මුලින්ම කියන්න ඕනෙ මේ පෝස්ට් එක කියවන්න හදන ඔබට තියන්නෙ තෝරාගැනීම්
දෙකයි. එක්කෝ මේක විශ්වාසකිරීම. නැතිනම් අවිශ්වාස කිරීම. මේක අවිශ්වාස කරන ඔබ ගැන
මට දුකයි. හිතන්න ඔබ ගෙදරක ඉන්න පූසෙක් කියලා. මාළු එන්නෙ කොහෙන්ද කියල ඇහුවොත් ඔබ
මොකද්ද කියන්නෙ? මාළුකාරයගෙ පෙට්ටියෙන්. එහෙම නැත්තං ෆ්‍රිජ් එකෙන්. ඉතින් මම
ඇවිල්ලා මුහුද ගැනත් ධීවර කර්මාන්තය ගැනත් ඔබට කියාදෙද්දි ඔබ එය අවිශ්වාස කරනවනං
මොකද වෙන්නෙ? ඔබ සදාකාලික මිත්‍යාවක තනිවූ පූසෙක් වීම.
මම ඉල්ලන්නේ මේ කතාව විශ්වාස කරන්න කියලා. මේ කතාව මීට මාසෙකට හමාරකට කලින්
දැනගත්තාම මම විශ්වාස කලෙත් නෑ. නමුත් පහුගිය දවස්වල වෙච්චි අමුතු සිදුවීම් කීපයක්
නිසා මම මේ ගැන හෙව්වා. අද මම දන්නවා සත්‍යය මොකද්ද කියලා. මේ කියාදෙන්නෙ ඒ බියකරු
සත්‍යය.
ඔබ මතකද 2009 මැයි 19 වෙනිදා ඔබ මොනවද කලේ කියලා? ඇතැම්විට මතක ඇති. නමුත්
ඔබට විශ්වාසද ඒ ඔබමයි කියලා?
මෙන්න සත්‍යය........
එදා උදේ 10.45ට ඔබ දෑත් පිටුපසට
තබා බැඳ ඇති ත්‍රස්තවාදී තරුණියක්. ඉන් මිනිත්තු පහකට පසු ඔබ කොකා ගස්සමිද
නොගස්සමිද දෙගිඩියාවෙන් පෙළෙන අසරණ සෙබළෙක්. ඉන් මිනිත්තු පහකට පසු ඔබ කරවටක්
ගිලී, ස්වාමිපුරුෂයන් හා දරුවන් අහිමිව නන්දිකඩාල් කලපුව තරණය කරන ගැහැණියක්. ඉන්
මිනිත්තු කිහිපයකට පසු ඔබ කිරිබත්ගොඩ හන්දියේ එළූ රතිඤ්ඤා වැලකට ගිනි තබා දුවන
කෙට්ටු තරුණයෙක්.
තවත් සමයෙක ඔබ රූපවාහිනී සේවකයන්ගේ තීන්ත පහරකට ගොදුරුවන ඇමතියෙක්. එදිනම
ඔබ පාකිස්ථානයේ මැතිවරණ රැලියක පෙරමුණේ ඇදෙන එරට හිටපු අගමැතිණියක්. ඉන් අවුරුද්දකට
පෙර ඔබ ඉරාකයේ සිර කඳවුරක බෙල්ලේ තොණ්ඩුවද සමග අවසන් ගමණට සූදානම් වන අසරණ
ජනාධිපතිතුමෙක්.
අවිශ්වාසයෙන් විශ්වාසයට එන්න........
ඔබ නිර්මාණය වන්නේ ඔබේ භෞතික ශරීරය සහ අභෞතික මනස එක්වීමෙනි. මනස යනු
මතකයන් නොවේ. එය ඔබේ අභෞතික ශරීරයයි. සත්‍යය නම් ‘ඔබ’ යනු ඔබේ ‘අභෞතික ශරීරය’
පමණක්ම බවයි.
ඔබ විශ්වාස කලත් නැතත්, ඔබේ අභෞතික ශරීරය (නොහොත් ඔබ) සෑම මිනිත්තු පහකටම
වරක් ක්ෂණයකින් වෙනත් භෞතික ශරීරයකට ගමන් කරනවා. මේ ගමනේදී මතකයන් ගෙනයෑමට ඔබට නොහැකියි.
මන්ද මතකය භෞතික මොලය හා බැඳී තිබෙන නිසා. එවිට ඔබට මිනිත්තු පහකට ලැබෙන අළුත්
ශරීරයේ ඇති මතකයන්ට හා හැකියාවන්ට අනුව පුරුදුකාරයෙක් මෙන් එම ශරීරය එතෙක් කරමින්
ආ වැඩකොටස දිගටම කරගෙන යනවා. මිනිත්තු පහකින් ඔබ තවත් අයෙකුගේ අභෞතික ශරීරයකින් ප්‍රතිස්ථාපනය
වී එතැනින් ඉවත්ව වෙනත් ශරීරයකට යනවා. සිද්දිය එතරම්ම සරළයි.
මෙය මිත්‍යාවක් නොවෙයි. ඔබ යම් වැඩක් කරමින් සිටින අතර එක්වරම එය නුපුරුදු
වැඩක් ලෙස දැනී නැද්ද? ‘ඇයි මේක කරන්නෙ?’කියා ආගන්තුක ලෙස සිතී නැතිද? මිනිසුන්
ගොඩක් මැද ගමන් කරමින් සිටිනාතුර ‘මම කවුද?’ කියා එක්වරම සිතී නැද්ද? ඔබේම අත දෙස
ටික වෙලාවක් බලා සිටින විට ‘මේ කුමන විකාර උපාංගයක්දැයි’ සිතී නැතිද? මේ ආගන්තුක
සිතුවිළි නොසලකා හරින්න එපා. ඒවා ඔබව සත්‍යය වෙත කැඳවා යයි.
ප්‍රවේශමෙන් තේරුම් ගන්න. මිටියකින් ඇණයක් ගසමින් සිටින විට එක්වරම ඔබේ
ඇඟිල්ල තැලෙන්නෙ ඇයි? වාහනයක් හොඳින් පදවමින් සිටියදී එක්වරම අනතුරක් වෙන්නේ ඇයි?
සිතන්න........
එක් සමයෙක ඔබ පුරාණ පූජා භූමියක් ඩෝසර් කරන මුසල්මානුවෙක්. ඉන් මිනිත්තු
පහකට පසුව ඔබ පල්ලි කඩන හාමුදුරුනමක්. ඉන් විනාඩි පහකට පසුව ඔබ සමලිංගිකත්වය දැඩිව
හෙලා දකින ආවේගශීලී පූජකයෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ ලොවට හොරා දෑස් අඩවන්
කරගත් සමලිංගිකයෙක්.
තවත් සමයක ඔබ ඉන්දියන් සරමක් ඇඳ දත්මිටි කමින් ජාතිකත්වය ගැන දේශණයක් කරන
මහාචාරියතුමෙක්. ඉන් මිනිත්තු පහකට පසුව ඔබ දුම්වැටි ඇතුලත් රූපවාහිනී නාටක වලට
කොටු දමනවාද, රවුම් දමනවාදැයි උභතෝකෝටිකයක සිරව සිටිනා තවත් මහාචාර්යවරයෙක්.
අද උදෑසන 8.10 ට ඔබ සිටියේ චීනයේ ගල්අඟුරු පතලක් තුල. ඔබ මේක කියවන මොහොත වන විට ඒ පතළ කඩාවැටිලා. අද සවස වනවිට රියාද් සිරකඳවුරක හිටියොත් ඔබට ඒ ප්‍රවෘත්තිය දැනගන්න ලැබෙන එකක් නෑ.
2010 දී පටන්ගත්තු මේ බ්ලොග් එකේ මේ වනවිට දෙලක්ෂ ගාණක් ඇඩ්මින් වෙලා ඉඳලා
තියෙනවා.
ඒ විතරක් නෙමේ. මේ පෝස්ට් එක මීට පැයකට පෙර ලිව්වෙත් ඔබමයි. එය දැන්
කියවන්නේද ඔබම යයි සිතමි.
ඒ ඔබමයි.
ඔබට මෛත්‍රී කරන්න.....!!
ප/ලි - 2012 දෙසැම්බර් 19 වෙනිදා රෑ 11කුත් ගානට මේ ගැඹුරු දහම අවබෝධවූවාට පසු
ශාමික ලක්ෂාන් රාජපක්ෂ නමින් මුහුණු පොතට මුදා හැරියෙ මමයි. ඊට පස්සෙ දවසක ‘මේක
බ්ලොගේ දාමුද බං’ කියලා ඒ වෙනකොට ශාමික නමින් හිටපු හාදයගෙන් අහල තිබ්බෙ වෙන කෙනෙක්.
ඊට දවසකට පස්සෙ වෙනම කෙනෙක් ‘දාපං බං’ කියල එවල තිබුණා. තේරුණානෙ?