Wednesday, October 24, 2012

රුපියල් තුනේ සිගරැට්ටුවක් 25/= ට විකුණන්නෙ ඇයි? (In Time)


In Time ෆිල්ම් එක බලල තියෙනවද? ෆිල්ම් එකක් හැටියට මට එච්චර අල්ලල නොගියත් ප්ලොට් එක මරු. ඒකෙ ‘අදහස’ කෙටියෙන් මෙහෙමයි. මුදල් වෙනුවට ජීවිත කාලය හුවමාරුවෙන් ගණුදෙනු සිද්ද වෙන ලෝකයක්. හැමෝගෙම අත්වල උපතින්ම ලැබෙන කාල මාපකයක් තියෙනවා. දවසක් වැඩ කලාම ඔබට ලැබෙන්නෙ යම් ජීවිත කාල ප්‍රමාණයක්. (අපි හිතමු පැය විසිහතරක්). ආපහු පාන් ගෙඩියක් ගන්න ගියාම ඔබට සිද්ද වෙන්නෙ ජීවිතකාල විනාඩි දහයක් දීල පාන් ගෙඩිය ගන්න. බාර් එකේ බිල පැය තුනක්. බස් ගාස්තුව පැය බාගයක්. ගණිකා ඇසුර ලබන්නනම් පැය පහක්.... ඔයවගේ. මේ එදිනෙදා අවශ්‍යතාවලට වැයකරන කාලය වහාම නැවත උපයාගන්න සිද්ද වෙනවා. මොකද යමෙකුගේ ජීවිතකාලය අවසන් තත්පරයත් ගෙවුනු වහාම ඔහු හිටිතැනම මැරිල වැටෙන නිසා. (මේ ෆිල්ම් එකේ සිදුවීම් විස්තර කිරීමක් නෙමේ. අදහස පමණයි)

ඔය අතරෙ ජීවිත කාල තවත් අයට පරිත්‍යාග කරන්න, හොරකම් කරන්න හෙමත් පුලුවන්. හදිසි අවශ්‍යතා වලට ජීවිතකාල ලෝන් දෙන බැංකුත් තියෙනවා. ණය ආපහු ගෙවද්දි ජීවිත කාල පොලියකුත් එක්ක තමයි ගෙවන්න වෙන්නෙ.

තව Time zone තියෙනවා. සාමාන්‍ය මිනිස්සු ජීවත්වෙන පහල කලාපයේ තියෙන්නෙ කර්මාන්තශාලා. එහි ජීවත්වෙන්නෙ වැඩකරන මිනිසුන්.  අපිරිසිදු... තදබද... අශිෂ්ට.... අමානුෂික.... ඝෝෂාකාරී....

තවත් Time zone එකක් බොහොම ප්‍රියජනකයි. සාමකාමීයි. පිරිසිදුයි. ශිෂ්ටයි. එහි ජීවත්වෙන්නෙ විශාල ජිවිතකාල අතිරික්තයක් හිමි ධනවතුන්. මේ ධනවතුන් බොහොමයක් අර පහල කලාපයේ ආයෝජන මගින් ජීවිතකාල උපයන්නන්.

පහල කාල කලාපයේ ජීවත්වෙන්නෙකුට අවශ්‍යනම් ඉහල කලාපයට පදිංචියට යන්න පුළුවන් දොරටු තියෙනවා. හැබැයි ගේට්ටුවෙදි ලොකු ගානක් ගෙවන්න වෙනවා. අවුරුදු කීපයක ගාස්තුවක් කියමුකො. ඉතින් පහල ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් වැටහෙන්නෙ තමුන්ට ඉහල කලාපයට යන්න බැරි තමුන්ගෙ මොකක්හරි වරදක් නිසා කියලා. මොකද යන්න ගේට්ටුවක් සිස්ටම් එකෙන්ම දීල තියෙනවා. ලොකු ගානක් හොයාගන්න බැරිකම තමුන්ගෙ අවුලක්. (එක්කෝ දැනට කරන රස්සාව අප්සෙට්... නැත්තං කර්මය....ග්‍රහචාරය..... දෙවියන්ගෙ කැමැත්ත) ඉතිං කාගෙත් එකම හීනය හෙට මීට වඩා හොඳ රස්සාවක් (බිස්නස් එකක්) හොයාගෙන ලොකු ගානක් උපයලා අර කඩුල්ල පැනගන්න. (බාලගිරි දෝෂය අද නෙමේ හෙටයි). ඉතින් ඒ හීනය නිසා මිනිස්සු එදිනෙදා ජීවත් වෙනවා.

ඔතනදි ෆිල්ම් එකේ ලස්සන දෙයක් පෙන්නනවා. සාමාන්‍යයෙන් පහල කලාපයේ ජීවත්වන්නන් පිරිසක් තමුන්ගෙ හීනය වෙනුවෙන් යම් ජීවිතකාල ඉතුරුවක් කරන බව හෝ කලාපයේ කැළඹීමක් පේන්න තියෙනවනම්, පහුවදා ඉඳන් ණය සඳහා පොලිය වැඩිවෙනවා. පාන් ගණන් යනවා. බස් ගාස්තු වැඩි වෙනවා. (සංවර්ධනයට සල්ලි එපායැ දෙයියනේ) අර ඉතුරු කරන ටිකට කෙලවෙනවා. ඉතින් අර හීනය වෙනුවෙන් කවුරු කවුරුත් අතිරේක පැය කිහිපයක් ඕ.ටී කරන්න ගන්නවා. ඉතිං මිනිස්සු එහෙම අතිරේක ජීවිත කාලයක් උපයනකොට ආපහු බඩු ගණන් යනවා. ඉතින් සදහටම වැඩි වැඩියෙන් වැඩකරමින් හීනයක් වෙනුවෙන් නහිනවා.

ඔය වැඩේට සිනමා විචාරකයෙක් නොවන අපේ පී.බී ජයසුන්දර මහත්තයා කියන්නේ ‘උද්ධමනය’ කියලයි. මොකද්ද පින්වතුනි....? ඌද්ද්ධමනයඅඅඅ..!
පී.බී ජයසුන්දර කියද්දි මතක් වුනේ මෑතකදි ත්‍රිමාණ එකේ දාල තිබුනු ඔය උඩ තියෙන මාතෘකාව.

//සිගරට් එකක් රුපියල් විසිපහක් දීලා බොන කිසිම කෙනෙක් ඇයි රුපියල් තුනක් විතර නිෂ්පාදන වියදමක් යන සිගරට් එකක් 25ට දෙන්නේ කියලා අහන් නෑ//

ඒ වගේම සිමෙන්ති කොට්ටයකට පැය විසිහතරක් ඇතුලත රුපියල් අසූවක් වැඩියෙන් දෙන්නෙ ඇයි කියල අහන්නෙත් නෑ. අර පහල කලාපයේ ජාතික පානය වන අරක්කු බෝතලයකට එකපාර රුපියල් අසූවක් වැඩියෙන් දෙන්නෙ ඇයි කියලත් අහන්නෑ. රුපියල් තුනටත් දීපු පාන්ගෙඩිය හැටට දෙන්නෙ ඇයි කියලා අහන්නෙ නෑ. රුපියල් අටසීයෙ කසිප්පු බාර්වල විකුණද්දි හාරසීයෙ කසිප්පු කැලෑ අස්සෙ විකුණන්නෙ ඇයි කියලත් අහන්නෑ.

එහෙම නාහන්ඩ හොඳ හේතු අපිට තියෙනවා. අර Time zone ගේට්ටුව.

1.  මගෙ ඔලුවෙ තියෙන ප්ලෑන්එක හරිගිහින් ලබන අවුරුද්දෙ උතුරන්ඩ සල්ලි එනකොට ‘තමුසෙ කඩාකප්පල්කාරයෙක්’ කියල ගේට්ටුවෙන් ටිකට් කැන්සල් කලොත්? (මම හොඳ බොදු දරුවෙක්මි)

 2.  මේ දවස්වල හෙනට ඕ.ටී. අර ගේට්ටුවන් පැනගන්ඩ තව මිලියන හතලිහක විතර සොච්චමයි අඩු. ඕව අහ අහා ඉන්ඩ වෙලාවක් නෑ. ගිය සතියෙත් අපේ ගමට අල්ලපු ගමේ හාදයෙක්ගෙ බාප්පගෙ පුතා බැඳල ඉන්න හාදිගෙ මල්ලිලගෙ ගෙවල්ගාව එකෙකුත් ඕකෙන් ගියා.

 3.  මේවා ඉතිං සංසාරේ පතාගෙන ආපු හැටි තමයි. ඕව ඇහුව කියල කර්මය වෙනස් වෙන්නෙ නෑනෙ. මම ඊයෙත් පැය දෙකහමාරක පිරිකරක් හාමුදුරුවන්ට පූජා කලා. ලබන ආත්මෙ එහෙ උපදින්ඩ. හැබැයි අපි මෙහෙම කලාට අපේ ඉදිරි පරම්පරාවලට නං පිනක් දහමක්වත් කරගන්ඩ වෙන එකක් නෑ. අන්න නැගෙනහිර පන්සල් දැනටම උන් අල්ලගෙනලු.... ආවදෙංකො මෙහාට හොර හ......

 4.  මේව කාගෙන්වත් අහල වැඩක් තියෙනවද? අපේම හොඳටනෙ. අපිට කවදහරි යන්ඩ තියෙන ගේට්ටුවනේ ලොක්ක ආරක්සා කරන්නේ. ඉතිං මේව ආරක්සක වියදම්. බැරි වෙලාවත් ඕක දෙමෙල්ලු අල්ලගෙන උන්ගෙ ජාතියෙ උන්ට විතරක් යන්ඩ දුන්නොත්? ලොක්කා බුදුවේවා....!

5.  ආතල් නං කඩන්නෙපා හරිය?

   6.  .....

දැන් ඉතින් In Time බලල තියෙන අය ගිහින් තමුන්ගෙ වැඩක් බලාගන්න. නොබලපු අය හොයාගෙන බලල පී.බී ජයසුන්දරව සිහිපත් කරගන්ඩ.
අපිට වැඩ තියෙනවා.... අපි ගියා....!

Monday, October 1, 2012

'තෙමෙන මිනිසුන්' ට ප්‍රතිචාරයක්


මේ තෙමෙන මිනිසුන්ට ඊමේලයක් මගින් ලැබුණු තරමක් දීර්ඝ ප්‍රතිචාරයක්. මේක ප්‍රසිද්ධ කරම්දෝ නොකරම්දෝ කියන දෙගිඩියාවෙන් දවස් කීපයක්ම හිටියා. හේතු කීපයකට.
  
එකක් තමයි ෆූටා අරගලයට මම කැමතියි. එම ඉල්ලීම්වල ප්‍රායෝගික පැත්ත මොනව උනත්, සියළු විපක්ෂ දේශපාලන පක්ෂ අන්ත අසමත් වෙලාවක, ආණ්ඩුවේ අමනකමට එරෙහිව සිවිල් සමාජය මෙහෙම නැගී සිටීම ගැන අපමණක් සතුටුයි.
  
අංක දෙක නිර්මාල්. දැනට වසරකට හමාරකට පෙර නිර්මාල් ගැන මං කොහේ හරි සඳහනක් කරපු වෙලාවක නිර්මාල්ව තුට්ටු දෙකට දාල අපහාස කරපු සිවිල් (බ්ලොග්) බුද්ධිමතුන් දෙතුන් පොලක්ම දැන් මාස දෙක තුනක ඉඳන් නිර්මාල්ව අදහනව වගේ පේනව. මිනිස්සු හඳුනගන්න පුළුවන් වැඩ ඇතුලෙ කියන දේ තමයි ඒකෙන් පෙන්නෙ. ඒක පළුදු කරන්න එච්චර කැමැත්තක් නෑ.
  
අනික අධ්‍යාපනය ගැන ලොකු සංවාදයක් සමාජයේ ඇතිවුනා. අධ්‍යාපනයේ වෙනසක් කරන්න හැකියාව තියෙන පිරිස තමයි අද පාරට බැහැලා ඉන්නෙ. ඒ අය තමන්ගෙ අයිතිවාසිකම් ඉල්ලීමත් එක්කම ඒ අයගෙ යුතුකම් සමගත් නැවත බැ‍ඳෙනවා. සාධනීය වෙනසක්.
  
වැදගත්ම එකක්. ආණ්ඩුව මේකෙන් කෙළවගන්න බව පේන්න ගන්නවාත් එක්කම ආණ්ඩුව (මහින්ද) ආරක්ෂා කරන්න බැටෑලියන් එකක්ම බැහැලා වගේ පේනවා. මම කියන්නෙ ආචාර්යවරුන්ගෙ ඉල්ලීම් ඇතැම් අඩුපාඩු විවේචනය කරන්නන් නෙමේ. නිර්මාල් කතෝලික පූජකයෙක්ය අරක මේක කියලා නින්දිත විදිහට මඩ ගහන පිරිසක්. උන්ට බඩු සප්ලයි කරන්න තියෙන අකමැත්ත.
  
හැබැයි ඇත්තම කියන්නම්. ආචාර්යවරුන් ඔය ඉල්ලීම් දිනාගත්තට පස්සෙ (යම් තරමකින් හෝ) ආපහු ගෙවල්වලට යයිද, මේ අරගලය දිගටම ගෙනියයිද කියන එකනං මට තවම හිතාගන්න බැහැ. (කොටින්ම ආචාර්ය සංගමේට වඩා අන්තරේ කොල්ලො ටික මට දෙගුණයක් විශ්වාසයි ;p) මොකද ඔය සීයට හයම දුන්නත්, නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් වුනේ නැත්තං කිසි වෙනසක් නොවෙන නිසා. ඒක නිසයි රාජ්‍ය අධ්‍යාපනය ගැන හැම පැත්තකටම විහිදුනු සංවාදයක් ඕනෙ කරන්නෙ.
මොකද කැම්පස් එක ඇතුලට එන පුද්ගලයව ඔය 6% න් රත්තරන් ආලේප කරල ගත්තත් වැඩක් නෑ එයා ගිරවෙක්නං. සැබෑ නිර්මාණශීලී දරුවන්ට උසස් පෙලින් පස්සෙ කොරියන් රස්සා පෝලිමේ ලගින්න වෙනවනම්.
  
මාරයාගේ ‘මාර අධ්‍යාපන’ කථාංග මාලාවත් සිහිපත් කරන ගමන්ම, අර ඊමේල් එක පහතින් දානවා. (එහි සහ මාරයාගේ මම එකඟ නොවන තැන් කිහිපයක්ම ඇති බව සලකන්න)

 මේකෙ අරමුණ රාජ්‍ය අධ්‍යාපනය රැකගන්න කාටහරි අවශ්‍යනම්, 6% ක් නැතුවත් කරන්න දේවල් මහ ගොඩක් තියෙනවා කියල කාරුණිකව සිහිපත් කරන්න. ඒ වගේම දැනට වෙන්වෙන 1.8% නුත් අධ්‍යාපනයට සැබැවින්ම වෙන්වෙන්නෙ කොච්චරක්ද කියන එක නැවත හිතන්න කියලා ආරාධනය කරන්න. ආණ්ඩුව ඔය ඉල්ලීම් එකක්වත් දුන්නත්, නොදුන්නත්, නිවැරදි රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් වෙත ඔය අරගලය ගෙනයන්න කියල ආචාර්යවරුන්ට ආයාචනය කරන්න.

---------------------------------------

මේක ඔබේ ලිපියට දාන්න හදපු ප්‍රතිචාරයක්. මොකද ඔබ කියන සමහර කරුණු ඇත්ත වුණත් මට එකඟ වෙන්න බැරි දේවල් එතන විවේචනය කළාම මට හම්බ වෙන්නෙ පෝරියල් එකක් කියල දන්න නිසා. මොකද මට හිතට එකඟව මේ ආචාර්යවරුන්ගෙ ඉල්ලීම් වලට මගේ සහයෝගයක් නැති නිසා. ඒ මම වැඩ කරන්නේ අවුරුදු දහයකට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිසා.
  
අධ්‍යාපනය සාධාරණ වෙන්න ඕනි  බව ඇත්ත. ඒත් අධ්‍යාපනය අසාධාරණ තැනකට ඇදල දාන උදවියම එහි සාධාරණත්වය ගැන කතා කරන එක මටනම් පුදුමයක්. මම දන්නව මේ ඊයේ බදාදා දිනයේත් මහචාර්යවරු කිහිප දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ කරක් ගැහුවෙ වෙන මොකටවත් නෙවෙයි තමන්ගෙ ළමයි හොර පාරෙන් ලොකු ඉස්කෝල වලට දාගන්න. ඉස්කෝලෙ අල්ලපු වැටේ එකාට ඒ ඉස්කෝලෙ අහිමි වෙන්නෙ තමන්ගෙ සිවිල් බලය යොදාගෙන සුපිරි පන්තියක් වෙනුවෙන් ප්‍රධාන ඉස්කෝල වෙන් කරල තියෙන නිසා. කලින් හිටිය ලේකම්වරය ඉවත් කරන්න හේතුවක් වුණෙත් මේ ආචාර්යවරුන්ගෙ තර්ජනයක් නිසා. ඒ තමන්ගෙ ළමයි රෝයල්, ආනන්ද,නාලන්ද,විශාඛා වගේ ඒවට ඉක්මණින් ඇතුළත් නොකිරීම ගැන ඒ ලේකම්ට ඒ උදවිය තග දැමීමට එරෙහිව පැමිණිලි කිරීම නිසයි.
  
අධ්‍යාපනය කියන එක ඇරඹෙන්නෙ පාසල් අධ්‍යාපනයෙන්. එතනම සිදු වෙන්නෙ අසාධාරණයක් නම්, ඒ අසාධාරණය සිදුවීමට තමන්ගෙ සිවිල් බලය යොදන උදවියම සාධාරණ අධ්‍යාපනයක් ගැන කතා කරන්නේ කොහොමද? තමන්ගේ දරුවා චක්‍රලේඛ වලට අනුකූලව නිවස ආසන්න පාසලකට ඇතුළත් කරල තියෙන මහාචාර්යවරයෙක්, ආචාර්යවරයෙක් ඉන්න බව මට පෙන්වා දුන්නෙත් උඹට මම කෘතඥ වෙනව. මොකද මට තවම එහෙම කෙනෙක් දකින්න ලැබිල නැති නිසයි.
  
මෙතන ඉන්න නිසා මම දන්නව අනෙක් පාසල් වල අධ්‍යාපනය තියෙන්නෙ පහත්ම මට්ටමක. ඒත් විභාග ප්‍රශ්ණ පත්‍ර සැකසෙන්නෙ අර ඉහළ ඉස්කෝල වල ලබා දෙන දැනුමට සාපේක්ෂවයි. ඒ අභියෝගය භාර ගන්න බැරිව අනෙක් පාසල් වල දරුවන් අනාථ වෙනව. ගමේ ගොඩේ ඉස්කෝලෙ ගිය මටත් වුණේ ඒ ටික නිසා ඒක වෙනදටත් වඩා අද මට තේරෙනව. ඉතින් හයිකාරකමෙන් තමන්ගෙ දරුවන් පාසල් වලට ඇතුළත් කරමින් සමස්ත දරු පරපුරටම ආරම්භයේදීම අසාධාරණයක් කරන උදවියම සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් කතා කිරීම ?

 යුද්ධෙ දිනුවත් එක්ක රටේ හයිකාර කොටස් ‍ඔක්කොම බඩගිනි වෙච්ච නරි වගේ අතුරු පල වලට වහ වැටුණ. ඒ එක්කම මැතිවරණෙ එද්දි තමන්ගෙ කොටස වෙනුවෙන් සිවිල් බලයක් තියෙන හැම එකාම කඩේ දිව්ව. ජනතාව ගොනාට ඇන්දීමේ කලාව පටන් ගත්ත. ඒ දවස් වල මහින්ද වගේ සංවේදී නායකයෙක් පත් නොකලොත් රටම අනාථයි කියන දැඩි මතවාදය අපි අතරට ගෙන එන්න මේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් විශාල ප්‍රමාණයක් එක් වී සිටිය. පත්තර වල පිටු ගණන් තමන්ගෙ අත්සන් යොදල මහින්දව පත් කරන්න කිව්ව. තව මාධ්‍ය වලින් මහින්ද පැරදුණොත් අපි අනාතයි කියල පෙන්වා දෙන්න උත්සාහ කලා. එයාල හිතුවෙ මහජනතාවට හොරෙන් රටේ හයිකාරයෝ එකතු වෙලා කන්න අයිති කරගත්ත මස් කුට්ටියෙන් නියමිත කොටස් එයාලට මහින්ද දෙයි කියල. ප්‍රභාකරන් ඉද්දි කාටවත් මස් කුට්ටිය භුක්ති විදින්න අයිති වෙලා තිබුණෙ නැති නිසා කවුරුත් සද්ද වහල හිටිය.
  
ඉතින් එදා අපෙන් ආයාචනය කරමින් පත් කරගත්ත සංවේදී නායකය එයාල දිහා බලන්නෙ නෑ. අපිට වඩා උගත් දැනුවත් මිනිස්සු දේශපාලකයන්ගෙ තත්වය නොදන්නව කියන එක පිළිගන්න බෑ. එතන තියෙන්නෙ රට ජනතාව ගැන හිතීම වෙනුවට පුද්ගලික වාසි වෙනුවෙන් පෙනී හිටීමයි.
  
තුන් වැනි කාරණය අධ්‍යාපනය මේ තත්වෙ තියෙන්නෙ වෙන් කරන ප්‍රතිපාදන මදි වීම නිසා නෙවෙයි. ප්‍රතිපාදන අධ්‍යාපනයට සෘජුවම වැය නොකර පුද්ගලික පල ප්‍රයෝජන සඳහා වැඩි කොටසක් වැය කිරීමයි.
  
මේ අමාත්‍යාංශයේ ඔබ හිටියනම් පුදුම වෙයි කොයිතරම් මුදල් නාස්තියක් කරනවද කියල. මම දන්න තරමින් අද වෙද්දිත් ගබඩාවල තියෙනව රුපියල් කෝටි දෙකකට ආසන්න බඩු ගොඩක් ඊයෙ පෙරේද මිළදී ගත්ත. ඒත් ඒව තවම බෙදා හරින්න හිතලවත් නෑ. මම ඇහුවම ඒව බෙදන්නෙ නැද්ද කියල මට අහන්න ලැබුණ පිළිතුර ප්‍රෙජෙක්ට් වල සල්ලි අහවල් දිනට කලින් ඉවර කරන්න ඕනි නිසා මේව මිළදී ගත්ත බවයි. අධ්‍යාපනයට වෙන්කරන මුදල් වගේම විශාල වශයෙන් විදේශ ණය ආධාර වශයෙනුත් ලැබෙන දේවල් හරහා තමයි මේ ප්‍රොජෙක්ට් ඇති කරන්නෙ. ඒවගෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන මගුලක් නෑ. දුර ඉස්කෝල වල දරුවන්ට ඉඳගන්න පුටුවක් නෑ. ඒත් ‍ඒව දියුණු කරන්න මේ සල්ලි යොදවන්නෙ නෑ. ඒවගෙන් කරන්නෙ මෙහෙ උදවිය තමන්ගෙ මඩි තර කර ගන්න පුඵවන් විදියෙ වැඩයි.  ඒව දැන ගන්න මේ ක්ෂ්‍රේත්‍රයේ වැඩ කරල තියෙන්න ඕනි. රුපියල් සීයක් ලැබුණොත් ඒකෙන් රුපියල් දහයක් විතරයි සෘජුවම අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වැය කරන්නෙ. ඉතිරි අනූවම කොමිස්, ගසා කෑම් සහ නාස්තියයි.
  
මම දන්නව අලුතෙන් ආපු ලේකම්ගෙ පුද්ගලික හීනමානය වෙනුවෙන් විතරක් මේ වෙද්දි මිලියන කිහිපයක් වියදම් කරල තියෙනව. ලක්ෂ ගණන් වැය කරල ගෙනාපු මේස පුටු මිනිහ අයින් කලා. අලුතෙන් ගෙනාව. ජනෙල් තිරයක් වත් ඉතිරි කලේ නෑ. ටොයිලට් එකේ ටයිල්ස්, කොමඩ් පවා ගලවල අලුත් ඒව සවිකලා. ඒ සියල්ල අවුරුදු දෙකක්වත් පරණ නැති ඒව. ඒසී මැෂින් පවා අලුතෙන් හයි කලා. පරණ ඒවට වෙච්ච දෙයකුත් නෑ. අඩුම ගාණෙ ටොයිලට් පේපර් පවා අමාත්‍යාංශයේ මුදලින් එයා වෙනුවෙන් ඉල්ලනව. අත හෝදල පිහින්න තුවාය පවා මහජන මුදලින් ඉල්ලනව. පාවිච්චි කරන්නෙ මොන්ටෙරෝ වර්ගයේ වාහන. ඉස්කෝලෙකට පුටුවක් අරන් දෙන්න ප්‍රතිපාදන නෑ කියන අමාත්‍යාංශයේ හැම නිලධාරියෙක්ම හොඳම වාහනයක් අරන් තියෙනව වෙන් කරන ප්‍රතිපාදන වලින්. හැම ඉහළ නිළධාරියෙක්ම රුපියල් ලක්ෂයකට වඩා වටින ලැප්ටොප් එකක් වෙන් කරන ප්‍රතිපාදන වලින් අරන් ගෙදර ගෙනියල පොඩි එවුන්ට් ගේම් ගහන්න ගිහින් දීල තියෙනව. මොකද මුන්ගෙන් වැඩි දෙනෙක් කොම්පියුටරයක වැඩ කරන්න දන්නෙ නෑ. ඒත් මෙහාට ආපු හැටියෙම ඉල්ලනව ලැප්ටොප් එකක්. මාරු වෙලා යද්දි ආපහු භාර දීමක් නෑ. කැඩිච්ච කෑල්ලක් ගෙනත් දෙනව. සමහර අය අවුරුද්දක් පාවිච්චි කරල කොහෙන් හරි කැඩිච්ච කෑල්ලක් ආපහු භාර දීල අලුත් එකක් ඉල්ලනව. උන් අපි වගේ ලාභ ඒව නෙවෙයි ඉල්ලන්නෙ. ලක්ෂෙට එහා ඒව.

 මම පුද්ගලිකව දන්නව වෙන්කරන ප්‍රතිපාදන වලින් සියයට විසි පහකට වඩා වැය කරන්නෙ මේ වගේ නිලධාරීන්ගේ සහ ඇමැති වරුන්ගෙ පුද්ගලික ප්‍රයෝජනයට සහ බොරු උත්සව වලටයි. ඊට අමතරව ආධාර විදියට ලැබෙන ඒවගෙන් සියයට අනූවක්ම නාස්තියයි. වංචාවයි.

 ඉතින් මම හිතන්නෙ නෑ ප්‍රතිපාදන වැඩි කලා කියල සාධාරණ අධ්‍යාපනයක් ඇති වෙයි කියල. වැඩි කරන ප්‍රතිපාදන වලින් වැඩියෙන් නාස්තියක්, වංචාවක් සිදුවෙයි. 
  
අධ්‍යාපනයේ විතරක් නෙවෙයි ඕනිම දේක සාධාරණය පළමුව එන්න ඕනි තමන් තුළිනුයි. මේ උදවිය දරුවා පාසලකට දාන තැන ඉඳන් අසාධාරණ දේවල් කරන ගමන්ම සාධාරණ අධ්‍යාපනයක් වෙනුවෙන් සටන් කරමින් ඉන්නව. සාධාරණය පළමුව එන්න ඕනි තමන්ගේ ක්‍රියාවන් හරහායි. අනෙක් එවුන්ට විතරක් සාධාරණ වෙන්න කියන එක දේශපාලනයයි.
  
ඒ මූලික කාරණා. ඒත මට තව ගැටඵවක් තියෙනව. අධ්‍යාපනය මේ රටට අත් කර දී තිබෙන්නේ කුමක්ද යන්නයි. අධ්‍යාපනයෙන් බිහිවුණ සියල්ලන්ම බඩගිනි වෙච්ච නරි වගේ සමාජ ගතව සිටින බවයි මට පෙනෙන්නෙ. මොකද මම වගේ නූගත් අය නෙවෙයි රටේ ඉහළ තනතුරු වල හිඳිමින් ආර්ථික වගේම සදාචාරාත්මක පරිහාණියක් වෙනුවෙන් පෙනී හිටින්නෙ. මේ අධ්‍යාපනයේ වරදක් තියෙනව. නැත්නම් රටේ පවතින ක්‍රමයේ වරදක් තියෙනව. නිවැරැදි වෙන්න ඕනි ඒකයි. නැත්නම් අපි වගේ නූගත් මෝඩයෝ කොටසකුයි, උන්නතිකාමයෙන් පෙළෙන උගත් බුද්ධිමත් කොටසකුයි විතරක් හැමදාම හිඳියි. ඔබල ලියන කිසිවකින් කිසිම වැඩක් වෙන එකක් නෑ.
  
මට නම් දැන් එපා වෙලා. මේ දේවල් මම දැන් ලියන්න උත්සාහ කරන්නෙත් නෑ. ලිව්ව කියල වැඩකුත් නෑ. මම ඔබේ ලිපියට ලියපු මේ කොමන්ට් එක පබිලිස් නොකලෙත් ඒකයි. මම කියන දේට නෙවෙයි පහර හම්බ වෙන්නෙ. මම කැම්පස් නොගිය නිසා, උගත් කමක් නැති නිසා ඉරිසියාවට විවේචනය කරනව කියන එක තමයි කන්න වෙන පෝරියල් එක. ඒවට උත්තර දෙන්න මට බෑ. මොකද ඇත්තටම මම උගත් මිනිහෙක් නෙවෙයි ඒක ඇත්ත නිසා. 
  
මේ උණුසුම පිටම මේවා ගැන සංවාදයක් ඇති වෙනවනම් හොඳයි තමා. මොකද ඔය ඉල්ලීම් ලැබුනත් නැතත් ඕක අල්ලගෙන ඉන්න පුලුවන් කාල සීමාවක් තියෙනවා. ඉන් පස්සෙ අධ්‍යාපනය ගැන කතා බහ ඔක්කොම ඉවරයි. නමුත් මේ උණුසුමෙන් මෝහනය වෙලා ඉන්න පිරිසකට අපි කොච්චර ඇත්තක් කිව්වත් පේන්නෙ වැරදියට. ඉතිං මොකද කරන්නෙ?
.....................

(පින්තූරය - මෙතනින්)

Follow by Email