Thursday, August 8, 2013

මීඩියා වැලිවේරිය

මම සාමාන්‍යයෙන් දෙලොවක් අතර සැරිසරනවා. එක ලෝකයක් තමයි අන්තර්ජාලය. විශේෂයෙන් ෆේස්බුක්. ඒ ලෝකෙ වැඩිපුර ඉන්නෙ රෑට. දවල්ට වැඩිපුර ඉන්නෙ අන්තර්ජාලය මොකද්ද කියලවත් නොදන්න මිනිස්සු එක්ක. මේ අතරමැද තියෙන පත්තර/ටීවී මොකුත් මම බලන්නෙ නැහැ. ඒක නිසා මේ අන්තයන් දෙක අතර තියෙන මහා පරතරය ගැන මට පොඩි අදහසක් තියෙනවා.

මම අද දවසම ගත කෙරුවෙ මිනිස්සු එක්ක. දවසෙම වැඩිපුර කතාවුනේ දේශපාලනය. විශ්වාස කරන්න. එක බල්ලෙක් වැලිවේරිය ගැන කතා කලේ නෑ. ඔක්කොම කතාව දයාසිරි දිනයිද?.... ජොනියගෙ කොල්ල දිනයිද?... රනිල් තමයි රට කෑවෙ... සනත් නිශාන්තට වරෙන්තු කරලලු..... අරව මේවා.
දෙතුන් වතාවක් ඔය හර බර විශ්ලේෂණ කරන උන්ට මම වැලිවේරිය මතක් කලා.
“ඔව්ලු නේද? තුනයි නේද මැරිල තියෙන්නෙ? අනේ මන්දා ඔහොම ගිහිල්ලා... ආ.... දයාසිරිලටත් දැන් ඉතින් ඕවට උත්තර බඳින්න වෙයි. කුම්බලා මාළු කෑවානං....”
කෝකත් මැක්කගෙ කතාව වගේ තමා. අන්තිමට ගිහින් ඉවර වෙන්නෙ දයාසිරියි රනිලුයි ලඟ.

ඇන්කර් කිරිවල වස තියෙනවා නේද කියල එක අම්මණ්ඩි කෙනෙක්ගෙන් අහපුවාම මේකි කියනවා “මොන බොරුද? ලමයින්ගෙ මොලේ වර්ධනය වෙන ඒවා තියෙන්නෙ ඇන්කර් පීඩියා ප්‍රෝ වල විතරනේ..... අනික ලොකු ලොකු ඩොක්ටර්ලා ඕවා හොඳට චෙක් කරලනේ තියෙන්නේ.... අර එක පාරකුත් ආවේ මෙලමයිංද මොනාද තියෙනවා කියලා? කෝ දැං ඒවා?”

තමුංගෙ ඇත්ත ප්‍රස්නයක් වෙනුවෙන් පාරට බැහැපු සාමාන්‍ය මිනිස්සුන්ට බල්ලන්ට වගේ වෙඩි තියන රටක බහුතරයක් මිනිස්සු තමයි මේ.
(මේ ටිකත් කියන්න ඕනෙ. වැලිවේරියෙ ඉන්නෙත් මෙයාලම තමයි. හලාවත වෙඩි තියලා ඇන්ටව අමුවට මරල දාද්දි ඒගොල්ලොත් ඔය මොන මොනව හරි කියෝ කියෝ ඉන්න ඇති. අනික තමයි ලංකාවේ මිනිස්සු ස්වේච්ඡාවෙන් පාරට බහින්නෙ සමාන්‍යයෙන් කෑම/බීම/ඉඩම්/සහනාධාර/අනතුරු/ලමයින්ට ඉස්කෝල වගේ මූලිකම අවශ්‍යතා ටිකට විතරයි. [සෙක්ස් වලට පාරට බහින්නෑ. පිහියෙන් ඇනල මරනවා] මේකෙ සහනාධාරයි, ලමයින්ට ඉස්කෝලයි ඇරුණාම අනික් ටික තිරිසනුන්ට තියෙන අවශ්‍යතා ටිකම තමයි. - ආ... හරක් වෙනුවෙනුත් බහිනවා නෙහ්....?)

ඇත්තටම මොකද්ද මෙතන වෙන්නෙ? අන්තර්ජාලයේ වැලිවේරිය ගැන කතා කරන්නේ වෙන රටක මිනිස්සු ටිකක්ද? (මම කියන්නෙ රංග මස්සිනාගෙ ගැන්සියත් ඇතුළුව. උනුත් ඇලඩීන් තුමා සහ ‘බී..ප්.... බී..ප්’ තුමා සුද්ද කරන්න හරි මේ මාතෘකාව කතා කරනවනේ)

මට හිතෙන්නෙ මේක බරපතළ සන්නිවේදන අර්බුදයක්. සිදුවීම් සහ මිනිස්සු අතර ඉන්නවා ඒජන්තයෝ ටිකක්. ලංකාදීප ඇතුළු පත්තර මුදලාලිලා ටිකකුයි, ස්වර්ණවාහිනී ඇතුළු ටීවී මුදලාලියෝ ටිකකුයි, ෂා එෆ් එම් ඇතුළු රේඩියෝ මුදලාලිලා ටිකකුයි. ඒ මදිවට අම්මා අප්පා උනත් මේකප් දාලා විකුණන්න සැදී පැහැදී ඉන්න ඇඩ්වර්ටීස්මන්ට් කාරයෝ ටිකකුත්.
(ඔන්න ඕක කියද්දි ඉතිං තර්ක විතර්ක ගොඩයි. ඒවත් අවශ්‍යනම් කතා කලෑකි. මම හිතන්නෙ මෙහෙම. දැන්වීම්කරණය කියන්නෙ එකක්. හැබැයි පට්ට බොරු කියලා මිනිස්සු ගොන්නුන්ට අන්දලා කොම්පැණිවලට උන්ගෙ පොකැට්ටුව සුද්දකරගන්න දෙන එක වෙන වැඩක්. මෙන්න මේ සම්මානනීය ඇඩ් එක වගේ.......)
 ******


මුං පොඩි ගැන්සියක්. බොහොම පොඩියි. මෙච්චරක් විතර ඇති. ලංකාවෙ මිනිස්සු කතාකරන්න ඕනෙ දේවල් මුං හරහා තමයි තීරණය වෙන්නෙ. මේක පොඩි ගැන්සියක් හින්දා බී..ප් බී...ප් තුමාලටත් ගේමක් නෑ. වැඩේ ගානට යනවා. වැලිවේරියේ මිනිස්සු දුසිම් බාගයක් බල්ලො වගේ මරල දාද්දිත්, ඊට කිලෝමීටර් පනහකට හැටකට එහා එකා දයාසිරි ගැන කතා කර කර ඉන්නවා. සමහරවිට වැලිවේරියෙ සිද්දිය ඌ නොදන්නවා නෙමේ. නමුත් දැනෙන්නෙ නෑ. ඊට වඩා දැනෙන දේවල් ලයිව් ඇට් එයිට් එකේ කියන නිසා වෙන්න ඇති.

මට නම් හිතෙන්නෙ මේ රට ගොඩගන්න කල යුතු එකම අරගලය ඔය මාධ්‍ය මුදලාලිලා ගැන්සියට කෙළවීම. ඕක තියාගෙන ජ.වි.පෙ කොච්චර පාරෙ කෑගැහුවත් සත පහක වැඩක් නෑ. නිකං පෙට්‍රල් පුච්චනවා මදිවට අවුරුදු පතා එකෙක් දෙන්නෙක් මරා ගන්නවා විතරයි. (අපිත් හිතේ අමාරුව යන්න මේවා ලියලා අපිම බලලා දත්මිටි කාලා නිකං ඉන්නවත් විතරයි එක අතකට)

කරන්න ඕනෙ මොනවද කියලා මම දන්නෙ නෑ. හැබැයි එකක් ස්ථිරව දන්නවා. මේ අන්තර්ජාලය ඇතුලේ කෑ ගහලනං සත පහක වැඩක් නෑ.

මෑතකදී මගේ මිත්‍රයෙක් හොඳ අයිඩියා එකක් දැම්මා. ඔය උඩ දාපු ඇන්කර් ඇඩ් එක හදපු හැටි වීඩියෝ එකකින් ගම්වල මිනිස්සුන්ට පෙන්නන්න පුළුවන්නම් මරු නේද කියලා. ඇත්තටම මරු තමා. මේ කිරිසප්පයො ටික ඔක්කොම ඩොට්ටස්ලා කොරන්ඩ හිතාගෙන ගිනි ගණන් දීලා ඔව්වා උස්සගෙන යන අහිංසක මිනිස්සුන්ගෙ ආර්ථිකේටවත් මොකක්හරි සහනයක් වෙයි. මසක් මාංසයකට කියලා හාල්මැස්සො විතරක් කන දුප්පත් මිනිස්සු ඔස්ටියෝපොරෝසිස් වලට බයේ හෙන ගානක් වැඩිපුර ගෙවලා ඇනිලින් උස්සගෙන යන එකවත් නවතියි. මම දන්න සෑහෙන සෙට් එකක් ඉන්නවා ගෙදර ගම් කුකුල්ලු 10ක් 12 ක් හදන. මුං කරන්නෙ සුමානෙක බිත්තර විකුණලා ඇන්කර් පැකට් එකක් උස්සන් එන එක.

ප්‍රශාන්ත වලිසුන්දර සහෝදරයා අද බුකියෙ කිව්වා අන්තර්ජාලය හැමෝටම තිබ්බනං කොච්චර වටිනවද කියලා.

මේ මීඩියා ත්‍රස්තවාදයට පේන්න තියෙන එකම විසඳුම අන්තර්ජාලය තමයි. ඒ  ඊළඟ කඩඉම. ‍කවදා හරි එතෙන්ට එයි. හැබැයි ඒ වෙනකොට මේ රටේ අඩුගානේ මිනිස්සුවත් ඉතුරුවෙලා ඉඳීද කියන එකයි ප්‍රශ්නේ.

Saturday, August 3, 2013

නාරාහේන්පිට ලයිසන් චණ්ඩි

මේ අපි වැඩිදෙනෙක් දන්න කියන ප්‍රසාද් වැලිකුඹුර මිත්‍රයා එවපු මේල් එකක්. මේකෙ තියෙන සිද්ධිය අපිට අමුතු එකක් නොවෙන එකම තමයි අපේ කාලකන්ණිකම. මේ වගේ ලයිසන් චණ්ඩි නැති පොලිසියක් නැහැ.  මේක කියවලා මට එකපාරටම අහන්න හිතුනේ උඹ මේක ඔය ඒරියා එකේ පොලිස් ලොක්කන්ට කිව්වෙ නැද්ද කියලා. හොඳ වෙලාවට ඇහුවෙ නැත්තෙ. උන්ට කිව්වත් වැඩක් නෑ. වැඩිම උනොත් මේ කාලකන්ණීයා කොහාට හරි මාරුකරල දායි. ඊට පස්සෙ ඌ එතනත් කරන්නෙ මේවම තමයි.

මේකට විසඳුමක් නැද්ද?

සාමය සුරකිනවා යයි කියන නාරාහේන්පිට පොලිසියේ නිරුවත.

දිනය 2013-07-30.
වේලාව ප.ව. 11.00.

මමත් මාගේ තවත් යහළුවන් කිහිප දෙනෙකුත් අප නිවසින් මීටර් 400කටත් අඩු දුරකින් පිහිටි මාගේ මිතුරෙකුගේ නිවසට ගොස් නැවත පැමිණෙමින් සිටියෙමු. ඔහුගේ නිවසේ පිහිටා තිබෙන්නේ මහවත්ත නිවාස සංකීර්ණයේ අවසානයට වන්නට ය.  මමත් තවත් මාගේ මිතුරන් තිදෙනෙකුත් හරියටම රාත්‍රි 11.00ට එතැනින් පිටත් වීමු. එතැන් සිට මීටර් 5ක් පමණ ගමන් කල පසු මාගේ මිතුරන් දෙදෙනෙකු අපගෙන් වෙන් වී ඔවුන්ගේ නිවාස දෙසට ගමන් ගත් අතර මාත් මාගේ මිතුරෙකු වූ සම්පතුත් ඉදිරියට ගමන් කළෙමු.

අප මහවත්ත නිවාස සංකීර්ණයේ දෙවන හරස් වීදියට ළඟා වන විටම නාරාහේන්පිට පොලිසියට අයත් ජීප් රථයක් දෙවන හරස් වීදියේ සිට අප ගමන් කරනා මාර්ගයට හරවන ලදී. අප ඔවුන් ව පසු කරනා විට දීම එම ජීප් රියේ ඉදිරිපස අසුනේ සිටි පුද්ගලයෙකු (පසුව දැන ගත් පරිදි මොහු නාරාහේන්පිට අපරාධ අංශය භාර පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියා වේ) අප වෙතට හැරී

උඹලා කොහේ ද යන්නේ? යනුවෙන් විමසන ලදී.

ම විසින් ඔහුට අප යහළුවෙකු ගේ ගෙදර ගිය බවත් දැන් නැවත අපගේ ගෙදර දෙසට යන බවත් පවසන ලද අතර ඔහු මා පදිංචි වී සිටින ස්ථානය විමසන ලදි. මම මා පදිංචි වී සිටින ස්ථානයත් එයට යන පාරත් ඔහුට විස්තර කර දෙන ලදි. එවිට ඔහු මාගේ ජාතික හැඳුනුම් පත පිළිබඳ ව විමසන ලද අතර එවිට මා සතු ව ජාතික හැඳුනුම් පත නො පැවතිණි මාගේ නිවසේ සිට මාගේ මිතුරාගේ නිවසට ඇත්තේ මීටර් 400කටත් අඩු දුරක් බවත් එම නිසා එතරම් සුළු දුරක් යාමේ දී ජාතික හැඳුනුම් පතක් ගෙන යා යුතු යයි නො සිතූ බවත්, මාගේ මව නීතිඥවරියක් වන බවත්, ඔවුන්ට අවශ්‍ය නම් දැන් මා හට මාගේ හැඳුනුම් පත ගෙනැවිත් පෙන්විය හැකි බවත්  පවස සිටියෙමි. එවිට එම පුද්ගලයා ජීප් රියෙන් බැස ගත් අතර, ඔහු හොඳට ම බීමතින් පසු වන බව ඔහුගේ මුහුණෙන් සහ ඔහුගේ ගමන් විලාසයෙන් දැක ගත හැකි විය. එවලේ ම මම මාගේ මවට දුරකථන ඇමතුමක් දී හැඳුනුම් පත ගෙන එන ලෙස පැවසීමට සැරසීමි. එවිට මාගෙන් දුරකථනය බලෙන් උදුරා ගත් ඔහු මම නාරාහේන්පිට පොලිසියේ ක්‍රයිම් ඕඅයිසී කතා කරන්නෙ මේ ඉන්නේ තමන්ගේ පුතා ද?” යනුවෙන් හතර පස් වතාවක් බීමත් ස්වරයකින් පවසන ලදි. ඉන් පසුව පුතාගේ හැඳුනුම් පත රැගෙන පොලිසියට පැමිණෙන ලෙස පැවසූ අතර මහට මාගේ දුරකථනය ක්‍රියා විරහිත කරන ලෙස පවසන ලදී. මාගේ මිතුරා ද මාගේ පදිංචිය සනාථ කිරීමට උත්සාහ ගත්ත ද ඔහුට උඹ පලයන් යන්න යනුවෙන් පවසා මහට ජීප් රියට නඟින ලෙස දන්වන ලදි.

ජීප් රිය තුල තවත් මෙසේ අත් අඩංගුවට ගත් කිහිප දෙනෙක් සිටින ලද අතර එහි සිටි පොලිස් නිලධාරීන් මගෙන් දිගින් දිගටම ඇසුවේ උඹ කවදා සිට කුඩු ගසන්නේ ද යන්න සහ උඹ කුඩු ගහන්න සොරකම් කරනවා නේද යන්න යි. මෙය මානසික වදයක් වන තරමටම පෙරල පෙරලා ප්‍රශ්න ඇසීමක් විය.

මාත් මාගේ මිතුරනුත් මත් කුඩු භාවිතයට තදින් ම විරුද්ධ පිරිසක් වන අතර මහවත්ත තුල කුඩු ව්‍යාපාරය නො කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ එම ප්‍රදේශයේ තරුණයින් ඒ සම්බන්ධව දක්වන දැඩි විරෝධයයි. එමෙන්ම අප විසින් මත් කුඩු භාවිතය නතර කරන ලද පුද්ගලයන් කිහිප දෙනෙකුට ම රැකියා ලබා ගැනීමටත් නැවත එය සඳහා නො පෙලඹීමටත් අවශ්‍ය සහාය ලබා දී ඇති බව මහවත්ත ජනතාව දන්නා අතර නාරාහේන්පිට පොලිසියට පවා ඒ පිළිබඳ ව අවබෝධයක් ඇත්තේ යයි සිතමි. එමෙන්ම මා අත් අඩංගුවට ගැනීමට හේතු විමසීමේ දී එසේ හේතුවක් අවශ්‍ය නොවන බවත් නමුත් අවශ්‍ය නම් නඩුවක් සමඟ අත් අඩංගුවට ගත හැකි බවත් ම වෙත දන්වන ලදි. නාරාහේන්පිට පොලිසිය මඟින් ඔවුන් කරන අසාධාරණකම් වලට එරෙහි වන පුද්ගලයන්ට සහ ඔවුන්ගේ අප්‍රසාදයට ලක් වූ පුද්ගලයන්ට කුඩු, ගන්ජා එමෙන්ම බෝම්බ වැනි දේ දමා ඔවුන් අපහසුතාවට පත් කිරීම පිළිබඳ අසා ඇති සහ එසේ අපහසුතාවට පත් පුද්ගලයන් හඳුනා ගැනීමට ලැබී ඇති මට සත්‍ය වශයෙන් මාගේ ආරක්ෂාව පිළිබඳ දෙගිඩියාවක් ඇතිවීමට මෙය හේතු විය.

මා ස්වභාවයෙන් ම කෙට්ටු පුද්ගලයෙක් වන අතර එසේ කෙට්ටු පුද්ගලයෙක් වීම පදනම් කර ගනිමින් වෙනත් කිසිදු හේතුවක් නොමැතිව එසේම මාගේ කිසිම වරදක් නොමැති බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබිය දී, මෙසේ නින්දිත අයුරින් මාගේ මනසට බලපෑම් කිරීමට තැත් කිරීම ලංකාවේ නීතිය සහ සාමය රකිනවා සහ ජනතාවගේ ආරක්ෂාව සලසනවා යයි කියන ආයතනයක් මඟින් සිදු වීම පිළිබඳ මා තුල ඇත්තේ දැඩි අප්‍රසාදයකි.

පොලිසියට පැමිණීමෙන් අනතුරුව මා සමඟ සිටි අනෙක් සියලු දෙනාගේ නම, ලිපිනය සහ අනෙකුත් තොරතුරු සටහන් කර ගන්නා ලදි. පොලිසියට පැමිණ විනාඩි 10-15ක් ඇතුළත මාගේ මව සහ මාගේ තවත් යහළුවෙකු මාගේ ජාතික හැඳුනුම් පත සහ මා අධ්‍යාපනය ලද රජයේ සහ පෞද්ගලික ආයතන කිහිපයක් මඟින් ම වෙත නිකුත් කර තිබූ හැඳුනුම්පත් කිහිපයක් රැගෙන පැමිණි අතර ඒවා අපරාධ අංශය භාර නිලධාරියා සහ මා අත් අඩංගුවට ගත් නිලධාරියා වන පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා යන නිලධාරියාට ඉදිරිපත් කරන ලදි. එහු එය රැගෙන කිහිප වරක් එ දෙස බලා නැවත මාගේ මවගේ අතට ලබා දෙන ලදි.

ඔහු මාගේ ඇඳුම සහ මාගේ කොණ්ඩය විවේචනය කරමින් මට කුඩු කාරයා, හොරා මංකොල්ල කාරයා, ලෙස මහ හඬින් අපහාස කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් විනාඩි කිහිපයක් ගත කල අතර ඔහුගේ කම්මුල් බීමතින් රතු වී එමෙන්ම ඇස් අවට පවා රතු පැහැති වී තිබීම අප සියලු දෙනාට ඉතා පැහැදිලි ලෙස දැක ගැනීමේ හැකියාව තිබින. මාගේ මිතුරාගේ නිවස පිහිටා ඇත්තේ මාගේ නිවසට ඉතා ආසන්නයේ බවත්, මා ගිය ගමන හුදෙක් මිතුරෙක් බැලීම සඳහා ගිය ගමනක් මිස වෙනත් උත්සවයක් සඳහා ගිය ගමනක් නොවන බවත්, එම නිසා සාමාන්‍ය සැහැල්ලු ඇඳුමක් භාවිතා කිරීම වඩා යෝග්‍ය බවත්, කරාබුවක් පැලඳීම නූතන සමාජයේ සාමාන්‍ය දෙයක් බවත් ඔහුට අවබෝධ කිරීමට ම විසින් කල උත්සාහය අසාර්ථක විය.

යම් අයකුගේ කොණ්ඩා මෝස්තරය, ඔහු පලඳින ආභරණ, එමෙන්ම ඔහු අඳින ඇඳුම සඳහා පොලිස් අනුමැතියක් ලබා ගත යුතු ද යන්න එමෙන්ම ඒ කියන දේ මත හොරෙක් මංකොල්ල කාරයෙක් හෝ කුඩුකාරයෙක් ලෙස නිර්වචනය කිරීමේ පදනම නීතිය පිළිබඳ යම් අවබෝධයක් ඇති එමෙන්ම නීතිඥයින්, විශෝධන නිලධාරීන් හා මනෝ සමාජීය උපදේශකයින් විශාල ප්‍රමාණයක් පුද්ගලිකව ආශ්‍රය කර ඇති සහ උපදේශනය පිළිබඳ වෘත්තීය පුහුණුවක් සහ සුදුසුකමක් ලබා සිටින ම හට අදටත් ගැට‍ළුවක් ව පවතී.

මෙම පුද්ගලයා පවසන ආකාරයට හොරෙකු, මංකොල්ල කාරයෙකු, කුඩුකාරයෙකු නොවන පුද්ගලයා ගෙදර සිට මීටර් 400ක් දුරින් පිහිටි තම යහළුවෙකුගේ නිවසට යන විට හොඳින් ඇඳ-පැලඳ කොණ්ඩය පීරා සුවඳ විලවුන් ගල්වා පාවහන් පැලඳ කරාබු හෝ වෙනත් කිසිදු ආභරණයක් නො පැලඳ යා යුතු වේ.
මේ සියල්ල අවසන් වීමෙන් පසු මා හරි මඟට ගැනීම සඳහා එදින පොලිස් ස්ථානයේ මා රඳවා ගන්නා බවත් පසු දින උදෑසන 8.00 පොලිස් ඇප මත නිදහස් කල හැකි බවත් මාගේ මව වෙත දන්වන ලදි. මාගේ මව මෙයට විරුද්ධ වූ අතර ප්‍රශ්න කිරීම සඳහා මා රඳවා තබා ගන්නා බව ඉන් පසුව ඔහු පවසන ලදි. බොරු වැරැද්දක් මත උසාවියට දැමීමේ හැකියාව මොවුන් සතු ව පවතින නිසා මේ පිළිබඳ ව වැඩි වාදයකට යාම ම විසින් වැළැක්වීමි.

මෙසේ පොරොන්දු වුව ද පසු දින අත් අඩංගුවට ගත් මා සහ තවත් අට දෙනෙකු පසු දින දෙමටගොඩ පොලිසියේ පැවැත්වූ පෙළගැස්වීමකට සහභාගී කරන ලදි.

මෙහි වඩාත් බියකරු පැතිකඩ වන්නේ එදින ඉදිරිපත් කල අය අතරින් බොහොමයක් එසේ රඳවා බාගැනීමට වත් පෙළගැස්වීමකට සහභාගී කර වීමට වත් කිසිදු අවශ්‍යතාව යක් ඇති පුද්ගලයින් නො වීමයි. එතැනින් දෙදෙනෙකු ඔවුන්ගේ හෝටලය ඉදිරිපස දී අත් අඩංගුවට ගෙන තිබුණ අතර, අයකු ඔහුගේ නිවස ඉදිරිපස දී ද, අයකු ඔහුගේ දරුවාට බිස්කට් පැකට්ටුවක් ගෙන යාමට කඩය ආසන්නයට පැමිණි විට ද, අයකු තම සහෝදරයාගේ ගෙදරට ගොස් නැවත ගෙදර පැමිණෙමින් සිටින විට දී ද, තවත් අයකු ඔහු වැඩ කරන ගෙදර අශ්‍යතාවයකට ඖෂධ මිල දී ගැනීමට ගොස් පැමිණෙන විට ද අත් අඩංගුවට ගෙන තිබින.

තවද යම් කිසි ආකාරයකින් පෙළගැස්වීමක් පැවැත්වෙන දිනක ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් සැකකරුවන් නොමැති නම් පාරේ අසු ජජ අහඹු පුද්ගලයින් පෙළගැස්වීම  සඳහා ඉදිරිපත් කර වීම මෙම නිලධාරියා පුරුද්දක් ලෙස කර ගෙන යන ක්‍රියාවක් බව පසුව දැනගන්නට ලැබින.

ඉහත නම සඳහන් සුමිත් පෙරේරා යන නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රදේශයේ බොහෝ දෙනෙකු තුල සැකයක් පවතින අතර, ඔහු වෙත අල්ලස් චෝදනා පවා ඉදිරිපත් වී ඇත. එමෙන්ම ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳ ජනතාව තුල ඇති අප්‍රසාදය ඔහුට ඇති බිය නිසා යටපත් වී ඇති බව ඔහු පිළිබඳ ව සොයා බැලීමේ දී මට වැටහින. මේ සියල්ල දැනගෙන නාරාහේන්පිට පොලිසියේ බොහෝ නිලධාරීන් ඔහුගේ වැඩ වලට ඉඩදී හෝ සහය දෙමින් සෘජුව හෝ වක්‍ර ආකාරයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමය විනාශ වීමට සහාය දෙන බවක් පෙනී යයි.

සත්‍ය වශයෙන් ම නාරාහේන්පිට පොලිසිය යනු ජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක වෙන ආයතනයක් ද යන තීරණය ඔබට භාරයි.
--------------------

(රටක සාමය පවත්වා ගැනීමේත් නීතිය සාමය ආරක්ෂා කර ගැනීමේත් උතුම් වගකීම පැවරී ඇත්තේ ශ්‍රී-ලංකාවේ පොලිසියට වන අතර, ඒ සඳහා ඔවුන් වෙත විශාල බලතල ප්‍රමාණයක් ලබා දී තිබෙන අතර එම බලතල භාවිතා කිරීමේ දී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සහ සීමා මායිම් ලබා දී තිබෙන්නේ එම බලතල වල ඇති ප්‍රබලත්වය සහ ඒවා අයථා ලෙස භාවිතා කිරීම මගින් සාමාන්‍ය ජන ජීවිතයේ පැවැත්මට ඇතිවිය හැකි බලපෑම් සැකිල්ලට ගැණීමෙනි. මේ බලතල ලබා දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමටත් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත් මිස ඒවා භාවිතා කරමින් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කර ඔවුන්ගෙන් මුදල් හා අනෙකුත් ප්‍රයෝජන ලබාගැනීමට වත් නොවේ.

නමුත් අවාසනාවකට නාරාහේන්පිට පොලිස් බල ප්‍රදේශය තුල වෙසෙන ජනතාවට නාරාහේන්පිට පොලිසිය ඔවුන් ව ආරක්ෂා කිරීමට පවතින ආයතනයකට වඩා ඔවුන්ගේ ජීවිත ව්‍යාකුල කිරීමටත්, සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ල කිරීමටත්, සමහර අවස්ථාවල ජන ජීවිතය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කිරීමටත් ක්‍රියාත්මක වන ආයතනයක් බවට පත් වෙමින් පවතී. නාරාහේන්පිට පොලිසිය යනු තවත් එක් මැර කල්ලියක් බවට පත් වන දිනය වැඩි ඈත නොවන බව පෙනෙන්නට තිබේ.

මා මේ පවසන සිදුවීම මොවුන්, ඔවුන් සතු බලය අත්තනෝමතික ලෙස භාවිතා කරන ආකාරය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගැනීමට හැකියාවක් ඇතයි මම විශ්වාස කරමි.)

-          - ප්‍රසාද් වැලිකුඹුර


Follow by Email