Monday, January 24, 2011

‘කතන්දර දහසක්’ අතුරුදන් කොට වසරකි.

මම කතන්දර ලියන්නෙක්මි. කතන්දර වලින් මනිතොත්, මට අනුව මිනිස් ජීවිතයක් යනු කතන්දර දහසකි. හරියටම මෙයට වසරකට පෙර කතන්දර දහසක් හදිසියේම අතුරුදන් කෙරිණි.
එලෙස අතුරුදන්වූ පළමුවැන්නා ඔහු නොවේ. මෑත ඉතිහාසය තුල උතුරේ සහ දකුණේ මෙලෙස අතුරුදන් වූවෝ ලක්ෂ ගණනකි. කතන්දර මිලියන ගණනෙකි. අවසානයාද ඔහු නොවේ.
මොනම කරුණක් නිසාවත් මිනිසෙකු අතුරුදන් වනවාට හෝ නිකරුණේ මරා දැමෙනවාට මා කැමති නැත. ඒ, මා මෙන්ම ඔහු/ඇය ද කතන්දර දහසක්ම වන හෙයිනි.
අතුරුදන් වූවෙකු ගැන අතුරුදන් නොවූවන් කතා නොකරන්නට හේතු බොහෝ තිබිය හැකිය. ප්‍රමුඛ හේතුවක් වනුයේ ඔහු/ඇය ගැන නොදැනීමයි. එය සාමාජීය යයිද සිතමි.
ප්‍රගීත් ගැන දැනගන්නට මා ඔබට ආරාධනය කරමි.
මිනිස් ජීවිතයක් ගොඩනගාගැනීම අසීරු මෙන්ම වෙහෙසකර කටයුත්තකි. එමෙන්ම මිනිසෙකු පිළිබඳව දැනගැනීමද අසීරු මෙන්ම වෙහෙසකර අභ්‍යාසයක් වෙයි. මා මේ පෝස්ටයට එක්කර ඇති pdf ඇමුණුමද එවැන්නක් යයි සිතමි. එය තරමක් දීර්ඝය. කියවීම වෙහෙසකර වීමටද පුළුවන. තම අතුරුදන්වීමෙන් වසරක් සපිරෙනදා බ්ලොගයක දැමීමට ලියූවක් නොවන බැවින් හැඟීම්බරද නැත. එහෙත් එය ‘තමා කවුදැයි සොයා යන’ මිනිසෙකු විසින් ලියූවකි. එබැවින් අප සමාජ අවකාශයට අහිමිවූ කතන්දර දහසම එහි ගැබ්ව ඇතැයි සිතමි.
“අප කවුද?” මැයෙන් යුතු මෙය මීට පෙර කිසියම් මාධ්‍යයක පළව ඇතිදැයි මා නොදන්නා අතර, අතුරුදන්වූ ප්‍රගීත් එක්නැළිගොඩ විසින් එක්තරා සඟරාවක පළකිරීම පිණිස මා මිතුරෙකු වෙත එවන ලද්දකි.
View and Download - අප කවුද? - ප්‍රගීත් එක්නැළිගොඩ (pdf)