Monday, January 28, 2013

අනුන්ට මෛත්‍රී කිරීමෙන් වළකින්න


මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවන්න හදන ඔබට තියන්නෙ තෝරාගැනීම් දෙකයි. එක්කෝ මේක විශ්වාසකිරීම. නැතිනම් අවිශ්වාස කිරීම. මේක අවිශ්වාස කරන ඔබ ගැන මට දුකයි. හිතන්න ඔබ ගෙදරක ඉන්න පූසෙක් කියලා. මාළු එන්නෙ කොහෙන්ද කියල ඇහුවොත් ඔබ මොකද්ද කියන්නෙ? මාළුකාරයගෙ පෙට්ටියෙන්. එහෙම නැත්තං ෆ්‍රිජ් එකෙන්. ඉතින් මම ඇවිල්ලා මුහුද ගැනත් ධීවර කර්මාන්තය ගැනත් ඔබට කියාදෙද්දි ඔබ එය අවිශ්වාස කරනවනං මොකද වෙන්නෙ? ඔබ සදාකාලික මිත්‍යාවක තනිවූ පූසෙක් වීම.

මම ඉල්ලන්නේ මේ කතාව විශ්වාස කරන්න කියලා. මේ කතාව මීට මාසෙකට හමාරකට කලින් දැනගත්තාම මම විශ්වාස කලෙත් නෑ. නමුත් පහුගිය දවස්වල වෙච්චි අමුතු සිදුවීම් කීපයක් නිසා මම මේ ගැන හෙව්වා. අද මම දන්නවා සත්‍යය මොකද්ද කියලා. මේ කියාදෙන්නෙ ඒ බියකරු සත්‍යය.

ඔබ මතකද 2009 මැයි 19 වෙනිදා ඔබ මොනවද කලේ කියලා? ඇතැම්විට මතක ඇති. නමුත් ඔබට විශ්වාසද ඒ ඔබමයි කියලා?

මෙන්න සත්‍යය........
 එදා උදේ 10.45ට ඔබ දෑත් පිටුපසට තබා බැඳ ඇති ත්‍රස්තවාදී තරුණියක්. ඉන් මිනිත්තු පහකට පසු ඔබ කොකා ගස්සමිද නොගස්සමිද දෙගිඩියාවෙන් පෙළෙන අසරණ සෙබළෙක්. ඉන් මිනිත්තු පහකට පසු ඔබ කරවටක් ගිලී, ස්වාමිපුරුෂයන් හා දරුවන් අහිමිව නන්දිකඩාල් කලපුව තරණය කරන ගැහැණියක්. ඉන් මිනිත්තු කිහිපයකට පසු ඔබ කිරිබත්ගොඩ හන්දි‍යේ එළූ රතිඤ්ඤා වැලකට ගිනි තබා දුවන කෙට්ටු තරුණයෙක්.

තවත් සමයෙක ඔබ රූපවාහිනී සේවකයන්ගේ තීන්ත පහරකට ගොදුරුවන ඇමතියෙක්. එදිනම ඔබ පාකිස්ථානයේ මැතිවරණ රැලියක පෙරමුණේ ඇදෙන එරට හිටපු අගමැතිණියක්. ඉන් අවුරුද්දකට පෙර ඔබ ඉරාකයේ සිර කඳවුරක බෙල්ලේ තොණ්ඩුවද සමග අවසන් ගමණට සූදානම් වන අසරණ ජනාධිපතිතුමෙක්.

අවිශ්වාසයෙන් විශ්වාසයට එන්න........

ඔබ නිර්මාණය වන්නේ ඔබේ භෞතික ශරීරය සහ අභෞතික මනස එක්වීමෙනි. මනස යනු මතකයන් නොවේ. එය ඔබේ අභෞතික ශරීරයයි. සත්‍යය නම් ‘ඔබ’ යනු ඔබේ ‘අභෞතික ශරීරය’ පමණක්ම බවයි.

ඔබ විශ්වාස කලත් නැතත්, ඔබේ අභෞතික ශරීරය (නොහොත් ඔබ) සෑම මිනිත්තු පහකටම වරක් ක්ෂණයකින් වෙනත් භෞතික ශරීරයකට ගමන් කරනවා. මේ ගමනේදී මතකයන් ගෙනයෑමට ඔබට නොහැකියි. මන්ද මතකය භෞතික මොලය හා බැඳී තිබෙන නිසා. එවිට ඔබට මිනිත්තු පහකට ලැබෙන අළුත් ශරීරයේ ඇති මතකයන්ට හා හැකියාවන්ට අනුව පුරුදුකාරයෙක් මෙන් එම ශරීරය එතෙක් කරමින් ආ වැඩකොටස දිගටම කරගෙන යනවා. මිනිත්තු පහකින් ඔබ තවත් අයෙකුගේ අභෞතික ශරීරයකින් ප්‍රතිස්ථාපනය වී එතැනින් ඉවත්ව වෙනත් ශරීරයකට යනවා. සිද්දිය එතරම්ම සරළයි.

මෙය මිත්‍යාවක් නොවෙයි. ඔබ යම් වැඩක් කරමින් සිටින අතර එක්වරම එය නුපුරුදු වැඩක් ලෙස දැනී නැද්ද? ‘ඇයි මේක කරන්නෙ?’කියා ආගන්තුක ලෙස සිතී නැතිද? මිනිසුන් ගොඩක් මැද ගමන් කරමින් සිටිනාතුර ‘මම කවුද?’ කියා එක්වරම සිතී නැද්ද? ඔබේම අත දෙස ටික වෙලාවක් බලා සිටින විට ‘මේ කුමන විකාර උපාංගයක්දැයි’ සිතී නැතිද? මේ ආගන්තුක සිතුවිළි නොසලකා හරින්න එපා. ඒවා ඔබව සත්‍යය වෙත කැඳවා යයි.

ප්‍රවේශමෙන් තේරුම් ගන්න. මිටියකින් ඇණයක් ගසමින් සිටින විට එක්වරම ඔබේ ඇඟිල්ල තැලෙන්නෙ ඇයි? වාහනයක් හොඳින් පදවමින් සිටියදී එක්වරම අනතුරක් වෙන්නේ ඇයි?

සිතන්න........

එක් සමයෙක ඔබ පුරාණ පූජා භූමියක් ඩෝසර් කරන මුසල්මානුවෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ පල්ලි කඩන හාමුදුරුනමක්. ඉන් විනාඩි පහකට පසුව ඔබ සමලිංගිකත්වය දැඩිව හෙලා දකින ආවේගශීලී පූජකයෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ ලොවට හොරා දෑස් අඩවන් කරගත් සමලිංගිකයෙක්.

තවත් සමයක ඔබ ඉන්දියන් සරමක් ඇඳ දත්මිටි කමින් ජාතිකත්වය ගැන දේශණයක් කරන මහාචාරියතුමෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ දුම්වැටි ඇතුලත් රූපවාහිනී නාටක වලට කොටු දමනවාද, රවුම් දමනවාදැයි උභතෝකෝටිකයක සිරව සිටිනා තවත් මහාචාර්යවරයෙක්.

අද උදෑසන 8.10 ට ඔබ සිටියේ චීනයේ ගල්අඟුරු පතලක් තුල. ඔබ මේක කියවන මොහොත වන විට ඒ පතළ කඩාවැටිලා. අද සවස වනවිට රියාද් සිරකඳවුරක හිටියොත් ඔබට ඒ ප්‍රවෘත්තිය දැනගන්න ලැබෙන එකක් නෑ.

2010 දී පටන්ගත්තු මේ බ්ලොග් එකේ මේ වනවිට දෙලක්ෂ ගාණක් ඇඩ්මින් වෙලා ඉඳලා තියෙනවා.

ඒ විතරක් නෙමේ. මේ පෝස්ට් එක මීට පැයකට පෙර ලිව්වෙත් ඔබමයි. එය දැන් කියවන්නේද ඔබම යයි සිතමි.
ඒ ඔබමයි.

ඔබට මෛත්‍රී කරන්න.....!!


ප/ලි - 2012 දෙසැම්බර් 19 වෙනිදා රෑ 11කුත් ගානට මේ ගැඹුරු දහම අවබෝධවූවාට පසු ශාමික ලක්ෂාන් රාජපක්ෂ නමින් මුහුණු පොතට මුදා හැරියෙ මමයි. ඊට පස්සෙ දවසක ‘මේක බ්ලොගේ දාමුද බං’ කියලා ඒ වෙනකොට ශාමික නමින් හිටපු හාදයගෙන් අහල තිබ්බෙ වෙන කෙනෙක්. ඊට දවසකට පස්සෙ වෙනම කෙනෙක් ‘දාපං බං’ කියල එවල තිබුණා. තේරුණානෙ?

Sunday, January 20, 2013

ඉබ්බා ‘The artist‘ – නැවත පැමිණීම



ඉබ්බා ඊයෙ උදේ කඩිමුඩිගේ අපේ ගෙදරට ආවා. මේ ආවෙ අවුරුද්දකට හමාරකට විතර පස්සෙ. (ඉබ්බා ගැන නොදන්නවනම් මෙතනින් අඳුනගන්න පුලුවන්) 

“කොහොමද?” 

ආපු වේගෙන්ම ඌම මාව පිළිඅරන් පුටුවක වාඩිවුනා.

“මොකද්ද ඔය කතාව?”

මම එවෙලේ උන්නෙ සමබිම සම්මන්ත්‍රණය ඔන්ලයින් දාගෙන.

“දීප්ති මචං”

“ආ... දීප්ති....ඒකාලෙ පොර මාතොටේ එහෙම ලියපුවා සමහරක් මං කියෝල තියෙනවා... ඒව මරු. හැබැයි පස්සෙ පස්සෙ ලියපුවා නිකං චාටර් නේද?”

“පස්සෙ කාලෙ කිව්වෙ? ලන්ඩන් කරපු කාලෙද? නැත්තං.....”

“නෑ... ඒ...... මාතොටෙං පස්සෙ ලියපුවා වැඩියෙ කියවන්න හම්බවුනේ නෑ.... මං කිව්වෙ මාතොටේ ලියපුවා නං මරු...!”

ඒ තමයි ඉබ්බා.

කාලය නැවතිච්චි වාසනාවන්ත මිනිස්සු දෙන්නෙක් මං පුද්ගලිකව දන්නවා. එකෙක් ජගත්. අදටත් උගේ ජනප්‍රියම සින්දුව ‘නිල්ල මැදින් යං ආදර පාරෙ නිදැල්ලේ’. ජනප්‍රියම චිත්‍රපටිය නොම්මර 17. ජනප්‍රියම නළුවො ගොඩයි. විජය, ජීවන්, ශෂි විජේන්ද්‍ර...... උගෙ කාලය නැවතුනේ ඌට අවුරුදු 14න් විතර.

අනිකා ඉබ්බා. උගෙ කාලය නැවතුනේ 2000 දි විතර. ඒක නිසා ඌ හමුවුනාම මං කවදාවත් කොහොමද අලුත් තොරතුරු කියලවත් අහන්නෙ නෑ. ජොබ් නං ඌ කොහොමටත් කරන්නෑ. මම දන්න තරමින් උගේ මානසික අප්සෙට් එකත් හොඳ නෑ. මූ බෙහෙත් බොන්නෙම නෑ කියලයි දැනගන්න ලැබුනේ. ගෙදර මිනිස්සුන්ටත් එපාම වෙලා දැන් ඒකට බලකරන්නෙත් නැතිලු.

“මං ආවෙ මචං පොඩි විස්තරයක් අහං යන්ඩ.... තේ හදන්ඩ එපා..... උඹ දන්නවද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ නොම්මරේ?”

මළා. එහෙම අමාත්‍යාංශෙකුත් තිබ්බ වගේ මතකයි. 

“ම්... නෑ මචං.... මොකද්ද කාරණේ?”

“මගෙ ඉඩමක් තියෙනවා විකුණන්න ඕනෙ.... කෙනෙක් කිව්වා ඔය අමාත්‍යාංශයෙන් ඉස්සෙල්ලා විස්තර ගන්න ඕනෙ කියලා... ඒකයි. මේ තියෙන්නෙ ඔප්පුව.......”

ඌ දිග ලියුම් කවරෙකින් ඔප්පුවක් ඇදලා ගත්තා. අක්කර දෙකහමාරක සින්නක්කර ඉඩමක්. ඉබ්බටයි ඉබ්බගෙ අයියටයි හවුල් අයිතිය. මූ උගෙ කොටස විකුණලා දාන්න යන නිසා කවුරුහරි වැඩේ බ්‍රේක් වෙන්න ලණුවක් දීලා වගේ. ඒක නිසාම වැඩේ කරගන්න ක්‍රමය නොකියා ඉන්න මට හිතුනා.

“දැං මොකටද උඹ ඕක විකුණන්නේ?”

“මට සල්ලි ටිකක් හදිස්සියි මචං..... අනික ඔය ඉඩම තිබ්බා කියලත් වැඩක් නෑ”

“මොකද්ද ප්‍රශ්නෙ?”

“මං මචං මියුසික් ක්ලාස් එකක් පටන් ගන්න හිතං ඉන්නවා.... තව ඩ්‍රාමා හෙමත්..... ඒකට සල්ලි ටිකක් යනවා... හෝල් එකක් ගන්න.... තව පෝස්ටර් ටිකක්... එන ලමයින්ට තේ එකක් දෙන්නත් වගේ.....”

“තේ....? ඒ කියන්නෙ උඹ නොමිලේ කරන්න හිතා ඉන්නෙ?”

“ඔව් මචං. මම ඉගෙන ගත්තෙත් නොමිලෙනේ......”

“වැඩේ හොඳයි. ඒත් ඒකට මුළු ඉඩමම විකුණන්න ඕනෙ නෑනෙ? පොඩි කෑල්ලක් විකුණපං.....”

“බෑ මචං..... මහ ගෙදර ඉඩමෙ වෙනම පොඩියට කාමරයක් හදාගන්නත් ඕනෙ.... චිත්‍ර ටිකක් අඳින්න.... පේන්ට් බඩුත් දැන් සෑහෙන්න ගණන් ඇති.... අක්කටත් කීයක්හරි දෙන්න ඕනෙ... අපේ මුළු පවුලම ඇදගෙන යන්නෙ අක්කනෙ මචං.... අනික ඔය ඉඩම තිබිලා වැඩක් නෑ....ආදායමකුත් නෑ... නිකං කැලේ....”

“නරකද ඕකෙ පොඩි කෑල්ලක උඹටම කියලා පොඩි ගෙයක් හදාගත්තොත්....? මහගෙදර උනත් උඹට අයිතියක් නෑනෙ...? අපි හදමු...”

“මොකටද බං ගෙවල්? ගෙවල් නැතුවත් ඔය මිනිස්සු ඕනෙතරං ඉන්නෙ?”

“බස් හෝල්ට්වල?”

“බස් හෝල්ට් එකේ ඉන්න එකා හෙන දුකක් විදිනවා කියන්නෙ අපිනෙ බං..... ඒ යකාට ඕක මිනිහගෙ සාමාන්‍ය ජීවිතේ...... දැං උඹ මේ බාගෙට හදාගත්තු ගේක ඉන්නෙ?”

මූ එක්ක කතාකරලා ඉහගහන්ඩ බෑ.

“රයිට්.... ඉඩම විකුණමු. හැබැයි උඹ සන්තකේට තියෙන්නෙ ඔච්චරනෙ බං.... ඔය සල්ලි ටික මාසෙන් ඉවරයි. ඉස්සරහට කවදහරි.......”

“ඉස්සරහට මොකුත් වෙන්නෙ නෑ බං..... දැං මට ඕනෙ මේ දේ කරන්නනේ.... ඒක කරනවනං දැන්ම... පුලුවං කාලෙ.... ඔය ඉඩම තිබ්බත් නැතත් තව කාලෙකින් මට මුකුත්ම කරගන්න බැරිවෙනවනේ.... එතකොට මං ආසදේ කරගන්නත් බැරිවෙනවා.... නිකාං කොහෙහරි වැටිලා ඉඳලා මැරිලා යයි... ඉඩම ඔය වෙන මොකෙක්හරි අල්ලගෙන විකුණගනී..... කොහොමත් එකයිනෙ බං.....”

අපෙ මායියා හදාගෙන ආපු තේ එක ඌ ගත්තෙ තේ හදන්ඩ මහන්සි වෙච්චි එකට නෝක්කාඩුවකුත් කියලා.

“යකෝ ඉඩම තියෙනවනං ඔය මොකෙක්හරි ඉඩම් තණ්හාවටවත් බැරි කාලෙදි උඹව බලාගනියි.... නැත්තං වෙන්නෙ......”

“ඕව බොරු කතා බං..... දැං බලපං අපේ අම්මට බලන්ඩ අපි කීදෙනෙක් ඉන්නවද? එත් දැං කාලෙක ඉඳං සනීප නෑ. ඉතිං අපි හිටියත් නැතත් ඔච්චර තමයි. අපිට කියලත් වෙනසක් නෑ.... උඹ මොකක්හරි වැඩකද උන්නෙ?”

ඔන්න ඒක අහපු වෙලාව.

“මල ගෙදරක යන්ඩ තියෙනවා.... අපේ ස්ටාෆ් එකේ....”

“ආ... එහෙනං මටත් තව ගමනක් යන්ඩ තියෙනවා.... කොහොමද අරක හොයාගන්නෙ?”

“1919 කතාකරලා අහපං මචං....”

“1919 ෂුවර්නෙ?”

“ෂුවර්... ඕනෙ තොරතුරක් ගත්තෑකි.....”

“හ්ම්.... 1919... එහෙනං මං යන්නං.....”

“පොඩ්ඩක් හිටිං.... මං පාරට දාන්නං......”

“ඕනෙත් නෑ බං........”

මූ බයික්එකේ පාරට යනකල් කතාකලේ දඬුබස්නාමානේ මියුසික් ගැන. දුටුගැමුණු කරන්න ගිහින් ජයන්ත කෙලවගත්තු එක ගැන මූ කතාකලේ පාර අයිනෙ ගෙවල්වල මිනිස්සු දොරවල් වලින් එබිල බලන තරම් හිනාවක් එක්ක.

බස් එක එනකං මම උන්නෙත් ඌ හිටපු 2000 අවුරුද්දේ ආර්ට් ලෝකේ. 

ආපහු එද්දිනං හීන් කණස්සල්ලක් වගේ දැනුනේ උගෙ සාක්කුවට ඔබපු ගෙදර හරියටම තිබ්බ අන්තිම ලාස්ට් රුපියල් සීය ආපහු මතක්වෙලා.  මලගෙදර යන්ඩ ගහගන්ඩ හිටපු පෙට්‍රල් බාගෙ.... බයික් එක නවත්තපු ගමන් කන්ඩ මොනවද ගෙනාවෙ කියල හොයන කෙලි පොඩිත්ති.... ගෙදර මිරිස්කුඩු ඉවරයි කියලා නෝක්කාඩු සීන් එකෙන් ඉන්න අපෙ මායියා......

මූ රුපියල් සීය දැකල කිව්වෙ මොකද්ද දන්නවද?

“ඔච්චර ඕනෙ නෑ බං.... බස්එකේ යන්ඩ තිබ්බනං ඇති....... කරදරයක්නේ.....”

ඇත්තටම මට මූ ගැන ඉරිසියයි.

Follow by Email