In Time ෆිල්ම් එක බලල තියෙනවද? ෆිල්ම් එකක් හැටියට මට
එච්චර අල්ලල නොගියත් ප්ලොට් එක මරු. ඒකෙ ‘අදහස’ කෙටියෙන් මෙහෙමයි. මුදල් වෙනුවට
ජීවිත කාලය හුවමාරුවෙන් ගණුදෙනු සිද්ද වෙන ලෝකයක්. හැමෝගෙම අත්වල උපතින්ම ලැබෙන කාල
මාපකයක් තියෙනවා. දවසක් වැඩ කලාම ඔබට ලැබෙන්නෙ යම් ජීවිත කාල ප්රමාණයක්. (අපි
හිතමු පැය විසිහතරක්). ආපහු පාන් ගෙඩියක් ගන්න ගියාම ඔබට සිද්ද වෙන්නෙ ජීවිතකාල
විනාඩි දහයක් දීල පාන් ගෙඩිය ගන්න. බාර් එකේ බිල පැය තුනක්. බස් ගාස්තුව පැය
බාගයක්. ගණිකා ඇසුර ලබන්නනම් පැය පහක්.... ඔයවගේ. මේ එදිනෙදා අවශ්යතාවලට වැයකරන
කාලය වහාම නැවත උපයාගන්න සිද්ද වෙනවා. මොකද යමෙකුගේ ජීවිතකාලය අවසන් තත්පරයත්
ගෙවුනු වහාම ඔහු හිටිතැනම මැරිල වැටෙන නිසා. (මේ ෆිල්ම් එකේ සිදුවීම් විස්තර
කිරීමක් නෙමේ. අදහස පමණයි)
ඔය අතරෙ ජීවිත කාල තවත් අයට පරිත්යාග
කරන්න, හොරකම් කරන්න හෙමත් පුලුවන්. හදිසි අවශ්යතා වලට ජීවිතකාල ලෝන් දෙන බැංකුත්
තියෙනවා. ණය ආපහු ගෙවද්දි ජීවිත කාල පොලියකුත් එක්ක තමයි ගෙවන්න වෙන්නෙ.
තව Time zone තියෙනවා. සාමාන්ය මිනිස්සු ජීවත්වෙන පහල කලාපයේ
තියෙන්නෙ කර්මාන්තශාලා. එහි ජීවත්වෙන්නෙ වැඩකරන මිනිසුන්. අපිරිසිදු... තදබද... අශිෂ්ට.... අමානුෂික....
ඝෝෂාකාරී....
තවත් Time zone එකක් බොහොම ප්රියජනකයි. සාමකාමීයි. පිරිසිදුයි.
ශිෂ්ටයි. එහි ජීවත්වෙන්නෙ විශාල ජිවිතකාල අතිරික්තයක් හිමි ධනවතුන්. මේ ධනවතුන්
බොහොමයක් අර පහල කලාපයේ ආයෝජන මගින් ජීවිතකාල උපයන්නන්.
පහල කාල කලාපයේ ජීවත්වෙන්නෙකුට
අවශ්යනම් ඉහල කලාපයට පදිංචියට යන්න පුළුවන් දොරටු තියෙනවා. හැබැයි ගේට්ටුවෙදි
ලොකු ගානක් ගෙවන්න වෙනවා. අවුරුදු කීපයක ගාස්තුවක් කියමුකො. ඉතින් පහල ඉන්න
කෙනෙකුට සාමාන්යයෙන් වැටහෙන්නෙ තමුන්ට ඉහල කලාපයට යන්න බැරි තමුන්ගෙ මොකක්හරි
වරදක් නිසා කියලා. මොකද යන්න ගේට්ටුවක් සිස්ටම් එකෙන්ම දීල තියෙනවා. ලොකු ගානක්
හොයාගන්න බැරිකම තමුන්ගෙ අවුලක්. (එක්කෝ දැනට කරන රස්සාව අප්සෙට්... නැත්තං
කර්මය....ග්රහචාරය..... දෙවියන්ගෙ කැමැත්ත) ඉතිං කාගෙත් එකම හීනය හෙට මීට වඩා හොඳ
රස්සාවක් (බිස්නස් එකක්) හොයාගෙන ලොකු ගානක් උපයලා අර කඩුල්ල පැනගන්න. (බාලගිරි
දෝෂය අද නෙමේ හෙටයි). ඉතින් ඒ හීනය නිසා මිනිස්සු එදිනෙදා ජීවත් වෙනවා.
ඔතනදි ෆිල්ම් එකේ ලස්සන දෙයක්
පෙන්නනවා. සාමාන්යයෙන් පහල කලාපයේ ජීවත්වන්නන් පිරිසක් තමුන්ගෙ හීනය වෙනුවෙන් යම්
ජීවිතකාල ඉතුරුවක් කරන බව හෝ කලාපයේ කැළඹීමක් පේන්න තියෙනවනම්, පහුවදා ඉඳන් ණය
සඳහා පොලිය වැඩිවෙනවා. පාන් ගණන් යනවා. බස් ගාස්තු වැඩි වෙනවා. (සංවර්ධනයට සල්ලි
එපායැ දෙයියනේ) අර ඉතුරු කරන ටිකට කෙලවෙනවා. ඉතින් අර හීනය වෙනුවෙන් කවුරු කවුරුත්
අතිරේක පැය කිහිපයක් ඕ.ටී කරන්න ගන්නවා. ඉතිං මිනිස්සු එහෙම අතිරේක ජීවිත කාලයක් උපයනකොට
ආපහු බඩු ගණන් යනවා. ඉතින් සදහටම වැඩි වැඩියෙන් වැඩකරමින් හීනයක් වෙනුවෙන් නහිනවා.
ඔය වැඩේට සිනමා විචාරකයෙක් නොවන
අපේ පී.බී ජයසුන්දර මහත්තයා කියන්නේ ‘උද්ධමනය’ කියලයි. මොකද්ද පින්වතුනි....?
ඌද්ද්ධමනයඅඅඅ..!
පී.බී ජයසුන්දර කියද්දි මතක් වුනේ
මෑතකදි ත්රිමාණ එකේ දාල තිබුනු ඔය උඩ තියෙන මාතෘකාව.
//සිගරට් එකක් රුපියල් විසිපහක්
දීලා බොන කිසිම කෙනෙක් ඇයි රුපියල් තුනක් විතර නිෂ්පාදන වියදමක් යන සිගරට් එකක්
25ට දෙන්නේ කියලා අහන් නෑ//
ඒ වගේම සිමෙන්ති කොට්ටයකට පැය විසිහතරක්
ඇතුලත රුපියල් අසූවක් වැඩියෙන් දෙන්නෙ ඇයි කියල අහන්නෙත් නෑ. අර පහල කලාපයේ ජාතික
පානය වන අරක්කු බෝතලයකට එකපාර රුපියල් අසූවක් වැඩියෙන් දෙන්නෙ ඇයි කියලත් අහන්නෑ. රුපියල්
තුනටත් දීපු පාන්ගෙඩිය හැටට දෙන්නෙ ඇයි කියලා අහන්නෙ නෑ. රුපියල් අටසීයෙ කසිප්පු
බාර්වල විකුණද්දි හාරසීයෙ කසිප්පු කැලෑ අස්සෙ විකුණන්නෙ ඇයි කියලත් අහන්නෑ.
එහෙම නාහන්ඩ හොඳ හේතු අපිට
තියෙනවා. අර Time zone ගේට්ටුව.
1. මගෙ
ඔලුවෙ තියෙන ප්ලෑන්එක හරිගිහින් ලබන අවුරුද්දෙ උතුරන්ඩ සල්ලි එනකොට ‘තමුසෙ
කඩාකප්පල්කාරයෙක්’ කියල ගේට්ටුවෙන් ටිකට් කැන්සල් කලොත්? (මම හොඳ බොදු දරුවෙක්මි)
2. මේ
දවස්වල හෙනට ඕ.ටී. අර ගේට්ටුවන් පැනගන්ඩ තව මිලියන හතලිහක විතර සොච්චමයි අඩු. ඕව
අහ අහා ඉන්ඩ වෙලාවක් නෑ. ගිය සතියෙත් අපේ ගමට අල්ලපු ගමේ හාදයෙක්ගෙ බාප්පගෙ පුතා බැඳල ඉන්න හාදිගෙ මල්ලිලගෙ ගෙවල්ගාව එකෙකුත් ඕකෙන් ගියා.
3. මේවා
ඉතිං සංසාරේ පතාගෙන ආපු හැටි තමයි. ඕව ඇහුව කියල කර්මය වෙනස් වෙන්නෙ නෑනෙ. මම
ඊයෙත් පැය දෙකහමාරක පිරිකරක් හාමුදුරුවන්ට පූජා කලා. ලබන ආත්මෙ එහෙ උපදින්ඩ.
හැබැයි අපි මෙහෙම කලාට අපේ ඉදිරි පරම්පරාවලට නං පිනක් දහමක්වත් කරගන්ඩ වෙන එකක්
නෑ. අන්න නැගෙනහිර පන්සල් දැනටම උන් අල්ලගෙනලු.... ආවදෙංකො මෙහාට හොර හ......
4. මේව
කාගෙන්වත් අහල වැඩක් තියෙනවද? අපේම හොඳටනෙ. අපිට කවදහරි යන්ඩ තියෙන ගේට්ටුවනේ
ලොක්ක ආරක්සා කරන්නේ. ඉතිං මේව ආරක්සක වියදම්. බැරි වෙලාවත් ඕක දෙමෙල්ලු අල්ලගෙන
උන්ගෙ ජාතියෙ උන්ට විතරක් යන්ඩ දුන්නොත්? ලොක්කා බුදුවේවා....!
5. ආතල්
නං කඩන්නෙපා හරිය?
6. .....
දැන් ඉතින් In Time බලල තියෙන අය ගිහින් තමුන්ගෙ වැඩක් බලාගන්න.
නොබලපු අය හොයාගෙන බලල පී.බී ජයසුන්දරව සිහිපත් කරගන්ඩ.
අපිට වැඩ තියෙනවා.... අපි ගියා....!


