Saturday, March 23, 2013

ඉන්දියාවේ අම්මට එන්න කියාපිය.... (පුහ්)



පළමු චරිතය   - ‘ටෙක්ලා’ අපේ ඒරියල් එකේ කවුරුත් පාහේ දන්නා කියන ලලක්කෙකි. ලෙටර්හෙඩ්, ලෙජර්, කරන්ට් එකවුන්ට්ස් නැතත් වෘත්තීය මට්ටමෙන් සේවා සපයන්නියකි.

දෙවන චරිතය - චානුක (එහෙම කියමු). මම දන්නා කියන එකෙකි. රස්සාව සේල්ස් රෙප්. විවාහකයි. දරුවො දෙන්නෙක් සිටී.

තෙවන චරිතය- මහේෂි. චානුකගේ බිරිඳ. කියන්නට තරම් කැතක් නැත. තරමක් තරබාරුය. පොඩ්ඩක් කට සැරය.

සිව්වන චරිතය- සමුද්‍රා. අවිවාහකය. දැනට වසර හතක් පමණ තිස්සේ මැදපෙරදිග රටක ගෘහසේවිකාවක ලෙස සේවය කරයි. මේ අතරතුර එක්වරක් ලංකාවට පැමිණි අතර නැවත මසකින් විදේශගත විය. එසේ දෙවනවර විදේශගතවී දැනට වසර හතරකට ආසන්නය.

පළමු සිදුවීම
චානුකයා ටෙක්ලා සමග ගෙස්ට් හවුසියක සිටියදී මහේෂි අතටම අල්ලාගත්තාය. ඒ අවුරුද්දක හමාරක පමණ සිට චානුකයාගේ සැක සහිත හැසිරීම් ගැන මහේෂි හොඳ අවධානයෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඔත්තුව තිතටම ලැබුණි. ටෙක්ලා දෙස රවා බැලීමක් පමණක් කල මහේෂි එතැනදීම චානුකයාගේ කණට ගැහුවේය. ගෙදරදී දෙන්නා මොනවා කරගත්තාදැයි නොදනිමි.  එහෙත් සතියකට පමණ පසු දෙන්නත් එක්ක බයික් එකේ කුඩා දරුවාට බෙහෙත් ගෙනෙන්නට යනු මට හමුවිය.

දෙවන සිදුවීම
පොලිසියෙන් චානුකයා සොයා ආවේය. ඒ මහේෂිට බරපතළ ලෙස පහර දුන් බවට ඇය විසින් කරන ලද පැමිණිල්ලකට අනුවය. ඇය චානුකගෙන් දික්කසාද වන බව පවසයි. සිදුවීමට දැනට මාස දෙකකි. මහේෂි තාමත් සිටින්නේ මහගෙදරය.

සිද්දියට මුල සමුද්‍රා විසින් එවන ලද SMS එකකි. ඒ ගැන චානුකයා කියන්නේ මෙසේය.

“මුන්ට  පිස්සු බං.... මේ නිකං එස්.එම්.එස් එකකට.... ඒකෙ අන්තිමට තිබ්බා ‘ලෝකෙ කොහෙ හිටියත් ඔයාව අමතක වෙන්නෑ’ කියලා..... ඔන්න ඔය පොඩ්ඩට... සමුද්‍රා පොඩි කලෙ ඉඳන්ම මං දන්නවා.... ඒකි යාලුවෙක්... එච්චරයි. ඔය රට ගිය අලුත හදිස්සියේ මෙහෙට සල්ලි වගයක් හෙම එවන්ඩ ඕනෙ වෙලා මට කෝල් කලාම මං උදව්කලා..... ඊට පස්සෙත් ඉල්ලපු පොඩි පොඩි උදව් මං කරලා තියෙනවා....  සමුද්‍රා මාසෙකට සැරයක් වත් මට එස්.එම්.එස් එකක් වත් ගහලා විස්තර අහනවා.... කියන්නෙ බං දරුපැටව් සනීපෙන්ද? මහේෂි හොඳින්ද? ජොබ කොහොමද... ඔව්වා.... බලපංකො.....?

මං මහේෂි ගැන දන්න හින්දා ඔය එස්.එම්.එස් කියෝපු ගමන් මකනවා.... මේක ඇවිත් තියෙන්නෙ ගෙදර ඉද්දි... ඕපන් කරලා තියෙන්නෙ එයාමයි.... මේකි එකපාරට පටන් ගත්තෙ නැද්ද?

මං පැහැදිලි කරලා දුන්නා.... පිලිගත්තෙ නෑ... ඒගමන සමුද්‍රාට කෝල් එකක් අරන් දුන්නා... මුං දෙන්නා පැය කාලක් විතර හොඳට කතා කලා.... යකෝ කෝල් එක කට්කරලා විනාඩි පහකින් ආයෙ පටන් ගත්තෙ නැතෑ.... මං පුලුවන් තරම් ඉවසුවා... ඒ ටිකේ කියල වැඩක් නෑ.... ගෙදර උයන්නෑ... විසිහතර පැයම මට බලු විදිහට බණිනවා... දරුවෙක් අඬන්න ගත්තොත් මගෙන් පලිගන්න අඬන්න දීල බලං ඉන්නවා... දරුවන්ට පොඩ්ඩ බැරිවෙද්දි ගහනවා.... මහගෙදර උන්ට කතාකරලා මං ගැන කියනවා...

ඔය අතරෙ මේකි සමුද්‍රාලගෙ ගෙදරටත් කතා කරලා බලු විදිහට බැනලා.... ඕක ආරංචි වෙලා ඇවිත් මේකිගෙන් අහපුවාම ආවෙ නැද්ද යකින්නක් වගේ.... මොනව උනාද මන්දා බං... මං මොකකින් ගැහුවද මතකත් නෑ... ටිකකින් බලද්දි මේකි බිම.....!

මේකිට තියෙන්නෙ මානසික ලෙඩක් බං.... මේකි කියන්නෙ මායි සමුද්‍රායි අතරේ හෙන සම්බන්ධයක් තියෙනවලු.... ඇයි යකෝ... අවුරුදු හතක් තිස්සේ රට ඉන්න එකියක් එක්ක මට කොරන්ඩ පුලුවන් සම්බන්දෙ මොකද්ද කියහංකො..? අඩුගානෙ අතකින් අල්ලන්ඩ පුලුවන්ද? ....... මට නං මේකිව එපාම වෙලා මචං... දරුපැටව් දෙන්නම මං ගන්නවා.... මටත් දික්කසාදෙ ඕනෙ........”
------------------------------------------------------------------

(දැන් ආපහු පලවෙනි සිදුවීමත් ටිකක් මතක් කරගන්න)

ඔය සිද්දි දෙක මේ හදිස්සියේ මතක්වුනේ මේ දවස්වල නැගලා යන ඉන්දියන් විරෝධය දැකලා.

ඇයි යකෝ.... ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා ගෙනාවෙ ඇමෙරිකාව. ඉන්දියාව කලේ කොහොමත් දිනන යෝජනාවකට පක්ෂව චන්දය දීම. දැන් අපේ උන් මරාගෙන කන්ඩ හදන්නේ අච්චර බරපතළ(?)  චෝදනා ගෙනාපු ඇමෙරිකාව නෙමෙයි. පැත්තක ඉඳන් චන්දෙ දීපු ඉන්දියාව.

මේවා බලං ඉන්න අයට පේන්න පුළුවන් මේ තත්වය ඉන්දියා-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ බරපතළ දේශපාලන මෙව්වා එකක් විදිහට.

මොන දේශපාලනද හලෝ...? චානුකයා කියන විදිහට මේවා මානසික ප්‍රශ්න...!!

Wednesday, March 6, 2013

හතර දෙනෙක් (ෆේස්බුක්) සිංහලයෝ....


මේ කතාව මම දන්නා එක්තරා පොඩි පහේ ටවුමක් ගැනය. මේ ටවුමේ එතරම් ජනාකීර්ණ නොවන පාරක කඩ පේලියක් ඇත. මේ කඩ පේලියේ කඩවල් හතඅටක් ඇත. ඒවායින් එකට යාව පිහිටි කඩවල් හතරක් කරන්නේ කොල්ලන් හතර දෙනෙකි.

කෙළවරේ පිහිටි කඩය ෆාම් ෂොප් එකකි.  (මස් කඩයක් හෙම නොවේ).  බිස්නස් නැත්තේද නැත.

ඊළඟට ඇත්තේ ෆෝන් ෂොප් එකකි. ෆෝන් ෂොප් කෙරුවාව යනු පොඩි කොල්ලන් ගෙනත්දෙන මෙමරි චිප් වලට උන් ඉල්ලන ඕනෑම ජරාවක් ලෝස් නැතුව දමා දී රුපියල් පනහක් හැටක් ගැනීමය. මීට අමතරව ෆෝන් කවර කීපයක්, චාජර්, බැටරි, ඩේටා කේබල් වැනි අනංමනං හත අට බැගින් තැන් තැන්වල එල්ලා ඇති අතර බිත්ති පුරා ඩීවීඩී අසුරා ඇත. ළඟපාත ඉස්කෝලේ කස්ටමර්ලා ඇරුණුවිට වෙන මහලොකු බිස්නස් එකක් නැත.

ඊළඟ එක ස්පෙයාර් පාට්ස් කඩයකි. ඇත්තේ බයික් ස්පෙයාර්පාට්ස් ය. කිට්ටුව ඇති බයික් වැඩපල නිසා ජාම බේරා ගනී.

ඊළඟට ඇත්තේ බේකරි ෂොප් එකකි.  කස්ටමර්ස්ලා වැඩිපුර එන්නේ උදේ වරුවේය.  වැඩිපුර ඉන්නේ නිකංය.

කලින් කියූ පරිදි මේ කඩවල් හතර කරන්නේ කොල්ලන් හතර දෙනෙකි.  මුං උදේ අටට අටහමාරට විතර කඩවල් ඇරිය පසු දවසම ඉන්නේ එකටය. හුඟක් වෙලාවට කරන්නේ කඩපේලිය ඉදිරිපිට කොටටම්බා හෙවණේ පුටු හතරක් තියාගෙන කයිය ගහන එකය.  නැතිනං හන්දියේ ලගා ගහන මැන්ටල් පොරවල් කීපදෙනාගෙන් එකෙක් අල්ලාගෙන බයිට් කරන එකය.

එකෙකුටවත් එහෙමටම කියා බිස්නස් නැති නිසා  ඕපාදූප කතාකරන්නට, පත්තර බලන්නට, කතා කරන්නට මුන්ට ඕනෑතරම් වෙලාව ඇත. සාමාන්‍යයෙන් සෙනඟ අඩු සතිඅන්තයේ මුං කරන්නේ කඩපේලිය ඉස්සරහා කැරම් ගහන එකය. හුඟක් වෙලාවට එක කඩයක් ඉතිරි තුන්දෙනාට බලාගන්න යැයි කියා එකෙක් ගෙදර යයි. කොටින්ම මුං හතරදෙනා එක බඩවැල කඩාගෙන ආපු උන්ටත් වඩා සමීපය.

කොහොම උනත් රෑ අට විතර වෙනවිට මුං හතර දෙනාම ෆේස්බුකියට එති. එතන ඉඳන් පැය දෙකතුනක් ෆේස්බුකියේ ගත කරති. පස්සේ ‘ගුඩ් නයිට් මචං’ කියා නින්දට යති. පහුවදා නැවත උදේ අටහමාරට කඩවල් අරිති.

මට කීමට ඇති කතාව මෙපමණය. මෙතැන් සිට උපුටා දමා ඇත්තේ මුං හතරදෙනාගේ ෆේස්බුක් ස්ටේටස් එකකි.  


ප/ලි - වැඩේ කියන්නෙ මුං දවස පුරාම වෙන වල්පල් කියෝල කියෝල රෑට එෆ්.බී ආපුගමන් හලාල් වර්ජනේ පටන් ගන්නවා.
මං කියන්නෙ  රෑට අමාරුවෙන් අකුරු කොට කොටා  ෆේස්බුකියෙ ඔට්ටුවෙන්නැතුව ඕක පුරුදු විදිහට අර කොට්ටම්බා ගහ යටදිම කතාකරගනිල්ලකො.

ඇත්තටම ෆේස්බුක් කියන්නෙ මොකද්ද?  :)

Follow by Email