Saturday, September 1, 2012

අපේ කුකුල් බිලිපූජාව...!

ශිෂ්ට මිනිහෙක්...!
මා කුඩාකල අසල ගමක දේවාරූඪයෙන් සාස්තර කියන තැනක් විය. ම‍ගේ මවද එහි ගොස් සාස්තර ඇසුවාය. ඇයට කියා තිබුණේ අප නිවසට බලගතු හූනියමක් කර ඇති බවකි. ඒ සඳහා කුමක්දෝ ශාන්තිකර්මයක් කල යුතු බව පවසා යම් දිනකදී නැවත පැමිණෙන ලෙස ඇයට දැනුම් දී තිබුනි. එදිනට ගෙන යා යුතු ‘පූජා භාණ්ඩ’ ලැයිස්තුව මමද කියවීමි. දෙහි, අහු, පුහුල්, රතු රෙදි, කපුරු, පොල් ඇතුළු මහා ලැයිස්තුවක කුකුලෙක්ද විය.

අදාල දිනයේදී යම් පුද්ගලයෙකු උදෙන්ම කුකුලා ගෙනත් දුන්නේය. ගෙනෙන විට උගේ දෙපා බැඳ තිබුණි. මගේ මව උගේ දෙපා ලිහා එක් කකුලකින් පමණක් කුඩා පඳුරක ගැට ගැසුවාය. ඌ හොඳින් වැඩුනු හොඳ ලස්සන වෛවර්ණ ගම් කුකුලෙකි. මම ඌට ඇළුම් කලෙමි. දිනය පුරා කන්නට විවිධ දේ ගෙනගොස් දුනිමි. ඌ පහසුවෙන් මා සමග මිතුරු විය. ඌ හැමදාම අප නිවසේ තබා ගැනීමට මට උවමනා විය.

එහෙත් යන්තම් අඳුර වැටෙද්දී නැවත උගේ කකුල් දෙක බැඳුනි. විශාල පන් මල්ලකට ඌව දමාගත් අපි අනෙකුත් අඩුම කුඩුමද රැගෙන දේවාලයට ගියෙමු. ශාන්ති කර්මය ඇරඹුණි. රාත්‍රී මැදියමේදී පමණ මගේ මිත්‍ර කුකුළා ආරූඪයෙන් සිටි කපුවාගේ අතට ලැබුණි. මොනවාදෝ මහ හඬින් දෙඩවූ ඔහු එක්වරම කුකුලාගේ හිසෙන් අල්ලා වට හතඅටක් අහසේ කරකවා උඩින් යනලෙස විසිකලේය. වික්ෂිප්තව සිටි මගේ හිස උඩින් ඇදී ගිය ඌ ‘දොහ්’ යන හඬින් යමක වැදී බිම ඇද වැටෙනු මට ඇසුනි. ඒ මා දුටු පළමු බිළි පූජාවයි.

එම දේවාලය දැන් නැත. ඒ වෙනුවට වෙනත් දේවාල පහක් හයක්ම අලුතින් ඇරඹී ඇත. ඉන් දෙකතුනකම මෙවන් කුකුල් ශාන්තිකර්ම ඉඳහිට තවමත් පැවැත්වේ. ප්‍රදේශයේ ප්‍රධාන දේවාලය මුන්නේශ්වරමයි. එය හින්දු කෝවිලක් නොවේ. සිංහල, දෙමල, හින්දු, බෞද්ධ කාගේත් ප්‍රධාන දේවාලයයි. මා දන්න දා සිට එහි බිලිපූජා පැවැත්වුනි. මුන්නේෂ්වරම් මංගල්‍යයට බාරහාර ඔප්පු කිරීමට කුකුලන් උස්සාගෙන වැඩිපුරම එහි ගියේ සිංහල බෞද්ධයන් බව මා දනිමි. කුකුලෙක් නැතිනම් පොල් පැලයකි. ඒ ප්‍රාණයට ප්‍රාණයක් ඔප්පු කිරීමටය. සංකේතීයව ගතහොත් එයද බිලි පූජාවකි.

මෙම මංගල්‍ය සමයේදීද දේවාල භූමියේ පිරී ඉතිරී ඇති ජනයාගෙන් මේ මොහොතේද සීයට හැත්තෑවක් වත් සිටින්නේ සිංහල බෞද්ධයන් බව ස්ථිරව කියමි. මෙවර දේවාලයට එන්නන්ට අතිරේක වාසියක්ද ඇත. දේවාලයට පඬුරක් දමා කාලි මෑණියන්ගේ ආශීර්වාදයද රැගෙන, පැමිණි වාහනයෙන්ම වාරියපොල ධාතු ප්‍රදර්ශණයටද යා හැකිය.
අයියෝ හෙල උරුමයේ සල්ලි...!

බිලිපූජා විරෝධය එලියට එන්නේ ශිෂ්ටකමේ අරගලයක් වශයෙනි. එහෙත් එහි යථාර්තය එලියට ආවේ කවුදෝ හාමුදුරුනමක් ගිනිතබාගෙන මිය යන බවට අභියෝග කිරීමත් සමගය. බිලිපූජාව අශිෂ්ටය. සිවුරට ගිනිතබාගෙන මියයාම ඊටත් වඩා අශිෂ්ටය. එකෙකුට එකෙක් දෙවෙනි නැත.

මගේ මව මේ ලියන මොහොතේ වාරියපොල ප්‍රදේශයේ ධාතු ප්‍රදර්ශන පෝලිමේ හිඳී. මෙයට ටික වේලාවකට පෙර දුරකථන ඇමතුමක් දුන් ඈ තදින් වහින බවද, තවත් කිලෝමීටර් තුනක් පමණ පෝලිමේ යාමට ඇති බවද කියා සිටියාය. මා කියා සිටියේ ධාතු බැලිල්ල කෙසේ වෙතත් තෙරපීමට ලක්වන්නට සිදුවන්නේ නම්  ආපසු හැරී එන ලෙසයි. නමුත් ඒ උපදෙස් පලක් නැති බව දනිමි. කපිල වස්තු පුර ධාතූන් සියැසින් දැක ගැනීම ඇගේ ජීවිතයේ පරම අවස්ථාවකි. වැස්සත්, තෙරපුනත් ඇය එම අවස්ථාව අතහරිනු නැත. ඈ මෙන්ම ඔය පෝලිමේ සිටින බහුතරයක් එසේය.

මිනිසුන්ට ආගම අවශ්‍ය වන්නේ පවතින යථාර්තය සමග ඇති නොගැලපීමක් පුරවා ගැනීම පිණිසය. සොෆී ට ඇති ප්‍රස්න ලෝකයේ වෙන කාටවත් නැත්තේ ඒ නිසාය. අප පවුලේ අය විසින් මෙයට කලකට පෙර ඉහත සඳහන් කල කුකුල් බිලිපූජාව කලෙමු. ඒ ලෞකික ජීවිතයේ අපට විසඳාගත නොහැකියයි අප සිතූ ගැටළු රැසක් විසඳාගැනීම වෙනුවෙනි. ඒ මොහොතේ එය බිඳක්වත් අශිෂ්ට වූයේ නැත. මේ මොහොතේ මගේ මව ධාතු ප්‍රදර්ශන භූමියේ දුක් විඳින්නේ, ඇගේ මරණින් පසු ඇතිවනු ඇතැයි ඇය සිතන ගැටළු වලට විසඳුම් පිණිස වන්නට පුළුවන. එයද අශිෂ්ට නැත. යම් හෙයකින් පිටසක්වල ජීවියෙක් පැමිණ උඹලා ඔය පෝලිමේ තෙරපිලා, වෙන එවුන් පාගගෙන, මරාගෙන නොදන්න මිනිහෙකුගේ ඇටකටු බලන්ඩ පොරකන එක කොච්චර අශිෂ්ටද කියා ඇසුවොත් අපි ඌට ගසා පන්නමු.  ශිෂ්ටත්වය සාපේක්ෂය.

බිලි පූජාවට මා විරුද්ධය. මට අනුව එය අශිෂ්ට බැවිනි. එහෙත් බිලිපූජා වලට එරෙහිව අද දවසේ එලියට බහින්නන් සමග සිට ගැනීම මා ප්‍රතික්ෂේප කරමි. මේ විරෝධය වෙන එකකි. මුන්නේෂ්වරම් බිලිපූජා කාටත් පෙනෙන්නට ගන්නේ ඊනියා යුද ජයග්‍රහණයත් සමගය. හලාවත මිනිසුන්ට මැජික් නොවූ මෙය, මැජික් වන්නේ වාරියපොල මිනිස්සු පාගා මරාදමමින් ධාතු බලන බෞද්ධයින්ගේ ඡන්ද වලින් බලයට එන හෙල උරුමයටය. ඊළඟට පාපයට බිය නිසාම නොව, සතුන්ට බිය නිසා සර්පයෙකුට කෝටුවකින් ගසන්නට වත් පණ නැති සයිබර් වීරයින්ටය.

මා සිතන පරිදි ඔවුන්ට අනුව මුන්නේෂ්වරමේ සිදුවන්නේ බිලිපූජාවකට වඩා දෙයකි. යුද සමයේදී සිංහල රුධිරයෙන් අපි නොදන්න විනෝදයක් ලැබූ දෙමළු, දැන් මුන්නේෂ්වරමේ සත්ව රුධිරයෙන් තවදුරටත් එම විනෝදයම ලබමින් සිටිති. ගිනිතියාගෙන මැරෙන්නට යන්නේ ඒ විනෝදයට එරෙහිවය.

පසුගිය දිනවල මෙම ප්‍රදේශයේද මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් පළමුවෙනිදා මර්වින් පැමිණ මුන්නේෂ්වරමේ දෙමළුන්ට ගේම දෙන හැටි බලන්නට සැදී පැහැදී සිටියහ. ඔවුන් වැඩි දෙනෙක් ‘බිලි පූජාව නෑලු නේද බං?’ කියා අද ඇසුවේ මැලවුනු මුහුණිනි. මේ පොළොවේ යතාර්ථයයි.

පෝලිමක පිළිවෙලකට හිඳ ආගමික වස්තුවක් වන්දනාමාන කරගන්නට තරම්වත් විනයක් නැති අශිෂ්ටයන් රැලක්, තවත් ජාතියක ආගමික වතාවතක් අශිෂ්ට යැයි කියා හංවඩු ගැසීම තේරුම්ගත හැකි වෙන ක්‍රමයක් මා දන්නේ නැත.

පින්තූරය - sinhala24news.com