![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgdPzloqpGD-mnBEcSJjpE45Rvdyn4G1NPyXGmh4diyJtrMvf45VY7x43VT08VTGmtB19MxxZ6d_hzz2ctEN_jTbVsKLoSHLStvSosw57dHc9aZfpvjrCGi-3q1QynFttsP-FjPQwNvzc/s320/remote_car_lock.jpg)
Wednesday, August 31, 2011
අල්ලන්නට ආස ඇති... කඳුළු වලට දෙන්නෙ නැති...
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjgdPzloqpGD-mnBEcSJjpE45Rvdyn4G1NPyXGmh4diyJtrMvf45VY7x43VT08VTGmtB19MxxZ6d_hzz2ctEN_jTbVsKLoSHLStvSosw57dHc9aZfpvjrCGi-3q1QynFttsP-FjPQwNvzc/s320/remote_car_lock.jpg)
Thursday, August 18, 2011
ග්‍රීස් යකෙක් ඇල්ලුවෙමු.....!
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhx9Ror7aBGYMQuQYsZrPSCGSanfAbOfqyP97w18cgTmn8og9Akg6vbIwMJ1AvHgTEdVwD5RT15oxUmGkvZzV34-0xK8rZmPdFJu6-7ZIcT7a8XlM0Nk6ZleUX15RRr79As4fpgoNEjmoA/s320/SP32-20110818-144950.jpg)
ඇත්තටම මේ වගේ ඕපාදූපයක් ලිව්වට කවුරුවත් කියවන්නෙ නැතිවෙයි. ඒත් මේ ග්‍රීස් යකා සීසන් එක ඉවර වෙන්ඩ කලින් මේක ලිව්වෙ නැත්තං මේ කතන්දරේ වැඩක් නැති වෙනවා.
ඇත්තම කියනවනං අපි ග්‍රීස් යකෙක් ඇල්ලුවා. හැට හැත්තෑවක විතර පිරිසක් ග්‍රීස් යකා හෙව්වත් අපි දෙන්නට තමා අහුවුනේ. අපි කිව්වෙ මමයි ප්‍රේමෙ අයියයි. ප්‍රේමෙ අයියා උගෙ බෙල්ලෙන් ඇල්ලුවා. මම අතින් ඇල්ලුවා. දැනට අවුරුදු තුනකට විතර උඩදී.
මතක විදිහට අයි.ටී.එන්. නිව්ස් වල ක්‍රීඩා පුවත් යන වෙලාව. ගේ ඉස්සරහා බරාස් ගාල බයිසිකලයක් බ්රේක් කලා. ඒකෙ ඉඳං කෑ ගැහුවේ ප්‍රේමෙ අයියා.
"මලේ..... ටක් ගාල ටෝච් එකත් අරං වරෙංකො.... අරහෙ ග්‍රීස් යකෙක් ඇවිල්ලලු.... ගුණසීලි නැන්දලයෙ අහ......"
මම පුටුවෙන් පැන්නෙ බයිසිකලේට.
"මට විපුලය දැං කෝල් එක දුන්නේ......"
කටින් හති දාන ගමන් ප්‍රේමෙ අයියා කියනවා. විනාඩි හතරකින් අපි ග්‍රීස් යකාගෙ ඉසව්වෙ.
ගුණසීලි නැන්දා ප්‍රේමෙ අයියගෙ තාත්තගෙ පැත්තෙ ඥාතියෙක්. උන්දැගෙ මනුස්සයා කොහෙද මන්දා කොහුමෝලක වැඩ. හම්බකරන එක එදාම බීල මිනිහා එහෙටම වෙලා ඉන්නවා. ගෙදර උන්නෙ ගුණසීලිගෙ දුවෙක් වන දේවිකායි, රට ගිහින් ඉන්න ලොකු දුවගෙ ඇරිච්ච දීගෙ දරුවො දෙන්නයි. හැමදේටම බලන්න හදන්න හිටියේ ප්‍රේමෙ අයියා තමයි.
අපි යනකොටත් තිහ හතළිහක විතර සේනාවක් ඇවිත්. බයිසිකලෙන් බැස්ස ගමන් මං කලේ එරඬු පොල්ලක් කඩාගන්න එක. කියන්ඩ බෑනෙ මූ කොච්චර දරුණුද කියලා. දේවිකා ලිඳ ලඟ කළුවරේම ඇඟ හෝද හෝද ඉඳල තියෙන්නෙ. කෙල්ල පරක්කු මොකද බලන්ඩ ගුණසීලි නැන්දා ඇහැ දානකොට තමයි කළුපාට හේයාවක් රට දෙහි පඳුරට එහායින් ඉන්නවා දැකලා තියෙන්නෙ. නැන්දගෙ හූවට බයවෙච්චි පාර තමා දේවිකා බෙරිහන් දීල තියෙන්නේ...... ඒත් වැඩිදෙනෙකුට ඇහිලා තිබුනේ දේවිකාගෙ හූව.
නැන්දා කිව්ව විදිහට මූ අමු නිරිවස්තරෙන් ඉඳලා තියෙන්නෙ. දෙල් ගහ යටින් පැනලා පාර පැත්තට දුවලා..... කාගෙත් අදහස උනේ ඌ තාමත් ඒ අක්කර දෙකක විතර ඉඩම ඇතුලේ ඉන්නවා කියන එක. මොකද ඉඩමේ දෙපැත්තකින්ම පාරවල්. කපිලයලගෙ නිදහස් බේබදු සමාජයෙ සෙට් එක ඉඳලා තියෙන්නෙ තුන්මං හන්දියෙ. පාර පැත්තට ආවත් පාරෙන්නං පැන්නෙ නෑ කියලා උං දහ අතේ දිවුරනවා. අපි යනකොටත් මුං පාරවල් දෙකට සාමාජිකයෝ දෙන්නා ගානෙ දාලා. යකා පාරට පනිනවද කියලා බලන්න.
ප්‍රේමෙ අයියත් පොල් පිත්තක් අතට ගත්තා. දැන් ගෑණු පිරිමි බේදයක් නැතිව කට්ටිය තවත් වැඩි වෙනවා. හැමෝම අතේ පොලු. එක කටුපිල පඳුර අස්සෙ දහ පාලොස් දෙනා ටෝච් ගහල බලනවා. තව පිරිසක් ගස් උඩ බලනවා. ග්‍රීස් යක්කු සාමාන්‍යයෙං කරන්නෙ කට්ටිය එද්දි ගහකට නගින එකලු. ඔය අතරෙ තමා කපිලය අපි ළඟට ආවෙ.
"ප්‍රේමෙ අයියා.... ඔය වගේ පාහර බල්ලො තුන්දෙනයි ගමටම ඉන්නෙ.... අපි ගිහිං උං ගෙවල්වල ඉන්නවද බලලා එන්නං...."
හා කියන්ඩත් කලිං උං තුන්දෙනෙක් කැලිබර් බයික් එකක නැගලා රුං ගාල ගියා.
අපිත් ටිකක් හෙව්වා. මොන මල යකෙක්වත් නෑ.
"මලේ වරෙංකො අර පැත්ත ටිකක් බලන්ඩ...... අපේ නැන්දටත් උන්හිටි ගමං උතුර දකුණ මාරුවෙනවනෙ බං..... මෙහාටවත් පැන්නද බලන්ඩ......."
අපි යන කොටත් කීප දෙනෙක් ඒ පැත්තත් විපරම් කොරලා තිබුණා. ඒත් වැඩි දෙනෙක් බැලුවේ ඌ දුවපු පැත්ත. ටික දුරක් සෝදිසියෙන් ගිය ප්‍රේමෙ අයිය ඉද්ද ගැහුවා වගේ නැවතුනා. ඊට පස්සෙ එක පාරටම ටෝච් එක හැරෙව්වෙ ළඟ තිබුණු කැප්පෙටියා ගාලට.
මෙන්න යකා තුන්කුදු ගැහිලා බිම ගුලිවෙලා ඉන්නවා.
මගෙ හිතේ තිබුණු ගැස්ම නං එකපාරම නැති උනා. මූට බය හිතෙන්නෙ කාටද? ඌ ඔලුව පොඩ්ඩක් උස්සලා යාන්තමට ඇස් ඇරලා ටෝච් එක දිහා බැලුවා.
"සමනා........?!?"
ප්‍රේමෙ අයියා ටෝච් එක නිවුවා.
"තෝ මොන හු******........................................"
ඌ ඇඳල හිටියේ කොට කලිසමක් විතරයි. ටී ෂර්ට් එක අතේ ගුලි වෙලා. ඌ හරි. සුදුපාට ඉරි දෙකක් තිබුණ ඒක ඇඳං උන්නනං ඌ මෙලහකටත් ගමකට කාල.
"හ්ම්.... වර එළියට......."
ප්‍රේමෙ අයියා කිව්වෙ රහසින් වගේ. කොහොමත් වත්තෙ තිබුණු ගාලගෝට්ටියට හයියෙන් කිව්වත් කාටවත් ඇහෙන්නෙ නෑ. ඌ එන්නෙ නැති තැන ප්‍රේමෙ අයියා ගොල්ලට රිංගලා ඌව බෙල්ලෙන් අල්ලලා එළියට තල්ලු කලා. කළුවරේ උනත් මූ තෙලියා වගේ ගැහෙනවා කියලා මට තේරුණ හින්දා මම අතකින් අල්ල ගත්තා.
"ඕක ඇඳගනින්........"
ටී ෂර්ට් එකේ පැටළුම් ඇරලා කළුවරේම ඒකෙ අත්දෙක ඌට හොයලා දුන්නෙත් මම මයි.
"හ්ම්හ්...... ගනිං ඔය පොලු කෑල්ලක්......."
අපරාදෙ කියන්ඩ බෑ. ඊළඟ විනාඩි තිහ හතළිහේ සමනා පුදුම කැපවීමකින් ග්‍රීස් යකාව හෙව්වා. ඔය ගස් උඩ විපරම් කරන්ඩ කීප දෙනෙකුටම උදව් කලා. ප්‍රේමෙ අයියනං අපිට හොයාගන්ඩ දීල ගිහිං බුලත් විටක් කන්ඩ ගත්තා. අපි දෙන්නා දිගටම හෙව්වා. අන්තිමේදි යකා නැති තැන නැන්දලගෙ මිදුලෙම තිහ හතළිහක් එකතුවෙලා පශ්චාත් විමර්ශණෙත් තිබ්බා. සමනා දිහා සැරින් සැරේ බලන දේවිකාගෙ මූණෙ තිබ්බ කොම්බු ඇලපිළි කවුරු නැතත් මම නං කියෝ ගත්තා.
හොඳම වැඩේ මේකයි. මම සමනත් එක්ක යකාව හෙව්වෙ ඌව බේරගන්න ඕනෙ හින්දා තමා. ඒත් ටික වෙලාවක් හොයාගෙන හොයාගෙන යනකොට මටම තේරුණා මං සිරාවටම මොකක් හරි හොයනවා කියලා. ඇත්තටම මම සමනා එක්කත් යකාව හෙව්වා.
දැං අහන්ඩ එපා සමනා ග්‍රීස් ගාගෙනද උන්නෙ කියලා. වැලිතලප වල වැලි නෑ වගේම ග්‍රීස් යක්කුන්ගෙත් ග්‍රීස් නෑ.