“2002 ජූනි මස 23 වෙනිදා සවස 3.30 ත් 5.00 ත් අතර කාලය තුල තම නිවසේදී විවාහ කරගන්නා බවට පොරොන්දු දී දූෂණය කිරීම.......”
අවසානයේදී ප්‍රියංගි නිශ්ශංකට එරෙහිව එක්තරා දිසා අධිකරණයක නඩු පවරලා තිබුනා. ඒ වෙනකොටත් මගේ මිතුරෙකු වන නිශ්ශංකට වගේම මටත් මහත් හිසරදයක් වෙලා තිබුණ ඒ අවුල් ජාලය එක්වරම වෙනස්ම මුහුණුවරකට පත්වුනේ එහෙම. අපිට මේක ඇතිවෙලා තිබුනේ. ඒ වෙනකොටත් නිශ්ශංකගේ මව හා පියාගේ නමට සතියකට ලියුම් 5 ගණනේ ලැබෙමින් තිබුනා. මුලදී කවරය තුල බහා තිබූ දුක්ගැනවිලි ක්‍රමයෙන් කවරයේ මතුපිටත් ලියවෙමින් තිබුනා. ඔහුට එරෙහි පෙත්සම් සේවා ස්ථානයට වගේම ඊට ඉහල ස්ථානයන්ටත් යමින් තිබුනා. පාරෙදි හමුවන නන්නාඳුනන පිරිමින් ඔහුට තර්ජනය කොට පහර දීමට තැත් කිරීම සුලභ දෙයක් බවට පත් උනා. ඔහුගේ විවිධ මිතුරන් මගින් ඔහුට ලැබෙන්නට සලස්වා තිබූ තල තෙල් රසැති ටොෆී, චොකලට් ඇතුළු විවිධ රසකැවිලි සෑහෙන ප්‍රමාණයක් ඔහු දැන දැනම ගිලදමා තිබුණා.
“ඒකිට පිස්සු හැදිලා...... මගේ යාලුවෝ කියලා ඉන්න සමහර උං මේවා මට කවන්නං කියලා ඒකිගෙන් ගොඩක් වැඩ ගන්නවා.... රටේම ඉන්න කට්ටඩියෝ එක පැත්තකිං..... ඒ මදිවට තුට්ටු දෙකේ ගණං කාරයෝ....... ඇත්තටම පව් බං...!”
“ඉතිං උඔ ඕවා දැන දැනම කන්නේ?”
“හහ්.... මට මොනවා වෙන්ඩද? ඕවා පට්ටපල් බොරුනේ බං..... ඒකෙන්වත් ඕකි මේක අතාරියි කියලා කාල දැම්මා...”
නිශ්ශංකත් ප්‍රියංගිත් වැඩකලේ එකම සේවා ස්ථානයේ. එකම තනතුරක. ඔවුන් සේවයට බැඳුනෙත් එකටම වගේ. ඒත් ඔවුන් දෙදෙනා එකිනෙකාව හොඳින් දැන හඳුනා ගත්තේ ඊටත් වසර එකහමාරකට විතර පස්සෙ විය යුතුයි. ඒ ඔවුන් දෙදෙනාම බාහිර උපාධි පාඨමාලාවක් කරන්න ගිහින්. ඒක ආදරයක් බවට පෙරළෙන්න තවත් මාස හය හතක් විතර යන්න ඇති. හැබැයි නිශ්ශංක ඒ දේවල් මට කියලා නෑ. (සාමාන්‍යයෙන් හුඟක් යාළුවො එහෙම තමා. එක පාරටම දුවගෙන ඇවිත් කියනවා ‘කෙළවුනානෙ බං’ කියලා.)
“මං කොහොමද බං මේ වගේ චෝදනාවකට රෙදි ඇඳං උසාවි යන්නේ....? අනික ගමේ උං මේවා දැනගත්තාම....? අම්මා....?”
කෝකටත් කියලා අපි දෙන්නම ගිහින් සෑහෙන මෝරෙක් විතර ලෝයර් කෙනෙක් ඇල්ලුවා. බයටම. සාමාන්‍යයෙන් මේ වගේ කේස් වලදී අධිකරණය කාන්තා පාර්ශ්වයට වැඩිපුර ඇහුම්කන් දෙන බව තමයි අපේ තක්සේරුව උනේ. නඩු දිනේදි නිශ්ශංක වගේම මමත් ගැහි ගැහී උසාවි යනකොට ප්‍රියංගි සුදු සාරියක් කාරිය ඇඳගෙන ඇවිත් උන්නා. බයක් හෝ ලැජ්ජාවක් වෙනුවට බොරු කේන්ති මූණක් එක්ක.
“මං උඔට සමහර දේවල් නොකියා ඉඳලා ඇති. ඒත් කවදාවත් බොරුවක් කියලා නෑ.... ඔය කියන දවසෙවත්, වෙන මොන දවසකවත්, මගෙන් එයාට එහෙම දෙයක් වෙලා නෑ.......”
“..............?”
“මේ කතාව කවුරුවත් පිළිගන්නේ නෑ තමා. ඒත් වැදූ අම්මාපල්ලා...... මං කියන්නෙ ඇත්ත......... එහෙම දෙයක් උනානං ඒකිව අතෑරලා දාන්න තරං මං බල්ලෙක් නෙමේ.....”
නිශ්ශංක මේ කියන්නෙ ඇත්තක් බව ඌව හොඳින්ම දන්න මට විශ්වාසයි. ඒත් ප්‍රශ්ණේ වෙන එකෙකුටවත් මේවා කිව්වට වැඩක් වෙන්නෙ නැති එක. අනික මට තිබුණු ලොකුම පුශ්ණේ තමා දැන උගත්, පිළිගැනීමක් සහිත රැකියාවකුත් කරන ප්‍රියංගි වගේ කෙනෙක්, තමන්ගෙ ආත්ම ගෞරවයට සහ අනාගතයට පයින් ගහලා මේ වගේ බොරුවක් කරයිද කියන එක. කොහොම උනත් එවේලේ මේකෙ ඇත්ත බොරු හොයන එක මගෙත් අංක දෙකට වැටිලා තිබුනේ. අංක එක වැරැද්ද කලා හෝ නොකලා, යාළුවා බේරා ගැනීම. ඉතිරි ඒවා පස්සෙ.
නිශ්ශංකගෙත්, ප්රියංගිගෙත් සම්බන්ධය මුලින්ම ඉව වැටුනේ ස්ටාෆ් එකට. පළවෙනි නරක ආරංචිය නිශ්ශංකට දුන්නේ ප්‍රියංගිගේ ගම්පළාතේ පදිංචි නිශ්ශංකගේ යාළුවෙක්.
“ඕකි ගමේ හෙන චාටර් බං..... ජොබ් එකට එන්ඩ හුඟක් කල් ඉඳං කාඩ් කුඩු කරං ඉන්නෙ.... මගේ යාළුවෙකුත් ඕකිව ඉස්සුවා. තව කොච්චරක්ද දන්නෙ නෑ... ඒ පැත්තෙ ඕන එකෙක්ගෙන් අහපංකෝ.....“
නිශ්ශංක මට ඒ දවස්වලම ඔය ගැන කිව්වා. ඔය සම්බන්ධය ගැන මගේ විරෝධයට හොඳ උත්තරේකුත් දුන්නා.
“ඕවා ඔහොම තමා බං.... මගෙත් එෆෙයාර් දෙක තුනක් තිබ්බේ....? මං එයාට ආදරේ කලේ ඕකට නෙමේනෙ... අනික එයා මට ආදරේ නං, ආයෙ එහෙම වැරදි කරන්නෙත් නැත්තං.... ප්‍රශ්නයක් නෑනේ බං.... කන්‍යාභාවේ.... රෙද්ද....”
නමුත් මට තේරුණු විදිහට ඒ දිනවල නිශ්ශංක ප්‍රියංගි ගැන තරමක සෙවිල්ලෙන් හිටියා. ඒ හැම සෙවිල්ලකින්ම ප්‍රියංගි ඉහළින් සමත් උනා. ඒ දෙවන නරක ආරංචිය එනකං.
“ප්‍රියංගිගේ දුර නෑදෑ කමකට මාමා වෙන එකෙක් ඔය ගෙදර ඇවිත් සතියට දවස් දෙක තුනක් ඉඳලා යනවා.... ඕක ගැන ටිකක් බලපං.......”
අන්තිමේදි නිශ්ශංක අත පත්වූ සාධාරණ සාක්ෂි මත, ඒ පරීක්ෂණයෙන් ප්‍රියංගි අසමත් උනා. මහා කඳුළු වගුරක් මැද දිගහැරුණු, ඇගේ වයස අවුරුදු 14 ක 15 ක නොතේරුම් වයසකින් පටන් ගත් මහා පාපොච්චාරණයක මතක තිබුණු කොටස් නිශ්ශංක බමණ මතින් මාත් එක්ක කිව්වා. ඒත් ඔහු ඇයට සමාව දී තිබුණා. කොන්දේසි දෙකක් මත. නැවත ඒ ඥාතියා නිවසට නොකැඳවීම සහ ඔහුත් සමඟ සියළු සම්බන්ධකම් නැවැත්වීම.
“මං ඉස්සර එයාව පන්ති එක්ක යන්න යද්දි මේකි අම්මට තාත්තට එක්ක ඔය යකාටත් වඳිනවනේ බං.... මාවත් වන්දලා තියෙනවා... ඕවා මතක් වෙද්දි නං....”
ඇගේත් එක් අහිංසක ඉල්ලීමක් තිබුණා.
“මාව මේ අපායෙන් ගලවගෙන ඉක්මණට ඔයා ළඟට ගන්න......”
ඊළඟ සතියේ නිශ්ශංක වැඩට ගිහින් උන්නු වෙලාවක ඔය කියන ඥාතියාගේ හැඩහුරුකම් කිවූ අයෙක්, නිශ්ශංකගේ මාපියන් හමුවෙලා ගිහින් තිබුණා.
“නිශ්ශංක මට ගොඩක් උදව් කරපු හොඳ කෙනෙක්.... මම කැමති නෑ එයා අමාරුවේ වැටෙනවට.... ඔය කෙල්ල මං හොඳට දන්නවා. ගමේම උං එක්ක පඳුරු ගානේ අවලමේ ගිහින්... දැං ...... මං මෙච්චර කල් බලං හිටියේ ඔයාල තමන්ගේ දරුවා ගැන මීට වඩා හොයයි කියලා.........”
එදා නිශ්ශංක වැඩ ඇරිලා එද්දි ඔහුගේ මාපියන් ප්‍රියංගිගේ ගෙදරට ගිහින්. එහේ ගම හොල්ලපු ලොකු ගෝරියකුත් වෙලා. ප්‍රියංගිගේ ගෙදරින් නිශ්ශංකවත් බැනලා එලෝගත්තා.
“ගිහින් බැඳගනිං අම්මටයි අප්පටයි හොඳ එකෙක්..... අපේ එකී අපිට බර නෑ..............”
ඊළඟට ගෙවුණු අවුල් සහගත සති කීපය මටවත් හරියකට මතක නෑ. දෙමාපිය ආශීර්වාදයෙන් තොරව කසාද බඳින්න ප්‍රියංගි බෑ කිව්වා. අර ඥාතියා නැවතත් ප්‍රියංගිගේ පවුලට සමීප උනා.
“එහෙම මොකුත් නෑ නිශ්ශංක... ඒ යකාට විතරයි තාත්තගේ හිත හදන්න පුළුවන්.... මම හොඳටම බැන්නා.... ඌ පොරොන්දු උනා මේක ඉක්මණට විසඳලා අපි දෙන්නව එකතු කරනවා කියලා.......”
නිශ්ශංක ප්‍රියංගිට එන්න අවසන් දිනයකුත් දුන්නා. මම දන්න තරමට ඒ දිනේ පහුවෙනකලුත් ප්‍රියංගි නොනවත්වාම ඇඬුවා. අවසානයේදී නිශ්ශංක අවසන් නිවේදනයත් ඇරියා.
“එල්ලිලා මළත් මට කමක් නෑ බං.... මං කොච්චර දේවල් ඉවසුවද......? උඹ දන්නවනේ....?”
උගේ වචන වෙනස් කරන්නේ නැති බව නං මං හොඳටම දන්නවා.
ඊළඟ මාස කීපය තුළ ප්‍රියංගි පිස්සුවෙන් වගේ නිශ්ශංක හොයාගෙන ආවා. කන්නලව් කලා. ඇති තරම් ඇඬුවා. කැත්තක් අරං කිලෝමීටර් බාගයක් විතර අර ඥාතියාව එළවගෙන ගිහින් තිබුණා. වශී ගුරුකම් කරන්න ගත්තා. නිශ්ශංකට තර්ජනය කලා. පොලිස් පැමිණිලි දැම්මා. අන්තිමට ඔය නඩුව දැම්මා.
නඩුව අතරතුරේදි එකම දවසක් මිනිත්තු දෙක තුනකට ප්‍රියංගිව මට තනියම හමුවන්න පුළුවන් උනා.
“ඔයා දන්නෑ අයියේ..... මට ආදරේ කරපු කෙනෙකුට හම්බ උනේ නිශ්ශංක විතරයි..... එයා මාව අත ඇරපු එක සාධාරණ ඇති.... ඒත් මට එයාව අතාරින්න බෑ..... හරි හමං එක සාක්ෂියක් වත් නැතුව දාපු මේ නඩුව මං පරදී.... ඒත් දැං “එයත් එක්ක” මට නඩුවක් වත් තියෙනවා.....”
“ගෑණු ආදරේ” කියලා වෙනස් යමක් මං මුලින්ම අඳුනගත්තේ එදා. මං හිතන්නෙ ඒක පිරිමි අපිට කවදාවත් ගවේශනය කරලා අවසන් කරන්න බැරි ගුප්ත මහාද්වීපයක්.