Thursday, May 10, 2012

ලිඳෙන් "ආපු" හාමුදුරුවො...

මේ කතාවත් මම කලින් ලිව්ව 'ලි‍ඳේ පැන්න නාමලී' ලගෙ ගමට සම්බන්ධයි. ඒකාලෙ මම නියුතුව උන්නු එක්තරා ක්ෂේත්‍ර රාජකාරි කටයුත්තකට අදාලව නාමලීලගෙ ගමේ මාස කීපයක් කටයුතු කරන්න සිද්දවුනා. මට ඒ සඳහා මුලින්ම කරන්න වුනේ ගමේම සම්බන්ධීකරණ කාර්යාලයක් හදාගන්න එක. ඒ වෙනකොටත් මට ඔත්තුවක් ලැබිල තිබුණෙ නාමලීලගෙ පන්සලේ බණමඩුවෙ වහල දාල තියෙන කාමරයක් ගැන. පන්සලට ගිහින් හාමුදුරුවන්ගෙන් ඔය ගැන අහන්න හිතං ඉද්දි තමයි මට අහම්බෙන් තිස්ස අයියා හම්බවුනේ. තිස්ස අයියගෙ ප්‍රතිචාරය නම් එච්චරම හොඳ එකක් වුනේ නෑ.

"අනේ මන්ද මල්ලි.... වෙන තැනක් නැද්ද? කමක් නෑ... ටිකක් කල්පනාවෙන් ඉඳපං... අන්තිමේ උඹේ නමත් චාටර් වෙන්ඩ පුලුවන්..."
"....?..."
"ඕකෙ ඉන්න හාමුදුරුවො ටිකක් අමුතු පොරක් මං හිතන්නෙ.... මම දවසක් දැක්කා......"
"හාමුදුරුවො?"
"ඔව් බං.... ඒ දවස්වල මගෙ වත්තෙ වැඩ කෙරුවෙ ඔය ගමේ මනුස්සයෙක්.... දවසක් මොකක්හරි හදිස්සියට මම මෑන්ව හොයාගන්ඩ පාර අහගෙන ගියා... ගිහින් වැටුනෙ ඔය ගම්මණ්ඩියට...... කොළණියක්... ඒ කාලෙ ගෙවල් දොරවල් වත් හරියකට තිබුණෙ නෑ...."
"ඉතින්.....?"
"ගිහින් මම ගෙයක් ඉස්සරහ බයික් එක නැවැත්තුවා..... ගේ අහගන්ඩ.... ගේ පිටිපස්සෙන් මැදිවයසේ ගෑනු කෙනෙක් ගෙට යනවා දැක්කා.... ඒ මනුස්සයා මාව දැක්කෙ නෑ.... ගෙට එහායින් ලිඳක් කපනවා..... එතන ලණුවක සිවුරක් දාල තිබුණා...."
"සිවුරක්...?"
"ලිඳ ඇතුලෙන් සද්දයක් ආපු හින්දා මම එතනට ගියා.... කවුරුහරි වැඩ ඇති කියල හිතාගෙන..... ගේ අහගන්ඩ..... ලිඳ ඇතුලෙ කවුරුහරි වැඩ.... මම දැක්කෙ තට්ට මනුස්සයෙක් අලවංගුවකින් පොළව හාරනවා...... යකෝ ඇඳං ඉන්නෙ අඳනයක්....."
"හුටා....."
"මෑන් කවුරුහරි ආව කියල දැනිල වගේ උඩ බැලුවා. ඊට පස්සෙ මගෙන් ඇහුවා.... 'මහත්තයෝ වෙලාව කීයද' කියලා.......
මම  හිතන්නෙ එතකොට එකොලහටත් කිට්ටුයි.... පස්සෙ 'ම්.... යන්ඩ ඕනෙ....' කියලා උඩ තිබුනු මාංගු ඉනිමගක් ඇතුලට දාන්ඩ කිව්වා..... පස්සෙ ඒකෙ නැගල උඩට ඇවිත් සිවුරත් කරේ දාගෙන මං ගැන අහල මට පාරත් කිව්වා....... පස්සෙ මං ගියා....."
"මාර බඩුවක්නෙ...."
"මාර කියන්නෙ.... යකෝ මටත් අප්සෙට්.... මං හිතන්නෙ ඒ ගෙදර අර ගෑනි විතරයි ඉන්නෙ.... කියන්නෙ කරගන්න මගුලක් ඒ විදිහට කරගනිංකො..... ගෙවල්වල රිංගගෙන... ලිං කපාගෙන... වාල් වැඩ කරලා.... චික් විතරක්...... අඩුගානෙ සිවුරෙ ගෞරවේ තියපං......"

දවස් කීපයකට පස්සෙ මම පන්සලට ගියේ ඔය කහටත් ඔලුවෙ තියාගෙන. පන්සලේ කවුරුවත් නෑ. පැය බාගෙකට විතර පස්සෙ හාමුදුරුවො වැලි පාර දිගේ එනවා. ගිනි කාෂ්ටක අව්ව. අඩුගානෙ සෙරෙප්පු දෙකක්වත් නැතුව. වයස අවුරුදු පනස් පහක් විතර ඇති. සාමාන්‍ය උස, අව්වට කළුගැහුනු කෙට්ටු කෙනෙක්. හාමුදුරු කෙනෙකුගේ සෝමාරි පෙනුම වෙනුවට හොඳට බරවැඩ කරන මිනිහෙකුගේ කරංගෑටි වුන ඇඟක්.

මාව බොහොම සන්තෝසෙන් පිලිගත්තා. කාර්යාල කාමරේ අස්පස් කරලා දෙන වැඩෙත් හාමුදුරුවො බලෙන්ම බාරගත්තා. ආවාසගෙයි කුස්සියට ගිහින් හාමුදුරුවොම තේ වක්කරලා මටත් ප්ලේන්ටියක් හදලා දුන්නා. මමත් වැළඳුවා. වෙන මොනවා කරන්නද?

මේ පන්සල ආරම්භ කරල තියෙන්නෙ ධම්මාරාම කියල බොහොම උගත් සිල්වත් හාමුදුරුනමක්. උන් වහන්සෙගෙ ස්මාරකය තාමත් පන්සල් ඉඩමෙ තියෙනවා. ඊට පස්සෙ ආපු හාමුදුරුවො ගමෙන්ම පෙලවහක් කරගෙන සිවුරු ඇරලා ගියා. ඊට පස්සෙ අපේ කතානායක රතනපාල හාමුදුරුවො.

පළවෙනි සතිය දෙකේ මට තිබුන ලොකුම ප්‍රශ්නේ අපි අතර සම්බන්ධතාව මොන මට්ටමෙන් ගෙනියනවද කියන එක. මොකද හැමුදුරුනමක් සහ ගිහියෙක් අතර සම්බන්ධතාවයක් එතන තිබුනෙ නැහැ. පන්සලේ ඇබිත්තයෙක් හිටියෙත් නෑ. හැමදේම කරගත්තෙ හාමුදුරුවො.

දවසක් දවල් දොලහට විතර හාමුදුරුවො මට කතාකලා.
"මහත්තයො.... තරහ නැතුව පාං රාත්තලක් ගේමුද?"
ඔය තමයි මට කියපු පලවෙනි වැඩේ.
"ඇයි හාමුදුරුවනේ දානෙ.....?"
"අද දානෙ නෑ මහත්තයො... මං ඕව දායකයන්ට කියල කරදර කරන්නෙත් නෑ.... උනුත් සේරම එදාවේල ජීවත් වෙන උං..... ආ.... පුලුවන්නං රාජා සුරුට්ටු මිටියකුත්......."
මම පාං අරං එනකොට හාමුදුරුවො පරිප්පු හොද්දක් හදලා. පාන් රාත්තල දෙකට කපාගෙන අපි දෙන්නා කෑවා. මගේ ජීවිතය තුල මම කාපු රසම පරිප්පු හොද්දක්.

වැඩකරන දවස්වල මම නමයට විතර පන්සලට එනකොට හාමුදුරුවො අඳනය පිටින්ම කොහෙහරි වැඩක්. එක්කෝ අගලක් කපනවා. නැතිනම් පාත්තියක් දානවා. උදළු ගානවා. දවසක් හාමුදුරුවොම මට ඕක පැහැදිලි කලා.
"මම නිකවැරටියෙ.... අපෙ අප්පුච්චල හේන් ගොවිතැන් කොලේ..... අපිත් හරි හරියට ඕවයෙ ඔට්ටු උනා.... අද උනත් උදේට පැයක් වත් මොකක්හරි වැඩක් කලේ නැත්තං දවසම ඇඟට පණ නෑ වගේ.... පුරුද්දට ගිහින්.... හෙහ් හෙහ්...."
හාමුදුරුවො මම එක්ක කියපු විදිහට වැඩිදුර ඉගෙනගෙන නෑ. පස්සෙ හාමුදුරුකෙනෙක් මෙයාව මහණ කරන්න ඉල්ලුවම හාමුදුරුවන්ගෙ පියා කැමතිවෙලා.
"අප්පුච්චා ගෙදර ඇවිත් කිව්වෙ මොකද්ද දන්නවද?
'තෝ මෙහෙ හිටියොත් අපි වගේම හේනක නටුගැහිල යයි. පංසලට ගියොත් තෝ කාලවත් ඉඳී.... පල....!'
එහෙම තමයි තාත්තල......"

රෑට බඩගිනි හැදුනාම රොටියක් පුච්චගෙන කනවා කියලත් හාමුදුරුවොමයි කිව්වෙ.
"මහත්තයෝ... නිකං පන්සලේ ඉන්න කෙනාටනං එක වේලත් ඇති.... ඒත් මං දවස තිස්සෙ වැඩකරන මනුස්සයා..... අනික මං මිසක් මගෙ බඩපණුවො කෝටියක් සංවර සීලෙ රකින්ඩ පොරොන්දු වෙලා නෑනෙ... හෙහ්....."
මේ මොන කතන්දර උනත් හාමුදුරුවො දිනපතා ගමේ රෝන්දෙ ගහන එක නං මට ප්‍රශ්නයක් වෙලා තිබුනෙ. විශේෂයෙන් තිස්ස අයියගෙ කතාවත් එක්ක. ඒත් මං අහන්ඩ ගියෙ නෑ. දවසක් හාමුදුරුවොම එලියට බහින ගමන් මට ඒක කිව්වා.
"මං ටිකක් ඇවිදල එන්නං මහත්තයො.... මුංගෙ විස්සකට තිහකට  ගෙවල් හදන්ඩ මන්ත්‍රිතුමාට කියලා නිවාස ආදාර අරං දුන්නට එක බල්ලෙක්වත් වැඩ පටංගන්නෑ...... මුංට ඊට ලොකුයි කසිප්පු බොන්ඩ දවසෙ කීයක්හරි හොයාගන්න එක. සමහර උංගෙ සිමෙන්ති දැං ගල්වෙන්ඩ පටං අරං... එව්ව ඔය ගල්වෙවී හරි තියෙන්නෙ මං දවසගානෙ ගිහිං බලන හිංදා.... දවස් දෙකක් යන්ඩ බැරිඋනොත් මුං එච්ච විකුනලා කසිප්පු බොනවා..... ඊයෙ එකෙක්ගෙ අත්තිවාරමක් මංමයි කපන්ඩ ඇල්ලුවේ...මං කියල ආවෙ අද කපාපිය මං බලන්ඩ එනව කියල...."

මේ නිවාස ආධාර කතාව ඇත්තක්. ගමේ මිනිස්සුන්ගෙ කල්කිරියාවත් ඔය කියපු විදිහම තමයි. ඕනෙ එකක් වෙන්ඩ මගෙ ප්‍රශ්නෙත් මම ඒ වෙලාවෙම අහල දැම්මා.
"මගෙ යාලුවෙක් දැකල තියෙනව හාමුදුරුවො කාගෙද ලිඳක් කපනවත්......"
"ම්........"
හාමුදුරුවො ඇවිත් බණ මඩුවෙ වාඩිවුනා.
"ඔය කියන්නෙ කුසුමාවතීලගෙ ඉඩමෙ ලිඳ.... ඕකෙ බඹ දෙකහමාරක් විතර කැපුවෙ මම තනියම කිව්වත් හරි...... ඒ දවස්වල මුං නෑවෙ වැවෙං. බොන්ඩ වතුර ගේන්ඩ හැතැම්ම බාගයක් විතර පයිං ගියා. ඒගමන මන්ත්‍රීතුමාට කංකෙඳිරි ගාල ලිඳකට ගලුයි සිමෙන්තියි ඉල්ලගත්තෙ මගෙ කටේ බලේට. ලිඳ කපල බැඳගන්ඩ ඕනෙ ගමේ උං....."
"ඉතිං හාමුදුරුවනේ...?"
"මම නැකතකුත් බලල කිරි උතුරෝල වැඩේ පටන් ගත්තා.... දවස් කීපයක් යද්දි ගමේ උං එකා දෙන්න නෑවිත් ඉන්ඩ ගත්තා.  අන්තිමේදි මූනිච්චාවට එක එකත් පැය බාගයක් ඉඳල මාරුවෙලා යනව කසිප්පු පැලෙන්ඩ.... යල් වැස්ස අතළඟ.... කරන්ඩ දෙයක් නැති තැන මං ලිඳට බැස්සා......
වටේ ගෙවල්වල ගෑණු පස් ඇද්දා..... බඹ තුනක් විතර ගියාට පස්සෙ ඔන්න මිනිස්සුංටම ලැජ්ජ හිතිලද කොහෙද ඇවිත් තව බඹ එකහමාරක් කපලා මහ වැස්සෙම ලිඳ බැන්දා..... වැඩේ අහවර වෙනකං දවල් රෑ දෙකේ උංව රන්දෝගෙන මාත් බදාම ඇනුවා........ හහ්...
මහත්තයට කියන්ඩ පහුගිය මහ පෑවිල්ලට මේ අහල ගංවල හැම ලිඳම හිඳුනත් මේක හිඳුන්නෑ....... ගමම වතුර බිව්වෙ ඕකෙං...... මමයි තැන බැලුවෙත්.... මහ පොලොවෙ එහෙම තැන් තියෙනවා......"

මට දැනුන විදිහට ගමේ මිනිස්සුන්ගෙ හාමුදුරුවන්ට තිබුනෙ ගෞරවයකට වඩා බයක්. හාමුදුරුවො මන්තර ගුරුකම් දන්නව කියල හිතං හිටපු නිසා වෙන්නැති. ඔවුන් කතා බහ කලෙත් එතරම් ගරුසරුවකින් නෙමෙයි. හාමුදුරුවො උගත් නැති බවත් මිනිස්සු දැනගෙන හිටියා. මම දන්න විදිහට ඔහු කවදාවත් බණ කියලා නැහැ. ඔය පැන්වඩන ගාථාවයි, බෝධිපූජා ගාථා ටිකයි, අනෙක් එදිනෙදා අවශ්‍ය වෙන ගාථා ටිකයි ඇරුනාම දැනගෙන හිටපු වෙන ධර්මයකුත් නෑ මං හිතන්නෙ. තවත් විශේෂ දෙයක් තියෙනවා. මිනිස්සුන්ගෙන් වැඳුම් ලබන්න ඔහු ආශා කලෙත් නෑ.

හාමුදුරුවන්ට ඉඩම් ප්‍රශ්නෙකුත් තිබුනා. පන්සලෙන් වගා කරපු ලියදු කෑලි පහ හයක අනවසර කුඹුරක් සංවර්ධන වැඩකට රජයෙන් අත්පත් කරගන්න සැලසුම් කෙරෙමින් තිබුණා. 
"මම මලත් ඕක දෙන්නෑ මහත්තයො... මං මේකෙ ඉඳල මැරිල යයි. ඊට පස්සෙ එන හාමුදුරුකෙනෙකුට වත් මේ ගමේ වසන්ඩ නං ඕකවත් තියෙන්ඩ ඕනෙ... මේ වේසිගෙ පුතාල හිතං ඉන්නෙ පන්සල කියන්නෙ ගමේ කෑල්ලක් නෙමේ කියලා...."

මම නාමලීලගෙ ගමෙන් ඇවිත් වසර හයකට විතර පස්සෙ ආරංචිවුනා හාමුදුරුවො හදිස්සියෙ අපවත් උනා කියලා. හෘදයාබාධයකින්. හරියටම අර කුඹුරු ඉඩම රජයට අත්පත් කරගත්තුදා. මිනිස්සු කිව්වෙ ඉඩම් තන්හාවෙන් නහරයක් පුපුරලා මලා කියලා. ආරංචිය එද්දි ආදාහන උත්සවයත් ඉවරවෙලා.

මම මෑතකදී මල ගෙදරකට සහභාගි වෙන්න නාමලීලගෙ ගම මැදින් ගියා. පන්සල වල් වැදිලා. පන්සල පටන්ගත්තු පණ්ඩිත ධම්මාරාම හාමුදුරුවො කළු ගැහුනු ස්මාරකයක් වෙලා පන්සල් වත්තෙ මුල්ලක ඉලුක් කැලෑවෙන් වැහෙමින් පවතිනවා. පන්සල අවසන් කල රතනපාල හාමුරුවො ඒ මහ ඉඩෝරයේ ගම මැද සරුසාර ලිඳක් වෙලා මුළු ගමක පිපාසයට වතුර දෙනවා.

කෝටියක් සංවර ශීලය තබා පන්සිල් වත් හරියට නොරැකපු රතනපාල හාමුදුරුවො මොන අර්ථයෙන්වත් හොඳ භික්ෂුවක් නෙමෙයි. නමුත් ඔහු හොඳ බුද්ධ පුත්‍රයෙක්.