Thursday, April 25, 2013

ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !!



ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ  දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා කිව්වොත් ඉතින් ආතල්ම තමයි)

ඒක පෙන්නන ගමන් මෙන්න මේ වගේ දෙයක් තමයි කිව්වේ....

“එම්.ඩී. වීරරත්නගේ කාටූනය............ ගෙදර ස්වාමිපුරුෂයා පුටුවකට නැගලා විදුලි මීටරේ දිහා බලාගෙන...... බිරිඳට කියනවා...හරි බයවෙන්න එපා...  තාම අනූව උනේ නෑ කියලා.... හැහ්..හිහ්.. හා....ඒක තමයි.... අනූව පැන්නොත් ඉතින්... හැහ්..හැහ්..හහ්...හිහ්...හිහ්......”

ඇත්තටම මේක මාර වැඩක්නේ.  ටීවී නොබලන හින්දම මං හිතං හිටියේ ජාතික රූපවාහිනිය, අයි.ටී.එන්. එක, ලේක්හවුස් එහෙම මේදවස්වල විදුලිය ගැන මුක පූට්ටුවෙලා විරවගෙන ඇති කියලා. බලං යද්දි ලොවෙත් නෑ. 

එකට එකක් විදුලි බිල වැඩිකලාට පස්සෙත්, ඒ වැඩිවෙච්චි විදුලියෙම්ම ටීවී බලන/අන්තර්ජාලයේ සැරිසරණ ගමන්, විදුලි බිල ගැනම අපිට බඩ පැලෙනකං වුනත් හිනාවෙන්න පුළුවන්.

මේ බලන්නකෝ කොච්චර ආතල්ද කියලා? 







හැහ්..හැහ්..හහ්...හහ්...හිහ්...හිහ්.....හූ...........!!
-----------------------------
මේ දවස්වල විදුලි බිල ඉලක්ක කරගෙන ක්‍රියාත්මක පොඩි පහේ ව්‍යාපාරයකට මමත් සපෝට්. කැමතිනම් ගිහින් බලන්න......
“අපි ගෙවන්නෙ නෑ”

Friday, April 5, 2013

එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා....!!


මේක ලියන්නෙ විශේෂ ආරාධනයක් කරන්න. අපි ලොකු වැඩක් පටන් ගත්තා. මේකට ඔබේ දායකත්වයත් අනිවාර්යෙන්ම ඕනෙ. නැත්තං වැඩක් නෑ.

මේ බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳං ආපු ලොකුම චෝදනාවක් තමයි මම හතරවටේටම නෙලමින් ඉන්නව මිසක් කිසිම ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් ඉදිරිපත් කරන්නෙ නෑ කියන එක. මං ඕක ගැන සෑහෙන්න බරපතල විදිහට හිතුවා. ඒ කතාවෙ සීයට පහක විතර ඇත්තක් තියෙන බව අද මං නිහතමානීව පිලිගන්නවා. ඒකට විසඳුමක් විදිහට තමයි මේ වැඩේ පටන් ගත්තෙ.

ඇත්ත‍ටම මේක සංවිධානයක්. මේකෙ නම ‘පූර්ණ මානව නිදහස සඳහා වන බුද්ධිමතුන්ගේ ජාතික සංවිධානය’. (හෙවත් පූ.මා.නි.ව.බු.ජා. සංවිධානය) මේ වෙනකොට සාමාජිකයො තුන්සීයක් විතර ඉන්නවා. දැනට සභාපති මම. (කට්ටියගේ පෙරැත්ත කිරීම හින්දමයි. නැත්තං තනතුරු බලාගෙන අපි කවද්ද වැඩකෙරුවෙ?). ලේකම් අපේ ගමේම හාදයෙක්. ඔය කාරක සභික මොකද්ද එකකට අපෙ නෝනත් ඉන්නවා.

අපේ සංවිධානයේ ප්‍රධානම අරමුණ සමාජිකයන්ගේ පූර්ණ මානව නිදහස ආරක්ෂාකර දීම. 

දැන් බලන්න අද අපිට මොනම පැත්තකින් වත් නිදහසක් නෑ. ආයතනයකට ගියොත් ලොක්කන්ගෙ රැස්පොට් බලන්ඩ ඕනෙ. කඩේකට ගියොත් මුදලාලියගේ ගෙම්බර් බලන්ඩ ඕනෙ.  රුපියලක කෝල් එකක් ගත්තාම සත තිස් ගානක් ආණ්ඩුවට දෙන්ඩ ඕනෙ. මුදලාලිලා විකුණන ගානට බඩු ගන්ඩ ඕනෙ.

නිදහසේ කැමති ඇඳුමක් අඳින්න  බෑ. හැමදේටම නීති. හයියෙන් සින්දුවක් දැම්මොත් අල්ලපු ගෙදර එකා 119 ගහනවා.  බුලත්විටක් කාල කෙල ගැහුවොත් උසාවි. සිගරැට් දිහා බලන්ඩත් තහනම්. හදිස්සියකට හෙල්මට් එකක් නැතුව බයික්එකක යන්න බෑ. මොන හදිස්සියක හිටියත් ලඟපාත කහ ඉරක් නැත්තං වාහන නැති වෙලාවක් බලලවත් හදිස්සියකට පාර පැනගන්න බෑ. වාහනේක කොච්චර හිමින් ගියත් සීට් බෙල්ට් එක දාගෙන හිරවෙලා යන්ඩ ඕනෙ. පයින් යද්දි දකුණෙන් යන්න ඕනෙ.

රටේ මානව හිමිකම් කෙලෙසිලා.  නිදහසේ අදහසක් ප්‍රකාශ කරන්න බෑ. දේශපාලකයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන්න බෑ. ඒව කෙරුවොත් සුදු වෑන් එනවා. තමුන් කැමති දේශපාලනයක් කරන්න බෑ.

ඉතින් බලන්න. හැම පැත්තෙන්ම අපේ නිදහස ඇහිරිලා.  හැම පුංචි දේකටම නීති. ඒක නිසාමයි අපි මේ නව සංවිධානය බිහිකරන්නෙ. අපේ සංවිධානය තුල අනවශ්‍ය නීති වලින් තොරව සාමාජිකයන්ට සීයට සීයක්ම නිදහසේ කටයුතු කරන්න අවස්ථාව ලබාදීම තමයි එකම අරමුණ.

අපේ සංවිධානය ආරම්භ කලේ බොහොම පුංචියට. නමුත් පස්සෙ මේකෙ උතුම් අරමුණු ගැන පැහැදුනු පිරිස විශාල වශයෙන් සාමාජිකත්වය ගන්න ආවා. සාමාජිකයො වැඩිවෙන කොට පුංචි පුංචි ගැටළු මතුවුනා තමයි. අපි ඒවට යම් යම් පිළියම් යොදල තියෙනවා. මොකද අපේ සංවිධානෙ ශක්තිමත් වෙන තරමට තමයි අපේ අරමුණට ඉක්මනට යන්න පුළුවන්.  

දැන් උදාහරණයක් ගත්තොත්, මාසෙකට වරක් තියෙන අපේ රැස්වීම තමයි වැදගත්ම. අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි සාමාජිකයො හිතුනු හිතුනු වෙලාවට රැස්වීමට ඒම.  ඉතින් අපි නීතියක් සම්මත කර ගත්තා රැස්වීම ආරම්භ වී විනාඩි පහකට පසු පැමිණෙන කිසිම කෙනෙක් ශාලාවට ඇතුලත් කර ගන්නෙ නෑ කියලා. ඒක ගොඩක් සාර්ථක වුනා. තව ආවා විනය ගැටළු. මොකද එක එක ජාතියෙ මිනිස්සු සාමාජිකයන් අතරෙ ඉන්නවනේ. සමහරු අපේ නිලධාරින් තැන් තැන් වල විවේචනය කරලා තිබුනා.  තව සමහරු රැස්වීමට බාධා වෙන විදිහෙ ප්‍රශ්න අහනවා. සාමාජික සාමාජිකාවන් අතර අනවශ්‍ය සම්බන්ධතා කිහිපයකුත් අපිට අහුවුනා. ඇත්තටම මේවා නිසා පවුල් ආරවුල් ඇතිවෙනවනේ. අපි දැන් විනය කමිටුවකුත් පත්කරලා තියෙන්නෙ. ඒක නිසා අපේ සංවිධානය දැන් ඉස්සරටත් වඩා සුරක්ෂිතයි. අපේ ඉලක්කය දැන් පේන දුර.

මම ආරාධනය කරන්නෙ නිදහස්කාමී ඔබගේ මෙන්ම මනුෂ්‍ය සංහතියේ පූර්ණ නිදහස අත්පත්කරගැනීම සඳහා අපි යන ගමනට එක්වීමට නම් අපගේ “පූර්ණ මානව නිදහස සඳහා වන බුද්ධිමතුන්ගේ ජාතික සංවිධානයේ”  ඔබත් සාමාජික වෙන ලෙස.
------------------------------------------------

(පහත කොටස සාමාජිකත්වය ලබාගැනීමට බලාපොරොත්තු වන්නන් සඳහා පමණි.)

අපගේ සංවිධානය මේ වන විට ඉතා ශක්තිමත් බව ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙනි. මේ වන විට අප නව ව්‍යවස්ථාවක්ද ඒකමතිකවම සම්මත කරගෙන සිටින්නෙමු. අප ව්‍යවස්ථාවෙන් උපුටා ගත් කොටස් කිහිපයක් පහත දක්වා ඇති අතර, මෙම නියමයන්ට එකඟ නම් පමණක් සමාජිකත්වය ඉල්ලම් කරන ලෙස දන්වමි.

1.      සියළු රැස්වීම් සඳහා සාමජිකයන් නියමිත වේලාවට සහභාගි විය යුතුය. රැස්වීම ඇරඹී විනාඩි පහකට පසු පැමිණෙන කිසිවෙක් රැස්වීමට ඇතුලත් කරගන්නේ නැත.

2.      පිට පිට රැස්වීම් වාර තුනකට සහභාගි නොවුනහොත් සාමජිකත්වය අවලංගු වේ.
3.      සංවිධානයේ වැඩසටහන් සඳහා සහභාගි නොවන්නන් ඒ සඳහා රුපියල් 500/- ක දඩ මුදලක් ගෙවිය යුතුය.

4.      සංවිධානය හෝ නිලධාරින් පිටස්තර තැන්වලදී විවේචනය සපුරා තහනම්.

5.      මාධ්‍ය වෙත අදහස් දැක්වීමට සාමාජිකයන්ට අයිතියක් නැති අතර, විශේෂ අවශ්‍යතාවයක් වුවහොත් ගරු සභාපතිතුමාගේ නිසි අවසරය ලබාගත යුතුය.

6.      රැස්වීම් සඳහා බීමතින් පැමිණීම තහනම්. රැස්වීමට බාධා වන ලෙස කතා කරන්නන් රැස්වීමෙන් ඉවත් කිරීමේ බලය විනය කමිටුව සතුය.

7.      සංවිධානය පිළිබඳ ප්‍රචාරක කටයුතු කිරීමේ බලය ඇත්තේ ප්‍රචාරක කමිටුවට පමණි. ප්‍රචාරක කමිටුව තමුන් ප්‍රචාරය කරන කරුණු පිළිබඳව සභාපතිතුමාගේ නිර්දේශය ලබාගත යුතුය.

8.      රැස්වීම් වලදී පොදු මහජන යහපතට අදාල දේ හැර පුද්ගලික කරුණු කතා කිරීම තහනම්.
9.      මාසික සාමාජික ගාස්තුව රු.200/- කි. පිට පිට වාර තුනක් එය නොගෙවීමෙන් සාමාජිකත්වය අහෝසි වේ. 

10.  නව යෝජනා ඇත්නම් සති දෙකකට පෙර ලේකම්වරයාට ඒවා ලබාදී න්‍යාය පත්‍රයට ඇතුලත් කල යුතුය. න්‍යාය පත්‍රයේ නැති යෝජනා සාකච්ඡාවට ගැනීම තහනම්.

11.  රැස්වීම් සඳහා පැමිණිමේදී සංවර ඇඳුමක් හැඳ පැමිණීය යුතුය. අසංවර ලෙස හැඳ පැළඳ පැමිණෙන්නන්ට රැස්වීමට සහභාගි විය නෙහැකිය.

12.  දිගින් දිගටම සභාවේ වැඩවලට බාධා කරන්නන් සහ අසැබි වචන භාවිතා කරන්නන්ගේ සාමාජිකත්වය ක්ෂණිකව අහෝසි කිරීමේ බලය විනය කමිටුව සතුය.

13.  අප සංවිධානය පාවාදෙන්නන් සහ එය දුර්වල කිරීමට ක්‍රියාකරන්නන් ‘ද්‍රෝහීන්’ වශයෙන් නම්කොට පලවා හැරේ. ඔවුන්ගේ පවුල්වල කිසිවෙකුටත් කිසිදාක නැවත සාමාජිකත්වය ලබා නොදේ.

14.  මෙම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් කල හැක්කේ වසර දෙකකට වරක් පැවැත්වෙන මහා සභා රැස්වීමකදී අටෙන් හතක බහුතර චන්දයකින් පමණි.

එසේනම් පැමිණ අප හා එක්වන්න .....!!
පූර්ණ මානව නිදහස දිනේවා.....!!!
----------------------------------------------

ප/ලි - අප සංවිධානය පීඩිතයින්ගේ විමුක්තිය උදෙසා සටන් වදින වාමාංශික පක්ෂයක් යැයි විවිධ අය ගෙනියන බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා. දෙයියම්පා අපි දන්නා මාක්ස්වාදයක් නැත.

Monday, April 1, 2013

එන්න අපෙනුත් (සිංහල-බෞද්ධ) රෙදි ගන්න.....


හෙළ උරුමය, බොදු බල සේනා, රාවණ බලය පරදවා ‘සිංහල රාවය’ තම තාර්කික අවසානය කරා ළඟාවිය. දැන් ඔබට ඔවුන්ගේ රෙදිපිළි සේල් එකෙන් නියම සිංහල බෞද්ධ ඇඳුම් පැළඳුම් සාධාරණ මිලට ලබාගැනීමට හැකිවනු ඇත.
 ඔවුන් සේල් එකක් දැමීම නිසා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට වන අමුතු පාඩුවක් නැති අතර සිංහල ව්‍යාපාරිකයන්ට නම් යම් පාඩුවක් වනු ඇත. ඒ සිංහල රාවයේ මතය පිළිගන්නන් වෙතින්, සිංහල ව්‍යාපාරිකයන්ට යාමට තිබූ බිස්නස් ටිකක් සිංහල රාවය විසින්ම ඩැහැගැනීම නිසාය.


‘සිංහල රාවය’ මුදල් හෙවීමේ අරමුණින් තම සංවිධානය ගොඩනැගුවා හෝ පවත්වාගෙන යනවා කියා  මම කිසිසේත් නොසිතමි.  ඔවුන් මෙම ව්‍යාපාරය කරන්නේ සංවිධාන අරමුදල් තරකර ගැනීමේ අවංක චේතනාවෙන් වීමට බොහෝ දුරට ඉඩ ඇත. නමුත් කටුක ඇත්ත වනුයේ අවසානයේදී සිංහල රාවය සේල් එකක් බවට පත්වූ බවයි. මින් ඉදිරියට මෙම සංවිධානය වාර්ෂික සේල් එකක් වශයෙන් පවත්වාගෙන යාමට හැකිවනු ඇත. මෙය ඔවුන්ගේ වරදක් නොවේ. සියල්ල ප්‍රාග්ධනය විසින් ක්ෂණයකින් බිලිගන්නා යුගයක, ඉන් පරිබාහිර වූ ශුද්ධ ජාතික සංවිධාන පැවතිය නොහැකිය.

සිංහල රාවය මෙම සේල් එකේදී අලෙවි කරන්නේ නිකම්ම ඇඟළුම් නොවේ. ඇඟළුම් වලට වඩා දෙයකි. ඔබ එයින් කමිසයක් මිලදී ගන්නා විට ඔබ ගන්නේ මුස්ලිම් හෙවනැල්ලක් වත් නොවැටුනු ‘සිංහල බෞද්ධ’ දේශප්‍රේමී කමිසයකි. ඇඳුම් ඕනෑම කඩයකින් මිලදී ගත හැකි මුත්, මේ අමතර දෙය ‘මිලදී ගත හැක්කේ’ සිංහල රාවය සේල් එකෙන් පමණි.

එනම් සිංහල රාවය දැන හෝ නොදැන මේ අවුරුදු සමයේ ‘අලෙවි කරන්නේ’ මුස්ලිම් විරෝධය හා බැඳුනු සිංහල-බෞද්ධ ජාතිකත්වයයි. මෙය අලෙවි උපක්‍රමයක් වන ‘හලාල්’ වැනි ලේබල් එකකට වඩා දෙයක් නොවේ.
(මේ වැඩේ මීට වඩා කෛරාටික විදිහට කරමින්, පිටකොටුවේ 250/- ට ගන්න පුළුවන් කෑලි පිටපළාත් ශාඛා වල 890/- ෆික්ස්ඩ් ප්‍රයිස් වලට විකුණන සී.අයි.බී කාරයාට කෙළවීම ගැන මගේ ප්‍රණාමය)

ලංකාව තුල ‘ජමියතුල්ලා උලමා’ විසින් හලාල් ලේබලය අලෙවි කිරීමෙන් ලබා ඇතැයි කියන බිලියන ගණනක ලාභය මෙන් දස දහස් ගුණයක ලාභයක් සිංහල-බෞද්ධ ලේබල වෙළෙන්දන් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් මෙතෙක් උපයා ඇත. (මෙම කරුණේදී වර්තමානයේ සිංහල බෞද්ධ අන්තවාදින් ලෙස හැඳින්වෙන ‘ජාතික හෙල උරුමය’, ‘සිංහල රාවය’ සහ ‘බොදු බල සේනා’ මෙතෙක් උපයා ගත් දෙයක් නැති තරම් බව කිව යුතුය. තල නම් තෙලට වේලේ. මී බෙටි කුමට...?) 


අන් වෙළඳ ලේබල් වලට නැති මහඟු වාසනා ගුණයක් මෙම ජාතිවාදී ලේබල් වලට ඇත. එනම් සදහටම ඒවායේ ස්වේච්ඡා ප්‍රවර්ධකයන් සිටීමයි. කලෙක ජ.වි.පෙ එයට කරගැසුවේය. හෙළ උරුමය සොච්චං ඇමතිකමක් සහ තවත් දියාරු තනතුරු කීපයක් වෙනුවෙන් තවමත් මෙම ප්‍රචාරක කටයුතුවල නිරත වේ. බොදු බල සේනා  සහ සිංහල රාවය මෙම ලේබල් වෙනුවෙන් මරාගෙන මැරෙන්නට වුනත් සූදානමින් සිටී. 


මෙම ලේබල් වලින් ලාභ ලබන සැබෑ වෙළෙන්දන් මෙම ප්‍රවර්ධක සංවිධානවල ඊනියා ‘ජාතික සමුළු’ හතර මායිමේ පස් පාගන්නේ නැත.  මෙම වෙළඳාමෙන්  අප දන්නා ඉතිහාසයේ දැවැන්තම ලාභය ලැබුවේ වත්මන් පාලක හවුල සහ ඔවුන්ගේ මිතුරු සමාගමයයි.  එය මේ වන විට සිතාගත නොහැකි තරම් ධනස්කන්ධයක් සහ පහසුවෙන් වෙනස්කල නොහැකි දැවැන්ත දේශපාලන බලයක් බවට පත්වී හමාරය. 


මුස්ලිම් විරෝධය වෙනුවෙන් අවංකවම පෙනී සිටින්නන් දැනගතයුතු සරළ සත්‍යය මෙයයි. ඔබ අවංක අදහසකින් මුස්ලිම් වෙළඳ සැලකට ගසන සෑම ගලකින්ම, කවුරුන් හෝ ඔබේ කැමැත්ත නොවිමසාම කෝටි ගණනක ලාභයක් ලබන බවයි. ඔබේ ක්‍රියාවෙන් ඔවුන් උපයා ගන්නා ධනය භාවිතා කොට, ඔවුනට  ඔබව කරදරයක් වන ඕනෑම මොහොතක ඔබ වාෂ්පකර දැමීම ඔවුනට ඉතා සුළු දෙයක් බවයි. ඔබට වඩා දේශප්‍රේමීන් මෑත ඉතිහාසයේ ඕනෑතරම් සිටි අතර ඔවුන් අද කොහේදැයි සොයන්න.


මෙම සේල් එක පිළිබඳ බැනරය මවෙත එවූ සොහොයුරා බලාපොරොත්තුවන්නට ඇත්තේ සිංහල රාවයේ රෙදි ගැලවෙන ලිපියක් වන්නට පුළුවන.  නමුත් මෙම සොච්චම් ව්‍යාපාරය දෙස උපහාසාත්මකව බලන්නට මට නොහැකිය. අනුන්ට කෝටි ගණන් හම්බකර දෙන්නට වෙළඳ ලේබල් ප්‍රවර්ධනය කරන ගමන්, තමනුත් එයින් සුළු ආදායමක් ඉපැයීමට තැත් කිරීම අහිංසක උත්සාහයකි.

(සේල් එක ගැන බැනර්එක ගත්තෙ මෙතනින්- http://www.facebook.com/sinhalarawayapage )