඉතිරි කාලය කැප කල බව මා දනිමි.

ඔබගේ දේශපාලන දිවිය මට මහත් අවුලකි. ඉලන්දාරි සමයේ සමසමාජය සමග වැඩ කල බවද, ‍තරුණ ප්‍රේමදාස සමඟ සුචරිතයේ කිරි ඉතිරවූ බවද, 71 කැරලිකරුවන්ට හිතවත් වූ බවද, ජේ.ආර් ගේ ව්‍යවස්ථාවට එරෙහිව අරගල කල බවද ඔබ පවසා ඇත. මා දන්නා කාලයේදී ජේ.වී.පී. එකෙන් මගේ අනාගතය බේරා ගන්නට ප්‍රේමදාසටද, ප්‍රේමදාසගෙන්(යූ.ඇන්.පී. මර්දන යන්ත්‍රයෙන්) මා බේරා ගන්නට චන්ද්‍රිකාටද, චන්ද්‍රිකා මට්ටු කරන්නට ජේ.වී.පියටද, දකුණේ හාදයෙක් නිසා මහින්දටද ඡන්දට දුන් බව දනිමි. ෆොන්සේකාට ඡන්දය දෙන්නට ඔබ ජීවතුන් අතර සිටියේ නැත.

මේ සියල්ල පසෙක තිබියදී මට දැන් ඔබ ගැන කේන්තියක් දැනේ. ඒ ඔබගේ ජීවිතය විඳීම වෙනුවට මා වෙනුවෙන් විඳවීම පිළිබඳව මෙන්ම, එය අර්ථ විරහිත වීම හේතුවෙන් මගේ ජීවිතයද විකාරයක් වීම කරණකොට ගෙන විය හැකිය. ඔබ ඉපයූ දේපල මා බව වරක් පවසනු මා අසා ඇත. එය සත්‍යයකි. මන්ද ඔබ ඉපයූ වෙනත් චංචල/නිශ්චල දේපලක් නැති බැවිනි. ඔබ වරෙක මා ශාන්ති කුමාර් වැනි සිනමා කරුවෙකු වනු ඇති බවටද, නැතහොත් වික්ටර් රත්නායක වැනි ගායකයෙකු වනු ඇති බවටද, වරෙක වෛද්‍යවරයෙකු වනු ඇති බවටද සිහින දුටු බව ප්‍රත්‍යක්ෂය. ඒ එකක්වත් ඉටු නොවූ මුත් ඔබ මියයන මොහොතේදීත් කුමක් හෝ සිහිනයක් දරා සිටින්නට ඇත.
(එහෙත් ඒ ‘බ්ලොග් ලියන්නෙකු’ නොවන බව නම් දනිමි)

කලහේ උපන් ඔබ, වංචාවල උපන් ‘සරත් නානායක්කාර’ නමැත්තෙක් දැන සිටියාද?
ඔබ දැන සිටිය යුතුව තිබූ පුද්ගලයා ඔහු යයි සිතමි. ඔබ ගැටවර වියේදී ගමෙන් පැන ගියාක් මෙන් ඔහු ගැටවර වියේදී එ.ජා.ප.ය ට බැ‍‍ඳෙන්නට ඇතැයි සිතමි. ඉන් අනතුරුව සමගි පෙරමුණේ හාල් පොලු වලට විපක්ෂවද, 77 ව්‍යවස්ථාවට පක්ෂවද, 83 හර්තාලයට එරෙහිවද, ලාම්පු කලගෙඩි සෙල්ලමේදී ජේ.ආර් ට පක්ෂවද, 89 දේශප්‍රේමීන්ට එරෙහිවද කටයුතු කරන්නට ඇත. එහෙත් ප්‍රමාණවත් පරිදි ප්‍රවේශම් නොවීම හේතුකොටගෙන කැරලිකරුවන් විසින් ඔහු ඝාතනය කරන ලදී.

ඔබේ වයසේ ඔහු, ඔබ තරම් කාලයක් ජීවත් නොවූ බව සැබෑය. එහෙත් ඔහු මගේ වයසේ දරුවෙකු මෙන්ම මහත් සංකේතීය දේපලක්ද උපයා තැබූ බව ඔබ නොදනී. එය ‘ප්‍රතිපත්තිගරුක දේශපාලනය’ නමින් භෞතීස්ම කොට පසුගිය ඡන්දයේදී ඔහුගේ මා වැනිම වූ දරුවා විසින් හෝල් සේල් කර විකුණා දැමූ අතර දකුණ හොල්ලා ඔහු කවුන්සිලේට තේරී පත්වූ බවද ඔබ නොදනී. ඔහු ඊයේ පෙරේදා එම මන්ත්‍රී පදවියද ඉතා විශාල මුදලකට පාවාදුන් බවටද කටකතා ඇත.

ඔහුට මා දොස් නොකියමි. මට කේන්ති ඔබ සමගය. එම පුත්‍රයාට මින් පසු සිල්ලර කඩවල මුදලාලිලා සමඟ යාප්පුවෙන් සිටීමට අවශ්‍ය නොවනු ඇත. HSBC ගිණි පොලී ඇරියස් ගෙවන ලෙස ලිපි නොලැබෙනු ඇති අතර ඔහුගේ ස්වර්ණාභරණ නිවසේ අල්මාරියක සුවසේ තැබෙනු ඇත. ඔහුගේ අන්තර්ජාල සබඳතා විසන්ධි නොකෙරෙනු ඇති අතර පස්ස රිදෙනකං මෝටර් බයිසිකල් කටු වල යාමටද, විවිධ මානසික රෝගීන් යටතේ රැකියා කිරීමටද සිදු නොවනු ඇත. ඇහැට කණට පේන ගැටිස්සියක් දුටුවිට එකේ සිට සීයට ගණන් කිරීමටද ඔහුට අවශ්‍ය නොවේ.

මා අසා ඇති කියමනක් මෙසේය.
‘තරුණ වියේ මුල් කාලයේදීම පවතින හොඳම කඩයට යා යුතුය. නොඑසේනම් එක කඩයකින් ඊට වඩා හොඳ කඩයකට ආදී වශයෙන් ජීවිත කාලය පුරාම කඩේ යමින් සිටීමට තරම් ඔහු අවාසනාවන්ත වේ.’
(මෙම රුවන් වැකිය මා විසින් මිලදී ගත් රෝගයක නමක් සහිත විශාල පොතක කවරයේ අලවාගෙන අද ද වරින් වර කියවමි.)
ඔබේ ජීවිතය ගෙවා දැමූ ලෙසින්ම මගේ ජීවිතයද අද විඳවමින් සිටිමි. මගේ දරුවාගේ ජීවිතයද මෙලෙසම වේදැයි නිරතුරුවම කල්පනා කරමි.

පුතා,
Charmi.


ප.ලි -
තාත්තේ, ඔයාගේ වීරයා වාසු?
විධායක ජනාධිපති බලතල වැඩිකරන්ඩ අත ඉස්සුවා.
මොකක්? බොරු නෙමේ....
අම්මාපල්ලා.......!

21 comments:

  1. තාත්තේ,
    තාත්තාට සතුටු වීමට තිබෙන එක දෙයක් තියනවා.ඒ තාත්තගේ පුතා ආත්මය පාවලා දෙන පුතෙක් නොවිච්ච එක.මම තාත්තා කෙනෙක් හැටියට හිතන්නේ මෙච්චරයි..මගේ දරුවා ආත්මය පාවලා නොදෙන , මම වාගේ ජීවිතය විඳවන්නේ නැති පුරවැසියෙක් විදියට සමාජගත කරන එක.

    ReplyDelete
  2. අප සමාජයක් හැටියට මේ තත්ත්වයට කිට්ටු වෙන බව මා සිතුවා. හරියට කොමියුනිස්ට් සමාජයක වගේ. යම් සීමිත පිරිසක් පුද්ගලික ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් පවත්නා පාලන තන්ත්‍රයට ආවඩන අතර ඉතිරි සියල්ලන් ඔවුන්ට ඉරිසියා කරන්ට පටන් ගන්නවා. ඉරිසියාව කියන්නේ බුද්ධියෙන් අනෙක් ජීවීන්ට ඉහළ, මානවයන් අතර පමණක් දැකිය හැකි, පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ලැබුණු දෙයක්. අප හිතන තරම් ඉරිසියාව නරක නැහැ. ඒක හොඳයි ඵලදායක අරමුණකට යොමුවන තාක් කල්.

    ReplyDelete
  3. තාත්තා ඔහුගේ හිතට එකඟව ගමනක් ගියා.
    ඔහුගේ ගමන් පඨය යම් යම් අවස්ථාවලදී UNP එකේ SLFP එකේ සහ JVP එකේ පඨ සමග සමපාත වුණා. අතරමග නතර නොවුණා නම් ෆොන්සේකා සමගත් සමපාත වෙන්න ඉඩ තිබුණා, තංගල්ලට වඩා අම්බලන්ගොඩ ගාල්ලට ලඟයි නොවැ!

    ReplyDelete
  4. තාත්තා කල දේ පුතා නොකලොත් ඌ නොට් උගේ පුතා කියලා සුද්දා කියලා තියනවනෙ බන්... :)

    ReplyDelete
  5. කාලය...වෙනස්වීම.....විඳීම සහ විඳවීම......

    ReplyDelete
  6. වෙනස් වීම....නොවෙනස් වෙන එකම දේ....
    ප්‍රතිපත්ති වලින් බඩ පිරෙන්නෙ නැති යුගයක තාත්තා නොහිටි එක මට සතුටුයි.
    නැත්නම් මෙහෙම කතා කරන්නවත් ගුණයක් තාත්තගෙත් ඉතුරුවෙයිද කියලනම් සැකැයි.

    ප.ලි
    ඔබගේ පොත සංරක්ශනය කොට තබාගන්නේ නම් මැනවි.කිමද එය අදට වඩා වටින්නේ හෙටටය.

    ReplyDelete
  7. අම්මපල්ලා නියමයි!!

    ReplyDelete
  8. පවතින හොඳම කඩයට යාම අද අප ජීවත්වෙන යුගයේ වටිනාකම් හොඳින් ප්‍රදර්ශණය කිරීමක්.

    මුලු සමාජයම ඔය විධිහයි බැලුවාම, ප්‍රතිපත්තියක් නෑ. අර කිව්වා වගේ හුඟක් තරුණයිටත්, තරුණියන්ටත් ඇහැට කනට පෙනෙනා විරුද්ධ ලිංගිකයෙක් දුටුවුට 100ට ගණන් කිරීමක් අද නෑ.(LOL)

    ReplyDelete
  9. we know who the manusha nanayakkara is ,he is a kind of bastard .During his school time he had taken good name as "pants sniffer " and once sangamithha college hostel had big underwear trouble, because manusa used to steal them .
    ask any old mahindian or colleges who was there 98-99 ,they will explain him well...

    ReplyDelete
  10. මේ ලිපියට දාන්න මම මුලින්ම ටයිප් කරපු කම්න්ට් එක දැම්ම නම් වෙන්නේ මම බොහොම අමාරුවෙන් (සුනේත්‍රාගේ පූර්ව ජන්ම අපූර්වය වගේ පොත් වලට පිං සිදු වෙන්න) මගේ හිතින් සමාව දීලා තියෙන තාත්තට අයේ පාරක් වෛර කරන්න පටන් ගන්න එක . . .

    ඒ කමෙන්ට් එක පස්සේ දවසක (හිතුනොත් විතරක්) පෝස්ට් එකක් විදිහට ලියන්නම් . ..

    මේ ලිපිය මගේ ඇස් දෙක ට කඳුලු ගෙනවා වගේම ගොඩක් දෙනා ගැන, ගොඩක් දේවල් ගැන හිතලා නිසල කරගෙන තිබුනු මගේ හිත මොහොතකට ආපහු සසල වුනා . . .

    ReplyDelete
  11. චමිල මූනු පොතේ මේ ලිපිය ශෙයාර් කරපු එකට මම දාපු කමෙන්ට් එකයි මේ

    අපේ තාත්තලගේ වීරයෝ අපිත් හිතාගෙන හිටියේ හැබෑ වීරයෝ කියලා . . .

    උන් ඔක්කෝම කාඩ්බෝඩ් වීරයෝ කියලා දැක්ක දවසේ උන් වීරයෝ කියලා මම අසාවෙන් පුම්බගෙන හිටපු මගේ ම පපුවට පිහියෙන් ඇණගන්න හිතුනා . ..

    සිරාවට .

    ReplyDelete
  12. මොනව ලියන්නද කියල හිතාගන්න බැහැ. හිත කම්පනය කරා මේ ලිවුම. ඔයාගේ තාත්තා ජීවත් වුන කාලය කියන්නෙ හරිම සිද්දි බහුල කාලයක් චාමී. ඒත් එයාගෙ පුතා ජීවත් වෙන කාලේ ඒ කියන්නෙ දැන්, සිදුවීම් කියල දේවල් තියනවද?

    ReplyDelete
  13. හරි එක තෝර ගන්න බැරි තරමට තාත්තලාව රැවටුව මුඵ මහත් ක්‍රමයම. අද ඔවුන්ගේ පුත්තු ජීවත් වෙනව. ඒත් ඒ ක්‍රමයම තමයි තවමත්ත පවතින්නෙ.

    ReplyDelete
  14. මේ ලෝකේ දේශපාලනේ කියා දෙයක් නොතිබුනානම් ලෝකය කොතරම් සුන්දර වෙයිද?

    ReplyDelete
  15. ඉතාම අගනා පෝස්ට් එකක්!

    මට පේන විදියට පුතා කිරලා මැනලා වාසිම කඩේ තමයි තෝරගෙන තියෙන්නේ... නොට් උගේ පුතා තමයි.

    ReplyDelete
  16. අම්මා පල්ලා කිව්වත් තාත්තා විශ්වාස කරන එකක් නෑ. අපේ තාත්තත් එහෙමයි.

    ReplyDelete
  17. This the fu..ing reality.
    "ඔබේ ජීවිතය ගෙවා දැමූ ලෙසින්ම මගේ ජීවිතයද අද විඳවමින් සිටිමි. මගේ දරුවාගේ ජීවිතයද මෙලෙසම වේදැයි නිරතුරුවම කල්පනා කරමි."

    ReplyDelete
  18. උඹ නම් සිරා ලේඛකයෙක්. ලංකාවේ දේශපාලනයේ මහා තඩි පදාසයක් මෙච්චර කෙටියන්. මේක මාර විදිහට රස වින්දා [රස වින්දා කියා කියන්න පුලුවන්ද?]

    ReplyDelete
  19. http://www.lankaleaks.com/2012/03/18/%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82-%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB/

    ReplyDelete