දිනිති අපේ ගමේ කෙල්ලකි. පියා ඇය කුඩාකලදිම මියගොසිනි. හැදුනේ වැඩුනේ ඇගේ
මවත් සමගම ඇගේ මහගෙදරය. එතරම් වත්පොහොසත්කම් නැති දුප්පත් පවුලකි.
ඉගෙනීමට හොඳ හැකියාවක්
තිබුණත් මේකි මලාට අපිට නොකියන, අපිත් නොදන්නවා වගේ ඉන්න පොඩි ලව් හුටපටයක් නිසා ඒ
ලෙවල් ඇනගත්තේය. ඊට පස්සෙ බාහිර උපාධි කරන්ඩ ගත්තේ අපි කාගෙ කාගෙත් බලකිරීම නිසාය.
යන්තම් ඒකනං ගොඩදාගත්තේය.
පහුගිය අවුරුදු තුනහතරක කාලයක් දිනිතියා සිටියේ විරැකියාවේය. වරින්වර ඇයට නොගැලපෙන සුළු
රැකියාවන් කිහිපයකට ගියත් ඒ එකක්වත් මාස දෙකකට වඩා කලේ නැත. කෙසේවෙතත් දැනට සති
දෙකකට උඩදී දහදාහේ උපාධිධාරී අභ්‍යාසලාභී පත්වීම් ගොඩට යාන්තමින් පැනගැනීමට ඇයට
හැකි විය. ඇයට වගේම අපිටත් සතුටුය. කිසිදු ස්ථිර ආදායම් මාර්ගයක් නැති ඒ පවුල යම්
පමණකින් හෝ ගොඩගන්නට ඇයට හැකිවනු ඇත. මාද ඇයට හදවතින්ම සුබ පැතුවෙමි.
අද උදෑසන ඇය ගැන ඉතා සතුටුදායක තවත් ආරංචියක් මට කිව්වේ ඈ විසින්මය. එය නම්
මට පමණක් නොව, මෙරටේ සුවහසක් වාමාංශිකයන්ටද ඉතා සතුටුදායක පුවතක්ම වනු ඇත. හෙට,
එනම් මැයි මස පළමුවෙනිදා උදැසන දහයකුත් ගානට යෙදෙන සුබ මොහොතින් ඇය ශ්‍රී ලාංකික
කම්කරුවෙකු වශයෙන්ද අභිෂේකව, ඇගේ මංගල මැයි රැලියේ ගමන්කරන්නීය. එම සුබ ගමණට යාම
සඳහා සූදානම්වන අභිනව පත්වීම් ලාභීන් එකසිය විසි ගණනට අළුත්ම ලේලන්ඩ් බස් දෙකක්ද
අපේ ගරු ආසන සංවිධායකතුමා සපයා ඇති බවද ඇය පවසා සිටියාය. (පැමිණීම අනිවාර්ය කොට
ඇති බවද ඇය කියා සිටියද එය මේ පෝස්ටුවට අදාල නැති දෙයකි).
ශ්‍රී ලාංකීය කම්කරු පන්තියට අළුතින්ම එකතුවන දිනිති නංගීට මගේ විප්ලවීය
සුබපැතුම්...!!