Tuesday, February 25, 2014

ඩිජිටල් එළදෙන්නු සහ ඇනලොග් බූරුවෝ



මේ ෆේස්බුක් මරණ තුට්ටුදෙකට දාලා එල්ලිච්ච උන් නිකංම එළදෙන්නු කරන එකට මං විරුද්ධයි. මේවා සයිබර් මරණ. මේවා නියම සංස්කෘතික මරණ.

ඔන්න කොල්ලා කෙල්ලව අතෑරලා වෙන කෙල්ලෙක් එක්ක ගියයි කියලා කෙල්ල කණේරු ඇට කාල මැරෙනවා. ඕව ඉතිං මානව ඉතිහාසේ පටන්ගත්තු දා ඉඳංම තියෙන දේවල්නේ. ශාරීරික වැඩක්.  ආරංචිය ආවා... කනේරු ගහක් ලගට ගියා... ඇට හතඅටක් කඩාගත්තා... සීනි එක්ක කාලා මලා........

ඒ වුනට මේවා එහෙම නෑ. එකෙක් තමුන්ගේ සිතුම් පැතුම් හරි, ඊනියා පින්තූරයක් හරි දත්ත විදිහට පොඩි ඉලෙක්ට්‍රොනික් අටමගලෙකට දානවා. පස්සේ ඕක ප්‍රොසෙසරයකට ගිහින් තැලිල පොඩිවෙලා පොඩි පොඩි බයිනරි සංකේත විදිහට කැඩිලා වයර් දිගෙයි, විද්‍යුත් චුම්බක සංඥා විදිහටයි, පස්සේ ෆයිබර් ඔප්ටික්ස් මෙව්වා දිගේ ආලෝක සංඥා විදිහටයි පරිවර්තනය වෙවී කිලෝමීටර් දාස්ගානක් ඈත සර්වර් වලට යනවා. ඊට පස්සේ සර්වර් කාරයා ඌට ලැබිලා තියෙන උපදෙස් විදිහට අවශ්‍ය අයට ඕනෙනං ලබාගන්ට මෙව්වා අවශ්‍ය තැන්වලට යොමුකරලා තියනවා.
පස්සේ වෙන එකෙක් හරි එකියක් හරි, අර ගියපු මාර්ග දිගේම මෙව්වා සල්ලි ගෙවලා බයිනරි සංකේත විදිහටම කිලෝමිටර් දාස් ගානක් ඈත ඉඳන් තමුන්ගේ විද්‍යුත් අටමගල් වලට ගෙන්නගෙන, එව්වා ආපහු ප්‍රොසෙසරයකින් පූට්ටුකොරලා, සිලිකන් තිරේක  ඊනියා අතුරු මුහුණතකට අරං කියවලා....... 
දුවලා ගිහින් බෙල්ලෙ වැල දාගන්නවා....!!

මේක සංස්කෘතිකයි. ටිකක් නෙමේ. හොඳටම සංස්කෘතිකයි. මානව ඉතිහාසයේ මොකාද හිතුවේ කවදහරි මිනිස් අදහසක් එක-බින්දුව සයිස් එකට කුඩුපට්ටම් කරලා, තත්පර ගානක් ඇතුලත දුර ඈතට ගෙන්නගෙන  ඒක ආපහු ප්‍රතිනිර්මාණය කරලා හිත රිද්දගෙන මැරෙන්න පුළුවන් වෙයි කියලා? ඒ පළවෙනි කරුණ.

දෙවෙනි එක මේකයි. මේක කොච්චර සංකීර්ණද කියලා අපි නිකමටවත් හිතන්නෑ. නිකමට බලන්න කොල්ලා බැන්නා කියලා එල්ලෙන එකකයි, ෆේස්බුක් නිසා එල්ලෙන එකකයි තියෙන වෙනස. කොල්ලා බැන්න සීන් එකේදි මූලිකව අවශ්‍ය වෙන්නේ කොල්ලාගේ බැණුම ඇහෙන එක විතරයිනේ.  ඊට පස්සෙ (මරණ දෙකටම පොදු) එල්ලෙන්න තැනකුයි, ලණුවක් හරි සාරියක් හරි වගේ එකකුයි. තව ඕන්නං ලියුමක් වගේ ලියන්න හිතුනොත් කඩදාසියකුයි පෑනකුයි......

නමුත් ෆේස්බුක් එල්ලිල්ලක් එහෙම නෑ. මුලින්ම කොම්පියුටරයක් හරි ෆේස්බුක් යන්න පුළුවන් වෙන සුකුරුත්තමක් හරි තියෙන්න ඕනේ. එක පැත්තක විතරක් තිබිලා බෑ. දෙපැත්තටම තියෙන්න ඕනේ. ඒකට පොඩි පහේ ආර්ථික ශක්තියක් තියෙන්නත් ඕනේ. ඕකක් පරිහරණය කරගන්න තරමක දැනුමක් ඕනේ. අන්තර්ජාල සම්බන්ධතාව තියෙන පළාතක ඉන්න ඕනේ. ඩේටා කනෙක්ෂන් එකක් ගන්න ඕනේ. ඒක ගන්න අයිඩින්ටියක් තියෙන්න ඕනේ. බිල ගෙවාගන්න සල්ලි තියෙන්න ඕනේ. ෆේස්බුක් තහනම් නොකරන ලද දේශපාලන වටපිටාවක් තියෙන්න ඕනේ. මොන මගුල නැතත් කරන්ටෙක තියෙන්න ඕනේ.

මම කියන්නේ ඕවයින් එකක් හරි මිස් උනොත් ඔය මරණය වෙනවද? අන්න එතනයි අපිට වැදගත්. ෆේස්බුක් නිසා මැරෙනවනං ඒ දියුණු මිනිසෙක්. ඒක නිසා මේවා “දියුණු සංස්කෘතික මරණ”.

ලංකාවේ ෆේස්බුක් තහනම් කරයිද, නැද්ද වගේ නිශ්ඵල කතාවලට කාලය නාස්ති කරන එකේ තේරුමක් නැහැ. ගලන ගඟක් ආපහු හරවන්න බැහැ වගේම, මානව දියුණුව ආපහු ගල්යුගේට ගෙනියන්න මොන ගල්වැද්දටවත් බැහැ. එහෙම කරන්න හැදුවොත් මේවා මීටත් වඩා සංකීර්ණ විදිහට ගල්ලෙන බිඳගෙන ලෙන්දොර ඇරගෙන අපූරුවට ඒවි.

මේ මැරෙන්නේ නිකංම එළදෙන්නු නෙමෙයි.  මෘදුකාංග අතුරු මුහුණතක ‘එක පතේ කන’ තරමට එක පැත්තකින් දියුණු මිනිස්සු. කාටහරි එළදෙන්නු කියන්න ඕනෙමනං, අඩුමගානේ ඩිජිටල් එළදෙන්නු. මේවා ඇනලොග් ක්‍රමේට ප්‍රින්සිපල්ලා මාරුකරලා විසඳන්න පුළුවන්ද මම දන්නෙ නෑ. ලොකුම වසංගතේ ඇනලොග් ජනමාධ්‍ය බූරුවෝ. “තවත් මල් කැකුළක් අද අකාලයේ පරවුනා....” කියල මුං පටන්ගන්න තෙල් බේත් බිස්නස් එක දැක්කාම ඇනලොග් ඩිජිටල් බේදයක් නැතුව කාට කාටත් එල්ලෙන්න නොහිතුනොත් තමයි පුදුමේ.

ඉතිං අඩුමගානේ මේ ෆේස්බුක් මලගෙවල් ටිකවත් ඔය ඇනලොග් බූරුවන්ට විකුණගෙන කන්න බැරිවෙන විදිහට ටිකක් දියුණු සංස්කෘතික විදිහට ගන්න තිබ්බනං අගෙයි නේහ්?

Sunday, February 16, 2014

අහිගුණ්ටික මරණයක්

මේ පළාතට මාස පහ හයකට පාරක් ඇවිත් සතියක් හමාරක් නැවතිලා යන අහිගුණ්ටික පිරිසක් ඉන්නවා. මේක මම දන්න දා ඉඳං වෙන දෙයක්. ඉස්සරනං කොහෙහරි වැව් පිටියක තල් අතු කූඩාරම් ගහගෙන බූරුවොත් දිගේලි කරගෙන තමා හිටියේ. තව රිලව් එහෙම ගේනවා. බූරුවෝ අරන් යන්නේ තල් අතු කූඩාරමුයි, අනෙක් උයන පිහන වගේ අඩුවැඩියයි තැනින් තැනට ප්‍රවාහනය කරන්න. ඒ කාලයේ අහිගුණ්ටික ගෑණු ගෙවල් ගානේ එනවා සාත්තර කියන්න. පොල දවසට නයි නටවනවා. රිලව් නටවනවා. අපි කුඩා කාලයේ යනවා තකහනියක් ඒ මිනිස්සු බලන්න. ගෙදරට හොරෙන්.  අම්මලා බනිනවා ඒ මිනිස්සු ඉන්න වටපිටාවම අපිරිසිදුයි කියලා. ඒ අය ආපහු ගියාමත් සතියක් හමාරක් යනකං ඒ හිටපු තැන ඒ මිනිස්සුන්ගේ ‘කුයිල’ (ගඳ වගේ දෙයක් නෙහ්?)  තියෙනවලු. .          මම අහලා තියන විදිහට නම් අහිගුණ්ටික කියන්නේ තෙළිඟු අයට.

අහිගුණ්ටික ගෑණු සාත්තර කියන්න ගෙදරට ආවහම ගෙදර පොඩි දරුවන් එලියට ගේන්නෙ නෑ. මොනවහරි ගුරුකම් කරයි කියලා. උන්ගේ වාඩිය බලන්න යන අයව  උන් වශී ගුරුකම් කරලා දැපනේ දාගෙන අරන් යනවා කියලත් පැරුන්නො විශ්වාස කලා. ඒ අයගේ මරණයක් සිද්ද වුනොත් ඒ ඉන්න වාඩිය මැද්දෙම දිග පලලින් අඩු, මැරුණු කෙනාගේ උස විතර ගැඹුරු වලක් කපනවලු. පස්සේ හිටගෙන ඉන්න ඉරියව්වෙන්ම කෙලින් අතට වලදාලා, වහපු වල උඩ ලිපක් හදලා උයාගෙන කාලා පහුවදාට වාඩිය අතෑරලා යන්න යනවලු. මේවයේ ඇත්ත නැත්ත හරියටම දන්නේ නැහැ. පැරැන්නෝ කියන්නෙ එහෙමයි.

හැබැයි දැන් හුඟක් අය එහෙම නෑ. රස්සාව වෙනස් නොවුනට යම් පිරිසකට ස්ථිර පදිංචි තැනක් තියෙනවා. කිව්වේ ඇඩ්‍රස් එකක්.  දැන් බූරුවොත් නෑ. එන්නේ බස් එකේ. ත්‍රීවීල් දෙක තුනක හරි බට්ටා ලොරියක හරි ඇවිත් බහින අයත් ඉන්නවා. සති පොලක හරි වෙන අතහැරදාපු ගොඩනැගිල්ලක හරි සාරි වලින් වටකරලා කාමරයක් දෙකක් හදාගත්තා. නැවතුනා. සාමාන්‍යයෙන් දහ පහලොස් දෙනෙක් විතර එනවා. වැඩි පිරිසක් ගෑණු. දවල්ට බිස්නස්. සාත්තර කියනවා වගේ දේවල්.  නයි... රිලවු නටවන අය නම් බර කාලෙකින් දැක්කේ නෑ. රෑට මම දන්න තරමින් ගෑණු පිරිමි බේදයක් නැතුව බොනවා. ඒ වගේම හොඳට කනවා. ඉස්සර වගේ තුන්වේල උයන්නෙ නෑ.  වේලක් හමාරක් කඩෙන් කන්නෙ. හවසට තරමක මුදලක් අතමිටේ ගැවසෙනවා

දින කීපයකට උඩදි ආරංචි උනා ඒ අයගේ හදිසි මරණයක් වෙලා කියලා. සති පොලක නැවතිලා හිටපු කාණ්ඩයක් හැන්දෑවේ හොඳටම ඩෝප් එක දාලා. එක මිනිහෙක් ගෑනිත් එක්ක වලියක් දාගෙන පොලේ ඌරුමස් විකුණන කෑල්ලේ එල්ලිලා මැරිලා. මමත් පහුවදා ගියා වෙන්නෙ කෙරෙන්නෙ මොකද්ද කියලා බලන්ඩ. මම යනකොට මෘත ශරීරය ඉස්පිරිතාලේ.

ඔන්න හදිසි මරණ පරීක්ෂණයකුත් තිබ්බා. අහිගුණ්ටික රැහේ දහදෙනෙක් විතර තමා ඉස්පිරිතාල භූමියේ හිටියේ. වැඩි දෙනෙක් ගෑණු. ළමයි වගයකුත් හිටියා. ඒ අය උදේලු ආවේ. මැරුණු කෙනාගේ නමත් මොකද්ද එකක් කිව්වා. මට දැන් මතක නෑ. මළ සිරුර කැපුවා.

ඔන්න ටික වෙලාවකින් කොරනෙල් මහත්තයා නළල රැලි කරගෙන එනවා...
"කෝ මෙයාගේ නෝනා...?"
ගෑනු කෙනෙක් ඉස්සරහට ආවා.
"මෙයා සුන්නත් කරපු කෙනෙක්නේ.... මුස්ලිම්...!! මට ඇත්ත කියනවා..."
"ඔව් මාතියා.... මෙයා මුෂ්ලිම් ඉඳලා අපේ රැහැට වැටුනා... නම මොහොමඩ් නවුෆර්...."
"එතකොට තමුන්?"
"මම ඩේසි.... ක්‍රිස්තියානි...."
"ඒ කොහොමද?"
"අම්මා තෙලුඟු.... තාත්තා ක්‍රිස්තියානි... තාත්තා රැහැට වැටුනු කෙනෙක්...."
කොරනෙල් මහත්තයා ඊටපස්සෙ ළඟ හිටපු අහිගුණ්ටික මිනිහෙක් දිහාට හැරුනා.
"එතකොට තමුසේ....?"
"මම බුද්දාගමේ...."
"ඒ කොහොමද?"
"අම්මා බුද්දාගමේ...."
"තාත්තා....?"
"තාත්තා නෑ...... මේ මගේ පවුල....."
එයා ළඟ හිටපු ගෑනු කෙනෙක් පෙන්නුවා.
"එතකොට ඔහේ...?"
කොරනෙල් මහත්තයා ඇහුවේ ඒ ගෑනු කෙනාගෙන්.
"මං දෙමල මාතියා..."
"කොහෙද... යාපනේ...?"
"නෑ... මාතලේ..."
"හරි.... දැං මෙතන කවුද තෙළිඟු අය ඉන්නේ....?"
කට්ටිය මූණෙන් මූණ බලනවා.
"අපේ කට්ටිය ඉන්නවා... මෙතන ඇවිල්ලා නෑ...."
එකෙක් අපහසුවෙන් කිව්වා.
---------------------------------
මේක සියදිවි නසාගැනීමක් හැටියට තීන්දු කරලා කොරනෙල් මහත්තයා වාර්තාව දුන්නා. කෙරනෙල්ටයි දොස්තරටයි පොලිසියේ අයටයි තිබ්බ ලොකුම ප්‍රස්නේ උනේ බොඩි එකට මොකද කරන්නේ කියන එක. රජයේ වියදමින් අවසන් කටයුතු කරමු කියන එකයි අදහස වුනේ. හිඟන්නියෝ වගේ වැරහැලි එල්ලං ඉන්න ඔය ගෑනු හතර පස් දෙනාට ඕක බාරදුන්නා කියලා උන් මොනව කරන්ඩද? කොරනෙල් මහත්තයා කට්ටියට ඕක පැහැදිලි කරන්න ආවා.
“මේක සියදිවි නසාගැනීමක් හැටියට අපි තීන්දු කලා.... මරණ පරීක්ෂණේ ඉවරයි.... ම්... දැන් මේ මෘත ශරීරෙට මොකද කරන්නේ කියන එකයි ප්‍රස්නේ....”
එක ගෑනු කෙනෙක් ඉස්සරහට ආවා.
“අපිට දෙන්ඩ මාත්තයා... ගෙනියන්ඩනං තැනක් නං නෑ... මෙහෙං වලලන්ඩ තැනකුයි... පෙට්ටියක් ගන්ඩ තැනකුයි... වල කපාගන්ඩ කට්ටියකුයි හොයල දෙන්ඩ පුලුවන්නං ලොකු උදව්වක්.... සල්ලි තියෙනවා.... වල කපන අයටත් කුලිය දෙන්ඩ පුලුවන්....”

මට ආපහු එන්න සිද්දවුනා. ඒ කියපු විදිහට අවසන් කටයුතු සිද්දවුනා කියලත් දැනගන්න ලැබුනා. කනත්තේ ඉන්න බැරිවුනු එක ගැන දැන්නම් හරි දුකයි. මේ ජීවිතයේ දැකගන්නට ඉඩ තිබුණු චාම්ම ‘අවමගුල් උත්සවය’ තමයි මට මිස් වුනේ. කවුරුවත් වැළපුනේ නැහැ. සුදුකොඩි නැහැ. ගුණකථන නෑ. මිස්ටේක් එකකින් අප්සෙට් ආත්ම භවයකට ගිහින් ඉන්නවනම්, හොඳ භවයකට ට්‍රාන්සර් කර ගැනීමේ සීරියස් ආගමික වතාවත් නෑ. මල්ශාලාව ගානේ සුදු රෙදිකෑල්ලක් අන්දලා තිබ්බට ඒකවත් ඕනෙ කියලා මේ අය ඉල්ලලා නෑ.

අහිගුණ්ටික කියන්නේ තවදුරටත් ගෝත්‍රයක් නෙමෙයි. ජීවන විලාසිතාවක්. ජාති ආගම් මල මගුල් මොකුත් නෑ. තියෙන තැනක වැටිලා ලැබෙන දෙයක් කාලා ඉන්නවා. නාන්නෙ නෑ. අපිට නොනා ඉන්න බෑ තමයි. ඒත් නොනා ඉන්න පුලුවන්නම් හොඳ නැද්ද? හමදාම උදේට සීතලේ වොෂ් එකක් දාද්දි මටම හිතෙනවා මේ මොන මගුලක්ද කියලා. අයි යකෝ දවසට කී පාරක්නං අපිව හෝදගන්නවද? ඇත්තටම ගත්තොත් මොන කරදරයක්ද? මොන වෙලාවක් නාස්ති වෙනවද? මොන වියදමක්ද?

අපිට කැලෑවක වැසිකිළි යන්න බෑ. ඒක පිළිකුල් වැඩක්. ඒති ඉතිං පිළිකුලක් නොදැනෙනවනං අවුලක් නෑනේ. සෞඛ්‍ය ආරක්ෂණ බොරු රෙද්දවල්. ඕවයේ කියන තරම් මගුලක් නෑ කියලයි මං හිතන්නේ. අර ඉස්පිරිතාලෙට ආපු පොඩි එවුනුත් මුලු කාලය පුරාම වාට්ටවක් අයිනේ දූවිලි නෑවා. කොහොමද අපේ එකෙකුට පොඩි පින්නක් වැදුනොත්?

වැරහැලි එල්ලගෙන මිනිස්සුන්ට ඉන්න බැරිද?  ඔලුවේ මනස්ගාත නොවෙන්න ඕනෙ හැටියේ පුළුවන්. තැන් තැන්වල වැටිලා ඉඳලා, ඉල්ලගෙන කාලා, පුළුවන්තරම් කසිප්පු බීලා කොහෙහරි තැනකදි ඩොහ් ගාලා මැරිලා යන ජීවිතයක කිසි තේරුමක් නෑ නේද කියලා එකපාරට හිතෙනවා.  ඒ වුනාට අවසන් අර්ථයෙන් කාගෙ ජීවිතේද තේරුමක් තියෙන්නේ?
සමාජයට වැඩදායක.....? නිකං විහිළු කරන්න එපා....!!