එම සවස් වරුවේ හදිසි ගමණක් යෙදී තිබුණු බැවින් යතුරු පැදියක් ඉල්ලා ගැනීමට මිතුරෙකුගේ නිවසට ගියෙමි. මිතුරා නැත. මිතුරාගේ නැන්දම්මා සහ බාප්පා කෙනෙක් සාලයට වී මැච් එක බලයි.
"මැච් එක බලනවා වගේ...........?"
"ආ... මේ දවස්වල ඉතිං වෙන මොනවද? මැච් තියෙනදාට අනිවාර්යෙං බලනවා.... "
ඒ නැන්දම්මාය.
"අද හොඳ පයිට් එකක් තියෙන්නෙ....."
ඒ බාප්පාය.
පැවැත්වෙමින් තිබෙන්නේ නවසීලන්ත, දකුණු අප්‍රිකා තරඟයයි. නවසීලන්ත ක්‍රීඩකයෙකුගේ වැරෙන් පහරකි. පන්දුව පිත්තේ වදින්නේ නැත. නැන්දම්මාට හීල්ලෙයි.
"අපරාදෙ.... වැදුනනං කෙලින්ම හයයි.... ආයෙ ඇල්ලිලි බොරු.... "
"හහ්...! හය තමා පොඩ්ඩක් පිත්තෙ කොනක වැදිලා ගියානං... අපරාදෙනෙ විකට් එක..." ඒ බාප්පාය.
"ඒ උනාට ඔහොම නොගහා බෑ...... පෙනේද.. බෝලෙ දාපු එකාගෙ හොර හිනාව....?"
නැන්දම්මා නොමනාපයෙනි.
"මොකද්ද අම්මෙ උනේ.....?"
ඒ හඬ ගේ ඇතුළෙනි. මිතුරාගේ බිරිඳය.
"දැං ඔයගොල්ලො කාටද සපෝට්.....?"
නිකමට වගේ ඇසුවෙමි.
" හා... අපි මේ ගහන කට්ටියට.... අරුංගෙ බෝල සැරයි... මෙහෙමවත් ගහන එක ඇති......."
මම යතුරු පැදිය ඉල්ලාගෙන ආවෙමි.
මා යතුරුපැදිය නැවත දීමට යන විට රාත්‍රීය උදාවී තිබිණි. මිතුරා තවමත් පැමිණ නැත. ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ සුළු වෙනසක් වී තිබිණි. බාප්පා නැත. නැන්දම්මාගේ අක්කා කෙනෙකු එතැන වාඩිවී සිටී. නැන්දම්මා සුපුරුදු පුටුවේය. මිතුරාගේ බිරිඳ නිවස තුල යමක් කරන හඬ ඇසේ. පන්දුවට පහර දෙන්නේ දකුණු අප්‍රිකාවයි.
"දැං මොකද වෙලා තියෙන්නේ...?"
ස්කෝර් එක බලා ගන්නට මටද අවශ්‍යව තිබිණි.
"මුං ගහනවා නියමෙට.... අරුන්ට කට උත්තර නෑ... හොඳ වැඩේ...."
එවර උඩ පන්දුවකි.
"අන්න හයක්...... අයියෝ කැච් එකක්ද? .... ඒකනං....."
හතරේ සීමාව ආසන්නයේදී උඩ පන්දුව රැක ගැනේ.
"අපරාදේ........ තව ටිකක් හයියෙං ගැහුවනං....."
නැන්දම්මා විස්සෝප වේ.
"මොකද අම්මේ.....? අවුට්ද?"
ඒ ප්‍රශ්නය සුපුරුදු ලෙස නිවස තුළිනි.
"පරාදයි නේන්නං..... අරුං ඇල්ලුවනේ..... අපරාදේ....."
කැච් එක ඇල්ලූ ප්‍රතිරූපණ බලන්නට මිතුරගේ බිරිඳද පැමිණේ.
"අපරාදෙ නේ....? තව ටිකක් එහාට ගියානං කෙලින්ම හයයිනෙ......"
දැන්නම් පරණ ප්‍රශ්නය නැවත නොඅසා බැරිය.
"ඔයගොල්ලො කාටද සපෝට්.....?"
"අපි මෙයාලට....."
මිතුරාගේ බිරිඳ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් පෙන්වා මදහසක් නගාගෙනම ගෙතුලට යයි.
ඌණ පූර්ණය නැන්දම්මාගෙනි.
"ඔය කඩුල්ලක් දෙකක් ගියාට කොදෙව්වො වට්ටන්ඩ බෑ....."
"කොදෙව්වො....????? මේ දකුණු අප්‍රිකාවනේ......."
නැන්දම්මා මගේ මූණ දෙස බලා සිටී.
"මේ කොදෙව්වො නේද....? දකුණු අප්‍රිකන් කාරයෝ මෙහෙම නෙමෙයිනේ......"
නැන්දම්මා අපහසුවෙනි.
"කොදෙව්වො නෙමේද අයියේ.....?"
ඒ ප්‍රශ්නය ගෙතුළිනි.
"යකෝ මුංගේ ටී ෂර්ට් වල ගහල තියෙන එකවත් බැලුවේ නැද්ද...."
"මට ඒක ගානක් උනේ නෑ..... මාත් හිතං හිටියේ කොදෙව්වොමයි කියලා......"
මිතුරාගේ බිරිඳ කියයි.
නැන්දම්මා නැවත රූපවාහිනිය දෙසට හැරේ.
"කවුරු උනත් මොකද? හොඳට ගහනවනං එච්චරයිනේ....."
ඩියර් ආරියවංශ අංකල් වෙතයි.
දුර බැහැර රැකියාවක නියුතු ඔබේ නිවසේ මේ දිනවල බැලෙන්නේ ක්‍රිකට් යයි ඔබ සිතා සිටිනවා විය හැකිය. එහෙත් මේ ක්‍රිකට් නොවන බව මගේ සිත කියයි. ඔබේ බිරිඳ සහ දියණිය නිතරම බැට් කරන පැත්තට පමණක් සපෝට් කිරීම තේරුම් ගත නොහැකිව සිටි මා හට සම්‍යක් ඥානය පහල වූයේ විමල් වීරවංශ ගරු ඇමති තුමාගේ වෙබ් අඩවියේ පළවූ මෙම පුවත් ශීර්ෂය දැකීමෙනි. මෙය 'පශ්චාත් නන්දිකඩාල් ක්‍රිකට්' යයි මා නම් කරමි. මෙම ක්‍රීඩාවේ විශේෂතා මේවාය. නිතරම බැට් කරන්නේ එකෙකි. හරියට අපේ අසරණ සිංහල ජාතිය වගේය. ඌව කන්ඩ බලාගෙන විජාතික කුමන්ත්‍රණකාරීන් එකොළොස් දෙනෙක් වටේ බලා සිටිති. ඉතින් අපි කාට සපෝට් කරමුද?
පසුගිය යුද සමයේ ඔබ නිවසේ හැළි වලන් විශාල ප්‍රමාණයක් කරවී ගියේ මානුෂික මෙහෙයුම නමැති රූපවාහිනී රියැලිටි මාලා නාටකය හේතුවෙනි. ලාංකීය රූපවාහිණී ඉතිහාසයේ එතරම්ම ත්‍රාසජනක වින්දනයක් ලබාදුන් වෙනත් වැඩසටහනක් විකාශය නොවූ අතර එය අවසන් වීමෙන් ඇතිවූ රික්තකය මේ වන විට පුරවමින් සිටින්නේ ක්‍රිකට් ලෝක කුසලානයයි. මේ වන විට අවසන් අදියරට පැමිණෙමින් පවතින තරඟාවලියේ උද්වේගකර අවස්ථාවන් විසින් ඔබ නිවසේ තවත් හැළි වලන් කීපයක් දවාහරිනු ඇති අතර එය පාඩුවක් කොට නොසිතන්න. ලංකාව කුසලානය ජයග්‍රහණය කරයි නම් මාද කැමති අතර එය සැබෑ ජයග්‍රහණයක් කොට මාද සලකමි.
අති ගරු ජනාධීපතිතුමාගේ සිනාමුසු සාඩම්බර මුහුණ, විමල් වීරවංශ ගරු ඇමතිතුමාගේ හැඟීම්බර මුහුණ සමඟ මහින්දානන්ද අළුත්ගමගේ ගරු ඇමතිතුමාගේ සොඳුරු මුහුණේ සමීප දසුන් සමග ඡේදනය වන හයේ හතරේ පහරවල් සමඟ ඉදිරි තරඟ නැරඹීමට ඔබටද, මටද, ඔබ පවුලේ සැමටද වාසනාව සහ ශක්තිය ලැබේවායි අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරමි.
ප/ලි - කුසලානය දින්නොත් හන්දියේ සෙට් වෙලා කිරිබත් කෑල්ලක් කන්ඩ ගමට එන්ඩ.......