මං කොහොමත් එදා ඉඳන්ම ඕපාදූප හොයන්ඩ එච්චර කැමැත්තක් නෑ. ඒක මගේ තියෙන හොඳම ලක්ෂණයක් කියලා තමයි මං හිතන්නෙ. මොකද එහෙම අය අද හරි අඩුයි. ඔය මාලනී අක්කා ජයපාල අයියත් එක්ක තරහවෙලා මහගෙදර ගියපු කතාව උනත් ජයපාලම කිව්වා මිසක් මං නෙමේ අහන්ඩ ගියේ. අපිට මොකටද ඕවා?
ජයපාල අයිය ගැන කියද්දි මතක් උනේ. ඊයෙ උදැල්ලට කකුල කපාගෙන. මං යනකොට මරතොණ්ඩු කොල තලියක් තියලා ගැටගහනවා. තරමක් ලේත් ගිහින්. මේ යකා අර මඩ දූවිලි පිටින්ම ගැටගහන්ඩයි යන්නේ.
“යකෝ... ඔය තුවාලෙ ඉස්සෙල්ලා හෝදලා හිටපං....... කෝ... මාලනී අක්කේ.... වතුර ටිකක් ගෙනෙංකෝ........”
මගේ කෑගැහිල්ලට ප්‍රතිචාරයක් නෑ.
“ඒකි ගෙදර නෑ බං.......”
ජයපාල ඒ ටික කිව්වේ රෙදි පටියක් ඉරන ගමන් ඌට විතරක් ඇහෙන්ඩ වගේ. මංම ගිහින් වතුර එකකුත් ගෙනාවා.
“ඇයි කොහෙ ගිහිංද..?”
“ඔය උදේ වලියක් දාගෙන මහ ගෙදර ගියේ.........”
ඔන්න ඒකනං ටිකක් සීරියස් කේස් එකක් කියලා මට දැනෙනවා. උන්ගේ අවුරුදු දොලහක විතර දීගේ අතරතුර මාලනී අක්කා තුන් පාරකට වඩා ඔහොම ගිහින් නෑ. එක පාරක් ජයපාල අයියගේ මොකද්ද සීන්කෝන් එකක් මාට්ටු වෙලා. ඒක වෙලා ගොඩක් කල්. ඊට පස්සෙ මොකද්ද එකකට ජයපාල අයියා කණ පැලෙන්ඩ ගහලා. දන්නවනේ ගෑණුන්ගේ කටවල්..? අනිත් වතාවෙ නම් මොකද්ද උනේ කියලා ජයපාල අයියා මට හරියටම කියලා නෑ. ඕනෙනම් අහගන්ඩත් තිබ්බා. මොකටද?
මේ වතාවෙ වැඩේ නම් මටත් අපභ්‍රංශයක්. කියන්ඩ තරං මහ දෙයක් වෙලත් නෑ. දැං මාලනී අක්කගේ නෑදෑ පිරිවර මේ පාර ඉස්කෝලෙ නිවාඩුව අල්ලලා නාගදීපෙ බලන්ඩ යන්ඩනේ ඉන්නේ. ඉතිං ගිය තිස් වෙනිදා මාලනී අක්කා පොඩි එකීත් එක්ක හලාවත ගිහින් තියෙනවා ගමනට අඳින්ඩ ඇඳුම් මොනවාහරි ගේන්ඩ කියලා. ඉතිං හොඳටෝම හවස් වෙලා ආපහු එන ගමං හලාවත ස්ටෑන්ඩ් එකේ ලොතරැයි කූඩුවකට එබිලා ඉතුරුවෙලා තිබුන මහජන සම්පත තුන එතරකින් එකකුත් අරං ගෙදර ඇවිත්. ඒක එච්චරයි.
කොහොමින් හරි එදා රෑ නමය හමාරට විතර ජයපාල අයියා ඉඳලා තියෙන්නේ කුස්සියේ. මාලනී අක්කා සාලේ ටී.වී බලනවා.
“අනේ.......අරක... ඇ..දුනා........!”
සාලෙන් ආපු බෑඟිරියෙන් බයඋනු ජයපාල අයියා සාලෙට එනකොට මාලනී අක්කා ඇස් උඩ තියාගෙන කටත් ඇරගෙන ටී.වී එක දිහා බලාගෙන.
“ඇයි.... මොකද උනේ...?”
“අරක ඇදුනා......”
මාලනී අක්කා තාමත් උන්නු විදිහමයි.
“මොකද්ද..?”
“මහජන සම්පත.... අර..?”
“ඉතිං කාටද? තමුසෙටද...?”
“මට...? ....හලාවත කාට හරි...”
“ඉතිං තමුසෙ කෑ ගහන්නෙ...?”
“බලන්ඩකෝ අර අංක.....?”
“ඉතිං...?”
“ඔය අගට බින්දු දෙක තියෙන ටිකට් එක ගාවමයි මේක තිබුනේ.... මං ඒක අල්ලලත්... මොකටද බින්දු බින්දු කියලා මේක ගත්තා.....
අපරාදෙ.....ලක්ෂ විස්සක්....!”
“විකාර....”
එෙහම කියලා ජයපාල අයියා ආපහු ගියත් හිත යටින් හිතුනලු අපරාදෙ කියලා.
පහුවදා උනත් මාලනී අක්කා ගෙදර වැඩපොල කලෙත් එලෝවිකාරෙන් වගේ කියලා ජයපාල අයියටත් දැනිලා.
“අපරාදේ නේ.....?”
එදා සිය පාරකටත් වඩා අහපු ඔය ප්‍රශ්ණෙට ‘හ්ම්....හ්’ කියනවා ඇර වෙන මුකුත් ජයපාල අයියා කියලා නෑ. හවස පාරෙ යන හිරු එෆ්.එම් කොලුවගෙන් මාලනී අක්කා ටිකට් හතරක්ම අරගෙන. එදා ටී.වී එකේ ‘ගැහැනු ලමයි’ වත් නොදා ජාතික රූපවාහිනියමයි දාල තිබුනේ.
“ෂිහ් මොනවත්ම නෑනෙ..... අපරාදෙ අරක නේ.....?”
“හ්ම්..... රුපියල් අසූවක්........!”
ජයපාල අයියා කිව්වේ එච්චරලු.
ඊටත් පහුවදා උදේ මාලනී අක්කා කිලුටු රෙදි ගොඩත් අරන් ලිඳ ලඟට යන්ඩ ලෑස්ති වෙලා ජයපාල අයියට කතා කරලා.
“ගමුකො අනේ මෝටරයක් වත්...... මේක මහ කරුමයක්නේ.... උපන්දා ඉඳං වතුර අදිනවා..... තාම ඉවරයක් නෑ...”
ගහෙන් ගෙඩි එන්නා වගේ කියපු මේ කතාවෙන් ජයපාල අයියත් හොල්මන් වෙලා.
“මොන මෝටර්ද බං..... මොනවා හරි කරලා අර චේන් එක බේරගන්ඩ මං බලන්නේ ..... මෙයා මෙතන.....” ජයපාල අයියට කේන්ති ගිය එක සාධාරණයි. එලවළු කීර්ති ගාව දවස් තුනක් පොල රවුමේ ගිහින් හම්බකරන එකෙන් මොන මෝටර්ද? අනික කෙල්ලගේ ඉස්කෝලෙ වියදම්.
“ඒ අස්සෙ මුං නාගදීපෙ යන්ඩත් ලෑස්ති වෙනවා.....”
ඊළඟ දවස් තුන හතරෙත් පොඩි පොඩි වාද විවාද තිබිලා. එක පාරක් තවත් දුම් කන්න බෑ කියලා ගෑස් කුකර් එකක් ඉල්ලුවලු.
“අපරාදෙ අරක ඇදුනනං..... මොනවා කරන්ඩද.... කරුමෙ තමා...”
“හ්...ම්..හ්.....”
“හුම් තමා. ඒ ගෑණි නං මෙලහට වොෂින් මැෂීන්..... කුකර්..... සේරම අරං..... රත්...ත..රං බඩු.........?”
“දැං තමුසෙ කොහොමද දන්නේ ඒක ගෑණියෙකුට ඇදුන කියලා...?”
“හරි ඉතිං.... මිනිහෙකුට ඇදුනත් ඒ ගෙදර ගෑණියෙක් ඇතිනේ.....”
“තමුසෙට නං පිස්සු....”
“ඔව් ඉතිං... පිස්සු නොහැදි උන්නොත් තමා පුදුමේ..... මොනවා කරන්ඩද.... කරුමේනේ....”
ඒ කතාව නං ජයපාල අයියටත් වැදිලා. ඒත් කට වහං උන්නා කියලයි කිව්වෙ.
ඊට පහුවදා මාලනී අක්කා පොඩිඑකීගෙ සපත්තු දෙක මාරුකරන්ඩ ඕනෙ කියලා ආපහු හලාවත ගිහින්. මාරු කරපු සපත්තු දෙකක් නං නෑ. පොඩි එකීට ඇට මාලෙකුයි එයාට යට සායකුයි විතරක් අරන් ඇවිත්.
“ඒක නෙමේ.... මං අරක ඇහුවනේ......”
“මොකද්ද....?”
“සුවීප් එක....!”
“කාගෙන්ද..?”
“දෙයියනේ ලොතරැයි කාරයාගෙං...... ඒ යකා කියනවා ඒක මිනිහගේ සුවීප් එකක් නෙමෙයිලු.... මුංගෙ බොරු...... ගානක් හම්බවෙන්ඩ ඇතිනේ......?”
ඊටත් දවස් දෙකකට පස්සේ තමා වැඩේ උනේ. එදා සඳුදාවක්. පාන්දර හතරට විතර පොලට ගිය ජයපාල අයියා එලවළු කෑලි ටික බාගෙන සුද්ද කරලා කාරිය කීර්තිට බාරදීල අටට විතර ගෙදර ආවෙ උදේට කාල යන්ඩ. ඔය අතරෙ තමා මාලනී අක්ක කතා කරලා තියෙන්නේ.
“දැං මොකද්ද මං නාගදීපෙ දාන්නෙ....?”
“චේන් එකද..? නංගිගෙන් ඉල්ලගමු”
“හැමදාම එක එකාගෙ එව්වා දාන්ඩ පුලුවන්ද..? මගේ එක බේරලා දෙනවා.....”
“යකෝ.... මං ඒක තියලා සූදු කෙලියා වගේනෙ කතාව...?”
“තමුසෙ මිනිහෙක් නං.... තමුංගෙ.......”
ඒ කතාවට පිඟානත් වීසි කරලා ජයපාල අයියා මාලනී අක්කා ළඟට පැන්නත් මොකුත් කරලා නෑ. කොහොමත් කලින් කණ පලපු වෙලාවෙ මාලනී අක්කගේ අයියා වෝනින් එකකුත් දීලයි තිබුනේ.
“ඇයි ......? චේන් එක බේරුවෙ නැත්තං උඔ මොනවා කරන්ඩද?”
“මගේ කරුමේ..... මං යනවා යකෝ මගේ ගෙදර..... මට මගේ අම්මා අප්පා ඉන්නවා ..... උඔ වගේ.......”
“ඉන්ඩ බැරිනං පල..... පට්ට.........”
ජයපාල අයියා බයිසිකලේ අරං එක හැල්මට පොලට පැද්දා. හවස එනකොට මාලනී අක්කා පොඩි එකීත් අරන් ඇත්තටම ගෙදර ගිහින්.
“ඒ පැත්තෙ ගිහින් බලමුද..?”
මම ඇහුවේ ඒ වෙලාවෙ වෙන වැඩක් නොතිබුන හින්දා.
“ඕන් නෑ බං..... මං කෝල් එකක් දුන්නා. දවසකින් දෙකකින් එයි.....”
ඉතිං සිද්ද උනේ ඔච්චරයි. මේ සිද්ධිය බ්ලොග් එකේ ලියන්ඩ යන බව මගේ අතීසාර මිත්‍රයෙකුට කිව්වහම ඌ කියනවා ඕක දැම්ම නොදා තව මාසයක් දෙකක් බලලා ඒවත් එක්කම දාපංලු. හැබෑටම මුන්ටත් කල දවස යනවනේ. අපිට මොකටද අනුන්ගේ දේවල්. නැද්ද මං අහන්නේ?