සිරිසේන අයියා සංවර්ධන බැංකුවට යනවා මං බලාගෙන. මාව දැක්කා මං හිතන්නෙ. මං නොදැක්කා වගේ උන්නා. නැත්තං පෙරේදා වගේ නීති උපදෙස් දීලා මගේ හොඳ පණ යනවා. හොඳ මනුස්සයා. රස්සාව ජෝසප් මුදලාලි ළඟ පොල් ලෙලි ගහන එක. කතාබහෙයි පෙනුමෙයි තරමක නෝන්ජල් ගතියක් තිබ්බත් අවංක මනුස්සයා. වයස අවුරුදු හතලිහකට කිට්ටුයි. මං කිව්වොත් ඕන දෙයක්.
පෙරේදා හවස මග රැකගෙන ඉඳලම මිනිහා මාව අල්ල ගත්තා.
“මාර වැඩේනෙ මලේ.... මගේ ගෑනි නඩත්තු ඉල්ලලා නඩු දාලනේ....”
ඔය කියන්නෙ අවුරුදු දෙකකට කලින් මිනිහව දාල ගිය ජානකී ගැන.
“කොහෙද දැං ඉන්නේ....?”
“නිකවැරටියේ ..... උංගේ ගම නේ....?”
“නඩත්තු දෙන්ඩ උඔලට දරුවො උන්නැයි...?”
“ඒකනේ........!”
මිනිහා ඒ වචනේ ඇදලා පැදලා කියන තාලෙට ඕන කෙනෙකුට හිනා යනවා. මට තේරෙන විදිහට නං ජානකීට මේ කසාදේ පොතෙන් කටුගාල දාගන්ඩ ඕනෙ වෙලා වගේ. මේ යකාට ඕවා තේරුම් කරනවා සුම්මා.
“උසාවි ගිහිං බලාගමු.... වෙලාවක් තිබුනොත් මාත් එන්නං......”
“ඒක හොඳයි..... අනික මට කොහෙංද සල්ලි... ඔන්න උංගෙ නං හතර වරිගෙම කසිප්පු බිස්නස්කාරයෝ වෙච්චි......”
“අන්න වැඩේ..... ඕක උසාවියෙදිම කිව්වනං හරි.... ආයෙ උසාවි පැත්ත පළාතෙ නොඑන්ඩ.....”
“එහෙමත් බෑනෙ මලේ... ඔය ගෑනි තරහා උනොත් ආයෙ ගෙන්න ගන්ඩ වෙන්නෙම නෑ...”
“හහ්.... තාම ලෙංගතුකම තියෙනවා......”
“නැතුව මලේ.....? මොන වැරැද්ද කොලත් ගෑණීනේ
ඔය කසාදෙ කෙරුන වකවානුවේ සිරිසේන මාත් එක්ක වැඩි පයුරු පාසානයක් නෑ. සිරිසේනගේ අම්මා කාලෙකට කලින් මියගියා. සහෝදරයො දෙන්නත් කසාද බැඳලා ටිකක් දුර පදිංචි උනාට පස්සෙ ගෙදර ඉතුරු උනේ සිරිසේනයි තාත්තයි විතරයි. මේ මනුස්සයට කසාදයක් කරල දෙන්න උන්දෑ නොගත් වෑයමක් නෑ. ඒත් බලන්ඩ ගිය එක තැනක් වත් කැමති උනේ නෑ. මං හිතන්නේ මේ යකාගෙ නෝන්ජල්කමට. අන්තිමේදි ටිකක් දුර බැහැර කපුවෙක් තමා නිකවැරටියෙන් ජානකීව කතා කලේ. මොකද්දෝ හේතුවකට ඒ ගෙදරින් කැමති උනා. හැබැයි ඒක සිරිසේනටවත්, සිරිසේනට උරුම වෙන්ඩ තිබුනු කණාටු පොල් අක්කරේටවත් ඇතිවුනු කැමැත්තක් නෙමේ කියලා මටනං තේරෙනවා. දෙයියො දනී.
මගුල ජයට ගන්න සිරිසේනගේ තාත්තට ඕනෙ උනා. උන්දැගේ හේතුවත් නරකම නෑ.
“මේ ගංකොරේ මගුල් තුංහාරසීයකට මං ගිහිං ඇති. ගනං හැදුවොත් ලක්සෙකට එහා ඕවට දීල තියෙනවා. මගේ අනිත් උන් දෙන්නත් හොරාට උස්සං ගිය එකේ මේකවත් පිලිවෙලකට කරන්ඩ එපායැ......”
මගුල ගන්න ඉඩම උගස් කරලා සංවර්ධන බැංකුවෙන් ලක්ෂ දෙකක් ගත්තා. ගේ පිළිසකර කරගන්නයි මගුලේ වැඩකටයුතු වලටයි.
“ඕක සුටුස් ගාල හොයාගත්තෑකි..... තුන් හාරසීයකට වඩා ඉන්නවා නොකියම බැරි.....”
අපරාදෙ කියන්ඩ බෑ. මගුල ජයට ගත්තා. සෑහෙන පිරිසක් ආපු, හොඳට කන්ඩ බොන්ඩ දීපු, අන්තිමට පොඩි වලියකුත් ගියපු අංගසම්පූර්ණ මගුල් ගෙයක්. මම ජානකීව දැක්කෙ ඊටත් සුමාන දෙකකට විතර පස්සෙ. ටිකක් කළු උනාට තරමක හැඩකාරියක්. සිරිසේනට ඉහටත් උඩින්.
කොහොම උනත් වලිය අතරේ, කාපු බීපු එවුන් සල්ලි නොදා මාරුවෙච්ච නිසා මගුල් ගේ පාඩු වෙලා තිබුනා.
“ලස්ස එකහමාරකට වඩා පාඩුයි.... මේ ගංවල හැත්ත........”
අලුත් කසාදෙ බරත් එක්ක ලක්ෂ දෙකක ණය බරකුත් සිරිසේනට පැටවුනේ ඔහොමයි.
සිරිසේන හුඟාක් සතුටින් ගත කරපු වකවානුවක් තමා ඕක. අලුත් ජෝඩුවට නිදහසේ ටික කලක් ඉන්ඩ දීල සිරිසේනගේ තාත්තා සහෝදරයෙකුගේ ගෙදර ගියාට පස්සෙ දෙයියනේ කියලා සිරිසේන ගෘහ මූලිකයෙකුත් උනා. මායියගේ රෙදි පෙරෙදිත් හෝදන්නෙ සිරිසේන කියලා වටේ උන් කතා උනත්, සිරිසේන හුඟක් සතුටින් ඒවා කරන්ඩ ඇති බව මම දන්නවා.
දවසක් සිරිසේන වැඩ ඇරිලා එනකොට විච්චූරණ චීන මෝටර් බයිසිකල් තඩියෙක් මිදුලෙ නවත්තලා තිබුනා. ගේ ඇතුලේ ජානකි එක්ක කතා කර කර හිටියේ තරමක ඉලන්දාරියෙක්.
“ආ... සිරී.... මතකද මේ මල්ලි...? මගුල් ගේ දා මාව ගෙනත් ඇරලන්ඩ මෙහෙත් ආවෙ..?”
ඒ පරම්පරාවෙන් සිරිසේනට හරියකට මතක තිබුනේ මාමණ්ඩියි නැන්දම්මයි ඇරුණහම ජානකීගෙ මාමා කෙනෙක් වෙච්ච බඩ තියෙන කළු මහත ගෝරිල්ලෙකුයි විතරයි. කෝකටත් මතකයි කියන්ඩ සිරිසේන ඔලුව වැනුවා.
“අපේ අර සේතු බාප්පගේ දෙවෙනි පුතා.... අපේ ගෙවල් පහල පාරෙ.......? අර.....”
“පොඩි බිස්නස් රවුමක් ආවා අයියේ.... හොඳ බයික් දෙක තුනක් ගැන ඔත්තුවක් ආවා........ ඒ ගමංම අක්කවත් බලල යන්ඩ.......”
ඔය බිස්නස් ගැන මෙලෝ දානයක් සිරිසේන දන්නෙ නෑ.
ඊට පස්සෙත් කීප වතාවක්ම ඔය නෑයා ඇවිත් ගිහින් තිබුනා. වතාවක් දෙකක් ජානකීම කිව්වා. තවත් වතාවක් හමාරක් බයිසිකල් රෝද පාර දැකලා සිරිසේන ඇහුවාම ජානකී කිව්වා. තවත් වතාවක් රෝද පාර තිබුනත් ජානකී නෑ කිව්වා. සිරිසේන ඕවා හාර අවුස්සන්ඩ ගියේ නෑ.
හැබැයි ඊළඟ සතියේ දවල් කෑම වෙලාවෙ වරුවක් නිවාඩු අරං සිරිසේන ගෙදර එනකොට අර මෝටර් බයියිකල් තඩියා මිදුලෙම තිබුනා. බිත්තිය අයිනටම ඇවිත් පුෂ් බයිසිකලේ ස්ටෑන්ඩ් එක ගහනකොටම වගේ කලබල උනු කවුරුහරි පුටුවක හැප්පෙනවත් ඇහුනා. අඩවල් කොරපු දොරෙන් ඇතුල් වෙනකොට අර ඥාතියා මේසෙකට හේත්තුවෙලා කමිසෙ බොත්තං දානවා. බලෙං හිනාවෙන්ඩ හදන උගේ මූණත් බිරාන්ත වෙලා වගේ.
“මේ පැත්තෙ පුදුම රස්නයක්නේ අයියේ.....”
සිරිසේනට එකපාරටම හිතුනේ ‘යකෝ.... නිකවැරටියේ එකෙක් කියන කතාවක්ද..?’ කියලා. ඒත් පොඩ්ඩක් හිනාවෙන්ඩ උත්සාහ කලා.
“බාප්පා කිව්වා එනගමං අක්කට කොහොමද කියලා බලං එන්ඩ කියලා....”
“කෝ අක්කා.....?”
එතකොටම වගේ කුස්සිය පැත්තෙ ඉඳං ජානකී ආවා.
“මේ... මල්ලි ඇවිත්............”
ඒ වෙනකොටත් මාස දෙකක් තිස්සෙ දීග කාපු එකේ ජානකීගෙ මූණෙ වෙනසක් සිරිසේන අඳුන ගත්තා.
එදා රාත්තිරියේ මේ නෑයා නිතර එන්නෙ ඇයි කියලා සිරිසේන ජානකීගෙන් ඇහුවේ බොහොම යාප්පුවෙන්.
“ඇයි....? තමුසෙ ඒකටත් පදයක් හදන්ඩද? යකෝ මං උන්නද මලාද බලන්ඩ නෑයෙකුට කියලා එන්නෙ..........”
ඒ හඬ නං ජානකීගෙ නෙමේ. ජානකී ඇතුලේ හැංගිලා හිටපු වෙන යක්ෂයෙකුගෙ.
සිරිසේන ඇත්තටම බය උනා.
ඊළඟ සතියෙ හමාරෙ තත්වෙ බොහොම දරුණු උනා. කීප පාරක්ම හේතුවක් නැතිවම සිරිසේන ගුටිනොකා බේරුණෙත් යන්තමින් වගේ. මේවා ආරංචි වෙලා සිරිසේනගේ තාත්තත් ගෙදර ආවා. ඒ ඇවිත් දවස් දෙකයි. සිරිසේන වැඩ ඇරිලා එනකොට ජානකී යන්ඩම ගිහින් තිබුනා.
“අර එනවා කියපු මොකාද එකා බයික් එකේ ආවා.... මේකි තඩි බෑග් දෙකක් එල්ලගෙන කතා නැතුවම ගිහින් නැග්ගා.... කොහෙද යන්නෙ කියලා අහන්ඩ නැගිටිනකොටත් මුං ගිහිං........”
ජානකීගේ ඇඳුම් කැඩුම්, රත්තරං බඩු, අල්මාරියේ තිබුන හොඳ බෙඩ්ෂීට් වගයක්, තවත් මොන මොනවදෝ එක්ක ණය ගෙවන්ඩ එකතු කරලා තිබුන රුපියල් පන්දාහකුත් ගෙනිහිං තිබුනා.
* * * * * * * * *
සිරිසේන බැංකුවේ ඉඳං කෙලින්ම ආවේ මං ළඟට.
“ණය වාරිකේ දාන්ඩ ආවා මලේ.....”
ඒ මගුල් ගෙදර ලක්ෂ දෙකේ ණය. මං නිහඬව උන්නා.
“දැං අවුරුදු දෙකකටත් වඩා ගෙව්වා. අද අහද්දි කියනවා තව එක්ලක්ස හැටදාහක් තියෙනවලු..... යකෝ මට ජීවිත කාලෙම පොල්ලෙලි ගහන්ඩ වෙයි මේක ගෙවන්ඩ..... ඒ මදිවට අරයා නඩුත් දාලනේ.....”
ඔය එන්නේ අර කතාවට තමා.
“අපි උසාවියෙදි කියමු මලේ ගෑණිව බාරගන්ඩ ලෑස්තියි කියලා......”
“අපි උසාවියෙදි කියමු මලේ ගෑණිව බාරගන්ඩ ලෑස්තියි කියලා......”
ReplyDeleteමිනිහෙකුට සල්ලිත් එක්ක ගණුදෙනු කරන එක අපහසුයි. අමනුස්සයෙක් එක්ක ගණුදෙනු කරන එක පහසුයි.
මේ පොල් ලෙලි ගහන සිරිසේනගේ හා කසිප්පු පෙරන පවුලක ජානකීගේ කතාව නොවේ. ඇඟට වස්තරේ නැතිව බැංකුවට, පොලී කාරයින්ට අත පා ලක්ෂ ගණන් ණයට ගෙන ලෝකෙට ප්‍රදර්ශනය පිණිස මඟුල් කන, බොහෝ දෙනෙකු ගේ කතාව මෙයයි.
ReplyDeleteනියම කථාව සුපර්...!!!
ReplyDeleteලෝකෙට පේන්න මගුල් ගන්න එක මම හිතන්නෙ තනිකරම විහිළුවක් කියලයි.. මමත් ඕක කලා.. තවත් අය ඕක කරයි..... ඒත් ණය වෙලා ගන්න එක නම් පට්ටම විහිළුවයි.. රත්තරන් බඩුවලටයි ඡායාරූප වලටයි කරන වියදම ඇරුනම අනික් ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ ඉතින්......
ReplyDeleteසිරිසේනට ගෙවලා ඉවරකර ගන්න බැරි ණයක් තියනවා වගේ ආයෙත් ජානකී බාර ගන්න.
ReplyDeleteසිරිසේනත් එයාගෙ අප්පත් නියම ශ්‍රී ලාංකිකයො. ලෝකෙට ණය වෙලා හරි පුඵවන් තරම් සැණකෙලි පවත්වන්න ඕනෑ.
ReplyDeleteපොල් ලෙලි ගහන සිරිසේනට විතරක් නෙමේ කාට උනත් මම නම් කියන්නේ මඟුලක් අතේ තියන සල්ලිවලින් පුළුවන් හැටියටයි කරන්න ඕනේ. කවදාවත් ණය වෙලානම් මඟුල් කන්න හොඳ නෑ.
ReplyDeleteපුසා +1
ReplyDeleteජානකීල සිරිසේනල විතරක් නෙවෙ ඔහොම නැදෑ කම් පාන අපූරු මොටර් සයිකල් කාරයොත් තව ගොඩක් ඉන්නව ලංකාවෙ..
ReplyDeleteමාර ගෑනු තමා....
ReplyDeleteණය වෙලා මඟුල් කද්දි කලින් පොල් ලෙලි ගහපු කතන්දර අමතකයිනේ... ණය ගෙවන්ට ගියාම තමා ඕං තේරෙන්නේ කාපුවගෙ රඟේ... ඒත් කරුමේ කියන්නේ වෙච්ච සංගෙඩි ඔක්කම දැන ගෙනත් තව පරණ ණයත් ගෙවන ගමන් සිරිසේනයා ආයෙත් ජානකී වද්දගෙන මඟුල් කන්ට හිතන එකනේ... අනේ මෙහෙමත් මෝඩ යක්කු....
ReplyDeleteනියමයි කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ... මේ මනුස්සය එහෙම තියෙද්දිත් තාම කෙල්ලව ආයෙ ගෙන්නගන්නයි කැමැත්ත නේද?
ReplyDeleteලංකාවේ ගොඩක් තැන්වල ඔය ප්‍රශ්නේ තියෙනවා. ණය වෙලා මඟුල් කාලා ජීවිත කාලෙන් බාගයක්ම ණය ගෙවනවා.
ReplyDeleteහ්ම්,,,, හොඳ කතාවක්,,,මම දනිමි මේ කතා උල්පතේ ර,,හ,,ස,,,,
ReplyDelete@ පුතා,තේරුම් ගනිං මලේ,ආයෙ භාර ගන්න හදන්නෙ නඩත්තු ගෙවන වැඩෙන් ගැලවෙන්නනෙ
යකෝ.... නිකවැරටියේ එකෙක් කියන කතාවක්ද..?
ReplyDeleteහික්ස්.....අන්න නියම උපහාසය...ඒත් මං මේ දහ අතේ හොයන්නේ දේසය පාලනයට ගෑවිච්ච වියමනක්වත් ඒ අල්ලපනල්ලේ තියේද කියල ඕන්...
පුදුමයි සිරිසේන කාරය පවතින ආණ්ඩුවටවත් බැන්නේ නැති එක...:-P
@ මද්දු,
ReplyDeleteමිනිහ ආණ්ඩුවට බනින්නෙ නෑ මද්දුවො.
කැපුවත් නිල් පොරක්..
ඔන්න එහෙම නොවුනනං කියයි මේ දවස්වල හම්බන්තොට ඇතුළු මුළු රටේම කන්නෙත් ණයට ගන්ත මගුලක්ය කියලා.
ඒ වගේම ඒ මගුලෙ ණය ගෙවන්න පොල්ලෙලි ගහන්න වෙන්නෙ නං අපේ දරුපැටවුන්ටය කියලත්.
මොකට ඕවා දානවද මලේ?
ඔව්..ඔව්..මොකට ඕව දානවද?
ReplyDeleteමටත් හිතෙනව පහන නිවෙන්න ලං වෙලාදෝ කියල...හ්ම්ම්..
මට තේරනේ නෑ, මෙන්න මේක.
ReplyDeleteණය ගෙවන්න පන්දාහක් වෙනකං ඇයි ගේ ඇතුලේ එකතු කලේ? දාහ, දාහ ගෙවන්න තිබුණනේ?
@ කතන්දරකාරයා,
ReplyDeleteඇත්තටම මිනිහගේ වාරිකය හයදාස්ගානක් මං හිතන්නෙ. (අවුරුදු පහක ණයක්) සාමාන්‍යයෙන් සිරිසේනලා වගේ ගණුදෙනු කාරයෝ වැඩිදෙනෙක් බැංකු ගණුදෙනු නූලට කරනවා මං දන්න තරමින්.
(ඒත් බැංකු වැඩිපුරම වද දෙන්නේ සහ සූරාකන්නේ මේ ස්ථරය)
මම දන්න පොරවල් කීපයක් ඉන්නවා නිකවැරටියෙ නීඩ්ස්කො කියන බැංකුවෙන් ලක්ශ ගනන් ණය අරන් ගෙවන්නෙ නැතිව ඒක බංකොලොත් කරලාදාපු. එක පොරක් මේ පාර සංධානෙන් ප්‍රා සභාවට තරඟ කරන්න යනවා කියලා ආරංචියි.
ReplyDeleteඑහෙනං ඌ දිනයි මචං....
ReplyDeleteඔයිට වඩා සුදුසුකම් මොකටද?
කතාව ගැන නම් ඉතින් කතා දෙකක් නෑ. ඒත් මම මේ කම්පනා කරේ මේ ලියල තියෙන්නේ කාගෙ ජීවිතයද කොපි කරලද කියලා...
ReplyDeletemekata kiyanne api apitama hinawenawa kiyala.ekatama hariyayana gola balayo tikak rear gate ta set wela.meka monatharam apahasa thiyena lipiyakda?nikawaratiya,sirisena mewa apahasaya sahitha wachana.ekai me tharam joliya.naya ganeemai janakee yana ekai athare sambandayak na.mokada liyumkaru mulinma sirisenawa napunsaka nonjalayek karala iwarai.me wage katha kiyamin sathutu wena aya tharam upset jathiyak thawath na.owani katha thawa onatharam.digatama hinawenna.redi diyanawada kiyala witharak poddak namila balanna.suba pathum.
ReplyDeleteSIRISENA WIMALAWEERA.
ඔන්න මං අනූ නමය හරිය... ;-)
ReplyDeleteණය වෙලා මගුල් කන එක අද කාලෙ ෆැෂන් එක වෙලානෙ charmi.
ReplyDeleteමගුල් කන එවුන් විතරක් නෙමෙයි මගුල් වලට යන උනුත් ණය වෙනව... එන උන්ට පේන්න ලස්සනට ඇඳගෙන යන්න එපැයි...
මොන දේ කලත් ගෑනිනේ බO.........අපිටම ආවේනික දෙයක් ඔය....
ReplyDeleteඋඹේ ලිවිල්ල නියම ලස්සනයි මචන්!
ReplyDeleteHere is a Copy Cat
ReplyDeletehttp://ayeshikamadhushani.wordpress.com/2011/03/10/%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B8%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92/
ලස්සනයි
ReplyDelete