Monday, May 5, 2014

තිත්ත කරවිල කතාවේ ඇත්ත කතාව


මගේ හොඳ දුවේ. අද තාත්ත හාල් ටිකක් හොයාගෙන එනවා කිව්වානේ... එතකොට මං මගේ පුතාට බත් උයලා දෙන්නම්කෝ... දැන් මේ කරවිල ටික කන්න...." අපේ අම්මලා හඳේ හාවා පෙන්නා ඩිංග ඩිංග බණ්ඩියට දාන්න නොවිඳිනා දුක් විඳින කරවිල පිඟානක්ම පුංචි දුවගේ අත්ල මත. ඒ ළපටි දෙතොල් අතරින් තිත්තම තිත්ත කරවිල කටක් ඇතුළු කරන්නේ කොහොමද....? දරිද්‍රතාවත්, මවුපියන්ගේ අසරණකමත්, නොතේරෙන පුංචි දියණියගේ මොළකැටි කම්මුල් දිගේ කඳුළු කඩන් වැටෙද්දී බෝලයක් වගේ ගුළිවුණු කරවිල කටක් උගුරේ පහළට ගියා. නංගියගේ කෑමත් නවතියි කියලා හිතුණ දහතුන් වියැති පුංචි අක්කා කිසි වෙනසක් නොපෙන්නාම කරවිල පිඟානම ගිල දැම්මා....”

ඉහත උපුටනය, පෙබරවාරි දෙවෙනිදා මව්බිම පත්තරේට වාසනා සුරංගිකා විතානගේ / පුබුදුපුර - රුචිර සේනාරත්න කියලා ‘මාධ්‍යවේදී’ ඩබලක් ලියාපු “දවස් පහක් කරවිල කාලා රෝහල්ගතවන්නට සිද්දවෙච්චි අම්මා” කියන හොටු කඳුළු නිවුස් කතාවෙන්. මේක පළවෙලා පැය කීපයක් ඇතුලත මේ ප්‍රවෘත්තිය රටම කැළඹුවා.  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳන් බොදු බල සේනාව දක්වා කලබල වෙලා ක්ෂණික පියවර ගන්න පටන් ගත්තා.  ඡන්දයක් අතළඟ තිබ්බ නිසා මේකේ ප්‍රවෘත්ති වටිනාකම හිතාගන්න බැරි තරම් ඉහළ ගියා. විපක්ෂ වේදිකාවල මේ තිත්ත කරවිල කතාව රසමසවුලක් වුනා. ආණ්ඩුව කරවිල ගිලපු ගොළුවො වුනා.

මේ නිවුස් එක අහපු ගමන් ගමක ජීවත්වෙන හාදයෙක් හැටියට මට මේක එච්චර ඇල්ලුවේ නෑ. සාමාන්‍යයෙන් මෙහෙම සිදුවීම් ගම්වල වෙන්න ඉඩක් නෑ. එනිසා මම හිතුවේ මේක ඇත්තක් නම්, මේ මිනිස්සු එක්කෝ ගම්මානයකින් දුරස්ව තනියම ජීවත්වෙන්න ඕනේ. එහෙම නැතිනම් ගමකට එපාම කරපු පිරිසක් වෙන්න ඕනේ. එනිසා මට ඕනෙ වුනා මේකෙ ඇත්ත නැත්ත හොයන්න.

මා විසින් සහ වෙනත් ඉතා විශ්වාසවන්ත මූලාශ්‍ර කිහිපයකින් ලබාගත් තොරතුරු මත කතාව කෙටියෙන් මෙහෙමයි.
මේ කරවිල කතාවේ කතානායිකාව වන සීවලාපිටිය පදිංචි විනීතා මොකක්හරි හේතුවකට ගමනක් යනකොට බස් එකේදි දන්න කියන කාන්තාවක් හමුවෙනවා. ඒ කෙටි කාලය තුල දෙන්නා ජීවත්වීමේ අගහිගකම් සහ අළුත උපන් නිවුන් දරුවන් දෙදෙනා ගැන කතාවෙනවා. ඒ කතාවෙදි විනීතා ඇයට කියනවා ඇය සම්පූර්ණ දවසක් කරවිල කාපු එක ගැන. (ඒ කරවිල කාලා තියෙන්නේ ඇගේ ඥාති වැඩිහිටි කාන්තාවකගේ උපදෙස් මත කිරි එරෙන්න. ඒ හේතුව අර කාන්තාවට කිව්වද කියන එක පැහැදිලි නෑ. බොහෝවිට අදහස් සන්නිවේදනයේ පොඩි වයර් පැටලීමක් වෙන්න ඇති)
ඒ කාන්තාව කියනවා එයා දන්න පත්තර වාර්තාකාරයෙක් ඉන්නවා. එයාට මේ විස්තරේ කියන්න කියලා. ඒකට විනීතා එකඟ වෙනවා. ඒ අනුව පසු දවසක අර අදීන මාධ්‍යවේදීතුමා(ලා) විනීතාගේ ගෙදරට එනවා. ඇවිත් විස්තර අහගෙන යනවා.

දවස් කීපයක් යනවා. ඔන්න එකදවසක් උදේ 10 ට විතර (නිවුස් එක පළවුනු දා) අනුරාධපුර අතිරේක දිස්ත්‍රීක් ලේකම්තුමියක් කඩිමුඩියේ සීවලාපිටියට එනවා. ඇවිත් ගම්මුන්ගෙන් මෙහෙම අහනවා.
“අර දවස් පහක් කරවිල කාලා ඉස්පිරිතාලේ හිටපු ගෑනු කෙනාගේ ගේ කොහෙද?”
ගම්මු මූණෙන් මූණ බලනවා.
“විනීතා කියන්නේ? එයාගෙ මහත්තයා ලසන්ත..... එයාලට නිවුන් දරුවො දෙන්නෙක් ඉන්නවා....? ......”
ගම්මු විනීතාගේ ගේ පෙන්නනවා.
එදා තමයි විනීතා හා පුරා දැනගත්තේ තමුන් දවස් පහක් කරවිල තම්බලා කාලා දවස් දොලහක් ඉස්පිරිතාලේ හිටපු බව.
----------------------

විනීතලට රුපියල් එක්දාස් පන්සීයක සමෘද්ධි මුද්දරයක් තියෙනවා. ගොඩ ඉඩම් අක්කර දෙකකුයි කුඹුරු අක්කර තුනකුයි තියෙනවා. ඒ කියන්නෙ සීවලාපිටියෙ අනික් ගම්මුන්ට වඩා අඩු දේපලක් නෙමේ. හැමෝටම ඔය වගේ තියෙනවා. ඒ වගේම හැමෝටම ජීවත්වෙන්න එක වගේ අමාරුයි. විශේෂයෙන් ඔය කියන වකවා‍නුවේ පැවති නියඟය මුළු ගමටම තදින් බලපෑවා. ගොවිතැන් කටයුතු නැති නිසා මිනිස්සුන්ට කුලි වැඩ හොයං යන්න වුනා. කුලි වැඩත් හිඟ වුනා. දරුවො හතර දෙනෙක් නිසා විනීතලට අනික් අයට වඩා සෑහෙන්න අමාරු වෙන්න ඇති. විනීතගේ මහත්තයා මීඩියා වලට ඇඬුවට  ඇත්ත සතා නම් පවුලේ බර එච්චර ඇඟට නොගත්ත අමුතු පහේ හාදයෙක් කියලයි ආරංචි. මිනිහා උන්හිටි ගමන් සති දෙක තුන කොහෙහරි ගිහින් හම්බකරගත්තු දේකුත් නැතුව නිකම්ම ආපහු කඩාපාත්වෙන ජාතියේ චරිතයක්. කොටින්ම මිනිහා ගැන ගම්මුන්ගේ චරිත සහතිකේ එච්චර හොඳ එකක් නෙමේ. හැබැයි විනීතා හොඳ ධෛර්යවන්ත ගෑණි කියලා පළාතේ කවුරුත් කට ඇරල කියනවා.

දරුවන් හතර දෙනෙක් එක්ක සැමියගේත් නිසි සහයෝගයක් නැතිව විනීතා මහ දුකක් විඳින්න ඇති.  (යකෝ හාල් කිලෝවක් හොයාගන්න බැරි එකා පිරිමියෙක්ද නැත්තං ****ක්ද? ) හැබැයි ඉතින් මොන අහේනිය තිබ්බත් දවස් ගණන් කරවිල ගිලින්න තරම් තත්වයක් සීවලාපිටියේ කාටවත්ම තිබ්බෙ නැති බව කියන්න ඕනේ. ලංකාවේ වැඩියෙන්ම වට්ටක්කා සහ පුහුල් වගා කරන ප්‍රදේශයක් මහ විලච්චිය.  කතාවක් තියෙනවා වට්ටක්කා වාරයට මහවිලච්චියේ ගොවියෝ විකුණගන්න බැරුව විසිකරන වට්ටක්කා තොගය විතරක් ගත්තොත් උතුරු මැද පලාතටම උනත් වේල් දෙකතුනක් දෙන්න හැකියි කියලා. දඹුල්ලේ වට්ටක්කා මිල තීරණය වෙන්නේ මහවිලච්චිය මත. ඒ වගේමයි බඩඉරිඟු. මහවිලච්චියේ වැව නිසා කුඹුරු ගොවිතැන් වුනත් තද නියගයකදී හැර පාළු වෙන්නෙ නෑ.

ඔය කරවිල කෑවයි කියන වකවානුවේ සීවලාපිටියේ ඕනෙතරම් වට්ටක්කා බඩඉරිඟු තිබුණයි කියන එක කියන්නේ සීවලාපිටියේ මිනිස්සු.  ගම්වල මිනිස්සු ගමේ එකාට වට්ටක්කා ගෙඩිය විකුණන් කන්නෑ. කවුරුහරි ඉල්ලුවොත් සාමාන්‍යයෙන් කිසිම කෙනෙක් නොදී ඉන්නෙත් නෑ.  විනීතාගේ ගේ වටේ ඉන්න වැඩිදෙනෙක් ඇගේම ඥාතින්. මේ මනුස්සයා දරුපැටව් ටිකත් එක්ක දවස් පහක් කරවිල කනකං ඒ කවුරුවත් බැලුවෙ නෑ කියන එක ඇත්තක් වෙන්න පුළුවන්ද?

විනීතා රෝහල්ගත වෙලා හිටියේ නෑ කියන එක කියන්නේ විනීතාමයි. ඇය රෝහලකට ගිහින් තියෙන්නෙ ඊට මාසෙකට විතර කලින්. ඒ ළදරුවො දෙන්නගේ ක්ලිනික් එකට. ඒ කියන්නෙ රෝහල් කතාවත් පට්ටපල් බොරුවක්. විනීතාගේ වචන වලින් ම මෙහෙමයි.
“මං එයාලට (මාධ්‍යවේදීන්ට) ඉස්පිරිතාල කතා මොකුත් කිව්වෙ නෑ.... ඒවා ලියලා තියෙන්නෙ එයාලමයි... ඒත් ඉතිං එයාල හින්දනේ මේ සේරම ලැබුනේ....”

නිවුස් එක ගියත් එක්කම හිත උණුවුනු සංවේදී මිනිස්සු දුර බැහැර ඉඳන් විනීතා හොයාගෙන එන්න ගත්තා. මේක ගමේ මිනිස්සුන්ට ලොකු අවුලක් වුනා. සමහරු ආධාර අරන් ආපු මිනිස්සු වෙන පාරවල්වල පවා යවලා තිබ්බා. ඇතැම්විට ඉරිසියාව වෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන් කියන කතාවේ ගත යුත්තක් තියෙනවා.
“අපේ ගම්මැද්දේ ගෑනියෙක් කන්න නැතුව දවස් ගනං කරවිල තම්බලා කෑවයි කිව්වම අපි ගම්මු නිකං තිරිසන්නු ගානට වැටෙනවනේ...?  මේ ගංගොඩේ ඕන එකෙක් කන්න නැති එකෙක් දැක්කොත් කන්න ගත්තු පතෙන් කොටහක් හරි දෙනවා. ඒක සිංහල සිරිත..... මේ **න පත්තරකාරයෝ සීවලාපිටිය ගම කෑවා......”

සිද්දිය පත්තරේ ගිහින් සතියකට පස්සේ විනීතගේ ලොකු කෙලී ඉස්කෝලෙ ගමන නැවැත්තුවා. ඔයාලා කන්නේ කරවිල තම්බලද කියලා ඉස්කෝලෙ ලමයි ඔච්චම් කරන්න අරන් තිබුණා. පස්සෙ විදුහල්පතිතුමා ගෙදරට ඇවිත් ඒ දරුවා නැවත ඉස්කෝලෙට එක්ක ගිහින් තියෙන්නේ. ඔය වගේ ප්‍රස්න ගොඩක් වුනා.

ගම්මු කියන කතාවල අපූරු කෑල්ලක් අහුවුනා.

“ඔය පවුල හරි අමාරුවෙන් තමා ජීවත්වෙන්නේ.... ඒක ඇත්ත. ඒ වුනත් එයාල වගේ කීප ගුණයක් අන්ත අමාරුවෙන් ජීවත්වෙන පවුල් මේ ගමේ අනන්ත ඉන්නවා. මිනිස්සු නැති.... දරු කැලතක් එක්ක තනිවුනු... ලෙඩවුනු... ගෑනු.....මේ ආසනෙත් ඉන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කෙත් ඉන්නවා..... ඉතින් රටේ හිත හොඳ මිනිස්සු මේ පවුලට උදව් කලා කියලා ඒවා විස‍ඳෙනවද? එතකොට ඒ හැමෝටම තියෙන විසඳුම  ඔය වේස පත්තරකාරයෝ ගෙන්නලා අපි කව්පි කොල තම්බලා කෑවා.... අපි බඩඉරිඟු නටු කෑවා කිය කියා පත්තරේ දාන එකද.....?”

ඉතින් මූලික සිද්ධිය ඕකයි. විනීතා දරු පැටවුනුත් එක්ක  දැඩි අගහිඟකම් මැද අන්ත අසරණ ජීවිතයක් ගතකල බව අමූලික ඇත්ත. නමුත් නිවුස් එකේ ලොකුම කතාව වන දවස් පහක් කරවිල තම්බලා කාලා අසනීප වෙලා රෝහල්ගත කරලා දවස් දොලහක් හිටියයි කියන එකයි, දරුවන්ට බ‍ලෙන් කරවිල ගිල්ලුවයි කියන එකයි  හෙනගහන පට්ටපල් බොරු.
----------------------------

ආහ්... පොඩි රස කතාවක් තියෙනවා. ඒකත් කියලම අහවර කරන්නම්.
අපේ බොදු බල සේනාව ඉන්නවනේ. ඒ අයත් විනීතලට පිහිට වෙන්න වහාම ක්‍රියාකාරී වුනා. ඒ අතින් ඇත්තෙන්ම හොඳයි. ඒ ගොල්ලො ඇවිත් දවසක් හමාරක් ඇතුලත මුළු නිවසම වයරින් කලා. ඒ කරලා සප්ලයි ගන්න අනුරාධපුර විදුලි අධිකාරිට කතා කලා. එයා කිව්වා සල්ලි බැන්දොත් සප්ලයි දෙන්නං කියලා. (කතාව හරිනේ?)
ඔන්න පහුවදා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට මෙන්න මේ වගේ දුරකථන ඇමතුමක් එනවලු.
“මේ කතාකරන්නේ බොදුබල සේනාවෙන්.... අහවල් හාමුදුරුවෝ... අර කරවිල තම්බලා කාපු පවුලට විදුලිය දෙන්න ඕනේ... අපිට ඉක්මනට සමෘද්ධියෙන් ණයක් අවශ්‍යයි....”
මොනව උනත් මොලේ තියෙන නිලධාරියෙක් ඉඳලා කියලා තියෙනවා විනීතා මීට කලින් පනස්දාහක ස්වයං රැකියා ණයක් සමෘද්ධියෙන් අරන් තවම ගෙවලා ඉවර නැති නිසා, ඒක ඉවරවෙනකං කොහොමවත්ම  නැවත ණය දෙන්න බැහැයි කියලා.
තව පොඩ්ඩෙන් කොරේ පිටට මරේ තමයි. බොදු බල සේනාවෙන් ලොකුවට විදුලිය විවෘත කරලා සෙත් පිරිත් කියලා හෙම යයි. අර කරවිල කෑවයි කියන මනුස්සයට තව රුපියල් තිස් හතලිස්දහක ණයකුත් පටවලා.
කෝමද ටිකිරි මොලේ?
:)
 -----------------------------------

කතාව ඉවරයි. දැන් උඩ සේරම හොඳට මතක තියාගෙන මෙන්න මේ ලින්ක් එකට ගිහින් ඒකෙ තියෙන සම්පූර්ණ ලිපිය හොඳින් කියවන්න.  (ඇති විමට නියමිත මාන්දමික හැඟීම් ගැන වග කියනු නොලැබේ)

----------------------------------
මේ අදාල සිද්ධිය ගැන ‘දිනමිණ’ කල හෙළිදරව්ව.


Follow by Email