මර්වින් සිල්වා කලකට පසු පලක් ඇති කතාවක් කියා තිබේ. ඒ උදය ගම්මන්පිල
බිබිලක් ඇතුලේ ඉන්න පණුවෙක් බවයි. දැන් කට්ටිය රෙදි කරට අරගෙන මර්වින්ට බණිමින්
සිටිති. බණින අය නොදන්නේ මර්වින් කී කතාව ඇත්තක් බව අප හිතවත් ගම්මන්පිලද දන්නා
බවයි.
ආණ්ඩු හිතවාදීන්ගේ සිට ආණ්ඩු විරෝධීන් දක්වා විශ්වාස කිරීමට ආසා දෙයක් ඇත.
ඒ රාජපක්ෂ ආණ්ඩුව යනුවෙන් වෙනම එකක් ඇති අතර මර්වින් සිල්වා නමින් වෙනම තක්කඩියෙක්ද
සිටින බවයි. මෙහෙම හිතෙන එක දෙගොල්ලන්ටම සනීපය. ආන්ඩු හිතවාදීන්ට නම් මර්වින් වෙනම තක්කඩියෙක්
නිසා ආන්ඩුව එහෙම නෑ වගේ එකක් දැනෙනු ඇත. ආන්ඩු විරෝධීන්ට නම් කිසිදා හැප්පෙන්නට
හිතන්නවත් බැරි මර්වින් වෙනම ගත්තාම ආන්ඩුවත් එක්ක හැප්පෙන්න පුලුවන් වගේ එකක්
දැනෙනු ඇත. ඉතින් කාට කාටත් නිවාඩු පාඩුවේ තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යා හැකිය.
ඒත් ඇත්තම කතාව නම් මර්වින් යනු ආණ්ඩුවම බවයි. (ඇඟ හිරිවැටුන නේද?) ඒ බව
ඊනියා ප්‍රඥාවන්තයෙක් නොවන ගම්මන්පිල දනී. මොන දහදුරා වැඩේ කලත් මර්වින්
දේශපාලනයෙන් එලවන්නට ඔය බණින කාටවත් බැරිය. මර්වින් ලබන චන්දෙ (අනුරාධපුරයෙන්
ඉල්ලා :P) උඩින්ම දිනයි. ජිල්මාට් වලින් නොවේ. පිරිසිදු මහජන
චන්දයෙනි. ආන්ඩුවත් එහෙමය. දුකය. ඇත්තය.
දැනටම ආණ්ඩුවේ එල්ලී රටම කන සහ අනාගතයේදී රට බාරගෙන කන්නට බලා සිටින ඉහඳ පණුවන් අතර ගම්මන්පිල යනු අහිංසක පණුවෙකි. ලාබ ප්‍රයෝජන වෙනුවට තමන් දරණ දේශපාලන මතවාදය වෙනුවෙන් අවංකව වැඩ කරන්නෙකි.
ගම්මන්පිල අපේ හිතවතාට වී ඇති වින්නැහිය දන්නේ උන්නැහේ පමණි. හැමෝම හිතා
ඉන්නේ හෙළ උරුමය ආණ්ඩුවට සෙට්වී මාර සැප සම්පත් වළඳමින් පුදුම ආතල් එකක ඉන්නා බවකි.
නමුත් එහෙම නොවේ. බෙන්ස් එකක යන එක මාර සැපයක් වන්නේ එම ගමන ගැන සිතමින්ම සැහැල්ලුවෙන්
යන්නට ලැබෙනවානම්ය. එක එකාගේ කෙනෙහිලිකම් ගැන හිතමින් මොකේ ගියත් ඇති සැපයක් නැත.
ඇත්තටම අද වන විට ඔහුගේ තත්වය ආණ්ඩුව නමැති පැසවූ බිබිල ඇතුළේ ඉන්නා
පණුවෙකුට වෙනස් නොවේ. ඔහුගේ වලංගුතාව පවතින්නේ බිබිල තුල සිටිනතාක් පමණි. (ඒක
ඉගෙනගත්තේ ජ.වි.පෙ නි). ඔහු අදහන සිංහල (බෞද්ධ) ජාතිකත්වය නාමිකව හෝ ‘මර්වින්
සිල්වා ආණ්ඩුව’ තුල තබාගත හැක්කේ එය තුල පණුවෙකුව සිට හෝ කරදරකාරීව හැසිරීමෙන්
පමණි.
අනෙක් අතට ඉදිරියේදී එන්නේ ආණ්ඩුව ඉන්දියාවට සහ ඇමෙරිකාවට දෙමල ජනතාව
සම්බන්ධයෙන් මෙතෙක් වූ පොරොන්දු ඉෂ්ඨ කිරීමට සිදුවන කාලයයි. ගම්මන්පිලට ඇත්තේ
තේරීම දෙකකි. එකක් නම් දැන්ම තියා මේ බිබිලෙන් පිටව, පක්ෂය දෙක තුනට කැඩී, පාරෙදී කෑ ගසා,
පොලිසියෙන් ගුටිකා, දත්මිටි කමින් බලා
සිටින්නටයි. අනික නම් මොන දහදුරා කෙනෙහිලිකම් විඳිමින් හෝ මේකේම වැටී හිඳ අවශ්‍ය
මොහොතේ පොඩ්ඩක් කොනිත්තන්නට ඉඩකඩ තබා ගැනීමයි.
මර්වින් සිල්වා කී කතාව
ඇත්තක්ම බව ඔබට ගම්මන්පිලගෙන්ම අසා දැන ගැනීමට හැකිවනු ඇත. එහෙත් ඒ සඳහා ඔබට තවත්
අවුරුදු 15ක් පමණ බලා සිටීමට සිදුවේ. මීළඟ චන්දයේදීද ආණ්ඩුවට කඩේ යාමට සිදුවීමෙන්
ඇතිවන දරුණු චිත්ත පීඩාව හේතුවෙන් 2027 දී පමණ ගම්මන්පිල දරුණු බේබද්දෙකු වීමට ඉඩ
ඇති අතර අරක්කු බාගයක් අරන් දී ඔබට ඕනෑම දෙයක් ඔහුගෙන් අසා දැන ගැනීමට හැකිවනු ඇත.